විද්‍යාපීඨ විද්‍යාර්ථීන්ට 40,000 ක දඩයක් දැමූ පාලනාධිකාරිය

විද්‍යාපීඨ විද්‍යාර්ථීන්ට 40,000 ක දඩයක් දැමූ පාලනාධිකාරිය

*********************************************

විද්‍යාපීඨ විද්‍යාර්ථීන්ට 40,000 ක දඩයක් දැමූ පාලනාධිකාරිය

(11.01.2022 – 12:24 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගත තත්ත්වය සමග දිවයිනේ සියලුම පාසල්, විශ්වවිද්‍යාල මෙන්ම විද්‍යාපීඨ සඳහා ද තාවකාලික නිවාඩු ලබාදීමක් 2020 වර්ෂයේ දී සිදු කෙරුණේ, ඒ වනවිටත් රට තුළ පැවති අයහපත් සහ අර්බුදකාරි සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන්.

මෙලෙස වසා දැමුණු පාසල්, විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සඳහා වරින්වර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සිසුන් සඳහා විවෘත වුව ද, විද්‍යාපීඨ සිසුන් සඳහා ඒ අවස්ථාව හිමි නොවුණේ, ඔවුන් මාර්ගගත ක්‍රමය ඔස්සේ අඛණ්ඩව සිය අධ්‍යයන කටයුතු මෙන්ම ගුරු පුහුණුව ද සිදු කළ බැවින්.

එහෙත්, කොවිඩ්-19 වසංගත තත්ත්වය යම් තරමකට පාලනය කෙරුණු මේ මොහොතේ දී රට තුළ පාසල් විවෘත ව ඇති අතර, විශ්වවිද්‍යාල ද එළඹෙන ජනවාරි මස 15 වැනි දින යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීමට අවසර හිමි වුණා.

මෙම අවසරය දිවයිනේ සියලුම විද්‍යාපීඨ සිසුන් වෙත ද හිමි වුණ ද, ඔවුන් කිසිවෙකුටත් යළි තම සුපුරුදු අධ්‍යයන කටයුතුවලට යමින් අනාගත හීන වෙත ගමන් කිරීමේ කිසියම් බාධාකයක් මේ වනවිට එල්ල වී ඇති අයුරු දක්නට පුලුවන්.

එම සිසුන් හට විද්‍යාපීඨ වසා දැමුණ ද සිය අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කෙරුණු ද, ඔවුන් පාසලක ඉගැන්වීමට තරම් සුදුසු විය යුතු සහ අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතු තෙවැනි වසරේ සීමාවාසික පුහුණුව ඔවුන්ට මෙතෙක් ලැබී නැහැ.

එය ලැබීමට නියමිතව තිබුණේ, 2021 ඔක්තෝම්බර් මස 24 දින සිට වුවත්, එය තවදුරටත් පමා වන්නේ, විද්‍යාපීඨ ශිෂ්‍ය නේවාසිකාගාර කොවිඩ් මර්දන වැඩපිළිවෙළ යටතේ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යුද හමුදාව වෙත හා කොවිඩ් මර්දනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැවරීමත් සමගයි.

මෙවන් තත්ත්වයක් තුළ ඒ වනවිට නිවාඩු ලබා නිවෙස්ගත ව සිටි විද්‍යාපීඨවල අධ්‍යයනය ලබන ශිෂ්‍ය නේවාසිකාගාර හිමි සිසුන් හට යළි තම අත්‍යවශ්‍ය බඩුබාහිරාදිය, පොත්පත් හෝ කිසිවක් ලබා ගැනීමට විද්‍යාපීඨ භූමියට පැමිණීමට පාලනාධිකාරියෙන් එකළ කිසිදු අවසරයක් හිමි වන්නේ නැහැ.

එහෙත්, නව වසර උදාවත් සමග දිවයිනේ සියලුම ආයතන සහ අධ්‍යාපන ක්ෂේත්‍ර යළි අළු ගසා නැගිටින මොහොතක, විද්‍යාපීඨවල ඉගෙනුම ලබන ශිෂ්‍යයින් හට ද දිවයිනේ විද්‍යාපීඨ පාලනාධිකාරියෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනු ලබන්නේ, ජනවාරි 15 වැනිදා සිට යළි විද්‍යාපීඨ වෙත පැමිණෙන ලෙසය.

නමුත් ගැටලුව ඇත්තේ, පුරා දෙවසරකට ආසන්න කාලයක් නිවෙස්ගත ව අධ්‍යාපන ලැබූ මෙම සිසුන් හට පාලනාධිකාරිය මගින් දැනුම් දී ඇති ක්‍රියාවලියයි.

එනම්, විද්‍යාපීඨ ශිෂ්‍යයින්ගේ නේවාසිකාගාරවල ඔවුන් සතු වූ පෞද්ගලික පොත්පත් මෙන්ම බඩුබාහිරාදිය කිසිවක් මේ වන විට දකින්නට නැහැ.

දකින්නට ඇති ඒවා ද යළි භාවිත කිරීමට හැකි තත්ත්වයක නැහැ.

ඊට හේතු වී ඇත්තේ, නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධානයට ලක් වූවන් විසින් විද්‍යාපීඨ ශිෂ්‍යයින්ගේ සියලුම බඩු බාහිරාදිය ඇතැම් විට සොරකම් කරගෙන ගොස් නැතහොත් විනාශ කොට අවසන් ය.

කොටින්ම කිවහොත්, ඔවුන්ගේ ශිෂ්‍ය නේවාසිකාගාර දෙස බැලීම පවා පිළිකුල්සහගත තත්ත්වයකට පත් ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙවන් අවස්ථාවක දී විද්‍යාපීඨ පාලනාධිකාරිය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිසුන් සහ දෙමව්පියන්ගේ ප්‍රශ්න සුළුකොට තැකීමක් කර ඇති බව පෙනෙන්නට ඇත්තේ, මේ සියල්ල සිදුවන තෙක් ඇස් කන් පියා සිටි බලධාරීන් දැන් මේ සියළු අඩුපාඩු වල බරපැන සිසුන්ගේ කර පිට පැටවීමට දරන උත් උත්සාහය නිසාවෙන්.

සිය නේවාසිකාගාර නිරෝධායන මධ්‍යස්ථාන සඳහා කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ලබා දුන්නේ නම්, සිය බඩුබාහිරාදියෙහි පූර්ණ රැකවරණය සම්බන්ධයෙන් පාලනාධිකාරිය වගකිව යුතු වුවද එවැන්නක් සිදුවී වී නොමැති බවට සිසුන් චෝදනා කරනවා.

මේ වන විට විද්‍යාපීඨ ශිෂ්‍ය ප්‍රජාවට පාලනාධිකාරිය විසින් දැනුම් දී ඇත්තේ, එළඹෙන ජනවාරි 15 වැනි දින යළි විද්‍යාපීඨ ශිෂ්‍ය නේවාසිකාගාර වෙත මාස තුනක අධ්‍යයන කාලයක් සම්පූර්ණ කිරීමට පැමිණෙන විට පළමු වසරේ මෙන් සියලුම බඩු බාහිරාදිය,පොත්පත් අලුතෙන් මිල දී ගෙන පැමිණෙන ලෙසයි.

විද්‍යාපීඨ ශිෂ්‍යයින් මේ වනවිට පත්ව ඇත්තේ දැඩි අර්බුදකාරි තත්ත්වයකටය.

එනම්, විද්‍යාපීඨ පාලනාධිකාරිය විසින් ගෙන ආ යුතු බඩු ලැයිස්තුවක් නවක ශිෂ්‍යයින්ට මෙන් යළි පරණ සිසුන් වෙත ද එවා තිබීමය.

එම රැගෙන ආ යුතු භාණ්ඩ ලැයිස්තුවේ දළ වියදම පමණක් රුපියල් 40,000 ආසන්න බව විද්‍යාපීඨ ශිෂ්‍ය ප්‍රජාව මෙන් ම දෙමව්පියන් ද මැසවිලි නගනවා.

රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව කිසිවෙකුටත් මෙම කාලවකවානුවේ විසි කරන්නට තරම් සල්ලි හෝ වත්කම් නැති අතර මෙම විද්‍යාපීඨ පාලනාධිකාරියේ නොසැලකිලිමත් පාලනය හේතුවෙන් ශිෂ්‍යයින් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටීමක් වැනි වූ මෙම තීන්දුව පිලිබඳ විද්‍යාපීඨ සිසුන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරින්ට සිය දුක් ගැනවිලි ලිඛිතව දැනුම් දී තිබෙනවා.

එහෙත් ඒ පිළිබඳ ව ඔවුන්ට මෙතෙක් පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලැබී නැති පසුබිමක් යටතේ තවත් සිව් දිනකින් කුමන ආකාරයකින් හෝ මුදල් සොයාගෙන ජෛව බුබුලෙහි තුන් මසක් ගත කරමින් අධ්‍යයනයන් සිදු කිරීමට ඔවුන් යා යුතුව තිබෙනවා.

දිවයිනේ සියලුම විද්‍යාපීඨ ශිෂ්‍ය ප්‍රජාව මේ වනවිට මුහුණ දී ඇති මෙම අර්බුදකාරි තත්ත්වය පිළිබඳ, බලධාරීන් දෑස් කන් වසා ගත්තවුන් සේ මුනිවත රකින්නේ අනාගතයේ දෙවියන්ට සම වන උතුම් සේවයකට හීන දකින ගුරු වෘත්තියට එළඹීමට හීන දකින ශිෂ්‍යයින්ගේ බලාපොරොත්තු බිල්ලට තබා නොවේද?

එබැවින් මෙම ගැටලු වහාම විසඳීමට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු සෙසු වගකිව යුතු බලධාරි, නිලධාරින්ගේ දෑස් විවර වනු ඇතැයි හිරු ප්‍රවෘත්ති අපි විමසිල්ලෙන්…

විශේෂ අවධානයට :- බලධාරින් වෙත ගැටලු සම්බන්ධයෙන් දන්වා යවන ලද ශිෂ්‍ය ඉල්ලීම් අඩංගු ලියවිලි ද මෙහි අමුණා ඇත.

***************************************

ඇමති ගම්මන්පිළට විදෙස්ගතවීමට අධිකරණයෙන් අවසර

(11.01.2022 – 13:00 +0530 – hirunews.lk/sinhala)

ඔස්ට්‍රෙලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 20 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය උදය ගම්මන්පිළ වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද (11) මෙම නියෝගය කළේ අමාත්‍යවරයා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුවයි.

එම නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා සිටියේ තම සේවාදායකයාට පෞද්ගලික සංචාර දෙකක් හා රාජකාරී සංචාර දෙකක් (2) සඳහා විදේශගතවීමට අවශ්‍යව තිබෙන බැවින් ජනවාරි 23 වන දා සිට අප්‍රේල් 29 දක්වා කාලය තුළ විදෙස් ගමන් තහනම ඉවත් කර දෙන ලෙසයි ෴

***************************************

උණුසුම් වූ හම්බන්තොට ලුණු ලේවායේ සත්‍යග්‍රහ අරගලය

(11.01.2022 – 13:02 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට මහනගර සභාවේ නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහ හම්බන්තොට ලුණු ලේවායේ සේවකයන් පිරිසක් අතර අද (11) දින උණුසුම් තත්ත්වයක් හට ගනු ලැබුවා.

හම්බන්තොට ලුණු සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත් කරන ලෙස ඉල්ලා නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබුවේ මීට දින 12 කට පෙරයි.

එම සත්‍යග්‍රහය අතරතුර දී ඊයේ (10) දින ලුණු ලේවායෙන් ඉවතට පැමිණි මෝටර් රථයකට පහරදීමක් සිදුකර තිබුණා.

එය මුල් කර ගනිමිනුයි, හම්බන්තොට ලුණු ලේවායේ සේවකයින් පිරිසක් සහ සත්‍යග්‍රහයේ නිරත පිරිසක් අතර අද (11) මෙලෙස උණුසුම් තත්ත්වයක් හටගෙන ගත්තේ.

***************************************

විපක්ෂ නායක පුදුකුඩුඉරිප්පු ජන හමුවකට එක් වෙයි

(11.01.2022 – 13:09 +0530 – hirunews.lk/sinhala)

ගෑස් පිපිරීම් සම්බන්ධ ගැටලුවට විසඳුමක් ලබාදීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

උතුරු පළාත් සංචාරය අතරතුර යාපනයේ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ඩොලර් ණය ගෙවීමට පෙර ජනතාවට සහන ලබාදීමට රජය කටයුතු කළ යුතු බව යි.

***************************************

රන් සංචිත අඩුවීම ගැන මහබැංකුවෙන් පැහැදිලි කිරීමක්

(11.01.2022 – 13:14 +0530 – hirunews.lk/sinhala)

සිය රන් සංචිතවලින් කොටසක් අලෙවි කළේ, සංචිත කළඹේ ද්‍රවශීලතාව ඉහළ නැංවීම සඳහා බව, මහබැංකුව පවසනවා.

පසුගිය වසරේ නොවැම්බරය අවසානයේ මහබැංකුව සතුව ඇමරිකානු ඩොලර් මිලියන 382.2 ක් වටිනා රන් සංචිත පැවති අතර, දෙසැම්බරය අවසානයේ එය ඩොලර් මිලියන 175.4 දක්වා පහත වැටුණා.

ඒ අනුව, රන් සංචිතය මසක් තුළ සියයට 54 කින් පහත වැටී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් මහබැංකුව සදහන් කළේ, විදේශ වත්කම් අවශ්‍ය විටෙක උපයෝගී කර ගත හැකි අයුරින් කළමනාකරණය කරන බවයි.

ආයෝජන මෙවලම්වල වත්කම් සංයුතිය, ව්‍යවහාර මුදල් මිශ්‍රණය, ද්‍රවශීලතා අවශ්‍යතා, කල් පිරීමේ කාලසීමාව, ලාභදායීත්වය යනාදිය සම්බන්ධයෙන් උචිත කළමනාකරණ ප්‍රතිපත්ති රටේ විශේෂිත තත්ත්වයන් සහ ආර්ථික ප්‍රමුඛතා මත රදා පවතින බව ද එමගින් පෙන්වා දෙනවා.

2008 වසර අවසානයේ මෙරට රන් සංචිතය ඩොලර් මිලියන 92 ක් වූ අතර 2014 වසර අවසන් වන විට ඩොලර් මිලියන 893 ක් දක්වා ඉහළ ගියේ එවකට ඩොලර් බිලියන 8.2 ක් වූ දළ නිළ සංචිතවලින් සියයට 10 ක් ලෙසයි.

මේ වන විට මෙරට දළ නිළ සංචිතය සදහන් වන්නේ, ඩොලර් බිලියන 3.1 ක් ලෙසයි.

ඒ අනුව, රන් සංචිතය ඉන් සියයට 5.6 ක් දක්වා පහත වැටී තිබෙනවා.

මේ අතර, චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් අසාදු ලේඛන ලැයිස්තුවෙන් මහජන බැංකුවේ නම ඉවත් කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කළ කාබනික පොහොර නැවට ඩොලර් මිලියන 6.9 ක මුදලක් ගෙවීමට පියවර ගැනීමෙන් අනතුරුවයි ෴

***************************************

ආණ්ඩුවෙන් යාම ගැන නිදහස් පක්ෂයේ බෙදීමක්

(11.01.2022 – 13:25 +0530 – hirunews.lk/sinhala)

මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් නිදහස් පක්ෂය තුළ මත ගැටුමක් නිර්මාණය වී ඇති බව, දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

අමාත්‍ය ධුර ලබා ගත් ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු පමණක්, ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව ප්‍රකාශ කර ඇතත්, මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතු බව, එම පක්ෂයේ ඇතැමුන් ප්‍රකාශ කර ඇති බවයි, වාර්තා වන්නේ.

එළඹෙන මහ මැතිවරණය ජයග්‍රහණය කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කර ගත යුතු බව, එම පිරිස අදහස් දක්වා තිබෙනවා.

නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 14 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින අතර, කැබිනට් අමාත්‍ය ධුර හොඹවන දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 3 දෙනෙකු ඒ අතර වනවා.

කෙසේ වෙතත්, කොළඹ අද (11) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ නිදහස් පක්ෂය රජයෙන් ඉවත්වීමට කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා නොකරන බවයි.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දොස් නැගුව ද යහපාලන ආණ්ඩුව රටට බොහෝ වැඩ කොටසක් ඉටු කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදකොළඹ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (10) පස්වරුවේ එක්වෙමින් ෴

***************************************

භාරත ගීත කෝකිලාවියටත් කොවිඩ්

(11.01.2022 – 13:32 +0530 – hirunews.lk/sinhala)

භාරත ගීත කෝකිලාවිය ලෙස හැඳින්වෙන ප්‍රවීණ ගායිකා ලතා මංගේෂ්කාර් හට කොවිඩ්-19 වෛරසය වැළඳීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

92 හැවිරිදි වියෙහි පසුවන අසහාය ගායිකාව දශක 07 කට අධික කාලයක් පුරා සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 25,000 කට අධිකයි.

එය තනි ගායකයෙකු හෝ ගායිකාවක විසින් ගායනා කර ඇති වැඩිම ගීත සංඛ්‍යාවට හිමි ලෝක වාර්තාව ද වනවා.

ඇය මුම්බායිහි බීච් කැන්ඩි පෞද්ගලික ආරෝග්‍යශාලාවේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ ෴

***************************************

පුංචි ඡන්දය කල් දැමීම ගැන ආණ්ඩුව හේතු කියයි

(11.01.2022 – 13:35 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා මැතිවරණය මේ වසර තුළ පැවැත්වීමට පියවර ගන්නා බව, සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.

අද (11) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පළාත් පාලන ඡන්දය වසරකින් කල් දැමීම පිළිබදව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

කෙසේ වෙතත්, කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි චෝදනා කළේ, ආණ්ඩුවේ අසාර්ථකත්වය හේතුවෙන් මැතිවරණ කල් දමමින් සිටින බවයි.

***************************************

රක්ෂණ සමාගම් වෙත දැනුම්දීමක්

(11.01.2022 – 13:43 +0530 – hirunews.lk/sinhala)

ජංගම හා ස්ථාවර දුරකථන ජාල උපයෝගී කර ගනිමින් සිදුකරන රක්ෂණ ඔප්පු අලෙවිය නවතා දමන ලෙස, සියලුම රක්ෂණ සමාගම් වෙත දැනුම් දී තිබෙනවා.

රක්ෂණ නියාමන කොමිෂන් සභාව නිවේදනය කළේ, පසුගිය වසරේ සැප්තැම්බර් 06 වන දා සිට බලාත්මක වන පරිදි එම නවතා දැමීම සිදුකර ඇති බවයි.

ජංගම හා ස්ථාවර දුරකථන ජාල උපයෝගී කර ගනිමින් රක්ෂණ ඔප්පු අලෙවි කළ රක්ෂණ සමාගම්, එම රක්ෂාවරණ ලබා ගත් පාරිභෝගිකයන් සඳහා ඍජුවම හෝ රක්ෂණ තැරැව්කරුවෙකු හෝ නියෝජිතයෙකු මගින් තවදුරටත් සේවාවන් ලබාදීමට බැදී සිටින බව ද අදාළ නිවේදනයේ සඳහන් ෴

***************************************

ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකශය පිළිබඳ කල් තැබීමේ විවාදයක් ජනවාරි 19, 20 දෙදිනයන්හිදී

(11.01.2022 – 13:55 +0530 – hirunews.lk/sinhala)

නව වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ ඉදිරිපත් කෙරෙන ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකශය පිළිබඳ කල් තැබීමේ විවාදයක් මෙම මස 19, 20 දෙදින පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.

ඇමති දිනේෂ් ගුණවර්ධන මේ බව නිවේදනයක් නිකුත් කරමින් පැවසූ අතර, එම සභාව කල් තැබීමේ යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ඇති ෴

***************************************

පාඨලීගේ සෞඛ්‍ය ගැන වහාම වාර්තාවක් දෙන්න – අධිකරණයෙන් නියෝගයක්

(11.01.2022 – 15:24 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව, කියන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (11) දින කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළා.

ඒ, රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් වන නඩුව, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

මන්ත්‍රිවරයා අද (11) අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහුගේ නීතීඥවරයා දැනුම්දුන්නේ තම සේවාදායකයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

ඊට අදාළව වෛද්‍ය වාර්තාවක්ද ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම ක්‍රියාව අනුමත කළ නොහැකි බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විත්තිකරුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා.

එය පිලිගනිමිනුයි විනිසුරුවරයා, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට මන්ත්‍රිවරයාගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *