ගෑස් සිලින්ඩරයක් සොයා කිලෝමීටර 315 ක් දුර ගිය හික්කඩුවේ ව්‍යාපාරිකයා

ගෑස් සිලින්ඩරයක් සොයා කිලෝමීටර 315 ක් දුර ගිය හික්කඩුවේ ව්‍යාපාරිකයා

*********************************************

ගෑස් සිලින්ඩරයක් සොයා කිලෝමීටර 315 ක් දුර ගිය හික්කඩුවේ ව්‍යාපාරිකයා

(04.01.2022 – 20:20 +0530 – hirunews.lk/sinhala)

ගෑස් ආශ්‍රිතව සිදුවීම් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තවදුරටත් වාර්තා වන අතර, එවැනි තත්ත්වයක් හමුවේ වුව ද අදත් (04) ප්‍රදේශ කිහිපයකම ගෑස් මිලදී ගැනීම සදහා ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටි බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

ගෑස් නොමැතිකමින් තවදුරටත් කුඩා පරිමාණයේ හෝටල් වසා දමන තත්ත්වයකට පත්ව තිබෙනවා.

මෙරට පවතින උග්‍ර ගෑස් හිගය අද (04) වන විට රටම බරපතළ අර්බුදකාරී තත්ත්වයකට ඇද දමා තිබෙනවා.

දිනපතා ගෑස් නියෝජිත ආයතන ඉදිරිපිට පෙළගැසෙන ජනතාව පැය ගණනක් ගෑස් සිලින්ඩරයක් ලබා ලබා ගැනීමේ අරමුණින් අව්වැසි නොතකා රැඳී සිටින අයුරු අප දිනපතා දකින සහ වාර්තා කරන සිදුවීමක් බවට මේ වන විට පත්ව අවසන්.

මේ වන විට ගෑස් හිගය මෙරට සමාජයේ බරපතළ සමාජීය ආර්ථික ගැටලු මතු කරන්නක් බවට පත්ව ඇත්තේ ඒ හරහා නිර්මාණය වී ඇති අනෙකුත් ගැටලු නිසාවෙන්.

කුඩා පරිමාණයේ හෝටල් ආපන ශාලා ආදිය මෙම ගෑස් හිඟය හේතුවෙන් බරපතළ ලෙස පීඩා විඳිනවා.

එමෙන්ම මේ වන විටත් වෙළඳපලේ ඇති ගෑස් වල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නකාරී තත්ත්වය තවමත් පහව ගිහින් නෑ.

තත්ත්වය මෙසේ තිබිය දී සිය කුඩා ව්‍යාපාරය සිදු කරගෙන යෑමට අවශ්‍ය කරන ගෑස් සිලින්ඩරයක් සොයා ගැනීමට කිලෝමීටර් 315 ක දුර ගෙවා ගිය ව්‍යාපාරිකයකු පිළිබඳ තොරතුරක් අපට හික්කඩුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාල ව්‍යාපාරිකයා මෙලෙස කිලෝ මීටර 315 ක දුරක් ගෑස් සිලින්ඩරයක් ලබා ගැනීම සඳහා ගොස් තිබුණේ පොලොන්නරුව ප්‍රදේශයටයි.

ඒ ඔහු සතුව තිබූ කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර තුනක් (3) ද සමගින්.

කිලෝග්‍රෑම් 12 ගෑස් සිලින්ඩර දෙකක් (2) සහ කිලෝ ග්රෑම් පහේ (5) හිස් ගෑස් සිලින්ඩරයක් ඔහු රැගෙන ගොස් තිබුණේ අදාළ විශාල ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයට හිලව් ලෙස ව්‍යාපාරිකයාට ලබාදීමටයි.

කිලෝමීටර් 315 ක ගමනක් අවසානයේ කිලෝග්‍රෑම් 37 ක විශාල ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක් ලබා ගත් අදාළ ව්‍යාපාරිකයා එය ත්‍රීරෝද රථයක පටවාගෙන නැවතත් හික්කඩුව බලා පිටත්ව ගියේ රටක් රාජ්‍යයක් දිනා ගත්තෙක් විලසින්.

***************************************

හිතවතා බලන්න එද්දී බත් එකේ සඟවගෙන ගෙනාව මත්පෙති

(04.01.2022 – 23:37 +0530 – hirunews.lk/sinhala)

කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකු බැලීමට පසුගිය දිනක (28) පැමිණි ඔහුගේ හිතවතෙකු විසින් එම රැඳවියාට ලබාදීමට ගෙනා බත් පැකට්ටුවේ රහසිගතව සඟවා සූක්ෂ්ම අයුරින් මත් පෙති රැගෙන විත් ඇති බව අනාවරණ වී තිබෙනවා.

එදින (28) පස්වරු 1-2 ත් අතර කාලය තුළ දී මෙම සිදුවීම සිදුව ඇති අතර, උපක්‍රමශීලී ලෙස අදාළ මත් පෙති කුඩු කර බත් පැකට්ටුවට කලවම් කර ඇති බවයි සිදු කරන ලද විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.

මෙලෙස රැගෙන විත් ඇති මත් පෙති වර්ගය ‘ප්‍රිගැබලින්’ (Prigabaling) නමැති මත්පෙති වර්ගයක්.

මෙම සිද්ධිය හෙළිදරව් කර ගැනීමට එදින රාජකාරියේ කටයුතු කළ බන්ධනාගාර නිලධාරින් සමත්ව ඇති අතර, මත් පෙති රැගෙන ආ සැකකරු මේ වනවිට පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කළුතර උතුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, බන්ධනාගාර මූලස්ථානය විසින් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

***************************************

රුපියල් 180 පඩියට ITN පැමිණි නිරෝෂන්, සභාපති වුණු හැටි කියයි (04.01.2022)

***************************************

උන් බැංකු හොරු – මූ ජංගි හොරා (04.01.2022)

***************************************

+ https://www.youtube.com/watch?v=FQCaCLpd3mc

***************************************

මට කොන්දක් තියනවා – මම ආණ්ඩුවට චැලේන්ජ් කරනවා (05.01.2022)

***************************************

පුන්නක්කු අපනයනය අත්හිටුවීමට යෝජනා

(05.01.2022 – 07:09 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් නොමැති වීම හේතුවෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මඟින් පාලනය කරන සතුන්ට අවශ්‍ය බඩඉරිඟු මෙට්‍රික් ටොන් 1500 ක් ආනයනය කිරීම ඇණහිට තිබෙනවා.

එහි සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ සඳහන් කළේ, බඩඉරිඟු හිඟ වීම නිසා අදාළ මෙට්‍රික් ටොන් ප්‍රමාණය ආනයනය කිරිම සඳහා රජයෙන් අවසර හිමි වූ බවයි.

කෙසේ වෙතත්, බඩඉරිඟු ආනයනය ප්‍රමාද වීම නිසා ඒ වෙනුවට බඩඉරිඟු ගස් වගාකරුවන්ගෙන් මිලට ගෙන ගවයින්ට ලබාදීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියා.

පවතින තත්ත්වය යටතේ පුන්නක්කු අපනයනය කිරිම ද අත්හිටුවිය යුතු බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ.

පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ සත්ත්ව ගොවිපොළ 32 ක් පවතින අතර, ගවයින් දස දහසක් (10,000), කුකුළන් ලක්ෂ 3 ක් එමඟින් පාලනය කෙරෙනවා.

***************************************

බුදු සසුනට දරුවන් පූජා කරන දෙමාපියන්ගේ සැඳෑසමයේ සුරක්ෂිතභාවය සඳහා …

(05.01.2022 – 07:12 +0530 – hirunews.lk/sinhala)

‘බුදුපුත් මාපිය හරසර විශ්‍රාම වැටුප් ක්‍රමය’ සහ ‘බුදුපුත් හරසර පූජා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය’ ක්‍රියාත්මක කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට ඊයේ (04) අත්සන් තැබුණා.

බුදු සසුනට දරුවන් පූජා කරන දෙමාපියන්ගේ සැඳෑසමයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් මෙම විශේෂිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක යි.

මේ අතර, රටේ පවතින තත්ත්වය හමුවේ භික්ෂූන් වහන්සේලාට දානය සකස් කිරීමේ දී සරල දානයක් පිළියෙල කිරීම ගැටලුවක් නො වන බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඊයේ (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා ෴

***************************************

සීගිරියට සුනඛ ප්‍රශ්නයක්

(05.01.2022 – 07:34 +0530 – hirunews.lk/sinhala)

ලෝක උරුමයක් වන සීගිරිය පිහිටා ඇති සීගිරිය නව නගරයේ සංවර්ධන කටයුතු සිදු නො වීම හේතුවෙන් එය විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, සීගිරිය ආශ්‍රිතව සුනඛ ගහණය අධික වීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන් දැඩි අපහසුතාවකට මෙන්ම තර්ජනයකට ලක්ව ඇති බවයි.

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පවතින සීගිරිය වෙත පැමිණෙන දේශීය සංචාරකයන්ගෙන් රුපියල් 100 ක ගාස්තුවක් අය කෙරෙන අතර විදෙස් සංචාරකයෙකුගෙන් සීගිරිය නැරඹීම සඳහා අය කෙරෙන ගාස්තුව ඩොලර් 30 ක්.

කෙසේ වෙතත් එලෙස මුදල් ගෙවා පැමිණෙන සංචාරකයින්ට සුනඛයන්ගෙන් බේරී ගමන් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු ව තිබෙනවා.

එමෙන්ම ඔවුන්ට රථ වාහන ගාල් කිරීම, ආහාර සහ ජලය ලබා ගැනීම මෙන්ම වැසිකිලි පහසුකම් ලබා ගැනීමේ දී ගැටලු රැසකට මුහුණ දීමට සිදු ව ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘති කළමනාකරු උපුල් ශාන්ත ගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ, සීගිරිය නව නවගරෙය් පරිපාලන කටයුතු මේ වනවිට දඹුල්ල ප්‍රාදේශීය සභාවට පවරා දීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.

කෙසේවෙතත් දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ජී. සෝමතිලක කියා සිටියේ, පරිපාලන කටයුතු මෙතෙක් නීත්‍යානුකූලව පවරා නො මැති බැවින් ප්‍රාදේශීය සභාවට සීගිරිය නව නවනගරයේ සංවර්ධන කටයුතු සිදු කිරීමට හැකියාවක් නො මැති බවයි.

***************************************

වැඩි කළ බස් ගාස්තුව අද (05) සිට ක්‍රියාත්මක යි

(05.01.2022 – 07:38 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් ඉහළ නැං වූ බස් ගාස්තු අද සිට ක්‍රියාත්මක යි.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 17 ක් වන අතර සෙසු බස් ගාස්තු 17% කින් ඉහළ දමා තිබෙනවා.

මේ යටතේ අන්තර් පළාත් බස් රථ, අර්ධ සුඛෝපභෝගී බස් රථ, අධි සුඛෝපභෝගී බස් රථ සහ අධිවේගී මාර්ගවල අධිසුඛෝපභෝගී බස් රථවල ගාස්තු ද අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවෙනු ඇති.

***************************************

මහා පරිමාණ ත්‍රීරෝද රථ ජාවාරමක සුලමුල හෙළි වේ

(05.01.2022 – 07:45 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිරෝද රථ සොරකම් කිරීමේ ජාවාරමක නිරත වූ 4 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් විසින් සොරකම් කරන ලද ත්‍රිරෝද රථ 17 කින් 12 ක් සහ අනෙක් ත්‍රිරෝද රථවල අමතර කොටස් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ගනේමුල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සොරා ගැනීමේ සිද්ධියකට අදාළ ව අනාවරණ කර ගත් කරුණු අනුවයි මෙම ජාවාරම පිළිබද තොරතුරු හෙළි වී ඇත්තේ.

රාගම, මහබාගේ, වත්තල, කඳාන, ජාඇල, පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවලින් ත්‍රිරෝද රථ සොරකම් කරගෙන ඇති බවට කරුණු අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

එමෙන්ම පසුගිය දින කිහිපය තුළ දී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් යතුරුපැදි ඇතුළු රථ වාහන සොරා ගැනීමේ සිද්ධීන් වාර්තා වුණා.

මේ අතර, ගිනි අවි පෙන්වා බොරැල්ල ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළදසැලක් කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු නවගමුව – වදුරන්මුල්ල මාර්ගයේ දී පොලිසිය ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

45 හැවිරිදි කුරුවිට ප්‍රදේශයේ පදිංචි සැකකරු කැලණිය, කඩුවෙල, ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසල් කොල්ල කෑම සහ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම මෙන්ම නවගමුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ගිනි අවි පෙන්වා කොල්ලකෑමේ සිද්ධීන්වලට සම්බන්ධ බවට හෙළි වුණා.

එමෙන්ම මීගොඩ ප්‍රදේශයේ වෙළඳසලක් ගිනි අවි පෙන්වා කොල්ලකෑම සහ කෑගල්ල ප්‍රදේශයේ දී යතුරුපැදි සොරකමකට මොහු සම්බන්ධ බවට ද අනාවරණය වුණා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ලඟ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් (2) සහ රන් මාල 6 ක් ද සොයාගෙන තිබෙනවා ෴

***************************************

පාරම්පරික සහල් බස්නාහිර කෘෂි සේවා අධිකාරියේ අලෙවිසල් මඟින්

(05.01.2022 – 07:55 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර කෘෂිසේවා අධිකාරියේ අනුග්‍රහය යටතේ කාබනික කෘෂිකර්ම ප්‍රචලිත කිරීම සඳහා වගා කරන ලද පාරම්පරික සහල් තම අධිකාරියේ අලෙවිසල් මගින් ලබාදීමට සැළසුම් කර ඇති බව එහි සභාපති රජිත හපුආරච්චි පවසනවා.

ඒ අනුව කටාන – හීනටියන – පොල්වත්තාගාරයේ වෙල් යායේ වගා කළ පාරම්පරික දේශීය වී වගාවේ අස්වනු එම අධිකාරිය මඟින් කිලෝවක් රුපියල් 100 ක මිලකට මිල දී ගැනීමට නියමිත යි.

ඒවා රුපියල් 250 ක් වැනි මිලකට අලෙවි කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

ඒ අනුව පාරම්පරික දේශීය වී වර්ග වන සුවඳැල්, කුරුළු තුඩ, රන්කහවනු ආදී සහල් වර්ග අලෙවි කිරීමට සැළසුම් කර තිබෙනවා ෴

***************************************

‘1907 – සුව සවන සේවාව’ අද (05) සිට ඇරඹේ

(05.01.2022 – 09:18 +0530 – hirunews.lk/sinhala)

සුව සවන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් සේවාව අද (05)දින ආරම්භ වනවා.

සෞඛ්‍ය සේවාව ගැන ජනතා අදහස්, පැමිණිලි, යෝජනා, චෝදනා මෙන්ම දුක් ගැනවිලි එසැණින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සන්නිවේදනය කිරීමේ නව ක්‍රමවේදයක් ලෙසයි, මෙය හඳුන්වා දී ඇත්තේ.

ඒ අනුව, 1907 යන දුරකථන අංකය ඔස්සේ යෝජනා, චෝදනා මහජනතාවට ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

ඒ ඔස්සේ තමන් ඉදිරිපත් කළ ගැටළුව සහ යෝජනාව විසදන තෙක්ම ඊට අදාළ සිදුවන ක්‍රියාවලිය සිය ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් හෝ වෙනත් සන්නිවේදන ක්‍රමයක් මගින් දැනුම් දෙන බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

‘1907- සුව සවන සේවාව’ ආරම්භ කිරීමේ උත්සවය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ දී ආරම්භ කිරීමට ද නියමිතයි ෴

***************************************

සැකකටයුතු මෝටර් රථයක් කොටස් කළ තුන්දෙනෙකු (3) කොටු වෙයි

(05.01.2022 – 09:22 +0530 – hirunews.lk/sinhala)

කිසියම් අපරාධමය කටයුත්තක් සඳහා යොදා ගන්නා ලද බවට සැක කෙරෙන මෝටර් රථයක් කොටස් කරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු (3) විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ 10, මරදාන, සංඝරාජ මාවත ප්‍රදේශයේදී ඊයේ (04) සිදුකළ වැටලීමකදීයි, අදාළ මෝටර් රථය කොටස් කරමින් සිටියදී සොයාගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ 10 සහ කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර, ඔවුන් අත්අඩංගුවට ගත් ස්ථානයේ තිබී බස් රථයක අභ්‍යන්තර කොටස් ද සොයාගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *