විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ගුවන් තොටුපලේදීම කොරෝනා එන්නත්

විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ගුවන් තොටුපලේදීම කොරෝනා එන්නත්

*********************************************

විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ගුවන් තොටුපලේදීම කොරෝනා එන්නත්

(07.01.2022 – 10:58 +0530 – hirunews.lk/sinhala)

විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා ෆයිසර් කොරෝනා එන්නත් ලබාදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කටුනායක ගුවන් තොටුපලේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් අද (07) ස්ථාපිත කරනු ලැබුවා.

පැය විසි හතර (24) පුරා සතියේ දින හත (7) තුළම ක්‍රියාත්මක ගුවන් තොටුපලේ පිහිටි එම එන්නත්කරණ මධ්‍යස්ථානය මගින් විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ එන්නත්කරණ තත්වය අනුව අදාළ කොරෝනා එන්නත් ලබාදීම සිදුකරනු ඇති.

එහිදී එන්නත්කරණය නොලැබූවන්ට පළමු (1) මාත්‍රාවත්, පළමු (1) මාත්‍රාව ලැබූ අයට දෙවන (2) මාත්‍රාවත් ලබාදෙන අතර, මාත්‍රා දෙකම (2) ලබාගත් අය සඳහා බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රාව ලබාදීමට නියමිතයි.

මේ අතර, අවුරුදු 12 ත් 15 ත් අතර පාසල් දරුවන්ට ෆයිසර් පළමු (1) එන්නත් මාත්‍රාව ලබාදීම අද (07) කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකදී සංකේතාත්මකව ආරම්භ වුණා.

ඒ අනුව, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ එන්නත්කරණය සිදු කෙරුණේ කොළඹ ශාන්ත ලූක් දේවස්ථානයේදියි.

මේ අතර, තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 6,89,500 ක් අද (07) කටුනායක ජාත්‍යන්තර ගුවන්තාටුපලින් මෙරටට රැගෙන එනු ලැබුවා.

+++++++++++

ගුවන් හමුදාවෙන් මෙරටට පැමිණෙන මගීන්ට එන්නත්කරණයට නව වැඩපිළිවෙළක්

(07.01.2022 – 17:52 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගූවන් හමුදාව විසින් කොවිඩි-19 එන්නත්කරණ මධ්‍යස්ථානයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ස්ථාපිත කර තිබෙනවා.

කොවිඩි-19 ව්‍යාප්තිය මැඩපැවැත්විම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ අධික්ෂණය යටතේ විදේශයන්හි සිට දිවයිනට පැමිණෙන ශ්‍රි ලාංකික ජනතාව වෙත පළමු, දෙවන හෝ තෙවන (බුස්ටර්) එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා ගැනීමට අවස්ථාව අද (07) දින සිට මෙම පරිශ්‍රයෙන් සිදුවන ප්‍රමුඛතම සේවාව යි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමි දවස පුරා මේ සඳහා යොදවා ඇති අතර, දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගීන් හට තමන්ගේ අභිමතය පරිදි පැමිණීමේ පරියන්තයේ දී අදාළ එන්නත්කරණය සිදු කරගත හැකි බවයි ගුවන් හමුදා මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

++++++++++

දරුවන්ට දෙවැනි (2) එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් ඉදිරියේ දී

(07.01.2022 – 17:10 +0530 – hirunews.lk/sinhala)

පළමු (1) කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා දී තෙමසක් (3) ගත වූ වයස අවුරුදු 15 – 19 ත් අතර වයස් සීමාවල පසුවන සියලුම දරුවන් සඳහා දෙවැනි (2) එන්නත් මාත්‍රාව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙලෙස එම දරුවන් හට දෙවැනි (2) මාත්‍රාව ලෙස ලැබෙනුයේ ෆයිසර් එන්නත බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ.

මේ අතර, සියලුම ගුරුවරුන්ට සහ දෙමාපියන්ට ද බූස්ටර් එන්නත ලබාදීමට ද කටයුතු සම්පාදනය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

++++++++++

කොරෝනා මරණ 16 ක්

(07.01.2022 – 18:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඊයේ (06) දිනයේදී සිදු වූ පුද්ගල මරණ 16 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිරිමින් 08 දෙනෙකු සහ ගැහැණු 08 දෙනෙක්.

මෙම මරණ අතර කිසිදු 30 ට අඩු මරණයක් වාර්තා නොවන අතර, සිදුව ඇති මරණ 04 ක් වයස අවුරුදු 30-59 ත් අතර පසුවන්නන්.

60 ට වැඩි වයස් සීමාවේ පසුවන පුද්ගල මරණ 12 ක් මීට ඇතුළත් අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 15,099 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

++++++++

කොරෝනා ආසාදිතයින් 588 ක්

(07.01.2022 – 20:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 588 දෙනෙකු අද (07) දිනයේදී මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,90,651 ක්.

වෛරසය ආසාදිතව තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 13,423 ක් වන අතර, සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන්ලක්ෂ හැට දහසේ (5,60,000) සීමාවා ඉක්මවා ගොස් තිබෙනවා.

සිදුව ඇති පුද්ගල මරණ ගණන ද පහළොස් දහස් එකසීයය (15,100) සීමාවට ආසන්නයි ෴

+++++++++

කොරෝනා ආසාදිතයින් 5,203 ක් පූර්ණ සුව අතට

(07.01.2022 – 22:44 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පුද්ගලයින් 5,203 දෙනෙකු අද (07) දිනයේ දී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වනවිට මෙරටින් දෛනිකව සුවය ලැබූ වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව ලෙසයි මෙය වාර්තා වන්නේ.

මේ වන විට වෛරසය ආසාදිතව සිට පූර්ණ සුවය ලද සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 5,66,760 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

කොළඹ වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු 12 වැනි දා ඇරඹෙයි

(07.01.2022 – 07:50 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ලබන 12 වනදා ආරම්භ කෙරෙනවා.

ඒ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ඩොලර් මිලියන 510 ක මූලික ආයෝජනයක් සිදු කිරීමට නියමිත යි.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදෙන ඩොලර් මිලියන 300 ක මූල්‍යාධාරය ද ඊට ඇතුළත්.

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ඉදිකිරීම් 2024 වසර මැද භාගය වනවිට අවසන් කිරීමට හැකිවනු ඇති බවයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය මීට පෙර ඉන්දියාවට ලබාදීමට යෝජනා වී තිබූ අතර, වරාය වෘත්තිය සමිතිවල දැඩි විරෝධතා මධ්‍යයේ එම තීරණය අත්හැර දැමීමට රජයට සිදුවුණා.

ඉන් අනතුරුවයි එය සංවර්ධනය කිරීම වරාය අධිකාරියට පැවරුණේ.

ඒ වෙනුවට කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම ඉන්දියාවට ලබාදීමට පියවර ගැනුණා ෴

***************************************

දුෂ්කර සමයේ ශ්‍රී ලංකාවට සහාය වන බව ඉන්දියාව කියයි

(07.01.2022 – 10:00 +0530 – hirunews.lk/sinhala)

දුෂ්කර සමයකට මුහුණ දෙන ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම් බව එරට විදේශ කටයුතු අමාත්‍ය එස් ජායිශංකර් ප්‍රකාශ කළා.

නව වසරට සුබ පැතුම් එක් කිරිම සඳහා තමා මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සමග දුරකතන සංවාදයක නිරත වූ බවත්, මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා නිරන්තරයෙන් සබඳතා පවත්වා ගැනීමට එකඟ වූ බවත් ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා දෙරට අතර ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුව යි.

එම එකඟතාව ද්වීපාර්ශවික බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රවේශය දීර්ඝ කිරීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා කියා සිටියා.

අසල්වැසියාට ප්‍රමුඛත්වය ප්‍රතිපත්තිය යටතේ වැදගත් පාර්ශවකරුවෙකු ලෙස ඉන්දියාව, ශ්‍රී ලංකාවට සහාය වන බවයි නවදිල්ලියේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ ෴

***************************************

අනවසර කැණීම් කළ සිවු (4) දෙනෙකු විශේෂ කාර්‍ය බලකා අත් අඩංගුවට

(07.01.2022 – 10:27 +0530 – hirunews.lk/sinhala)

තිඹිරිගොල්ලෑව රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් කැණීම් කරමින් සිටි පුද්ගලයින් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වී තිබෙනවා.

තිරුක්කෝවිල් පොලිස් වසමේ බක්මිටියාව, තිඹිරිගොල්ලෑව රක්ෂිතයේ වෙම්බයාඩිකුලම් ප්‍රදේශයේ දී 05 වැනි දින සිදු කළ මෙම වැටලීමෙන්, රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක කැණීම් කරමින් සිටි පුද්ගලයින් පිරිසකුයි මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් වයස අවුරුදු 37, 46, 52, 57 යන වයස්වල පසු වෙන අක්කරපත්තුව 13, සමන්තුරේ, වඩිනාගල, මහානාගපුර, 06 ඇළ ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

***************************************

මන්නාරමේ සුළං සහ සූර්ය බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට ?

(07.01.2022 – 11:04 +0530 – hirunews.lk/sinhala)

මන්නාරමේ සුළං සහ සූර්ය බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට පැවැරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ සැලසුම් කර ඇතැ යි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අදාළ බලාගාරයට ටෙන්ඩර් යෝජනා කැඳවීමට ඊට අදාළ රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබුණ ද බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා එය ‘අදානි සමාගමට’ පැවරීමට යන බව යි ඔහු අවධාරණය කරන්නේ.

විශේෂයෙන් ම ආණ්ඩුව ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක් ලබාගැනීමට යෑම වෙනුවෙන් ඉන්දියාව ඉල්ලන ඉල්ලන දේ දීමට සිදු වන බවත් ඔහු පෙන්වා දෙනවා.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධ ගිවිසුම 2003 දී අත්සන් කළ ද එය බලාත්මක කරන බදු ගිවිසුම ගසා ඇත්තේ, ඉන්දියානු ඔයිල් සමාගමට තෙල් ටැංකි භාවිත කිරීමට නීත්‍යනුකූල අයිතියක් නො මැති ලෙස බවත් නලින්ද ජයතිස්ස තවදුරටත් පෙන්වා දෙනවා.

ඉන්දියානු තෙල් සමාගමට තෙල් ගබඩා කරන්නට ද මෙමඟින් අවස්ථාවක් නො මැති අතර, මෙම 99 වසර ගිවිසුම අහෝසි කර අපට එම තෙල් ටැංකි පවරා ගත හැකි බවත් දේශපාලනික වැදගත් පිහිටීම් සියල්ල ඉන්දියාව සතු කර දීමට යන බවත් සඳහන් කළ ඔහු, කොළඹ වරාය චීනයටත් කෙරවළපිටිය බලාගාරය ඇමෙරිකාවටත් අයිතිකර දී මෙම බලාගාරය ද ඉන්දියාවට හිමිකර දීමට සූදානම් වන බව අවසාන වශයෙන් කියා සිටියා.

***************************************

ඇමති සංශෝධන ගැන දන්නේ නෑ, සියල්ල නැසෙනසුලු බව නම් දන්නවා – විමල් වීරවංශ

(07.01.2022 – 11:47 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය මණ්ඩල සංශෝධන පිළිබඳ තමා කිසිවක් නො දන්නා නමුත් ‘සියලු සංස්කාරයන් නැසෙනසුලු’ බව නම් දන්නේ යැ යි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

‘දිනන රට පුබුදන කර්මාන්ත’ යන තේමාව යටතේ නව ආයෝජන සඳහා කර්මාන්ත පුරයෙ හි ඉඩම් ප්‍රදානය කිරීමේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (06) පැවැති උත්සවයකට සහභාගි වෙමිනු යි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

ඉදිරියේ ඇති වෙන අමාත්‍ය මණ්ඩල සංශෝධන පිළිබඳ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා මෙසේ පිළිතුරු ලබා දුන්නා.

මාධ්‍යවේදීයා : අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් එනවා කියලා කියනවා. මොනව ද ඒ ගැන දන්නේ ?
අමාත්‍යවරයා : මම නම් ඒ ගැන කිසිදෙයක් දන්නේ නැහැ.

මාධ්‍යවේදියා : ඔබතුමා මේ තනතුරේ තාම ඉන්න කැමැති ද ?
අමාත්‍යවරයා : සියලු සංස්කාරයෝ නැසෙනසුලු යි.

මාධ්‍යවේදියා : ඒ කියන්නේ ඔබතුමාට අමාත්‍ය ධුරය ගැන බලාපොරොත්තුවක් නැද් ද ?
අමාත්‍යවරයා : මම තාම අමාත්‍ය ධුරයේ ඉන්නවනේ.

මාධ්‍යවේදියා : ඔබතුමාත් චෝදනා නඟනවා, ඒත් ඔබතුමා තාම අමාත්‍ය ධුරයේ ඉන්නවා කියලත් කියනවා.
අමාත්‍යවරයා : ඒකට මම කොහොමද උත්තර දෙන්නේ ? මාත් මේ කල්පනා කරන්නේ ඒක ගැන තමා.

මාධ්‍යවේදියා : 2022 මොන වගේ ක්‍රියාමාර්ග ආණ්ඩුවට ගන්න වෙයි ද ?
අමාත්‍යවරයා : ඔයා හිතුව ද මම සුමනදාස කියලා. මට දෛවඥයෙක් වගේ ඵලාඵල කියන්න ද කියන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *