රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රමුඛතාවය ඉල්ලයි

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රමුඛතාවය ඉල්ලයි

*********************************************

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රමුඛතාවය ඉල්ලයි

(01.01.2022 – 16:12 +0530 – hirunews.lk/sinhala)

ණයවර සඳහා ගෙවීම් කිරීමේදී මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ සඳහා ප්‍රමුඛතාව ලබාගැනීමට කටයුතු සලසා දෙන ලෙස ඉල්ලා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එම අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අදාළ ලිපිය යොමුකර ඇති බවයි ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කළේ.

රට තුල පවතින විදේශ සංචිත හිඟය හමුවේ මේ වනවිට සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ආනයනය ද අර්බුදකාරි තත්ත්වයක පවතිනවා.

කෙසේ වෙතත්, දැනට රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් නොමැති බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පැවසුවේ.

කෙසේ වෙතත්, එහි සභාපති අජිත් පී. තිලකරත්න කියා සිටියේ ණයවර ලිපි සඳහා ගෙවීම් කිරීමට ප්‍රමුඛතාවය හිමි නොවුනහොත් ඉදිරියේදී රට තුළ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බවයි ෴

***************************************

කොළඹ නගරයේ යාචකයින්ට නව වසරේ සංග්‍රහයක්

(01.01.2022 – 13:46 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ නව වසර උදාව වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ යාචකයින් කැඳවා, පිරිසිදුකර නව ඇදුම් පැළදුම් ලබා දී කිරිබත් සංග්‍රහයක් ද ලබා දුන්නා.

එහිදී ඔවුන්ගේ දත්ත සටහන් කරගනිමක් ද සිදුවූ බවයි, පොලීසිය සඳහන් කළේ.

අද (01) පෙරවරුවේ පැවති මෙම වැඩසටහනට ග්‍රෑන්ඩ් පාස් සහ කොටුව යන පොලීසිවල නිලධාරීන් මැදිහත් වී තිබෙනවා.

***************************************

මැණික් ගඟේ නව පිවිසුම් ප්‍රාකාරයේ ඉදිකිරීම් ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

(01.01.2022 – 14:07 +0530 – hirunews.lk/sinhala)

රුහුණු මහා කතරගම දේවාලයේ මැණික් ගඟේ නව පිවිසුම් ප්‍රකාරයේ ඉදිකිරීම් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

ඉදිකිරීම් වෙනුවෙන් මුල්ගල තැබීම ජනාධිපතිවරයා මෙන්ම තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හා රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මීට සමගාමී ව ‘සුරකිමු ගංඟා’ ව්‍යාපෘතිය යටතේ පරිසර අමාත්‍යාංශය මඟින් ට්‍රැක්ටර් රථයක් සහ විදුලියෙන් ක්‍රියා කරන රථයක් රුහුණු මහා කතරගම දේවාලය වෙත පරිත්‍යාග කර තිබෙනවා ෴

***************************************

ආහාර හිඟයක් ඇති වීම වැළැක්විය නො හැකි බවට නාමල් කරුණාරත්නගෙන් ප්‍රකාශයක්

(01.01.2022 – 14:22 +0530 – hirunews.lk/sinhala)

2022 වසරේ දී ආහාර හිඟයක් නිර්මාණය වීම වැළැක්විය නො හැකි බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල්
කරුණාරත්න පවසනවා.

මේ අතර වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොමැතිව ප්‍රදේශ රැසක ගොවීන් තවදුරටත් පත් ව ඇත්තේ, දැඩි අසීරුතාවකට යි.

***************************************

වරාය අධිකාරියට අනිසි බලපෑම් එල්ල වනවා – වරාය පොදු සේවක සංගමයේ ලේකම්

(01.01.2022 – 14:29 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර බහලුම් පර්යන්තයට උපකරණ ගෙන්වීම සඳහා වන ගනුදෙනුවක් කඩිනම් කිරීමට වරාය අධිකාරියට අනිසි බලපෑම් එල්ල වෙමින් පවතින බව, වරාය වෘත්තීය සමිති චෝදනා කරනවා.

ඊයේ(31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වරාය පොදු සේවක සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකාන මේ බව හෙළිකළා ෴

***************************************

‘මාකඳුරේ මධූෂ්’ගේ සමීපතමයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට භාර වූ 4 ක් රැඳවුම් භාරයට

(01.01.2022 – 15:18 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘මාකඳුරේ මධූෂ්’ගේ සමීපතමයෙකු බව කියන පුද්ගලයෙකු හික්කඩුව – මිල්ල ප්‍රදේශයේදී ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනෙකු පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

පසුගිය 20 වනදා සිදුවූ ඝාතනයට අදාළව මෙම සැකකරුවන් හික්කඩුව පොලීසියට භාරවී තිබුණේ ඊයේ (31) දිනයේයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (01) ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ හමුවට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගත් බවයි පොලිසිය සඳහන් කළේ ෴

***************************************

අවාරේ අමුතුම දන්සලක් දුන් ගොවි මහතා

(01.01.2022 – 18:58 +0530 – hirunews.lk/sinhala)

අසරණ ජනතාව වෙනුවෙන් දුක් මහන්සියෙන් වගා කළ තම වට්ටක්කා අස්වැන්න ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළ ගොවි මහතෙක් අපට පොලෝන්නරුව පිඹුරත්තෑව ගම්මානයෙන් හමු වුණා.

වචනයේ පරිසමාර්ථ අර්ථයෙන් පරිත්‍යාගශීලි බවේ සැබෑ අරුත අව්‍යාජව පෙන්නුම් කළ මෙම ගොවි මහතා, ලොවට පෙනෙන්නට ව්‍යාජ රඟපෑම් කරන නූතන වෙස්සන්තරලාට වඩා තමන්ට හැකි පමණින් සිදු කළ මේ උතුම් සත්ක්‍රියාව පැසසුමට ලක් කළ යුතුමයි.

***************************************

පොහොර සමාගම් 11 කට ගෙවූ රුපියල් කෝටි 150 ක් ගැන පරීක්ෂණයක්

(01.01.2022 – 19:18 +0530 – hirunews.lk/sinhala)

2018 -2020 කාලයේදී පොහොර සමාගම් 11 කට ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් රුපියල් කෝටි 150 කට අධික මුදලක් වැඩියෙන් ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ජාතික පොහොර ලේකම් කාර්යාලයයේ අධ්‍යක්ෂ චන්දන හේවගේ හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යංශය මගින් එම පරීක්ෂණය ක්‍රියාත්මක බවයි.

2018 -2020 කාලයේදී පොහොර සහනාධාරය ලබා දීම සඳහා මෙරටට අඩු මිලට ගෙන්වන ලද පොහොර වෙනුවෙන් සමාගම් 11 කට රුපියල් කෝටි 150 කට අධික මුදලක් වැඩියෙන් ගෙවා ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදු කල විමර්ශනයකදී අනාවරණය වී තිබෙනවා.

අදාළ පොහොර සමාගම් පසුගිය 2020 වසරේ මුල් කාර්තු 2 හි අවස්ථා 213 කදී පොහොර ගෙන්වා ඇති බවද අදාළ වාර්තාවේ සඳහන්. එලෙස වැඩි මුදලක් ගෙවා ගෙන්වා ඇති පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,56,272 ක්.

අදාළ පොහොර තොග වෙනුවෙන් වෙළෙඳපොල වටිනාකම් තක්සේරු කර ඊට අදාලව අඩු මුදලක් ගෙවීමට ජාතික පොහොර ලේකම් කාර්යාලය ක්‍රියාකර නොමැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ආනයන සමාගම් තීරණය කල ඉහළ මිල ගණන් පොහොර ලේකම් කාර්යාලය එම සමාගම් වෙත ඍජුවම ගෙවා ඇති බවයි.

එමෙන්ම එවකට කෘෂිකර්ම අමාත්‍යංශය මගින් පත් කල මිල කමිටුවේ මිල සූත්‍රයෙන් බැහැරව 2018 වසරේදී සිටම පොහොර තොග වෙනුවෙන් සමාගම් වෙත වැඩි මුදලක් ගෙවා ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සිය විමර්ශන වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා කියා සිටියේ පොහොර ගෙන්වීමට අදාළ වාර්තා වෙනස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර නිලධාරීන් සිව් දෙනෙකු (4) ගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගත් බවයි.

කෙසේ වෙතත්, එය හා මෙම සිද්ධිය අතර සම්බන්ධතාවයක් පවතීද යන්න මෙතෙන් නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි බවද ඔහු ප්‍රකාශ කළා ෴

***************************************

සත්මාල ඇල්ලේ ගිලී පියපුතු දෙදෙනෙකු (2) අතුරුදන්

(01.01.2022 – 19:32 +0530 – hirunews.lk/sinhala)

දෙණියාය – පල්ලේගම සත්මාල ඇල්ලේ නෑමට ගිය පියපුතු දෙදෙනෙකු (2) අද (01) දියේ ගිලී ජිවිතක්ෂයට පත්වුණා.

පොලීසිය පැවසුවේ මියගිය පුතුගේ වයස අවුරුදු 16 ක් වන අතර, පියා 47 හැවිරිදි අයෙකු වන බවයි.

ගාල්ල – ගිංතොට ප්‍රදේශයේ පදිංචි මොවුන් පවුලේ සාමාජිකයින් සමඟ මෙම දියඇල්ල නැරඹීමට පැමිණි අතර දියනාමින් සිටියදී පුතු දියේ ගිලී තිබෙනවා.

එහිදී ඔහු බේරා ගැනීමට පියා ද දියට පැන ඇති අතර පසුව දෙදෙනාම (2) අතුරුදන් වුණා.

මේ වනවිට ඔවුන්ගේ සිරුරු සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.

***************************************

PB කොරහත් බිදගෙනම යයි.. සුහද හමුව වර්ජනය කර කුරුණැගල නිවසේ.. ඇමති විමල්ට දැඩි චෝදනා..

(01.01.2022 – 22:02 +0530 – lankacnews.com)

යන යකා කොරහත් බිඳගෙන යනවා කියන්නා සේ ජනපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස් වූයේ රටේ ආර්ථිකය වැටී තිබියදීය. ජනපති ලේකම් වුවත් ඉකුත් කාලේ රටේ ආර්ථිකයද මෙහෙයවූයේ ඔහු බව රහසක් නොවේ. මින් පෙර සිටි ජනපති ලේකම්වරු නොකරපු ඒ වැඩේ ඔහු කළේ ඔහු බොහෝ කාලයක් රාජකාරි කළේ මූල්‍ය ක්ෂේත්‍රයේ වන බැවිනි. එහෙත් ඉකුත් කාලේ රටේ ආර්ථිකය පස්සට ගියා මිසක් ඉස්සරහට ආවේ නැත.

පී.බී. ජයසුන්දර මෙරට ආර්ථිකය හෙහෙයවීම ආරම්භ කරන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක රාජ්‍ය පාලන සමයේදීය. ඉන්පසු රනිල් වික්‍රමසිංහ යුගය, මහින්ද රාජපක්ෂ යුගය, ගෝඨාභය රාජපක්ෂ යුගය දක්වා විවිධ තනතුරු හොබවමින් රාජ්‍ය පාලනයේ මෙන්ම ආර්ථික පාලනයේත් කටයුතු කිරීමට ඔහු සමත් වූයේය. වර්තමානයේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ රාජ්‍ය සේවාවෙන්ද විශ්‍රාම යෑමෙන් අනතුරුවය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස 2015 වර්ෂයට පෙර කටයුතු කරන විට වත්මන් අමාත්‍ය විමල් වීරවංශ ඔහුගේ ක්‍රියාකාරිත්වය දැඩිව විවේචනය කළේ ය. ‘ආර්ථික ඝාතකයෙක්’ ලෙස පී.බී. ට අන්වර්ථ නමක්ද ආරෝපණය කළේ ඇමැති විමල් වීරවංශය. එවැනි අයකු යළි ජනාධිපති ලේකම් ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් පළ විය. එබැවින් ආණ්ඩුවේ මැති ඇමැතිවරු මෙන්ම ආණ්ඩුව බලයට පත් කිරීමට මූලිකත්වය ගත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු බොහෝ දෙනකු කීවේ පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් කළ යුතු බවයි.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ එම සටනේ පෙරමුණ ගත්තේ ඇහැලියගොඩ පැවැති මහජන මන්ත්‍රණ සභාවේදීය. ‘පුංචි බණ්ඩා න්‍යායෙන් රට ගොඩගන්න බැහැ’ ඔහු කීවේය. වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනද, ජනාධිපති ලේකම්වරයා දැඩි ලෙස විවේචනය කළේ අයවැය විවාදයේදීය. මෙම විවේචන දසතින් ඇසීමත් සමග මැති ඇමැතිවරු ජනාධිපතිවරයා සමග ද සාකච්ඡා කළෝය. එහි පෙරමුණ ගත්තේ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ය. ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේදීම අමාත්‍ය චමල් රාජපක්ෂ පී.බී. ජයසුන්දරට දොස් කීවේය. ඉන්පසු ජනාධිපති ලේකම්වරයා සිය හිතවත් දේශපාලනඥයන්ට ප්‍රකාශ කර තිබුණේ තමන් කඩිනමින් තනතුරෙන් ඉවත්වන බවයි. එහෙත් දෙසැම්බර් අවසානය දක්වා ඔහු තනතුරෙන් ඉවත් නොවන අයුරු දක්නට ලැබුණි.

ජනාධිපති ලේකම්වරයා ඉවත්වන බවට වූ පළමු ප්‍රවෘත්තිය වාර්තා වූයේ පසුගිය සඳුදා (27 දා) වැනිදාය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම සතියේදී දැඩි අවධානය යොමු කළේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සම්බන්ධයෙන් රටේ විවිධ පාර්ශ්වවලින් නැගෙන බරපතළ චෝදනා පිළිබඳවය. මෙම චෝදනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද සිටියේ අසතුටිනි. විශේෂයෙන්ම ආණ්ඩුවේ ලොකු ලොකු වගකීම් දරන කැබිනට් මණ්ඩල සාමාජිකයන් පවා එළිපිටම ලේකම්වරයා විවේචනය කරමින් අරඹා තිබූ අභ්‍යන්තර අරගලවලට ජනාධිපතිවරයා එතරම් මනාප වූයේ නැත.

එම නිසා පුවත්පත් කතුවරුන් කැඳවා මේ පිළිබඳ පැහැදිලි කිරීමට ද ජනාධිපතිවරයා තීන්දු කළේය. දිවා ආහාරය ද සමග පුවත්පත් කතුවරුන්ගේ හමුව ජනාධිපති මන්දිරයේ සූදානම් කළ ජනාධිපතිවරයා රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ මූලිකව කතා කළේ ය. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සම්බන්ධයෙන් මතු වී ඇති අර්බුදයේ අලුත් තත්ත්වය ගැන ද ප්‍රශ්න මතු විය. ‘එතුමා රජයේ සේවකයෙක්. දක්ෂ අවංක නිලධාරියෙක්. එතුමා ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති. ඉතින් කවුරු හරි එතුමාව අල්ලාගෙන ඇඟිල්ල දිගු කරලා චෝදනා කරනවා නම් එය වැරදියි.’ ජනාධිපතිවරයා කීවේය.

‘එතකොට විමල් වීරවංශලා, ගම්මන්පිලලා, වාසුදේවලා වගේ අය මොකද කරන්නේ’ පුවත්පත් කතුවරුන් විමසූහ. ‘ඇතැම් අය තමන්ගේ දුර්වලතා වහගන්නත් ගැලරියට කතා කරනවානේ’ ජනාධිපතිවරයා කීවේය. මෙම හමුවෙන් පසු ජනාධිපතිවරයා දිවා භෝජන සංග්‍රහයට පුවත්පත් කතුවරුන්ට ආරාධනා කළේ ය. ජනාධිපතිවරයා සමග සිරි රණසිංහ, මහින්ද ඉලේපෙරුම හා සිංහ රණතුංග යන පුවත්පත් කතුවරුන් ආහාර ගත්හ. මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයාගෙන් පී.බී. ගේ ප්‍රශ්නය ගැන යළි විමසීමට පුවත්පත් කතුවරුන් අමතක කළේ නැත.

‘මම පී. බී. ජයසුන්දරගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද භාර ගත්තා. ජනවාරි 31 දක්වා ඉන්නවා කියා ලිපියේ සඳහන් වෙනවා. මැති ඇමැතිවරු ප්‍රසිද්ධියේ විවේචනය කිරීම නිසා මම අපහසුතාවට පත්වෙනවා. තවදුරටත් ඔහු ලේකම් ධුරයේ හිටියොත් මා සහ ඇමැතිවරු අතර දුරස්ථභාවයක් ඇති වෙනවා’ ජනාධිපතිවරයා කීවේය.

නව ජනාධිපති ලේකම් ලෙස අගමැති ලේකම් ගාමිණී සෙනරත් පත් කරන බවද ජනාධිපතිවරයා මෙහිදී හෙළි කළේ ය. අගමැති ලේකම් වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක පත් කරන බව හෙළි විය.

මෙම ප්‍රකාශය මාධ්‍යයේ පළවීමත් සමග අගමැති ලේකම් ගාමිණී සෙනරත් දුරකථනයෙන් අනුර දිසානායක අමතා තිබේ. ‘ඔබතුමා අගමැති ලේකම් ලෙස වැඩ භාර ගන්න ඕනේ.’ ඔහු කීවේය. නව අගමැති ලේකම් අනුර දිසානායකට මෙන්ම නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ට දිගට හරහට සුබ පැතුම් ලැබුණි. කෙසේ වෙතත් අනුර දිසානායක ජනාධිපති ලේකම් ධුරයට සුදුසු බව අමාත්‍ය චමල් රාජපක්ෂ සහ බන්දුල ගුණවර්ධන අමාත්‍ය මණ්ඩල රැස්වීමකදීද කරුණු දක්වා තිබුණි. නමුත් ඔහුට ලැබුණේ අගමැති ලේකම්කම ය. මාතලේ උපන් අනුර දිසානායක මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකි. මහවැලි අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ලෙස රාජකාරී කර ඇති ඔහු මෛත්‍රීපාල සිරිසේන ජනපති ධුරය දැරූ කාලයේ ජනපති ලේකම් ධුරයට යෝජනා විය. ඒ ඔස්ටින් ප්‍රනාන්දු ජනපති ලේකම් ධුරයෙන් ඉවත් වීමෙන් පසුවය. එනමුත් ඒ මොහොතේ ජනාධිපති ලේකම් ලෙස පත් වූයේ උදය ආර්. සෙනෙවිරත්නය.

නව ජනපති ලේකම් ලෙස පත් වූ ගාමිණී සෙනරත් ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ආදි සිසුවෙකි. මහින්ද රාජපක්ෂ යුගයේ විවිධ රාජ්‍ය ආයතන රැසක සභාපති ධුර දරා ඇති ඔහු එකල ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ද රාජකාරි කළේ ය.

නව ලේකම්වරු දෙදෙනා ජනවාරි මාසයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතය. සියලුම අමාත්‍යාංශවල ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරුන්ටද ජනාධිපතිවරයා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත් වූයේ පසුගිය අඟහරුවාදා (28 වැනිදා) ය. ඊට සහභාගිවන ලෙස ආරාධනා පත්‍ර යොමුකර තිබුණේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරය. එහෙත් සුහද හමුව ඔහු වර්ජනය කළේ ය. සුහද හමුව මෙහෙය වූයේ අගමැති ලේකම් ගාමිණී සෙනරත් වීමද විශේෂත්වයකි.

මෙම සුහද හමුවට ලේකම්වරුන්ගේ බිරින්දෑවරුන් ද සහභාගි වී සිටියහ. ජනාධිපතිවරයා සෑම මේසයකටම ගොස් ප්‍රශ්න, ගැටලු කතා කළේය. සෑම ප්‍රශ්නයකදීම ජනාධිපතිවරයා කියා සිටියේ ‘අලුත් ලේකම් එනවානේ. එයත් එක්ක කතා කරන්න.’ යනුවෙනි. පී.බී. ජයසුන්දර ජනවාරි තුන්වැනිදාට ප්‍රථම ලේකම් ධුරයෙන් යන බවට වාර්තා වුවත් ඔහු නිවාඩු දමා කුරුණෑගල ප්‍රදේශයේ සිය නිවසට වී සිටින බවද වාර්තා වෙයි. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමෙරිකා සංචාරය නිමවා දිවයිනට පැමිණෙන තුරුය. පී.බී. ජයසුන්දර මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත්කර ගැනීම මුදල් අමාත්‍යවරයාගේ අපේක්ෂාව වී ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

පී.බී. ජයසුන්දර ලේකම් ධුරයෙන් ඉවත්වන බවට ජනාධිපතිවරයා වෙත ලබා දුන් ලිපිය ද මෙතෙක් මාධ්‍යයට ලැබුණේ නැත. එම ලිපියෙන්ද අමාත්‍ය විමල් වීරවංශ දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති බව වාර්තා වෙයි.

උදයජීව ඒකනායක
Aruna

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *