නව සංයුතියේ ගෑස් සිලින්ඩරත් පිපිරෙයි – යළිත් වෙළදපළේ සිමෙන්ති හිඟයක්

නව සංයුතියේ ගෑස් සිලින්ඩරත් පිපිරෙයි – යළිත් වෙළදපළේ සිමෙන්ති හිඟයක්

*********************************************

නව සංයුතියේ ගෑස් සිලින්ඩරත් පිපිරෙයි – යළිත් වෙළදපළේ සිමෙන්ති හිඟයක්

(02.01.2022 – 19:28 +0530 – hirunews.lk/sinhala)

නව වසරක් උදා වුවද වෙළදපළේ බඩු මිල ඉහළ යාම, ගෑස් පෝලිම්, කිරිපිටි ඇතුළු පවතින අනෙකුත් ගැටළුවලට තවමත් විසදුම් ලැබී නොමැති බවට පාරිභෝගිකයින් සහ ව්‍යාපාරිකයින් චෝදනා එල්ල කරනවා.

අද දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් පෝලිම් සහ කිරිපිටි මිලදී ගැනීම සඳහා ජනතාව පෝලිම්වල රැදී සිටි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, නව සංයුතිය අඩංගු බවට දක්වා පොලීතින් ආවරණ වෙනස් කරමින් වෙළදපොළට නිකුත් කළ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් ආශ්‍රිතව ද සිදුවීමක් වාර්තා වී තිබෙනවා. ඒ, වේයන්ගොඩ ප්‍රදේශයෙන්.

අදාළ නිවසේ කාන්තාව ප්‍රකාශ කළේ මීට දින දෙකකට පෙර අදාළ ගෑස් සිලින්ඩරය වෙළදපළෙන් මිලදී ගත් බවයි.

එමෙන්ම, තවත් ප්‍රදේශ කිහිපයකින්ම ගෑස් ආශ්‍රිත සිදුවීම් අද දිනයේත් වාර්තා වී තිබුණා.

එසේම ගෑස් ලබා ගැනීම සඳහා ප්‍රදේශ රැසක ජනතාව අද දිනයේත් පෝලිම්වල රැදී සිටීමේ සිද්ධීන් වාර්තා වුණා.

මේ අතර, නව වසර උදාවත්ම සිමෙන්ති මිල ඉහළ දැමීමට අදාළ සමාගම් කටයුතු කළ අතර මිල ඉහළ දැමුව ද වෙළදපළේ සිමෙන්ති හිගයක් පවතින බවටයි වාර්තා වන්නේ.

පසුගිය දින කිහිපයේදී මෙන්ම තවමත් වෙළදපළේ එළවළු මිල ගණන් පවතින්නේ ඉහළ අගයකයි.

බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල නියෝජිතයින් සඳහන් කළේ ලැබෙන එළවළු තොග පසුගිය වසරට සාපේක්ෂව දැඩි ලෙස පහත වැටී ඇති බවයි.

***************************************

ජනපති සිතුල් පව්ව රජමහා විහාරයේ විශේෂ ආශීර්වාද පුජාවකට එක්වෙයි

(02.01.2022 – 13:22 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික සිතුල් පව්ව රජමහා විහාරස්ථානයේ විශේෂ ආශීර්වාද පුජාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහභාගිත්වයෙන් ඊයේ (02) පැවැත්වුණා.

එහිදී පළමුව ජනාධිපතිවරයා ධාතු මන්දිරය වැඳපුදා ගත් අතර සිතුල්පව්ව විහාරාධිපති පුජ්‍ය මැටරඹ හේමරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදැක ආශීර්වාද ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය පුජා භුමියක් බවට පැවරීමේ සන්නස් පත්‍රය විහාරාධිපති හිමියන් වෙත පිළිගැන්වුවා.

මෙහිදී ජනාධිපතිවරයා රජමහා විහාරස්ථානයට පැමිණෙන මාර්ගයේ ඉදිකිරිමට යෝජිත වාහල්කඩ සඳහා මුල්ගල තැබීම ද සිදු කෙරුණා.

මේ අතර, සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය අවට විහාරස්ථාන හතරක් (4) පුජාභූමි බවට පත් කළ බව දැනුම් දෙන නිදහස් දීමනා පත්‍ර ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් විසින් එම විහාරස්ථානවල ස්වාමීන් වහන්සේ වෙත පිළිගැන්වීම ද සිදු කෙරුණා.

***************************************

දිවයින පුරා පාසල් සහ රෝහල් ප්‍රවේශ මාර්ග සංවර්ධනය ඇරඹේ

(02.01.2022 – 14:53 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පාසල් සහ රෝහල් ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහනක් අද (02) ආරම්භ කෙරුණා.

ඒ, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල සර් ජෝන් කොතලාවල පාසල සමීපයෙන් ඉදි කෙරෙන පදික උමං මාර්ගයට මුල්ගල තැබීමෙන් අනතුරුවයි.

සංවර්ධනය කළ යුතු බවට හඳුනාගත් ග්‍රාමීය පාසල් සහ රෝහල් පිවිසුම් මාර්ග පිළිබඳ සියලු විස්තර කඩිනමින් තමා වෙත ලබාදෙන ලෙස අමාත්‍යවරයා එහිදී මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දුන්නා ෴

***************************************

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට නුදුරේ දී ම තවත් ණයක් !

(02.01.2022 – 15:23 +0530 – hirunews.lk/sinhala)

විනිමය හුවමාරුවක් ලෙස ඇමරිකානු ඩොලරි මිලියන 400 ක් සහ ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් මිලියන 500 ක ණයක් ලෙස ඩොලර් මිලියන 900 ක් කඩිනමින් ඉන්දියාව විසින් මෙරටට ලබාදීමට නියමිත බවට හිරු ප්‍රවෘත්ති වෙත අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ණයක් ලෙස තවත් ඩොලර් බිලියනයක් (1) ලබාදීමට ද නියමිතයි ෴

මේ අතර, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මෙරට පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ජනතාවට සහ රටට බලපෑමක් සිදුනොවන අයුරින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතු බවයි ෴

***************************************

හම්බන්තොට ලුණු සමාගමේ සභාපතිට එරෙහිව විරෝධතාවක්

(02.01.2022 – 15:33 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට ලුණු සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කරන ලෙස ඉල්ලා හම්බන්තොට නාගරික සභවේ සභාපති ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් සහ ප්‍රදේශවාසීන් හම්බන්තොට ලුණු ලේවාය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළේ පසුගිය 27 වනදායි.

ඔවුන් පවසන්නේ සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් හම්බන්තොට ලුණු සමාගමේ සේවයකයින් දැඩි පීඩාවට පත්ව ඇති බවයි.

ඒ අනුව ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීමට පැමිණි අමාත්‍ය චමල් රාජපක්ෂට සේවකයින් සිය ගැටලු ඉදිරිපත් කළා.

***************************************

උත්සාහයෙන් ජීවිතය සාර්ථක කරගත් දිරිය කත

(02.01.2022 – 15:38 +0530 – hirunews.lk/sinhala)

යමෙකුට ජීවිතය සාර්ථක කරගන්නවා නම් මාර්ග ඕනෑ තරම් තිබේ. අවශ්‍ය වන්නේ උනන්දුව සහ උත්සාහය පමණයි.

මේ එක් ව්‍යාපාරයකින් අසමත් වුවත් නොපසුබස්නා උත්සාහය නිසාම, වගා කටයුත්කක් සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරගත දිරිය කාන්තාවක් පිළිබදවයි.

මේ අනුරාධපුර ගලෙන්බිදුණුවැව පදිංචි නිලන්ති ජයසිංහ.

මේ වන විට 42 දෙහැවිරිදි වියේ පසුවන ඇය කලක් විදෙස් ගතව සේවය කර ඇත්තේ හෙද නිලධාරිනියක ලෙසයි.

විදෙස් රටවලදී ලබාගත් අත්දැකීම් සමගින් පුද්ගලික හෙද සේවයක් ආරම්භ කිරීමේ අරමුණින් නිලන්ති 2019 වසරේදී මෙරටට ආපසු පැමිණ තිබෙනවා.

නමුත් මුළු ලෝකයම පුරාම පැතිරුණු කොවිඩ් වසංගතය ඇගේ එම ව්‍යාපාරික අරමුණ සාර්ථක කරගැනීමට ඉඩ දුන්නේ නැහැ.

කොවිඩ් ව්‍යාප්තිය නිසා නිලන්තිට පමණක් නොව ඒ වන විට තමන් යටතේ සේවය කළ පිරිසට ද රැකියා අහිමි වී ගියා.

එහෙත් කෙසේ හෝ ජීවිතය ජයගැනීම අරමුණ කරගත් නිලන්ති දේශීය බිජ වගා කටයුතුවලට යොමු වන්නේ ඉන් අනතුරුවයි.

දේශීය බීජ පිළිබදව අත්දැකීමක් නොමැති වුවත් මේ දිරිය කත හැම බිම් අගලකම වගා කොට ඇත්තේ පවතින ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන්.

එලෙස වගා කල බඩඉරිගු, එළවළු ඇතුළු දේශීය බිජ වර්ග රැසක් ඇය මේ වන විට නිෂ්පානය කරනවා.

උනන්දුව කැපකිරිම් මත “දේශිය බීජ වගාව” තම ජිවන වෘත්තියම බවට පත්කර ගන්නට ඇයට වැඩි කාලයක් ගත නොවුයේ සිය නොනිමි උත්සාහය නිසයි.

එහි ප්‍රතිඵලයක් ලෙස තවත් කීප දෙනෙකුටම රැකියා අවස්ථා ලබා දීමට නිලන්තිට හැකිව තිබෙනවා.

***************************************

හිංසනයට ලක්වූ ගෘහ සේවිකාවන් හයදෙනෙකු (6) යළි ඕමානයේ සුරක්ෂා මධ්‍යස්ථානයට

(02.01.2022 – 16:05 +0530 – hirunews.lk/sinhala)

ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් විවිධ හිරිහැරවලට ලක්ව ශ්‍රී ලංකාවට යළි පැමිණීමට යොමුකර සිටි ගෘහසේවිකාවන් 22 කු අතරින් හයදෙනෙකු (6) යළි ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙනවා.

ඒ, ඔවුන් මස්කට් ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත රැගෙන ඒමෙන් පසුව මතුවූ ගැටළු කිහිපයක් හේතුවෙන්. කෙසේ වෙතත් සෙසු 16 දෙනා අද (02) අලුයම ඕමානයේ සිට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා.

ඒ අතර ඕමානයේ සුරක්ෂා රැඳවුම් මධ්‍යස්ථානයේ වසරකට වැඩි කාලයක් රැඳී සිටි කාන්තාවක ද වන බවයි ගුවන් තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ.

මොවුන් රත්නපුර, බදුල්ල, මහනුවර, කුරුණෑගල, හලාවත, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බව සඳහන් ෴

***************************************

මද්දකට හසු වූ දුර්ලභ ගණයේ ඉත්තෑවා

(02.01.2022 – 16:21 +0530 – hirunews.lk/sinhala)

කොලොන්න – කෝප්පකන්ද ප්‍රදේශ‍යෙන් ඉතාමත් දුර්ලභ ගණයේ ‘සුදු ඉත්තෑවෙකු’ හමු වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ, මෙම සත්ත්ත්වයා නිවසක් අසල මද්දකට හසුව සිටියදී වනජීවී නිලධාරීන්ට අදාළ නිවසේ ගෙහිමියා විසින් කරන ලද දැනුම්දීමකට අනුව සොයාගත් බවයි.

අදාළ සත්ත්වයා උඩවලව වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් උඩවලව ඇත්තුරු සෙවනෙහි රඳවා තබා ප්‍රතිකාර කළ බව ද අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.

කෙසේවෙතත් පශු වෛද්‍ය නිලධාරීන් ප්‍රකාශ කළේ මෙම සත්ත්වයා හමුවීම දුර්ලභ බවත්, ඇලි වර්ගයට අයත් සත්ත්වයෙකු බවත්, මද්දකට හසුවීම හේතුවෙන් අදාළ සත්ත්වයාගේ ශරීරයට බරපතළ හානි සිදුවී තිබූ බවයි.

කෙසේවෙතත් මෙම ඉත්තෑවාට ප්‍රතිකාර කිරීමෙන් පසු සුව වන තාක් කූඩුවක රඳවා තබා ගනිමින්, වෛද්‍ය අධීක්ෂණය තුළ පසුවන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.

***************************************

ඇමති මහින්දානන්දගෙන් යළිත් අමාත්‍යාංශයටම චෝදනා

(02.01.2022 – 19:18 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ද නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා දළදා වහන්සේ වැද පුදා ගැනීමට අද (02) එක්වුණා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ රජය විසින් අනුමත කර ඇති කාබනික පොහොර පමණක් භාවිතා කොට සිය වගාවේ නිෂ්පාදනයේ යම් අඩුවක් පවතින්නේ එම ගොවීන්ට පමණක් වන්දි ලබාදෙන බවයි.

එහිදී අමාත්‍යවරයා සදහන් කළේ හරිත කෘෂිකර්මාන්තය ස්ථාපිත කිරීමේ වැඩසටහනේදී සිය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් නිසි සහයෝගයක් නොලැබුණු බවටයි.

කෙසේ වෙතත්, ගොවීන් චෝදනා කරන්නේ පොහොර නොමැතිවීම නිසා සිය අස්වැන්න සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් ඒ සඳහා වන්දි ලබාදිය යුතු බවයි.

***************************************

ඊ.ටී.අයි. තැන්පතුකරුවන් විසදුම් ඉල්ලා හෙට (03) කොළඹට

(02.01.2022 – 19:56 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. සමාගමේ අක්‍රමිකතා සිදුවී වසර 4 ක් ගත වුවත් තවමත් ඒ සඳහා විසදුම් ලබාදීමට කිසිදු ආණ්ඩුවක් පියවර ගෙන නොමැති බවට ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය චෝදනා කරනවා.

මීගමුවේ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ සභාපතිනි අනූෂා ජයන්ති සඳහන් කළේ හෙට (03) දිනයේදී තම සංවිධානය කොළඹ දී ඊට එරෙහිව විරෝධතාවක් ද පවත්වන බවයි.

+++++++

දැරියකට සහ දරුවෙකුට තම පියා දුන් අමානුෂික දඬුවම

(02.01.2022 – 23:08 +0530 – hirunews.lk/sinhala)

හැටන් – කුඩාගම ප්‍රදේශයේදී වයස අවුරුදු 7 ක දැරියකට සහ වයස අවුරුදු 6 ක දරුවෙකුට පියා විසින් ගස් බැඳ අමානුෂික ලෙස දඬුවම් කිරීමේ සිද්ධියක් වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එම පියා හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, දරුවන් දෙදෙනා (2) වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට හැටන් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

***************************************

විදේශීය රටවලින් විපක්ෂයට ලැබෙන ආධාර ගැන සජිත් කතා කරයි

(02.01.2022 – 21:13 +0530 – hirunews.lk/sinhala)

විදේශීය රටවල් විපක්ෂය සමඟ එක්ව රටේ සංවර්ධනයට ආධාර කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කොළඹ අද (02) පැවති ජනහමුවකදී විපක්ෂ නායකවරයා චෝදනා කළේ ගෑස් අර්බුදය සම්බන්ධයෙන් බලධාරීන් තවදුරටත් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් සිටින බවයි.

***************************************

රට තුළ පවතින්නේ නිර්මාණය කරගත් අර්බුදයක් – හර්ෂ ද සිල්වා

(02.01.2022 – 22:27 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ රට තුළ පවතින්නේ කොවිඩ් තුළින් සිදුවූ බලපෑමට වඩා නිර්මාණය කරගත් අර්බුදයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පිළිකා රෝගීන් වෙනුවෙන් ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ද මේ වනවිට ඇතිව තිබෙන බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *