අල – ලූණු බදු අඩු කිරීමට ගොවීන්ගේ විරෝධය

අල – ලූණු බදු අඩු කිරීමට ගොවීන්ගේ විරෝධය

*********************************************

අල – ලූණු බදු අඩු කිරීමට ගොවීන්ගේ විරෝධය

(02.01.2022 – 13:13 +0530 – hirunews.lk/sinhala)

ආනයනික අර්තාපල් සහ බී ලූණු සඳහා පනවා තිබූ බද්ද පහත හෙළීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බව ගොවීන් පවසනවා.

පොහොර මිල සීග්‍ර ලෙස ඉහළ යාම මෙන්ම, පොහොර සහ පලිබෝධනාශක නොමැතිවීම හේතුවෙන් අස්වැන්න අඩුවීම නිසා, එළවළු නිෂ්පාදන පිරිවැය ද ඉහළ ගොස් ඇති බවයි ගොවීන් ප්‍රකාශ කර සිටියේ.

ඒ හේතුවෙන් ආනයනික අර්තාපල් සහ බී ලූණු සඳහා පනවා තිබූ බද්ද පහත හෙළීමත් සමඟ ඒවායේ මිල අඩුවීමෙන් දේශීය ගොවීන්ගේ අස්වැන්න නිසි මිලකට විකුණාගත නොහැකි බවයි සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ භූමිතෙල් මිලද ඉහළ යාම හේතුවෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිනවා.

කඳුකර ආශ්‍රිත ප්‍රදේශවල සිදු කරන වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීමට මෝටර් භාවිත කරන ගොවීන් මෙලෙස අර්බුදයකට ලක්ව ඇති බවයි ඔවුන් ප්‍රකාශ කර සිටියේ.

මේ අතර පොළොන්නරුව – කවුඩුල්ල ගොවි ජනපද ව්‍යාපාරයේ මිරිස්හේන ගොවි සංවිධාන බලප්‍රදේශය තුළ මහකන්නයේ ගොයම කහ පැහැ ගැන්වී ඇති බවට ගොවීන් චෝදනා කරනවා.

එමෙන්ම පොළොන්නරුව – මැදිරිගිරිය ප්‍රදේශයේ වී වගාව රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් විනාශ වීමේ තර්ජනයකට ලක්ව ඇති බවට ගොවීන් චෝදනා කළා.

ඔවුන් කියා සිටියේ රජය ලබාදුන් කාබනික දියර පොහොර වී වගාවට යෙදීමත් සමඟ ගොයම කහපැහැ ගැන්වුණු බවයි.

මේ අතර පොහොර නොමැති කමින් විනාශ වූ වගාවන් පිළිබඳ ප්‍රදේශ රැසකින් වාර්තාවුවත් සියයට 70 ක් කාබනික පොහොර සහ රසායනික පොහොර සියයට 30 ක් යොදා සරු තක්කාලි අස්වැන්නක් ලබාගත් ගොවියෙකු ගලේවෙල – පට්ටිවෙල ප්‍රදේශයෙන් වාර්තාවුණා.

එස්.ඒ. රත්නපාල නමැති මොහු අක්කර තුනහමාරක (3½) බිමේ තාක්කාලි වගාකොට රුපියල් මිලියන 10 ක් උපයාගෙන තිබෙනවා.

***************************************

‘එක්ස්ප්‍රස් පර්ල්’ ඉවත් කරන්න චීන සහාය

(02.01.2022 – 08:26 +0530 – hirunews.lk/sinhala)

මුහුදුබත් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ඉවත් කිරීම සඳහා චීන නෞකාවක් මේ වනවිට මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අනුව නෞකාව ගිලී ඇති ප්‍රදේශයේ සිට කිලෝමීටරයක් පමණ වූ වපසරිය තුළ මේ වනවිටත් එය ඉවත් කිරීමට අදාළ අධ්‍යයන කටයුතු සිදු කරමින් පවතින බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ.

එසේම, මුහුදුබත් වූ බහළුම් ඉවත් කිරීම සඳහා මීට පෙර මෙරටට පැමිණි ඇමරිකානු සමාගමකට අයත් නෞකාව මේ වනවිට බහළුම් සියයකට (100) අධික ප්‍රමාණයක් ඉවත් කර තිබෙනවා.

400 කට ආසන්න මුහුදුබත් වූ බහළුම් ප්‍රමාණයක් අදාළ නෞකාව විසින් මීට පෙර හඳුනාගෙන තිබූ අතර, සෙසු බහළුම් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතින බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් කියා සිටියේ.

ඒ අනුව එලෙස ඉවත් කෙරුණු බහළුම් මේ වනවිට වත්තල ප්‍රදේශයේ පිහිටි අංගනයක තැන්පත් කර තිබෙනවා.

අදාළ අංගනයේ කටයුතු පිළිබඳ අධීක්ෂණය සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරියෙකු සහ රේගු නිලධාරීන් දෙදෙනෙකු (2) යොදවා ඇති බව ද සඳහන්.

මෙලෙස ඉවත් කෙරෙන සියලු බහළුම් හිතකර අන්දමින් කළමනාකරණය කිරීමට මෙරටදී හැකියාව පවතින්නේ නම් ඒවා සිදු කෙරෙන අතර, එසේ කළ නොහැකි දෑ මෙරටින් ඉවත් කිරීමට අදාළ සමාගම කටයුතු කරනු ඇති.

මෙම කටයුතු සඳහා අවශ්‍ය සියලු වියදම් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව අයත් සමාගම විසින් දරනු ලබනු ඇති.

නෞකාව අනතුරට ලක්වීමෙන් අනතුරුව සිදුකරන ලද මෙහෙයුම් වියදම් සඳහා මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 3.6 ක් මෙරටට ලැබි ඇති අතර, අනෙකුත් මෙහෙයුම් කටයුතු සඳහා දැරූ වියදම් ප්‍රතිපූරණය කර ගැනීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත්, පරිසරයට සිදුවූ හානියට අදාළ වන්දිය මේ වනතෙක් ගණනය කර නැහැ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ එම කටයුතු තවදුරටත් ප්‍රමාද වන අතර, එය අවසන් කිරීමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇති බවයි.

නෞකාවේ කොටස් සහ බහාළුම් ඉවත් කර නොමැති බැවින් පරිසරයට සිදුවූ හානිය නිශ්චිත ලෙස හෝ ගණනය කිරීමට තවමත් හැකියාවක් නොමැති වීම ඊට හේතුව බව එම අධිකාරිය පෙන්වා දෙනවා.

***************************************

සපුගස්කන්ද හෙට (03) සිට යළි වැසේ

(02.01.2022 – 08:39 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය හෙට (03) සිට යළි වසා දැමෙනවා.

ඒ, විදේශ විනිමය අර්බුදය හමුවේ බොරතෙල් මිලදී ගැනීමේදී මතු වී ඇති දුෂ්කරතා හේතුවෙන්.

තාවකාලිකව තෙල් පිරිපහදුව වසා දැමුව ද රට තුල ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

දෛනිකව බොරතෙල් මෙට්‍රික් ටොන් 6500 ක් පිරිපහදු කෙරෙන සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඩොලර් අර්බුදය හමුවේ බොරතෙල් සපයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් පසුගිය වසරේ නොවැම්බර් 15 වනදා වසා දැමුණු අතර, එය දින 22 කට පසු යළි විවෘත කෙරුණේ දෙසැම්බර් 07 වනදායි.

හෙට (03) දිනයේ වසා දැමෙන තෙල් පිරිපහදුව මේ මස අවසානය වනවිට යළි විවෘත කිරීමට හැකියාව පවතින බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ.

***************************************

විදේශ ගතවන අයට සුබ ආරංචියක්

(02.01.2022 – 08:45 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේදී මෙරට ශ්‍රමිකයන් සඳහා පවතින විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීමට නව ගිවිසුම් කිහිපයකට එළඹ ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය කියා සිටියේ ජපානයේ සහ ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථාවන්ද ඊට ඇතුළත් වන බවයි.

එමෙන්ම රැකියා සඳහා විදෙස් ගත වීමේදී සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගන්නා ලෙස ද එම කාර්යාංශය ජනතාවට දැනුම් දෙනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය වැඩිදුරටත් කියා සිටියේ එලෙස ලියාපදිංචිය ලබා ගැනීමකින් තොරව විදෙස් ගත වී විදේශයකදී යම් අපහසුතාවයකට පත් වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පවතින හැකියාව සීමිත බවයි ෴

***************************************

නිධන් හෑරූ පුද්ගලයින් දෙදෙනකු STF දැලට කොටු වේ

(02.01.2022 – 10:59 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය ආරුගම්බේ කඳවුරේ නිලධාරින්ට යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලද තොරතුරකට අනුව ඊයේ (01) පස්වරුවේ පොතුවිල් – කුණ්ඩුමඩුව ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි කිරීමක දී නිධන් හාරමින් සිටි පුද්ගලයින් දෙදෙනකු (2) අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 – 29 යන වයස් කාණ්ඩවල පසුවන්නන් වන අතර, ඔවුන් සන්තකයේ තිබී නිධන් හෑරීමට යොදා ගන්නා උපකරණ තොගයක් ද සොයා ගැනුණා.

එම නිධන් හෑරීමේ උපකරණ අතර, උදැල්ලක්, කැත්තක්, බෝල මිටියක් සහ පූජාවක් සඳහා යොදා ගනු ලබන මුට්ටි, පහන්, බුලත් ආදී දෑ ද තිබූ බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොතුවිල් පොලීසියට භාර දී තිබෙනවා.

***************************************

පැල්වත්ත සීනි සමාගමේ ගබඩාවකින් පොහොර පැහැරගත් 9 ක් අත්අඩංගුවට

(02.01.2022 – 11:05 +0530 – hirunews.lk/sinhala)

පැල්වත්ත සීනි සමාගමේ ගබඩාවකට ඇතුලු වී පොහොර තොගයක් බලහත්කාරයෙන් රැගෙන ගිය පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සැකකරුවන් ගබඩාවේ සිටි මුරකරු බියවද්දා පොහොර මිටි 60 කට ආසන්න ප්‍රමාණයක් ඊයේ (01) පැහැරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පොහොර ප්‍රවාහනය කිරීමට යොදාගත් ටිපර් රථයක් සහ ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, අදාළ සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

පාසල් ප්‍රවාහන ගාස්තු සියයට විස්සකින් (20%) ඉහළ නැංවීමට සැරසේ

(02.01.2022 – 13:16 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල වැඩිවීමත් සමඟ පාසල් වෑන් රථ ගාස්තුද ඉහළ නැංවිය යුතු බව පාසල් ළමයින් ප්‍රවාහන සංගම් පවසනවා.

කෙසේ වෙතත් ඇතැම් පාසල් ප්‍රවාහන සංගම් සඳහන් කළේ මේ මොහොතේ පාසල් වෑන් රථ ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකළ යුතු අතර, ඉදිරියේදී ඒ පිළිබඳ තීරණයක් ගත යුතු බවයි.

රජය විසින් පසුගියදා ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම නිසා හෙට (03) ආරම්භ වන නව පාසල් වාරයේ සිට ප්‍රවාහන ගාස්තු වැඩිකළ යුතු බවයි අන්තර් පළාත් පොදු පාසල් ළමයින් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කළේ.

එහි සභාපති රුවන් ප්‍රසාද් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පාසල් ළමයින් ප්‍රවාහනය කිරීමේ ගාස්තුව සියයට 20 කින් වැඩි විය යුතුවයි.

එමෙන්ම සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ යාම නිසා සාධාරණ මිල ගණන් යටතේ පාසල් ප්‍රවාහන ගාස්තුව වැඩි කිරීමට තම සංගමයේ සාමාජිකයින්ට දැනුම්දී ඇති බවයි.

කෙසේ නමුත් සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමය සඳහන් කළේ මේ මොහොතේ පාසල් ප්‍රවාහන ගාස්තු වැඩි නොකළ යුතු බවයි.

දෙමාපියන් දැඩි අසීරුතා මධ්‍යයේ සිය දෛනික කටයුතු සිදුකරන බැවින් ඉදිරියේදී මිල වැඩිකිරීමක් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද එම සංගමයේ සභාපති එන්.එන්.කේ. හරිස්චන්ද්‍ර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා ෴

***************************************

ආණ්ඩුව රැකගන්න – වගකිවයුත්තන්ට දඬුවම් කරන්න – දයාසිරි

(02.01.2022 – 13:19 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවට අහිතකර බලපෑම් සිදු කිරීමට දායක වු පුද්ගලයින්ට කඩිනමින් දඬුවම් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

පොහොර අර්බුදය මෙන්ම ගෑස් අර්බුදය හේතුවෙන් ද ජනතාව ආණ්ඩුව පිලිබද දැඩි කලකිරිමෙන් සිටින බවයි ඉබ්බාගමුව ප්‍රදේශයේ ඊයේ (01) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

***************************************

ජනවාරියේ දිස්ත්‍රික්ක කිහිපයක උෂ්ණත්වය ඉහළ යයි

(02.01.2022 – 13:41 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි මාසය තුළ රාත්‍රි කාලයේ මන්නාරම, අම්පාර, කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල අවම උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා මදක් ඉහළ යෑමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

දිස්ත්‍රික්ක රැසක උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා අඩුවීමේ හැකියාවක් ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

විශේෂයෙන් දහවල් කාලය තුළ මෙලෙස උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයට වඩා පහළ යන්නේ පුත්තලම, මන්නාරම, අනුරාධපුර, කොළඹ, අම්පාර, නුවරඑලිය ඇතුළු දිස්ත්‍රික්කවලයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *