හිටපු ජනපතිගෙන් අදත් (05) සැර කතාවක් – විමලුත් කට අරියි

හිටපු ජනපතිගෙන් අදත් (05) සැර කතාවක් – විමලුත් කට අරියි

*********************************************

හිටපු ජනපතිගෙන් අදත් (05) සැර කතාවක් – විමලුත් කට අරියි

(05.01.2022 – 19:08 +0530 – hirunews.lk/sinhala)

පුළුල් එකමුතුවක් නිර්මාණය කළ යුතු අවස්ථාවක ආණ්ඩුවේ සිටින පුද්ගලයින් ඉවත් කිරීම නුසුදුසු බව අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළා.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සුසිල් ප්‍රේමජයන්ත්, ඉවත් කිරීම සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (04) සිදුකළ ප්‍රකාශය පිළිබඳව පක්ෂ විපක්ෂ නියෝජිතයින් අද (05) දිනයේදීත් අදහස් පළ කළා.

කෙසේ වෙතත්, තමන් ඊයේ (04) සිදුකළ ප්‍රකාශය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (05) අනුරාධපුරයේදී යළි අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ පසුගියදා තමන් දැඩි ලෙස අදහස් පළ කළේ එසේ අදහස් පළ කිරීමට තමන්ට හැකියාව පවතින්නේ යැයි පෙන්වීමට බවයි.

***************************************

අගමැති මහින්දගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස්

(05.01.2022 – 17:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රේණිධාරි වෛද්‍ය නිලධාරින්ගේ ස්ථාන මාරු මණ්ඩලය මෙතෙක් පවත්වාගෙන ආ ක්‍රමවේදය ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබා දී තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමග අරලියගහ මන්දිරයේ අද (05) පැවති සාකච්ඡාවට එක්වෙමින්, ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

මෙතෙක් පැවති ක්‍රමවේද ඇතැම් නිලධාරින්ගේ අභිමතය පරිදි වෙනස් කිරීමට යාමෙන් අර්බුද මතුවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා දේශපාලන මතවාද අනුව යමින් රජය අපහසුතාවට පත් නොකර වෘත්තීය සමිති සමග ආයතන සංග්‍රහයට අනුව ක්‍රියා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු අවධාරණය කර තිබෙනවා.

වෛද්‍ය පරිපාලනය ජ්‍යේෂ්ඨ , කනිෂ්ඨ ලෙස දෙකොටසකට බෙදා ක්‍රියාත්මක නොකර එකම නියැදියක තබා කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මෙහිදී යෝජනාවක් සිදු කළා ෴

***************************************

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 12 දෙනෙකුට නිදහස

(05.01.2022 – 17:29 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස මන්නාරම මුහුදු තීරයට පැමිණ මසුන් මරමින් සිටිය දී අත්අඩංගුවට ගත් ඉන්දීය ධිවරයින් 12 දෙනා මන්නාරම අධිකරණය මගින් නිදහස් කර තිබෙනවා.

පසුව ඔවුන් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දියාව වෙත යැවීමට කටයුතු කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

සතොස ලාබෙන් කොටසක් මාධ්‍යයටත් හිමියි – බන්දුල

(05.01.2022 – 17:40 +0530 – hirunews.lk/sinhala)

සත් (7) වසරකට පසුව ‘ලංකා සතොස’ ලාබ ලැබීමේ ගෞරවයෙන් කොටසක් සියලුම මාධ්‍ය ආයතනවලට ද හිමි විය යුතු බව වෙළෙ ඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ලංකා සතොස ආයතනය 2021 වසරේ දී ලාබ ලබන තත්ත්වයට පත් කරගත හැකි වූ ආකාරය පිළිබඳව අද (05) පැවති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

2015, 2016, 2017, 2018 හා 2019 යන වසරවල දී යහපාලන රජය විසින් ලංකා සතොස ආයතනයට අත් කර දී තිබුණේ රු. බිලියන 20 ක අලාභයක් හා රු. බිලියන 8 ක් වූ සැපයුම්කරුවන් සඳහා ගෙවිය යුතු මුදලක් ඇතුළුව රු. බිලියන 28 ක ණය කන්දක් පමණක් බවයි වෙළෙඳ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.

මෙම රු. බිලියන 28 ක ණයත් සමග තවදුරටත් අගාධයටම ඇදෙමින් පැවති ලංකා සතොස කිසිදු චකිතයින් තොරව තම්න් භාරගත් බව සඳහන් කළ අමාත්‍යවරයා පැවසුවේ, එය යළි සාමාන්‍යකරණයට ගැනීමට දැඩි පරිශ්‍රමයක් ගැනීමට සිදු වූ බවත් , ඒ සඳහා තමන් හට වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්තුමිය මෙන්ම කාර්ය මණ්ඩලයත්, ලංකා සතොස සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී රංජිත් ජී. රූබසිංහ සහ සමස්ත කාර්ය මණ්ඩලයෙත් අප්‍රතිහත ධෛර්යය හා කැපවීම මත මාස 16 ක කාලයක් තුළ දී ලංකා සතොස මේ වනවිට ලාබ ලබන තත්ත්වයට පත් කර ගැනීමට හැකියාවක් ලැබුණු බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

මෙලෙස ගොඩගත් සතොස ජාවාරම්කාර වෙළෙඳ ප්‍රතිපත්තීන් පවත්වාගෙන යන ඇතැම් පිරිස් වෙත මරු පහරක් වූ අතර, එය සිය නිලධාරින්ට ද දැඩි බලපෑම් ඇතැම් විට දී ගෙන දුන් බව සිහිපත් කළ අමාත්‍යවරයා පැවසුවේ, මෙම අර්බුදකාරී අවස්ථාවේ දී පවා රටේ සියලුම මාධ්‍ය ආයතන විසින් සතොසෙ පවතින අඩුපාඩු පෙන්වා දෙමින්, ඒවා අනාවරණය කරමින් තම අමාත්‍යාංශයට ලබාදුන් මනා සහයෝගය හේතුවෙන් මෙවැනි ලාබ අත්කර ගැනීමට හැකි වීම මත මෙම ජයග්‍රහණයේ කොටසක් සියලුම මාධ්‍ය වෙත ද හිමි විය යුතු බවයි ෴

***************************************

පර්පෙචුවල් ට්‍රෙෂරීස් තවදුරටත් වසා දැමේ

(05.01.2022 – 17:46 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, පර්පෙචුවල් ට්‍රෙෂරීස් (PTL) ආයතනයේ ව්‍යාපාර කටයුතු තවත් මාස හයකට (6) අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (05) පස්වරු 04:30 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මාස හයක (6) කාලයක් සඳහා පර්පෙචුවල් ට්‍රෙෂරීස් (PTL) සමාගමට ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කළ නොහැකියි.

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් (PTL) සමාගමේ ක්‍රියාකාරීත්වය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අත් හිටවනු ලැබුවේ 2019 වසරේ මැද භාගයේදීයි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම 2015-2016 වසරේ රටේ මෙතෙක් සිදු වූ විශාලතම සුරැකුම්පත් වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ අතර මෙම සමාගම අයත් වන්නේ හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ට යි.

මෙම බරපතළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මේ වන විට හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අර්ජුන් මහේන්ද්‍රන්ට ඉන්ටර්පෝල් රතු නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා ෴

***************************************

රාජ්‍ය සේවයේ ස්ථිර කිරීමෙන් පසු ලැබෙන වැටුප මෙන්න

(05.01.2022 – 18:20 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවයේ පුහුණු උපාධිධාරීන් ලෙස පසුගිය වසරේ බඳවාගත් 53,000 ක් පමණ අදියර තුනක් (3) යටතේ ස්ථිර කිරීම ආරම්භ කර තිබෙනවා.

වසරක පුහුණු කාලය අවසන් කළ සියලු දෙනා ස්ථිර කරන බවයි අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පැවසුවේ.

ඔවුන් සඳහා රුපියල් 31,000 ක මූලික වැටුපක් හිමිවන අතර දීමනා සමඟ එම වැටුප රුපියල් 41,000 ක් වන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

බඳවා ගත් කාල සීමාව අ නුව මෙම සියලු දෙනාට මාර්තු මාසය වනවිට ස්ථිර පත්වීම් හිමිවනු ඇති ෴

***************************************

පොලිසියේ ප්‍රබලයෙකුට ස්ථාන මාරුවක්

(05.01.2022 – 18:44 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.ජේ. නන්දන වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමකට ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව අදාළ තනතුර සඳහා පත් කරනු ලැබුවේ 2020 වර්ෂයේ මැයි මස 09 වැනි දිනයි.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව අනුව බවයි එවක පොලිස් මාධ්‍ය ප්‍රකාශක වූ පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න 2020 වසරේ මැයි 23 වැනි දින නිකුත් කළ පොලිස් මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ ෴

***************************************

විදුලි කප්පාදුවක් ගැන වෘත්තීය සමිති අනතුරු අඟවයි

(05.01.2022 – 19:50 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන අර්බුදය මැද යළිත් වරක් මෙරට තුළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති අනතුරු අඟවනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, ඩීසල් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද තාප විදුලි බලාගාරය ද මේ වනවිට වසා දමා ඇති බවයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය ඊයේ (04) දෙවැනි වරටත් වසා දැමුණු අතර, පිරිපහදු කළ ඉන්ධන මේ වනවිට භාවිතයට ගැනෙනවා.

කෙසේ වෙතත්, එලෙස පිරිපහදු කරන ලද ඉන්ධන රැගෙන ආ නෞකාවලින් ඉන්ධන ගොඩබෑම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේ අවහිරතාවක් මේ වනවිට මතුව ඇත්තේ පවතින ඩොලර් අර්බුදයත් සමඟයි.

කෙසේ වෙතත්, පසුගිය 03 වැනිදා කොළඹ වරායට ළඟාවූ නෞකාවකින් ඉන්ධන ගොඩබෑමේ කටයුතු මුතුරාජවෙලදී මේ වනවිට ආරම්භ කර ඇති බව අප කළ විමසීමක දී කොළඹ වරායේ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා පැවසුවා.

මේ අතර, ලංකා විදුලි බල මණ්ඩලයේ තාප බලාගාරවල ඉන්ධන අර්බුදයක් මතුව ඇතැයි හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වුණා. අප කළ සොයාබැලීමකදී හෙළිවුණේ, එම බලාගාරවල පවතින ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින කිහිපයක් සඳහා පමණක් බවයි.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් කියා සිටියේ මතුව ඇති ඉන්ධන අර්බුදයත් සමඟ ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවයි.

මෙම අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ කාර්යබහුල වේලාවලදී විදුලි ඉල්ලු‍ම ඉහළ ගියහොත් පවතින තත්ත්වය මත විදුලි පද්ධතියේ බිඳ වැටීමක් සිදුවිය හැකි බවයි.

මේ අතර, ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම්වලට අයත් නෞකා දෙකකින් (2) ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, අද (05) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් ලබා ගැනීමට පැමිණි ජනතාව පෝලිම්වල සිටින ආකාරය දක්නට ලැබුණා.

මේ අතර, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ගෑස් සම්බන්ධ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා මීට පෙර සිදුකළ පැමිණිල්ලට අදාළ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා යි.

***************************************

මෝර මස් අලෙවි කිරීමට උත්සාහ කළ ධීවරයින් පිරිසක් කොටුවේ

(05.01.2022 – 20:14 +0530 – hirunews.lk/sinhala)

දුර්ලභ ගණයේ මෝරු පස් (5) දෙනෙකු මරා, එම සත්ත්වයින්ගේ මත්ස්‍ය කොටස් අලෙවි කිරීමට බහුදින ධීවර යාත්‍රාවකින් රැගෙන ආ ධීවරයින් පස් දෙනෙකු අද (05) පස්වරුවේ බේරුවල වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස කොටස් කර, මත්ස්‍ය අලෙවියට ගෙනැවිත් ඇත්තේ, කස මෝරා සහ පොල්කොල මෝරා නමැති මෝර විශේෂයට අයත් මත්ස්‍යයින් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් විසින් ගොඩබිමට පැමිණීමේ දී මෙම මත්ස්‍යයින්ගේ කොටස් කැබිලි කර, කිලෝග්‍රෑම් 145 ක් පමණ අලෙවි කිරීමට සකස් කර තිබූ බව ද සිදු කළ විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

බේරුවල ධීවර වරායෙන් මීට මාස දෙකකට (2) පෙර ධීවර කටයුතු සඳහා දියඹට ගිය ධීවරයින් පිරිසක් විසින් මෙම නීතිවිරෝධී ලෙස මැරීමට, ඇල්ලීමට සහ අලෙවි කිරීමට තහනම් මත්ස්‍යයින් මෙලෙස අල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බේරුවල – බුබුළවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, සිදුවීම සම්බන්ධයෙන් බේරුවල වෙරළාරක්ෂක බලකාය හා කළුතර ධීවර පරීක්ෂක කාර්යාලය පරීක්ෂණ පවත්වනවා ෴

***************************************

රාජ්‍ය ඇමතිවරයෙකුගෙන් සුසිල්ට බිරියානි සංග්‍රහයක්

(05.01.2022 – 20:28 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ නීතිඥ සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයාට ඊයේ (04) දුරකථන ඇමතුමක් ලබාදී ඇති අගමැති මහින්ද රාජපක්ෂ, සිද්ධිය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළකර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

“ඔබතුමාව ඇමතිකමෙන් අයින් කරලා කියල මම දැනගත්තේ දැන්” යයි පැවසූ අගමැති මහින්ද තමන්ට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග 2005 දී ජනාධිපති අපේක්ෂකත්වය නොදීමට තීරණය කර තිබිය දී එය ලබා ගැනීමට සන්ධාන මහ ලේකම් ලෙස දුන් සහය අමතක නැතැයි ද පවසා තිබෙනවා.

එහිදී අග්‍රාමාත්‍යවරයාට ප්‍රතිචාර දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කර ඇත්තේ තමන්ට කිසිදිනක අග්‍රාමාත්‍යවරයා සමග ගැටලුවක් නොතිබූ බවයි.

එමෙන්ම මෙම සිදුවීමට අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමක් නොතිබූ බවටත් තමන් දැනුවත් බවත් එහි දී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබෙනවා.

ජනාධිපතිවරයා සතු බලතල භාවිත කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කළ සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (04) රාත්‍රියේ කොළඹ තරු පහේ හෝටලයක බිරියානි සංග්‍රහයකට එක් වී ඇති බවටත් වාර්තා පළ වුණා.

මේ සම්බන්ධයෙන් ඔහුගෙන් සිදු කළ කළ විමසීමකදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, තමා යම්කිසි වැඩ කටයුත්තකට කොල්ලුපිටිය ප්‍රදේශයට පැමිණ සිටි අවස්ථාවේවේ දී නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා තමන්ට දුරකථන ඇමතුමක් ලබා දෙමින් තමාගේ තොර තොරතුරු විමසා සිටි බවයි.

එහිදී තමන් කොල්ලුපිටියේ සිටින බව පැවසීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් තවත් කිහිප දෙනෙකුත් සමඟ කොළඹ තරු හෝටලයක රාත්‍රී ආහාරය සඳහා පැමිණ සිටින බවයි.

එම හෝටලයට පැමිණියහොත් තමන්ට ද ඒ සඳහා එක් විය හැකි බවට රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබෙනවා.

තමන් අදාළ තරු හෝටලයට ගිය පසු රාජ්‍ය අමාත්‍ය ලන්සාට අමතරව එහි ලක්ෂ්මන් යාපා අබේවර්ධන හිටපු අමාත්‍යවරයා හා නලින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ද සිටි බවත් තමන් බිරියානි අනුභව නොකරන බැවින් නාන් ආහාරයට ගත් බවත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

සුසිල් ප්‍රේමජයන්ත හිටපු ඇමතිවරයා කියා සිටියේ එතැන සාදයක් නොපැවති බවත් එය තමන් වෙනුවෙන් සූදානම් කළ දෙයක් නොවන බවත්ය ෴

***************************************

පුපුරන ගෑස් පසුපස ඇති අමුතුම හස්තය

(05.01.2022 – 21:34 +0530 – hirunews.lk/sinhala)

ගෑස් ආශ්‍රිතව සිදුවන අනතුරු සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ක්‍රියාත්මක නොවන්නේ ඒ පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් බව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා කරනවා.

මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අදත් (05) ගෑස් ආශ්‍රිත අනතුරු වාර්තා වුණා.

කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් මිලදී ගැනීම සඳහා අදත් (05) දිගු පෝළිම් දක්නට ලැබුණා.

අම්බලන්ගොඩ ලිට්‍රෝ ගෑස් අලෙවි සැලක් ඉදිරිපිට පෝලිම් ගැසී සිටි ජනතාව ජනතාව අතර නොසන්සුන්තාවන් ද ඇති වුණා.

එම ස්ථානයේ ගෑස් බෙදාදීම සිදුකෙරුණේ පොලිසියේද මැදිහත්වීමෙන්.

ගෑස් ගෙන යෑමට පැමිණි පුද්ගලයෙකු එම ස්ථානයේදී සිහි සුන්ව ඇද වැටුණ අතර ඔහුව රෝහල්ගත කළා.

මේ අතර, නුවරඑළිය නගරයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයෙකු විසින් පාරිභෝගිකයින්ට ලබානොදී රඳවා ගෙන තිබූ ගෑස් සිලින්ඩර පාරිභෝගික සේවා අධිකාරියේ මැදිහත්වීමෙන් පාරිභෝගියන්ට බෙදා දුන්නා.

ඒ, පාරිභෝගිකයින් විස්න් කළ පැමිණිල්ලකින් අනතුරුවයි.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදුවූ අතර මේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක සිදු වූ ගෑස් අනතුරක් cctv කැමරාවක සටහන්ව තිබූ අයුරුයි.

නල්ලතන්නිය – මරේ දමිල මහා විද්‍යාලයේ ගුරු නිල නිවසේ තිබූ ගෑස් උදුනක් ද පුපුරා ගොස් තිබුණා.

කොට්ටාව ප්‍රදේශයේ වෙළෙඳසැලකින් මිලදී ගත් ගෑස් සිලින්ඩරයකින් අධික ලෙස ගෑස් කාන්දු වන බවට පාරිභෝගිකයෙකු චෝදනා කළේ මෙලෙසින්.

මේ අතර මෙට්‍රික් ටොන් 3700 ක ගෑස් රැගෙන පැමිණි නෞකාවෙන් ගෑස් ගොඩ බෑම ආරම්භ කළ බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළා.

ඔහු පැවසුවේ අද (05) දිනය තුළ ගෑස් සිලින්ඩර් 90,000 ක් බෙදා හැර ඇති අතර ලිට්රෝ ගෑස් ඉල්ලුමෙන් 85% ක් සාමාන්‍ය තත්ත්වයට පැමිණි ඇති බවයි.

ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්.කේ.එම්. වෑගපිටිය මහතා සඳහන් කළේ ඉදිරියේදී තම සමාගම සඳහා ද ගෑස් නෞකා කිහිපයක් දිවයිනට ළඟාවන බවයි.

මේ අතර ගෑස් අනතුරු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පසුගිය දෙසැම්බර් මස 07 වැනිදා කරන ලද පැමිණිල්ලට මසකට ආසන්න කාලයක් ගත වුවත් මෙතෙක් එහි ප්‍රගතියක් දක්නට නොමැති බව පවසමින් ඒ පිළිබඳ විමසීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

මේ අතර කිරිපිටි මිලදී ගැනීම සඳහා ද ජනතාව තවදුරටත් දිගු පෝලිම්වල රැඳී සිටිනවා.

***************************************

සුසිල්ට පුටුව අහිමි වීම ගැන තිස්ස කුට්ටිගෙන් ප්‍රකාශයක්

(05.01.2022 – 22:27 +0530 – hirunews.lk/sinhala)

හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සිය ධුරයෙන් නෙරපා හැරීම කිසිදු අයුරකින් ඔහු විසින් දෙල්කඳ පොළ පරිශ්‍රයේ දී සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි පවසනවා.

අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, මෙම සිදුවීම ආණ්ඩුව, රටේ රාජ්‍ය ආරක්ෂාව, විකල්ප ආණ්ඩු තැනීම් සහ දේශපාලන වාතාවරණය යන කරුණු සමුදායක් එකට කැටිවීම මත මෙලෙස සිදුවීම් ඇති විය හැකි බවයි.

එබැවින් රාජ්‍ය අමාත්‍යවරයාගේ ධුරය අහිමි වීම හුදෙක් දෙල්කඳ පොළෙහි ඔහු විසින් කරන ලද ප්‍රකාශයට පමණක් ලඝු කොට නොසලකන ලෙසයි හෙතෙම වැඩිදුරටත් පවසන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *