දෙහිවල මුහුදු තීරයේ දී කිඹුලෙකුගේ ප්‍රහාරයකින් වෘත්තීය කිමිදුම්කරුවෙකු මරුට

දෙහිවල මුහුදු තීරයේ දී කිඹුලෙකුගේ ප්‍රහාරයකින් වෘත්තීය කිමිදුම්කරුවෙකු මරුට

*********************************************

දෙහිවල මුහුදු තීරයේ දී කිඹුලෙකුගේ ප්‍රහාරයකින් වෘත්තීය කිමිදුම්කරුවෙකු මරුට

(03.01.2022 – 14:41 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල මුහුදු තීරයේ කිමිදෙමින් සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි වෘත්තීය කිමිදුම්කරුවෙක් කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක් වී තිබෙනවා.

මෙම පුද්ගලයා කිඹුලාගේ ප්‍රහාරයට ලක්වීම හේතුවෙන් මියගොස් ඇති බවයි කළුබෝවිල ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අද (03) පෙරවරුවේ සිදු වූ මෙම ප්‍රහාරය හේතුවෙන් මියගොස් ඇත්තේ 58 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා කිඹුල් ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව ඔහු කළුබෝවිල රෝහල වෙත රැගෙන යන අතර මග දී මිය ගොස් තිබෙනවා.

මේ වන විට අත්තිඩිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම සිද්ධිය හටගත් ස්ථානය අවට මුහුදේ මෙහෙයුමක් දියත් කර ඇත්තේ, මෙම කරදිය කිඹුලා කොටු කර ගැනීම සඳහායි.

මීට පෙර අවස්ථා කිහිපයක දී දෙහිවල අවට මුහුදේ ‘කරදිය කිඹුලන්’ සිටි බවට වාර්තා පළ වුණා.

මෙම කරදිය කිඹුලන් කොටු කර ගැනීම සඳහා වන ජීවි දෙපාර්තමේන්තුව නාවික හමුදාව හා එක්ව අවස්ථා ගණනාවක දී මෙහෙයුම් දියත් කළ ද එම මෙහෙයුම් සාර්ථක නො වූයේ එලෙස විටින් විට දර්ශනය වූ කිඹුලන් එම මුහුදු තීරයෙන් ඈත් වීම හේතුවෙන්.

++++++++++

කිඹුලාගේ ග්‍රහණයට හසු වූ සිය සගයාගේ ප්‍රාණය බේරා ගැනීමට ගිය මිතුරන්

(03.01.2022 – 19:19 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල ප්‍රදේශයේ මුහුදු තීරයේදී කරදිය කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්වූ විසිතුරු මසුන් ඇල්ලීමේ නියැලෙන කිමිදුම්කරුවකු ජීවිතක්ෂයට පත්වූ පුවතක් වාර්තා වූයේ අද පෙරවරුවේ දීයි.

අද පෙරවරු 11.30 පමණ සිදු වූ මෙම ප්‍රහාරය හේතුවෙන් ජිවිතක්ෂයට පත් වූයේ රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි කිමිදුම්කරුවෙකුයි.

මෙම සිද්ධිය වාර්තා වූ සැනින් ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා පළමු මෙහෙයුම දියත් කළ කොළඹ විසිතුරු මසුන් අල්ලන්නන් ගේ සංගමයේ සාමාජිකයින් කිහිප පළක් වහාම බෝට්ටු කිහිපයක් රැගෙන මෙම ප්‍රහාරය එල්ල වූ මුහුදු සීමාව දෙසට ගොස් තිබෙනවා.

එහිදී මෙම කිමිදුම්කරුවා සිය ග්‍රහණයට ගත් කිඹුලා මුහුදේ පිහිනා යන ආකාරය දුටු මෙම කණ්ඩායම කිමිදුම්කරු කිඹුලාගේ ග්‍රහණයෙන් මුදා ගැනීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී කොළඹ දිස්ත්‍රික් විසිතුරු මසුන් අල්ලන්නන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ ඔහුගේ එකම අභිප්‍රාය වූයේ කිඹුලාගේ ග්‍රහණයට හසු වූ සිය සගයාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර බේරා ගැනීම බවයි.

ඒ සඳහා ඔහු උත්සාහ කළ ආකාරය අප වාර්තාකරුට පවසා සිටියේ මෙලෙසින්.

“මේ ආරංචිය ලැබුණු ගමන් අපි බෝට්ටු කිහිපයක් දියත් කර ගෙන මුහුදට ගියා. එතකොට අපි දැක්කා කිඹුලා මෙයාව අල්ලගෙන යන විදිහ. මට කිඹුලාව අල්ලන්න හෝ මරන්න වුවමනාවක් තිබුණේ නෑ. මගේ එකම උවමනාව තිබුණේ අපේ සාමාජිකයාගේ බොඩි එක කොහොමද ගන්නෙ කියන එක ගැනයි. ඒ වෙලාවේ මට හොඳ අදහසක් ආවා අපේ බෝට්ටුවල තියෙනවා ඇන්කර් එකක්, අපි හෙමින් බෝට්ටුව කිඹුලාට කිට්ටු කරලා ඇන්කර් එක උගේ ඇඟ උඩට දාලා රේස් කරල බෝට්ටුව ඇද්දා. එතකොට ඇන්කර් එක කිඹුලා ගේ ඇගේ පැටලිලා ඌ හොඳටම කලබල වුණා. ඊට පස්සේ ඌ ගොදුර අත ඇරලා වෙන පැත්තකට ගියා, ටික වෙලාවකට පස්සෙේ බොඩි එක උඩට ආවා අපි ටක් ගාලා බොඩි එක ඇරගෙන ගොඩට ඇවිත් ඉස්පිරිතාලෙට ගෙනිච්චා. කිඹුලා අල්ලලා තිබුණේ එයාගේ දකුණු උරහිස ඒක නිසා තමයි එයාට මොකුත් කරගන්න බැරි වෙලා තියෙන්නේ. නැත්නම් කිමිදුම්කරුවෝ කියන්නේ වතුර ඇතුලේ විනාඩි ගණනාවක සටනක් දෙන්න පුළුවන් අය, වයස අවුරුදු 57ක් උනාට එයා හරි ශක්තිමත්.

අපි වනජීවී එකට කියන්නේ පුළුවන් තරම් ඉක්මනින් මේ කිඹුලා මෙතනින් ඉවත් කරලා දාන්න. අල්ලන්න ඕනෙ කරන සහයෝගය අපි දෙන්නම්, බෝට්ටුව අරවා මේවා අපට දෙන්න පුළුවන්. කිඹුලා මරන්න කියල අපි කියන්නේ නැහැ, අපිට එක කරන්න අවශ්‍ය නෑ. අනිවාර්යයෙන් මූ හෙට අනිද්දා තව බිල්ලක් ගන්න එක ගන්නවා මයි. ඊට කලින් ඌව අයින් කරන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. මේක සීසන් එක, මේ කාලෙට විතරයි කීයක් හරි හම්බ කරගන්න පුළුවන්. ඒක නිසා අපට මේක කරල දෙන්න කියල තමයි අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

***************************************

මී කිරි සහ බුලත් මිලත් ඉහළට

(03.01.2022 – 13:35 +0530 – hirunews.lk/sinhala)

වසර ගණනාවක් තිස්සේ මහනුවර – යාපනය ඒ-නවය මාර්ගයේ නාවුල ප්‍රදේශයේ අලෙවි කළ මී කිරි හට්ටියක මිල රුපියල් හතළිහකින් (40) ඉහළ දමා තිබෙනවා.

එසේම වෙළෙඳපොළේ බුලත් මිලෙහි ද ශීඝ්‍ර වැඩි වීමක් දක්නට ලැබෙන අතර, සාමාන්‍ය ප්‍රමාණයේ බුලත් අතක් මේ දිනවල රුපියල් 200 කට ආසන්න මිලකට අලෙවි වන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ ෴

***************************************

වසරේ මුල්ම උල්කා වර්ෂාව අද (03)

(03.01.2022 – 13:38 +0530 – hirunews.lk/sinhala)

වසරේ පළමු උල්කා වර්ෂාව අද (03) දිනයේ ශ්‍රී ලංකාවාසීන්ට දැක ගත හැකි වනවා.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සූරිය කියා සිටියේ, පැයකට උල්කාපාත 60 ත් 200 ත් අතර ප්‍රමාණයක් දර්ශනය වන මෙම උල්කා වර්ෂාව අද (03) මැදියම් රැයේ සිට නිරීක්ෂණය කළ හැකි බවයි ෴

***************************************

ලොව හොඳම නැරඹුම් ස්ථාන අතරට ශ්‍රී ලංකාවත්

(03.01.2022 – 13:40 +0530 – hirunews.lk/sinhala)

එළඹුණු 2022 වසරේදී ලොව විශිෂ්ඨතම සංචාරක ගමනාන්තයන් 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කර තිබෙනවා.

සුප්‍රකට ‘සී.එන්.එන්.’ ප්‍රවෘත්ති සේවාවේ සංචාරක කලාපය වන ‘සී.එන්.එන්. ට්‍රැවල්’ මගින් මෙම ගමනාන්තයන් හඳුන්වා ඇත්තේ, ගෝලීය වසංගතයෙන් පසු ලොව යළි විවෘත වීමේදී අනිවාර්යෙන් සංචාරය කළ යුතු සිහින ගමනාන්තයන් ලෙසයි.

ඇන්ටිගුවා සහ බාබියුඩා යන කොදෙව් දිවයින්, ලතින් ඇමරිකානු චිලී දේශය, ප්‍රංශය, ග්‍රීන්ලන්තය, ෆින්ලන්තය, ඉතාලියේ නේපල්ස් ඇතුළු සංචාරක කලාප සමඟ ‘සී.එන්.එන්. ට්‍රැවල්’ මඟින් කොළඹ කේන්ද්‍ර කොටගත් ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ සටහනක් ද ඉදිරිපත් කර තිබෙනවා.

මෙරට ආකර්ශනීය වෙරළ තීරයන් සහ තේ වතුයාය මෙන්ම අපටම ආවේනික රසවත් ආහාර පිළිබඳව ද එහි සඳහන්.

***************************************

මෙරට ඇස් නොපෙනෙන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට

(03.01.2022 – 13:43 +0530 – hirunews.lk/sinhala)

අන්ධ භාවයට පත්වන මෙරට පුද්ගලයින්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ඉහළ ගොස් ඇති බව දෘෂ්ඨි විශේෂඥයින් පෙන්වා දෙනවා.

කොළඹ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උපදේශන දෘෂ්ඨී විශේෂඥ නිරේෂ් ප්‍රදහාන් ප්‍රකාශ කළේ, කලාපයේ අනෙකුත් රටවල් හා සැසඳීමේදී මෙරට ඇස් නොපෙනෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බවයි.

***************************************

බෙන්තර, කහගල්ල ප්‍රදේශයේ ජනතාව පානීය ජල අර්බුදයක

(03.01.2022 – 14:24 +0530 – hirunews.lk/sinhala)

දශක 2 ක පමණ කාලයක සිට බෙන්තර, කහගල්ල ප්‍රදේශයේ ජනතාව පානීය ජල අර්බුදයෙන් පීඩා විඳිනවා.

ගාල්ල දිස්ත්‍රික්කයට අයත් බෙන්තර, කහගල්ල ප්‍රදේශයේ ජනතාව පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකිව පීඩා විඳින්නේ, දශක දෙකක (2) පමණ කාලයක සිටයි.

පවුල් 100 ක් පමණ ජීවත් වන මෙම ප්‍රදේශයට මීට වසර 20 කට පමණ ඉහතදී බද්දේගම, ගිංගඟ ජල යෝජනා ක්‍රමය මගින් ජලය සපයා තිබුණද, නිසි නඩත්තුවක් නොමැතිකම හේතුවෙන් එම ජල සැපයුමද මුළුමනින්ම අඩාල වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ, ළිං ජලයට කරදිය මිශ්‍ර වී ඇති බැවින් එම ජලයද පානීය අවශ්‍යතා වෙනුවෙන් ලබා ගැනීමට නොහැකි බවයි.

මෙම පසුබිම හමුවේ මුදල් ගෙවා වෙනත් ප්‍රදේශවලින් පානීය ජලය සපයා ගැනීමට ඔවුන්ට සිදුව තිබෙනවා.

***************************************

අමාත්‍යවරුන් නව වසරේ රාජකාරී කටයුතු අරඹයි

(03.01.2022 – 14:40 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍යවරුන් අමාත්‍යාංශවලදී අද (03) දින රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ නව වසරේ රාජ්‍ය සේවයේ රාජකාරී කටයුතු ඇරඹීමට සමගාමීවයි.

***************************************

ගාල්ල මහින්ද විදුහලේ හිටපු විදුහල්පති සහ සංවර්ධන නිලධාරිනියට ඇප

(03.01.2022 – 14:51 +0530 – hirunews.lk/sinhala)

කූට ලේඛණ සකස් කරමින් විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ රුපියල් විසිඑක් ලක්ෂයකට (21,00,000) අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති ගාමිණී ජයවර්ධන සහ සංවර්ධන නිලධාරිනිය වන හසිනි අලහකෝන් ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් (2) බැගින් සහ රුපියල් 25,000 ක මුදල් ඇපයක් මත ඔවුන් මුදාහැරීමට යි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (03) නියෝග කළේ.

එසේම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍රය ද අධිකරණ භාරයට ගෙන තිබෙනවා.

නඩුව මාර්තු 21 වැනි දා යළි කැඳවීමට නියමිත යි ෴

***************************************

පොහොර නොමැතිව දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවීන් පීඩාවක

(03.01.2022 – 15:00 +0530 – hirunews.lk/sinhala)

සිය නිෂ්පාදන කඩා වැටීම හේතුවෙන් අසීරුතා රැසකට මුහුණ පා ඇති බව, කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය පවසනවා.

මේ අතර, පොහොර නොමැති බවට දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවීන් තවමත් මැසිවිලි නගනවා.

***************************************

ප්‍රියන්ත කුමාරගේ බිරිඳට සහ දරුවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් වන්දි

(03.01.2022 – 16:53 +0530 – hirunews.lk/sinhala)

පාකිස්තානයේ සියල්කොට් නුවර ඇඟලුම් කම්හල් කළමනාකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී අමානුෂික අන්දමින් ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ බිරිඳට සහ දරුවන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබා දී තිබෙනවා.

අදාළ චෙක්පත කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න විසින් එම ප්‍රධාන කාර්යාලයේදී අද (03) භාරදෙනු ලැබුවා.

ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වියදම් දැරීමට ඔහු සේවය කළ පාකිස්තානයේ රාජ්කෝ ඇඟලුම් කම්හල් සමූහය එකඟ වූ බව පාකිස්තාන මාධ්‍ය මීට පෙර වාර්තා කළා.

මේ අතර ප්‍රියන්ත කුමාර දියවඩනගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනු ලැබූ සැකකරුවන් 85 දෙනෙකු ගුජරන්වාලා ත්‍රස්ත මර්දන අධිකරණය මගින් තවත් දින 14 ක කාලයක් සඳහා අද (03) නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි එහි සිටින හිරු විශේෂ වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

ඉල්ලා අස්වෙනව නම් අපට කියලයි යන්නේ – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

(03.01.2022 – 17:14 +0530 – hirunews.lk/sinhala)

නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නාරාහේන්පිට අභයාරාමයට ගොස් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට මේ දිනවල සමාජ මාධ්‍යජාලාවල සංසරණය වන තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

අදාළ නිවේදනයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා පවසන්නේ ජනතාව නොමඟ යවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ හෙළා දකින බවයි.

මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ, අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් රට තුළ මේ වනවිට විවිධ ප්‍රචාර පැතිරී ඇති අතර, එතුමා ඉවත් විය යුතු නම් එය වහෙන් ඔරොවකට නොවී, කෙලින්ම පැවසීම වඩාත් සුදුසු බවයි.

එමෙන්ම එලෙස ධුරයෙන් අග්‍රාමාත්‍යවරයා ඉවත් වන්නේ, තමන් ඒ පිළිබඳ ව දැනුවත් වන බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *