ගෑස් අලෙවි නියෝජිත ආයතන ආශ්‍රිත ව තවමත් දිගු පෝලිම්

ගෑස් අලෙවි නියෝජිත ආයතන ආශ්‍රිත ව තවමත් දිගු පෝලිම්

*********************************************

ගෑස් අලෙවි නියෝජිත ආයතන ආශ්‍රිත ව තවමත් දිගු පෝලිම්

(30.12.2021 – 14:23 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොළට නිකුත් කළ මුද්‍රා ඉවත් කරන ලද ගෑස් සිලින්ඩර නැවත භාර ගැනීමට ලාෆ් සමාගම පියවර ගෙන ඇතත් රජයේ හිමිකාරිත්වයක්
දරන ලිට්‍රෝ ගෑස් සමාගම තවමත් නැවත භාරගනු ලබන්නේ මුද්‍රා ඉවත් නො කරන ලද ගෑස් සිලින්ඩර පමණයි.

මේ අතර, වෙළඳපොළේ ප්‍රමාණවත් ගෑස් තොග නොමැතිවීම හේතුවෙන් ගෑස් අලෙවි නියෝජිත ආයතන ආශ්‍රිත ව තවමත් දිගු පෝලිම් දක්නට
ලැබෙනවා.

***************************************

ගෑස් සැපයුම තවදුරටත් ප්‍රමාද වනවා – තෙෂාර ජයසිංහ

(30.12.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොල තුළ පවතින ලිට්රෝ ගෑස් හිඟය තවත් සති 03 ක පමණ කාලයක් ඇතුළත අවසන් වනු ඇති බව ලිට්රෝ සමාගම පවසනවා.

එහි සභාපති තෙෂාර ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ මීට පෙර භාවිත කරන ලද සිලින්ඩර යළි භාර ගැනීමට ක්‍රියා කිරීම නිසා ගෑස් බෙදා හැරීමේ කටයුතු පමා වී ඇති බවයි.

නියමිත ප්‍රමිතියට අනුකූල ලෙස කටයුතු කර තත්ත්ව පාලන පරික්ෂණ සිදුකිරීමේදී ගෑස් සිලින්ඩරවලින් සියයට 30 ක් පමණ ප්‍රතික්ෂේප වන තත්ත්වයක් පවතින බව ද ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ සඳහන් කළා.

2022 නව වසර උදාවීමට තිබියදීත් ජනතාවට සිදුව ඇත්තේ ගෑස් අලෙවි නියෝජිත ආයතන අසල දිගු පෝලිම්වල රැඳී සිටීමටයි ෴

***************************************

අඩක් භාවිත කරන ලද ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩර ආපසු ලබාදීමට ක්‍රමවේදයක්

(30.12.2021 – 18:52 +0530 – hirunews.lk/sinhala)

ලාෆ්ස් ගෑස් සමාගම විසින් භාවිත කරන ලද ගෘහස්ථ ගෑස් සිලින්ඩර ආපසු ලබා දීම සම්බන්ධයෙන් මහජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කොල පැහැති මුද්‍රාව සහිතව දෙසැම්බර් 05 වැනිදාට පෙර නිකුත් කරන ලද අඩක් හිස් වූ ගෘහස්ථ සිලින්ඩර් ආපසු ලබා දීමේදී මහජනතාව අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවකුයි මේ අනුව නිකුත් කර ඇත්තේ.

මේ නිවේදනයට අනුව ලාෆ්ස් ගෑස් සමාගම විසින් මහජනතාව ආපසු ලබා දෙන එවැනි සිලින්ඩර් නම් කරන ලද බෙදාහැරීමේ ස්ථානවල දී භාර ගන්නා බව සඳහන් වනවා.

එමෙන්ම සිලින්ඩරවල ඉතිරිව ඇති ගෑස් බර කිරා බැලීමෙන් පසු එය මහජනතාවට ප්‍රතිපූරණය කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

***************************************

විදුලි බිලේ වැඩිවීමක් නැහැ – ඇමති ලොකුගේ

(30.12.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ දැමුව ද ඉදිරියේ දී විදුලි බිල සංශෝධනය කිරීමක් සිදු නො කරන බව විෂ්‍ය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (29) පැවති උත්සවයකින් අනතුරු ව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනු යි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ෴

***************************************

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන සඳුදා (03) සිට යළි වැසේ

(30.12.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණය ලබන සඳුදා (03) සිට යළි වසා දැමීමට සිදුවන බව බලශක්ති අමාත්‍යාංශය අද (30) ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළේ විදේශ විනිමය අර්බුදය හමුවේ බොරතෙල් මිල දී ගැනීමේදී මතු වී ඇති දුෂ්කරතා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

නමුත්, තාවකාලිකව තෙල් පිරිපහදුව වසා දැමුව ද රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන බව ද බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

දෛනිකව බොරතෙල් මෙට්‍රික් ටොන් 6500 ක් පිරිපහදු කෙරෙන සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඩොලර් අර්බුදය හමුවේ බොරතෙල් සපයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් පසුගිය නොවැම්බර් 15 වනදා වසා දැමුණු අතර එය දින 22 කට පසු යළි විවෘත කෙරුණේ දෙසැම්බර් 07 වනදායි.

එදින පිරිපහදුව විවෘත කිරීමෙන් පසු අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ යළි අවශ්‍යතාවයක් ඇතිවුණහොත් පිරිපහදුව වසා දැමීමට කටයුතු කරන බවයි.

එසේම, පසුගිය මස 20 වනදා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමට සිදුවන බවට අනතුරු ඇඟවීමක් සිදුකළා.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් මෙරට පෙට්‍රල් අවශ්‍යතාවය සියයට 14 ක් සහ ඩීසල් අවශ්‍යතාවය සියයට 29 ක් සපයනු ලබන අතර, ලබන සඳුදා (03) පිරිපහදුව වැසීමෙන් ඉන්ධන හිඟයක් මතු වීමේ අවධානමක් නොමැති බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, ලබන පළමුවනදා (01) සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ නිල වාහන සඳහා ඉන්ධන සැපයුම පිලිබඳව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ පසුගිය වසරේ මැයි මස 31 වනදා නිකුත් කරන ලද චක්‍රලේඛය සංශෝධනය කරමින්.

එහි අමාත්‍යාංශ ලේකම්වරයෙකු හා ඊට සමාන නිලධාරින් මෙන්ම සහ දිස්ත්‍රික් ලේකම්වරයෙකු, පළාත් ප්‍රධාන ලේකම්වරයෙකු සඳහා මසකට රජය මගින් ඉන්ධන ලීටර් 220 ක් අනුමත කර තිබෙනවා.

අතිරේක ලේකම්වරයෙකුට ඉන්ධන ලීටර් 165 ක් සහ දෙපාර්තමේන්තු නිලධාරින්ට මසකට ඉන්ධන ලීටර් 135 ක් රජය මගින් අනුමත කර තිබෙනවා.

එමෙන්ම සම්බන්ධීකරණ ලේකම්වරුන් සඳහා මසකට ලබාදෙන ඉන්ධන ලීටර් ප්‍රමාණය 115 ක්.

කෙසේ වෙතත්, අදත් (30) දිවයිනේ ප්‍රදේශ කිහිපයක භූමිතෙල් ලබා ගැනීම සඳහා දිගු ඉන්ධන පෝලිම් දැක ගැනීමට හැකිවුණු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ ෴

***************************************

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති 40 ක් කොළඹට රැස් වෙයි

(30.12.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති 40 ක නියෝජිතයින් මේ වන විට කොළඹට රැස් වී සාකච්ඡාවක නිරත වනවා.

වැටුප් විෂමතා ඉවත් කර නව වැටුප ජනවාරි මාසයේ සිට ලබාදෙන බවට අයවැයෙන් ප්‍රකාශ කළ ද ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නො මැති වීම හේතුවෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට මෙම සාකච්ඡාව පවත්වන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කළේ ෴

***************************************

අත්තනගල්ලේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන හතරක් (4) සහ කැබ් රථයක් කොල්ලකයි

(30.12.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

අද (30) පෙරවරුවේ අත්තනගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට පැමිණි කොල්ලකරුවන් තිදෙනෙකු (3) ඔහුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ හතළිහකට (40,00,000) අධික මුදලක් සහ ව්‍යාපාරිකයාට අයත් කැබ් ‍රථයක් කොල්ලකා පලා ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් කොල්ලකරුවන් පලා යාම සඳහා භාවිත කළ ව්‍යාපාරිකයාට අයත් කැබ් රථය පසුව මාර්ගයේ පසෙක අත්හැරදමා තිබියදී සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.

මුදල් කොල්ල කා පලා ගිය සැකකරුවන් පිළිබඳව සීසීටීවී දර්ශන සහ ඒ ඔස්සේ ලබා ගත් තොරතුරු අනුව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බව අත්තනගල්ල පොලීසිය සඳහන් කළා ෴

***************************************

සෙවනගල සීනි කර්මාන්තශාලාවේ වැඩිම උක් අස්වැන්න මේ වසරේ

(30.12.2021 – 13:40 +0530 – hirunews.lk/sinhala)

සෙවනගල සීනි කර්මාන්තශාලාව පිහිට වූ දින සිට මේ දක්වා වැඩි ම උක් අස්වැන්න මෙම වසරේ දී වාර්තා වී තිබෙනවා.

එය මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් වන අතර එම අස්වැන්නෙන් ලබා ගත් සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් දහඅට දහස (18,000) ඉක්මවා ඇති බවයි එහි විධායක අධ්‍යක්ෂ ගාමිණී රාසපුත්‍ර ප්‍රකාශ කළේ.

පසුගිය වසරේදී එම කර්මාන්තශාලාවේ නිපද වූ සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 15,000 ක් ෴

***************************************

බස් රථවල ඉලෙක්ට්‍රොනික් කාඩ්පත්වලින් මුදල් ගෙවීමේ නියමු ව්‍යාපෘතිය ලබන මස සිට

(30.12.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

බස් රථවල ගමන් කිරීමේදී ඉලෙක්ට්‍රොනික් කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ නියමු ව්‍යාපෘතිය ලබන මාසයේදී අධිවේගී මාර්ගවල ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

කෙසේ වෙතත්, මේ හරහා කොන්දොස්තරවරුන්ට රැකියා අහිමි වීමක් සිදු නොවන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා කියා සිටියේ ෴

***************************************

මෝටර් රථයක් පැහැරගෙන ගිය සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට

(30.12.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – වක්වැල්ල මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් පැහැරගෙන ගොස් සගවාගෙන සිටි සැකකරුවන් 3 දෙනෙකු මෝටර් රථය ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එය බෙලිඅත්ත ප්‍රදේශයේ නිවසක සගවා තිබියදීයි.

පසුගිය මස (නොවැම්බර්) 10 වන දා රියදුරුට පහර දී එළියට ඇද දමා මෙම මෝටර් රථය පැහැරගෙන ගොස් තිබූ අතර පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මෙය මුදල් ආරවුලක් මත සිදුකළ කොල්ලකෑමක් බවයි.

ඊයේ (29) අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20, 25 අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ ෴

***************************************

නුදුරේදී ම සහල් කිලෝව බරපතළ ලෙස ඉහළ යන බවට තිස්ස අත්තනායකගෙන් ප්‍රකාශයක්

(30.12.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

ඉහළ යන ජීවන වියදම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කිහිප දෙනෙකු ම විවිධ අදහස් පළ කළා.

එහි දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක සඳහන් කළේ, නුදුරේදී ම සහල් කිලෝවක මිල රුපියල් 400 ක් හෝ 500 ක් දක්වා පවා ඉහළ යා හැකි බවයි.

***************************************

මධ්‍යසාර සහ දුම්වැටි මිලදී ගත හැකි වයස් සීමාව අවුරුදු 24 දක්වා ඉහළට ?

(30.12.2021 – 14:29 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යසාර සහ දුම්වැටි මිලදී ගත හැකි වයස් සීමාව අවුරුදු 24 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය නීති ලබන වසරේ දී හඳුන්වා දෙන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අන්තර්ජාලය ඔස්සේ දුම්වැටි හා මධ්‍යසාර ප්‍රවර්ධනය වැලැක්වීමේ නීති තවදුරටත් ශක්තිමත් කිරීමට ද බලාපොරොත්තු වන බවයි.

වසරකට වරක් දුම්වැටියක මිල ඉහළ නැංවීම සඳහා බදු සූත්‍රයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින්.

එහි සභාපති කියා සිටියේ එය මේ වන විට අනුමැතිය සඳහා කැබිනට් මන්ඩලය වෙත යොමු කර කර ඇති බවයි.

මෙරට ආර්ථිකයට හානියක් සිදු නොවන පරිදි රට තුළ දුම්වැටි භාවිතය අවම කර ගැනීම සඳහා විධිමත් ක්‍රමයකට වාර්ෂිකව දුම්වැටියක මිල ඉහළ නැංවීම මෙම බදු සූත්‍රයේ අරමුණයි.

***************************************

මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් ජනතා අයිතියට

(30.12.2021 – 14:33 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ 02 වන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනතා අයිතියට පත් කිරීමට මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව මෙම නව මාර්ගය එළඹෙන ජනවාරි මස 15 වැනි දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරෙනු ඇති ෴

***************************************

පොහොර නො මැති ව දිවයින පුරා ගොවීන් තවදුරටත් අපහසුතාවෙන්

(30.12.2021 – 14:46 +0530 – hirunews.lk/sinhala)

පොහොර අර්බුදය හමුවේ විවිධ භෝග වගාකරුවන් මෙන්ම මල් වගාකරුවන්ද පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකට යි. තම වගාවන් සඳහා අවශ්‍ය රසායනික පොහොර නොමැතිවීම හමුවේ තම වගාවන් විනාශ වීමේ අවදානමක් මතු ව ඇති බවයි ප්‍රදේශ රැසක ගොවීන්
පෙන්වා දෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *