රෝගීන් තව තවත් ලෙඩ කරවන කුරුණෑගල ශික්ෂණ රෝහල

රෝගීන් තව තවත් ලෙඩ කරවන කුරුණෑගල ශික්ෂණ රෝහල

*********************************************

රෝගීන් තව තවත් ලෙඩ කරවන කුරුණෑගල ශික්ෂණ රෝහල

(04.01.2022 – 20:42 +0530 – hirunews.lk/sinhala)

රෝහලක් යනු රෝගීන් සුවපත් කරන ස්ථානයක්.

නමුත් කුරුණෑගල ශික්ෂණ රෝහල නම් මේ වනවිට එම පළාතට රෝග පැතිරවීමේ මර්මස්ථානයක් බවට පත්ව තිබෙනවා.

ඒ ටොන් ගණනක සායනික අපද්‍රව්‍ය රෝහල් භූමිය ආක්‍රමණය කර තිබීම හේතුවෙන්.

මේ අද වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ දක්නට ඇති තත්ත්වයයි.

රෝගීන්ගෙන් ඉවත් කරන රුධිරය තැවරුණු පුළුන්, ගෝස්, සිලින්ජර් ඇතුළු සායනික අපද්‍රව්‍ය මෙම මාර්ගය දෙපස කලක පටන් මෙලෙස ගොඩ ගසා තිබෙනවා.

සායනික අපද්‍රව්‍ය ගොඩගසා ඇති මෙම ස්ථානය අසලම ඇත්තේ තැලසීමියා රෝගීන්ගේ වාට්ටුව හා මාතෘ වාට්ටු සංකීර්ණයයි.

දිනපතා ගොඩගැසෙන මෙම සායනික අපද්‍රව්‍ය හේතුවෙන් උතුම් මාතෘත්වය පතා මෙහි එන ගැබිනි මව්වරුන්, කුඩා බිළිඳුන්, රෝගීන් මෙන්ම ඔවුන් බැලීමට පැමිණෙන සිය දහස් සංඛ්‍යාත ජනතාව ද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටයි.

රෝහල පුරා අයාලේ යන සුනඛයන් මෙන්ම කපුටන් ආදී සතුන් මෙම සායනික අපද්‍රව්‍ය රෝහලේ තැනින් තැන හා අවට ප්‍රදේශවලට රැගෙන යාම මේ වනවිට දැඩි සෞඛ්‍ය තර්ජන මතු කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති කළ සොයාබැලීමකදී හෙළිවුණේ කලක් අබලන්ව පැවති රෝහලේ කසළ දහනාගාරය පසුගිය නොවැම්බර් මාසයේ දී ඇති වු වැසි තත්ත්වයත් සමග මෙලෙස කඩා වැටී ඇති බවයි.

රෝහල් පරිශ්‍රයේ මාර්ගය දෙපස, පැරණි වෛද්‍ය නිල නිවාස පමණක් නොව රෝහලේ ඉහළ මහල් ද මේ වනවිට සායනික අපද්‍රව්‍ය මෙලෙස ද ක්‍රම ක්‍රමයෙන් ආක්‍රමණය කරමින් පවතිනවා.

කුරුණෑගල ජනතාව ඉල්ලා සිටින්නේ දිනෙන් දින කුරුණෑගල ශික්ෂණ රෝහල ලෙඩ කරන මෙම සායණික කුණු කන්දට හැකි ඉක්මනින් විසදුමක් අවැසි බවයි.

***************************************

‘ෂාටා’ සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි

(04.01.2022 – 15:45 +0530 – hirunews.lk/sinhala)

‘ෂාටා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ‘උදයංග ලක්මාල්’ නැමති පුද්ගලයෙකු සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදු කරනු ලබන විමර්ශනයක් සඳහා අවශ්‍ය කරනු ලබන 35 හැවිරිදි වැලිගම – කෝවිල්කන්ද කඩේවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා සංචාරක මග පෙන්වන්නෙක්.

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු සමඟද මෙම සැකකරු සබඳතා පවත්වා ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගහරිමින් සැඟවී සිටින බැවින් ඔහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දුරකථන අංක 071 859 2727 හෝ 011 234 3333 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

***************************************

පෙරටුගාමී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අත්අඩංගුවට

(04.01.2022 – 15:51 +0530 – hirunews.lk/sinhala)

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අධිකරණයට අපහාස වන අන්දමින් නිර්මාණය කරන ලද ආකෘතියක් පසුගිය වසරේ නොවැම්බර් 09 වනදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ නාමපුවරුවේ සවිකර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවට අදාළවයි.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුවයි බොරැල්ල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ශරීර ඇප දෙකක් (2) මත මුදාහැර තිබෙනවා.

බොරැල්ලේදී අද (04) ඔහු අත්අඩංගුවට ගැනුණේ අධිකරණයට අපහාස වන අන්දමින් නිර්මාණය කරන ලද ආකෘතියක් පසුගිය වසරේ නොවැම්බර් 9 වනදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ නාමපුවරුවේ සවිකිරීමේ චෝදනාවට අදාළවයි ෴

***************************************

සමාජ මාධ්‍ය ඔස්සේ ජනපති විවේචනය කලොත් අත්අඩංගුවට ගනීද ?

(04.01.2022 – 16:20 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍යය ඔස්සේ ජනාධිපතිවරයා විවේචනය කළහොත් ඊට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමක් හෝ නීතිය ක්‍රියාත්මක කරන බවට පළවන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අවධාරණය කරනවා.

අද (04) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ෴

***************************************

ජනපති ආලෝචනය එළිදකී

(04.01.2022 – 16:43 +0530 – hirunews.lk/sinhala)

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සම්පාදිත ‘ජනපති ආලෝචනය’ ග්‍රන්ථය අද (04) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගැන්වුවා.

ගත වූ දෙවසරක කාලය තුළ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රායෝගිකත්වය පිළිබඳ ග්‍රන්ථය මගින් විශ්ලේෂණය කර තිබෙනවා.

***************************************

‘ආසියාවේ රැජින’ ඉහළම මිලකට අලෙවි වන ලකුණු

(04.01.2022 – 17:11 +0530 – hirunews.lk/sinhala)

‘ආසියාවේ රැජින’ හෙවත් ‘ක්වීන් ඔෆ් ඒෂියා’ නමින් හදුන්වන බලංගොඩින් හමුවූ ලොව විශාලතම ස්වභාවික ‘කොරොන්ඩම් බ්ලූ සෆායාර්’ මැණික ඇමරිකානු ඩොලර් මිලියන 100 කට මිලදී ගැනීමට ඩුබායි සමාගමක් කැමැත්ත පළ කර තිබෙනවා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 2,200 ක්. ඊට අදාළ ගිවිසුම ජනවාරි හත්වනදා (07) අත්සන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

‘ක්වීන් ඔෆ් ඒෂියා’ නමින් හඳුන්වන මෙම මැණික බලංගොඩ ප්‍රදේශයේ පතලකින් මීට මාස 07 කට පමණ පෙර හමුවී ඇති අතර, ‘ජෙමලොජිකල් ඉන්ස්ටිටියුට් ඇන්ඩ් රිසර්ච් ප්‍රයිවඩ් ලිමිටඩ්’ ආයතනයට මෙහි හිමිකාරීත්වය පවතිනවා.

එය කිලෝග්‍රෑම් 310 ක බරකින් යුක්තයි.

***************************************

ප්‍රසිද්ධ හෝටලයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මරුට

(04.01.2022 – 19:08 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ප්‍රදේශයේ පිහිට ප්‍රසිද්ධ හෝටලයක අද (04) දහවල් සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එම හෝටලයක වායු සමීකරන යන්ත්‍රයක් අලුත්වැඩියා කරමින් සිටින අතරතුරදී එම පිපිරීම සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කලේ.

හෝටලයේ ඉහළ මහලේ භෝජනාගාරයේ පිහිටි කොටසේ එම පිපිරුම සිදුව තිබෙනවා.

අදාළ පිපිරීමෙන් මියගොස් ඇත්තේ, මාතලේ, ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි කාර්මිකයෙකු බව වාර්තා වනවා.

වැඩිදුර පරීක්ෂණ පෙරාදිනිය පොලිසිය විසින් පවත්වනු ලබනවා.

***************************************

ත්‍රීරෝද රථ සොරකම් කළ සැකකරුවන් මහබාගේදී පොලීසියට කොටු වේ

(04.01.2022 – 19:12 +0530 – hirunews.lk/sinhala)

මහාබාගේ පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ ත්‍රී රෝද රථ සොරා ගැනීමේ පැමිණිල්ලකට අදාළව විමර්ශන සිදු කර අනාවරණය කරගත් තොරතුරු මත සැකකරුවන් සිව්දෙනෙකු (4) ඊයේ (03) පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

ඒ ගනේමුල්ල ප්‍රදේශයේ දී යි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 20, 26, 28 සහ 30 යන වයස්වල පසුවන්න ගනේමුල්ල ප්‍රදේශයේ ම පදිංචිකරුවන් පිරිසක්.

මෙම සැකකරුවන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව මොවුන් විසින් බස්නාහිර පළාත තුළ විවිධ ප්‍රදේශවල දී සොරා ගන්නා ලද ත්‍රීරෝද රථ 17 කින් ත්‍රීරෝද රථ 12 ක් හා තවත් ‍රථ 05 ක කොටස් සොයාගෙන තිබෙනවා.

කොල්ලකෑමට ලක් වූ අදාළ ත්‍රීරෝද රථවල එන්ජින් අංක හා චැසි අංක වෙනස් කර ඇති බවට පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වී ඇති අතර, සැකකරුවන් විසින් ත්‍රීරෝද රථ රාගම, මහාබාගේ, වත්තල, ජා ඇල, කඳාන, පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවලින් සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

සිද්ධියට සම්බන්ධ මෙම සැකකරුවන් අද (04) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 72 ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර මහාබාගේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴

***************************************

‘Wise Woman’ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

(04.01.2022 – 19:28 +0530 – hirunews.lk/sinhala)

පූර්ණ කුසලතාව තුළින් කාන්තාව සවිබල ගන්වා රටේ ආර්ථිකයට දායක කර ගැනීම සඳහා වූ ‘Wise Woman’ ජාතික වැඩසටහන අද (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙරට කාන්තා ජනගහන ප්‍රතිශතය 52% ක්.

එහෙත් සමස්ත ජනගහනයේ කාන්තා ශ්‍රම දායකත්වය 30% ක් වැනි අඩු අගයක පවතින බව කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

කාන්තාවන් සඳහා නිපුණතාව සංවර්ධනය හා වෘත්තීය පුහුණුව ලබා දී, එමගින් ඔවුන් ජාතික ආර්ථිකයට දායක කර ගැනීම වැඩසටහනේ අරමුණයි.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ක්ෂේත්‍ර කිහිපයක දක්ෂතා දක්වමින් රටේ ප්‍රගමනයට දායක වූ මහාචාර්ය නිලීකා මලවිගේ, ආචාර්ය ආශා ඩි වෝස්, කස්තුරි විල්සන්, නිපුනි කරුණාරත්න, මෙලනි වගආරච්චි, පවිත්‍රා ගුණරත්න, රංගනා වීරවර්ධන, අයන්ති ගුණසේකර, නෙල්කා ශිරෝමාලා සහ තිලංකා අබේවර්ධන යන මහත්මීහු ජනාධිපතිවරයාගේ සුරතින් විශිෂ්ට කාන්තාවන් ලෙස සම්මානයට පාත්‍ර වුණා.

***************************************

අනුන්ගේ ලියුම්, ළඟ තබාගත් තැපැල්කරුවෙකුට වැඩ වරදී

(04.01.2022 – 19:37 +0530 – hirunews.lk/sinhala)

මාතලේ – බලකඩුව ප්‍රදේශයේ තැපැල්කරුවෙකු, අවුරුදු දෙකකට (2) ආසන්න කාලයක් තමන්ට බෙදා හැරීමට නියමිතව තිබූ ලිපි ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව මාතලේ ප්‍රාදේශීය තැපැල් අධිකාරි අනුර රත්නායක ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ විමර්ශන වලින් අනතුරුව ඔහුගේ සේවය අත්හිටුවීමට කටයුතු කරන බවයි.

ඔහුගේ නිවසේ මෙම ලියුම් ගොඩගසා ඇති බවට ප්‍රදේශයේ කාන්තාවක් විසින් තැපැල් කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුවයි මේ පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මෙම තැපැල්කරු උකුවෙල තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කළ අයෙක්.

ඔහු නොබෙදූ ලිපි අතර තිබී රාජකාරි කටයුතුවලට අදාළ ලිපි මෙන්ම විභාගවලට අදාළ ලිපි ද හමු වූ බවයි මාතලේ ප්‍රාදේශීය තැපැල් අධිකාරිවරයා සඳහන් කළේ ෴

***************************************

වංචාව මර්දනයට සජිත් සූදානමින් !

(04.01.2022 – 20:12 +0530 – hirunews.lk/sinhala)

වංචාව හා දූෂණය මර්දනය කරන වැඩපිළිවෙළකට නායකත්වය ලබා දීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පාසල් දරු දැරියන් වෙනුවෙන් තාක්ෂණික උපකරණ ලබාදිමේ වැඩසටහනක් වන ‘සක්වල’ ව්‍යාපෘතියේ දෙවැනි (2) අදියරට අද (04) එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

***************************************

දුරදිග ගිය ටික්ටොක් මරණයකින් කෙළවර වේ

(04.01.2022 – 20:34 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑන්ඩ්පාස් – මාදම්පිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් සිදුකළ පිහි ඇනුමකින් 17 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසූවේ ‘ටික් ටොක්’ වීඩියෝවක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් මෙම පිහි ඇනුමට හේතුවක් වන්නට ඇති බවට සැක කරන බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචි අබ්දුල් ලතීෆ් නම් තරුණයෙක්.

ඔහු ‘ටික් ටොක්’ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වීඩියෝ දර්ශන නිතර මුදාහැරීමට කැමැත්තක් දක්වා තිබුණා.

දරුවන් සිව්දෙනෙකු (4) ගෙන් යුතු පවුලේ දෙවැනි (2) දරුවා වූ ලතීෆ්, තවත් තරුණයින් දෙදෙනෙකු (2) සමඟ ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය ප්‍රදේශයට ඊයේ (03) ගොස් තිබුණේ සිය වැඩිමහල් සොයුරාට දහවල් ආහාරය ලබාදීම සඳහායි.

සිය සොයුරාට ආහාර පාර්සලය ලබා දී ආපසු එමින් සිටින අතරතුරදී මාදම්පිටිය පටුමගේදී පිරිසක් සමඟ බහින්බස් වීමක් සිදුව තිබෙනවා.

පිහි ඇනුමින් බරපතළ තුවාල ලැබූ ලතීෆ් කොළඹ ජාතික රෝහළට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිට ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

පොලිසිය පැවසූවේ ‘ටික් ටොක්’ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු පළ කළ වීඩියෝවක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් මෙම ඝාතනයට හේතුව බවට සැක කරන බවයි.

කෙසේවෙතත්, ලතීෆ්ගේ මවට මෙම ඝාතනය සම්බන්ධයෙන් වෙනත් සැකයක් ද මතුව තිබෙනවා.

ඝාතකයින් මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *