ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුමට අත්සන් තැබේ

ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුමට අත්සන් තැබේ

*********************************************

ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුමට අත්සන් තැබේ

(06.01.2022 – 20:53 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය සඳහා ස්ථාපිත නව සමාගම සම්බන්ධයෙන් වන ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යංශ කාර්යාලය සඳහන් කළේ මේ දක්වා ‘ලංකා ඉන්දියානු තෙල් සමාගම’ (Lanka IOC) පාලනයේ පැවති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි සාතිශය බහුතරයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනයට යටත් වන ව්‍යාපෘතියක් ලෙසින් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම්ගත වීම 2022.01.06 දින මුදල් අමාත්‍යංශයේ දී සිදු කෙරුණු බවයි.

ඒ අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් වන 2003 බදු ගිවිසුම අහෝසි වී තෙල් ටැංකි සංකීර්ණය වසර 50 ක බදු කාලයකට ආයතන 03 ක් අතර පහත පරිදි බෙදී යනු ඇති.

  1. ලංකා ඛනිජ තෙල් සංස්ථාව – ටැංකි 24 යි.
  2. ‘ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම’ – ටැංකි 61 යි.

(ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම යනු ලංකා ඛනිජ තෙල් සංස්ථාවට 51% ද ලංකා ඉන්දියානු තෙල් සමාගමට 49% ද කොටස් හිමි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලිත සමාගමකි. එහි අධ්‍යක්ෂක මණ්ඩලය ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පත් කරන 4 දෙනෙකුගෙන් ද ලංකා ඉන්දියා තෙල් සමගම විසින් පත් කරන 3 දෙනෙකුගෙන් ද සමන්විත වේ. එමෙන්ම නව සමාගමේ සභාපතිවරයා පත් කරන්නේ ද තෙල් සංස්ථාව විසිනි)

  1. ඉන්දියානු ලංකා තෙල් සමාගම – ටැංකි 14 යි.

ඒ අනුව මෙම ටැංකි 99 න් 85 කම (24+61=85) පාලනය තෙල් සංස්ථාව සතු වීම ලක් ඉතිහාසයට එක්වන ඓතිහාසික ජයග්‍රහණයක් බව බලශක්ති අමාත්‍යංශ කාර්යාලය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහහේවා, ලංකා ඉන්දියානු තෙල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා යන මහත්වරුන් මෙම ගිවිසුම්වලට අත්සන් තබා තිබෙනවා.

ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ මහතා ද මෙම අවස්ථාවට එක්වී තිබෙනවා.

මෙම නව ගිවිසුම් ජනවාරි මස 10 දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන අතර 18 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

ජනවාරි මස 11 දා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වේබ් අඩවියට මෙම ගිවිසුම් එක් කරනු ඇති.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍යයන් විසින් 1920 දශකයේ දී ඉදිකරන ලද අතර අක්කර 827 ක වපසරියක විහිදුනු මෙට්‍රික් ටොන් 10,000 බැගින් ධාරිතාවයෙන් යුතු තෙල් ටැංකි 100 කින් මෙම ටැංකි සංකීර්ණය සමන්විත වුණා.

දෙවන ලෝක යුධ සමයේ 1942 අප්‍රේල් මස 09 වනදා එල්ල වුණු ජපන් ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් එක් (1) ටැංකියක් විනාශ වී තිබෙනවා.

1987 ජුලි 29 වන දින ඉන්දීය අගමැති සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති අතර හුවමාරු වූ ලිපියේ 2(iii) වගන්තිය අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සමූහය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර හවුල් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කිරීමටයි එකඟ වී ඇත්තේ.

2003 වසරේ පෙබරවාරි 07 දින අත්සන් කළ ගිවිසුමක් මත 35 වසරකට බදු පදනම යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 99 ම ලංකා ඉන්දියානු තෙල් සමාගමට භාර දෙනු ලැබූ බව බලශක්ති අමාත්‍යංශ කාර්යාලය පෙන්වා දෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ලංකා ඉන්දියානු තෙල් සමාගම එහි භාවිතයට ගනු ලැබුයේ ටැංකි 14 පමණක් වන අතර ඉතිරි ටැංකි කිසිදු ප්‍රයෝජනයට නොගෙන දිරාපත් වෙමින් පැවතුණු බවයි.

2017 දී මෙම ටැංකි 99 ම වසර 99 දක්වා බදු පදනමට ඉන්දියාවට ලබා දීමට මලික් – සුෂ්මා අවබෝධතා ගිවිසුමෙන් එවකට පැවැති ආණ්ඩුව එකඟ වූ අතර මාස 16 ක් පුරා ඉන්දියාව සමඟ පැවැති සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමෙන් අපට වඩාත් වාසිදායක එකඟතාවයක් ඇති කර ගැනීමට හැකි වූ බව බලශක්ති අමාත්‍යංශ කාර්යාලය ප්‍රකාශ කළා.

මේ අතර අලුතින් ලියාපදිංචි කළ ‘ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම’ ඈවර කිරීමට පියවර ගන්නැයි ඉල්ලා ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මේ අතර සපුගස්කන්ද පිරිපහදුවද වසා දමා ඇති පසුබිමක ලංකා විදුලි බල මණ්ඩලයේ තාප බලාගාරවලද ඉන්ධන අර්බුදයක් මතුව ඇතැයි හිරු ප්‍රවෘත්ති ඊයේ (05) තොරතුරු වාර්තා කළ අතර ඒ සම්බන්ධයෙන් අද (06) අදහස් පළ වුණා.

+++++++

ත්‍රී’මලේ තෙල් ටැංකි 61 කට හවුලේ ආයෝජනයක්

(06.01.2022 – 23:25 +0530 – hirunews.lk/sinhala)

‘ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම’ හරහා තෙල් ටැංකි 61 ක් සංවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 60 ක ආයෝජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ‘සිලෝන් පෙට්‍රෝලියම් සමාගම’ හා ‘ලංකා ඉන්දියන් ඔයිල් සමාගම’ එක්ව ඇමරිකානු ඩොලර් මිලියන 25 ක ආයෝජනයකින් පූර්ණ හිමිකාරිත්වය දරණ තෙල් ටැංකි 24 ක් සංවර්ධනය කිරීමට නියමිත බවයි ‘සිලෝන් පෙට්‍රෝලියම් සමාගමේ’ සභාපතිවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ෴

***************************************

‘හිරු සී.අයි.ඒ.’ : රට තෑගි එවන ජාවාරමක තවත් තොරතුරු එළියට

(06.01.2022 – 20:44 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගතව වෙසෙන අයෙකු ලෙස ෆේස් බුක්, වට්ස් ඇප් ආදී සමාජ මාධ්‍ය හරහා මිතුරුවන පුද්ගලයෙකු එවන බව කියන තෑගි භාණ්ඩවලට රැවටී මේ වනවිට මෙරට පුද්ගලයන් රැසක් ලක්ෂ ගණනින් තම මුදල් අහිමි කර ගනිමින් සිටිනවා.

මේ පිළිබඳ ‘හිරු සී.අයි.ඒ.’ කළ විමර්ශනයේදී හෙළිවුයේ මෙය මෙරට සිටින පුද්ගලයන් කණ්ඩායමක් විසින්ම සිදුකරන සංවිධානාත්මක මුදල් ජාවාරමක් බවයි.

විදේශීය රටවල වෙසෙන ධනවත් ව්‍යාපාරිකයන්, ඉන්ජිනේරුවන්, වෛද්‍යවරුන් බව හැඟවෙන පරිදි අදාළ ඡායාරූපවල සිටින්නේ තමන් බව පවසමින්මෙරට පුද්ගලයන්ට ෆේස් බුක් හා වට්ස් ඇප් හරහා ඡායාරූප යොමු කිරීම මෙම ජාවාරමේ පළමු පියවරයි.

එම වංචාවට හසු වු කාන්තාවක් සිය අත්දැකීම් ‘හිරු සී.අයි.ඒ.’ වෙත හෙළි කළා.

එලෙස විදෙස් මිතුරෙකු ලෙස ටික දිනක් සමාජ මාධ්‍ය හරහා කෙටි පණිවිඩ හුවමාරු කරගන්නා අතරතුර මෙම ජාවාරම්කරුවන් මිල අධික තෑගි භාණ්ඩ කිහිපයක් මෙරටට එවන බව පවසනවා.

එම වටිනා විදෙස් තෑගි අතර විදේශීය මුදල් ද ඇති බවට මොවුන් වීඩියෝ දර්ශන ද මෙලෙස ‘වට්ස්ඇප්’ හරහා යොමු කරනවා.

මෙරට පුද්ගලයන් මුලා කරන සංවිධානාත්මක මුදල් ජාවාරම ඇරඹෙන්නේ එතැන් සිටයි.

මෙරටට එවා ඇති එම භාණ්ඩ නිවසට ගෙන්වා දීම සදහා මොවුන් විවිධ ප්‍රමාණයෙන් මුදල් ඉල්ලා සිටිනවා.

ඇයට පමණක් නොව මෙරට පුද්ගලයන් රැසකට මෙලෙස විවිධ මුදල් ප්‍රමාණයන් ගෙවා තමන් එවා ඇති විදෙස් තෑගි ලබාගන්නා ලෙස මේ වනවිටත් මෙවැනි ‘වට්ස්ඇප්’ පණිවුඩ ලැබෙමින් පවතිනවා.

ව්‍යාජ විදෙස් මිතුරන් ලෙස පෙනී සිටිමින් කරන මෙම සංවිධානාත්මක මුදල් ජාවාරමට හසුවන පුද්ගලයන් රැසක් දිනපතා ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු දෙමින් පවසන්නේ මේ පිළිබඳ ඇතැම් පොලිස් ස්ථානවලට පැමිණිලි කළ ද ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොකරන බවයි.

අප මෙම තෑගි භාණ්ඩ ජාවාරමේ සැබෑ තතු මෙලෙස අනාවරණය කරන්නේ මෙහි මීළඟ ගොදුර ඔබ බවට පත්වීම වලක්වා ගැනීම සඳහායි.

***************************************

2022 පෙබ. 4-11 අතර භයානක සිදුවීමක් – ලොව විශ්මිතම අනාවැකිකරු – 2022 වසර ගැන කියූ භයානකම අනාවැකි 100 (06.01.2022)

https://www.youtube.com/watch?v=7eBfrQ4XKiE

***************************************

දිවයින පුරා රිය අනතුරුවලින් පුද්ගලයෝ 4 දෙනෙක් මරුට

(07.01.2022 – 07:21 +0530 – hirunews.lk/sinhala)

හික්කඩුව පොලිස් වසමේ ගාල්ල – කොළඹ මාර්ගයේ වැල්ලවත්ත ප්‍රදේශයේ දී කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදියක් වේගය පාලනය කරගත නොහැකි ව, විදුලි කණුවක වැදී අනතුරක් සිදු වී තිබෙනවා.

අනතුරෙන් වයස අවුරුදු 26 ක කලුපේ – හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මිය ගිය බව යි වාර්තා වෙන්නේ.

මීට අමතර ව අලුත්ගම දී යතුරු පැදියක් හා ත්‍රීරෝද රථයක් ගැටී සිදු වුණු අනතුරකින්, යතුරුපැදියේ ගමන් කළ පසු පැදිකරු මිය ගොස් තිබෙනවා.

අගලවත්ත, කොස්ගොඩ යන ප්‍රදේශවලින් ද රිය අනතුරුවලින් සිදු වූ මරණ දෙකක් (2) වාර්තා වෙන අතර, එම අනතුරු දෙක (2) ම යතුරු පැදි අනතුරු යි.

කොස්ගොඩ අනතුරෙන් ජීව්තක්ෂයට පත් වී ඇත්තේ, වයස අවුරුදු 07 ක බාන්වැල්දූව – කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි දැරියක්.

මෙම දැරිය සිය මව සහ පියා සමඟ ගමන් ගත් යතුරුපැදිය, ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටී ඊයේ (06) මෙම අනතුර සිදු ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් යතුරුපැදියේ ගමන් ගත් මව පියා සහ එම දැරිය බරපතළ තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

පසු ව හත් (7) හැවිරිදි දැරිය ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ටිපර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව වන අතර, ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ෴

***************************************

කැලණිතිස්සේ ජනන යන්ත්‍රයක් ආපදාවට ලක්වෙයි

(07.01.2022 – 07:33 +0530 – hirunews.lk/sinhala)

අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීමට අද (07) දිනයේදීත් නොහැකි වුව හොත් දිවයින පුරා වරින්වර විදුලි බිඳ වැටීමක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඉල්ලුම ඉහළ යාමට සාපේක්ෂව එලෙස විදුලි බලය බිඳ වැටිය හැකි බවටයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ.

කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් ආපදාවට ලක්වීමෙන් ඊයේ (06) රාත්‍රියේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටුණා.

ඒ අනුව ඊයේ (06) රාත්‍රියේ සිටම අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කිරීමට උත්සාහයක් ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත්, ඉන්ධන අර්බුදය මැද යළිත් වරක් මෙරට තුළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති ඊයේ (06) අනතුරු ඇඟවීමක්ද සිදුකළා.

ඔවුන් පෙන්වා දෙන්නේ, ඩීසල් නො ලැබීම හේතුවෙන් සපුගස්කන්ද තාප විදුලි බලාගාරය ද මේ වනවිට වසා දමා ඇති බවයි.

***************************************

දෛනික ව ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 90,000 ක් ලබාදීමට සැලසුම්

(07.01.2022 – 07:37 +0530 – hirunews.lk/sinhala)

ගෘහස්ථ සහ වාණිජ ගෑස් සිලින්ඩර් නිෂ්පාදනය සහ බෙදාහැරීම කාර්යක්ෂම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා අතර, ඉදිරියේ දී දෛනික ව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 90,000 ක් දක්වා වෙළෙඳපොළට සැපයීමට පියවර ගන්නා බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.

පසුගිය දින 03 ක් තුළ දී ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 2,20,000 ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි එම සමාගම ඊයේ (06) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

තවත් කෙටි කාලයක් තුළ දී වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය අවසන් වනු ඇති බව ද එම ආයතනය ප්‍රකාශ කළා.

මේ අතර, වෙළඳපොළේ පවතින ගෑස් හිඟය හේතුවෙන් අපහසුතාවට පත් ව සිටි පාරිභෝගිකයින් තවදුරටත් චෝදනා එල්ල කරනවා ෴

***************************************

ඉදිරි මැතිවරණවල දී ශ්‍රීලනිපය නව සන්ධානයකින්

(07.01.2022 – 07:39 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේ දී එළඹෙන ඕනෑ ම මැතිවරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සන්ධානයක් සමඟ ඉදිරිපත් වන බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.

මහනුවර ප්‍රදේශයේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, හවුල්කාර පක්ෂවල ගැටලු පිළිබඳ සාකච්ඡාවකට වත්මන් ආණ්ඩුවක් මෙතෙක් අවස්ථාවක් ලබා දී නො මැති බවයි ෴

***************************************

දළදා මාළිගයේ වන්දනාකරුවන්ට විශේෂිත පහසුකම් සහිත මධ්‍යස්ථානයක්

(07.01.2022 – 07:41 +0530 – hirunews.lk/sinhala)

මහනුවර දළදා මාලිගයට පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් ඉදිකර ඇති විශේෂිත පහසුකම් සැලසීමේ මධ්‍යස්ථාන හෙට (08) විවෘත කිරීමට නියමිත යි.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

රුපියල් මිලියන 373.5 ක වියදමින් ඉදිකර ඇති මෙම මධ්‍යස්ථානය මඟින් මහනුවර දළඳා මාලිගයට පැමිණෙන වන්දනාකරුවන්ට සිය අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වනවා.

එමෙන්ම උඩරට කලා නිර්මාණකරුවන් වෙනුවෙන් ඉදිකෙරෙන නිදහස් කලා නිර්මාණ අලෙවි කිරීමේ මධ්‍යස්ථානය ද හෙට (08) විවෘත කිරීමට නියමිත ව තිබෙනවා.

ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 561 ක් ෴

***************************************

ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම අත්සන් කෙරේ

(07.01.2022 – 07:47 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තය සංවර්ධනය සඳහා වන ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

අදාළ ගිවිසුමට භාණ්ඩාගාර ලේකම්වරයා, ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, එල්.අයි.ඕ.සී. සහ ‘ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම’ අතර ඊයේ (06) සන්ධ්‍යාවේ අත්සන් තැබුණු බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දීය පාලනයේ පැවති තෙල් ටැංකි 99 න් 85 ක් ශ්‍රී ලංකාවේ පාලනයට නතු වන බව යි.

අදාළ ගිවිසුම ලබන 18 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, ලබන අඟහරුවාදා (11) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වෙබ් අඩවියේ එය පළ කරන බවයි බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේ.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළ ව දැනට ඉන්දීය රජය සමග පවතින ගිවිසුම් ත්‍රිත්වය ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ‘ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ්’ නමින් ස්ථාපිත කරනු ලැබූ සමාගමක් මගින් ක්‍රියාත්මක කිරීමට පසුගිය දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24 ක් වෙන් කෙරෙන අතර, ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 25 ක ආයෝජනයක් සිදු කෙරෙනවා.

‘ලංකා අයි. ඕ. සී. සමාගම’ දැනට භාවිතයට ගනිමින් පවතින පහළ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 14 ම එම ව්‍යාපාර කටයුතු සඳහා තවදුරටත් වෙන් කිරීමට නියමිත යි.

එමෙන්ම ඉතිරි තෙල් ටැංකි 61 ඒකාබද්ධව සංවර්ධනය කෙරෙන්නේ ‘ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ්’ සමාගම මගින්.

එහි 51% ක කොටස් ‘ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව’ට හිමිවන අතර, 49% ක කොටස් අයිතිය හිමිවන්නේ ‘ලංකා අයි.ඕ.සී. සමාගම’ටයි.

ඒ සඳහා මූලික ආයෝජනය ඩොලර් මිලියන 60 ක් පමණ වන බවයි ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා සඳහන් කළේ.

මේ අතර, ‘ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් පෞද්ගලික සමාගම’ හරහා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි ඉන්දියාවට බදුදීමට එරෙහි ව අද (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් කියා සිටියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *