අත්තනගල්ල ප්‍රදේශයේදී සිදුකළ රුපියල් 44 ලක්ෂයේ කොල්ලකරුවන් කොටු වූ හැටි

අත්තනගල්ල ප්‍රදේශයේදී සිදුකළ රුපියල් 44 ලක්ෂයේ කොල්ලකරුවන් කොටු වූ හැටි

*********************************************

අත්තනගල්ල ප්‍රදේශයේදී සිදුකළ රුපියල් 44 ලක්ෂයේ කොල්ලකරුවන් කොටු වූ හැටි

(31.12.2021 – 17:07 +0530 – hirunews.lk/sinhala)

අත්තනගල්ල ප්‍රදේශයේදී සිදුකළ මංකොල්ලයක් සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් අත්තනගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 45 ක මුදලක් මංකොල්ල කා පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ව්‍යාපාරිකයා විසින් මුදල් රැගෙන නිවසින් පිටවන අවස්ථාවේ වෑන් රථයකින් පැමිණි පුද්ගලයින් සිව් දෙනෙකු (4) එම මංකොල්ලය සිදුකර තිබෙනවා.

සෙසු සැකකරුවන් සොයා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ රුපියල් ලක්ෂ 16 ක මුදලක් සහ ගිණි අවි දෙකක් (2) ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් විසින් මෙම මංකොල්ලය සිදුකළ අයුරු CCTV කැමරාවක මෙලෙස පටිගතව තිබුණා.

***************************************

TRC අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

(31.12.2021 – 17:38 +0530 – hirunews.lk/sinhala)

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) අධ්‍යක්ෂ ජනරාල් ඕෂද සේනානායක සිය ඉල්ලා අස්වීම භාර දුන් බව පවසනවා. ඔහු 2019 නොවැම්බර් මාසයේදී TRCSL හි අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් වූ අතර වසර දෙකකට (2) අධික කාලයක් ඔහු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළා ෴

***************************************

ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු බද්ද පහතට

(31.12.2021 – 17:49 +0530 – hirunews.lk/sinhala)

2022 ජනවාරි පළමු වැනිදා (01) සිට ක්‍රියාත්මක වන පරිදි අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු (බොම්බයි ලූණු) සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 30 කින් අඩු කිරීමට මුදක් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මීට හේතු වී ඇත්තේ, මේ දිනවල වෙළෙඳපොළේ අදාළ භාණ්ඩ දෙකෙහි (2) පවතින ඉහළ මිල මට්ටම පහළට ගෙන ඒමයි.

මේ සඳහා 2007 අංක 48 දරණ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්තිය යටතේ අංක 2260/72 දරණ 2021.12.31 දිනැති ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතර සිමෙන්ති කොට්ටයක මිල යළි ඉහළ දමන ලෙස සිමෙන්ති ආනයනකරුවන්ගේ සංගමය පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව, රුපියල් 100 කින් පමණ සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමන ලෙස ඉල්ලීමක් සිදුකළ බවයි එම සංගමයේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ වනවිට කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1275 ක් ලෙස සටහන් කර තිබුණ ද ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවන් රුපියල් 1350 සිට 1450 දක්වා වන මිලකට සිමෙන්ති අලෙවි කරනු ලබනවා ෴

***************************************

ජනපති – අගමැති කිරිවෙහෙරට

(31.12.2021 – 18:08 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (31) පස්වරුවේ කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

ලබන්නා වූ නව වසරට සෙත් පතා ඓතිහාසික කතරගම පූජා භූමියේ පැවැත්වෙන ආගමික වතාවත්වලට සහභාගී වීමටයි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කතරගම පුදබිමට පැමිණ ඇත්තේ.

අනතුරුව කිරිවෙහෙර රජමහා විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ධම්මින්ද හිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විචාරමින් කෙටි පිළිසඳරක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ සහ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දිශාන් ගුණසේකර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා ෴

***************************************

නව වසරේ උදාව පිළිගැනීමට රටම සූදානම්

(31.12.2021 – 19:00 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවාසීන්ට 2022 නව වසර ආරම්භ වීමට තවත් ඇත්තේ තවත් හෝරා 6 කටත් අඩු කාලයක්.

නව වසරේ උදාව මුලින්ම සටහන් වුණේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් වාසීන්ටයි.

වසරේ අවසන් දිනය වන අද (31) දිවයිනේ ප්‍රසිද්ධ වෙහෙර විහාරවල වැඩි වශයෙන් බැතිමතුන් ගැවසෙන තත්ත්වයක් දක්නට නොලැබුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ හිඟය හේතුවෙන් ජනතාව අදත් (31) පෝලිම්වල සිටි අවස්ථා වාර්තා වූ අතර දැඩි දුෂ්කරතා හමුවේ වුව ද නව වසර උදාව පිළිගැනීම සඳහා ජනතාව සූදානමින් සිටිනවා.

කෙසේ වෙතත්, අදත් දඹුල්ල, බණ්ඩාරවෙල ඇතුළු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පැවතියා.

එසේම, ප්‍රදේශ රැසක වෙළදසැල් වල සුදු සීනී, නාඩු හා කැකුළු සහල් මෙන්ම කිරිපිටි ද මිල දී ගැනීමට නොතිබූ බවයි වාර්තා වන්නේ ෴

***************************************

අභියෝග පැමිණිය ද ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම ඇමති කියයි

(31.12.2021 – 19:03 +0530 – hirunews.lk/sinhala)

කොතරම් අභියෝග පැමිණිය ද හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය නිවැරදි තීරණයක් බැවින් ජනාධිපතිවරයා සහ රජය එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැපවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ ප්‍රකාශ කළා.

එම අමාත්‍යාංශයට පත් වු නව ලේකම් ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක සහ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමග අද (31) පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

තමන් මීට පෙර අමාත්‍ය ධුර රැසක කටයුතු කර ඇති අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය මාෆියාවන් ක්‍රියාත්මක වන ස්ථානයක් බවයි අමාත්‍ය මහින්දානන්නද අලුත්ගමගේ කියා සිටියේ.

පොහොර හා වී ක්ෂේත්‍ර වල මාෆියාවන් වැඩි වශයෙන් සිදු වන බව ද එහිදී ඔහු පෙන්වා දී තිබෙනවා.

මේ අතර අදත් (31) දිවයිනේ ප්‍රදේශ කිහිපයක පොහොර ඉල්ලා ගොවින් විරෝධතාවල නිරත වුණා.

ඇතැමුන් චෝදනා කළේ රජය ලබා දුන් කාබනික යෙදුවද ඉන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවූ බවයි.

කෙසේ වෙතත්, රටතුල ආහාර හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය සිදු කළ ඔහු මේ බව කියා සිටියේ.

***************************************

ආණ්ඩුවට කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ – තිස්ස අත්තනායක

(31.12.2021 – 19:15 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවට කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. ඔහු මේ බව සඳහන් කලේ අද (31) පැවති මාධ්‍ය හමුවකදී. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක පැවසුවේ අනිවාර්යෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු බවත් ඒ හරහා අපි අපේ රටේ ආර්ථිකයට අවශ්‍ය කරන මුදල් සොයා ගත යුතු බවයි.

***************************************

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡන්ද අයිතිය

(31.12.2021 – 20:50 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 18 සම්පූර්ණ කරන පුද්ගලයින් සඳහා ප්‍රධාන ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත්වීමට පෙර පරිපූරක ඡන්දහිමි නාමලේඛනයක් මගින් ඡන්ද බලය ලබාදීම සඳහා නෛතික ප්‍රතිපාදන සලසා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළා.

ඒ අනුව මෙහි ප්‍රථම අදියර ලෙස 2021.06.01 දින සිට 2022.01.31 දක්වා කාල පරිච්ඡේදය තුළ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන එනම් 2003.06.01 දින සිට 2004.01.31 දින දක්වා උපත ලැබූ පුරවැසියන්ගේ තොරතුරු YC ආකෘතියට ඇතුළත් කිරීම මගින් ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිවීම සඳහා ඉල්ලුම් කළ හැකියි ෴

***************************************

පිටි ප්‍රවාහනය කළ දුම්රියක් පීලි පැන කලාවැව අනතුරක්

(31.12.2021 – 21:42 +0530 – hirunews.lk/sinhala)

සීදුව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගනිමින් තිබූ විශේෂ දුම්රියක් කලා වැව දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක්ව තිබෙනවා.

අද (31) පස්වරුවේ සිදු වූ එම අනතුරෙන් පිටි ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන ගැල් 06 සහ නියාමක මැදිරිය සම්පූර්ණයෙන් ම පිටතට පැන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම අනතුරෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර, යළි දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දුම්රිය කාර්මික නිලධාරින් යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

මෙම සිද්ධිය හේතුවෙන් විජිතපුර – කලාවැව මාර්ගය අවහිර වීමෙන්, එම මාර්ගයේ ගමනාගමනය ද පැය කිහිපයකට ඇනහිටි‍යා.

එමෙන්ම කොළඹ – මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය ද ඇනහිට තිබූ බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් ඔමික්‍රොන් ආසාදිතයින් 41 ක් වාර්තා වෙයි

(31.12.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් නව ඔමික්‍රෝන් ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

සිය පර්යේෂණාගාරයේ සිදු කළ සාම්පල පරීක්ෂාවල දී මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර ඒ අනුව, එමගින් හඳුනා ගැනුණු මුළු ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 45 ක් බවයි ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ.

මේ නිසා වර්ධක එන්නත් ලබා ගනිමින් ඔබ සහ ඔබේ සමීපතමයින්ගේ ආරක්ෂාව තහවුරු කර ගන්නා ලෙස ඔහු ඉල්ලීමක් ද කළා.

කෙසේ වෙතත්, කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් මීට පෙර සනාථ කළ ඔමික්‍රෝන් ආසාදිතයින් 4 දෙනා ද සමග මුළු ආසාදිතයින් සංඛ්‍යාව 49 ක් බවට පත්විය යුතුයි.

කෙසේ වෙතත්, පසුගිය දා සෞඛ්‍ය වෘත්තීය සමිති අනාවරණ කළේ, වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් තහවුරු කළ ආසාදිතයින් ජාත්‍යන්තර වාර්තාවල සටහන් නො වන බවයි.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උපරිමව අනුගමනය කරමින් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ.

මේ අතර, මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (30) දිනයේදී 3 වන මාත්‍රාව නැතිනම් වර්ධක මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් මාත්‍රා 1,30,644 ක් ලබා දී තිබෙනවා.

ඒ අනුව, මෙතෙක් මෙරට ලබා දී ඇති මුළු වර්ධක එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 4 ඉක්මවනවා.

එම සංඛ්‍යාව සටහන් වන්නේ 4,06,720 ක් ලෙසයි.

++++++++++++++

කොරෝනා ආසාදිතයින් 181 ක් පූර්ණ සුවයට

(31.12.2021 – 16:00 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 181 දෙනෙකු අද (31) දිනයේදී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ සමග වෛරසය ආසාදිතව සුවය ලැබූ මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 5,60,675 ක්. කෙසේවෙතත් කොරෝනා වෛරසය ආසාදිතව මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 14,962 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට අද (31) දිනයේදී පත්ව ඇති සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ සමග මෙරට වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 14,979 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 499 දෙනෙකු අද (31) දිනයේ දී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 5,87,245 ක්. තවදුරටත් වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 11,772 ක් වන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 5,60,494 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

++++++++++++++

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ තදින්ම පිළිපදින්න

(31.12.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දින කිහිපය සදහා වලංගු වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද (31) දිනයේදී නිකුත් කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

ජනවාරි පළමු වෙනිදා (01) යෙදෙන හෙට දිනය තුලදී සාද හෝ කුඩා උත්සව පැවැත්වීමේදී සෞඛ්‍ය උපදෙස් තදින්ම අනුගමනය කරන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මේ බව සඳහන් කලේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (31) පැවති කොවිඩ් 19 වැළැක්වීම පිළිබද ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *