සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසේ

*********************************************

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසේ

(03.01.2022 – 07:19 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය අද (03) සිට යළි වසා දැමෙනවා.

ඒ, ඩොලර් අර්බුදය හමුවේ බොරතෙල් මිල දී ගැනීමේ දී මතු වී ඇති දුෂ්කරතා හේතුවෙන්.

කෙසේ වෙතත්, තාවකාලිකව තෙල් පිරිපහදුව වසා දැමුව ද රට තුල ඉන්ධන හිඟයක් ඇති නො වන බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

දෛනිකව බොරතෙල් මෙට්‍රික් ටොන් 6500 ක් පිරිපහදු කෙරෙන සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඩොලර් අර්බුදය හමුවේ බොරතෙල් සපයා ගැනීමට නො හැකි වීම හේතුවෙන් පසුගිය වසරේ නොවැම්බර් 15 වන දා වසා දැමුණු අතර, එය දින 22 කට පසු යළි විවෘත කෙරුණේ දෙසැම්බර් 07 වනදායි.

අද (03) වසා දැමෙන තෙල් පිරිපහදුව මේ මස අවසානය වනවිට යළි විවෘත කිරීමට හැකියාව පවතින බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ.

මේ අතර පිරිපහදු කරන ලද ඉන්ධන රැගත් නෞකා දෙකක් (2) මේ වනවිට දිවයිනට පැමිණ ඇති අතර, එහි ඉන්ධන නිදහස් කරගැනීම සම්බන්ධයෙන් අද (03) අවශ්‍ය පියවර ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියා සිටියා.

+++++++++

භූමිතෙල් වෙනුවට ගුවන් යානා ඉන්ධන

(03.01.2022 – 13:32 +0530 – hirunews.lk/sinhala)

භූමිතෙල් අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යාම හමුවේ අවශ්‍ය වුව හොත් ඉදිරියේ දී ඒ වෙනුවට ගුවන් යානා ඉන්ධන වෙළෙඳපොළට නිකුත් කිරීම කෙරෙහි බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, ගුවන් යානා ඉන්ධන සහ භූමිතෙල්වල සංයුතියේ කිසිදු වෙනසක් නො මැති අතර, භූමිතෙල් ලෙස ගුවන් යානා ඉන්ධන භාවිත කිරීමේ අවදානමක්ද නො මැති බවයි.

ඉල්ලුම සපුරාගත නො හැකි අවස්ථාවල මීට පෙරද භූමිතෙල් වෙනුවට ගුවන් යානා ඉන්ධන වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් ලේකම්වරිය පැවසුවා.

මේ සඳහා අවශ්‍යවන්නේ, වර්ණය සහ ගන්ධය එකතු කිරීම පමණක් බවයි ඇය පෙන්වා දුන්නේ.

මේ වනවිටත් ගුවන් යානා ඉන්ධන විශාල ප්‍රමාණයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින අතර, ලබන මාසයේ දී තවත් ගුවන් යානා ඉන්ධන රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත යි.

භූමිතෙල් නිෂ්පාදනය සඳහා සංස්ථාව මේ වනවිට ලීටරයකට රුපියල් 130 ක පමණ පිරිවැයක් වැය කළ ද භූමිතෙල් ලීටරයක් වර්තමානයේ අලෙවි වන්නේ රුපියල් 87 ක මිලකට යි.

***************************************

සුව ඇමතිගෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති වෙත රතු එළියක්

(03.01.2022 – 07:21 +0530 – hirunews.lk/sinhala)

ජනතාව බිත්තියට හේත්තු කරමින් පටු අරමුණු ඉටු කරගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසියම් වූ වෘත්තීය සමිතියක් උත්සාහ කරන්නේ නම් තමන්ගෙන් ඊට කිසිදු ඉඩක් නො ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, මහනුවර දී ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

***************************************

ගත වූ දිනයේ රිය අනතුරුවලින් 12 ක් මියයයි

(03.01.2022 – 07:34 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (02) දිනයේ දී පමණක් රිය අනතුරුවලින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා.

නිවිතිගල, බණ්ඩාරගම, වරකාපොල, ගල්ගමුව, බදුල්ල, කොළඹ – කුරුඳුවත්ත, අක්කරෙයිපත්තුව, ඕපාත, වැලිමඩ, හංවැල්ල, මාළඹේ යන ප්‍රදේශවලිනුයි මෙම රිය අනතුරු වාර්තා වී ඇත්තේ.

කැස්බෑව – බණ්ඩාරගම මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් පාලනය කරගත නො හැකි ව මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටී ඊයේ (02) සිදු වූ අනතුරකින් අවුරුදු 18 ක් සහ 20 ක් වයසැති තරුණ යුවළක් මියගියා.

නිවිතිගල – රත්නපුර මාර්ගයේ දෑල ප්‍රදේශයේදී යතුරුපැදියක් පාලනය කරගත නො හැකි ව විදුලි කණුවක ගැටී සිදු වූ අනතුරකින් 27 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (02) මියගොස් තිබෙනවා.

එමෙන්ම කුරුණෑගල – අඹේපුස්ස මාර්ගයේ මංගෙදර ප්‍රදේශයේදී ලංගම බස් රථයක, මාර්ගය හරහා ගමන් ගත් පදිකයෙකු ගැටී සිදු වූ අනතුරකින් 37 හැවිරිදි පුද්ගලයෙකු මියගියා. ඊයේ (02) අලුයම සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ, ලිඳුල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

පාදෙණිය – අනුරාධපුර මාර්ගයේ කුරුන්දන්කුලම ප්‍රදේශයේ දී වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ 56 හැවිරිදි පුද්ගලයෙකු මියගියා.

බදුල්ල – මහියංගණ මාර්ගයේ කයිලගොඩ ඉන්ධන පිරවුම්හල අසල දී ලොරි රථයක් පදික මාරුව මතින් ගමන් කළ පුද්ගලයෙකුගේ ඇඟේ ගැටී සිදු වූ අනතුරකින් එම පුද්ගලයා මියගියා. 53 හැවිරිදි මොහු බදුල්ල – පිටවේල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කොළඹ 07 – කුරුඳුවත්ත – සොයිසා වටරවුමේදී ත්‍රිරෝද රථ දෙකක් (2) ගැටී සිදු වූ අනතුරකින් 72 හැවිරිදි අංගොඩ – හිඹුටාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියගියා. සිද්ධියෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථයක රියදුරෙකු (1), එහි ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු (2) සහ පිරිමියෙකු (1) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අක්කරෙයිපත්තුව – කල්මුණේ මාර්ගයේ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ දී වෑන් රථයක යතුරුපැදියක් ගැටී පෙරළී යාමෙන් 26 හැවිරිදි පසුපැදිකරු මියගොස් තිබෙනවා. 26 හැවිරිදි මොහු පාලමුණ හතර – හුසේනියා නගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඕපාත – රජවංගල අතුරු මාර්ගයේ දී ත්‍රිරෝද රථයක් කාර්මික දෝෂයකට ලක්ව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් එහි සිටි 67 හැවිරිදි පුද්ගලයෙකු මියගියා.

වැලිඔය – කල්යාණිපුර අතුරු මාර්ගයේදී සහ කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල දී යතුරුපැදි දෙකක් (2) පාලනය කරගත නො හැකි ව පෙරළී යාමෙන් අවුරුදු 52 ක් සහ 24 ක් වයසැති දෙදෙනෙකු (2) මියගියා.

මාළඹේ – කඩුවෙල මාර්ගයේ ත්‍රිරෝද රථයක් හැරවීමට යාමේ දී යතුරුපැදියක ගැටී සිදු වූ අනතුරකින් යතුරුපැදියේ පිටුපස ගමන් කළ 24 හැවිරිදි කාන්තාවක් මියගියා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ඊයේ (02) සඳහන් කළේ, නව වසර ආරම්භයේ දී රිය අනතුරුවලින් 18 දෙනෙකු මියගිය බවයි.

***************************************

තම දරුවන් ගස් බැඳ පහරදුන් පියෙකු අත්අඩංගුවට

(03.01.2022 – 07:36 +0530 – hirunews.lk/sinhala)

තම දරුවන් දෙදෙනාට ගස් බැඳ පහර දුන් හැටන් – කුඩාගම ප්‍රදේශයේ පියෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

7 හැවිරිදි දැරිය සහ 6 හැවිරිදි පිරිමි දරුවා නිරුවත් කොට ගස් බැඳ මිරිස් කුඩු ගා මෙලෙස පියා පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් දරුවන්ගේ කෑගැසීම හමුවේ ප්‍රදේශවාසීන් මැදිහත් වී ගස් බැද තිබූ දරුවන් මුදාගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධියෙන් අනතුරුව පොලීසිය විසින් පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

තරුණ තරුණියන්ට අද (03) සිට ඩිජිටල් හැඳුනුම්පතක්

(03.01.2022 – 08:14 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 15 ට වැඩි 29 ට අඩු සියලු තරුණ තරුණියන්ට ඩිජිටල් හැදුනුම්පතක් හදුන්වා දීම අද (03) සිදු කෙරෙනවා.

ජාත්‍යන්තර පිලිගැනීමට ලක් වූ ‘බ්ලොක් චෙයින්’ තාක්ෂණය උපයෝගී කරගත් තොරතුරු තාක්ෂණ මෙවලමක් භාවිත කරමින් මෙම හැදුනුම්පත සකස්කර ඇති බවයි ජාතික තරුණ සේවා සභාව සඳහන් කළේ.

මෙහි තරුණයන්ගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් හා වෙනත් සුදුසුකම් ඇතුළත් දත්ත බැංකුවක් ලෙස භාවිත කිරීමේ හැකියාවක් පවතින අතර, සේවා යෝජකයන්ට සුදුසුකම් ලත් තරුණ තරුණියන් රැකියා සඳහා පහසුවෙන් බඳවාගැනීම් සිදු කිරීමට මේ හරහා හැකියාව ලැබෙනවා.

අද (03) නිල වශයෙන් හඳුන්වාදෙන මෙම හැඳුනුම්පත ජාතික තරුණ සේවා සභාව හරහා ඉදිරියේ දී ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති ෴

***************************************

රාජ්‍ය සේවයේ නව චක්‍රලේඛයට ලංකා ගුරු සේවා සංගමයෙන් විරෝධය

(03.01.2022 – 11:20 +0530 – hirunews.lk/sinhala)

ගර්භනී හා වයස අවුරුදු එකට (1) අඩු දරුවන් සිටින සහ විශේෂ රෝගාබාධවලින් පෙළෙන රාජ්‍ය සේවකයින්ට ලබාදී තිබූ සෞඛ්‍ය ආරක්ෂිත සහනය ඉවත් කර ඇති බවට, ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරනවා.

සමස්ත පාසල් පද්ධතිය තුළ කොරෝනා වසංගතයේ නව ප්‍රභේද ඇති කරන අවදානම සැළකිල්ලට ගෙන ඔවුන්ට එම සහනය යළි ලබාදෙන ලෙසයි, එම සංගමය ඉල්ලා සිටින්නේ ෴

***************************************

පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියෙකු සතු ගිනි අවියක් අත්වැරදීමකින් ක්‍රියාත්මක වෙයි

(03.01.2022 – 11:27 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – නාරම්මල නගරයේ රාජ්‍ය බැංකුවක ආරක්ෂක නිලධාරියෙකුගේ ගිනි අවියක් අත්වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන් එහි සේවිකාවක් තුවාල ලබා අද (03) උදෑසන රෝහල් ගත කෙරුණා.

කුරුණෑගල – අලුත්වැව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි එම තරුණියගේ තත්වය බරපතල නොවන බවයි, කුරුණෑගල රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් 57 හැවිරිදි ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

අපි ඉන්නේ කඩි ගුලකට අත දාගෙන – ගීතා කුමාරසිංහ

(03.01.2022 – 12:00 +0530 – hirunews.lk/sinhala)

වටේ වත්මන් ආර්ථික තත්ත්වය බරපතළ ලෙස ජන ජීවිතයට අභියෝගයක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ පවසනවා.

එසේ ම ඇය සඳහන් කළේ, අදාළ නො වන කොහෙවත් නැති ප්‍රශ්නවලට හසු වී ආණ්ඩුව කඩි ගුලකට අත දමා ඇති බව යි.

ඌරගස්මංහන්දිය මිරිස්වත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනු යි මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළේ.

පොහොර ගැටලුව ඔඩුදුවා ඇති බවත් ඒ පිළිබඳ විධිමත් නිරීක්ෂණයකින් යුතු ව විසඳුමක් ලබා දෙන ලෙසත් මන්ත්‍රීවරිය ජනපතිවරයාගෙන් ආයාචනා ක‍ර සිටියා.

ස්වාභාවික පොහොරවලින් පමණක් රටක් ස්වයංපෝෂිත කිරීම දිගුකාලීන ව්‍යායාමයක ප්‍රතිඵලයක් බව හා හදිසියේ මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමෙන් සිදු වූයේ අපරාධයක් බවත් ඇය අවධාරණය කරනවා.

රට තුළ විශාල සංවර්ධනයක් සිදු වන බව සඳහන් කළ මන්ත්‍රීවරිය, පොහොර, ගෑස් වැනි දෑ අනවශ්‍ය ව පටවා ගත් ගැටලු ලෙස යි සඳහන් කළේ.

***************************************

රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 5.5 ක ප්‍රදානයක්

(03.01.2022 – 12:58 +0530 – hirunews.lk/sinhala)

මෙරට පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා, රුසියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 5.5 ක් ප්‍රදානය කර තිබෙනවා.

ඒ ඊයේ (02) දින පැවති ලෝක ආහාර වැඩසටහනේදී ෴

***************************************

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

(03.01.2022 – 13:17 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉවත්වන බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව, අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

ජනතාව නොමග යවන මෙවැනි අසත්‍ය ප්‍රචාර ප්‍රතික්ෂේප කරන බවයි, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ ෴

***************************************

රාජ්‍ය සේවකයින් සහ පාසල් සිසුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක

(03.01.2022 – 13:22 +0530 – hirunews.lk/sinhala)

නව අවුරුදු කොරෝනා පොකුරේ ව්‍යාප්තියෙන් අනතුරු ව රාජ්‍ය සේවයේ රාජකාරි කටයුතු අද (03) සිට යළි සාමන්‍ය පරිදි ආරම්භ කිරීම සිදු කෙරුණා.

මෙතෙක් බොහෝ රාජ්‍ය ආයතනවල සේවා කටයුතු සිදු වුණේ නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයට අනුව යි.

එමෙන්ම දෙසැම්බර් නිවාඩුවෙන් පසු දිවයිනේ සියලු පාසල්වල අධ්‍යයන කටයුතුද අද (03) ආරම්භ කෙරුණා.

රාජ්‍ය සේවා කටයුතු සාමන්‍ය පරිදි ආරම්භ කිරීමට අදාළ ව සියලු උපදෙස් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කර තිබුණා.

ඒ අනුව අද (03) උදෑසන ජාතික ධජය ඔසවා, ජාතික ගීය ගායනා කර රාජ්‍ය සේවා දිවුරුම ලබා දී සේවා කටයුතු ආරම්භ කිරීමට රාජ්‍ය ආයතන කටයුතු කළ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මේ අතර ගර්භනී සහ වයස අවුරුදු එකට (1) අඩු දරුවන් සිටින සහ විශේෂ රෝගාබාධවලින් පෙළෙන රාජ්‍ය සේවකයින්ට ලබා දී තිබූ සෞඛ්‍ය ආරක්ෂිත සහනය ඉවත් කර ඇති බව ලංකා ගුරු සේවා සංගමය චෝදනා කළා.

ඒ හේතුවෙන් සමස්ත පාසල් පද්ධතිය තුළ කොරෝනා වසංගතයේ නව ප්‍රභේදවලින් ඇති කරන අවදානම සැලකිල්ලට ගෙන අදාළ පිරිසට ලබා දී තිබූ සෞඛ්‍ය ආරක්ෂිත තවදුරටත් ලබාදෙන ලෙසයි ලංකා ගුරු සේවා සංගමය ඉල්ලා සිටින්නේ.

මේ අතර රාජ්‍ය සේවකයින් මෙන්ම පාසල් සිසුන්ගේ පැමිණීම ද අද (03) දිනයේ ප්‍රශස්ත මට්ටමක පැවති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

මේ අතර කොළඹට පිවිසෙන මාර්ග කිහිපයක අද (03) පෙරවරුවේ රථවාහන තදබදයක් හටගත්තා.

විශේෂයෙන් පෑලියගොඩ – කැලණි පාලම, රාජගිරිය පාර්ලිමේන්තු වටරවුම සහ ගාලු පාරේ රථවාහන තදබදයක් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීම සහ පාසල් ආරම්භය හේතුවෙන් රථවාහන ධාවනය ඉහළ යාම මීට හේතු වී තිබුණා.

අද (03) සිට පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු සියයට විස්සකින් (20%) වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් පළාත් පොදු පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ඊයේ (02) මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කළා.

ජාතික ගමනාගමන කොමිසන් සභාව කියා සිටියේ අනිද්දා (05) සිට ක්‍රියාත්මක කෙරෙන සංශෝධිත බස්ගාස්තු සංශෝධන නිවේදනය හෙට (04) ප්‍රකාශයට පත් කරන බවයි.

මේ අතර මෙම වසරේ මුල් දින දෙකේ (2) දී පමණක් රිය අනතුරුවලින් පුද්ගලයින් 33 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා ෴

***************************************

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හතරක් (4) විවෘත කෙරේ

(03.01.2022 – 13:25 +0530 – hirunews.lk/sinhala)

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හතරක් 4 අද (03) දින විවෘත කෙරුණා.

කෙසේ වෙතත් එමඟින් ගං වතුර අවදානමක් නොමැති බවයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.එස්.පී. සුගීෂ්වර කියා සිටියේ.

එමෙන්ම, කිලිනොච්චියේ පිහිටි ඉරණමඩු ජලාශයේද වාන් දොරටු විවෘත කර තිබෙනවා.

මේ අතර, ඌව පළාතට සහ මඩකලපුව, අම්පාර, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට මිලිමීටර 75 ඉක්මවූ වැසි ඇතිවිය හැකියි.

උතුර, උතුරුමැද, නැගෙනහිර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටද අද (03) දිනයේ වැසි අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා ෴

***************************************

බදු යළි සංශෝධනය වන ලකුණු

(03.01.2022 – 13:28 +0530 – hirunews.lk/sinhala)

නව වසරේ (2022) පළමු කැබිනට් මණ්ඩල රැස්වීම අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

පස්වරු පහට (5) රැස්වන අමාත්‍ය මණ්ඩල රැස්වීමට මෙම වසර සඳහා අයවැයෙන් යෝජනා කළ බදු සංශෝධනවලට අදාළ පනත් කෙටුම්පත් කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිත යි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මෙලෙස අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත්තේ එස්.ජී.එස්.ටී. හෙවත් විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පැනවීම පිළිබඳ පනත් කෙටුම්පත සහ බැංකු හා මූල්‍ය සේවා ආයතන විසින් සේවා සැපයීමේ දී අය කළ අගය එකතු කිරීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත යි.

මීට අමතර ව 2020 – 2021 තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 2000 ට වඩා බදු අය කළ හැකි ආදායමක් උපයන ලද තැනැත්තන් හෝ සමාගම් මත එක්වරක් (1) පමණක් පැනවෙන සියයට 25 ක අධිභාර බද්දට අදාළ පනත් කෙටුම්පත ද අද (03) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

මෙම වසර සඳහා අයවැයෙන් යෝජනා කළ බදු සංශෝධන කිහිපයක් ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අතර, එම බදු සංශෝධනවලට අදාළ පනත් කෙටුම්පත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී දින 14 කින් පසු එම කෙටුම්පත් පාර්ලිමේන්තුවට වෙත ඉදිරිපත් කිරීමට යි නියමිත ව ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *