සති අන්තයේ කොළඹ බෝඩිං වැටලීමේ සූදානමක් ?

සති අන්තයේ කොළඹ බෝඩිං වැටලීමේ සූදානමක් ?

*********************************************

සති අන්තයේ කොළඹ බෝඩිං වැටලීමේ සූදානමක් ?

(13.01.2022 – 18:01 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අවට ප්‍රදේශවල නවාතැන්ගෙන සිටින සියලු තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

මෙහිදී කොළඹ නියෝජ්‍ය පොලිස්පති බල ප්‍රදේශය (කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය) තුල ස්ථිර පදිංචිකරුවන්ගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන, ආයතන, රාජ්‍ය හෝ පෞද්ගලික පරිශ්‍රයන්, ඉදිකිරීම් භූමි ආදියෙහි නවාතැන්ගෙන සිටින සියලු තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු ලබාගනු ඇති.

හෙට (14) සහ 15, 16 යන තෙදින තුල මෙම වැඩසටහන ක්‍රියාවට නංවන බවයි පොලිසිය කියාසිටියේ.

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමත් කොළඹ නගරයේ අපරාධ හා මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් දුරලීමත් අරමුණු කර ගනිමින් මෙය සැලසුම් කර තිබෙනවා.

නගරයේ තාවකාලිකව පදිංචිවී සිටින දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටින පුද්ගලයන්ගේ තොරතුරු ලබාගැනීම උදෙසා ‘ජාතික ආරක්ෂාව සුරකිමු, අපරාධ මත්ද්‍රව්‍ය දුරලමු’ යන මැයෙන් බස්නාහිර පළාත් ප්‍රජා පොලිස් කොට්ඨාශයයි මෙම වැඩසටහන සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව නිවෙස්වල සිටින හෝ ඉහත සඳහන් කළ වෙනත් ස්ථානවල තාවකාලික පදිංචිකරුවන් සිටී නම් මෙම දින 3 තුල තමන් පදිංචි ප්‍රදේශයේ මංමාවත් හා වීදිවල සංචාරය කරන ප්‍රජා පොලිස් නිලධාරීන් වෙතින් හෝ ආසන්නතම පොලිස් ස්ථානයෙන් අදාළ පෝරමයක් ලබාගැනීමට හැකියාව පවතිනවා.

පොලිස් ආඥා පනතේ 76 වගන්තිය ප්‍රකාරව සකස් කර ඇති මෙම පෝරමය ලබාගෙන තම ස්ථානවල සිටින තාවකාලික පදිංචිකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු ඇතුලත් කර අදාළ පොලිස් නිලධාරීන් වෙත හෝ අදාළ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කරන ලෙසටයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

***************************************

පාලනයෙන් තොර ධාවනය තෙවැනි (3) ඇසෙහි රැඳේ – තිදෙනෙකුට (3) තුවාල

(13.01.2022 – 16:13 +0530 – hirunews.lk/sinhala)

අධික වේගයෙන් ධාවනය කළ ත්‍රිරෝද රථයක් කහතුඩුව, පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී වේගය පාලනය කරගත නොහැකිව අනතුරට පත්වන ආකාරය සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණා.

අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයින් තිදෙනෙකු (3) කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

***************************************

ආර්ථිකය හදන අලුත් ම ක්‍රමය දේශීය කර්මාන්තකරුවන් දිරි ගැන්වීමයි – විමල්

(13.01.2022 – 16:47 +0530 – hirunews.lk/sinhala)

මතුව ඇති ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ විදේශ විනිමය නිපදවිය හැකි දේශීය කර්මාන්තකරුවන් බලගැන්වීමෙන් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

ඊයේ (13) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

විදේශ විනිමය රට තුළට ගලා ඒම සැකසීමට රුපියල් 5000 දීමනා ලබාදීමෙන් නොහැකි බව පවසන අමාත්‍යවරයා කියා සිටියේ, විදේශ විනිමය රටින් පිටව යාම නතර කිරීම මෙන්ම රට තුළ ඩොලර් අර්බුදය විසඳීමට සුදුසුම ක්‍රියාමාර්ගය වන්නේ දේශීය කර්මාන්තකරුවා සවිමත් කිරීම බවයි.

ඒ සඳහා නව කර්මාන්ත ආරම්භ කරමින් මෙරට ව්‍යවසායකයින් දිරිමත් කිරීමට තම අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව ද හෙතෙම පැවසුවා.

***************************************

ළිං කටෙන් ගොඩ එන හැටි රටට උගන්වන අනුර

(13.01.2022 – 16:53 +0530 – hirunews.lk/sinhala)

නව දේශපාලන කඳවුරක් සඳහා දැන් ජනතාව පෙළ ගැසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

බණ්ඩාරගමදී පැවති ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ දේශපාලනය හේතුවෙන් මතුවී ඇති ආර්ථික අර්බුදවලට විසඳුම් සෙවිය යුත්තේ ද දේශපාලනමය වශයෙන් බවයි.

රට තුළ පැන නැගී ඇති ආර්ථික ගැටලු වන ඩොලර් අර්බුදය, ගෑස් ගැටලුව, පොහොර ආදී සියලුම දේවල් ස්වභාවික ව්‍යසන නොවන අතර, ඒවා මෙරට පාලකයින් විසින් නිර්මාණය කරන ලද ඒවා බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ හේතුවෙන් රට යළි ගොඩගැනීමට නම් පෙර ඇති ජනප්‍රිය කියමනක් වන ‘ළිඳට වැටුණු මිනිහා ගොඩ පැමිණිය යුත්තේ ළිං කටෙන් ම’ බැවින්, ඒ සඳහා නව දේශපාලනයකට අවතීර්ණ විය යුතු බව ද මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

***************************************

මිතුරාගේ ගිණුමෙන් මුදල් ඉස්සූ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

(13.01.2022 – 16:59 +0530 – hirunews.lk/sinhala)

මිතුරෙකුගේ බැංකු ගිණුමෙන් රුපියල් 80,000 ක මුදලක් වංචනික ලෙස ලබා ගත් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය වසරේ අප්‍රේල් 21 වනදා තම ගිණුමෙන් රුපියල් 80,000 ක මුදලක් සොරකම් කර ඇති බවට යක්කලමුල්ල පොලිස් ස්ථානයේ රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයෙකු සිදුකළ පැමිණිල්ලකට අනුවයි මෙම සැකකරු ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සොරකම සිදුවන කාලසීමාවේදී සැකකරු සහ පැමිණිලිකරු මිතුරන් ලෙස යක්කලමුල්ල පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු සිදුකර තිබෙනවා.

පැමිණිල්ලට අනුව ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි ඒ.ටී.එම්. යන්ත්‍ර මගින් අදාළ සැකකරු මුදල් ලබා ගන්නා ආකාරය නිරීක්ෂණය වී ඇත්තේ ෴

***************************************

හිටපු ජනපති ඝාතන සැලැස්මක් ගැන දයාසිරි කියයි

(13.01.2022 – 20:39 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිරගත කිරීමේ සැලැක්මක් ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ හිරු ප්‍රවෘත්ති සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර, ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පාර්ශ්ව රැසක් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කළා.

***************************************

මහ බැංකු අධිපතිට මන්ත්‍රී හර්ෂගෙන් ප්‍රතිචාර

(13.01.2022 – 20:49 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආර්ථිකය යථාවත් කර ගැනීමට සහයක් ලෙස ඉන්දියාව අමෙරිකානු ඩොලර් මිලියන 900 ක මුදල් පහසුකමක් ලබා දී තිබෙනවා.

මේ අතර මහ බැංකු අධිපතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳව පළ කළ අදහස් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා අද (13) ප්‍රතිචාර දැක්වුවා.

ඔහු සඳහන් කළේ මේ අවස්ථාවේදී සිදුකළ යුත්තේ ණය ආපසු ගෙවීම නොව ප්‍රතිව්‍යුහගත කිරීම බවයි.

මේ අතර, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන් අතර අද (13) පස්වරුවේ හමුවක් පැවැත්වුණා.

මෙරට විදෙස් මුදල් සංචිතය ප්‍රකෘති කිරීම සඳහා ඉන්දියාව අමෙරිකානු ඩොලර් මිලියන 900 ක පහසුකමක් ලබා දීමට එහිදී එකඟ වී තිබෙනවා.

ඊට අමෙරිකානු ඩොලර් මිලියන 400 ක මූල්‍ය හුවමාරු පහසුකමක් ඇතුළත්.

ශ්‍රී ලංකාව විසින් ආසියානු නිෂ්කාශන බේරුම්කරණ රාමුව යටතේ ඉන්දියාවට ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මුදල් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කිරීමට ද පියවර ගත් බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.

මේ අතර, රාජ්‍ය නිලධාරීන්ට සහ විශ්‍රාමිකයන්ට රුපියල් 5000 ක මාසික දීමනාවක් ලබාදීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවාල පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අද (13) නිකුත් කළා.

ඒ අනුව මාසික වැටුප් ලබන ස්ථිර, තාවකාලික, කොන්ත්‍රාත් පදනම යටතේ සිටින රාජ්‍ය නිලධාරීන්, දෛනික වැටුප් ලබන නිලධාරීන් හා විශ්‍රාමිකයින් හට මෙම දීනාමනාව හිමිවනු ඇති.

***************************************

කළු කඩ ජාවාරමට වැට බැඳෙන හැටි වෙළෙඳ ඇමති කියයි

(13.01.2022 – 22:34 +0530 – hirunews.lk/sinhala)

ලංකා සතොස ව්‍යාප්තිය මඟින් කළු කඩ ජාවාරමට වැට බැඳෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (13) බලපිටිය ලංකා සතොස නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාව සඳහා එක් වෙමින්.

ඔහු කියාසිටියේ රජයේ ආයතනයක් වශයෙන් ලංකා සතොස ක්‍රියාත්මක වුවත්, එමඟින් ලබා දෙන සෑම සහනයක්ම පාරිභෝගික ජනතාව වෙනුවෙන් ලබා දීමේ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් ඉටු කරන ලද බවයි.

වසර 07 කට පසුව ලංකා සතොස ලාභ ලැබීමේ තත්වයට පත් කිරීමට සහ ආයතනයේ ක්‍රියාවලිය නිසි නියාමනයකට ලක් කිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත පවරා දුන් වගකීම අනුව දේශීය ව්‍යවසායකයින් හා රජයේ ආයතන සමඟ එක්ව මාස 16 ක දැඩි කැපවීමකින් පසුව, පසුගිය දෙසැම්බර් මස තුළ පමණක් රු. මිලියන 45 ක ශුද්ධ ලාභයක් ලැබීමට සමත් වූ බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

එමෙන්ම දේශීය ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින්, මෙරට නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ ද, එම තීන්දුව අතකොළුවක් කර ගනිමින් සහල් මිල කෘතිමව ඉහළ නැංවීමට වෙළෙඳුන් කටයුතු කිරීම හමුවේ ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් වන සහල්, ආනයනය කිරීමට සිදු වූ බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ලංකා සතොස විසින් ජනතාවගේ සෞඛ්‍යයට මෙන්ම පරිසරයට හිතකර වන සබන්, ජල බෝතල්, මුහුණු ආවරණ වැනි විවිධ දේශීය නිෂ්පාදන සිදු කළ බව ද ඔහු කියසිටියා.

ඒ අනුව, බහුජාතික සමාගම් විසින් ජනතාවගේ සෞඛ්‍යයට මෙන්ම පරිසරයට අහිතකර වන අන්දමින් හා ලාභ ලැබීමේ අරමුණින් සිදු කරන ලද නිෂ්පාදනයන් පිළිබඳව ජනතාව තුළ දැනුවත් බවක් ඇති වී තිබෙන බවයි පෙන්වා දුන්නේ.

රටක් දියුණු කිරීමට නම් අනිවාර්යෙන්ම රජයේ මැදිහත් වීමෙන් සෞඛ්‍යාරක්ෂිත හා පරිසරයට හිතකර ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු අතර ජනතාව විසින් එම ව්‍යාපෘති පිළිබඳව නිසි දැනුවත් වීමෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බව ද වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළා ෴

***************************************

ඇඟලුම් කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථ දෙකක් (2) අනතුරක – පිරිසක් රෝහලේ

(13.01.2022 – 23:00 +0530 – hirunews.lk/sinhala)

කැබිතිගොල්ලෑව කැලෑපුලියන්කුලම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ඇඟළුම් කම්හල් සේවිකාවන් 8 දෙනෙකු ඇතුලු 9 දෙනෙකු තුවාල ලබා තිබෙනනවා.

අද (13) පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ කැලෑපුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර අසලදීයි.

ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කළ සේවිකාවන් පිරිසක් සේවා මුරය අවසන්ව රැගෙන යමින් සිටි අවස්ථාවේ එම සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථ දෙකක් (2) සහ ටිපර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

සේවිකාවන් ප්‍රවාහනය කළ එක් බස් රථයක් ඉදිරියෙන් සුනඛයෙකු (බල්ලෙකු) මාර්ගය හරහා ගමන් කර ඇති අතර එහිදී එම බස් රථය හදිසියේ නතරකර ඇතැයි සඳහන්.

අනතුරුව පසුපසින් පැමිණි ටිපර් රථයක් එම බසයේ ගැටී ඇති අතර එම ටිපර් රථයේ පිටුපසින් සේවිකාවන් ප්‍රවාහනය කළ තවත් බස් රථයක් ගැටී තිබෙනවා.

මෙම අනතුරින් පසුපසින් පැමිණි බස් රථයේ ගමන් කළ සේවිකාවන් 8 දෙනෙකු සහ රියදුරා තුවාල ලබා ඇති අතර ඔවුන් වහාම තම ගිලන් රථ යොදවා රෝහල්ගත කිරීමටයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පියවර ගෙන ඇත්තේ.

තුවාල ලැබූවන් වව්නියාව රෝහලට ඇතුලත් කර ඇති අතර කිහිපදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මෙම අනතුර සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

***************************************

බලධාරි ඇස නො ගැටුණු දෙමුවාත සිප්බිම

(13.01.2022 – 16:08 +0530 – hirunews.lk/sinhala)

දුෂ්කර යැයි සම්මත පාසල්වල අධ්‍යපාන ගැටලුවලට බලපන්නේ ඒ ප්‍රදේශවල පාරිසරික ගැටලු පමණක් නොවෙයි.

බලධාරීන් මෙන්ම නිලධාරීන්ගේ නොසැළකිල්ල නිසා අධ්‍යාපනය විනාශ වෙමින් පවතින දෙමුවාත විද්‍යාලයේ දරු දැරියන් මුහුණ දෙන ගැටලු පිළිබඳවයි අද (13) අනාවරණය.

මේ රක්වාන දෙමුවාත මහා විද්‍යාලයේ සිසු දැරියන් අධ්‍යාපනය හදාරන ආකාරයයි.

ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයට අයත් දුෂ්කර පාසලන් වන මෙම විද්‍යාලයේ පලමු (1) ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා දරුවන් 750 ක් පමන ඉගෙනුම ලබනවා.

ඉතා අවම පහසුකම් යටතේ වුව ද ක්‍රීඩාවට මෙන්ම ඉගෙනුමටත් මෙම දරුවන් විශිෂ්ඨ දස්කම් පෙන්වන්නේ තම සහජ කුසලතාවලින්.

දීර්ඝ කාලයක් තිස්සේ පවතින පාසල් ගොඩනැගිලි හිඟය නිසා දෙමුවාත පාසලේ සිසුන් මෙන්ම ගුරුවරුන් ද පත්ව ඇත්තේ දැඩී අසීරුතාවයකටයි.

පවතින ගොඩනැගිලි හිඟය හේතුවෙන් පන්ති කිහිපයක්ම පැවත්වීමට සිදුව ඇත්තේ පාසල් ක්‍රීඩාගාරයේයි.

වසර ගනණාවකින් කිසිදු ගොඩනැගිල්ලක් රජයෙන් සිය දරුවන්ට ලබා නොදුන් නිසාවෙන් දෙමාපියන් සිය වියදමින් ද ගොඩනැගිලි ඉදිකර ඇතත් ඒවා ප්‍රමාණවත් නොවන බවයි දෙමාපියන් පවසන්නේ.

නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට මුල්ගල් තබා ඉදිකිරීම් ආරම්භ කර තිබුනද එය අතරමග නතර වී වල් බිහි වී ඇත්තේ මෙලෙසින්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *