“යවන්න කිවුවට පස්සෙ යාළුවෙක් ද නැද්ද කියලා අහන්න අවශ්‍ය නෑ” – අධිවේගයේ O.I.C.

“යවන්න කිවුවට පස්සෙ යාළුවෙක් ද නැද්ද කියලා අහන්න අවශ්‍ය නෑ” – අධිවේගයේ O.I.C.

*********************************************

“යවන්න කිවුවට පස්සෙ යාළුවෙක් ද නැද්ද කියලා අහන්න අවශ්‍ය නෑ” – අධිවේගයේ O.I.C.

(11.01.2022 – 06:40 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමේ දී බීමත් රියදුරෙකු මුදා හැරීමට පොලීසියට බලපෑම් සිදු කිරීමේ සිද්ධියක් සමග එහි වීඩියෝ පටයක් නිකුත් වී තිබෙනවා.

මෙම අවස්ථාවේ දී අධිවේගී මාර්ග කොට්ඨාසයේ රථවාහන අංශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු විසින් පරීක්ෂා කිරීම සඳහා CAE 0075 දරණ මෝටර් රථය නවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී එය පදවාගෙන ආ රියදුරු අසුනේ සිටි පුද්ගලයා සඳහන් කර ඇත්තේ, තමන් ‘චමිල’ නමැති පොලිස් ස්ථානාධිපතිවරයෙකු සමග මත්පැන් පානය කර යළි පැමිණෙන බවය.

අනතුරුව අධිවේගී මාර්ගයේ බීමතින් රිය ධාවනය කරමින් පැමිණි තැනැත්තා පොලිස් නිලධාරින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් නොසලකා හරිමින් එම අවස්ථාවේ දී සිය දූරකථනය ගෙන ඇමතීමක් ගනු ලබන්නේ අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා හෙවත් ඔහු එකට මත්පැන් පානය කෙරූ බවට සැලකෙන පුද්ගලයා වෙතයි.

එහිදී අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා අධිවේගී මගෙහි රිය නවත්වා ප්‍රශ්න කිරීමට ලක් වු තම මිතුරා මුදා හරින ලෙසට සේවයේ නියුතු නිලධාරින්ට පවසනුයේ පරුෂ වචනයෙන් ද බැන වදිමිනි.

කෙසේවෙතත්, පොලිස් ස්ථානාධිපතිවරයාගේ නියෝගයට කීකරු වීමට සිදු වූ අදාළ නිලධාරින් විසින් බීමතින් අධිවේගී මාර්ගයේ රිය ධාවනය කරමින් සිටි පුද්ගලයා ව මුදා හැරීමටයි කටයුතු කර ඇත්තේ.

++++++++

මෙල්ල නොවෙනා තරු පලඳින චණ්ඩි හා අධිවේගයේ පොලිස් OIC

(11.01.2022 – 11:43 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍යයක නීතිය හා සාමය සුරක්ෂා කිරීමේ පරම වගකීම නිරතුරුව ම උරයෙහි දරාගත් ආයතනය වන්නේ, පොලිසිය බව නො රහසක්.

සෑම රාජ්‍යයකට ම පොදු වූ එම කාරණය ශ්‍රී ලංකාවට ද එසේ ම ය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ ද පොලිසියක් ඇති අතර, එහි නාමය වන්නේ, ශ්‍රී ලංකා පොලිසිය යි.

1866 සැප්තැම්බර් මස 03 වැනි දා ආරම්භ වූ ශ්‍රී ලංකා පොලිස් සේවයේ මේ වන විට පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් 85,000 ක් පමණ සේවයේ නිරත වෙනවා.

‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’ ඒනම් ‘ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් සුරකිනු ඇත’ යි යන බුදු වදන තේමා කොටගත් ශ්‍රී ලංකා පොලිසියේ, ධර්මයේ හැසිරීම නමැති ක්‍රියාදාමය ඉතා උපහාසාත්මක ව හා බරපතළ ලෙස අභියෝගයට ලක් වූ අවස්ථා එමට යි.

පොලිසිය හරහා ඉතා අසාධාරණ ලෙස සිරකරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය වූ අවස්ථා හා සිදුවීම් ඉතිහාසයේ බොහෝ ලෙස වාර්තා වෙනවා.

විශේෂයෙන් සැකකරුවා නො මැති අවස්ථාවල දී සැකකරුගේ පවුලේ ඥාතියෙකු හෝ සමීපතමයෙකු අත් අඩංගුවට ගැනීම්, සමීපතමයින්ට තර්ජනය කිරීම් වැනි තත්ත්වයන්, පොලිසිය සම්බන්ධ ව නැඟෙන තවත් එක් ප්‍රධාන චෝදනාවක් ලෙස දැකිය හැකි යි.

තවත් මෙවැනි අනීතික තත්ත්වයන් බොහෝමයක් පවතිද්දී ඉතිහාසයේ සිට ම පොලිසිය විසින් සිදු කරනු ලබන අතිශය විශාල වැරැද්දක් ගැන විමසා බලමු.

ඒ තම නිලය හා බලය උපයෝගී කොටගෙන නීතිය නැවීමට ගන්නා උත්සාහය යි.

බලය මඟින් පොලිස් නිලධාරින් විසින් නීතිය නවනු ලැබූ අවස්ථා ගණන් කළ නො හැකි තරම් ය.

ඉහළ නිලයක පොලිස් නිලධාරියෙකුගේ දැන හැඳුනුම්කම් මත, වැරැදි කර, නීතියෙන් ගැලවුණු මිනිසුන් ගැන කතා නොයෙක් වර අසා ඇති අප, එහි ඇති ගැඹුරු සමාජමය ව්‍යසනය ගැන සිතුවා ද ?

මෙම වැරැදි, පාරේ තනි ඉර කපා සිදු කරන අනීතික ක්‍රියාවේ සිට හොර අරක්කු, ගංජා, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට ලැබෙන අවසරය හෝ නීති විරෝධී ව කැලෑ කැපීම වැනි දේට ලැබෙන අවසරය දක්වා ඉදිරියට විහිදෙ යි.

ඇතැම් විට පොලිස් නිලධාරියාගේ කරෙහි බැඳි තරු ගණන වැඩි වන්ට වන්ට මෙම අනීතික අවසරයේ සැර ප්‍රමාණය වැඩි විය හැකි යි.

එවැනි උදාහරණ ඉතිහාසයේ ඕනෑ තරම් අප දැක ඇත.

මේ සම්බන්ධ තවත් උදාහරණයක් ඊයේ (10) රාත්‍රියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමේ දී සිදු වුණා.

ඉමදූව පිවිසුමේ දී බීමත් රියදුරෙකු මුදා හැරීමට පොලිසියට බලපෑම් සිදු කිරීමේ සිද්ධියක් සහ එහි වීඩියෝ පටයක් නිකුත් වීම මෙයට හේතුව යි.

මෙසේ නීතිය ගණිකා වෘත්තියේ යෙදෙවීමට කටයුතු කර තිබුණේ, අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා යි.

ඔහු එක්තරා පුද්ගලයෙකු සමඟ මත්පැන් පානය කර ඇති අතර, මධුපානෝත්සවය අවසානයේ දෙදෙනා (2) වෙන් වී, එම පුද්ගලයා සිය මෝටර් රථයේ නැඟී පිට වී තිබෙනවා.

එසේ මෝටර් රථයේ ගමන් කිරීමේ දී ඔහු ව ඉමදූව පිවිසුම අසල දී පොලිස් නිල රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරින්ගේ පරීක්ෂාවට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

එම අවස්ථාවේ දී අදාළ බීමත් රියදුරා පැවසුවේ, තමා ‘චමිල’ නමැති පොලිස් ස්ථානාධිපතිවරයෙකු සමඟ මත්පැන් පානය කර යළි පැමිණෙන බව යි.

අනතුරුව අධිවේගී මාර්ගයේ බීමතින් රිය ධාවනය කරමින් පැමිණි තැනැත්තා, පොලිස් නිලධාරින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් නොසලකා හරිමින් එම අවස්ථාවේ දී සිය දුරකතනය ගෙන ඇමතුමක් ගනු ලබන්නේ, අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ හෙවත් ඔහු එකට මත්පැන් පානය කෙරූ බවට සැලකෙන පුද්ගලයා වෙත යි.

එවිට ‘චමිල’ නමැති අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා, රථවාහන රාජකාරියේ නියුතු පොලිස් නිලධාරින්ට අතිශය අසභ්‍ය වචනයෙන් බැණ වැදී මෝටර් රථය හා එය පදාවාගෙන ගිය බීමත් රියදුරා ව මුදාහරින ලෙසට යි තර්ජනය කරන්නේ.

ඉහළ පොලිස් නිලධාරියාගේ අණට කීකරු වී අදාළ බීමත් රියදුරා ව මුදාහැරීම හැර වෙනත් යමක් කිරීමට අදාළ නිලධාරින්ට නොහැකි වුණු නමුත් අදාළ සිදුවීම තම ජංගම දුරකතනයේ පටිගත කරගැනීමට තරම් අතිශය නුවණක්කාර වී තිබුණා.

කෙසේ හෝ නීතිය කරන්නට ගිය පොලිස් නිලධාරින්ට අවසානයේ සිදු වුණේ, අසාධාරණ ලෙස අසභ්‍ය වචනයෙන් සවන් පුරවාගෙන, මෝටර් රථ රියදුරා ඉදිරියේ තමාගේ හා තම දෙපාර්තමේන්තුවේ ආත්ම ගරුත්වය හා අභිමානය පහළ හෙළා ගැනීමට යි.

කරුණු කාරණා කෙසේ වුව ද බොහෝ විට මෙවැනි සිදුවීම් අවසන් වන්නේ, පහත් තැනින් ජලය ගලා යන න්‍යාය මත බව ඉතිහාසයේ සිදුවීම් දෙස බලන විට නිරන්තරයෙන් අත්විඳිය හැකි යථාර්ථයක්.

මෙම සිදුවීම් මාලාවේදීත් එය එලෙසෙ ම පුනරාවර්ථනය නො වී නීතිය නවන අසාධාරණය අවම තරමින් ලොවට විවර කරන්නට වෑයම් දැරූ පොඩි නිලධාරියාට අසාධාරණයක් නොවනු ඇතැ යි විශ්වාස කරමු.

එය එසේ වන්නේ, මෙම සිදුවීම් මාලාවේ අලගිය මුලගිය තැන් සියල්ල නීතිය භාර මහතැන් හරි ආකාර ව වටහා ගත හොත් පමණි.

ඒ සඳහා අවැසි කරන නුවණැස පාදන්නට යි මේ කෙටි සටහන හරහා අපගේ වෑයම.

මෙම සිදුවීමට අදාළ ව පොලිස් ස්ථානාධිපතිවරයා සිදු කළ වැරැදි කිහිපයකි.

1) බීමත් බව දැනදැන ම තම මිතුරාට පොදු මහජනයා භාවිත කරන මහා මාර්ගයේ වාහනයක් ධාවනය කරගෙන යෑමට අවසර ලබාදීම හා එවැන්නක් කිරීම නීති විරෝධී බව පැහැදිලි කර නො දීම.

2) නිල රාජකාරියේ නිරත පොලිස් නිලධාරින්ගේ රාජකාරියට අසාධාරණ ලෙස බලපෑම් කිරීම.

3) නීතිය රකින නිලධාරියෙකු ලෙස තවත් එවැනි ම නිලධාරියෙකුට අසභ්‍ය වචනයෙන් බැණ වැදීම.

4) බරපතළ වැරැද්දක් කළ පුද්ගලයෙකු තම නිල බලය යොදාගෙන මුදාහැරීමට කටයුතු කිරීම.

මේ ආකාරයේ අශිෂ්ට, මජර, ජරාජීර්ණ වූ පොලිස් නිලධාරින්ගෙන්, සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවට ම හා සමාජයේ යහපැවැත්මට සිදු වෙන බලපෑම සුළුපටු නො වේ.

බීමත්ව රිය පැදවීම වැනි සමාජයට බරපතළ ගණයේ අවදානමක් හානියක් සිදු වෙන තරමේ වැරැද්දක් සාධාරණීකරණය කරන පොලිස් නිලධාරියෙකු ගෙන් සමාජයට තඹ දොයිතුවක හෝ ප්‍රයෝජනයක් තිබිය හැකි ද ?

එවැන්නෙක්, සාධු සම්මත සමාජයක් බිහි කිරීමට එක් දශමයකින් හෝ තම ශ්‍රමය දායක කරයි ද ?

සදාචාරවත් සමාජයක් අපේක්ෂා කරන පුරවැසියන්, මෙවැනි අශීලාචාර, ජරාජීර්ණ පුස් තරුකාරයින්ගේ තටු කපන තුරු බලා හිඳියි.

වගකිව යුතු බලධාරින් එකතු වී, මෙවැනි නීතිය මත අසූචී තවරා සමස්ත රාජ්‍ය පද්ධතියම ගඳ ගස්වන ගව මහීෂාදින් ව බැඳ දමන තුරු අපි බලා සිටිමු.

***************************************

පුත්තලමේ දී මනුෂ්‍ය ඝාතනයක්

(11.01.2022 – 06:34 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම පොලිස් වසමේ මණතිව්, සෙව්වන්තිව් ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු (2) අතර සිදු වූ බහින්බස් වීමක් හේතුවෙන් සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ වාර්තා වෙනවා.

මෙහි දී එක් (1) පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට පොල්ලකින් පහර දී තිබෙන අතර,ඇති වූ බරපතළ තුවාල හේතුවෙන් අදාළ පුද්ගලයා මිය ගොස් තිබෙනවා.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 38 ක 03 කණුව – පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකාර ඝාතකයා අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙන අතර, පුත්තලම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.

මේ අතර, පුදුකුඩුඉරිප්පු – විශ්වමඩු නැගෙනහිර දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ වීමේ සිදුවීමක් වාර්තා වෙනවා.

වෙඩි තැබීමෙන් වයස අවුරුදු 22 ක පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර, සැකකරු අද (11) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි ෴

***************************************

කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) අත් අඩංගුවට

(11.01.2022 – 06:58 +0530 – hirunews.lk/sinhala)

මැදවච්චිය පොලිස් වසමේ භූ ඔය බාධකයේ දී මැදවච්චිය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් වැටලීමක් කරනු ලැබ තිබෙනවා.

එහි දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 24 යි ග්‍රෑම් 850 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) අත් අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 20 හා 34 යන වයස්වල පසුවෙන මුලතිවු හා පුදුකුඩුඉරිප්පු යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

අත් අඩංගුවට ගත් අය අද (11) මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මැදවච්චිය පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති ෴

***************************************

ශ්‍රීලංකන් ගුවන් සේවය පාරිභෝගික පහසුකම උදෙසා නව ගිවිසුමකට එළැඹේ

(11.01.2022 – 07:13 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ගුවන් සේවය , උතුරු ඇමරිකාව සහ යුරෝපය පුරා පාරිභෝගිකයින්ට වැඩි දියුණු කළ සම්බන්ධතා සහ ගමන් විකල්පයන් ලබාදෙමින් 2021 දෙසැම්බර් මාසයේ සිට American Airlines සමග සංකේත හුවමාරු ගිවිසුමකට එළඹ තිබෙනවා.

මෙම උපාය මාර්ගික හවුල්කාරිත්වය මගින් ශ්‍රීලංකන් ගුවන් සේවයෙහි සංකේතය සමගින් ඇමරිකන් එයාර්ලයින්හි එක්සත් ජනපද නගර වන මියාමි සහ නිව්යෝර්ක් වෙනත් යුරෝපීය ස්ථාන වන ලන්ඩන සහ පැරීසිය වෙතත් පියාසර කිරීමට ඉඩ සලසා ඇති බවයි වාර්තා වන්නේ.

පැරිස් සහ ෆ්‍රැන්ක්ෆර්ට් හි ගුවන් සේවා මධ්‍යස්ථාන හරහා Dallas – Fort Worth සහ ලන්ඩනයේ එයාර්ලයින් මධ්‍යස්ථානය හරහා ලොස් ඇන්ජලිස් සහ චිකාගෝ වෙතත් පහසුකම් සැපයෙනු ඇති.

මෙම එක්සත් ජනපද නගර අතුරින් Dallas – Fort Worth ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් මාර්ග ජාලයට නව එකතු කිරීමක් බවයි ශ්‍රීලංකන් ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

***************************************

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් පස්දෙනෙකු (5) පොලිස් අත්අඩංගුවට

(11.01.2022 – 07:58 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලීසිය විසින් සිදු කරන වැටලීම් සහ සෝදිසි කිරීම්වලදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ අලෙවි කිරීමට උත්සාහ කිරීමේ චෝදනා මත පුද්ගලයින් පස්දෙනෙකු (5) අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ගෝනහේන විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් ලද තොරතුරකට අනුව ඊයේ (10) පස්වරුවේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මුවදොර උයන ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 52 යි, මිලිග්‍රෑම් 335 ක් සොයා ගෙන ඇති අතර, අදාළ පුද්ගලයා 36 හැවිරිදි වියෙහි පසුවන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරු අද (11) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, කඩවත – ඉහළ බියන්විල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක දී ඊයේ (10) රාත්‍රියේ හෙරොයින් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 100 ක් සමගිනුයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

40 හැවිරිදි මෙම පුද්ගලයා කඩවත ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, ඔහු අද (11) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදි‍රිපත් කිරීමට නියමිතයි.

මේ අතර, කඩවත – ඉදිගහමුල හන්දිය ප්‍රදේශයේ දී පොලීසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රාගම අධිවේගී මාර්ගය අසල දියි.

මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරු සන්ත්කයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13 යි, මිලිග්‍රෑම් 200 ක් සොයා ගෙන ඇති අතර, මෙම පුද්ගලයා කඩවත – ගෝනහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරන්නේ.

30 හැවිරිදි වියෙහි පසු වන මෙම පුද්ගලයා අද (11) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම , හෙරොයින් ග්‍රෑම් 03 යි, මිලිග්‍රෑම් 570 ක් සන්තකයේ තබාගත් අයෙකු ඊයේ (10) පස්වරුවේ පොලිස් අත් අඩංගුවට ගැනුනේ, ගල්කිස්ස පොලිස් නිලධාරින් විසින්.

සැකකරු 23 හැවිරිදි වියෙහි පසුවන තරුණයකු වන අතර, ඔහු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

නීතිමය කටයුතු සඳහා මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරු අද (11) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

‘හෑෂ් ඔයිල්’ මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

(11.01.2022 – 08:20 +0530 – hirunews.lk/sinhala)

තලංගම පොලිස් වසමේ අංක අංක 916/1, 16 වන පටුමග, පහළවෙල පාර, පැළවත්ත ලිපිනයේ දී ඊයේ (10) දින විශේෂ කාර්‍ය බලකා නිලධාරින් විසින් වැටලීමක් සිදු කර තිබෙනවා.

එහි දී සිංගප්පුරු ජාතිකයකුගේ පදිංචි නිවස පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තයේ තිබී ‘හෑෂ් ඔයිල්’ මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

තවදුරටත් නිවස පරික්ෂා කිරිමේ දී නිවසේ රහසිගතව සඟවා තිබු ජර්මනියේ නිෂ්පාදිත අංක E114225165 HAMMERLI P 26 වර්ගයේ බලපත්‍ර නො මැති වායු පිස්තෝල අවියක් සහ අඩියක් පමණ දිගින් යුත් වැඩිදියුණු කරන ලද පිස්තෝලයක හැඩය ඇති කුඩා දුන්නක් ද සොයාගත් බව යි පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ.

අත් අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 50 ක සිංගප්පුරු ජාතිකයෙක්.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලංගම පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති.

අත්අඩංගුවට ගත් භාණ්ඩ :

හැෂ් ඔයිල් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 50 යි.
කේරළ ගංජා ග්‍රෑම් 50 යි, මිලිග්‍රෑමි 220 යි.
හැෂ් ඔයිල් තැවරුණු ප්ලාස්ටික් ඩප්පි 03 යි.
SF 400 වර්ගයේ විද්‍යුත් තරාදි 01 යි.
ගංජා එතිම සදහා භාවිතා කරන උපකරණ 02 යි.
ජර්මනියේ නිෂ්පාදිත අංක E114225165 HAMMERLI P 26 වර්ගයේ කුවිතාන්සි නොමැති වායු පිස්තෝල අවි 01 යි.
වායු පිස්තෝලය සදහා යොදන ලබන යකඩ පැලට් 181 යි.
MINI CROSS BOW වර්ගයේ කළු පැහැති දුනු 01 යි.
එම දුන්න සදහා භාවිතයට ගන්නා ඊතල 21 යි.
LAH MINI 45 වර්ගයේ කුඩා දුනු 01 යි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *