පාන් ගැනත් අනතුරු ඇඟවීමක් !

පාන් ගැනත් අනතුරු ඇඟවීමක් !

*********************************************

පාන් ගැනත් අනතුරු ඇඟවීමක් !

(07.01.2022 – 23:12 +0530 – hirunews.lk/sinhala)

තිරිඟු පිටි හිඟවීම හේතුවෙන් ඉදිරියේදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදන හිඟ වන බවට බේකරි හිමියන් අනතුරු අඟවනවා.

ඒ ගෑස්, භූමිතෙල් සහ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා පවතින දිගු පෝලිම් තවමත් අවසන් වී නොමැති තත්ත්වයකයි.

මේ අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් (1,00,000) මියන්මාරයෙන් මිල දී ගැනීමට රජය පියවර ගෙන තිබෙනවා.

පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ප්‍රමාණවත් තිරිඟු පිටි සැපයීමටද මේ වන විට බාධා එල්ල වී තිබෙනවා.

බේකරි හිමියන් පවසන්නේ නම් දෛනික නිෂ්පාදනය සඳහා බලපෑම් එල්ල වී ඇති බවයි.

මේ හේතුවෙන් ඉදිරියේදී පාන් හිඟයක් ඇතිවි හැකි බවටයි බේකරි හිමියන් අනතුරු අඟවන්නේ.

මේ අතර වෙළඳපොළේ පවතින ගෑස් හිඟය හේතුවෙන් ගෑස් අලෙවි නියෝජිත ආයතන ආශ්‍රිතව අදත් දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

කොස්ගොඩ ප්‍රදේශයේ ගෑස් බෙදාදීම සඳහා පොලිසියටද මැදිහත්වීමට සිදු වූයේ විශාල පිරිසක් රැස්ව සිටීම හේතුවෙන්.

මේ අතර, ලිට්රෝ ගෑස් හිඟයට මුහුණදී සිටින පාරිභෝගිකයින් පිරිසක් කොම්පඤ්ඤවීදිය පිහිටි ලිට්රෝ ගෑස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක ද නිරත වුණා.

ගෑස් ආශ්‍රිත අනතුරු සහ වෙළඳපොළේ ඇති ගෑස් හිඟය හේතුවෙන් ජනතාව භූමිතෙල් භාවිත කිරීමට යොමු වී ඇතත් තවමත් පිරවුම්හල් ආශ්‍රිතව දක්නට ලැබෙන්නේ මෙවන් තත්ත්වයක්.

ගෑස් සහ භූමිතෙල් ද හිඟය හේතුවෙන් දර සඳහාද ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී තිබෙනවා.

මේ අතර, ගෑස් ආශ්‍රිත පිපිරීම්ද තවමත් අවසන් වී නැහැ.

මොරගහහේන, ගෝනපොළ ප්‍රදේශයේ නිවසක ගෑස් උඳුනක් මෙලෙස පුපුරා ගොස් තිබුණේ ගෙහිමි කාන්තාව ආහාර පිසීමෙන් මද වේලාවකට පසුවයි.

ගම්පොල, පුපුරැස්ස ඩේසන්වත්ත ප්‍රදේශයේ නිවසකත් ගෑස් ලිපක් පුපුරා ගොස් තිබෙනවා.

මේ අතර ගෑස් ආශ්‍රිත අනතුරුවල දී පාරිභෝගිකයන්ට රුපියල් මිලියනයක (10,00,000) රක්ෂණාවරණ පහසුකමක් හිමිවන බවත් 1311 අංකය ඇමතීමෙන් පාරිභෝගිකයින්ට එම රක්ෂණ පහසුකම ලබාගත් හැකි බවත් ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ හිරු ප්‍රවෘත්ති සමඟ සඳහන් කළා.

ඒ අනුව අදාළ අංකය හරහා ලි‍ට්‍රෝ සමාගමට සහ සම්බන්ධවීමට බොහෝ ජනතාව උත්සාහ කර තිබෙනවා.

මේ අතර වෙළඳපොළේ පවතින කිරිපිටි හිඟයක් හමුවේ දේශීය කිරිපිටි ලබාගැනීම සඳහා ද ජනතාව පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබුණා.

මේ අතර, සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් (1,00,000) මියන්මාරයේ ආනයනය කොට ආරක්ෂිත තොගයක් ලෙස පවත්වාගෙන යාමට අදාළ අවබෝධතා ගිවිසුමකට අද (07) අත්සන් තැබූ බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අත්‍යවශ්‍ය ආහාර, භාණ්ඩ හිඟය සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව සමඟි ජන බලවේගය ප්‍රදේශ කිහිපයකදී විරෝධතා සංවිධාන කර තිබූ අයුරුයි.

මේ අතර සමගි ජන බලවේගය ක්‍රියාත්මක කළ විරෝධාවක් හේතුවෙන් කොළඹ මිගමුව ප්‍රධාන මාර්ගයේ ජාඇළ අවට අද (07) පස්වරුවේ දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබුණා.

***************************************

මග උණුසුම් කළ සජබෙ විරෝධය

(07.01.2022 – 18:48 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගය විසින් අද (07) පස්වරුවේ රට තුළ පවතින ආර්ථික අවපීඩනයට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා.

ඒ කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ සිටයි.

මේ හේතුවෙන් ජා ඇල ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී ඇති බවටයි අප වාර්තාකරු සඳහන් කළේ.

***************************************

හැමට හොරෙන් මහ බැංකුව රන් සංචිතයත් විකුණාලා – හර්ෂ ද සිල්වා

(07.01.2022 – 20:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහා බැංකුව සතු රන් සංචිතවලින් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට විකුණා දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව සතුව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 382 වටිනා රන් සංචිත වලින් දැන් ඉතිරිව ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 175.4 ක් වටිනා රන් සංචිත ප්‍රමාණයක් පමණක් බවයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ථශාස්ත්‍රඥ හර්ෂ ද සිල්වා ප්‍රශ්න කරන්නේ මේ අනුව ඉදිරියේ ශ්‍රී ලංකාවට ගෙවීමට නියමිත මිලියන 500 ක් වන ජාත්‍යන්තර ණය වාරික ගෙවීම් සිදු කරන්නේ කෙසේ ද යන්නයි.

චීනයෙන් ලැබුණු යුවාන් බිලියන 10 ක මුදල භාවිතයෙන් එම ණය මුදල ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඔහු සැක සංකා මතු කරනවා ෴

***************************************

ආණ්ඩුවේ කඩවුණු පොරොන්දු ගැන කියන සජිත්

(07.01.2022 – 21:30 +0530 – hirunews.lk/sinhala)

වත්මන් රජය බලයට පත්වීමට පෙර පැවසූ හෝ දුන් පොරොන්දු කිසිවක් මේ වනවිට ක්‍රියාත්මක නොවන බවත්, මේ වනවිට ආණ්ඩුවේ විවිධ කඩවුණු පොරොන්දු ජවනිකා දැකගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා සඳහන් කළේ, පැය විසිහතරේම ආණ්ඩුවේ රාජකාරිය රටේ සියලුම කොටස් විකුණා දැමීම බවයි.

මෙලෙස ආණ්ඩුවක් හැසිරීම තුළින් රටේ ඉදිරියේදී කිසිදු බිම් අඟලක්වත් ඉතිරි වේ යැයි විශ්වාස කළ නොහැකි බව ද අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

***************************************

ලංගම බස් රථයකට ප්‍රහාරයක්

(07.01.2022 – 22:06 +0530 – hirunews.lk/sinhala)

අද (07) පෙරවරුවේ පොළොන්නරුවේ සිට මාතර දක්වා දිවෙන ලංගම බස් රථයකට පිරිසක් විසින් පහරදීමක් සිදු කර තිබෙනවා.

මඟ හරස් කොට 182 කිරිඳිවැල – හංවැල්ල පුද්ගලික බස් රථයක සහයකයා ඇතුළු පිරිසක් සිදු කළ පහරදීමක් ලංගම බස් රථයේ සිටි පුද්ගලයෙකු ජංගම දුරකථනයකින් මෙලෙස රූගත කර තිබුණා.

***************************************

පාකිස්ථානයේ සියල්කොට් ඝාතනයේ තවත් වීඩියෝවක් එළියට

(07.01.2022 – 22:09 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මස පාකිස්ථානයේ සියල්කොට්හිදී අමානුෂික ලෙස පහරදී පුළුස්ස ඝාතනය කළ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා තමන් සේවය කළ ඇඟලුම් කර්මාන්තශාලවේ බිත්තියක අලවා තිබූ දැන්වීමක් ගලවා දමන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සහ විරෝධතාකරුවන්ගෙන් බේරීමට ඔහු කර්මාන්තශාලාවේ වහලයට නගින ආකාරය දැක්වෙන වීඩියෝවක් පාකිස්තානු මාධ්‍ය අද (07) වාර්තා කළා.

***************************************

විපත වළකා දිවි බේරූ ගුවන් විරු දූපුතුන් මාධ්‍යයට කී කතාව

(07.01.2022 – 22:15 +0530 – hirunews.lk/sinhala)

සංචාරකයින් දෙදෙනෙකු (2) ද සමඟින් සීගිරියේ සිට කොග්ගල බලා පියාසර කරමින් තිබූ සැහැල්ලු ගුවන් යානයක් කටාන ප්‍රදේශයට සිදුකළ හදිසි ගොඩබෑමකදී අනතුරට ලක්වූ ආකාරය පසුගියදා අප වාර්තා කළා.

විදෙස් ජාතික මගීන් දෙදෙනා (2) ගේ ද දිවි බේරාගෙන අනතුර අවම කර ගැනීමට එහි නියමුවන් දෙදෙනාට (2) හැකිවීම විශේෂත්වයක්.

එම යානයේ නියමුවා සහ නියමුවරිය තම බිහිසුණු අත්දැකීම පිළිබඳව මුල්වරට අප සමඟ තොරතුරු හෙළි කළා.

‘සකුරායි ඒවියේෂන් සමාගම’ට අයත් සෙස්නා 172 වර්ගයේ සැහැල්ලු ගුවන් යානය කටාන පත්තායන්වත්ත ප්‍රදේශයේදී හදිසි ගොඩබෑමකදී අනතුරට ලක්වූයේ පසුගිය 27 වැනිදායි.

යානය ගුවන්ගත කරණ අවස්ථාවේදී කාර්මික දෝෂයක් සම්බන්ධයෙන් සැක පළ කළ හැකි කිසිවක් වාර්තා වී නැහැ.

කෙසේ වෙතත්, ලෙබනන් ජාතික සංචාරක යුවළක් රැගෙන රත්මලාන ගුවන්තොටුපොළින් සීගිරිය ප්‍රදේශයට ගොස් ආපසු කොග්ගල බලා පියාසර කරමින් තිබියදී යානය කාර්මික දෝෂයකට මුහුණ දුන්නා.

ඒ අවස්ථාවේදී තමන් කටයුතු කළ ආකාරය ගුවන් නියමු දිනිදු රුවන්පතිරණගේ සහ ගුවන් නියමු තමාෂා අබේනායක අප සමඟ මෙලෙස විස්තර කළා.

අනතුරින් තුවාල ලැබූ මෙම නියමුවා සහ නියමුවරිය තවමත් පසුවන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේයි.

කෙසේවෙතත්, තමන් මුහුණ දුන් අනපේක්ෂිත අවස්ථාවේදී එහි ගමන් කළ ලෙබනන් ජාතික සංචාරක යුවළගේ හැසිරීම ද ඔවුන් මෙලෙස ඇගයීමට ලක් කළා.

***************************************

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්

(07.01.2022 – 23:21 +0530 – hirunews.lk/sinhala)

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක අද (07) පස්වරුවේ ඇති වූ ගින්නකින් 19 හැවිරිදි තරුණයෙකු පිළිස්සුම් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නැහැ ෴

***************************************

විදේශ සංචිතයේ වර්ධනයක් – මහබැංකුව රන් විකුණයි

(08.01.2022 – 07:10 +0530 – hirunews.lk/sinhala)

මෙරට විදේශ සංචිතය දෙසැම්බර් මාසය අවසානයේ ඇමරිකානු ඩොලර් මිලියන 3,137.6 දක්වා වර්ධනය වී තිබෙනවා.

නොවැම්බරය අවසානයේ එය සටහන් වූයේ ඩොලර් මිලියන 1,588.4 ලෙසයි.

මෙලෙස විදේශ සංචිතය ඉහළ යාමට චීන මහජන බැංකුව මගින් ‘ස්වැප්’ හෙවත් විනිමය හුවමාරු ක්‍රමය ලබාදුන් ඩොලර් බිලියන 1.5 ක් පමණ වූ මූල්‍යාධාරය ද ඉවහල් වී ඇති බව සඳහන්.

එමෙන්ම නොවැම්බර් මාසය අවසානයේ ඩොලර් මිලියන 382.2 ක් ලෙස පැවති මෙරට රන් සංචිතය දෙසැම්බර් මාසය අවසානයේ ඩොලර් මිලියන 175.4 ක වටිනාකමක් දක්වා පහත වැටී තිබෙනවා.

ඒ අනුව ඩොලර් මිලියන 206.8 ක් වටිනා රත්‍රං මහ බැංකුව විසින් අලෙවි කර ඇති අතර, රන් සංචිතය 54% කින් පහත වැටී ඇති බවයි මහ බැංකුවේ නවතම දත්ත මඟින් අනාවරණ වන්නේ.

***************************************

කොටදෙණියාවේ දරුවන් දෙදෙනා (2) මීගමු රෝහලට

(08.01.2022 – 07:19 +0530 – hirunews.lk/sinhala)

මාස එකහමාරක් (1½) තිස්සේ, අතුරුදන්ව සිට හමුවූ කොටදෙනියාව ප්‍රදේශයේ බාලවයස්කාර පිරිමි ළමයින් දෙදෙනා (2), මේ වනවිට මීගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා එම දරුවන් රැගෙන ගිය අවස්ථාවේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා එහි නොසිටීම හේතුවෙන්.

එහිදී සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ලබාදුන් උපදෙස් මත එම ළමයින් රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ඒ අනුව මේ වනවිට එම දරුවන් දෙදෙනා (2) පොලිස් ආරක්ෂාව යටතේ මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ නේවාසිකව සිටින බව සඳහන්.

වෛද්‍ය වාර්තාව ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් ලබන සඳුදා (10) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවයි පරීක්ෂණ සිදු කරන පොලිස් නිලධාරිනියක් සඳහන් කළේ.

පසුගිය වසරේ නොවැම්බර් 23 වන දා අතුරුදන් වූ මෙම දරුවන් දෙදෙනා (2) මීරිගම නගරයේ වෙළඳසැළක සිටියදී එහි හිමිකාරිනිය විසින් හඳුනාගෙන පෙරේදා (06) පෙරවරුවේ මීරිගම පොලිසිය වෙත භාර කෙරුණා.

එහිදී අදාළ දරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබුණේ, මව ඇතුළු නිවැසියන් පහර දීම නිසා තමන් නිවසින් පලා ආ බවයි.

කෙසේ වෙතත් අදාළ ළමයින් දෙදෙනා (2) පොලිසිය වෙත භාර කළ කාන්තාව මෙන්ම ඇගේ සැමියාගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට ඔවුන් පෙරේදා කොටදෙණියාව පොලිසියට ද කැඳවා තිබූ අතර තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත යි ෴

***************************************

පාර්ලිමේන්තුවේ ආහාර රැගෙන යනවාදැ යි සොයන්න අහඹු පරීක්ෂණ

(08.01.2022 – 07:21 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අහඹු පරීක්ෂාවට ලක් කිරීමේ කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් සේවා මුර අවසන් කර පිටව යන අවස්ථාවේදී පාර්ලිමේන්තු ආරක්ෂක අංශ මගින් එම පරික්ෂා කිරීමේ කටයුතු අහඹු ලෙස සිදු කරනු ඇති.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියා සිටියේ, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තුවේ ආහාර නිවෙස් කරා රැගෙන යන බවට ලද තොරතුරුවලට අනුව යලි මෙම පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.

එලෙස පරීක්ෂා කිරීමේ කටයුතු වසර ගණනාවක සිට සිදු කෙරුණු අතර පසුගිය සමයේ එම කටයුතු නතර කර තිබුණා.

මෙලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පරීක්ෂාවට ලක්කිරීමට තීරණය කර ඇත්තේ ඒ අනුව යි.

මේ අතර පාර්ලිමේන්තුවේ නව සැසිවාරය සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය සූදානම් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඊට අදාළ සාකච්ඡා අදාළ අංශ සමග මේ දිනවල සිදු කෙරෙන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමත් සමග පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ලබන 18 වන දා පෙරවරු 10 ට ආරම්භ කිරීමට නියමිත යි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *