විකෘති ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට නම් ඒකරාශී නොවන්න – සෞඛ්‍ය අංශ

විකෘති ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට නම් ඒකරාශී නොවන්න – සෞඛ්‍ය අංශ

*********************************************

විකෘති ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට නම් ඒකරාශී නොවන්න – සෞඛ්‍ය අංශ

(11.01.2022 – 14:54 +0530 – hirunews.lk/sinhala)

දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනුණු ‘ඔමික්‍රොන්’ ප්‍රභේදය මේ වනවිට රටවල් 138 ක් පුරා ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මේ අතර, සයිප්‍රසයෙන් ප්‍රථම වරට හඳුනා ගත් ‘ඩෙල්ටාක්‍රෝන්’ ප්‍රභේද ආසාදිතයින් සංඛ්‍යාව ද 35 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරට තුළ කොවිඩ් ඇතුළුව විකෘති ප්‍රභේද ව්‍යාප්තිය අවම කිරීම සඳහා අනවශ්‍ය ඒකරාශී වීම් අවම කරන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ගෙවුණු දිනයේදීත් මෙරටින් කොවිඩ් ආසාදිතයින් 436 දෙනෙක් හඳුනා ගත්තා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,92,128 ක් දක්වා ඉහළ ගියා.

කොවිඩ් ව්‍යාප්තිය අවම කිරිම සඳහා පුද්ගලයන් වශයෙන් අනවශ්‍ය ඒකරාශීවීම් අවම කර වගකිම් සහිත හැසිරීමකින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, දකුණු අප්‍රිකාවෙන් ප්‍රථම වරට හඳුනා ගත් ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වනවිට ලොවපුරා රටවල් 138 ක ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

වෛරස ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එන්නත්කරණයට යොමු වන ලෙසයි එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, සයිප්‍රසයෙන් ප්‍රථම වරට හඳුනා ගත් ඩෙල්ටා සහ ඔමික්‍රෝන් ප්‍රභේද එකතුවෙන් නිර්මාණය වන ඩෙල්ටාක්‍රෝන් ප්‍රභේද ආසාදිතයින් සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එරට සමස්ත ඩෙල්ටාක්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 35 ක් ලෙසයි දැක්වුණේ.

මේ අතර, අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා.

එරට ප්‍රාන්ත 27 කින් දෛනිකව වාර්තා වන ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (10) 6000 සීමාව ඉක්මවා ගියා.

මේ අතර, තම රටවල් තුළ පනවා ඇති සංචාරණ සීමාවලට එරෙහිව රටවල් කිහිපයක ජනතාව දැවැන්ත උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.

බෙල්ජියම, ජර්මනිය සහ නෙදර්ලන්තයේ එලෙස උද්ඝෝෂණ පැවැත්වුණේ මෙලෙසින්…

++++++++++++

කොරෝනා ආසාදිතයින් 149 ක් සුව අතට

(11.01.2022 – 11:19 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 149 ක් අද(11) දින පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව, සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව, මෙරට කොරෝනා අසාදිතව සිට සුවය ලැබූ මුළු ගණන 5,67,077 ක් දක්වා ඉහළ යනු ඇති ෴

+++++++++++

තවත් කොරෝනා මරණ 15 ක්

(11.01.2022 – 20:54 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 15 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (10) තහවුරු කර ඇති බවයි .

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොරෝනා මරණ ගණන 15,149 ක් ෴

++++++++++++

විශේෂ එන්තන්කරණ සතියක්

(11.01.2022 – 20:58 +0530 – hirunews.lk/sinhala)

අද (11) සිට එළඹෙන 17 වනදා දක්වා විශේෂ එන්තන්කරණ සතියක් ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

එහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ අමතර එන්නත්කරණ මධ්‍යස්ථාන 04 ක් ආරම්භ කිරීමට සැළසුම වී තිබෙනවා.

ඒ අනුව එන්නත්කරණය සිදුකරන සෑම රෝහල්වල තුළම රාත්‍රී 08:00 දක්වා එම එන්නත්කරණ මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කෙරෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේ ෴

මේ අතර ඊයේ (11) මෙරටින් කොරෝනා ආසාදිතයන් 623 දෙනෙකු හඳුනා ගත් අතර, පෙරේදා (10) සිදු වූ බවට තහවුරු කෙරුණු කොරෝනා මරණ සංඛ්‍යාව 15 ක්.

මේ මස 11 වනදා සිට 17 වනදා දක්වා එන්න්තකරණ සතිය ප්‍රකාශයට පත් කර ඇති අතර, එහිදී කොරෝනා මර්දන එන්නත් පළමු, දෙවන හෝ තුන්වන මාත්‍රා ලබාගැනීමේ හැකියාව පවතිනවා.

එන්නත් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන ඇතැම් කරුණු පිළිබඳව බියවිය යුතු නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළා ෴

+

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

කලාප ලෙස වෙන් කොට පැයක (1) කාලයකට විදුලිය කැපෙයි

(12.01.2022 – 07:51 +0530 – hirunews.lk/sinhala)

කලාප ලෙස වෙන් කොට පැයක (1) කාලයක් විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ ඊයේ (11) දින සියට ක්‍රියාත්මක වන පරිදි යි.

මේ අනුව සවස 05:30 සිට රාත්‍රී 09:30 දක්වා අතර කාලයේ දී පැයක (1) කාලයක් සඳහා විදුලිය විසන්දි වෙනු ඇති.

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයක සිදු වූ බිඳවැටීමක් හේතුවෙනු යි මෙම විදුලි කප්පාදුවට මුහුණ දීමට සිදු වී ඇත්තේ.

මේ බව ඊයේ (11) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය – කැබිනට් සම ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ තවමත් ප්‍රකාශ කරන්නේ විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.

***************************************

අධිවේගී මාර්ගයේ දිගු කලක සිට සිදු වූ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය

(12.01.2022 – 08:01 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සීදුව පිටවීමේ දොරටුව අසල රාජකාරි කටයුතු සිදු කරනු ලබන විශේෂ කාර්ය බලකා නිලධාරින්ට ලද තොරතුරක් අනුව සිදු කරන ලද සෝදිසි කිරීමක දී ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු ඊයේ (11) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය මුල්ලේරියාව ප්‍රදේශයේ සිට හලාවතට රැගෙන යමින් තිබී ඇති අතර, එය මෝටර් රථයකින් ප්‍රවාහනය කෙරෙමින් තිබියදීයි, මෙලෙස පොලිස් අත්අඩංගුවට ගැනුණේ.

සැකකරු සන්තකයේ තිබී සොයාගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් ලක්ෂ හයකට (6) අධික වන අතර, එහි තිබී කිලෝග්‍රෑම් 4 කට අධික තොගයක් සොයා ගැනුණා.

මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36 ක් වූ මුල්ලේරියාවේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

මෙම තැනැත්තා දිගු කලක සිට අධිවේගී මාර්ගය භාවිත කරමින් මෙලෙස කේරළ ගංජා ප්‍රවාහනය කර ඇති බවටයි ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සීදුව පොලීසිය විසින් සිදු කරනු ලබනවා.

***************************************

ප්‍රදේශ රැසකට ඊයේ (11) විදුලිය බිඳ වැටේ

(12.01.2022 – 08:06 +0530 – hirunews.lk/sinhala)

ජාතික පද්ධතියට විදුලිය සැපයෙන කැළණිතිස්ස බලාගාරය අසල පිහිටි පෞද්ගලික බලාගාරයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් ප්‍රදේශ රැසකට ඊයේ (11) පස්වරුවේ විදුලිය බිඳ වැටුණා.

ගල්කිස්ස, රත්මලාන, නුගේගොඩ, මහරගම, බොරලැස්ගමුව, වත්තල, කැකිරාව, අකුරැස්ස, දික්වැල්ල සහ බිබිල ඇතුලු ප්‍රදේශ රැසකට මෙලෙස විදුලි බලය ඇණහිටි බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් කියා සිටියේ.

පසුව පැයකට ආසන්න කාලයක් ගතවීමෙන් අනතුරුව විදුලිබලය යථා තත්ත්වයට පත් කර තිබුණා.

කෙසේ වෙතත් ඊයේ (11) විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළා.

දෛනික විදුලි ඉල්ලුම සහ සැපයුම් ධාරිතාව සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී විදුලි කප්පාදුව සිදුකරන්නේ ද යන්න සම්බන්ධයෙන් දෛනිකව තීරණය ගැනීමට අපේක්ෂා කරන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක, අතිරේක ලේකම්, සුගත් ධර්මකීර්ති කියා සිටියේ ෴

***************************************

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් පෙරවරුවේ ඇරඹේ

(12.01.2022 – 08:08 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරිම් කටයුතු අද (12) පෙරවරුවේ ආරම්භ කිරිමට නියමිතයි.

ඒ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සිදුකරන ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 510 ක්.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300 ක මුල්‍යාධාරයක් ද ලබා දී තිබෙනවා.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය මීට පෙර ඉන්දියාවට ලබාදීමට යෝජනා වී තිබු අතර වරාය වෘත්තීය සමිතිවල දැඩි විරෝධතා මධ්‍යයේ එම තීරණය අත්හැර දැමීමට රජයට සිදු වුණා.

පසුව නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරිම සඳහා වරාය අධිකාරිය වෙත පැවරුණු අතර කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරිම ඉන්දියාවට ලබාදීමට පියවර ගැණුනා.

ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරිම් කටයුතු 2024 වසර මැද භාගය වනවිට අවසන් කිරිමට නියමිතයි.

***************************************

ඉදිරි මාස 6 සඳහා අවශ්‍ය ඖෂධ ගැන සෞඛ්‍ය ඇමති වාර්තාවක් ඉල්ලයි

(12.01.2022 – 08:11 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මාස හය (6) සඳහා මෙරටට අවශ්‍ය ඖෂධ පිළිබඳ පූර්ණ වාර්තාවක් අද (12) ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව මාස 3 බැගින් වන කාර්තු දෙකකට (2) අවශ්‍ය ඖෂධ පිළිබඳ ගණනය කරමින් මෙම වාර්තාව සකස් විය යුතු බවයි ඔහු දැනුම් දී ඇත්තේ.

මෙම වර්ෂය තුළ මෙරටට අවශ්‍ය ඖෂධ සැපයුම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (11) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ‍

කොරෝනා ගෝලීය වසංගතය තුළ කුමන බාධා පැමිණිය ද ජනතාවට හිඟයකින් තොර ව ඖෂධ ලබාදීමට රජය ප්‍රමුඛත්වය ලබාදෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එහි දී අවධාරණය කර ඇත්තේ ෴

***************************************

කල් දැමුණු වැලිකඩ රැඳවියන් ඝාතන නඩුවේ තීන්දුව අද (12)

(12.01.2022 – 08:13 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 08 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව අද (12) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පසුගිය හයවනදා (06) මෙම නඩුවේ තීන්දුව ලබාදීමට නියමිතව තිබුණත් එය අද (12) දිනය දක්වා කල් දැමීමටයි ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ.

නඩුව එදින කැඳවූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ගිහාන් කුලතුංග දැනුම් දුන්නේ මෙම නඩු තීන්දුව සූදානම් කර ගැනීමට නොහැකි වූ හෙයින් එය ප්‍රකාශයට පත් කිරීම මෙලෙස කල් තබන බවයි.

2012 වසරේ නොවැම්බර් මස 09 වනදා සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වූ එමිල් රන්ජන් ළමාහේවාට එරෙහිව නීතිපතිවරයා නඩු පවරනු ලැබුවා.

***************************************

වඳුරඹ ඕ.අයි.සී.ට වෙඩි තැබීමට තැත් කළ කොස්තාපල් පලා යයි

(12.01.2022 – 08:18 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – වඳුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයා සමග උරණ වී ඔහුට වෙඩි තැබීම සඳහා උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයකු පලාගොස් ඇති බව පොලීසිය පවසනවා.

වඳුරඹ පොලිස් ස්ථානය පිහිටි භූමියේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා භූමියේ පිහිටා තිබෙන ගස් කීපයක් ඉවත් කිරීම සඳහා ලබා දී තිබූ අවසරය මත දැව සංස්ථාවේ නිලධාරීන් අද (11) එම පොලිස් භූමිය වෙත පැමිණ ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

එම අවස්ථාවේදී එම රාජකාරිය භාරව සිටි කොස්තාපල්වරයා නව ගොඩනැගිල්ල ඉඳිකරන පරිශ්‍රයට බාහිරව තිබෙන අනෙකුත් ගස් ද දැව සංස්ථාවේ සේවකයන් ලවා කපා ඉවත් කිරීමට කටයුතු කර තිබූ බවයි එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

රාජකාරි කටයුත්තක් සඳහා පැය කීපයක් පිටතට ගොස් සිටි ස්ථානාධිපතිවරයා පැමිණීමෙන් අනතුරුව පොලිස් භූමියේ තිබෙන සියලුම ගස් කපා ඉවත් කර තිබෙන අයුරු දැක කොස්තාපල්වරයා නිල කාමරයට කැඳවා දොස් පවරා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

එහිදී ස්ථානාධිපතිවරයා සමග බහින්බස් වූ කොස්තාපල්වරයා නිල කාමරෙන් පිටතට පැන “කෝ ගනින් ගිනි අවියක් මූට වෙඩි තියන්න” යැයි පවසමින් චෝදනාගාරය තුළ ගිනිඅවි බහා තිබෙන ආරක්ෂිත පෙට්ටිය අසලට ගොස් එය විවෘත කිරීමට උත්සාහ දරා ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

එහිදී සෙසු පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා කොස්තාපල්වරයාව බැරැක්කය වෙත රැගෙන ගොස් ඇති අතර, එහිදී ඔහු පලා ගොස් තිබෙනවා.

මෙලෙස පලා ගොස් ඇත්තේ යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචි ව සිටින පොලිස් කොස්තාපල්වරයෙක් ෴

***************************************

ශ්‍රීලනිපය ප්‍රමුඛ ස්වදේශවාදී ආණ්ඩුවක් හදනවා – මෛත්‍රී

(12.01.2022 – 08:47 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ ජාතිකවාදී ස්වදේශවාදී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කරගෙන යන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

මැද කොළඹ ප්‍රදේශයේ පැවති පක්‍ෂ කාර්යාලයක් ආරම්භ කරමිනු යි හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

රට දිනෙන් දින අර්බුදයකට යන බව ද ඔහු සඳහන් කළා.

හිටපු ජනපතිවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළා.

“ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරු 14 යි ඉන්නේ. සමහරු හිතනවා අපි කොහොමද ආණ්ඩුවක් හදන්නෙ කියලා? 1977 දී සිරිමාවෝ මැතිනියගේ කාලේ ශ්‍රී.ල.නි.ප. ආසන අටට (8) බැස්සා. නමුත් අද අපි ඉන්නෙ ඊට වඩා හොඳ තැනක. යහපාලන ආණ්ඩු කාලේ අපි විශාල වැඩ කොටසක් ඉටුකළා. ඒ කාලේ රජයේ නිලධාරීන් ආණ්ඩුවෙන් අස්වෙලා ගියේ නෑ.

ඒ නිසා අපි මේ උත්සාහ කරන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ ජාතිකවාදී ස්වදේශවාදී ආණ්ඩුවක් පිහිටුවීමට යි.

රට දවසින් දවස අසීරු තැනකට යනවා. ඒ අනුව නව දේශපාලන වැඩපිළිවෙළක් යටතේ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතුයි. රජයක් සාර්ථක ව පවත්වාගෙන යන්න නම් ජනතාවගේ ආශිර්වාදය සහ සහාය අවශ්‍යයි.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

+

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *