2021 වසරේදී මෙරට ජනගහනයෙන් සියයට 63 ක් පූර්ණ එන්නත්කරණයට

2021 වසරේදී මෙරට ජනගහනයෙන් සියයට 63 ක් පූර්ණ එන්නත්කරණයට

*********************************************

2021 වසරේදී මෙරට ජනගහනයෙන් සියයට 63 ක් පූර්ණ එන්නත්කරණයට

(02.01.2022 – 10:44 +0530 – hirunews.lk/sinhala)

ගතවූ 2021 වසරේදී මෙරට ජනගහනයෙන් සියයට 63 ක් පූර්ණ එන්නත්කරණය ලබා ඇති අතර, සියයට 18.4 ක් තුන්වන (3) හෙවත් වර්ධක මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා තිබෙනවා.

නිල දත්තවලට අනුව 2021 වසරේදී අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලැබූ ප්‍රතිශතය සියයට 72 ක්.

ඒ අතුරෙන් සියයට 50.2 කට ලබා දී ඇත්තේ චීන සයිනොෆාම් කොරෝනා එන්නත්.

සියයට 7.1 කට ෆයිසර් එන්නත් පළමු මාත්‍රාව සහ සියයට 3.6 කට එම දෙවන මාත්‍රාව ලබාදී තිබෙනවා.

කෙසේ නමුත් ඊයේ (01) දිනයේදීත් තවත් එන්නත් මාත්‍රා 13,174 ක් ලබාදීමත් සමඟ වර්ධක මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලැබූ සංඛ්‍යාව 40,72,350 දක්වා ඉහළ යනවා.

මේ අතර ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයෙන් රෝහල් ගත කිරීමේ අවදානම අවම මට්ටමක පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ද සඳහන් කළා.

එක්සත් රාජධානියේ පරීක්ෂණාත්මක අධ්‍යනයක ප්‍රතිඵල උපුටා දක්වමින් ඔහු කියා සිටියේ ඔමික්‍රොන් ආසාදිතයන් රෝහල් ගත කිරීම ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව තුනෙන් එකක් (1/3) පමණ වන බවයි.

එමෙන්ම කොරෝනා එන්නත් මාත්‍රා දෙකම (2) ලැබූවන් ඔමික්‍රොන් ආසාදනයෙන් රෝහල් ගත කිරීම සියයට 65 කින් පමණ වළක්වන බවද ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වා දෙනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වර්ධක මාත්‍රාව ඇතුළුව එන්නත් මාත්‍රා තුනම (3) ලැබූවන් රෝහල්ගත කිරීම එන්නත්කරණය නොලැබූවන්ට සාපේක්ෂව සියයට 81 කින් පමණ වළක්වන බවයි.

මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,87,596 ක් වන අතර, වාර්තාවන මරණ සංඛ්‍යාව 14,997 ක්.

++++++++++++++

කොරෝනා ආසාදිතයින් 224 ක් පූර්ණ සුවයට

(02.01.2022 – 15:01 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 224 දෙනෙකු අද (02) දිනයේ දී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතව සුවය ලද සමස්ත සංඛ්‍යාව 5,60,949 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

කෙසේවෙතත් වෛරසය ආසාදනය වී තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සමස්ත සංඛ්‍යාව 11,652 ක් වන අතර, ඊයේ (01) දිනට සිදු වූ මරණ සමග මෙරටින් දැනට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ද 14,995 ක්.

කොරෝනා මර්දනය සඳහා දිවයින පුරා අඛණ්ඩව එන්නත්කරණ ක්‍රියාවලියක් ආරම්භ වී ඇති අතර, මේ වනවිට කොවිඩ් එන්නත් පළමු (1) මාත්‍රාව ලබාගත් මුළු සංඛ්‍යාව 1,59,93,676 ක්.

එහි දෙවැනි (2) මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 1,38,46,323 ක් වන අතර, බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 40,72,350 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළේ ෴

මෙරටින් තවත් කොරෝනා මරණ 24 ක් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 15,019 ක් වනවා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 339 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,87,935 ක් ෴

+++++++++++

මෙරට කොරෝනා මරණ 15,000 පනියි

(03.01.2022 – 07:25 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 15,000 ඉක්මවා ගියා.

ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (01) සිදු වූ බවට ඊයේ (02) තහවුරු කළ කොරෝනා මරණ 24 ත් සමඟයි.

නව මරණ 24 ත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වුණේ 15,019 ක් ලෙසයි.

ඊයේ (02) නව ආසාදිතයින් 339 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,87,935 ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව තවදුරටත් මෙරට සක්‍රිය ආසාදිතයන් සංඛ්‍යාව 11,967 ක්.

එමෙන්ම බේරුවලින් පළමු ඔමික්‍රොන් ආසාදිත පුද්ගලයා වාර්තා වී ඇති බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා.

31 හැවිරිදි බේරුවල – චීන කොටුවේ මැණික් ව්‍යාපාරිකයෙකු වන මෙම පුද්ගලයා විදේශගතවීම සඳහා සිදු කළ කොරෝනා පරීක්ෂාවක දී ආසාදිතයෙකු බවට තහවුරු වී තිබෙනවා.

මේ වනවිට මෙරටින් හමුව ඇති ඔමික්‍රොන් ආසාදිතයන් සංඛ්‍යාව 45 ක්.

මේ අතර ලොව පුරා කොරොනා ආසාදිතයින් කෝටි විසි නවය ඉක්මවා තිබෙනවා.

එය දැක්වුණේ, විසි නව කෝටි පන්ලක්ෂ පනස් පන්දහසක් (29,05,55,000) ලෙසයි.

එමෙන්ම මරණ සංඛ්‍යාව 54,60,147 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගත වූ පැය විසි හතරේ (24) ඇමරිකාවෙන් නව ආසාදිතයන් 1,69,892 ක් සහ බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයන් 1,37,583 ක් වාර්තා වුණා ෴

++++++++++++

ශ්‍රී ලංකාව ඔමික්‍රොන් ආසාදන රැල්ලක් අබියස – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

(03.01.2022 – 16:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ඔමික්‍රොන් (omicron) වෛරසය පැතිර යන වේගය බටහිර හා දකුණු අප්‍රිකාවේ තත්ත්වයට සමාන වේගයක් පෙන්නුම් කරණ බව ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

මේ අනුව ඔවුන් සඳහන් කරන්නේ මේ වන විටත් ශ්‍රී ලංකාව ඔමික්‍රොන්(omicron) ආසාදන රැල්ලක් අබියස සිටින බවයි.

එබැවින් ප්‍රමාදයකින් තොරව බූස්ටර් (booster) මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.

මේ වන විට ඔමික්‍රොන්(omicron) ප්‍රභේදය ලොව බොහෝ රටවල ඩෙල්ටා (delta) වෛරස ප්‍රභේදය අභිබවමින් ඉතාමත්ම සීග්‍රයෙන් පැතිර යන බවක් පෙන්වා දෙන ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ මේ හේතුව නිසා නැවත වතාවක් මෙරට සෞඛ්‍ය ධාරිතාව ඉක්මවා යන තත්ත්වයට අප පත්විය යුතු නොමැති
බවයි.

කෝවිඩ් වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් මෙරට සිදුකරන අනුක්‍රමික පරීක්ෂන සංඛ්‍යාව සීමිතව පවතිද්දීත් ආසාදිතයින් 47 දෙනකෙකු හඳුනා ගැනීම බරපතළ තත්ත්වයක් බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

ඔවුන් කියා සිටින්නේ ඔමික්‍රොන් (omicron) වෛරසයේ ව්‍යාප්තිය සිතාගත නොහැකි තරමේ වේගවත් තත්ත්වයක් ගන්නා බවයි.

උදාහරණයක් ලෙස පසුගිය කාල සීමාවේදී අයර්ලන්තයේ වෛරසය පැතිරයාම පෙන්වා දෙන ඔවුන් අවධාරණය කරන්නේ දෙසැම්බර් මස 25 වැනිදා සිට 31 වැනිදා දක්වා එරට තුළ ඔමික්‍රොන් (omicron) වෛරසය ආසාදිතයින් 1,20,000 වාර්තාවී ඇති බවයි.

මේ ආකාරයටම පසුගිය උත්සව සමය තුළ මෙරට වැසියන් ද මූලික සෞඛ්‍යය නීතිරීති නොසලකා හරිමින් කටයුතු කළ ආකාරයක් දක්නට ලැබුණ බවත් ඒ හේතුවෙන් නුදුරේදීම බරපතළ ඔමික්‍රොන් (omicron) වෛරස ව්‍යාප්තියත් හමුවේ අප රට සිටින බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාවේ ඉලක්කගත ජනගහනයෙන් 85% කට ආසන්න ප්‍රමාණයක් (අවුරුදු 16 ට වැඩි) මාත්‍රා 2 ම එන්නත් කර තිබුනද, ඇස්ට්‍රාසෙනෙකා (Astra Zeneca) හෝ ෆයිසර්(Pfizer) මාත්‍රා 2 ක් ගනු ලැබූවද එය විශේෂයෙන් ඔමික්‍රොන් (omicron) ප්‍රභේදයෙන් වැලැකීමට ඵලදායී නොවන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, ඇස්ට්‍රාසෙනෙකා (Astra Zeneca) එන්නත මාත්‍රා 2 ක් එන්නත් කරන ලද පුද්ගලයින්ට ෆයිසර්(Pfizer) බූස්ටර මාත්‍රාවක් ලබා දීමෙන් සායනික රෝගවලට එරෙහි කාර්යක්ෂමතාව 70% දක්වා ඉහළ නැංවෙන බවත් එබැවින් එන්නත් මගින් බොහෝ මිනිසුන්ගේ දරුණු රෝග තත්ත්වයන් වළක්වා ගත හැකි බවත් ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අදහසයි ෴

+++++++++++

කොරෝනා ආසාදිතයින් 179 ක් පූර්ණ සුවයට

(03.01.2022 – 16:43 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිත ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 179 දෙනෙකු අද (03) දිනයේ දී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත සුවය ලද සංඛ්‍යාව 5,61,128 ක් දක්වා ඉහළ යනු ඇති.

කෙසේවෙතත් වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 11,967 ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 15,019 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ෴

++++++++++++

තුන්වන (3) මාත්‍රාවෙන් ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව සියයට 88 ක රැකවරණයක්

(03.01.2022 – 16:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත් තුන්වන (3) මාත්‍රාව හෙවත් වර්ධක මාත්‍රාව ලබාගැනීමෙන් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයට එරෙහිව සියයට 88 ක රැකවරණයක් ලැබෙන බව බ්‍රිතාන්‍යය සිදුකළ නව අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා.

ඔමික්‍රොන් ආසාදනයෙන් රෝහල්ගත කිරීම එමගින් බොහෝදුරට වළක්වා ගත හැකි බවයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය සිදුකළ එම අධ්‍යයනයෙන් හෙළිවී ඇත්තේ.

ශීඝ්‍ර සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඔමික්‍රොන් ප්‍රභේදය පසුගිය නොවැම්බරයේ දී බොට්ස්වානා සහ දකුණු අප්‍රිකාවෙන් මුල්වරට සොයා ගැනුණු අතර මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වී තිබෙනවා.

වෛද්‍ය විශේෂඥ මතය වී ඇත්තේ කොරෝනා එන්නත් දෙවන (2) මාත්‍රාව ලබා මාස 6 ක් ගත වූ පසු ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහි ශක්‍යතාව සියයට 52 දක්වා පහත වැටෙන බවයි.

++++++++++++

කොරෝනා මරණ 18 ක්

(03.01.2022 – 17:43 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 18 දෙනෙකුගේ මරණ අද (03) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

එම මරණ සමග මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 15,037 ක්.

කෙසේවෙතත් තවදුරටත් වෛරසය ආසාදිතව රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 11,967 ක් වන අතර සුවය ලද මුළු සංඛ්‍යාව 5,60,949 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

++++++++++++

කොරෝනා ආසාදිතයින් 365 ක්

(03.01.2022 – 19:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 365 දෙනෙකු අද (03) දිනයේදී තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඒ අනුව මෙරට වාර්තා වන සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 5,88,300 ක් බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 11,967 ක් වන අතර සුවය ලද සංඛ්‍යාව පන්ලක්ෂ හැටදහස (5,60,000) ඉක්මවා තිබෙනවා.

වෛරසය ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව ද 15,000 සීමාව ද ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ෴

++++++++++++++

ඔමික්‍රොන් ගැන සෞඛ්‍ය අංශවලින් යළි අනතුරු ඇගවීමක්

(03.01.2022 – 19:37 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සති කිහිපය තුළ ඩෙල්ටා ප්‍රභේදය අභිභවා ඔමික්‍රොන් ප්‍රභේදය මෙරට ව්‍යාප්ත වීමේ අවකාශ පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ පවසනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය සදහන් කළ පරිදි මේ වන විට මෙරටින් තහවුරු කරගෙන ඇති ඔමික්‍රොන් අසාදිතයින් සංඛ්‍යාව 48 ක්.

මේ අතර, මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බල ප්‍රදේශය තුල ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු (2) හමුව තිබෙනවා.

අප කළ විමසිමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය 23 වනදා සිදුකළ කොරෝනා පරීක්ෂණවල දී පෙර පාසල් ගුරුවරියකට සහ තවත් පුද්ගලයෙකුට මෙලෙස ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි.

කෙසේ නමුත්, තවදුරටත් පරීක්ෂණ සිදුකිරීම සඳහා ඔවුන්ගෙන් අද (03) දිනයේදීත් සාම්පල ලබාගෙන වසංගත රෝග විද්‍යා අංශය වෙත භාරදීමට කටයුතු කළ බවයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔවුන්ගේ ආශ්‍රිතයින් 19 දෙනෙකු ද නිවෙස් නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (03) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මෙරට ඔමික්‍රොන් ව්‍යාප්තිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ :

+

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

පාසල් ආරම්භ වෙයි

(03.01.2022 – 07:04 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලු පාසල්වල අධ්‍යයන කටයුතු දෙසැම්බර් නිවාඩුවෙන් පසු අද (03) සිට ආරම්භ කෙරෙනවා.

කෙසේ වෙතත් සිසුන් කාණ්ඩ වශයෙන් පාසල්වලට ගෙන්වීමේ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ අතර, අද (03) සිට පාසල් ළමයින් ප්‍රවාහන ගාස්තු 20% කින් වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් පළාත් පොදු පාසල් ළමයින් ප්‍රවාහන සංගමය පවසනවා ෴

***************************************

වැඩි වූ 17% ක බස් ගාස්තු පුවත්පත් දැන්වීම්වලින්

(03.01.2022 – 07:08 +0530 – hirunews.lk/sinhala)

සංශෝධිත බස් ගාස්තු නිවේදනය හෙට (04) පුවත්පත් මගින් ප්‍රකාශයට පත් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

නව බස් ගාස්තු සංශෝධනය අනිද්දා (05) සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ, දුර ප්‍රමාණය අනුව වැඩි වූ 17% ක බස් ගාස්තුව අනුව නව ගාස්තු ඉදිරි දින දෙක (2) තුළ පුවත්පත් දැන්වීම් මගින් ප්‍රසිද්ධ කරන බවයි ෴

***************************************

රාජ්‍ය සේවය අද (03) සිට යථා තත්ත්වයට

(03.01.2022 – 07:12 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවයේ කටයුතු අද (03) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කිරීම සිදු වනවා. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ, ඊට අදාළ උපදෙස් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවයි.

නව වසර සඳහා විශාල මුදල් ප්‍රමාණයක් කෘෂිකාර්මික, කාර්මික, ජීවනෝපාය සංවර්ධන සහ යටිතල පහසුකම් සංවර්ධනය වැනි කටයුතු සඳහා රජය වෙන්කර ඇති අතර, ඒවා මනාව කළමනාකරණය කර ගැනීමට රාජ්‍ය සේවකයින්ගේ දායකත්වය ඉතා වැදගත් වන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි පෙන්වා දෙනවා.

ඒ අනුවයි අද (03) සිට රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවා ඇත්තේ.

මේ අතර අද (03) උදෑසන ජාතික ධජය ඔසවා, ජාතික ගීය වාදනය කර රාජ්‍ය සේවා දිවුරුම ලබා දී රාජකාරී කටයුතු ආරම්භ කරන අතර, වෛද්‍යවරයෙකුගේ දේශනයකින් සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ සෞඛ්‍ය තත්ත්වයන් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරන ලෙස ද දන්වා තිබෙනවා.

කොවිඩ් ව්‍යාප්තියත් සමඟ අවස්ථා කිහිපයක දී රාජ්‍ය සේවකයින් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයට යොමු කළ අතර අත්‍යාවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවනු ලැබුවා.

මේ අතර, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අනුයුක්ත සේවයේ නිරත ආර්ථික සංවර්ධන නිලධාරීන් 14,022 කගේ විධිමත් රාජකාරී ලැයිස්තුව අද (03) සිට ක්‍රියාත්මක වන බව අමාත්‍ය චමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

2013 වසරේ සිට ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්‍රාම සේවා වසම් වෙත යොමු කළ ද ඔවුන්ට නිසි රාජකාරී ලැයිස්තුවක් නො මැති වීමෙන් ගැටලු රැසකට මුහුණ දීමට සිදු වුණා.

දැනට පුහුණුව ලබන රැකියා විරහිත උපාධිධාරීන් 51,000 රජයේ සංවර්ධන නිලධාරීන් ලෙස අද (03) සිට නියමිත රැකියා ස්ථානයේ ස්ථානගත කෙරෙන බව රාජ්‍ය සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

පුහුණුව සම්පූර්ණ කළ 42,500 කගේ සේවය මුල් අදියරේ දී ස්ථිර කිරීමට නියමිත බවයි මීට පෙර රජය ප්‍රකාශ කළේ.

අනෙක් පිරිස අප්‍රේල් 01 වැනි දා ස්ථිර කිරීමට නියමිත යි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *