බදු එක්රැස් කිරීමේ විශේෂ ඒකකයක් පිහිටුවීමේ යෝජනාවට වෘත්තීය සමිති විරෝධය

බදු එක්රැස් කිරීමේ විශේෂ ඒකකයක් පිහිටුවීමේ යෝජනාවට වෘත්තීය සමිති විරෝධය

*********************************************

බදු එක්රැස් කිරීමේ විශේෂ ඒකකයක් පිහිටුවීමේ යෝජනාවට වෘත්තීය සමිති විරෝධය

(11.01.2022 – 08:49 +0530 – hirunews.lk/sinhala)

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද හෙවත් ජී.එස්.ටී. බද්ද හා වැට් හෙවත් අගය එකතු කිරීමේ බදු එක්රැස් කිරීමට මහා භාණ්ඩාගාරයේ විශේෂ ඒකකයක් පිහිටුවීමේ යෝජනාවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති විරෝධය පළ කරනවා.

දේශීය ආදායම් සේවා සංගමය පෙන්වා දෙන්නේ ඊට අදාළව මුදල් අමාත්‍යවරයා ඇතුළු පාර්ශ්වවලින් තවදුරටත් සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.

මෙවර අයවැයෙන් ප්‍රකාශිත ජී.එස්.ටී. හෙවත් විශේෂ භාණ්ඩ හා සේවා බද්ද සහ වැට් හෙවත් අගය එකතු කිරීමේ බදු එක්රැස් කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ විශේෂ ඒකකයක් පිහිටුවීමට යෝජනා කෙරුණේ ඒ සඳහා විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින්. මෙතෙක් එවැනි බදු එක්රැස් කිරීම සිදු වූයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින්.

යෝජිත නව ඒකකය භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයෙකුගේ අධීක්ෂණය යටතේ පිහිටුවීමටයි සැළසුම් කර ඇත්තේ.

ඒ සඳහා අනුයුක්ත කරනු ලබන නිලධාරියා විශේෂ භාණ්ඩ හා සේවා බදු, පරිපාලනය එක්රැස් කිරීම සහ වගවීම සම්බන්ධයෙන් වගකියනු ඇති.

ඔහු විසින් බදු එක්රැස්කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් අවශ්‍ය නිලධාරීන් පිරිසක් යෙදවීමට නියමිතයි.

මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කළ පරිදි භාණ්ඩ හා සේවා බද්ද හඳුන්වාදී ඇත්තේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විවිධ බදු ක්‍රමවල සංකීර්ණතා මගහැරීම සහ බදු එක්රැස් කිරීම හා පරිපාලනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ෴

***************************************

ලැයිස්තුගත සමාගම්වල ප්‍රධාන ව්‍යාපාරික ක්‍රියාකාරකම්වල වර්ධනයක්

(11.01.2022 – 08:42 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 2021 වසරේ පළමු මාස 9 තුළ මෙරට ලැයිස්තුගත සමාගම්වල ප්‍රධාන ව්‍යාපාරික ක්‍රියාකාරකම් කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ එහිදී එම ආයතනවල ආදායම් මෙන්ම දළ ලාභ ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව 2020 වසරේ අපගමනයට ලක්වූ ලැයිස්තුගත ආයතනික ක්ෂේත්‍රයේ ප්‍රකෘතිමත්වීමක් පසුගිය වසරේ ප්‍රතිඵලවලින් පෙන්නුම් කෙරෙන බවයි මහබැංකු අධිපතිවරයා කියා සිටියේ ෴

***************************************

සුසිල් ප්‍රේම්ජයන්ත් ඉවත් කිරීම පිළිබඳ පොදුජන පෙරමුණු සාකච්ඡාවක්

(11.01.2022 – 08:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් මෙම සතියේ පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ද එහි දී සාකච්ඡාවට බඳුන් වන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුසිල් ප්‍රේමජයන්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය පිළිබදව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

එලෙස පක්ෂය විසින් කුමන තීන්දුවක් ගත්ත ද එය ක්‍රියාත්මක කිරීමේ අවසන් තීරණය ගනු ලබන්නේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බවයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේ.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (10) රාත්‍රියේ විශේෂ රැස්වීමක් පවත්වා තිබෙනවා.

ඒ, එම පක්ෂයේ සාමාජිකයෙකුගේ කොළඹ පිහිටි නිවසේදි යි.

ඊට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු පිරිසක් එක්ව සිට ඇති බවයි වාර්තා වන්නේ ෴

***************************************

පුංචි ඡන්දය වසරකින් කල් දැමේ – අමාත්‍යාංශ කිහිපයක විෂය පථය වෙනස් වේ

(11.01.2022 – 08:53 +0530 – hirunews.lk/sinhala)

මෙරට පළාත් පාලන ආයතනවල නිල කාලය තවත් වසරකින් කල් දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් ඊයේ (10) නිකුත් කරනු ලැබුවා.

මෙරට පළාත් පාලන මැතිවරණය මීට පෙර පැවැත්වුණේ 2018 පෙබරවාරි 10 වැනිදායි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරමුණ පිහිටුවීමෙන් පසු පැවති පළමු මැතිවරණය වූ එහිදී පොදුජන පෙරමුණ ආසන 231 ක් ජයග්‍රහණය කළා.

එක්සත් ජාතික පෙරමුණට ආසන 34 බලය හිමිවූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිනා ගත හැකිවූයේ ආසන 9 ක් පමණයි.

ඒ අනුව වසර 5 ක නිල කාලය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන පෙබරවාරි 10 වැනිදායි.

ඒ අනුව එම පළාත් පාලන ආයතන 340 සභිකයන්ගේ ධුර කාලය 2023 වසරේ මාර්තු 19 වන දා දක්වා දීර්ඝ කරමින් ගැසට් නිවේදනය ඊයේ (10) රාත්‍රියේ නිකුත් කෙරුණු අතර ඊට මහ නගර සභා 24 ක්, නගර සභා 41 ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් ඇතුළත්.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් අදාළ දීර්ඝ කිරීම සිදුකර ඇත්තේ නගර සභා ආඥා පනත, මහ නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනතේ වගන්තිවලින් පැවරී ඇති බලතල ප්‍රාකාරවයි.

අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ විෂය පථයට අයත්ව තිබූ පළාත් සභා හා පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ පනත සහ ආඥා පනත ඔහුගෙන් ඉවත් කර එය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කැබිනට් අමාත්‍යවරයා යටතට පත් කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මේ වනවිට දිවයිනෙන් බැහැරව සිටින අතර, එංගලන්තයේ දී ඔහු කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් ප්‍රතිකාර ලබනවා.

මැතිවරණය කල් දැමීමට නම් අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනය නිකුත් කිරීම සම්මත නීතිය වන බැවින් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ එම විෂය පථය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතට පත් කර එම විෂය භාරවූ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දමමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා.

එමෙන්ම අමාත්‍යාංශ විෂය පථයන් වෙනස් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පසුගිය දා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත්ගේ රාජ්‍ය අමාත්‍ය ධුරයට අයත් විෂය පථයන් කිහිපයක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කෙරුණා.

ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනත අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර, අග්‍රාමාත්‍යවරයා විසින් දරනු ලබන ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතේ තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදල සහ බුද්ධ ශාසන අරමුදල අග්‍රාමාත්‍යවරයා යටතේම පවතින බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතට ඇතුළත් කර තිබෙනවා.

ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කිරීම ද ඇතුළත් කෙරුණා.

මීට අමතරව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ඉවත් කර ඒ යටතේ තිබූ සියළු ආයතන හා සුවිශේෂී කාර්යයන් අධිකරණ අමාත්‍යාංශය යටතට ඇතුළත් කර තිබෙනවා.

***************************************

පොහොර ලබාදෙන ලෙසට ජනාධිපති උපදෙස් දෙයි

(11.01.2022 – 08:53 +0530 – hirunews.lk/sinhala)

යල කන්නයේ සිට ගොවීන්ට අවශ්‍ය පොහොර සම්පාදනය ක්‍රමවත්ව සිදු කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (10) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී උපදෙස් ලබාදී තිබෙනවා.

මේ මොහොතේ සිට ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙසට යි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.

දැනට වගා කටයුතු සිදු කර ඇති මහ කන්නයට අවශ්‍ය පොහොර නො ලැබීම හේතුවෙන් කුඹුරු ගොවිතැන ඇතුළු අනෙකුත් වගාවන්ට බාධා එල්ල වී ඇති අතර, ගොවීන් ඒ පිළිබදව මෙලෙස චෝදනා කළා.

මේ අතර, ඊයේ (10) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් ද අවදානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.

***************************************

සකුරායි ගුවන් සමාගමේ ප්‍රධානින් අද (11) අධිකරණයට

(11.01.2022 – 08:56 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගත් සකුරායි ගුවන් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා සහ එහි ප්‍රධාන ඉංජිනේරුවරයා අද (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ඊයේ (10) මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක – කිඹුලාපිටිය ප්‍රදේශයේදී සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්වීමේ සිද්ධියට අදාළවයි.

එහිදී සැහැල්ලු ගුවන් යානයේ ගමන් ගත් විදෙස් ජාතික යුවළක් සහ නියමුවන් දෙදෙනෙකු (2) ද අනතුරට ලක්වුණා.

අත්අඩංගුවට ගත් කළමණාකරණ අධ්‍යක්ෂවරයා 53 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ප්‍රධාන ඉංජිනේරුවරයා 46 හැවිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම, මීට පෙර ද අදාළ ගුවන් සමාගමට අයත් සැහැල්ලු ගුවන් යානයක් කළුතර – පයාගල ප්‍රදේශයේදී අනතුරට ලක්වුණා ෴

***************************************

අද (11) විදුලි කප්පාදුවක් නැහැ

(11.01.2022 – 09:00 +0530 – hirunews.lk/sinhala)

අද (11) දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළා.

එහි මාධ්‍ය ප්‍රකාශක, අතිරේක ලේකම්, සුගත් ධර්මකීර්ති ප්‍රකාශ කළේ විදුලි කප්පාදුව සිදුකරන්නේ ද යන්න සම්බන්ධයෙන් දෛනිකව තීරණය ගැනීමට අපේක්ෂා කරන බවයි.

ඒ දෛනික විදුලි ඉල්ලුම සහ සැපයුම් ධාරිතාව සැලකිල්ලට ගනිමින්.

කෙසේ වෙතත්, අද (11) දිනයේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මෙතෙක් තීරණයක් කර නොමැති අතර, හෙට (12) විදුලි කප්පාදුවක් සිදු කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (12) දිනයේ තීරණය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

***************************************

දිවයිනේ පැය 24 තුළ වාර්තා වූ මාරක රිය අනතුරු

(11.01.2022 – 09:03 +0530 – hirunews.lk/sinhala)

දෙමටගොඩ පොලිස් වසමේ කොළොන්නාව ප්‍රදේශයේ ඇළකට වැටී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

ඊයේ (10) උදෑසන දෙමටගොඩ පොලිසියට සිද්ධිය සම්බන්ධ තොරතුරක් ලැබී ඇති අතර, මරණකරු වයස ආවුරුදු 57 ක් වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි, වාර්තා වන්නේ.

(09) වැනිදා රැකියාව අවසන් කර නිවසට පැමිණෙන් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවට පොලිස් විමර්ශණ අනාවරණය කරනවා.

දෙමටගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.

මීට අමතරව, ඊයේ(10) මාවනැල්ල පොලිස් වසමේ හිඟුල අලුත්නුවර මර්ගයේ මාරාගොඩ ප්‍රදේශයේ දී ට්‍රැක්ටර් රථයක් රියදුරුට පලනය කර ගත නොහැකිව වෙල් යායට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල ලැබූ ට්‍රැක්ටර් රථ රියදුරු සහ රිය සහායක මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගිය බවට සදහන්.

මරණකරු වයස අවුරුදු 39 ක් වූ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

ට්‍රැක්ටර් රථ රියදුරුගේ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව අති බවටයි, වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

තවත් මාරක රිය අනතුරක් කුරුණෑගල මහනුවර මාර්ගයේ නාපේ ප්‍රදේශයේ දී යතුරු පැදියක් විරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක් හා මුහුණට මුහුණ ගැටී සිදු වී තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදි කරු කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගිය බවටයි, වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 62 ක වෑඋඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් ෴

***************************************

ඇමෙරිකානුවෙකුට ඌරු හදවතක් බද්ධ කෙරේ

(11.01.2022 – 09:04 +0530 – hirunews.lk/sinhala)

ලොව ප්‍රථම වරට ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කිරීමේ පුවතක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වුණා.

ජානමය වෙනස්කම්වලට ලක්කළ ඌරෙකුගේ හදවතක් මෙලෙස, බෝල්ටිමෝර් ප්‍රදේශයේ ඩේවිඩ් බෙනට් නමැති 57 හැවිරිදි පුද්ගලයෙකුට බද්ධ කර ඇති අතර ශල්‍යකර්මයෙන් දින 3 කට පසුව ද ඔහු නිරෝගී සුවයෙන් පසුවන බව සඳහන්.

කෙසේ නමුත්, දීර්ඝ කාලීනව ඔහුගේ පැවැත්ම සම්බන්ධයෙන් දැන් තීරණය කළ නොහැකි බවයි වෛද්‍ය විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

මෙලෙස ඌරෙකුගේ හදවතක් මොහුට බද්ධ කර ඇත්තේ එලෙස හදවත් බද්ධ කිරීමක් සිදු නොකළහොත් මොහු මියයාමට ඉඩ තිබීම හේතුවෙන්.

ඒ නිසාම ඌරු හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ඇමෙරිකානු වෛද්‍ය නියාමනයේ විශේෂ අනුමැතියක් හිමිව තිබෙනවා.

මෙය ලොව පුරා හදවත් ඇතුලු අවයව බද්ධ කිරීමට අපේක්ෂාවෙන් පසුවන පුද්ගලයන්ට සුවදායි පුවතක් ලෙසයි සැලකෙන්නේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් මෙලෙස බද්ධ කිරීමට හදවතක් නොමැතිවීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු මියයන අතර පොරොත්තු ලේඛනයේ සිටින සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි ෴

***************************************

කාන්තාවක් සී.අයි.ඩී. ගොඩනැගිල්ලෙන් පැන මරුට

(11.01.2022 – 09:16 +0530 – hirunews.lk/sinhala)

මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආ කාන්තාවක් එහි පස්වන (5) මහලෙන් පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.

ඊයේ (10) දින මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 46 හැවිරිදි, ‘අප්සරා මැණිකේ’ නැමති පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි, පොලීසිය සඳහන් කළේ.

ඇය විසින් විවිධ සමිති සමාගම් පිහිටුවා රුපියල් 6,83,40,000 ක මුදලක් රාජගිරිය, අංගොඩ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් වංචා කර ඇති බවට, පැමිණිලි ලැබී තිබුණා.

මෙම කාන්තාව පොලිසිය මග හරිමින් විවිධ නම් වලින් පෙනී සිටි තැනැත්තියක් බවට ද අනාවරණ වී තිබෙනවා.

ඇගේ සිරුර මේ වන විට පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (11) දින සිදුකිරීමට නියමිතයි.

***************************************

නීතිවිරෝධී මත්පැන් පෙරූ තුන් කට්ටුව STF වෙත මාට්ටු

(11.01.2022 – 09:39 +0530 – hirunews.lk/sinhala)

ගෙවුණු පැය 24 තුළ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන ලද වැටලීම් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (10) දින පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් සිදු කරන ලද මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් වැටලීම් ගණන තුනක් (3) වන අතර, එහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව ද තිදෙනකු (3) බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

ඒ අනුව වැටලීම සිදු කරන අවස්ථාවේ දී නීතිවිරෝධී මත්පැන් ලීටර් 68 ක ප්‍රමාණයක් සිය භාරයට ගැනුණු අතර, අත් අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා අදාළ පොලිස් ස්ථාන වෙත භාර දී තිබෙනවා.

මීට අමතරව, ගෙවුණු පැය 24 තුල දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකින් නීතිවිරෝධීව අලෙවි කිරීමට සහ ළඟ තබාගෙන හෙරොයින් සමග සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

ඒ අනුව පූගොඩ පොලිස් වසමේ කිලරියන් ෆාම් වෙන්දේසි ඉඩම අසල දි වැටලීමක් සිදු කර හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 යි, මිලිග්‍රෑම් 400 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි වියෙහි පසු වන මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *