දෙහිවල මුහුදු තීරයේ අවට කිඹුලන් හයදෙනෙක් (6)

දෙහිවල මුහුදු තීරයේ අවට කිඹුලන් හයදෙනෙක් (6)

*********************************************

දෙහිවල මුහුදු තීරයේ අවට කිඹුලන් හයදෙනෙක් (6)

(11.01.2022 – 19:17 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල මුහුදු තීරයේදී කිඹුලෙකු පිළිබඳව වාර්තා වීමත් සමග කළ අධ්‍යයනයකදී ඒ අශ්‍රිත ප්‍රදේශයේ කිඹුලන් හය දෙනෙකු (6) හදුනාගෙන ඇති බව පරිසරවේදී නයනක රංවැල්ල මහතා පවසනවා.

මීට දශකයකට පමන ඉහතදී කොළඹ දියවන්නා ඔයේ ඇල මාර්ගවල සිදුකල නඩත්තු කටයුතු මෙලෙස කිඹුලන්ගේ ගහනය වැඩි වීමට හේතුවක් බවයි පරිසරවේදීන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

පසුගිය තුන්වැනිදා (03) දෙහිවල දුම්රියපොළ ආසන්න මුහුදු තීරයේදී කිඹුලේකුගේ ප්‍රහාරයකින් කිමිදුම්කරුවෙකු ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වීමත් සමග කිඹුලන් පිළිබඳ කථාබහක් ඇති වුණා.

මෙවන් පසුබිමක වැල්ලවත්ත, ගල්කිස්ස සහ පසුගිය දින දෙක තුලදී ගාලු මුවදොර වෙරළතීරයේ ද කිඹුලන් සිටින ආකාරය දැකිය හැකි වුණා.

කෙසේ වෙතත් දෙහිවල මුහුදු තීරයේදී කිමිඳුම්කරුවෙකු ඩැහැගත් කිඹුලා අල්ලා ගැනීමට වනජීවි දෙපාර්මේන්තුවට හැකියාව ලැබී තිබුණේ නැහැ.

++++++++

කිඹුලන් ඇල්ලීමට ගාළුමුවදොර ඇටවූ උගුල්

(11.01.2022 – 23:43 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් ජනවාරි තුන් වැනිදා (03) රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තිමය කිමිදුම්කරුවෙක් දෙහිවල මුහුදු තීරයේදී අනපේක්ෂිත ලෙස කිඹුලකුට ගොදුරු වුනා.

එම කිඹුලා අල්ලාගත නොහැකි වූ පසුබිමක ඉකුත් ඉරිදා (09) ද කොළඹ ගාලු මුවදොර ආසන්න වෙරළ තීරයේ තවත් කිඹුලකු මෙලෙස දක්නට ලැබුනා.

මෙම තත්ත්වය හමුවේ වෙරළාශ්‍රිත ජනතාව මෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ද භීතියට පත්ව සිටිනවා.

මේ අනුව කොළඹ මුහුද තීරයේ සිටින කිඹුලන් කොටු කර ගැනීමේ මෙහෙයුමක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කිඹුලන් කොටුකර ගැනීමට ගාලුමුවදොර පිටියේ එක් කෙළවරක මෙලෙස උගුල් දෙකක් (2) ඇටවීමට අද පියවරගෙන තිබුණා.

***************************************

පාඨලී රෝහලේ – සෞඛ්‍ය තත්වය සොයන්නැයි අධිකරණයෙන් නියෝගයක්

(11.01.2022 – 19:29 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ රෝගී තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (11) කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළා.

ඒ, 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධියට අදාළව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම හා සාක්ෂි වසන් කිරීමේ සිද්ධියට අදාළ නඩුව, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

මෙම නඩුවේ සාක්ෂිකරුවන්ගේ හරස් ප්‍රශ්න විමසීම අද (11) ආරම්භ වීමට නියමිතව තිබුණ ද විත්තිකාර පාඨලී චම්පික රණවක අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා අසනීප තත්වයෙන් කොළඹ ලංකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

“‍ස්වාමීනි… මෙම නඩුවේ විත්තිකරු අසනීපව ඊයේ (10) රාත්‍රී රෝහල් ගත කර තිබෙනවා. වකුගඩු අමාරුව සමග හුස්ම ගැනීමේ අපහසුව සහ පපුවේ වේදනාව නිසා ඔහු රෝහල්ගත කෙරුණු බවයි දැක්වෙන්නේ. ඒ බව තහවුරු කෙරෙන විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන විසින් නිකුත් කර තිබෙන වෛද්‍ය වාර්තාවක්ද මා අධිකරණයට ඉදිරිපත් කරනවා.” යනුවෙන් විත්තියේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

මෙම ක්‍රියාව අනුමත කළ නොහැකි බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් චෝදනා කලේ.

“ස්වාමීනි… මෙම නඩු විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා විත්තිකාර පාඨලී චම්පික රණවක ඊයේ (10) අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී ඊයේ (10) දහවල් 01:30 ට පමණ මෙම විත්තිකරු උපරිමාධිකරණ සංකීර්ණය අසල ගැවසී තිබුණා. එම පෙත්සමේ නියෝගය ලබන 24 වන දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. එසේ තිබිය දී මෙම නඩු විභාගය කල් දමා ගැනීමේ අරමුණින් තමයි විත්තිකරු අද (11) මෙම ක්‍රියාව සිදුකර තිබෙන්නේ. සාක්ෂිකරුවන්ට සාක්ෂි අමතක වන තුරු නඩු විභාගය කල් දමා ගැනීම තමයි ඔහුගේ අරමුණ වී තිබෙන්නේ. මේක බරපතල තත්ත්වයක්. මෙම සිද්ධියෙන් අගතියට පත් තරුණයා රෝද පුටුවකින් අද (11) අධිකරණය හමුවට පැමිණ තිබෙනවා. ඔහුට යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය නැද්ද? මෙවැනි ක්‍රියා වලට ඉඩ දුනහොත් යුක්තිය අපගමනය වීමක් සිදුවෙනවා. ඒ නිසා දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.”

වැඩිදුරට කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා :

“ලංකා රෝහල මීට පෙරත් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වී තිබෙනවා. රාජිත සේනාරත්න අත්අඩංගුට ගැනීමට නියම වූ අවස්ථාවේදීත් ඔහු එම රෝහලට ඇතුළත්වී වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළා. එම වෛද්‍ය වාර්තා ලබාගන්නා ආකාර ගැන අපි හොඳට දන්නවා.”

මෙම අවස්ථාවේදී අදාළ වෛද්‍ය වාර්තාව පරීක්ෂාවට ලක්කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, එම වෛද්‍ය වාර්තාව අතින් ලියා තිබෙන බවත් එහි තිබෙන රෝගී තත්ත්වයන් සහ එහි බලපෑම පිළිබඳව පැහැදිලිව වටහාගත ගැනීම අපහසු බවත් සඳහන් කළා.

මෙම වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළ විශේෂඥ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස්, රෝහල්ගතව සිටින බව කියන මන්ත්‍රීවරයාගේ රෝගී තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර බලා සවිස්තර වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියා.

එම ඉල්ලීම් පිළිගත් විනිසුරුවරයා චම්පික රණවකගේ රෝගී තත්ත්වය පිළිබඳව පරීක්ෂාකර සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළා.

එමෙන්ම අදාළ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඒ ඔස්සේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි විනිසුරුවරයා කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට නියම කරනු ලැබුවේ.

අනතුරුව පැමිණිල්ල නැවත ලබන 21 වනදා කැඳවීමට ද නියම වුණා.

***************************************

ආණ්ඩුවේ අර්බුද නිසා පුංචි ඡන්දය කල් දැම්මා – අනුර කුමාර

(11.01.2022 – 19:37 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීම වසරකින් කල් දැමීමට තීරණය කරනු ලැබුවේ ආණ්ඩුවේ පවතින අර්බුදය හේතුවෙන් බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කළා.

2018 වසරේ පෙබරවාරි 10 වනදා පැවති පළාත්පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 225 ක්ද, එක්සත් ජාතික පෙරමුණ ආසන 42 ක්ද දිනාගත් අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එහිදී දිනාගත හැකිවූයේ ආසන 7 ක් පමණයි.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය එම ඡන්ද විමසීමේදී ආසන 38 ක ජය හිමිකරගත්තා.

ඒ අනුව පළාත්පාලන ආයතනවල වසර හතරක නිල කාලය ලබන පෙබරවාරි 10 වනදා අවසන්වීමට නියමිතව තිබුණා.

එවන් පසුබිමකයි විෂයභාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, පළාත්පාලන ආයතන 340 ක සභිකයන්ගේ ධුර කාලය ලබන වසරේ මාර්තු 19 වනදා දක්වා දීර්ඝ කරමින් ඊයේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ.

***************************************

ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වේ

(11.01.2022 – 19:42 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ ඇතැම් ස්ථාන ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (11) පස්වරුවේ හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුවුණා.

විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ජාතික පද්ධතියට විදුලිය ලබාගන්නා පෞද්ගලික විදුලි බලාගාරයක් අක්‍රිය වීම මීට හේතුව බවයි.

විටින් විට විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් ප්‍රදේශ රැසකින් පසුගිය දින කිහිපය පුරා වාර්තා වුණා.

කෙසේ වෙතත් ජනාධිතිවරයා සමඟ ඊයේ (10) පැවති සාකච්ඡාවෙන් අනතුරුව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.

එවන් පසුබිමක කොළඹ නගරයේ ඇතැම් ස්ථාන ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයක අද (11) පස්වරුවේ විදුලිය බිඳ වැටීම් වාර්තා වුණා.

විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ජාතික විදුලිබල පද්ධතියට විදුලිය ලබාගන්නා පෞද්ගලික විදුලි බලාගාරයක් අක්‍රියවීම මීට හේතුව බවයි.

මේ අතර විදුලි කප්පාදුව සම්බන්ධයෙන් කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේද අදහස් පළ වුණා.

***************************************

නව පාර්ලිමේන්තු සැසියේදීත් විපක්ෂයේ විරෝධය

(11.01.2022 – 19:52 +0530 – hirunews.lk/sinhala)

9 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසි වාරය ආරම්භ කරන ලබන 18 වන දා පාර්ලිමේන්තුවේදී විරෝධතාවක නිරතවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ප්‍රකාශ කළා.

එදින ජනාධිපතිවරයා ඉදිරිපත් කරන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි දින 3 ක විවාදය ආණ්ඩුව විසින් ලබා නොදීම, ඊට හේතුව බවයි ඔහු සඳහන් කළේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (11) කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර, එහිදී ලබන 19 සහ 20 යන දෙදින තුළ පමණක් කල් තැබීමේ විවාදය පැවැත්වීමට ආණ්ඩු පක්ෂය එකඟතාව පළ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කළේ.

කෙසේ වෙතත් අද (11) පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මේ පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ ඊට අදාළව විවාදයක් යෝජනා කළේද ආණ්ඩු පක්ෂය බවයි.

මේ අතර වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තු මුදාහරින ලෙස තොරතුරු කොමිසම නිකුත් කළ නියෝගයකට එරෙහිව පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ අභියාචනය සළකා බැලීමෙන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු (2) අද (11) ඉවත්වුණා.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සහ නියෝජ්‍ය මහ ලේකම් කේ.ඒ. රෝහණධීර ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම් විභාගයෙන් ඉවත්වුණේ රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන අභියාචනාධිකරණ විනිසුරුවරුන්.

මාධ්‍යවේදියෙකු ඇතුලු පිරිසක් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ තොරතුරු කොමිසම වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදුන් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් මුදාහරින ලෙස තමන් වෙත නියම කර ඇති බවත්, එය නීතියට පටහැනි බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් දක්වා තිබෙනවා ෴

***************************************

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් හෙට (12) ඇරඹේ

(11.01.2022 – 19:57 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරිම් කටයුතු හෙට (12) ආරම්භ කිරීමට නියමිතයි.

ඒ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ඩොලර් මිලියන 510 ක මූලික ආයෝජනයක් සිදුකෙරෙනවා.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය මීට පෙර ඉන්දියාවට ලබාදීමට යෝජනා වී තිබූ අතර, වරාය වෘත්තීය සමිතිවල දැඩි විරෝධතා මධ්‍යයේ එම තීරණය අත්හැර දැමීමට රජයට සිදුවුණා.

නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2024 වසරේ මැද භාගය වනවිට අවසන් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

***************************************

පාස්කු ප්‍රහාරය ගැන අවශ්‍ය වෙලාවේදී කට අරිනවා – මෛත්‍රීපාල සිරිසේන

(11.01.2022 – 22:39 +0530 – hirunews.lk/sinhala)

තමන් සිරගත කිරීමේ අරමුණින් බොහෝ දෙනා පාස්කු කොමිසම පිළිබඳ කතා කළත් සුදුසු අවස්ථාව පැමිණි පසු ඒ පිළිබඳ ප්‍රතිචාර දක්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පැල්මඩුල්ලේදී අද (11) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සමුළුව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැල්මඩුල්ලේදී පැවැත්වුණා.

මේ අතර, නිදහස් පක්ෂයේ මැද කොළඹ ආසනයේ ප්‍රධාන කාර්යාලය විවෘත කෙරුණේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ අතර, ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අමාත්‍ය ධුර ලබාගත් ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකු පමණක් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ප්‍රකාශ කර ඇතත්, මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතු බව එම පක්ෂයේ ඇතැමුන් ප්‍රකාශ කරන බවයි.

එළැඹෙන මහ මැතිවරණය ජයග්‍රහණය කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකර ගත යුතු බව ඔවුන්ගේ අදහස වී ඇතැයි වාර්තා වනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු 14 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිනඅතර, ඉන් දෙදෙනෙකු (2) කැබිනට් අමාත්‍ය ධුර සහ තිදෙනෙකු (3) රාජ්‍ය අමාත්‍ය ධුර හොබවනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *