තවමත් නොවිසඳුණු සතොස සුදු ලූණු වංචාව – වින්දිතයින්ටත් මරණ තර්ජන !

තවමත් නොවිසඳුණු සතොස සුදු ලූණු වංචාව – වින්දිතයින්ටත් මරණ තර්ජන !

*********************************************

තවමත් නොවිසඳුණු සතොස සුදු ලූණු වංචාව – වින්දිතයින්ටත් මරණ තර්ජන !

(13.01.2022 – 14:25 +0530 – hirunews.lk/sinhala)

2021 සැප්තැම්බර් මස මුල දී මහත් ආන්දෝලනයකට තුඩු දුන් ‘සතොස සුදු ලූණු වංචාව’ සම්බන්ධ සිද්ධියේ අධිකරණමය කටයුතු ක්‍රියාත්මක වෙමින් තිබියදී පවා, එම සිදුවීමෙන් අගතියට පත් පාර්ශ්වයට මේ වනවිට විවිධ පාර්ශ්වවලින් මරණීය තර්ජන එල්ල වන බවට වාර්තා වනවා.

මෙලෙස මරණ තර්ජන එල්ල වී ඇත්තේ සතොස වෙනුවෙන් මෙරටට සුදු ලූණු ආනයනය කළ සමාගමේ අධ්‍යක්ෂ අනුර අබේවර්ධනට සහ ජ්‍යේෂ්ඨ උපදේශක සංජීව බණ්ඩාරට යි.

මෙලෙස මරණ තර්ජන එල්ල වීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අදාළ ජ්‍යේෂ්ඨ උපදේශකවරයාගෙන් සිදු කළ විමසීමක දී ඔහු කියා සිටියේ, අධ්‍යක්ෂවරයාට සහ තමන්ට පළමුවරට මරණ තර්ජන එල්ල වූයේ, 2021 ඔක්තෝම්බර් මස 03 වැනි දින බවයි.

තමන් කිසියම් ‍රාජකාරි කටයුත්තකට කොළඹ – කොටුවට යාමට සිය මෝටර් රථය කොටුව ආසන්නයේ ඇති රථගාලක නවත්වා ඉන් පිටතට පැමිණෙමින් සිටියදී, වාහනයකින් පැමිනි නාඳුනන පුද්ගලයින් තිදෙනකු (3) තමා අසළට පැමිණ, වත්තල අධිකරණයේ ගොනු කර ඇති නඩුව වහාම ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙස තර්ජනය කළ බව ඔහු පවසා සිටියා.

එසේ නොවුණහොත්, සිය පවුලේ සාමාජිකයින්ගේ සහ දරුවන්ගේ ද ජීවිතවලට හානියක් සිදු විය හැකි බවටයි අදාළ පුද්ගලයින් තර්ජනය කර ඇත්තේ.

කෙසේ වෙතත් තමාට සහ තම අධ්‍යක්ෂ වරයාට මෙලෙස මෙම මරණ තර්ජන කර මාස කිහිපයක් ගත වී ඇති අතර, ඒ පිළිබඳ කොටුව පොලීසියට ද පැමිණිල්ලක් සිදු කර තිබුණ ද, මෙතෙක් අදාළ සැකකරුවන් හරි හැටි හඳුනාගැනීමට හෝ කිසිදු තොරතුරක් සොයා ගැනීමට පොලීසියට හැකි වී නැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

මෙවන් පසුබිමකදියි, සිද්ධියෙන් අගතියට පත් වින්දිත පාර්ශ්වයට පෙරේදා එනම්, 11 වැනිදා යළිත් මරණ තර්ජනය කරමින් දූරකථන ඇමතුමක් ලබාදී ඇත්තේ.

මේ හේතුවෙන් අගතියට පත් පෞද්ගලික සමාගමේ පාර්ශ්වය විසින් මේ පිලිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අද (13) දිනයේ වින්දිතයින් ආරක්ෂා කිරීමේ අධිකාරියට පැමිණ සිටියේ අදාල අධිකාරියේ සභාපති සුදත් ගම්ලත් විසින් ඔවුන් වෙත ලබා දුන් දැනුම්දීමකට අනුවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හෙට (14) දිනයේදී ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද යාමට නියමිතයි.

මීට පෙර මෙම සුදු ලූණු වංචාව පිලිබඳ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව දිගින් දිගටම මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් ප්‍රකාශ ලබා ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කළ අතර, අවසානයේ දී මෙම වංචාව සිදු කළ ඉන්දියන් ජාතික ව්‍යාපාරිකයෙකු අත් අඩංගුවට ගැනුණා.

ඉන් පසු ඔහුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙසයි රුපියල් කෝටි 07 කට අධික සුදු ලූණු කන්ටේනර් දෙකක් (2) මිල දී ගෙන විකිණීමට ඔහුගේ පුත්‍රයා කටයුතු කළ බව අනාවරණ වූයේ.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉන්දියන් ව්‍යාපාරිකයාගේ පුත්‍රයා අත් අඩංගුවට ගනු ලැබුවේ, 2021 වසරේ ඔක්තෝම්බර් 22 වැනි දිනයි.

එම සැකකරු විසින් සුදු ලූණු කන්ටේනර් මිල දී ගැනීමට අදාළ කූඨ ලේඛන ද සකසා ඇති බව ද පසුව හෙළි වුණා.

ඒ අනුව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණේ, වංචාවට ආධාර අනුබල දීමේ චෝදනාව මතයි.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කළ යුතු බව දන්වමින් ඔක්තෝම්බර් මස 11 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැබිනට් රැස්වීමේ දී උපදෙස් දුන් බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.

එමෙන්ම, නොවැම්බර් මස 20 වැනි දින පාරිභෝගික කටයුතු අධිකාරිය ද ප්‍රකාශ ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

කෙසේවෙතත් මෙම වංචාව සම්බන්ධයෙන් සතොස නිලධාරින් සිව්දෙනෙකු (4) අත් අඩංගුවට ගැනුණු අතර, ඔවුන් ඔක්තෝම්බර් මස 14 වැනි දින ඇප මත නිදහස් කෙරුණා.

මෙම වංචාව හේතුවෙන් ලංකා සතොස ආයතනය හරහා මහජනතාවට සහනදායී මිලට අලෙවි කිරීමට තිබූ රුපියල් ලක්ෂ 74 ක් වටිනා සුදු ලූණු කිලෝග්‍රෑම් 54,860 ක් වංචනික ලෙස මිලට ගෙන තිබුණා.

මෙම සැකකාර ව්‍යාපාරිකයා සුදුලූණු තොගය ලබා ගැනීම සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් විසි එක් ලක්ෂ හතලිස් පන්දහසක් (21,45,000) බවත්, ඉන් දහසය ලක්ෂ හතලිස් පන්දහසක් (16,45,000) ලංකා සතොස ආයතනයේ ඉහළ නිලධාරියකුටත් අනෙක් රුපියල් ලක්ෂ පහ (5,00,000) බ්‍රෝකර්වරුන් දෙදෙනාටත් (2) වශයෙන් බෙදී යන ආකාරයෙන් වැය කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළා ෴

***************************************

විදුහල්පතිනියක් ගුරුවරියකට බැන වැදී ගේට්ටුවෙන් එළියට දමයි !

(13.01.2022 – 13:56 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ යශෝධරාදේවි බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් එම පාසලේ ගුරුවරියකටම පාසලට ඇතුළු වීමට අවස්ථාව නොදී බැන වැදී අපහසුතාවයට පත් කර ඇති බව ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

ස්ථාන මාරුවීමක් පදනම් කර ගනිමින් විදුහල්පතිනිය විසින් ඇයට මෙලෙස බැන වැදී දරුවන් ඉදිරියේ අපහසුතාවයට පත් කර ඇති බවයි සිද්ධියට මුහුණපෑ ගුරුවරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

වසර 7 ක සේවා කාලයක් සහිත මෙම ගුරුවරිය පසුගිය වසරේ ලෙඩ නිවාඩු දමා පාසලට නොපැමිණ ඇති අතර, ඒ සම්බන්ධයෙන් විදුහල්පතිනිය දැනුවත් කර නොමැති වීම මෙම ගැටලුවට මුල් වී තිබෙනවා.

පසුව විදුහල්පතිනිය ගුරුවරියට ඒ පිළිබදව බැන වැදී ඇති අතර ඊට අදාළව එම ගුරුවරිය විසින් කලාප අධ්‍යාපන කාර්යාලය දැනුවත් කරමින් විමර්ෂණයක් ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත්, මූලික විමර්ශනයෙන් පසු අදාළ ගුරුවරිය එම විද්‍යාලයෙන් ස්ථාන මාරුකර කර තිබෙනවා.

පසුව ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුවත් කර යළි එම පාසටම අදාළ ගුරුවරිය ස්ථාන මාරුව රැගෙන පැමිණ ඇති අතර එය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් විමසීම සඳහා හිරු ප්‍රවෘත්ති අංශය ගම්පහ යශෝධරාදේවි බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනියෙන් විමසීමට උත්සහ කළත් එය ව්‍යර්ථ වූයේ, ඇය දූරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ෴

***************************************

ගින්නකින් වතු නිවාසයකට දැඩි අලාභ හානි

(13.01.2022 – 14:49 +0530 – hirunews.lk/sinhala)

මස්කෙළිය පොලිස් වසමට අයත් මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතු යායේ කම්කරු නිවසක හටගත් ගින්නකින් එම නිවසට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

අද (13) උදෑසන 10:30 ට පමණ ගින්න හටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්න සිදුවන විට නිවසේ කිසිවෙකුත් සිට නොමැති අතර ගින්න ආරම්භයත් සමග වතු කම්කරුවන් එක්ව එය පාලනය කර තිබෙනවා.

අනතුරුව ගින්න නිවා දැමීමට මස්කෙළිය පොලිසිය සහ මාවුස්සාකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගේ ද සහය ලැබී තිබෙනවා.

ගින්නට හේතූව විදුලි කාන්දුවක් බවට සැක කෙරෙන අතර සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ.

නිවසේ තිබී බඩු භාහිරාදිය රැසකට මෙමගින් අලාභ හානි සිදුව තිබෙනවා.

මස්කෙළිය පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

පිටිපන ජලජීවි වගා සංවර්ධන මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවක්

(13.01.2022 – 11:18 +0530 – hirunews.lk/sinhala)

මීගමුව – පිටිපන ජලජීවි වගා සංවර්ධන මධ්‍යස්ථානය ඉදිරිපිට ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වනවා.

මාස 3 ක පමණ කාලයක සිට එම මධ්‍යස්ථානය මගින් ඉවත් කරන ලද සත්ත්ව කොටස් යොදාගෙන දියර පොහොර නිෂ්පාදනය කරන බවට යි විරෝධතාකරුවන් චෝදනා කළේ.

මේ හේතුවෙන් ප්‍රදේශය අවට දැඩි දුර්ගන්ධයක් පවතින බව ද ඔවුන් පවසනවා ෴

***************************************

මෛත්‍රී හොරගල් අහුලන්නේ කුමකට ද ?

(13.01.2022 – 12:51 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමන්‍යය මන්ත්‍රීවරයෙකු ලෙස මේ වන විට වසර එක හමාරකට (1½) ආසන්න කාලයක් කටයුතු කරනවා.

‘ඔලිම්පික් ගිය සුසන්තිකා ගමේ අවුරුදු උත්සවයේ පිඟන් සෙට්ටෙකට දිවුවා වාගේ’ යන නූතන ප්‍රස්ථාව පිරුළ මෙතෙක් සිහි කළේ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පමණක් වුව ද පිඟන් සෙට්ටෙකට දුවන්නන්ගේ ලැයිස්තුවට අලුතින් ම එකතු වුණේ, මෛත්‍රීපාල සිරිසේන යි.

ඔහු 2020 අගෝස්තු මස පැවති මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග වැදුණේ, පොළොන්නරු දිස්ත්‍රික්කයේ පොළොන්නරු ආසනයෙන්.

ඔහු ඉන් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරි පත් වුණේ, හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී යන පට්ටං දෙකම තම හිසෙහි ලා ගෙනයි.

ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් පොහොට්ටු ආණ්ඩුව මෙරට ව්‍යවස්ථාදායකය හා විධායකය භාරගනු ලැබුවේ, ශ්‍රී ලාංකීය දේශපාලන දේහය උඩු යටිකුරු කොට මෙය සිංගප්පූරුවක් කරනවා යන ‘සුපර්මෑන්’ සිහිනයක හිඳිමින් ය.

නමුත් දිනෙන් දින එම සුබ සිහිනදාමය, ගඟට කැපූ ඉනි මෙන් හා කටේ නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා යන ප්‍රථාව පිරුළු නිබඳ ව සිහි කරවන්නක් ලෙස විනා අන් ලෙසකින් ඉෂ්ට වූයේ නෑ.

බොර දියේ මාළු බාන්නටත් කල දුටු කල වළ ඉහගන්නටත් අතිශය සූස් කට්ටයෙකු වෙන මෛත්‍රී, පවතින තත්ත්වය හමුවේ දිනෙන් දින ජනතාවගේ මෝරා යන ඉච්ඡාභංගත්වය හරහා සිදු වන ආණ්ඩු දෙදරීම දෙස බලා සිටියේ, තම කපටි හා සූක්ෂ්ම දෑසින් යුතුව යි.

කෙමෙන් කෙමෙන් තම නිදහස් පක්ෂ කඳවුර ආණ්ඩු විරෝධී මතයක් වෙනුවෙන් පෙනී ඉන්නා බව මෛත්‍රී එළිපිටම කරන ප්‍රකාශ දෙස උපේක්ෂාවෙන් බලා සිටින විට පෙනෙන්නට තිබෙනවා.

ඒ තම මාතෘ භූමිය කෙරෙහි උපන්නා වූ අපරිමිත ස්නේහය නිසා ද එසේත් නැති නම් අනාගතය ගැන හිතේ ඇති වූ අප්‍රමාණ බයක් නිසා දැ යි යන්න තෝරා බේරා ගැනීම විචාරාත්මක පුරවැසියන් සතු යුතුකමක්.

පවත්නා රජය මෙන්ම මෛත්‍රී ද අවුරුදු 5 ක් මෙම රටට හොඳට ම කළේ ය.

කොයි තරම් හොඳට ම කළා දැ යි කිව හොත් ඔහු සිය ජනාධිපති පට්ටම තබා පොළොන්නරුවට ගියේ, දෙවැනි වර ජනපතිවරණයට ද ඉදිරිපත් නො වෙමින්.

බරපතළ ගණයේ ජනතා අප්‍රසාදයකින් හා මිනිසුන් 270 කට වැඩි ගණනක් අකාලයේ මරා දැමුණු සිදුවීමක වගකීම් ද ඉටු නො කළ නායකයෙකු ලෙසින් ඔහු තම ජනපති ධුරය නිමා කළා.

නමුත් මේ දිනවල නැවතත් මෛත්‍රී කරළියේ රඟ දෙනවා.

දිගට හරහට මාධ්‍යය ඉදිරියේ ‘වොයිස් කට්’ ද දෙනවා.

විහිළුවෙන් තහළුවෙන් හා ඉතා ම සුවයෙන් පසුවෙන බවක් පෙන්වන්නේ ‘වරෙංකෝ ගේම දෙන්නම්’ යැයි කියාන්නාක් මෙන්.

දැන් දැන් ආණ්ඩුවේ පළු ද අරින ඔහු, නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් හදනා බව පුන පුනා ප්‍රකාශ කරනවා.

මේ සියලු උත්සාහයන්ගේ හා පැවසුම්වල අවසන් ප්‍රතිඵලය කුමක් විය හැකි ද ?

වරක් ජනපති වූ මෛත්‍රී, නැවත වාරයක් පෙරට එන්නේ ඇමතිකමකින් හෝ මන්ත්‍රීකමකින් පමණක් සෑහෙන්නට ද ?

මීයක් කඩන්නේ අත ලෙවකන්නට නො වනා බව මෛත්‍රී සහසුද්දෙන් ම දනියි.

ඉදින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මීළඟ ජනපති හෝ අගමැති වන්නේ, මෛත්‍රීපාල සිරිසේන ද යන කුකුසෙන් පෙළෙන්නට ජනතාවට නැවත වරක් සිදු වෙයි ද?

++++++++++

ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයක් නැහැ – නිදහස් පක්ෂ මහලේකම්ගෙන් ප්‍රකාශයක්

(13.01.2022 – 13:34 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ වනවිට රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග හමුවේ විවිධ දේශපාලන පක්ෂ විසින් වේදිකාවලදී ආණ්ඩුවේ අර්බුද මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී අදහස් පළ කළා.

බොහෝ අවස්ථාවලදී මාධ්‍ය මගින් විකාශය වූ දේශපාලන අදහස් අනුව පෙනී ගියේ මේ වනවිට රටේ පවතින අර්බුද විසඳා ගැනීමට ආණ්ඩු පක්ෂයේ හවුලෙන් කටයුතු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකම තලයේ එකඟතාවක් නොමැති බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස විසින් ද වරින්වර ආණ්ඩුව පිළිබඳ කලකිරීම් ස්වභාවයෙන් ද විවේචන ද සිදු කරන හෙයින් මෙම විරසකය වඩාත් මතුව පෙනුණා.

එහෙත් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ, ආණ්ඩුවේ අර්බුද වෙනුවෙන් ඒවා කතා කළ ද, ආණ්ඩුවෙන් ඉවත් වීමේ කිසිදු අභිලාසයක් නොමැති බවයි ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තෛපොගංල් දිනය වෙනුවෙන් සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

(14.01.2022 – 07:35 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් අදට (14) යෙදී ඇති තෛපොංගල් දිනය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව නිවස තුළ පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා වී සමරන ලෙස සෞඛ්‍ය අංශ සහ හින්දු ආගමික නායකයන් ජනතාවට දැනුම් දෙනවා.

තවත් කොරෝනා ආසාදිතයන් 594 ක් ඊයේ (13) වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,34,919 දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,174 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (13) වාර්තා වූ කොරෝනා මරණ 11 ත් සමගයි.

එමෙන්ම මේ දිනවල ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

මෙවන් පසුබිමක හින්දු ආගමික නායකයන් හින්දු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අදට (14) යෙදී ඇති තෛපොංගල් දිනය සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා වෙමින් සමරන ලෙසටයි.

මේ අතර බූස්ටර් මාත්‍රාව මගින් අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් ඔමික්‍රොන් ආසාදනයෙන් රෝහල්ගත වීමට ඇති සම්භාවිතාව සියයට 90 කින් පමණ අඩු වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්තීකරණ විද්‍යා හා අණුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය නීලිකා මලවිගේ කොළඹ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.

එමෙන්ම, ගර්භණී මව්වරුන් සහ කිරිදෙන මව්වරුන්ටද බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම වැදගත් බවයි ඊයේ (13) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා කායික විශේෂඥ වෛද්‍ය විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර ප්‍රකාශ කළේ ෴

++++++++++++

කොරෝනා වෛරසයේ ආසාදන ගැන විශේෂ හෙළිදරව්වක්

(14.01.2022 – 14:35 +0530 – hirunews.lk/sinhala)

වාතයට නිරාවරණය වී මිනිත්තු විස්සක (20) කාලයක් තුළ කොරෝනා වෛරසයේ ආසාදන හැකියාවෙන් සියයට අනූවක් පමණ අහිමිවන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

මේ නිසා වෛරසය වාතය ඔස්සේ දුරස්ථ ව ආසාදනය වීමේ හැකියාව අවම බවයි බ්‍රිතානයයේ බ්‍රිස්ටල් වායු අංශු පරීක්ෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

ආසාදිතයෙකු ප්‍රශ්වාස කිරීමේ දී වෛරසය හැසිරෙන ආකාරය පිළිබඳව සිදු කළ මෙම පරීක්ෂණයේ දී අනාවරණ වී ඇත්තේ, වාතයට නිරාවරණය වී පළමු මිනිත්තු පහ (5) තුළ එහි ආසාදන හැකියාව බොහෝ දුරට වියැකෙන බවයි.

මේ අනුව කොරෝනා වෛරසය ආසාදනය වීම කෙටි දුරක් තුළ සිදු වන බව තහවුරු වී ඇති බැවින් මුව ආවරණ පැලඳීම සහ සමාජ දුරස්ථභාවය, වෛරසය පැතිරීම වැළැක්වීමට හේතුවන බව පැහැදිළියි.

එමෙන්ම නව අධ්‍යනයේ ප්‍රතිඵල කොරෝනා මර්දන සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීම සඳහා යොදාගැනෙනු ඇතැයි අපේක්ෂිතයි ෴

++++++++++++

කොරෝනා ආසාදිතයින් 171 ක් සුව අතට

(14.01.2022 – 16:08 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 171 දෙනෙකු අද (14) දිනයේ දී සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ සමග වෛරසය ආසාදනය වී මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 5,67,871 ක්.

කෙසේවෙතත් වෛරසය ආසාදිතව තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 11,274 ක් බවයි, වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

වෛරසය ආසාදිතව ජීවිතක්ෂයට පත්ව මෙරට සිදුව ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 15,174 ක් ෴

++++++++++++

තවත් කොරෝනා මරණ 16 ක්

(14.01.2022 – 20:03 +0530 – hirunews.lk/sinhala)

අද (14) දිනට තහවුරු කරන ලද කොරෝනා මරණ ගණන 16 ක් ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය නිවේදනය කරනවා.

එම මරණ 16 ත් සමඟ මෙරට සිදු වූ මුළු කොරෝනා මරණ ගණන 15,174 ක් දක්වා ඉහළ යනු ඇති ෴

++++++++++++

බූස්ටර් මාත්‍රාව ගැන ඇති අඩු උනන්දුව, අනාගත අවදානමකට අත වැනීමක් බවට හෙළිදරව්වක්

(14.01.2022 – 20:26 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 11 වැනි දා සිට 17 වැනි දා දක්වා ෆයිසර් බූස්ටර් එන්නත දීප ව්‍යාප්ත ව සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සහ සියලු ම රජයේ රෝහල්වල උදේ 08 සිට රාත්‍රී 08 දක්වා ලබා දුන්නත් ඊට ජනතාව යොමුවීමේ ඉතා අඩුවක් පෙනෙන්නට ඇති වාර්තා වෙනවා.

මේ බව සඳහන් කරමින්, විශේෂඥ වෛද්‍ය දිලිප් ලියනගේ සඳහන් කළේ, පළමුවැනි (1) හා දෙවැනි (2) මාත්‍රා ලබාගැනීම සඳහා ජනතාව තුළ පැවති උනන්දුව බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සඳහා නොමැති බව යි.

කොවිඩ් මර්දනය සඳහා සිදු කරන එන්නත්කරණය ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බවට වෛද්‍ය විද්‍යාත්මක ව තහවුරු කර තිබියදීත් මෙසේ ජනතාව ඒ ගැන උනන්දු නො වීම තුළින් සමාජය යළි ව්‍යසනයක් කරා යා හැකි බව යි විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේ.

පළමු (1) සහ දෙවැනි (2) මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස තුන්වැනි (3) රැල්ලේ දී මරණ අනුපාතිකය සහ සංකූලතා ඇති වීම ඉතා අඩු මට්ටමක පැවති බව සඳහන් කරන වෛද්‍යවරයා, මාස හයක් (6) පමණ ගතවීමෙන් පසු කෙමෙන් අඩුවෙන ප්‍රතිශක්තිකරණය හමුවේ, නැවත රැල්ලක් පැමිණිය හොත් තත්ත්වය අවදානම් බව ප්‍රකාශ කරනවා ෴

++++++++++++

තවත් කොවිඩ් ආසාදිතයින් 677 දෙනෙකු වාර්තා වෙයි

(14.01.2022 – 20:38 +0530 – hirunews.lk/sinhala)

මෙරට තවත් පුද්ගලයින් 677 දෙනෙකුට COVID-19 ආසාදිත බව වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 5,94,996 දක්වා ඉහළ යනු ඇති.

දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන මුළු රෝගීන් සංඛ්‍යාව 11,935 ක් වන අතර, අද (14) දින සුවය ලැබූ ආසාදිතයින් 171 දෙනෙකු රෝහල්වලින් පිට ව ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව මෙරටින් සුවය ලැබූ මුළු සංඛ්‍යාව 5,67,871 ක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *