ජීවත්ව සිටියා නම් මෙම ආණ්ඩුව ප්‍රභාකරන්ගෙන් ද ණය ඉල්ලන බවට විජයමුනි සොයිසාගෙන් ප්‍රකාශයක්

ජීවත්ව සිටියා නම් මෙම ආණ්ඩුව ප්‍රභාකරන්ගෙන් ද ණය ඉල්ලන බවට විජයමුනි සොයිසාගෙන් ප්‍රකාශයක්

*********************************************

ජීවත්ව සිටියා නම් මෙම ආණ්ඩුව ප්‍රභාකරන්ගෙන් ද ණය ඉල්ලන බවට විජයමුනි සොයිසාගෙන් ප්‍රකාශයක්

(31.12.2021 – 11:45 +0530 – hirunews.lk/sinhala)

අද වන විට ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් ජීවත්ව සිටියා නම් මේ රජය ඔහුගෙනුත් ඩොලර් ණයක් ඉල්ලන බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ, අද (31) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදීයි.

එහිදී පැරණි රජ කතාවක් ද සිහිපත් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, අද මෙරට නායකත්වය කියන දේ කිරීමටත්, යමක් හිතලා කිරීමටත් නො හැකි නායකත්වයක් බවට පත් ව ඇති බවයි.

එමෙන්ම නිසි අරමුණකින් තොරව රට අයාලේ යන බවත් ආර්ථිකය ගොඩ ගැනීමට පිළිගත හැකි වැඩපිළිවෙළක් මේ රජයට නො මැති බවත් ඔහු කියා සිටියා.

අද වන විට ප්‍රභාකරන් ජීවත්ව සිටියා නම් “අනේ මචෝ අපට ටිකක් අමාරුයි කීයක් හරි දීපං, රටෙන් කෑල්ලක් හරි දෙන්නං” කියල අනිවාර්යෙන් ඒ වැඩේ කරනවා කියා ඔහුගෙනුත් ඩොලර් ඉල්ලීමට පසුබට නොවන මට්ටමට මේ රජය ඇද වැටී ඇති බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ හිටපු අමාත්‍ය විජිත් විජයමුණි කියා සිටියේ, හිසරදයට කොට්ට මාරු කරන්නාක් මෙන් ජනාධිපති ලේකම්වරු මාරු කිරීම සාර්ථක වැඩපිළිවෙළක් නො වන බවයි.

පී.බී. වෙනුවට ගාමිණී සේදර ජනාධිපති ලේකම්වරයා ලෙස තෝරා පත්කර ගැනීම හිටපු අමාත්‍යවරයා විග්‍රහ කරනු ලැබුවේ, එය ‘කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා සේ’ ක්‍රියාවක් බවයි.

***************************************

අත්තනගල්ලේ ව්‍යාපාරික නිවසක් කොල්ල කෑ සැකකරුවන් අත්අඩංගුවට

(31.12.2021 – 12:01 +0530 – hirunews.lk/sinhala)

= අත්තනගල්ලේ කොල්ලයට ඇල්ලූ සැකකරුවන් අතර ව්‍යාපාරිකයාගේ ඥාතියෙකුත් =

අත්තනගල්ල – හුණුපොල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට පහරදී රුපියල් ලක්ෂ 40 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු (3), ඒ සඳහා යොදාගත් විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර ව්‍යාපාරිකයාගේ බිරිඳගේ ඥාතියෙකුද සිටින බවයි අත්තනගල්ල පොලිසිය සඳහන් කළේ.

කොල්ලකන ලද මුදලින් රුපියල් 16,10,000 ක මුදලක් සහ සෙල්ලම් පිස්තෝලයක්ද සොයා ගැනුණා.

පොලිසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බවයි.

මෙම ව්‍යාපාරිකයා බැංකුවේ තැන්පත් කිරීම සඳහා සිය කැබ් රථයෙන් මෙම මුදල් රැගෙන නිවසින් පිටත් වී තිබෙනවා.

ගේට්ටුව වසන අවස්ථාවේ පැමිණි සැකකරුවන් ව්‍යාපාරිකයාගේ මුහුණ කොට්ට උරයකින් වසා පහර දී කැබ් රථය පැහැරගෙන ගොස් කොල්ලය සිදු කර තිබුණා.

කෙසේ වෙතත්, ඊයේ (30) දිනයේදීම පැහැරගත් ව්‍යාපාරිකයාගේ කැබ් රථය නිට්ටඹුව – වල්පොල – සුදු නෙළුම් මාවත ප්‍රදේශයේ දමාගොස් තිබිය දී පොලිසිය සොයා ගනු ලැබුවා.

***************************************

කුමාරි ඇල්ලේ අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම්

(31.12.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

හංවැල්ල – තුම්මෝදර – කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වූ දැරියක සහ තරුණිය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

පොලීසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව එම මෙහෙයුම සිදු කරන බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (30) පස්වරුවේ මොවුන් තවත් පිරිසක් සමග කුමාරි ඇල්ලේ දියනෑමට ගොස් තිබෙනවා.

තරුණියන් 5 දෙනෙකු සහ තරුණයන් 3 දෙනෙකු එම පිරිසට ඇතුළත්.

එහි දී එම ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් දියඇල්ලෙහි ජල පහර වැඩි වීමත් සමඟ තරුණිය (1) සහ දරුවන් දෙදෙනෙකු (2) සැඩපහරට හසුවුණා.

පසුව මෙම තිදෙනා (3) සොයා පොලීසිය මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟයි යාපනය ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරිය (1) සොයා ගනු ලැබුවේ.

අතුරුදන් වූ 16 සහ 29 හැවිරිදි දෙදෙනා (2) සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඔවුන් දෙදෙනා (2) යාපනය සහ හැඳල ප්‍රදේශවල පදිංචිකරුවන්.

***************************************

අධිකරණයේ තීරණය ක්‍රියාත්මක කරන බවට ගෑස් සමාගම් වලින් ප්‍රතිඥා

(31.12.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීරණයට අනුව කටයුතු කිරීමට පියවර ගෙන ඇති බව පාරිභෝගික අධිකාරිය සහ අදාළ ගෑස් සමාගම් අද (31) අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ, ගෑස් කාන්දුවීම් හේතුවෙන් ඇති වූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු ගොනුකර ඇති පෙත්සම මෝසමක් මගින් අද (31) කැඳවූ අවස්ථාවේදීයි.

මෝසම මගින් ඔහු ප්‍රකාශ කර තිබුණේ, වෙළඳපොලට නිකුත් කර ඇති අනතුරුදායක ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පාරිභෝගික අධිකාරිය සහ ගෑස් සමාගම් විසින් පැහැර හැර ඇති බවයි ෴

***************************************

ගෑස් පිපිරීමකින් හුණුපිටියේ නිවසක් ගිනිබත්

(31.12.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

ගෑස් කාන්දුවක් හේතුවෙන් හට ගත් ගින්නකින් වත්තල – හුනුපිටිය – ශාන්ති මාවතේ නිවසක් සමිපුර්ණයෙන් විනාශ වී තිබෙනවා.

අද (31) පස්වරුවේ මෙම ගින්න හට ගත් අතර, ඒ වනවිට නිවැසියන් ද එහි රැදී සිටියා.

කෙසේ නමුත් ඔවුන්ට ගින්නෙන් කිසිදු හානියක් සිදු වි නැහැ.

ගින්න පාලනය කිරිම සඳහා ගිනි නිවිමේ රථ දෙකක් (2) ද යොදවනු ලැබුවා.

මේ අතර, ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීරණයට අනුව කටයුතු කිරීමට පියවර ගෙන ඇති බව පාරිභෝගික අධිකාරිය සහ ගෑස් සමාගම් අද (31) අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ඒ, ගෑස් කාන්දුවීම් හේතුවෙන් ඇති වූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු ගොනුකර ඇති පෙත්සම මෝසමක් මගින් අද (31) කැඳවූ අවස්ථාවේදීයි.

මෝසම මගින් ඔහු ප්‍රකාශ කර තිබුණේ වෙළඳපොලට නිකුත් කර ඇති අනතුරුදායක ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පාරිභෝගික අධිකාරිය සහ ගෑස් සමාගම් විසින් පැහැර හැර ඇති බවයි.

මේ අතර, අදත් (31) දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව ගැස් මිලදි ගැනිම සඳහා දිගු පෝලිම් වල රැදි සිටින බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මහනුවර දී මාධ්‍යවේදින් නැඟු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ ගෑස් සමාගම් මිලදි ගැනිමට යම් පිරිසක් උත්සහ කිරිම හේතුවෙන් මෙම අර්බුදය මතු ඇති බවයි ෴

***************************************

ලාහොරයේ ශ්‍රී ලංකා ගරු කොන්සල් ජනරාල්වරයාට පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්ගෙන් පැසසුම්

(31.12.2021 – 15:28 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ සියල්කොට් නුවර දී සිදු වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනය සම්බන්ධ සිදුවීමේදී ලාහොර් ප්‍රාන්තයේ ශ්‍රී ලංකා ගරු කොන්සල් ජනරාල්වරයා වශයෙන් කටයුතු කරන යාසීන් ජායියාගේ සේවය අගයමින් පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපියෙන් මෙම කනගාටුදායක අවස්ථාවේදී ලාහොර් ගරු කොන්සල් ජනරාල්වරයා කටයුතු කළ ආකාරය පැසසුමට ලක් කරන බවත් ඔහුගේ ක්‍රියා කලාපය හරහා ප්‍රියන්ත කුමාරගේ දේහය වහා දිවයිනට ගෙන ඒමට හැකි වූ බවත් පෙන්වා දී තිබෙනවා.

එම අවස්ථාවේදී ලාහෝර් ප්‍රදේශයේ සිටි අනෙකුත් ශ්‍රී ලාංකිකයින්ගේ විශේෂයෙන් ශ්‍රී ලාංකික සිසු දරුවන්ගේ බිය සැක දුරු කිරීමට ඔහු කටයුතු කළ ආකාරය සම්බන්ධයෙනුත් මෙම ලිපියෙන් ප්‍රශංසාව පිරිනමා තිබෙනවා.

එමෙන්ම ප්‍රියන්ත කුමාර ඝාතනයට ලක්වූ සියල්කොට් ප්‍රදේශය සහ ශ්‍රී ලංකා මහාකොමසාරිස් කාර්යාලය පවතින ඉස්ලාමාබාද් නුවර අතර පවතින භූමියේ දුරස්ථභාවය කොන්සල් ජනරාල්වරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් සමීප වූ බවයි මෙම ලිපියෙන් දැක්වෙන්නේ.

එමෙන්ම ගරු කොන්සල් ජනරාල් යාසීන් ජායියා මෙම සිදුවීමේදී ක්‍රියාත්මක වූ ආකාරය එම තනතුරට උපරිම සාධාරණත්වය ඉටු කර දී තිබෙන බවත් ශ්‍රී ලංකා මහ කොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම එම ලිපියෙන් අවධාරණය කරනවා.

***************************************

මෙරට ප්‍රධාන නගරයේ ආරක්ෂාව තර කරයි – බුද්ධ අංශ නිලධාරීනුත් සීරුවෙන්

(31.12.2021 – 15:28 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාත ආශ්‍රිතව පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ බීමතින්, මාර්ග නීති උල්ලංඝනය කරමින් සහ මාර්ගයේ අධික වේගයෙන් ගමන්කරන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම ගාලුමුවදොර ප්‍රදේශයේ විශේෂ ස්ථානයක රථගාල් සකස් කර ඇති අතර, රාත්‍රිය පුරා රථවාහන පොලිස් නිලධාරීන් රාජකාරී සදහා අනුයුක්ත කර ඇති බව ඔහු සඳහන් කළා.

මහජනතාවට හිරිහැර වන අයුරින් හැසිරෙන පුද්ගලයින් සෙවීම සදහා කොළඹ නගරයේ ස්ථාන රැසකට බුද්ධ අංශ නිලධාරීන් ද අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම කොවිඩ් නීති උල්ලංගණය කරමින් කටයුතු නොකරන්නන්ට එරෙහිව ද පියවර ගැනීමට පොලීසිය කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව වැඩිදුරටත් පැවසුවා ෴

***************************************

ඔබතුමාලා මහ බැංකුවට ගිහිල්ලා ණයවර ලිපි විවෘත කර දෙන්නේ නම් අපි ගෑස් දෙනවා – ලාෆ් ගෑස් සභාපති පාරිභෝගිකයන්ට කියයි

(31.12.2021 – 15:47 +0530 – hirunews.lk/sinhala)

මහ බැංකුව විසින් ගෑස් ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සහ ඒ සඳහා අවශ්‍ය කරන ණයවර ලිපි විවෘත කිරීමට පහසුකම් සලසන්නේනම් හිඟයකින් තොරව ගෑස් බෙදාහැරීමට සිය සමාගම සූදානම් බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය පවසනවා.

දකුණු ආසියාවේ විශාලතම ගෑස් ගබඩාව සිය සමාගම සතු බවත් එහි ඇති ගෑස් මෙරට වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම තමන්ට බරපතළ ප්‍රශ්නයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම මේ ආකාරයේ ගෑස් අර්බූදයක් රට ඉදිරියේ ඇති බව අදාළ බලධාරීන් හට තමන් දැනුම් දෙන්නේ මීට මාස ගණනාවකට පමණ පෙර බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් තමන් සිදු කළ ඒ අනතුරු ඇඟවීම් අදාළ බලධාරීන් කණකට නොගත් බවයි ඔහු කියා සිටියේ.

ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා මේ අදහස් පළ කළේ අද (31) උදෑසන ‘එක්සත් ස්වයං රැකියා හිමියන්ගේ සංගමයේ’ සභාපතිවරයා ලාෆ් ගෑස් සමාගම ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පවත්වමින් සිටි අතරවාරයේ පැමිණ ඔහු හමුවීමෙන් අනතුරුවයි.

“ඔබතුමන්ලා මහ බැංකුවට ගොස් අපට ණයවර ලිපි විවෘත කර දෙන්නේ නම් සතියක් ඇතුළත රටේ ගෑස් හිගය මග හැරවීමට අපේ සමාගම සූදානම්” ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

***************************************

ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ තවත් ගීත 20 කට වාරණ නියෝගයක්

(31.12.2021 – 16:00 +0530 – hirunews.lk/sinhala)

ජනප්‍රිය සංගීත කණ්ඩායමක සාමාජිකයින් දෙදෙනෙකුට (2) එරෙහිව අධිකරණය මගින් පනවා ඇති වාරණ නියෝගයක් තවත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව, ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායම විසින් ගායනා කරන ‘මොඩ් ගොවියා’ සහ ‘සුන්දරියේ’ යන ගීත ඇල්බම් වල අඩංගු ගීත විස්සක් (20) ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු (2) වෙත නිකුත් කර ඇති වාරණ නියෝගය ලබන 12 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කළා.

එම පැමිණිල්ල අද (31) කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ඒ. මරික්කාර් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අදාළ වාරණ නියෝගය ලබන 12 වනදා දක්වා දීර්ඝ කිරීමට විනිසුරුවරයා නියම කළ බව අප අධිකරණ වාර්තාකරු පැවසුවා.

එම සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ විසින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරු කියා ඇත්තේ තමා සහ මෙම නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනා (2) හා එක්ව ‘ජය ශ්‍රී’ යනුවෙන් සංගීත කණ්ඩායමක් පිහිට වූ බවයි.

වගඋත්තර කරුවන් දෙදෙනා (2) මේ වනවිට සංගීත කණ්ඩායමෙන් ඉවත්ව සිටින බවත් ඔවුන් තමන්ගේ අනුමැතියකින් තොරව එම සංගීත කණ්ඩායම විසින් සම්පාදනය කළ ‘මොඩ් ගොවියා’ සහ ‘සුන්දරියේ’ යන ගීත ඇල්බම්වල අඩංගු ගීත ගායනා කරන බවත් එය බුද්ධිමය දේපල පනතට පටහැනි බවත් පැමිණිලිකරු අධිකරණය හමුවේ සඳහන් කළා ෴

***************************************

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විදේශ මුදල් තැන්පතු සඳහා උපරිම පොළී අනුපාතයක්

(31.12.2021 – 16:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ මුදල් තැන්පතු සඳහා නව උපරිම පොළී අනුපාත පනවා තිබෙනවා.

ඒ අනුව වසරක දී කල් පිරෙන විදේශ මුදල් තැන්පතුවක් වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පතකට අවසාන කාර්තුවේ දී ගෙවනු ලබන පොළී අනුපාතය හෝ සියයට 5 ක පොළී අනුපාතය අතුරින් වැඩි අගයක් ගන්නා පොළී අනුපාතය මේ අනුව විදෙස් මුදල් තැන්පතු සඳහා ගෙවනු ඇති ෴

***************************************

ගර්භණී කාන්තාවක් සහ පුද්ගලයෙකු හෙරෝයින් සමග අත් අඩංගුවට

(31.12.2021 – 16:28 +0530 – hirunews.lk/sinhala)

29 හා 30 දෙදින තුල කලුතර බන්ධනාගාරයේ බන්ධනාගාරගත රැඳවියන් බැලීමට පිටතින් පැමිණි පුද්ගලයෙක් හා ගර්භණී කාන්තාවක් රාජකාරි සදහා යොදවන ලද නිලධාරීන් විසින් හෙරෝයින් සමග අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තහනම් ද්‍රව්‍ය බත් පාර්සලයක් තුල හා රැඳවියන්ට ලබාදිමට රැගෙන ආ කලිසමක් තුල තිබි අත් අඩංගුවට ගෙන ඇති අතර, මත් ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයා සහ ගර්භණී කාන්තාව අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සමග ඉදිරි කටයුතු සදහා කලුතර උතුර පොලිස් ස්ථානයට භාර දී තිබෙනවා.

පසුගිය දින වල කලුතර බන්ධනාගාරයට පිටස්තර පුද්ගලයින් විසින් තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සල් විසිකරන ලද මුත් මේ වන විට කලුතර බන්දනාගාරයේ ඇතුලත හා පිටතින් CCTV කැමරා පද්ධතියක් සවිකර තිබීම නිසා බන්ධනාගාරය තුලට තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සල් විසිකිරිමට ද නොහැකි වී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *