අපනයන ඉපැයීම් සදහා අදාළ වන රෙගුලාසි විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඉපැයීම් වලට බල නොපැවෙත්වේ

අපනයන ඉපැයීම් සදහා අදාළ වන රෙගුලාසි විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඉපැයීම් වලට බල නොපැවෙත්වේ

*********************************************

අපනයන ඉපැයීම් සදහා අදාළ වන රෙගුලාසි විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඉපැයීම් වලට බල නොපැවෙත්වේ

(08.01.2022 – 16:55 +0530 – hirunews.lk/sinhala)

අපනයන ඉපැයීම් සඳහා අදාළ වන රෙගුලාසි විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ඉපයීම් සඳහා බල නොපවත්වන බව මහ බැංකුව පවසනවා.

ඒ අනුව බලපත්‍රලාභී බැංකු හරහා හෝ වෙනත් නීත්‍යානුකූල මාර්ගවලින් ඔවුන් මෙරටට එවන විනිමය විදේශ මුදල්වලින් මෙරට ඕනෑම වාණිජ බැංකුවක තැන්පත් කළ හැකියි.

ඒවා රුපියල්වලට පරිවර්තනය කිරීම අනිවාර්ය නොවන අතර, එසේ කරන්නේ නම් ඒ සඳහා මහ බැංකුව අනුමත විනිමය අනුපාතයට අමතරව අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් දහයක (10) අතිරේක දිරිදීමනාවක් ලබන 31 වැනිදා දක්වා ලබාදෙනු ඇති ෴

***************************************

පිළිස්සුම් තුවාල ලැබූ සොයිසාපුර තරුණයා මියයයි

(08.01.2022 – 13:38 +0530 – hirunews.lk/sinhala)

මොරටුව – සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක් තුළ ඇතිවූ ගින්නකින් පිළිස්සුම් තුවාල ලැබූ අවුරුදු 19 ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (07) පස්වරුවේ මෙම අනතුර සිදු ව තිබූ අතර, තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත යි ෴

***************************************

ජනපති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබාගනී

(08.01.2022 – 13:44 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (08) පෙරවරුවේ අනුරාධපුර – ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

පුදබිමට පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා තිබෙනවා.

ජය ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ඉදි කෙරෙන රථගාලේ තත්වය පිළිබඳව පරීක්ෂා කළ ජනාධිපතිවරයා පැමිණ සිටි ජනතාව සමඟද සුහද පිළිසඳරක නිරත වූ බව සඳහන්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (07) පස්වරුවේ රුවන්වැලි මහා සෑ පුද බිමට පැමිණ පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

ගුවන්තොටුපොළේ නව කවුළු පහක් (5) විවෘත කෙරෙයි

(08.01.2022 – 13:53 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් තොටුපොළ පිටවීමේ පර්යන්තයේ ගුවන් ටිකට් පත් පරීක්ෂා කිරීමේ කවුළු සංඛ්‍යාව 60 දක්වා ඉහළ නංවා තිබෙනවා.

ඒ, අද (08) විවෘත කළ නව කවුළු පහක් (5) ද සමඟින්.

එම ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේ නව කවුළු අද (08) පෙරවරුවේ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි අතින් විවෘත කර ශ්‍රී ලංකන් ගුවන් සේවයට භාරදුන් බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

වත්මන් ආණ්ඩුව බලයට ආවේ ජාති භේද ඇති කිරීමෙන් බවට විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්

(08.01.2022 – 14:13 +0530 – hirunews.lk/sinhala)

ජනතාව අතර භේද ඇති කිරීම වත්මන් ආණ්ඩුව බලයට පත්වීම සඳහා නිර්මාණය කළ උපක්‍රමයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

වව්නියාව මරවන්කුලම්, පාරතිසන් විද්‍යාලයට ඩිජිටල් පරිගණක තිර ලබාදීමේ අවස්ථාවට එක් වූ විපක්ෂනායකවරයා, විකල්ප දේශපාලන පක්ෂ ලෙස හඳුන්වන ඇතැම් පක්ෂවලට අභියෝගයක් ද සිදු ක‍ළේ රටේ සංවර්ධනයට එක්වන ලෙසයි.

වව්නියාව මරවන්කුලම් පාරතිසන් විද්‍යාලයට රුපියල් හත් ලක්ෂ පනස්දහසක (7,50,000) වටිනාකමකින් යුත් සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ ලබාදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා ෴

***************************************

සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ ගනේගොඩදී මැදිරි වෙන්වෙයි

(08.01.2022 – 18:09 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ ‘සෙංකඩගල මැණිකේ’ සීඝ්‍රගාමී දුම්රිය ගනේගොඩදී මැදිරි වෙන්වීමේ සිද්ධියක් වාර්තා වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා ෴

***************************************

ගෑස් අනතුරුවලට ලක්වූවන්ට වන්දි දීම ගැන අනිද්දා (10) සාකච්ඡාවක්

(08.01.2022 – 18:44 +0530 – hirunews.lk/sinhala)

ගෑස් ආශ්‍රිත අනතුරුවලට මුහුණදුන් පුද්ගලයින් අනිද්දා (10) දිනයේ හමුවී වන්දි ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

එසේම, දිවයිනේ ප්‍රදේශ රැසකින් අද (08) දිනයේත් ගෑස් පිපිරීම් වාර්තා වුණා.

ගෑස්, භූමිතෙල් සහ කිරිපිටි ඇතුළු ඇතැම් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ජනතාව තවදුරටත් පෝලිම්වල රැඳී සිටින ආකාරයක් දක්නට ලැබෙනවා.

ඔවුන් පවසන්නේ අදාළ ද්‍රව්‍ය ප්‍රමාණවත් තරම් වෙළඳපොලේ නොමැති වීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවයි.

***************************************

බණ්ඩාරනායක සැමරුමට චන්ද්‍රිකා සමග සුසිල්, චන්දිම සහ අනුර යාපාත් එක්වෙයි

(08.01.2022 – 18:54 +0530 – hirunews.lk/sinhala)

නව ප්‍රතිසංවිධාන වැඩපිළිවලක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ගමනකට අවතීර්ණ වන බව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ 123 වන ජන්ම දින සැමරුමට අද (08) එක්වෙමින්.

බණ්ඩාරනායක ජන්ම දිනය සැමරීමට බණ්ඩාරනායක සමාධි පදනම මගින් අද (08) පෙරවරු 8 ට පමණ කොළඹ – ගාලු මුවදොර පිටිය ඉදිරිපිට පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසලදී සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා.

ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන්.

එහිදී බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරුණු අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, විදුර වික්‍රමනායක, චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා, අර්ජුන රණතුංග සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් කුමාරතුංග ඇතුලු දේශපාලඥයින් කිහිපදෙනෙක් එක්ව සිටියා.

පසුගියදා රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කෙරුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන සුසිල් ප්‍රේමජයන්ත ද එම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු පක්ෂයේ ප්‍රධානීන් සහභාගී වී සිටියේ නැහැ.

එම සැමරුම් අවස්ථාවෙන් අනතුරුව එම ස්ථානයේ සැරසිලි සියල්ල ඉවත් කෙරුණු අතර පසුව යළි නව සැරසිලි යෙදීමක් සමග තවත් බණ්ඩාරනායක ජන්ම දින සැමරුමක් අද (08) පෙරවරු 10:30 ට පමණ එම ස්ථානයේදීම පැවැත්වුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

***************************************

රත්‍රං සංචිත විකිණීම ඩොලර් අර්බුදයට විසඳුම නෙවෙයි – පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා

(08.01.2022 – 18:56 +0530 – hirunews.lk/sinhala)

රත්‍රං සංචිත විකිණිමෙන් මෙරට ඩොලර් අර්බුදය විසදිය නොහැකි බව සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ පවතින ඩොලර් අර්බුදය විසදන ආකාරය සම්බන්ධයෙන් මේ වන විට අමාත්‍ය මණ්ඩලය තුළ ද බෙදීමක් පවතින බවයි.

නොවැම්බර් මාසය අවසානයේ ඩොලර් මිලියන 382.2 ක් ලෙස පැවති මෙරට රන් සංචිතය දෙසැම්බර් මාසය අවසානයේ ඩොලර් මිලියන 175.4 ක වටිනාකමක් දක්වා පහත වැටී තිබෙනවා.

ඒ අනුව ඩොලර් මිලියන 206.8 ක් වටිනා රත්‍රං මහ බැංකුව විසින් අලෙවි කර ඇති අතර, රන් සංචිතය සියයට 54 කින් පහත වැටී ඇති බවයි මහ බැංකුවේ නවතම දත්ත මගින් අනාවරණ වුණේ.

***************************************

අද (08) සහ හෙට (09) විදුලි කප්පාදුවක් නැහැ – සංස්ථාවෙන් මණ්ඩලයට දැවිතෙල් ටොන් 2000 ක්

(08.01.2022 – 18:59 +0530 – hirunews.lk/sinhala)

අද (08) සහ හෙට (09) දිනවල විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විදුලි ජනනයට අවශ්‍ය දැවි තෙල් මෙටි්‍රක් ටොන් 2,000 ක් පමණ මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ලබාදී ඇති බවයි.

ඒ, සපුගස්කන්ද බලාගාරයට සහ කොළඹ වරායේ බත්තල බලාගාරයට දැවිතෙල් මෙට්‍රික් ටොන් දහස (1000) බැගින්.

එවන් පසුබිමක් තුළ සති අන්තයේ විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් මෙතෙක් මතුවී නොමැති බවයි විදුලිබල මණ්ඩලය කියා සිටියේ.

දැවිතෙල් සහ ඩීසල් තොග සම්බන්ධයෙන් හෙට (09) දිනයේදී යළි සමාලෝචනයක් සිදුකිරීමට පියවර ගන්නා බවද ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ මෙගාවොට් 300 ක විදුලි ජනන යන්ත්‍රයක් අක්‍රිය වීම නිසා, පසුගිය දෙසැම්බර් 03 වනදා මුළු දිවයිනටම බලපාන පරිදි විදුලිය විසන්ධි කිරීමට සිදුවුණා.

එහි නඩත්තු කටයුතු සිදුකෙරෙන අතරතුරයි කැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් (1) සහ කුකුළේ ගඟ ව්‍යාපෘතියේ ජනන යන්ත්‍ර දෙකක් (2) පෙරේදා අක්‍රිය වුණේ.

ඒ හේතුවෙන් ප්‍රදේශ ගණනාවකට වරින් වර පැයකට ආසන්න කාලයක් විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගත්තා.

විදුලිබල මණ්ඩලය සතුව දැනට භාවිතයට නොගන්නා ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කර විදුලිය කපා හැරීම වළක්වා ගත හැකිව තිබූ නමුත්, ඛනිජ තෙල් සංස්ථාවෙන් තෙල් ලබා නොදීම නිසා විදුලිය කපා හැරීමට සිදුවු බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර තිබුණේ.

කෙසේ වෙතත්, ඊයේ (07) දිනයේ විදුලිය කපා හැරීමක් සිදුනොවූ බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ අද (08) ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළ ද ඊයේ (07) පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි කර තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ද එම මාධ්‍ය හමුවට එක්ව සිටි අතර, එහිදී ඔහු පැවසුවේ ජනවාරි මාසය සඳහා දැවි තෙල් අවශ්‍ය නොවන බව විදුලිබල මණ්ඩලය විසින් ඛනිජ තෙල් සංස්ථාවට දැනුම්දී තිබු බවයි.

***************************************

ජනපති මිරිසවැටිය විහාරාධිකාරි හිමියන් බැහැදකී

(08.01.2022 – 19:02 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයාගේ ඉදිරි වැඩපිළිවෙළට සහාය වීම සෑම දෙනාගේ යුතුකමක් සහ වගකීමක් බව මිරිසවැටිය විහාරාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් පවසනවා.

ජනාධිපතිවරයා මිරිසවැටිය විහාරාධිකාරී හිමියන් අද (08) පෙරවරුවේ බැහැ දුටු අවස්ථාවේදීයි උන්වහන්සේ මේ බව සඳහන් කළේ.

වසංගත බියෙන් තොරව නිදහස් ජීවත් වීමට අවකාශය ලබාදීම ලෝකයේ සෙසු රටවලට ආදර්ශයක් බව පැවසූ උන්වහන්සේ නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය පවත්වා ගෙන යාමට ජනාධිපතිවරයාගේ එම වැඩපිළිවෙළ ආත්ම ශක්තියක් ලබා දී ඇති බවද කියා සිටියා.

අනතුරුව ලංකාරාම විහාරයට ගිය ජනාධිපතිවරයා විහාරාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත් අතර, අනුරාධපුරය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

***************************************

විපක්ෂ නායක මැතිවරණයක් ඉල්ලයි

(08.01.2022 – 19:04 +0530 – hirunews.lk/sinhala)

වහාම මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

වැලිඔය ප්‍රදේශයේ ඊයේ (07) පැවති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් අර්බුද රැසක් මේ වනවිට රට තුළ උද්ගතව ඇති බවයි.

***************************************

කාර්ම්ක විප්ලවයෙන් පසු පැමිණි, තාක්ෂණ විප්ලවයට, මෙරට අධ්‍යාපනය සූදානම් – අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

(08.01.2022 – 21:44 +0530 – hirunews.lk/sinhala)

කාර්මික විප්ලවයෙන් පසු, වර්තමානයේ තාක්ෂණ විප්ලවයක් ඇති වී තිබෙන බවත්,මේ නිසා සෑම විශ්වවිද්‍යාල සිසුවෙකුට ම තොරතුරු තාක්ෂණය ඉගෙනගත හැකි පරිදි පාඨමාලා සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, මාලබේ පිරිමි විද්‍යාලයේ පැවති උත්සවයට එක්වෙමින්.

ඒ අනුව විශ්වවිද්‍යාලය තුළදී, සිසුන් තොරතුරු තාක්ෂණය, විෂයයක් ලෙස තෝරාගත්තද, තෝරා නොගත්තද, එම සිසුන් ඉන් පිටව යන්නේ, තොරතුරු තාක්ෂණයේ නිපුනතාවක් සහිත දරුවකු ලෙසින් බව, අමාත්‍යවරයා කියා සිටියා.

මෙම ක්‍රමවේදය පාසල් තුළටත් ගෙන ආ යුතු බව, කාගේත් පිළිගැනීම බවද, ඔහු සඳහන් කළා.

මායාදුන්න හා රාජසිංහ රජවරුන් පෘතුගීසින්ට එරෙහිව ජයග්‍රහණයක් ලබාගැනීමට දේශිය තාක්ෂණය යොදවා ගත් බවත්, රටේ තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන ලද ඒ අවි ආයුධ ලොව අසම සම ආයුධ වූ බව ලෙස ඉතිහාසයේ සටහන්ව ඇති බවත්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළා.

ලොව උසස් ම කඩුවට නොදෙවෙනි වන කඩුවකින් අපේ රණ විරුවන් සටන් කළ බව ඉතිහාසගත වී ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *