දුම්රිය ස්ථානාධිපතිවරුන් විශේෂ වෘත්තීය ක්‍රියාමාර්ගයක

දුම්රිය ස්ථානාධිපතිවරුන් විශේෂ වෘත්තීය ක්‍රියාමාර්ගයක

*********************************************

දුම්රිය ස්ථානාධිපතිවරුන් විශේෂ වෘත්තීය ක්‍රියාමාර්ගයක

(13.01.2022 – 06:22 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ පැය 24 ක හදිසි වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් රැසක් අපහසුතාවට පත්වුණා.

එමෙන්ම දුම්රිය වර්ජනය හේතුවෙන් ගමන් වාර 200 ට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර ධාවනය සිදුවන්නේ ගමන් වාර 80 ක් පමණයි.

ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ ඇරඹි හදිසි වර්ජනය හේතුවෙන් ඇතැම් දුම්රිය ගමනාන්තය දක්වා ගමන් කිරීමට පෙර අතරමඟ නතර කිරීම හේතුවෙන් මගීන් රැසක් අපහසුතාවයට පත්වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

මධ්‍යම රාත්‍රියේ වර්ජනය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණත් ඊට පෙර දුම්රිය ස්ථානවලින් ස්ථානාධිපතිවරුන් ඉවත්ව යාම හේතුවෙන් කැකිරාව, හබරණ සහ මහනුවර යන ප්‍රදේශවලදී දුම්රිය කිහිපයක් මගීන් සමග මග නතර කෙරුණු බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර දුම්රිය කැකිරාව දුම්රිය ස්ථානය ආසන්නයේ නතර කර තිබියදී කිසියම් පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

සංඥා දෝෂයක් හේතුවෙන් මෙම දුම්රිය නවතා ඇති අතර ඒ වනවිට එහි විශාල මඟීන් සංඛ්‍යාවක් සිට තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කරනු ලැබුවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් ද අපහසුතාවට ලක් වූ බවයි හැටන් හිරු වාර්තාකරු සදහන් කළේ.

කෙසේ වෙතත්, සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (13) රාත්‍රී 12 තෙක් ක්‍රියාත්මක කරන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කොළඹ දී අද (13) මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කළේ.

මේ අතර, දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ කියා සිටියේ දුම්රිය ස්ථානාධිපති සංගමයේ නියෝජිතයෙකුගෙන් රියදුරන්ට තර්ජන එල්ල වී ඇති බවයි.

මේ අතර ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (13) පැවති මාධ්‍ය හමුවකදී මෙම දුම්රිය වර්ජනය පිළිබඳව ප්‍රශ්න කෙරුණා.

+++++++++

අද (13) පස්වරුවේ දුම්රිය ගමන්වාර 43 ක්

(13.01.2022 – 17:02 +0530 – hirunews.lk/sinhala)

කාර්යාල දුම්රිය ද ඇතුළුව දුම්රිය ගමන්වාර 43 ක් අද (13) පස්වරුවේ ධාවනයට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසනවා.

ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 14 ක්, මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 20 ක්, පුත්තලම මාර්ගයේ ගමන්වාර 4 ක් මෙන්ම කැළණිවැලි මාර්ගයේ දුම්රිය 3 ක් ධාවනය කෙරෙන බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව, කාර්යාල දුම්රිය ද ඇතුළුව දුම්රිය ගමන්වාර 43 ක් ධාවනය කිරීමට පියවර ගන්නා බවයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ පැය 24 ක හදිසි වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර 200 ක් පමණ අවලංගු කෙරුණා.

දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ඇරඹූ දීප ව්‍යාප්ත හදිසි වැඩ වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මකයි.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ, මේ හේතුවෙන් දුම්රිය ගමන් වාර 200 ක් පමණ අවලංගු කිරීමට සිදුව ඇති බවයි.

මේ අතර ස්ථානාධිපති සංගමයේ කණ්ඩායමක් තමන්ට පහරදීමක්ද සිදුකළ බවට වර්ජනයට සහය නොදෙන දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය චෝදනා කරනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපති සංගමය දිප ව්‍යාප්ත හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිටයි.

කෙසේ වෙතත් කාර්යාල දුම්රිය ගමන් වාර 40 ක් පමණ අද (13) පෙරවරුවේ ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණත්, ඒවා ප්‍රමාණවත් නොවීමෙන් මගින්ට සිදුවුණේ දුම්රියේ එල්ලී ගමන් කිරීමටයි.

මෙම හදිසි වර්ජනය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ධාවනය වෙමින් තිබූ ඇතැම් දුම්රිය පවා අතරමග නවතා දමා තිබූ අතර ඉන් මගීන් පත්වුණේ දැඩි පීඩාවකටයි.

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය රාත්‍රී 1 ට පමණ මහනුවරදී නවතා දමා තිබුණා.

දුම්රිය වාර අවලංගු වීමත් සමග ශ්‍රී පාද වන්දනාව සඳහා එක්වූ පිරිසක්ද අසීරුතාවට පත්ව සිටියා.

නොදන්න්වා සිදුකළ හදිසි වර්ජනයත් සමඟ බොහෝ ප්‍රදේශවල දුම්රිය මගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටියා ෴

++++++++

දුම්රිය ස්ථානාධිපති සංගමයේ වර්ජනය තවදුරටත් – වර්ජනය මැද ගමන්වාර 43 ක්

(13.01.2022 – 20:07 +0530 – hirunews.lk/sinhala)

තෛපොංගල් උත්සවය හෙටට යෙදී ඇති මොහොතක, දීර්ඝ සති අන්ත නිවාඩුවක්ද එළැඹෙද්දී දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල කරමින් දුම්රිය ස්ථානාධිපති සංගමය ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ හේතුවෙන් ඊයේ (12) රාත්‍රියේ සිටම මගී ජනතාව දැඩි අපහසුතාවකට පත්වුණා.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක හදිසි සංකේත වර්ජනයක් ආරම්භ කළා.

මේ හේතුවෙන් දුම්රිය ගමන් වාර 200 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර, අද (13) දිනයේදී ධාවනය වන්නේ ගමන්වාර 85 ක් පමණයි.

කාර්යාල දුම්රිය ද ඇතුළුව දුම්රිය ගමන්වාර 43 ක් අද (13) පස්වරුවේ ධාවනයට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළා.

ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 14 ක්, මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 20 ක්, පුත්තලම මාර්ගයේ ගමන්වාර 04 ක් මෙන්ම කැළණිවැලි මාර්ගයේ දුම්රිය 03 ක් ධාවනය කෙරෙන බවයි ඔහු සඳහන් කළේ.

ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ ඇරඹි මෙම හදිසි වර්ජනය හේතුවෙන් ඇතැම් දුම්රිය ගමනාන්තය දක්වා ගමන් කිරීමට පෙර අතරමඟ නතර කිරීම හේතුවෙන්ද මගීන් රැසක් අපහසුතාවයට පත්වුණා.

මධ්‍යම රාත්‍රියේ වර්ජනය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණත් ඊට පෙර දුම්රිය ස්ථානවලින් ස්ථානාධිපතිවරුන් ඉවත්ව යාම හේතුවෙන් කැකිරාව, හබරණ සහ මහනුවර යන ප්‍රදේශවලදී දුම්රිය කිහිපයක් මගීන් සමග අතරමග නතර කෙරුණා.

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (13) රාත්‍රී 12 ට අවසන් කිරීමට පියවර ගන්නා බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියා.

වරින්වර පෙර දැනුම්දීමකින් තොරව ක්‍රියාත්මක මෙවැනි වර්ජන හේතුවෙන් අපහසුතාවයට පත්වන්නේ මගී ජනතාවයි.

***************************************

නිවාස හා වෙළෙඳසල් බිඳ දේපොළ සොරාගත් සැකකරුවෙකු අත් අඩංගුවට

(13.01.2022 – 07:24 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම පොලිස් වසමේ පිටිපන දකුණ ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකින් මොරගහහේන හා හෝමාගම පොලිස් වසම්වල නිවාස හා වෙළෙඳසල් බිඳ දේපොළ සොරාගත් සැකකරුවෙකු අත් අඩංගුවට පත් වී තිබෙනවා.

මොහු මීට පෙර ද මෙවැනි සොරකම් ගණනාවකට ම සම්බන්ධ බව පොලිසිය වාර්තා කරනවා.

අත් අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 36 ක පිටිපන දකුණ – හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද (13) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වී ඇති අතර, සිදුවීම සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ හෝමාගම පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති.

මේ අතර, මෙවැනි ම ආකාරයේ සොරකම්වලට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක ද අත් අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිස් අපරාධ විමර්ශන අංශය සමත් වී තිබෙනවා.

කහතුඩුව පොලිස් වසමට අයත් නිවාස හා දේපොළ සොරකම් කිරීම නිසායි මෙම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට පත් වී ඇත්තේ.

මොවුන් දෙදෙනාට මීට පෙර මෙවැනි සොරකම් සම්බන්ධ ව බලපිටිය මගහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු තුනක් ද නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.

අත් අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 16 ක තරුණියක් හා වයස අවුරුදු 42 ක කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

මොවුන් අද (13) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කහතුඩුව පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති ෴

***************************************

ගිනිඅවි ළඟ තබාගත් පුද්ගලයින් තිදෙනකු ගෙවුණු පැය 24 තුළ පොලිස් අත්අඩංගුවට

(13.01.2022 – 07:37 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල දී නීතිවිරෝධි කටයුතුවල යෙදුණු පුද්ගලයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව බලංගොඩ පොලිස් වසමේ කහටපිටිය ප්‍රදේශයේ දී බලංගොඩ පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඊයේ (12) පෙරවරුවේ දී බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි වියෙහි පසු වූ පුද්ගලයෙකු වන අතර, ඔහු කහටපිටිය – බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරු ඉදිරි නීතිමය සහ අධිකරණමය කටයුතු සඳහා අද (13) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, කිතුල්ගල – අම්පාන ප්‍රදේශයේ දී ඊයේ (12) පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත්තේ, ඔහු සන්තකයේ තබාගෙන සිටි ගිනි අවියක් ද සමගින්.

පොලිස් භාරයට ගැනුණු එම ගිනිඅවිය මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් බවටයි සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි වී ඇත්තේ.

43 හැවිරිදි අම්පාන ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු වන මෙම සැකකරු අද (13) රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම, රඹුක්කන පොලීසිය විසින් පුද්ගලයෙකු කන්සලගමුව ප්‍රදේශයේ දී පොලීසියට ලද තොරතුරකට අනුව අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගිනිඅවි 03 ක් නීතිවිරෝධීව ළඟ තබා ගැනීමේ චෝදනාව මතයි.

පොලීසිය විසින් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම ගිනිඅවි 03 ම මෙරට නිෂ්පාදිත ගිනිඅවි බවයි.

කිරිවල්ලාපිටිය – රඹුක්කන ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු 37 හැවිරිදි වියෙහි පසුවන්නෙකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

අදාළ සැකකරු අද (13) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

පැරෂුට් එකකින් වැටී විදේශිකයෙකුට තුවාල

(13.01.2022 – 07:48 +0530 – hirunews.lk/sinhala)

ගලහා පොලිස් වසමේ ලූල්කදුර ප්‍රදේශයේ සිට පැරෂුට් එකකින් ගමන් කරමින් සිටි රුසියානු ජාතිකයෙකු අනතුරකට මුහුණ පා තිබෙනවා.

ඔහුගේ පැරෂුටය රැලිමංගොඩ ප්‍රදේශයට ගොඩබාමින් තිබිය දී අඩි 30 ක් පමණ උස ගසක පැටලීමෙනු යි මෙම අනතුර සිදු වී ඇත්තේ.

තුවාල ලැබූ විදේශිකයා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

***************************************

වැලි හිඟයක් ගැන පරිසර ඇමති කියයි

(13.01.2022 – 08:06 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී වැලි හිඟයක් ඇතිවිය හැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

අමාත්‍යාංශයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ එසේ වුවහොත් ගැඹුරු මුහුදෙන් වැලි ලබා ගැනීමට සිදුවනු ඇති බවයි ෴

***************************************

අතුරුදන් බව කියූ මහරගම දැරිය, සුරක්ෂිතව මෙහෙණි අරණක

(13.01.2022 – 08:24 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 07 වැනිදා සිට අතුරුදන් බවට වාර්තා වූ මහරගම – නාවින්නේ පදිංචි 15 හැවිරිදි දැරිය ඇයගේ මව මුණ ගැසීමට පැමිණ තිබෙනවා.

ඒ, මවට දුරකතන ඇමතුමක් ද ලබාදීමෙන් අනතුරුවයි.

ඇය මවට දුරකතන ඇමතුම ලබා දී ඇත්තේ ඇය ආගිය අතක් නොමැති බවට පොලිසියෙන් කළ දැනුවත් කිරීමට අනුව ප්‍රචාරය වූ මාධ්‍ය වාර්තා දැකීමෙන් පසුව වීම ද විශේෂත්වයක්.

මව විසින් කළ පැමිණිල්ලකට අනුවයි පොලිසිය අදාළ වාර්තාව නිකුත් කළේ.

ඒ අනුව දැරිය කුරුණෑගල ප්‍රදේශයේ සිට මව හමුවීමට පැමිණ ඇති අතර, ඇයගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විමර්ශන මෙහෙය වන උසස් නිලධාරියෙකු සඳහන් කළේ පසුගිය 07 වැනිදා සිට මව හමුවීමට පැමිණෙන තෙක්ම දැරිය මෙහෙණින් වහන්සේලා රැඳී සිටින ස්ථානයක කාලය ගතකර ඇති බවයි.

යම් කලකිරීම් තත්ත්වයක් නිසා ඇය එහි ගොස් රැඳී සිට ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා ෴

***************************************

සම්පූර්ණ ධාරිතාවයෙන් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ සූදානමක්

(13.01.2022 – 08:42 +0530 – hirunews.lk/sinhala)

දැනට පවතින ප්‍රායෝගික ගැටලු කිහිපයක් විසඳාගත් වහාම සමස්ත ධාරිතාවයෙන් යුතුව සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

කෙසේ වෙතත්, මේ වනවිටත් 50% ක ධාරිතාවයකින් යුතුව ශිෂ්‍යයින් සරසවි සඳහා කැඳවීමට පියවර ගෙන ඇති බවයි එම කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග කියා සිටියේ.

එහෙත් සම්පූර්ණ ධාරිතාවයෙන් වහාම විශ්වවිද්‍යාල විවෘත කිරීමට පියවර ගන්නා ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

කෙසේ වෙතත්, විභාග පැවැත්වීම හා ඔන්ලයින් අධ්‍යාපන කටයුතු මෙන්ම නවක සිසුන් බඳවා ගැනීම් ආදී කටයුතු ද මේ වනවිට විශ්වවිද්‍යාල තුළ සිදු කරමින් පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ලබන සතියේදී උපකුලපතිවරුන් සමග එක්ව පැහැදිලි කිරීමක් ද සිදු කරන බවයි ෴

***************************************

පාර්ලිමේන්තුවේ විශේෂ පෙරහුරුවක් අද (13)

(13.01.2022 – 08:52 +0530 – hirunews.lk/sinhala)

නව (9) වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කිරීමේ උත්සවයේ විශේෂ පෙරහුරුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (13) පැවැත්වෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා.

එම උත්සවයේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මෙම පෙරහුරුව පවත්වන බවයි ඔහු කියා සිටියේ.

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබන 18 වැනිදා විවෘත කිරීමට නියමිතයි.

ජනාධිපතිවරයා ඉදිරිපත් කරන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණා.

ඒ අනුව ලබන 19 සහ 20 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වෙනු ඇති ෴

***************************************

අසරණයෙකුට මරු කැඳවූ අනතුර

(13.01.2022 – 09:27 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ වත්ත ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක මුවෙක් හැපී අනතුරක් සිදු වී තිබෙනවා.

මාර්ගය හරහා එක් වරම මුවා මාරු වීමට උත්සාහ දරා ඇති අතර, එම අවස්ථාවේ දීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් මුවා එම ස්ථානයේදී ම මියගොස් ඇති අතර, කැබ් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

මොණරාගල සෞඛ්‍ය සේවා කාර්යාලයට අයත් කැබ් රථයක් මෙලෙස අනතුරට ලක් වී ඇති අතර, අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විමර්ශන සිදු කරනවා ෴

***************************************

අධිවේගයේ පොලිස් ලොක්කාට සීතල මාරුවක්

(13.01.2022 – 09:43 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමේ පොලිස් ස්ථානාධිපතිවරයා, බීමත් තම මිතුරු පුද්ගලයෙකුට අනිසි ලෙස සහායක් දැක්වීමේ සිදුවීමක් පිළිබඳ වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍යය හා ජනමාධ්‍යය හරහා දක්නට ලැබුණා.

මෙම බීමත් රියදුරා අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා සමඟ එකට ම මත්පැන් පානය කර තිබූ අතර, එය අවසාන වී තම මෝටර් රථයෙන් පිටත් වූ බීමත් පුද්ගලයා ව ඉමදූව පිවිසුම අසල දී පොලිස් නිලධාරින්ගේ පරීක්ෂාවට ලක් වී තිබුණා.

නමුත් ඉමදූව අධිවේගයේ ස්ථානාධිපතිවරයා රාජකාරියේ නියුතු නිලධාරින්ට දුරකතන ඇමතුමක් ලබා දී අසභ්‍ය වචනයෙන් බැණ වැදී තිබුණේ, අදාළ බීමත් රියදුරාව මුදාහරින ලෙස පවසමින්.

මෙය කලකට පෙර සිදු වූ සිද්ධියක් වුව ද ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නෑ.

නමුත් එම වීඩියෝ පටය සමාජයට විවෘත වීමත් සමඟ හිරු ප්‍රවෘත්ති අංශය දිගින් දිගට ම පොලිස් ඇමතිවරයා ඇතුළු වගකිව යුතු බලධාරින්ට ඒ බව දැනුවත් කළා.

පසු ව සිදු කළ විමර්ශනවලින් අනතුරු ව අදාළ ස්ථානාධිපතිවරයා ව නුවරඑළියට ස්ථාන මාරු කර ඇති බව වාර්තා වෙනවා.

නිල බලය අනිසි ලෙස භාවිත කරන පොලිසියේ මෙන් ම සෙසු සෑම අංශයක ම පුද්ගලයින්, අධිවේගයේ ස්ථානාධිපතිට සිදු වූ විපත දෙස බලා පාඩමක් ඉගෙන ගනී වි යැයි අපි සිතමු.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *