කොටදෙණියාවේ අතුරුදන් වූ දරුවන් දෙදෙනා (2) ගැන තවදුරටත් විමර්ශන

කොටදෙණියාවේ අතුරුදන් වූ දරුවන් දෙදෙනා (2) ගැන තවදුරටත් විමර්ශන

*********************************************

කොටදෙණියාවේ අතුරුදන් වූ දරුවන් දෙදෙනා (2) ගැන තවදුරටත් විමර්ශන

(30.12.2021 – 16:20 +0530 – hirunews.lk/sinhala)

කොටදෙණියාව පොලිස් වසමේ වත්තේමුල්ල – බාදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි ඥාති සොහොයුරන් දෙදෙනකු (2) අතුරුදන් වීමේ සිද්ධියක් පසුගිය 23 වැනිදින වාර්තා වුණා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ, වයස අවුරුදු 10 – 12 වයස්වල පසුවන පිරිමි ළමුන් දෙදෙනකු (2) බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

අතුරුදන් වූ බවට සැලකෙන නොවැම්බර් මස 23 වැනි දින සිට කොටදෙණියාව පොලීසිය විසින් අදාළ දරුවන් දෙදෙනා (2) සොයා විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබුවා.

මෙතෙක් සිදු කරන ලද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අතුරුදන් වූ දරුවන් දෙදෙනා (2) ගැන කිසිදු තොරතුරක් පොලිස් විමර්ශන අංශ නිලධාරින් වෙත සොයාගෙන නොමැති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ද ප්‍රචාරණය කිරීමක් සිදු කරනු ලැබුවා.

නමුත් ළමුන් දෙදෙනා (2) මේ වනතුරු සොයා ගැනීමට නොහැකි වී ඇති අතර, මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පවත්වාගෙන යන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

මෙලෙස අතුරුදන් වූ දරුවන් දෙදෙනා (2) සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් මේ වනවිට නිකුත් කර තිබෙනවා.

අතුරුදන් වයස අවුරුදු 10 හි පසුවන පිරිමි දරුවා නමින් ‘දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැලුම්’ වන උසින් අඩි 04 ක් පමණ, ශරීර පැහැයෙන් තලෙළු සහ කොණ්ඩය කපා ඇති තැනැත්තෙකු බව‍යි පොලිස් නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම දරුවාගේ මුඛයේ දෙපස ඇන්දේ දත් දෙකක් (2) වැටී ඇති බව ද ශරීර ලක්ෂණ පෙන්නුම් කරමින් සඳහන් කර තිබෙනවා.

හෙතෙම අවසන් වරට හැඳ සිටි ඇඳුම නිල් පැහැති කමීසයක් සහ කළු පැහැති කොටු සහිත කලිසමක් බව ද නිවේදනයේ සඳහන්.

ඔහු සමග අතුරුදන් වූ අනෙක් දරුවා ‘ජයසේකර මුදලිගේ අකිල දේදුනු’ වන 12 හැවිරිදි දරුවෙකු වන අතර, හෙතෙම අවසන් වරට දැකීමේදී හැඳ සිටියේ නිල් පැහැති කොලර් සහිත කමිසයක් වන අතර, ඒ සඳහා රතු පැහැති කොට කලිසමක් හැඳ සිට තිබෙනවා.

උසින් අඩි 04 යි අඟල් 10 ක් වන තලෙළු, කොණ්ඩය කොටට කපා සිටි අයෙකු බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් අතුරුදන් වූ දරුවන් දෙදෙනා (2) සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් දැනුම් දීම සඳහා විශේෂ දූරකථන අංක දෙකක් (2) ද හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි කළුආරච්චිගේ දූරකථන අංකය ලෙස 071 859 2867 සහ සහකාර පොලිස් අධිකාරි ගමගේ ගේ දූරකථන අංකය ලෙස 071 859 2868 යන අංක ජනතාව වෙත විවර කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකා කාර්යාලය පවසන්නේ.

කෙසේවෙතත් තවදුරටත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි ෴

***************************************

කෑගල්ලේ කොසු ඉදල් කර්මාන්තකරුවන් අසීරුතාවක

(30.12.2021 – 14:37 +0530 – hirunews.lk/sinhala)

විවිධ ප්‍රදේශ වලට ආවේණික මෙන්ම පාරම්පරික ඇතැම් දේශීය කර්මාන්තයන් ගැන නිසි අවධානයක් යොමු නො වීමෙන් ඒවා බොහොමයක්
අභාවයට යමින් පවතිනවා.

එලෙස අභාවයට යන ඉදල් කොසු කර්මාන්තයේ නියැලෙන ගම්වාසීන් පිරිසක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණේ කෑගල්ල ප්‍රදේශයෙන්.

ඔවුන් ඉල්ලා සිටින්නේ තම කර්මාන්තය රැකගැනීමට සහය ලබාදෙන ලෙසයි.

***************************************

සැහැල්ලු ගුවන් යානාවකින් ලොව වටා සැරිසරන බ්‍රිතාන්‍ය සුරූපිනිය දිවයිනෙන් බැහැර යයි

(30.12.2021 – 16:33 +0530 – hirunews.lk/sinhala)

‘ෂාර්ක් යූ එල්’ වර්ගයේ තනි එන්ජින් ගුවන් යානයකින් ලොව වටා සංචාරය කරමින් ගිනස් ලෝක වාර්තාවක් තැබීමට සැරෙසන බ්‍රිතාන්‍ය ජාතික ගුවන් නියමුවරිය ‘සාරා රදෆර්ඩ්’ අද (30) උදෑසන නවයට පමන රත්මලාන ගුවන්තොටින් ඉන්දියාවේ කොයිම්බතූර් බලා ගමන් ආරම්භ කළා.

19 හැවිරිදි සාරා රදර්ෆර්ඩ් උත්සාහ කරන්නේ සැහැල්ලු ගුවන් යානයක නැඟී ලොව වටා සංචාරය කළ ලාබාලම ගුවන් නියමුවරිය වීමේ ගෞරවය හිමි කර ගන්නටයි.

ඇය ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව දින දෙකක (2) කාලයක් මෙහි ගත කළ අතර එම කාල සීමාව අතිශයින් ස්මරණීය බවත් මෙරට ලොව ප්‍රකට ‘සිලෝන් ටී’ නමැති ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන තේ රස බැලීමට ඇයට අවස්ථාව ලැබුණු බවත් ඇය කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාරා කියා සිටියේ ඇය මෙරට තේ රසයට අතිශයින් කැමති බවයි.

සිය සමස්ත චාරිකාව තුලදී ඇය රටවල් 52 ට යාමට නියමිත අතර සාරා ශ්‍රී ලංකාවට ගොඩ බැස්සේ එම ලැයිස්තුවේ 40 වැනි රට ශ්‍රී ලංකාව බවට පත්කර ගනිමින්.

ඇයගේ මෙම වීර චාරිකාවේ තවත් රටවල් 12 කට ගොඩබැසීමට නියමිත අතර එම රටවල් අතුරින් බොහොමයක් යුරෝපාකරයේ පිහිටා ඇති රටවල්.

ගුවන් නියමු පවුලකින් පැවත එන සාරා රදර්ෆඩ් ගුවන් යානා පැදවීමට අත්පොත් තබන්නේ යාන්තම් ඇයගේ වයස අවුරුදු 14 සම්පූර්ණ වෙද්දීයි.

වයස අවුරුදු 17 ක් වෙද්දි වාණිජ ගුවන් නියමුවන් සඳහා වන ගුවන් යානා පැදවීමේ බල පත්‍රය ලබා ගන්නා සාරා මෙම ලෝක චාරිකාවට එළඹෙන්නේ මීට මාස දෙකකට (2) පෙරයි.

***************************************

චීන විදේශ ඇමති ජනවාරි 08 වනදා දිවයිනට

(30.12.2021 – 16:21 +0530 – hirunews.lk/sinhala)

චීන විදේශ අමාත්‍ය වැන්ග් යි (Wang Yi) ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතව තිබෙනවා.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ ලබන 2022 වසරේ ජනවාරි මස 08 වනදා සිට 09 වනදා දක්වා මෙම සංචාරය සිදුවන බවයි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජතාන්ත්‍රික සබඳතාවලට වසර 65 ක් සපිරීමේ සංවත්සරය සැමරීම වෙනුවෙන් චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදුවන බව සඳහන්.

කෙසේවෙතත් එම ඩොලර් බිලියන 1.5 ක් වන මූල්‍ය හුවමාරු පහසුකම මෙරටට ලැබෙනුයේ චීන යුවාන් මුදලින් බව වාර්තා වනවා.

මේ අනුව ඇමරිකානු ඩොලර් බිලියන 1.5 කට සමාන චීන යුවාන් බිලියන 10 කට ආසන්න මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබෙනු ඇති.

එලෙස ලැබෙන මුදල් චීනය හරහා සිදු කෙරෙන ආනයනය සඳහා පමණක් භාවිතා කිරීමට අදහස් කරන බවයි මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අප සමග සඳහන් කළේ.

මෙම මූල්‍ය ප්‍රතිපාදනය මෙරට මහ බැංකුව වෙත ලැබීමෙන් අනතුරුව අප සතු නිල විදෙස් සංචිත වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවා ගියද සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකා මහා බැංකුව සතුව ඇමරිකානු ඩොලර් තවදුරටත් පවතින්නේ ඩොලර් බිලියන 1 ක් ආසන්නයේ බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම ඉන්දීය රජයෙන් ඉදිරි වසරේ මුල් කාර්තුවේදී මෙරටට ලබා දීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක් වටිනා ණය ආධාරය ද ලැබීමට නියමිතව ඇත්තේ මේ ආකාරයටම බවත් එම ණය ආධාරයෙන් මෙරටට ඇමරිකානු ඩොලර්වලින් ලැබෙන්නේ මිලියන 400 ක මුදලක් පමණක් බවත් වාර්තා වනවා.

ඉතිරි ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් වටිනා ණය ආධාරය ඉන්දියාව හරහා සිදු කෙරෙන සියලු ගනුදෙනු සඳහා පමණක් භාවිත කළ යුතු බවත් සඳහන්.

ඒ අනුව මෙම ආධාර හරහා ශ්‍රී ලංකාවේ නිල විදෙස් සංචිත වටිනාකම් ඉහළ ගිය ද මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ඩොලර් අර්බූදයට මේ හරහා ප්‍රමාණවත් සහනයක් නො සැලසෙන බවයි මහ බැංකු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ෴

***************************************

පොලිස් දුක්ගැනවිලි අධිකාරි කොට්ඨාසය ප්‍රතිව්‍යූහගත කෙරේ

(30.12.2021 – 17:02 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරීන් එදිනෙදා රාජකාරි දිවියේ දී මුහුණපාන ගැටලු සහ ඔවුන්ගේ දුක්ගැනවිලි විමසීම සඳහා ස්ථාපිත කර තිබූ පොලිස් දුක්ගැනවිලි අධිකාරී කොට්ඨාසය ප්‍රතිව්‍යූහගත කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබෙනවා.

මේ අනුව පොලිස්පතිවරයාගේ මඟපෙන්වීම යටතේ ප්‍රාදේශීය වශයෙන් නිලධාරීන්ගේ දුක්ගැනවිලි සහ ගැටලු විසඳීම සඳහා යාන්ත්‍රණයක් සකස් කර තිබෙනවා.

ඒ අනුව පොලිස් දුක්ගැනවිලි කොට්ඨාසය භාර අධ්‍යක්ෂවරයා පොලිස් ඔම්බුස්මන්වරයා ලෙස හඳුන්වන අතර, පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි පිළිබඳ කටයුතු කිරීම මෙන්ම පොලිස්පතිවරයා නිකුත් කරනු ලබන රාජකාරි නියෝග අනුව කටයුතු කිරීමද ඔහුගේ රාජකාරි වගකීම් අතරට පැවරෙනවා.

එමෙන්ම පළාත් මට්ටමින් පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි විසඳීම සඳහා පළාත් දුක්ගැනවිලි සම්බන්ධීකරණ නිලධාරී, ප්‍රාදේශීය හා ක්‍රියාකාරී කොට්ඨාස මට්ටමින් පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසඳුම් සඳහා කොට්ඨාස දුක්ගැනවිලි සම්බන්ධීකරණ නිලධාරීන් ද පත් කිරීමට මෙම නව ප්‍රතිව්‍යූහගත කිරීම යටතේ යෝජිතයි.

ඒ අනුව පොලිස් දුක්ගැනවිලි අධිකාරි කොට්ඨාසයේ නිලධාරින් සෑම සතියකම සිකුරාදා පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් හමුවක් පවත්වන අතර එහිදී නිලධාරීන්ගේ දුක්ගැනවිලි සෘජුවම පොලිස්පතිවරයා වෙත යොමු කිරීමේ අවස්ථාව මේ අනුව සැලසෙනවා.

පසුගිය 24 වැනි දින රාත්‍රියේ තිරුක්කොවිල් පොලිසියේ නිලධාරියෙකු විසින් එහි සේවය කළ සෙසු පොලිස් නිලධාරීන් පිරිසකට එල්ල කළ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් එහි සේවය කළ නිලධාරීන් සිව් දෙනෙකු (4) ජීවිතක්ෂයට පත්වුණා.

මෙම සිද්ධියත් සමග පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියේ නිලධාරීන්ගේ දුක්ගැනවිලි සහ ඔවුන්ගේ අනෙකුත් පෞද්ගලික ප්‍රශ්න පිළිබඳව සොයා බැලීම සඳහා නිසි ක්‍රමවේදයක් ස්ථාපිත කරන බවයි ෴

***************************************

චීන ජනාධිපති ෂී ජිංපින්ගෙන් හිටපු ජනපතිටත් නව වසරට සුබ පැතුම්

(30.12.2021 – 17:05 +0530 – hirunews.lk/sinhala)

චීන ජනාධිපති ෂී ජිංපින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබෙනවා.

චීන ජනාධිපතිවරයාගේ ඊයේ (29) වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටත් නව වසර සඳහා සුබ පැතුම් එක්කර තිබුණා.

මෙරට චීන තානාපති කී සෙන්හොංග් අද (30) පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී චීන ජනාධිපතිවරයාගේ සුබ පැතුම මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂ සභාපතිවරයාගේ නව වසරේ සුභ පැතුමද හිටපු ජනාධිපතිවරයාට භාර දුන්නා.

එමෙන්ම මෙම සුභ පැතුම් ප්‍රදානයෙන් අනතුරුව මෙරට චීන තානාපතිවරයා සහ හිටපු ජනාධිප මෛත්‍රීපාල සිරිසේන අතර පැයක පමණ කාලයක සාකච්ඡාවක් ද පැවැත්වුණා ෴

***************************************

රාජ්‍ය සේවකයින් නව වසරේ සිට යළි සේවයට

(30.12.2021 – 17:52 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන ජනවාරි 03 වැනි දා සිට 2022 වසරේ රාජ්‍ය සේවාවේ කටයුතු ආරම්භ කිරීම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කිරීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එදින උදෑසන ජාතික ධජය ඔසවා, ජාතික ගීය වාදනයෙන් අනතුරුව නව වසරේ රාජ්‍ය සේවාවේ දිවුරුම් ලබාදීමට නියමිතයි.

එසේම පවතින තත්ත්වය තුළ කොවිඩ් වෛරසය ගැන තවදුරටත් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීම සඳහා වෛද්‍යවරයෙකු මගින් සිදු කරනු ලබන කෙටි දේශනයක් ද සිදු කළ යුතු බවයි එම චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත්තේ.

එමෙන්ම වසරකට වැඩි කාලයක් මුළුල්ලේ කොවිඩ් තත්ත්වය හේතුවෙන් සීමා සහිතව පවත්වාගෙන ගිය රාජ්‍ය සේවය නැවත වතාවක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුවයි සියලු නිලධාරින් එළඹෙන 03 වැනිදා සිට සාමාන්‍ය පරිදි රාජ්‍ය සේවයට වාර්තා කළ යුතු බවට නිවේදනය කර ඇත්තේ.

රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ, මීට අදාළ ව චක්‍රලේඛයක් නිකුත් කෙරෙන බවයි ෴

***************************************

වර්ජන කරන සහ පාඩු ලබන ආයතන ගැන රජය දැඩි තීන්දුවකට සැරසේ

(30.12.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් නව වසරේදී දැඩි තීන්දු ගැනීමට රජය තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළා. මහනුවර – අලදෙණිය ප්‍රදේශයේ අද (30) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි, ඔහු මේ බව කියා සිටියේ ෴

***************************************

නව වසර පිළිගැනීමට සිදුව ඇත්තේ ආර්ථික අපහසුතා මැද බව සජිත් කියයි

(30.12.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට නව වසර පිළිගැනීමට සිදුව ඇත්තේ දැඩි ආර්ථික අපහසුතා මැද බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා ඩිජිටල් පරිඝණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ සක්වල නියමු ව්‍යාපෘතිය අද (30) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

ඒ තණමල්විල බෝදාගම මහා විද්‍යාලයේදීයි.

***************************************

තුංමෝදර කුමාරි ඇල්ල බිලිගත් ජීවිත

(30.12.2021 – 21:06 +0530 – hirunews.lk/sinhala)

හංවැල්ල – තුංමෝදර කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයින් තිදෙනකු (3) අද (30) පස්වරුවේ දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 14 ක ගැහැනු ළමුන් දෙදෙනකු (2) සහ 29 හැවිරිදි තරුණියක්.

ඔවුන් සොයා මේ වනවිට හංවැල්ල පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා ෴

***************************************

සරසවි සිසුවෙකුගේ යතුරුපැදිය ඉස්සූ කොල්ලකරුවන්

(30.12.2021 – 23:09 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා නුගේගොඩ, විජේරාම හන්දියේ වෙළෙඳසැලක් ඉදිරිපිට නවතා තිබූ විශ්වවිද්‍යාල සිසුවෙකුට අයත් යතුරුපැදියක් සොරා ගන්නා පුද්ගලයෙක් තවත් අයෙක් එහි නංවාගෙන කොල්ලකා පලා ගොස් තිබෙනවා.

CCTV දර්ශන අනුව විමර්ශන සිදු කළ නුගේගොඩ කොට්ඨාසයේ අපරාධ විමර්ශන ඒකකය යතුරුපැදිය සොරකම් කළ පුද්ගලයා සහ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර, සැකකරුවන් එම යතුරුපැදියෙන් ගොස් මහරගම ප්‍රදේශයේ දේපළ සොරාගෙන ඇති බව පොලිසිය පැවසුවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *