ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමෙන් ‘ලංකා’ නාමය හැලුවේ ඇයි ?

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමෙන් ‘ලංකා’ නාමය හැලුවේ ඇයි ?

*********************************************

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමෙන් ‘ලංකා’ නාමය හැලුවේ ඇයි ?

(31.12.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අදාළව ඉන්දියාව සමඟ අත්සන් කිරීමට ඇති ගිවිසුමෙහි සැඟ වූ තවත් ගිවිසුමක් පවතින බැවින් ලංකා නාමය ඉවත් වී ඇති බව ‘සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ’ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසනවා.

එසේ ලංකා නාමය ඉවත් වීමට හේතු වී ඇත්තේ, බහුතරය ඉන්දියාවට පාලනය කිරීමට ඉඩ හැරීම බවයි කොළඹ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා ‘ට්‍රින්කො පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ්’ නමින් නව සමාගමක් පිහිටුවීමට කටයුතු කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පසුගිය දා ප්‍රකාශ කළා.

තෙල් ටැංකි කළමනාකරණය කිරීම සඳහා ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ පාලිත සමාගමක් ලෙස මෙය ස්ථාපිත කර ඇති අතර, ඉන්දියාව සමග ඊට අදාළ ගිවිසුම්ගතවීම ඉදිරියේ දී සිදු කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා එහි දී කියා සිටියේ.

කෙසේ වෙතත්, ‘සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ’ කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කරන්නේ ‘ට්‍රින්කො පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ්’ නව සමාගමෙන් ලංකා නාමය ඉවත් වීමට හේතුව බහුතරය ඉන්දියාවට පවතින බැවින් බවයි.

මේ අතර, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම පිළිබඳව වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සඳහා අද (31) බලශක්ති අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් ද පැවැත්වීමට නියමිත යි ෴

+++++++++

ත්‍රිකුණාමල තෙල් ටැංකි 99 න් 85 ක පාලනය ලංකාවට බව ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

(31.12.2021 – 11:06 +0530 – hirunews.lk/sinhala)

ලංකා අයි.ඕ.සී. සමාගම විසින් මේ වනවිටත් කළමානාකරණය කරන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 14 ක් තවත් වසර 50 ක කාලයක් සඳහා එම සමාගමට ම බදු දීමට සැරසෙන බව වාර්තා වෙනවා.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසන්නේ, ලංකා අයි.ඕ.සී සමාගමට එම තෙල් ටැංකි එලෙස බදු දෙන අතර වාරයේ ඉතිරි තෙල් ටැංකි 61 අලුතින් ස්ථාපිත කරන ‘ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් සමාගම’ යටතේ හවුලේ කළමනාකරණය කරන බවයි.

මෙම නව සමාගමේ කොටස් 51% ක් ලංකා ඛනික තෙල් සංස්ථාව සතු වෙන අතර, ඉතිරි කොටස් 49% ක අයිතිය පැවරෙන්නේ, ලංකා අයි.ඕ.සී සමාගමට යි.

මේ අතර, මෙම නව සමාගමෙන් ශ්‍රී ලංකා එසේත් නොමැති නම් දැනට මෙරට තෙල් බෙදාහැරීම සිදු කරන සමාගම භාවිත කරන ‘සිලෝන්’ යන නාමය ඉවත් කිරීම සම්බන්ධයෙන් ද මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක් වුණා.

මීට පෙර ලංකා අයි.ඕ.සී සමාගමට තිස් අවුරුදු (30) බදු ගිවිසුමක් යටතේ ලබා දී තුබූ ත්‍රිකුණාමල තෙල් ටැංකි පර්‍යන්තය 2023 වසරෙ දී එම ගිවිසුම නිමා වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් මෙම නව පියවර සම්බන්ධයෙන් චෝදනා කරන විපක්ෂයේ දේශපාලඥයින් පවසන්නේ, නුදුරු අනාගතයේ දී ඇති වෙන උග්‍ර ඛනිජ තෙල් අර්බුදය සමනය කරගැනීමේ තාවකාලික පැලැස්තරයක් ලෙස මෙම ගිවිසුම භාවිත කරන බව යි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදින් විසින් ත්‍රිකුණාමලයේ අක්කර 123 ක භූමි ප්‍රදේශයක් පුරා ගොඩනංවා ඇති මෙම තෙල් ටැංකි සංකීර්ණයට මහා පරිමානයේ තෙල් ටැංකි 99 ක් ඇතුළත්.

ඒ අතු‍රෙන් තවමත් තෙල් ටැංකි 75 කට ආසන්න ප්‍රමාණයක් යහපත් ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනවා.

***************************************

කුමාරි ඇල්ලට බිලි වූ 16 හැවිරිදි සිසුවියගේ සිරුර සොයාගැනෙයි

(31.12.2021 – 06:49 +0530 – hirunews.lk/sinhala)

හංවැල්ල – තුම්මෝදර – කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් දැරියන් දෙදෙනෙකු (2) සහ තරුණියක් (1) දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

වයස අවුරුදු 14 ක සහ 16 ක දැරියන් දෙදෙනෙකු මෙන්ම 29 හැවිරිදි තරුණියක් මෙලෙස අතුරුදන්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

හැඳල සහ යාපනය ප්‍රදේශවල පදිංචි මොවුන් තවත් පිරිසක් සමඟ ඊයේ (30) පස්වරුවේ දිය නෑමට ගොස් ඇති අතර, එම අවස්ථාවේදීයි ඔවුන් දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ.

අතුරුදන්වූ 16 හැවිරිදි දැරියගේ මෘත ශරීරය සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඇය, යාපනය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, අතුරුදන්වූ 14 හැවිරිදි දැරිය සහ 29 හැවිරිදි තරුණිය සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ සඳහා පොලීසිය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

***************************************

දිය යට ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන 107 ක තොරතුරු අන්තර්ජාලයට

(31.12.2021 – 07:32 +0530 – hirunews.lk/sinhala)

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් දිය යට පවතින ස්ථාන 107 ක් පර්යේෂණාත්මක අධ්‍යයනයකින් හඳුනාගෙන තිබෙනවා.

ඒවා බෞද්ධ තොරතුරු පද්ධතියට ඇතුළත් කර ඇති අතර, මධ්‍යම සංස්කෘතික අරමුදලේ https://ccf.gov.lk ඔස්සේ ඉදිරියේ දී යාවත්කාලීන වනු ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

පුරාවිද්‍යා ස්ථාන යටතේ දියේ ගිලුණු නෞකා 101 ක් සහ ගුවන් යානා 06 ක් පිළිබඳව තොරතුරු හඳුනාගෙන තිබෙනවා.

එම සිදුවීම්වල ඉතිහාසය, ඡායාරූප සහ වීඩියෝ බෞද්ධ තොරතුරු පද්ධතිය ඔස්සේ අන්තර්ජාලයට එක් කිරීමට කටයුතු කෙරෙනු ඇති.

සංචාරක කර්මාන්තයට දායක වෙමින් මෙම ස්ථාන දෙස් විදෙස් සංචාරක ගමනාන්ත බවට පත් කිරීම මෙහි අරමුණයි.

දිවයින පුරා පිහිටි සියලු ම බෞද්ධ විහාරස්ථානවල තොරතුරු ඇතුළත් තොරතුරු පද්ධතිය ජනගත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනවල සිදු කෙරුණා.

ඊට අදාළවයි මෙම දියයට පිහිටි පුරාවිද්‍යා ස්ථාන 107 පිළිබඳ තොරතුරු හෙළිදරව් කෙරෙන්නේ.

***************************************

පොහොර හිඟය හේතුවෙන් මලක මිල ඉහළ යයි

(31.12.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

පොහොර ගැටලුව හේතුවෙන් වෙළෙඳපොළේ මලක මිල ඉහළ ගොස් තිබෙනවා.

මල් වගාකරුවන් සඳහන් කළේ, මලක් රුපියල් පහේ (5) සිට රුපියල් අට (8) දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර, එළවළු මිල අසාධාරණ ලෙස ඉහළ දැමීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳ පරීක්ෂා කිරීමට විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බව වී හා ධාන්‍ය කාබනික ආහාර හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසනවා.

ඔහු කියා සිටියේ, මෙලෙස විශාල වශයෙන් එළවළු මිල ඉහළ නැංවීමෙන් අතරමැදියන් අධික ලාභයක් උපයන බවයි.

මේ අතර, සෑම වසරකම මහ කන්නයේ දී කුඹුරු හෙක්ටයාර ලක්ෂ 0ක ප්‍රමාණයක් වගා කෙරෙන අතර, මෙවර හෙක්ටයාර 7,54,000 කට වැඩි ප්‍රමාණයක වී වගා කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කළා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, පවතින පොහොර අර්බුදය හමුවේ ගොවීන් කෘෂිකර්මාන්තයෙන් දුරස්වීම සහ අස්වනු අඩු වීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

වී වගාව සඳහා අවශ්‍ය පොහොර රජය මගින් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කළ ගොවීන් මේ වනවිට පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

ඒ ගොයම් ගස් කහ පැහැ ගැන් වී වර්ධනය බාලවීම හේතුවෙන්.

පොහොර නො මැතිකමින් බලපෑමට ලක් වූ ගොවීන්ට වන්දි ලබාදීම සඳහා දැනටමත් කෘෂිරක්ෂණ මණ්ඩලය සමග වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ කියා සිටියේ ෴

***************************************

පොල් පැළ ජාවාරමක් ගැන විමර්ශන

(31.12.2021 – 07:52 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ලේබල භාවිත කරමින් විවිධ පුද්ගලයින් පොල් පර්යේෂණ ආයතනයේ සහතික කළ පොල් පැළ නමින් අධික මිලට ව්‍යාජ පැළ නිකුත් කරන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඊට අදාළ ව පැමිණිලි රැසක් ලැබී ඇති බවයි පොල් පර්යේෂණ ආයතනය සඳහන් කළේ.

නිර්දේශිත පොල් පැළ සහතික කිරීම සිදු කෙරෙන්නේ පොල් පර්යේෂණ ආයතනය සහ පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් පමණයි. එය වර්ණ 09 කින් සමන්විත ලේබලවලින් නිකුත් කෙරෙන අතර, අදාළ පොල් පැළ ලබාගත හැක්කේද ලියාපදිංචි පැළ තවාන්වලින්.

එසේම දෙමුහුන් පොල් පැළ වර්ග පොල් පර්යේෂණ ආයතනයෙන් පමණක් ලබාගත හැකියි.

කෙසේ වෙතත්, පොල් පැළ විවිධ රටවලින් ආනයනය කර ඇති බව පවසමින්, වගාකරුවන් නො මඟ යවන අවස්ථා පිළිබඳව ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකාවට විදෙස් රටවලින් පොල් පැළ ආනයනය කිරීමට නීතිමය අවසරයක් නොමැති අතර, මෙලෙස නීතිවිරෝධී පොල් පැළ අලෙවි කිරීම සම්බන්ධයෙන් ළඟම පොලිසියට හෝ 1928 ක්ෂණික අංකයට දැනුම් දෙන ලෙසයි පොල් පර්යේෂණ ආයතනය ඉල්ලා සිටින්නේ ෴

***************************************

ඉදිරි වෘත්තිය ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවට 3 වැනි දා විශේෂ රැස්වීමක්

(31.12.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

2022 වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව ඇතුළු ගැටලුවලට අදාළ ව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන 03 වැනි දා විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය හංසමාල් වීරසූරිය ඊයේ (30) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, හෙට (01) සිට බලාත්මක විය යුතු 2022 වාර්ෂික ස්ථාන මාරු ලයිස්තුව මෙතෙක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කටයුතු කර නො මැති බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් වෛද්‍යවරුන් පසුගිය 21 වැනි දා දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක කළ අතර, ඒ හේතුවෙන් රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත් වුණා ෴

***************************************

පොදු ස්ථානවල දුම් බොන්නන් සෙවීමට ජංගම දුරකතන යෙදවුමක්

(31.12.2021 – 08:02 +0530 – hirunews.lk/sinhala)

පොදු ස්ථානවල දුම්වැටි භාවිතා කරන පුද්ගලයන් සෙවීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී තිබෙනවා.

ඒ, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසයි.

ඒ අනුව මෙම යෙදවුම බාගත කරගෙන පොදු ස්ථානවල දුම්වැටි භාවිතා කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ඕනෑ ම අයෙකුට දැනුම් දිය හැකි වනවා.

කොළඹ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක දී දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ කියා සිටියේ ඉදිරියේ දී දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ පනත සංශෝධනය කිරීමටද කටයුතු කරන බවයි.

මෙරට දුම්වැටි භාවිතය අවම කිරීමේ අරමුණින් දුම්වැටි මිල වාර්ෂිකව ඉහළ නැංවීම සඳහා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් හඳුන්වා දී ඇති දුම්වැටි බදු සූත්‍රය ද මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා ෴

***************************************

මාස විස්සකින් (20) වැඩි ම සංචාරක ආගමනය දෙසැම්බරයේ

(31.12.2021 – 08:47 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට සංචාරකයන් 70,000 කට අධික පිරිසක් පැමිණ ඇති අතර, එය, කොරෝනා වසංගතයට ගොදුරු වූ පසුගිය වසරේ මාර්තු මාසයෙන් අනතුරු ව වාර්තා වූ ඉහළ ම මාසික සංචාරක ආගමනයයි.

එය, මාස විස්සකින් (20) වැඩි ම සංචාරකයන් පැමණි මාසය ද සලකුණු කරනවා.

දෙසැම්බර් 29 වැනි දා දක්වා දත්ත සැලකූ විට ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් 69,941 ක් පැමිණ ඇති අතර, ඒ අනුව වසර තුළ දිවයිනට පැමිණි මුළු සංචාරකයන්ගේ සංඛ්‍යාව 1,74,930 දක්වා ඉහළ යනවා.

දෙසැම්බරයේ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් එනම්, 19,574 ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.

රුසියාවෙන් සංචාරකයන් 7,951 ක් පැමිණ ඇති අතර, දෙසැම්බරයේ එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 6,819 ක්.

එළඹෙන 2022 වසරේ දී දිවයිනට මාසික ව සංචාරකයින් ලක්ෂයක් (1,00,000) පමණ පැමිණෙනු ඇතැ යි සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂා පළ කරනවා.

කෙසේ නමුත් එය, 2,018 වසරේ දිවයිනට පැමිණි සංචාරකයින්ගෙන් 50% ක ප්‍රතිශතයක් ෴

***************************************

මත්පැන් බෝතල්වලට ආරක්ෂිත ස්ටිකරයක්

(31.12.2021 – 09:31 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී මත්පැන් හඳුනා ගැනීම මෙන්ම, නීතිවිරෝධී ලෙස ආනයනය කරන මත්පැන් වෙළඳපොලට ඇතුළුවීම වැළැක්වීම සඳහා දේශීයව නිෂ්පාදනය කරන සහ ආනයනය කරන මත්පැන් සඳහා ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම අනිවාර්ය කර තිබෙනවා.

ලබන සඳුදා (03) සිට මෙම ස්ටිකරයක ඇලවීම අනිවාර්ය කර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ.

එමෙන්ම, දැනට වෙළඳපොලේ ඇති මත්පැන් තොග අවසන් වීම සඳහා මාස 3 ක කාලයක් ලබාදෙන අතර, ලබන අප්‍රේල් මස පළමුවන (01) දා සිට සියලුම මත්පැන් තොග මත මෙම ආරක්ෂිත ස්ටිකරය තිබීම අනිවාර්ය වන බවයි සුරාබදු කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

***************************************

ඇවැසි මොහොතේ මිතුරා මඟ හැරි බවට සුබ්‍රමානියන් ස්වාමිගෙන් චෝදනා

(31.12.2021 – 10:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව, ඉන්දීය සාගරයේ දිගුකාලීන මිතුරෙකු ලෙස පවත්වා ගැනීමට නම් වත්මන් රජයට ඩොලර් බිලියන 10 ක ණය මුදලක් ලබාදිය යුතුව තිබූ බව ඉන්දීය භාරතිය ජනතා පක්ෂ දේශපාලනඥයෙකු වන ආචාර්ය සුබ්‍රමානියන් ස්වාමි පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, එසේ නො වුණ හොත් ශ්‍රී ලංකාව තුළ චීනයේ බලපෑම තවදුරටත් ඉහළ යා හැකි බවයි.

නරේන්ද්‍ර මෝදි රජය විදේශ ප්‍රතිපත්ති රැසකින් අසමත් වී ඇති අතර, ශ්‍රී ලංකාව තවත් උදාහරණයක් පමණක් බව යි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලනඥයෙකු වන ආචාර්ය සුබ්‍රමානියන් ස්වාමි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් මිතුරුදමක් අඛණ්ඩ ව පවත්වාගත යුතු බව අවධාරණය කරන නායකයෙක් ෴

***************************************

බදුල්ල නගරාධිපති ධුරයෙන් ඉවතට

(31.12.2021 – 11:29 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිංහ, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් විසින් ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

ඔහුගේ අත්සන සහිත ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර ඇති අතර, ඔහුව සේවයෙන් ඉවත්ව ගිය බවට සලකන බවයි එමගින් දක්වා ඇත්තේ.

ලබන වසරට අදාළ අයවැය මෙම වසරේ දී සම්මත නො කිරීම සහ පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනතට අනුව කටයුතු නො කිරීම හේතුවෙන් නගරාධිපතිවරයා ධුරයෙන් ඉවත් කර ඇති බව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් ප්‍රකාශ කළා.

ඒ අනුව, පුරප්පාඩුව පවතින තනතුරේ වැඩබැලීම සඳහා නියෝජ්‍ය නගරාධිපති නලින්ද රංගේ වෙත බලය පවරා තිබෙනවා ෴

***************************************

රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂයකට (1,15,00,000) අධික කේරළ ගංජා තොගයක් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

(31.12.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව 30 වැනි දින පුදුකුඩිඉරුප්පු පොලිස් වසමේ සුගන්ධි පුරම්, චලෛ මාර්ගයේ, කොළනිය රක්ෂිත ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර තිබෙනවා.

එහි දී කේරල ගංජා සන්තකයේ තබාගෙන සිටි තේරාවිල්, මඩකලපුව, උඩයාර්කට්ටු දකුණ, මුන්ගිල්ආරු යන ප්‍රදේශ වල පදිංචිකරුවන් පිරිසක් අත් අඩංගුවට ගත් බව වාර්තා වනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 30, 24, 24, 44 යන වයස්වල පසුවෙන් පිරිසක්.

ඔවුන් සතු ව කේරල ගංජා කිලෝ 89 යි ග්‍රෑම් 200 ක් තිබුණු බවට යි විශේෂ කාර්‍ය බලකාය වාර්තා කරන්නේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුදුකුඩිඉරුප්පු පොලිස් ස්ථානය මඟින් මෙහෙයවෙනු ඇති.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *