බම්බලපිටිය වැල්ලවත්ත මුහුදෙන් සහ කොලන්නාව තෙල් ඇලෙන් මළ සිරුරු මතුවේ

බම්බලපිටිය වැල්ලවත්ත මුහුදෙන් සහ කොලන්නාව තෙල් ඇලෙන් මළ සිරුරු මතුවේ

*********************************************

බම්බලපිටිය වැල්ලවත්ත මුහුදෙන් සහ කොලන්නාව තෙල් ඇලෙන් මළ සිරුරු මතුවේ

(10.01.2022 – 14:47 +0530 – hirunews.lk/sinhala)

හඳුනා නොගත් මළ සිරුරු දෙකක් (2) වැල්ලවත්ත සහ බම්බලපිටිය ප්‍රදේශවලින් හමුවී තිබෙන බව පොලිසිය පවසනවා.

මෙම මළ සිරුරු දෙකෙන් (2) එක් (1) සිරුරක් වැල්ලවත්ත වෙරළ තීරයේත්, අනෙක් සිරුර බම්බලපිටිය වෙරළ තීරයේත් තිබියදී සොයා ගත් බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

මේ අතරින් වැල්ලවත්ත වෙරළ තීරයට ගොඩ ගසා තිබූ මළ සිරුර හිසසුන් කවන්ධයක් බවයි වාර්තා වන්නේ.

මෙතෙක් සිදු කළ පරීක්ෂණ වලදී මෙම සිරුර දෙකම (2) පිරිමි පුද්ගලයින්ගේ සිරුරු බවත් ඒවා මෙම වෙරළ තීරයට ගොඩ ගැසූ ආකාරය පිළිබඳව පුළුල් පරීක්ෂණ සිදුකෙරෙන බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙම මළ සිරුරු දෙක (2) සම්බන්දයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා තිබෙනවා.

මේ අතර කොලොන්නාව තෙල් සංස්ථාව අසල පාලම ආසන්නයේ ඇලේ තිබී පිරිමි මළ සිරුරක් (1) හමුවී තිබෙනවා.

එම පුද්ගලයා කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි තහවුරු කරගෙන තිබෙන්නේ.

කෙසේ වෙතත් ඥාතීන් විසින් මළ සිරුර හඳුනා ගෙන ඇති අතර මෙම මරණයට හේතුව තවම තහවුරු කරගෙන නැහැ.

වැල්ලම්පිටිය සහ දෙමටගොඩ යන පොලිසිය ස්ථාන විසින් මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් ද එසේත් නැතහොත් වෙනයම් ඝාතන ක්‍රියාවක් ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා ෴

***************************************

යහපාලනයේ වැරදි වලට තමන් වග කිව යුතු නෑ – සරත් ෆොන්සේකා

(10.01.2022 – 14:45 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු පාර්ශව අදත් (10) අදහස් පළකළා.

එහිදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසුවේ, යහපාලනයේ වැරදි වලට තමන් වග කිව යුතු නොවන බවයි.

තමන් විපක්ෂ‍යට පැමිණියේ හොරු, මංකොල්ලකාරයො කියා දැනගෙන බවත්, හැමෝම විපක්ෂයේ ඉන්න කොට රසා කතා කියන බවත්, සමගි ජනබලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා ප්‍රකාශ කළා.

***************************************

විදුලි අර්බුදය ජන ජීවිතයට බාධාවක් වෙන්න බැහැ – ජනපති

(10.01.2022 – 14:50 +0530 – hirunews.lk/sinhala)

ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරනවා.

විදුලි කප්පාදුවක් පිළිබඳව පැනනැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා.

ගල්අඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනයේ දී පැනනැගී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව නිලධාරීහු පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාව සතු ගල්අඟුරු සංචිත විදුලි අර්බුදයකට ඉඩ නොදී කළමනාකරණය කරගැනීමට ප්‍රමාණවත් වේ. ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදනය කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යෑමෙන් වැළකිය හැකි බව ද නිලධාරීහු මෙහිදී සඳහන් කළා.

පවතින තත්ත්වය කළමනාකරණය කරගනිමින් ජන ජීවිතය පවත්වා ගෙන යාමට සියලු පියවර ගෙන ඇතැයි ද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරු සඳහන් කළා.

අමාත්‍ය ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු විදුලිබල, බලශක්ති අමාත්‍යාංශවල ලේකම්වරු සහ අදාළ රේඛීය ආයතනවල ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියා.

***************************************

ණයවර ලිපි නිකුත් නොකිරීමෙන් ඖෂධ වර්ග 80 ක පමණ හිඟයක් ඇතිවීමේ අවදානමක් !

(10.01.2022 – 15:05 +0530 – hirunews.lk/sinhala)

2022 වර්ෂයට අදාළ වාර්ෂික ඖෂධ ඇස්තමේන්තුවලට අදාළ ඖෂධ මිල දී ගැනීම සඳහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80 ක් පමණ මිල දී ගැනීමට නොහැකිවන තත්ත්වයක් ඇතිව තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා.

සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සඳහා ඖෂධ ඇස්තමේන්තු සකස් කරනු ලබන්නේ කලින් වසරේ ජනවාරි මාසයේ සිට වන අතර, නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිල දී ගැනුම ආරම්භ වන්නේ අගෝස්තු මාසයේ සිටයි.

ඒ අනුව තෝරාගත් සමාගම් සදහා ණයවර ලිපි නිකුත් කළ පසු මාස හතරක (4) පමණ කාලයක් ඖෂධ ගෙන්වීම සඳහා වැයවන අතර ජනවාරි මාසය වනවිට ඖෂධ රට තුළට පැමිණීම සහ ගබඩා කිරීම සිදු කළ යුතුයි.

නමුත් 2022 වර්ෂය සඳහා අවශ්‍ය ණයවර ලිපි මේ වන තුරුත් නිකුත් වී නොමැතිවීම හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් මාස 4 ක පමණ ප්‍රමාදයකට ලක්ව තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් අනපේක්ෂිත ලෙස අතිරික්ත වූ ඖෂධ නොවන්නට මේ වන විටත් රට තුළ බරපතළ ඖෂධ හිඟයක් ඇති වී තිබිය යුතු නමුත්, ඉදිරිය පිළිබද නිවැරදි කළමණාකරණයක් සිදු නොවුණහොත් තව මාසයකින් (1) පමණ රට තුළ උග්‍ර ඖෂධ හිඟයක් ඇතිවීම නොවැළැක්විය හැකි බවයි රවී කුමුදේශ් අවධාරණය කරන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරනු ලබන දත්ත හා සැලසුම් පිළිබදව විමසීමේදී, මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබදව නිසි අවබෝධයකින් කරයුතු කරමින් සිටින්නේ ද යන්න පිළිබදව අවිශ්වාසය පවතින් අතර, නිවැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීමට කිසියම් බියක් දක්වන්නේ ද යන්න පිළිබදව සැකයක් මතු වනවා.

අවම වශයෙන් ඩොලර් මිලියන 40 ක පමණ මුදලක් අවශ්‍ය වන මෙම ගැටලුව විසදා ගැනීම සදහා රජය ලබාදීමට එකඟව ඇති ඩොලර් මිලියන 5 ක මුදල එක ඖෂධයකටත් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් තිබියදී, එමගින් ගැටලුව විසදාගත හැකි බව ප්‍රකාශ කිරීමට තරම් රාජ්‍ය අමාත්‍යාංශය ඉක්මන් වී තිබීම පුදුමයට කරුණකි.

කෙසේ නමුත් ඉදිරියේදී කල් ඉකුත් වූ වීමට නියමිත ශ්‍රී ලංකා සංවර්ධන මණ්ඩලයේ ‘බොන්ඩ්ස්’ මගින් ඉපයෙන ආදායම මගින් මෙම ණයවර ලිපි නිකුත් කළ හැකි බවට, මුදල් අමාත්‍යාංශයේ පොරොන්දුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශ්වාසයට ලක්ව තිබීම මගින් ද ගැටලුවේ සැබෑ ස්වරූපය හඳුනාගෙන නොමැති බව තේරුම් ගැනීමට ඇති හොඳ නිදසුනක්.

එබැවින් මාස හතරකට (4) පෙර සිදු කළ යුතු සැලසුම් තවදුරටත් ප්‍රමාද නොකර, ගැටලුවේ යථා ස්වරූපය අවබෝධ කර ගනිමින්, ඖෂධ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා යථාර්ථවාදී ව මැදිහත්වීම මේ මොහොතේ රජයේ ප්‍රමුඛ වගකීමක්.

පිළිකා ඖෂධ, වකුගඩු රෝග, හදවත් රෝග, ළමා රෝග සඳහා අවශ්‍ය ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ වැනි ඖෂධ වර්ග ගණනාවක් මේ යටතේ හිඟවීමට ඉදිරියේදී ඉඩ ප්‍රස්තාව ඇති වන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ ෴

***************************************

පාඨලීගේ ඉල්ලීමට අධිකරණය බෑ කියයි

(10.01.2022 – 16:22 +0530 – hirunews.lk/sinhala)

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් තමන්ට එරෙහිව පවරා ඇති නඩුවේ හෙට (11) දිනයේ සාක්ෂි විභාගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළා.

ඒ, අදාළ ප්‍රතිශෝධන පෙත්සම අද (10) කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු බරපතළ අනතුරට ලක් කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂි වසන්කිරීම හා සාක්ෂි ගෙතූ බවට චෝදනා කරමින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ හෙට (11) දින සාක්ෂි විභාගය අත්හිටුවන්නැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.

මෙම ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලුනේ මේනකා විජේසුන්දර සහ එස්. කුමාරන්රත්නම් යන විනිසුරු මඩුල්ල හමුවේයි.

එහිදී හිටපු අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙනවාද නැද්ද යන නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත්කරන බවයි අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ.

2016 වසරේදී සිදු වූ රිය අනතුරෙන් තරුණයෙකු බරපතල ලෙස අනතුරට ලක් කිරීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට (3) එරෙහිව ගොනු කළ නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා ද ප්‍රතික්ෂේප කරමින් පසුගිය වසරේ දෙසැම්බර් මස දෙවැනිදා (02) මෙම නඩුව විභාගයට ගැනුණා.

පසුගිය නඩු විභාගය වෙනුවෙන් අනතුරට ලක් වූ තරුණයාද රෝද පුටුවක ආධාරයෙන් අධිකරණයට පැමිණ සිටියා.

කෙසේ වෙතත් එහිදී සිද්ධියෙන් අනතුරට පත් සන්දීප් සම්පත්ගේ පියා වන දයානන්ද ගුණවර්ධන මහතා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ තම පුතු සුව කරගැනීම සඳහා චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍යවරයාගේ නිවසටම ගොස් ඉල්ලා සිටියත් ඊට කිසිඳු ප්‍රතිචාරයක් නොදැක් වූ බවයි.

මෙම රිය අනතුර සිදුවන අවස්ථාවේදී තම පුත්‍රයාගේ මිතුරන් දෙදෙනෙකු (2) එම ස්ථානයේ සිටි බවත් අනතුරට පත් අදාළ ජීප් රථය ඇමති චම්පික රණවක මහතා විසින් පැදවු බව ඔවුන් විසින් හඳුනාගෙන තිබූ බවත් සාක්ෂිකරු පසුගිය නඩු වාරයේදී අධිකරණය හමුවේ සඳහන් කර තිබුණා.

සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම ජනවාරි මස 11 වැනිදා තෙක් එනම් හෙට (11) දිනය දක්වා කල් තැබුණා.

අද (10) දිනයේ අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ එම සාක්ෂි විභාගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කළ ඉල්ලීමයි.

***************************************

කොටදෙනියාවේ ළමයින් දෙදෙනා (2) ගැන අධිකරණයෙන් නියෝගයක්

(10.01.2022 – 16:30 +0530 – hirunews.lk/sinhala)

දින 43 කට වැඩි කාලයක් අතුරුදන්ව සිටියදී හමුවූ කොටදෙනියාව ප්‍රදේශයේ පිරිමි ළමයින් දෙදෙනා (2) තවදුරටත් මාකොළ – මාසෙවන ළමා රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබන ලෙසට, අධිකරණය විසින් අද (10) දින නියෝග කළා.

ඒ, ඊට අදාළ නඩුව අද (10) දින මිනුවන්ගොඩ දිසා අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදියි.

පසුගිය වසරේ නොවැම්බර් 23 වන දා අතුරුදන් වූ මෙම දරුවන් දෙදෙනා (2) මීරිගම නගරයේ වෙළඳසැළක සිටියදී එහි හිමිකාරිනිය විසින් හඳුනාගෙන පසුගිය 06 වන දා සොයා ගනු ලැබුවා.

පසුව පොලීසිය ඔවුන් මාකොළ ළමා රැදවුම් මධ්‍යස්ථානයට යොමු කළ අතර, ඉන් අනතුරුවයි යළිත් අද (10) දින නඩු විභාගය සඳහා ඔවුන් ඉදිරිපත් කරනු ලැබුවේ.

එහිදී අධිකරණය නියෝග කළේ, ළමයින් දෙදෙනා (2) තවදුරටත් රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබන ලෙසයි.

නඩුව වැඩිදුර විභාගය මාර්තු 07 වන දා දක්වා කල් තබනු ලැබුවා ෴

***************************************

පෞද්ගලික අංශයේ සේවකයන්ට 5000 දීමනාව දෙන්න බැහැලු

(10.01.2022 – 17:11 +0530 – hirunews.lk/sinhala)

රටේ ආර්ථික තත්වය යහපත් වනතුරු රුපියල් 5,000 දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදීමට අපහසු බව පෞද්ගලික අංශයේ හාම්පුතුන් විසින් කම්කරු අමාත්‍යවරයා වෙත දන්වා තිබෙනවා.

ඒ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ මෙරට පෞද්ගලික සේවා අංශ ප්‍රධානීන් සමග කම්කරු දෙපාර්තමේන්තුවේ අද පැවති සාකච්ඡාවකදීයි.

මේ වනවිට අපනයන ආදායම ද පහත වැටී ඇති බවත් රේගු ගාස්තු වැඩිවීම, බහාලුම් පැමිණීමේ අඩුවීම්, නිෂ්පාදන වියදම් වැඩිවීම, අමුද්‍රව්‍ය ගෙන්වීමේ දී බලපාන ප්‍රශ්න හා ඒ සඳහා වැය වන මුදල් වැඩි වීම, බැංකුවලින් අය කරන අධික පොලිය වැනි කරුණු කිහිපයක් ඔවුන් ඒ සදහා හේතු වශයෙන් පෙන්වා දී තිබෙනවා ෴

***************************************

ඩොලර් අර්බුදය පොහොර සමාගම්වලටත්

(10.01.2022 – 19:45 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර සඳහා පනවා තිබූ තහනම ඉවත් කෙරුණ ද රට තුළ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් එම පොහොර ආනයනයේදී පෞද්ගලික පොහොර සමාගම් ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දී සිටිනවා.

හිරු ප්‍රවෘත්ති කළ සොයා බැලීමකදී එම පොහොර සමාගම් ප්‍රකාශ කළේ රසායනික පොහොර මිල ගණන් ද මේ වන විට දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

ඇමරිකානු ඩොලර් 350 ක – 400 ක පමණ අගයක පැවති යූරියා පොහොර ටොන් එකක මිල මේ වන විට ඩොලර් 1000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එම මිල ගණන් යටතේ ආනයනය කෙරෙන යූරියා පොහොර කිලෝ 50 හේ මිටියක් ගොවීන්ට අලෙවි කළ හැකි වන්නේ රුපියල් 8000 ත්, 8500 ක මිලකටයි.

කෙසේ වෙතත්, ඊට අඩු මිලට පවත්නා රසායනික පොහොර වර්ග හෝ ආනයනයට උත්සාහ කළ ද ණයවර ලිපි විවෘත කිරීමේදී ඩොලර් සපයා ගැනීම ගැටළුවක් වී ඇති බවයි පෞද්ගලික පොහොර සමාගම් පෙන්වා දෙන්නේ.

තහනම ඉවත් කිරීමට පෙර වැවිළි අමාත්‍යාංශය ලබාදුන් අවසරයක් මත රසායනික පොහොර ටොන් 40,000 ක් පමණ පෞද්ගලික පොහොර සමාගම් විසින් මෙරටට ගෙන්වා තිබෙනවා.

මේ වන විට ගොවීන් අතර බෙදා හරිනු ලබන එම පොහොර තොග ලබන මාසයේ මැදභාගය වන විට අවසන් වීමට නියමිතයි.

කෙසේ වෙතත්, පොහොර සමාගම් ප්‍රකාශ කරන්නේ ඊළඟ කන්නයට හෝ ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර ලබාදීමට නම් මේ වන විට පොහොර ආනයනයට අවශ්‍ය ණයවර ලිපි විවෘත කළ යුතුව ඇති බවයි.

ගොවි ගැටළු පිළිබදව අවධානය යොමු කරමින්, ජාතික ගොවි සමුළුව ගොවීන් දහසකගේ පමණ සහභාගීත්වයෙන් පොළොන්නරුව – පුලතිසි මණ්ඩපයේදී අද පැවැත්වුණා.

එමෙන්ම, ප්‍රමිතියෙන් තොර පොහොර නොමැතිව තම වගා බිම් විනාශ වී ඇති බවට දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් තවදුරටත් චෝදනා කරනවා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා මරණ 15 ක්

(10.01.2022 – 18:28 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු ඊයේ (09) දින ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,134 ක්.

එමෙන්ම වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 9,471 ක් වන අතර සුවය ලැබූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 5,67,077 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

කෙසේවෙතත් කොරෝනා වෛරසය මර්දනයට මේ වනවිටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරන අතර, එහි පළමු (1) එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 1,60,07,724 ක්.

දෙවැනි (2) එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 13 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, බූස්ටර් එන්නත මේ වනවිට ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයින් සංඛ්‍යාව ද ලක්ෂ 04 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා ෴

+++++++++++

කොරෝනා ආසාදිතයින් 461 ක්

(10.01.2022 – 19:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 461 දෙනෙකු අද (10) දිනයේදී වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,92,128 ක්.

කෙසේවෙතත් වෛරසය ආසාදිතව සිට පූර්ණ සුවය ලද පුද්ගලයින් සංඛ්‍යාව පන්ලක්ෂය (5,00,000) ඉක්මවා ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව මෙරට තුළ පමණක් 15,134 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගෝලීය කොවිඩ් වෛරස තත්ත්වයට සාපේක්ෂව මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ද වසංගතය මැඩලීමට මේ වනවිට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ දිවයින පුරා ක්‍රියාත්මක වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ.

එමෙන්ම මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය අංශ වෙතින් ද මනා සහයෝගයක් ලබාදෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *