රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් තරුණ පෙම්වතුන් යුවල මරුට

රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් තරුණ පෙම්වතුන් යුවල මරුට

*********************************************

රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් තරුණ පෙම්වතුන් යුවල මරුට

(02.01.2022 – 09:03 +0530 – hirunews.lk/sinhala)

තරුණ යුවලක් ගමන් ගත් යතුරු පැදියක් අද (02) අළුයම බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේ දී අනතුරකට ලක්වීමෙන් ඔවුන් දෙදෙනා මෙම ස්ථානයේ මියගිය බව බණ්ඩාරගම පොලීසිය පවසනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 21 ක තරුණයෙක් සහ මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 19 ක තරුණියක්.

ඔවුන් දෙදෙනා කැස්බෑව දෙස සිට බණ්ඩාරගම දෙසට යතුරුපැදියෙන් පැමිණීමේදී වැල්මිල්ල හංදිය පසුකරනවාත් සමඟම යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් බෝක්කුව ගැටීමෙන් අනතුරුව යතුරුපැදිය විසි වී ගොස් අසල තිබූ ගල් බැම්මක වැදි මෙම අනතුර සිදු වූ බවයි පොලිසීය සඳහන් කළේ.

යතුරු පැදිය පැදවූ මියගිය තරුණයා පැයට කිලෝ මීටර් සියයකට (100) අධික වේගයෙන් පැමිණ ඇතැයි අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.

අනතුරින් තරුණ යුවළගේ ශරීරයට බරපතළ තුවාල සිදු වී තිබූ අතර, යතුරු පැදියට ද බරපතළ හානි සිදු ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

++++++++

ගත වූ පැය 24 ක් තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක අනතුරුවලින් තිදෙනකු (3) ජීවිතක්ෂයට

(02.01.2022 – 06:34 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රිය අනතුරු සිදුවීම් වාර්තා වී ඉන් පුද්ගලයින් ජීවිතක්ෂයට පත්වීමේ පුවත් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව ඊයේ (01) දහවල් කාලයේ දී හෝමාගම පොලිස් වසමේ හයිලෙවල් මාර්ගයේ මාකුඹුර ප්‍රදේශයේ දී කොට්ටාව සිට හෝමාගම දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයක් යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත් වූ බවයි පොලීසි‍ය පවසන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 30 ක් වන පනාවැව – බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ලොරි රථයේ සහ යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති අතර, ලොරි රථයේ රියැදුරු හෝමාගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර හබරණ පොලිස් වසමේ ත්‍රිකුණාමලය – හබරණ මාර්ගයේ ගල්වංගුව ප්‍රදේශයේ දී කාර් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව, පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වනවා.

හබරණ දෙස සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ කාර් රථය, එම දෙසටම ධාවනය වෙමින් තිබූ වාහන පෙළක් පසුකරමින් අධික වේගයෙන් ඉදිරියට ගොස් ඇති අතර, ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක අදාළ කාර් රථය ගැටී ඇති බවයි පොලීසිය පවසන්නේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාර් රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා හබරණ රෝහලට ඇතුළත් කෙරුණු ද ඔහුගේ තත්ත්වය බරපතළ වූ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මහරගම ප්‍රදේශයේ පදිංචි මෙම මරණකරු 27 හැවිරිදි වියෙහි පසුවන්නෙක්.

එමෙන්ම , තවත් මාරක අනතුරක් ගාල්ල- මාතර මාර්ගයේ කිලෝමීටර් 128 කණුව අසල දී සිදුව තිබෙනවා.

මාර්ගය අයින් ගමන් කළ පදිකයෙකුගේ ගැටී මාර්ගයේ ගමන් ගත් වාහනයක් අනතුරක් සිදු වුණා.

මෙම අනතුරෙන් පදිකයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත් ව ඇති අතර, අනතුර සිදු කළ තැනැත්තා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ, 22 හැවිරිදි උජුවත්ත – හබරාදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සිදු කර පලා ගිය රථය සහ සැකකරු සොයා හබරාදුව පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරනවා.

++++++

ගෙවුණු විසිහතර (24) පැය තුළ එක් (1) මනුෂ්‍ය ඝාතනයක් – දිය රකුසා බිලිගත් ජීවිත 4 ක් !

(02.01.2022 – 07:15 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය පොලිස් වසමේ පරන්තන් හන්දිය අසල දී පිහියකින් ඇන, තුවාල ලබා සිටි පුද්ගලයින් දෙදෙනකු ඊයේ (01) දින කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේ දී ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වූ බව පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි මුලතිව් – පරන්තන් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මරණකරු සහ තවත් පුද්ගලයෙකු අතර පැවති ආරවුලක් හේතුවෙන් ඊයේ (01) දින ඔවුන් දෙදෙනා මුණගැසී ඇති අතර, ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව මියගිය පුද්ගලයාට අනෙක් තැනැත්තා විසින් පහර දී පිහියෙන් ඇන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පහරදීම සඳහා පුද්ගලයින් පස්දෙනෙකු (5) එක් වී ඇති අතර, තිදෙනකු (3) පොලිසිය විසින් හඳුනාගෙන ඇති බව ද සඳහන්.

දෙදෙනකු (2) ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔවුන් සොයා පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ අතර, ගත වූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලන් දියේ ගිලීමෙන් මරණයට පත් වූ පුද්ගල මරණ සහ අතුරුදන් වීමේ පුවත් කිහිපයක් වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

ඒ අනුව ඊයේ (01) සවස් කාලයේ දී දුන්ගල්පිටිය පොලිස් වසමේ කැපුන්ගොඩ නැංගූරම් තොටුපළ වෙරළ තීරයේ දියනාමින් සිටි තරුණයින් 5 දෙනෙකු රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව පොලීසිය විසින් ඉන් පුද්ගලයින් සිව් දෙනෙකු (4) බේරාගෙන ඇති අතර, රෝහල්ගත කිරීමේ දී දෙදෙනකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම 21 හැවිරිදි තවත් අයෙකු තවමත් අතුරුදන් වී ඇති අතර, ඔහුව සොයා පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් ව ඇත්තේ, 17 සහ 23 වයසෙහි පසු වූ පමුණුගම සහ ඒකල යන ප්‍රදේශවල පදිංචි පදිංචිකරුවන්.

මේ අතර, ධීවර කටයුතු සඳහා පිටව ගිය එක්දින ධීවර යාත්‍රාවක් සහ එහි ගමන් කළ පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බවට අහුංගල්ල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

පෙරේදා (31) දිනයේ දී බලපිටිය – බ්‍රාහ්මණවත්ත උතුර හරස්පොළ ධීවර තොටුපළෙන් ධීවර කටයුතුස් සඳහා අතුරුදන් වූ ධීවරයා ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර, ඊයේ (01) අලුයම් කාලයේ දී යළි ගොඩබිමට පැමිණීමට නියමිතව තිබුණ ද, එම පුද්ගලයා සහ යාත්‍රාව යළි ගොඩබිමට නොපැමිණීම සම්බන්ධ‍යෙන් පොලීසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරුණා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ, බ්‍රාහ්මණවත්ත – අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ පුද්ගලයා සොයා නාවික හමුදාව සහ අහුංගල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

++++++

මාර්ග නීති කඩමින් ධාවනයවූ මොටෝරියක් වාහන දෙකක (2) ගැටී නතර වෙයි

(02.01.2022 – 07:39 +0530 – hirunews.lk/sinhala)

එකම පවුලේ පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් බණ්ඩාරගම – ගම්මන්පිල වැව අසල දී අද (02) පෙරවරුවේ ටිපර් රථයක සහ ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෝටර් රථයේ ගමන්ගත් පිරිස සහ ත්‍රීරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල්ගත කළ බව බණ්ඩාරගම පොලීසිය පවසනවා.

රෝහල්ගත කළ පුද්ගලයන් අතර වයස අවුරුදු දෙකක (2) කුඩා දරුවකු ද සිටින බවයි පොලීසිය පවසන්නේ.

මෝටර් රථයේ ගමන් ගත් කුඩා දරුවා ඇතුළු අනෙක් අයගේ තත්ත්වය තරමක් බරපතළ බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

අදාළ මෝටර් රථය බණ්ඩාරගම දෙස සිට වැල්මිල්ල දෙසට පැමිණීමේදී ගම්මන්පිල වැව ආසන්නයේදී වෙනත් මෝටර් රථයකට මාර්ග නීති උල්ලංඝනය කරමින් ඉස්සර කිරීමත් සමගම ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයේ සහ ටිපර් රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුරට ලක් වුණා.

අනතුර වන අවස්ථාවේ දී මෝටර් රථය පැයට කිලෝ මීටර් 90 ක වේගයෙන් ධාවනය කර ඇති බවට මීටර් පද්ධතිය පරික්ෂා කිරීමේදී තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිස් විමර්ශනවල දී හෙළිව තිබෙනවා.

මෝටර් රථ රියදුරුගේ අපරීක්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතු වී ඇති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

++++++++

දිවයිනේ ප්‍රදේශ කිහිපයක රිය අනතුරු රැසක්

(02.01.2022 – 11:54 +0530 – hirunews.lk/sinhala)

වව්නියාව පොලිස් වසමේ යාපනය – මහනුවර ප්‍රධාන මාර්ගයේ තාණ්ඩිකුලම ප්‍රදේශයේ දී ඊයේ (01) රාත්‍රියේ දී සිදු වූ රිය අනතුරකින් 35 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යාපනය දෙස සිට වව්නියාව දෙසට වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් එම දෙසට ධාවනය වූ පා පැදියක් පසුකර යාමට උත්සාහ කිරීමේ දී රථයේ රියැදුරුට වේගය පාලනය කරගත නොහැකිව වව්නියාව දෙසට ධාවනය වූ කැබ් රථයක ගැටීමෙන් ත්‍රීරෝද රියෙහි රියැදුරු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ, වව්නියාව – තෝනික්කල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම අනතුරට හේතු වී ඇත්තේ, ත්‍රීරෝද රථ රියැදුරු සහ කැබ් රථ රියැදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, මීගමුව නගරයේ සිට ගල්කන්ද දුම්රිය හරස් මාර්ගය දක්වා ඇති අගරදගුරු නිකලස් මාකස් මාවතේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක් 04 වන පටුමග ඉදිරිපිට දී මාර්ගයේ ගමන් කළ පාපැදියක පිටුපසින් ගැටී අනතුරක් සිදු ව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුර සිදු කළ ත්‍රීරෝද රථ රියදුරු මීගමුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර මුල්ලියාවේලි – පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ කේපාපිලව් හි දී ද රිය අනතුරක් සිදුව පුද්ගලයින් දෙදෙනකු (2) ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

මෙම අනතුරට හේතු වී ඇත්තේ, පුදුකුඩි ඉරිප්පු සිට කෝපාපිලව් ප්‍රදේශයට ධාවනය කරමින් තිබූ ටිපර් රථයක් හා ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු මංචෝලේ රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සෙසු අය වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරු කර යැවුණේ, යාපනය රෝහල වෙතයි.

මෙලෙස මියගොස් ඇත්තේ, 48 හැවිරිදි හා 17 හැවිරිදි වියෙහි පසු වූ මුල්ලියාවේලි පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවෙලි පොලීසිය විමර්ශන සිදු කරනවා.

++++++

නව අවුරුදු උදාවත් සමග දිවයින පුරා අනතුරුවලින් පුද්ගල මරණ 18 ක්

(02.01.2022 – 14:47 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි පළමුවැනි දින (01) සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 18 ක් දිවයින පුරා විවිධ ප්‍රදේශවල සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.

මරණ 08 ක් ඊයේ (01) සිදුව ඇති අතර, අනෙක් 10 දෙනා රිය අනතුර්වලින් පසු රෝහල්ගතව සිටි පුද්ගලයින් බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම පසුගිය වසරේ දෙසැම්බර් මස 25 වන දා සිට 31 වන දා දක්වා කාලය තුළ ද රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ ගත වූ වසරවලට සාපේක්ෂව මේ වසර ආරම්භයේදීම රිය අනතුරුවල ඉහළ යාමක් දක්නට ලැබුණු බවයි.

***************************************

හෙට (03) සිට රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි

(02.01.2022 – 07:52 +0530 – hirunews.lk/sinhala)

හෙට (03) සිට රාජ්‍ය සේවා කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඊට අදාළ උපදෙස් මේ වනවිටත් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර තිබෙනවා.

නව වසර සඳහා විශාල මුදල් ප්‍රමාණයක් කෘෂිකාර්මික, කාර්මික, ජීවනෝපාය සංවර්ධන සහ යටිතල පහසුකම් සංවර්ධනය වැනි කටයුතු සඳහා රජය වෙන්කර ඇති අතර, ඒවා මනාව කළමනාකරණය කර ගැනීමට රාජ්‍ය සේවකයින්ගේ දායකත්වය ඉතා වැදගත් වන බවයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි ප්‍රකාශ කළේ.

ඒ අනුවයි හෙට (03) සිට රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවනු ලබන්නේ.

හෙට (03) උදෑසන ජාතික ධජය ඔසවා, ජාතික ගීය වාදනය කර රාජ්‍ය සේවා දිවුරුම ලබාදී රාජකාරී කටයුතු ආරම්භ කරන අතර, වෛද්‍යවරයෙකුගේ දේශනයකින් සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ සෞඛ්‍ය තත්ත්වයන් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරන ලෙසද දන්වා තිබෙනවා.

කොවිඩ් ව්‍යාප්තියත් සමඟ අවස්ථා කිහිපයකදී රාජ්‍ය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයට යොමු කළ අතර අත්‍යවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවනු ලැබුවා.

මේ අතර, නව පාසල් වාරය ද හෙටින් (03) ආරම්භ වනවා.

එහිදී සිසුන් කාණ්ඩ වශයෙන් පාසල් ගෙන්වීමේ ක්‍රමවේදයද තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති.

***************************************

ගත වූ වසරේ ඩෙංගු මරණ 27 ක්

(02.01.2022 – 08:10 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ වසරේ පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, පෙර වසරට එනම් 2020 ට සාපේක්ෂව 2021 වසරේ ඩෙංගු රෝගීන් වාර්තා වීම කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.

ඒ අනුව 2020 වසරේ ඩෙංගු රෝගීන් 31,162 ක් මෙරටින් වාර්තා වී ඇති අතර, පසුගිය වසරේ වාර්තා වී ඇත්තේ රෝගීන් 19,087 ක් පමණයි.

පසුගිය වසරේ නොවැම්බර් මස වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව ඊට පෙර වසර හා සැසඳීමේදී තුන් (3) ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

පැය 24 කට වඩා උණ පවතින්නේ නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර දැනුම්දෙනවා ෴

***************************************

රජගල පුරාවිද්‍යා භූමියේ විශේෂ ව්‍යාපෘතියක් !

(02.01.2022 – 08:22 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – රජගල පුරාවිද්‍යාත්මක භූමිය සංචාරක ප්‍රදේශයක් බවට පත් කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග කියා සිටියේ එහි පුරාවිද්‍යා පරීක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර ඇති බවයි.

අම්පාර – රජගල පුරාවිද්‍යාත්මක භූමියේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යාත්මක ස්මාරක, ලෙන් සහ පොකුණුවලින් යුක්තයි.

***************************************

මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් කඩිනමින් නිදහස් කරගැනීමට පියවර

(02.01.2022 – 08:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයන් 68 දෙනා කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස මදුරෙයි මහාධිකරණය ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික බලධාරීන්ට දන්වා තිබෙනවා.

යාපනයේ ඉන්දීය කොන්සියුලර් කාර්යාලයේ නිලධාරීන් එම ධීවරයින් හමු වී අවශ්‍ය පහසුකම් සලසා ඇති බව අධිකරණයට දන්වා ඇති අතර, ඒ අනුව අදාළ උපදෙස් ලබාදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් 68 දෙනෙකු දෙසැම්බර් 18 සිට 21 දක්වා කාලය තුළ මෙරට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය රජය අධිකරණයට දැනුම්දී ඇත්තේ.

18 වනදා ඉන්දීය ධීවරයන් 43 දෙනෙකු සමග යාත්‍රා 6 ක් නාවික හමුදා අත්අඩංගුවට පත් වූ අතර, 19 වනදා තවත් ඉන්දීය ධීවරයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැණුනේ යාත්‍රා දෙකක් (2) සමගයි.

දෙසැම්බර් 21 වැනිදාද ඉන්දීය ධීවරයන් 13 දෙනෙකු යාත්‍රා දෙකක් (2) සමග අත්අඩංගුවට ගෙන තිබුණා.

කෙසේ නමුත් මෙරට මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත විනාශ කරමින් ‘බොටම් ට්‍රෝලින්’ ක්‍රමයට මසුන් මරණ ඉන්දීය ධීවරයන්ට එරෙහිව උතුරේ ධීවරයන් විරෝධතාවල ද නිරතවුණා.

එමෙන්ම පසුගිය කාලය තුළම අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් කඩිනමින් නිදහස් කිරිමටද පියවර ගෙන තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *