පොහොර නොමැතිකමින් පීඩාවට පත් ගොවි ජනයා රජයෙන් වන්දි ඉල්ලයි

පොහොර නොමැතිකමින් පීඩාවට පත් ගොවි ජනයා රජයෙන් වන්දි ඉල්ලයි

*********************************************

පොහොර නොමැතිකමින් පීඩාවට පත් ගොවි ජනයා රජයෙන් වන්දි ඉල්ලයි

(30.12.2021 – 22:28 +0530 – hirunews.lk/sinhala)

පොහොර නොමැතිවීම නිසා විනාශ වුණු තම වගාවන් සඳහා වන්දි ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

කෙසේවෙතත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසන්නේ කාබනික පොහොර භාවිතයෙන් සිදු කළ වගාවෙහි යම්කිසි අඩුවක් සිදු වී ඇද්ද යන්න දැඩි අධීක්ෂණයකින් අනතුරුව පමණක් ගොවීන් වෙත වන්දි ලබාදෙන බවයි.

වී වගාව සඳහා අවශ්‍ය පොහොර රජය මගින් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් මහ කන්නයේ වගා කටයුතු කළ ගොවීන් මේ වන විට පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

නිසි කලට පොහොර නොයෙදීම හේතුවෙන් ගොයම් ගස් කහ පැහැ ගැන්වී විනාශවීමේ අවධානමක් ඇතිව තිබෙනවා.

ගොවීන් බලධාරීන්ට බල කරනුයේ තම වගාවට සිදුව ඇති හානිය සඳහා කඩිනමින් නිසි වන්දියක් ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

මේ අතර උඩරට එළවලු වගාවට ප්‍රමාණවත් රසායනික පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය ඉල්ලා ඌව පරණගම උමා ඇළ වෙල්යායේදී ප්‍රදේශයේ ගොවීන් උද්ඝෝෂණයක නිරත වුණා.

පොහොර නොමැතිකමින් විනාශ වූ තම වගාවන්ට වන්දි ලබා දෙන ලෙස ඔවුන් ද රජයට බල කරනවා.

සිය වගා හානි සදහා ගොවීන් වන්දි ඉල්ලන පසුබිමක අප මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් විමසීක් කළා.

මේ අතර පවතින තත්ත්වය යටතේ ආහාර හිඟයක් ඇතිවන බවට පලවන අදහස් සම්බන්ධයෙන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රතිචාර දැක්වුවා.

මේ අතර දඹුල්ල නගරයේ කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවිසැල් කිහිපයක් වෙත අද (30) අලුයම් කාලයේ පොහොර තොග ලැබී ඇතැයි ආරංචියිකට වෙළඳසැල් ඉදිරිපිට ගොවීන් දිගු පෝලිම්වල සිටින අකාරය දක්නට ලැබුණා.

වෙළඳසැල්වලට කුමන පොහොර ලැබී ඇත්දැයි හෝ නොදැන ලොරි රථ නවතා තිබෙන නිසා තමන් මේ ආකාරයෙන් පෝලිම්වල සිට වී පොහොර මිලදී ගැනීමට සිටින බවයි ගොවීන් පැවසුවේ.

***************************************

ව්‍යාජ පොල් පැළවලට නො රැවටෙන්න – පොල් පර්යේෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්

(30.12.2021 – 20:28 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ලේඛන භාවිත කරමින් විවිධ පුද්ගලයින් විසින් පොල් පර්යේෂණ ආයතනය මගින් නිෂ්පාදිත සහතික කරන ලද පොල් පැළ නමින් අධික මිලකට ව්‍යාජ පැළ නිකුත් කරන බවට විවිධ පාර්ශ්වවලින් පොල් පර්යේෂණ මණ්ඩලයට මේ වන විට පැමිණිලි ලැබී ඇති බව එම මණ්ඩලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, පොල් පර්යේෂණ ආයතනය මගින් නිර්දේශිත පොල් පැළ සහතික කිරීම පොල් පර්යේෂණ ආයතනය සහ පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් පමණක් සිදු කරන අතර , ඔවුන් විසින් ප්‍රධාන වර්ණ කිහිපයක් ඒ සඳහා හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව සී.ආර්.අයි.සී. 60 හෙවත් තත්ත්වය සහතික කරන ලද පොල් පැළ නිල් පැහැයෙන් ද, සී.ආර්.අයි.සී. 65 වර්ගයේ පැළ කොළ පැහැයෙන් ද, සී.ආර්.අයි.එස්.එල්. 2020 පැළ ලා රෝස පැහැයෙන් ද, තක්සේරු පැළ තද රතු පැහැයෙන් ද, සී.ආර්.අයි.එස්.එල්. 98 පැළ තැඹිලි පැහැයෙන් ද, කප්සෙත පැළ වර්ගය කළු පැහැයෙන් ද හඳුන්වා ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම ගුරු පැහැයෙන් කප්සෙත, කප් රුවන, කප් සුවය ආදී පොල් පැළ වර්ග සුදු පැහැය මිශ්‍රිතව වර්ග වන බව ද එහි සඳහන්. (?)

විශේෂයෙන් ම එකිනෙකට නියමිත වූ පොල් පැළවල වටිනාකම ද පොල් පර්යේෂණ මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

***************************************

කිසිදිනක සාමූහික මණ්ඩල වගකීම කඩ කර නැහැ – ගම්මන්පිල කියයි

(30.12.2021 – 22:17 +0530 – hirunews.lk/sinhala)

තමන් ඇතුළු යුගදනවි ගිවිසුමට එරෙහිව අධිකරණයට ගිය ඇමතිවරුන් තිදෙනා (3) කිසිවිටකත් අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කර නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අවධාරණය කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා නව සමාගමක් පිහිටුවීම සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.

***************************************

නීතිවිරෝධී වැලිගොඩ දැමීමෙන් අරලගංවිල උණුසුම්

(30.12.2021 – 22:33 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් අරලගංවිල ප්‍රදේශයේ වැලි ගොඩ දැමීම හේතුවෙන් කුඩා ඔය අමුණට සහ වාරිපද්ධතියට හානි වන බවට පවසමින් ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයන් අද (30) තෙවන (3) දිනටත් සත්‍යග්‍රහයක නිරත වනවා.

ඔවුන් චෝදනා කරන්නේ තම විරෝධතා හමුවේ අවස්ථා කිහිපයකදී වැලි ගොඩදැමීම නතර කළ ද බලධාරීන්ගේ මැදිහත්වීමෙන් එය යළි ආරම්භ කර ඇති බවටයි.

අරලගන්විල 503 කුඩාඔය අමුණට සහ වාරි මාර්ග පද්ධතියටත්, ගං ඉවුරට සහ ප්‍රධාන මාර්ගයේ පාලමකට හානි සිදුවන අයුරින් බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් මෙම පිරිස් කලක සිට වැලි ගොඩ දමමින් සිටින බවට ප්‍රදේශවාසීන් චෝදනා කරමින් සත්‍යග්‍රහයක් ආරම්භ කළේ (28) පෙරේදායි.

ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ද මෙම නීතිවිරෝධී වැලිගොඩ දැමීම සදහා අනුමැතිය ලබා දී ඇති බවයි.

ඒ හේතුවෙන් එම ප්‍රදේශයට දැඩි පරිසර හානියක් මෙන්ම වාරිමාර්ග පද්ධතියට ද දැඩි බලපෑමක් සිදුවන බවටයි ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ.

සත්‍යග්‍රහයේ නිරතවන පිරිස් ප්‍රදේශයේ මාර්ග වසාදැමීමටත් කටයුතු කර තිබුණේ මෙලෙසින්.

ප්‍රදේශයේ කාන්තා සංවිධාන නියෝජිතයන්ද මේ වනවිට අඛණ්ඩ සත්‍යග්‍රහයට එක් වී ඇත්තේ මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් අපේක්ෂාවෙන්.

මේ අතර හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයේ නීති රෙගුලාසි කඩිනමින් ගැසට් කරන ලෙස හා වනඅලි ගැටලුවට ස්ථිර විසඳුම් ඉල්ලා වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86 ක සාමාජිකයින් හම්බන්තොට කටුවැව ප්‍රදේශයේ ආරම්භ කළ සත්‍යග්‍රහය ද අද (30) දසවැනි (10) දිනටත් ක්‍රියාත්මක වුණා.

වන අලි පහරදීම්වලට ලක්ව දිවි බේරාගත් පුද්ගලයින් පිරිසක් ඊයේ (29) රාත්‍රී මෙම සත්‍යග්‍රහයට එක්ව සිටියා.

***************************************

හඟුරන්කෙත අධ්‍යාපන කාර්යාලයේ කෝටියක ගැහිල්ලක්

(30.12.2021 – 11:06 +0530 – mawbima.lk)

හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ සිදුවී තිබෙන රුපියල් ලක්ෂ 97 ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එහි ගිණුම් අංශයට අනුයුක්තව සේවය කළ නිලධාරියකු 2012 වසරේ සිට මෙකී වංචාව සිදුකර තිබෙන බව දැනට පවත්වා ඇති පරීක්ෂණවලින් හෙළි වී ඇත.

දැනට සේවයේ නියුක්ත සහ විශ්‍රාම ගොස් සිටින ගුරුවරුන්ගේ වැටුප් ගෙවීමේදී වෙනත් පුද්ගලයන්ගේ නම් උපයෝගී කරගෙන සකස් කළ බැංකු ගිණුම්වලට මුදල් බැර කරමින් මෙම වංචාව සිදුකර තිබෙන බව අදාළ විගණන පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

මෙම සේවකයාගේ බිරියගේ නමට ද ගිණුමක් සකස් කර වසර ගණනාවක් තිස්සේ ඊට රුපියල් ලක්ෂ 17 කට අධික මුදලක් බැරකර තිබෙන බව හෙළි වී ඇත.

මෙම නිලධාරියාට 2016 වසරේ දී වලපනේ ප්‍රාදේශීය සභාවට ස්ථාන මාරුවක් ලබාදී ඇති නමුත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් සතියකට දින දෙකක් (2) හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ වැටුප් සකස් කිරීමේ කටයුතු සඳහා ඔහුව අනුයුක්ත කර තිබේ. හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ සිදුවී තිබෙන මූල්‍ය වංචාව සම්බන්ධව පරීක්ෂණයක් සිදු කෙරමින් පවතින බව මේ පිළිබඳව කළ විමසීමකදී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා කීය ෴

***************************************

රුපියල් කෝටි 52 ක නැවක් උස්සන්න ගේමක් ගහන ලොක්කෝ කවු ද?

(30.12.2021 – 10:02 +0530 – mawbima.lk)

වසර දෙකකට (2) අධික කාලයක් මෝදර වරායේ නැංගුරම්ලා තිබෙන තම සමාගමට අයත් රුපියල් කෝටි පනස් දෙකකට (52) අධික වටිනාකමින් යුත් නෞකාවක් මෙරට ඉහළ පෙළේ විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකුගේ හා ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ සහාය ඇතිව පැහැර ගෙන යාමේ උත්සාහයක් පවතින බැවින් ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කර තමන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලා මෙරට ධීවර කටයුතුවල නිරතව සිටින විදේශීය සමාගමක් වන ‘සීමැක්ස්’ සමාගම කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

තම සමාගමේ කටයුතු සඳහා 2019 වසරේ මෙරටට ගෙන්වන ලද එම නෞකාව 2020 වසරේදී ශ්‍රී ලංකා ධජය යටතේ ලියාපදිංචි කර මෝදර වරායේ නැංගුරම්ලා තිබෙන බව ද එම සමාගම සිය පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.

විදේශීය පුද්ගලයෙකුට මෙම නැව අත්පත් කරදීම සඳහා ඉහත කී නාවික හමුදා නිලධාරියා හා ප්‍රකට පෙළේ ව්‍යාපාරිකයා නීතිඥවරුන් පිරිසක් ද සම්බන්ධ කරගෙන මේ ආකාරයට කටයුතු කරන බව ද වසර එක හමාරක (1½) කාලයක් තිස්සේ සිදුවන මෙම ක්‍රියාව නිසා පීඩාවට පත්ව සිටින තමන්ට සිය ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ද එම සමාගම සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ බවට හැඟවෙන කූට ලේඛනයක් කොළඹ වාණිජ මහාධිකරණයට ඉදිරිපත් කර මෙම නැව අත්පත් කර ගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව ද පැමිණිලිකරු විසින් අපරාධ කොට්ඨාසයට සිය පැමිණිල්ල මගින් වැඩිදුරටත් පෙන්වාදී ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර අගතියට පත් එම සමාගම වෙනුවෙන් එහි නීති අධ්‍යක්ෂ අභිමානි රන්දෙණිය මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ චන්දික ජයසුන්දර, සංජීව දහනායක, ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ ෴

***************************************

“ඔබ අලිරාජගේ මුදලට නටනවා…” සුදේවට ලියමින් තිලිණි පෙරේරා ස්වර්ණවාහනියෙන් ඉල්ලා අස්වේ

(31.12.2021 – 09:20 +0530 – lankacnews.com)

ස්වර්ණවාහිනි නාලිකාවේ නිවේදිකාවක් ලෙස සේවය කළ තිලිණි පෙරේරා එම ආයතනයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි වෙත ලිපියක් යොමු කරමින් ඇය පවසන්නේ, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වූවද ස්වර්ණවාහිනී නාලිකාව තවදුරටත් මෙහෙයවන්නෙ ඔහු විසින් බවයි.

සුදේව හෙට්ටිආරච්චි තමන් යටතේ සිටින සේවකයන්ට සාධාරණය කළ නොහැකිව ගයිකා මොබයිල් සමාගමේ මුදල් වලට කටයුතු කරන්නෙකු බව ඇය තම ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ.

Harindra – Thilini – Nadeeka

අදාල සම්පූර්ණ ලිපිය මෙසේය :

= ඉතින් ආයුබෝවන් ස්වර්ණවාහිනී – ස්වර්ණවාහිනියෙන් නිල වශයෙන් සමුගනිමි =

සුදේව හෙට්ටිආරච්චි වෙත ලියමි,

මීට අවුරුද්දයි මාස 3 කට පෙර එනම් 2020.09.22 දින මාගේ සහ ස්වර්ණවාහිනි හිටපු නිවේදක නදීක කරුණානායකගේ සියලු වැඩසටහන්, නිවේදන කටයුතු නවත්වා කිසිදු හේතුවක් නොදන්වා පරීක්ෂණයක් පවත්වන බව පැවසූ දිනයේ, ප්‍රධාන විධායක නිලධාරියා වූයේ ඔබ බැවින්ද , මේ වන විට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වුවද ස්වර්ණවාහිනියේ කටයුතු මෙහෙයවන්නේ ඔබ බවට ආයතනයේ කා අතරත් ප්‍රසිද්ධ රහසක් බැවින්ද මෙම ලිපිය ලැබීමේ එකම සුදුස්සා ඔබ යැයි සිතමි. එදා සිට අද දක්වා තිරයේ නොපෙනුණත් අද දක්වා ස්වර්ණවාහිනියේ සේවිකාවක් වූ බැවින් බොහෝ දෙනෙක් විමසූ ප්‍රශ්න වලට සත්‍ය කිව නොහැකිව නිශ්ශබ්දව සිටින්නට සිදු විය.

ඔබත් රංගන ද සිල්වාත් ස්වර්ණවාහිනියට පැමිණෙද්දී එක් කරුණක් පිලිබඳව මා ඇතුලු අනෙක් සේවකයින් සතුටු විය. ඒ විජාතික සමාගමක් වන ‘ලයිකා මොබයිල් සමාගම’ විසින් මිලට ගනුලැබූ ස්වර්ණවාහිනියේ ප්‍රධාන තනතුරකට මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ කොතැනක හෝ සිටි අය පැමිණීම ගැන ඇතිවූ සතුටයි. ඔබ පැමිණීමෙන් පසු මුල් වරට අප හමුවී ස්වර්ණවාහිනියේ මෙතෙක් කලක් සිටි නිවේදකයින් සම්පතක් බවත් ගමන ඇත්තේ ඒඅයත් සමග බවත් කියද්දී එම සතුට තවත් වැඩිවිය. ඔබේ අතීතය ගැන දන්නා සමහරු නම් ඒවා වචන පමණක් විය හැකි බව කීවත් ඒ තරම්ම මවා පෙන්වීමක් කළහැකි යැයි මම නොසිතුවෙමි. කෙසේ වෙතත් ඒ සමහරු කී දේ පසක් කරමින් මුලින් කී කතා ‘බොරු රංගන’ බව තේරුම් ගන්නට හැකි වූයේ අප රාජකාරි වලින් ඉවත් කිරීමෙන් පසුවයි. එවකට ස්වර්ණවාහිනියේ සිටි මාධ්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීන, ජනප්‍රිය නිවේදකයින්ටද දවසින් දවස පල නොකියා පලා බෙදද්දී මා ගැන කවර කතා දැයි අමුතුවෙන් කිවයුතු නැත. මා මුලින් සඳහන් කල නදීක කරුණානායක හා මා සියලු වැඩසටහන් වලින් ඉවත් කර ලිපියක් ලබා දුන් දිනයේ ඒ ගැන විමසීමට යද්දී ඔබ පිළිතුරු නොදී පලාගිය අයුරු අද ද සිහිපත්වේ. රූපවාහිනී තිරය ඉදිරියේ රටේ නම ගිය චරිතවලින් ප්‍රශ්න කල ඔබේ ප්‍රතිරූපය මා වැනි වයසින් බාල, තනතුරින් පහල නිවේදිකාවක් ඉදිරියේ හෑල්ලු වූයේ ඇයි දැයි මම නොදනිමි. මා නීතිඥවරියක ලෙස දිවුරුම් දී සේවයට පැමිණි මුල්ම දිනයේ එය සිදුවීමත්, ඔබ හැර ආයතනයේ සියලු දෙනා මට සුබ පැතූ බවත් කිසිදා අමතක නොවේ.

එදින ඔබට මා ඉදිරියේ පිළිතුරක් නැති වූයේ මේ සමස්ත සිදුවීම ඔබගේ පමණක් සැලසුමක් නොවූ නිසා විය හැක. විදේශයක සිට එන බලවේගයක් විසින් ඔබව මෙහෙයවූවා විය හැකි බැවින් ඔබ කෙරෙහි කිසිදු වෛරයක් මට නැත. බහුතරයක් දෙනා මුලින්ම සිතන්නේ තමන් ගැනය. සිතා ගත නොහැකි තරමේ වැටුපක් ආරාක්ෂා කර ගැනීම සඳහා සහෝදර සේවකයින් නෙරපා හැරීමටත් වඩා වැඩිදේවල් ඉදිරියේදී ඔබට කරන්නට සිදු වුවහොත් ඊටද පුදුම විය යුතු නැත.

2022 වසර ආරම්භයත් සමග ස්වර්ණවාහිනියත් සමග තිබූ ව්‍යාකූල වූද , පීඩාකාරී වූද බැඳීම ලෙහා දමන්නට සැලසීම මට නම් මහත් සහනයකි. මාස 15 ක් තිස්සේ ද්වේශ සහගත ලෙස අවහිර කර තිබූ නිවේදන ගමන හෙට (01) සිට මට නිදහසේ යළි ඇරඹිය හැකි වනු ඇත.

අවසාන වශයෙන්, රූපවාහිනී තිරය ඉදිරියේ තමන් සර්ව සාධාරණ බව හඟවමින් මවා ගන්නා ව්‍යාජ ප්‍රතිරූප වලට ඇත්තේ තාවකාලික පැවැත්මකි. එකී ව්‍යාජ ප්‍රතිරූප ගැන රටේ සමස්තයක් දෙනා නොදන්නවා වුවද ස්වර්ණවාහිනි මාධ්‍ය ආයතනයේ සේවකයින් නම් හොඳින් දනී. රටේ ප්‍රධාන ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම සඳහා කරනුලබන රඟපෑමට පෙර ස්වර්ණවාහිනි නාලිකාවේ සේවකයින් කී දෙනෙකු නව කළමණාකාරීත්වයේ අසාධාරණ තීරණ හේතුවෙන් සාධාරණත්වය පතා අධිකරණය ඉදිරියට ගොස් ඇත්දැයි පරීක්ෂා කර බලන මෙන් ඉල්ලමි. ඒ සංඛ්‍යාවට හෙටින් පසු තවත් 1 ක් එකතු කරගන්න. තමන් යටතේ සිටින සේවකයින්ට සාධාරණයක් කල නොහැකිව ‘ලයිකා මොබයිල් සමාගමේ’ මුදල් වලට කීකරු වන ඔබ අසරණයෙකැයි සිතා ඔබට අනුකම්පා කරමි.

තිළිණි පෙරේරා

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා ආසාදිතයින් 228 දෙනෙකු පූර්ණ සුවයට

(30.12.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 228 දෙනෙකු අද (30) දිනයේදිත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ සමග මෙරට වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 5,60,313 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

++++++++++++++++

කොරෝනා මරණ 18 ක්

(30.12.2021 – 18:24 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 18 දෙනෙකුගේ මරණ වසංගත රෝග විද්‍යා අංශය අද (30) දිනයේදී තහවුරු කර තිබෙනවා.

ඒ අනුව වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට මෙරට තුළ සිදුව ඇති මුළු මරණ සංඛ්‍යාව 14,962 ක්.

ඊයේ (29) දිනයේදී මරණ 21 ක් සිදු වූ අතර, පැවති මුළු මරණ සංඛ්‍යාව වන 14,944 යි අද (30) වාර්තා වූ මරණ සමග මෙලෙස ඉහළ ගියේ.

මේ වනවිට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන මුළු සංඛ්‍යාව 11,471 ක් වන අතර, වාර්තා වී ඇති සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව ද 5,86,746 ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේවෙතත් වෛරසය ආසාදිතව සිට පූර්ණ සුවය ලැබූ මුළු පිරිස ද 5,60,313 ක් වනු ඇති ෴

++++++++++++++++

කොරෝනා ආසාදිතයින් 563 ක්

(30.12.2021 – 18:37 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 563 දෙනෙකු අද (30) දිනයේදී හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,86,746 ක් වන අතර, තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 11,741 ක්.

මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව ද 5,60,313 ක් වනවා.

කෙසේවෙතත් වෛරසය මර්දනයට රට පුරා කොවිඩ් මර්දන එන්නත් වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, එම වැඩසටහන යටතේ මේ වනවිට පළමු (1) කොවිඩ් එන්නත් මාත්‍රාව මෙරට පුද්ගලයින් 1,59,89,319 කට ලබා දී තිබෙනවා.

දෙවන (2) මාත්‍රාව ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 1,38,40,279 ක් වන අතර බූස්ටර් මාත්‍රාව ලද සංඛ්‍යාව 38,57,504 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *