කිරිපිටි කිලෝව රුපියල් 150 කින් සහ ග්‍රෑම් 400 රුපියල් 60 කින් ඉහළට

කිරිපිටි කිලෝව රුපියල් 150 කින් සහ ග්‍රෑම් 400 රුපියල් 60 කින් ඉහළට

*********************************************

කිරිපිටි කිලෝව රුපියල් 150 කින් සහ ග්‍රෑම් 400 රුපියල් 60 කින් ඉහළට

(30.12.2021 – 08:50 +0530 – hirunews.lk/sinhala)

ආනයනික කිරිපිටි මිල හෙට (31) දිනයේ සිට යළි ඉහළ නැංවෙන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150 කින් සහ ග්‍රෑම් 400 කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 60 කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක නව මිල රුපියල් 1345 ක් සහ ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 540 ක් දක්වා ඉහළ යනු ඇති.

***************************************

ආපන ශාලා හිමියන් කිරි තේ අලෙවියෙන් ඉවත් වෙයි

(30.12.2021 – 17:49 +0530 – hirunews.lk/sinhala)

කිරිපිටි මිල ඉහළ යාම හමුවේ ආපන ශාලාවල කිරි තේ අලෙවියෙන් ඉවත්වන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අසේල සම්පත් මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ කිරිතේ එකක් අලෙවි කරන්නේ නම් එහි මිල රුපියල් 80 ඉක්මවනු ඇති බවයි.

එවැනි මිලකට කිරි තේ ලබාදී පාරිභෝගිකයන් අපහසුතාවට පත් කරනවාට වඩා අලෙවියෙන් ඉවත්වීම සුදුසු බව ඔහු ප්‍රකාශ කළා.

ආනයනික කිරිපිටි මිල හෙට දිනයේ සිට යළි ඉහළ නැංවෙන බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150 කින් සහ ග්‍රෑම් 400 කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 60 කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක නව මිල රුපියල් 1345 ක් සහ ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 540 ක් දක්වා ඉහළ යනු ඇති.

සති 9 ක කාලයක් තුළ ආනයනික කිරිපිටි මිල ඉහළ දැමූ දෙවැනි (2) අවස්ථාව මෙයයි.

මීට මාස කිහිපයකට පෙර වෙළඳ පොළේ කිරිපිටි හිඟය මතු වූ අතර ආනයනකරුවන් පැවසුවේ ඩොලර් අර්බුදය හේතුවෙන් කිරිපිටි මිල ඉහළ දැමිය යුතු බවයි.

ඒ අනුව කිරිපිටි පාලන මිල ඉවත් කෙරුණු අතර පසුගිය ඔක්තෝබර් 09 වැනිදා මේ වසරේ මුල්වරට කිරිපිටි මිල ඉහළ ගියා.

එහිදී ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් (1) රුපියල් 250 කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100 කින් මිල ඉහළ දැමුණා.

හෙට (31) සිට ක්‍රියාත්මක වන පරිදි යළිත් ආනයනික කිරිපිටි මිල යළි නැංවීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අද (30) තීරණය කළා.

මේ අතර යළිත් මතුව ඇති කිරිපිටි හිඟය හේතුවෙන් කිරිපිටි මිලදී ගැනීමට ඇතැම් ප්‍රදේශවල ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින ආකාරය දැකගත හැකි වුණා.

***************************************

පොලීසිය මැදිහත් ව කිරිපිටි සැල් සීල් තැබූ බවට පළවන පුවත අසත්‍යයක් !

(30.12.2021 – 23:44 +0530 – hirunews.lk/sinhala)

‘මිරිහාන – ජුබිලි කණුවේ පිහිටි කිරිපිටි වෙළෙඳසැලකට පොලීසිය කඩා පැන එය සීල් තබා ඇති බවත්, පොලීසියට ඒ සඳහා කිසිදු බලයක් නොමැති බවත් …’ යන ආකාරයේ තොරතුරු සඳහන් කරමින්, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පොලීසිය අපකීර්තියට පත් කිරීම සඳහා අසත්‍ය ප්‍රචාරය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම චෝදනාව පදනම් විරහිත තොරතුරක් වන අතර, මෙම සිදුවීමේ සත්‍ය තත්ත්වය නම් පැලවත්ත කිරිපිටි නිෂ්පාදන මිලදී ගැනීමට මහජනතාව දිගු පෝලිම්වල රැඳී සිටීමට හේතුව කුමක්ද යන්න සොයා බලන ලෙසට ජනාධිපතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත උපදෙස් ලබා දී ඇති බව ද එම නිවේදනය වැඩිදුරටත් දක්වා තිබෙනවා.

ඒ අනුව මෙම සිදුවීම පිළිබඳව පොලීසිය සිදුකළ සොයා බැලීමේදී තදබදය සහ පෝලිම් ඇතිවීමට හේතුව ජුබිලි කණුව, ස්ටැන්ලි තිලකරත්න මාවතේ පිහිටි අලෙවි සැල මගින් කිරිපිටි නිෂ්පාදන නිකුත් කිරීමේදී ඇතිවන ප්‍රමාදයත්, එය එක් කවුළුවකින් පමණක් අදාළ නිෂ්පාදන අලෙවි කිරීමත් බව නිරීක්ෂණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය අංශය කියා සිටින්නේ.

එබැවින් පැලවත්ත කිරිපිටි නිෂ්පාදන සමාගමේ සභාපති ආරියශීලී වික්‍රමනායක සමග බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (30) සාකච්ඡාවක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම ප්‍රදේශවල සමාගමේ අලෙවි ස්ථාන වැඩිකොට කිරිපිටි නිෂ්පාදන අලෙවි සැල් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කෙරුණා.

ඒ අනුව ජනතාවට තදබදයකින් තොරව හා පෝලිම්වල රැඳී නොසිට එම නිෂ්පාදන මිලදී ගැනීමට ස්ථාන කිහිපයක දීම අවස්ථාව හෙට (31) දින සිට හැකි බවත්, හෙට (31) සිට පැලවත්ත කිරිපිටි නිෂ්පාදන තවත් ස්ථානවල අලෙවිසැල් ක්‍රියාත්මක කිරීමට ද මේ වනවිට අදාළ කටයුතු සූදානම් කර ඇති බව ද පොලිස් නිවේදනයේ සඳහන්.

මෙම සිදුවීම පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය තොරතුරු පළ කරමින් පොලීසිය මගින් කිරිපිටි අලෙවි ස්ථාන සීල් තැබීමට කටයුතු කර ඇති බවට වැරදි තොරතුරු පළ කර තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ හේතුවෙන් මෙවැනි අසත්‍ය චෝදනා ශ්‍රී ලංකා පොලිසිය විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සිය නිවේදනය මගින් දැනුම් දෙන්නේ.

***************************************

දේශීය කිරිපිටි මිල රුපියල් 20 කින් ඉහළ දැමීමේ තීරණයක්

(30.12.2021 – 14:04 +0530 – hirunews.lk/sinhala)

ආනයනික කිරිපිටි මිල ඉහළ යාමට සාපේක්ෂව දේශීය කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 20 කින් ඉහළ දැමීමට සිදුවන බව කිරි, බිත්තර, ගොවිපල සංවර්ධන හා පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා මෙලෙස මිල ඉහළ දැමීමට සිදුවන බවයි ෴

***************************************

ගංජා මිශ්‍ර මදන මෝදක සමඟ සැකකරුවෙකු අත් අඩංගුවට

(30.12.2021 – 09:06 +0530 – hirunews.lk/sinhala)

මාවතගම පොලිස් වසමේ තල්ගස්පිටිය ප්‍රදේශයේ සිදු කළ වැටළීමකින් ගංජා මිශ්‍ර මදන මෝදක 16,764 ක් සමඟින් සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 24 ක අඹකොටේ පදිංචි අයෙකු බවට යි වාර්තා වෙන්නේ. ඔහු අද (30) පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මාවතගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

***************************************

සීෂෙල්ස් හි වාසය කළ ශ්‍රී ලාංකිකයෙකුගේ මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක්

(30.12.2021 – 09:10 +0530 – hirunews.lk/sinhala)

සීෂෙල්ස් හි වාසය කළ ශ්‍රී ලාංකිකයෙකුගේ මරණය සම්බන්ධයෙන් එරට පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වී ඇත්තේ, ඔහු ගෙල සිර කිරීමෙන් ඝාතනය කර ඇති බවටයි.

සීෂෙල්ස් හි තුන්වැනි (3) ජනාකීර්ණ දූපත වන ලා ඩිගු හි පදිංචිව සිටි දොන් හරීන්ද්‍ර පොන්නවිල (47) ගේ සිරුර දෙසැම්බර් 10 වැනි සිකුරාදා උදේ 08:50 ට පමණ ඔහු සේවයේ නියුතු ව්‍යාපාරිකයාට අයත් පෞද්ගලික නිවසක තිබී සොයා ගත් බව පොලිසිය කියයි.

ඉදිකිරීම් සමාගමක් හිමි අදාල ව්‍යාපාරිකයා පොලිසිය ට පවසා ඇත්තේ හරීන්ද්‍ර දින හතරක් (4) සේවයට නො පැමිණීම නිසා ඔහු පිළිබඳ සෙවීමට ගිය බවයි.

ඔහු වැඩි දුරටත් කියා ඇත්තේ, තමා නිවසට පැමිණි විට කිසිවෙකු නො දුටු බවත් නිදන කාමරයේ ජනේලයෙන් බැලූ විට තම සේවකයා බිම වැටී සිටිනු දුටු බවත්ය.

පසුව ඔහු සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී තිබෙනවා.

පසුව පොලිසිය සිරුර සම්බන්ධයෙන් සිදු කල මූලික පරීක්‍ෂණයක දී කිසිදු සලකුණක්‌ අනාවරණය කර ගැනීමට නො හැකි වී තිබෙනවා.

ඉන් දින තුනකට (3) පසු පොලිසිය පවසා ඇත්තේ, මරණ පරීක්‍ෂණයේ දී මෙම ශ්‍රී ලාංකිකයා ගෙල සිර කිරීමෙන් මියගොස් ඇති බවට හෙළි වී ඇති බවයි.

එතැන් සිට විමර්ශනය වෙනත් මානයකට හැරී ඇති අතර දැන් මෙය මිනීමැරුමක් ලෙස සලකා පරීක්ෂණ සිදු කරනු ලබනවා.

කෙසේ වෙතත් මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අද වනතුරු කිසිඳු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නො මැති අතර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය ප්‍රකාශ කළේ ෴

***************************************

ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් පස් දෙනෙකු (5) අත් අඩංගුවට

(30.12.2021 – 09:56 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී පොලිසිය සිදු කළ වැටලීමකින්, සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබෙනවා.

එහි දී ගණිකා නිවාසය කළමනාකරණය කළ හා කළමනාකරණයට සහාය වූ දෙදෙනෙකු (2) සමඟ ගණිකා වෘත්තියේ යෙදීමේ අරමුණෙන් රැඳී සිටි සැකකාරියන් පස් දෙනෙකු (5) අත් අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.

මෙසේ අත් අඩංගුවට ගත් සැකකාරියන්, අවුරුදු 38, 25, 31, හා 41 යන වයස්වල පසුවන්නියන් බවට යි වාර්තා වෙන්නේ.

ඔවුන් මීගහතැන්න, පාණදුර, වක්වැල්ල, මොරටුව, මඩොල්සිම හා හම්බන්තොට යන ප්‍රදේශවල පදිංචිකාරිනියන්.

අදාළ සැකකාරියන් අද (30) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

***************************************

බලපත්‍ර නො මැති ව ඖෂධ ගබඩා කර අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(30.12.2021 – 10:25 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර නො මැති ව ඖෂධ ගබඩා කර අලෙවි කළ පුද්ගලයෙකු අම්බලන්තොට නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට නගරයේ ඊයේ (29) සිදු කළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 57 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු අලෙවි කරමින් සිටි ඖෂධ, පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා ෴

***************************************

සුපිරි වෙළෙඳසල් රාක්ක දර හා මැටි වළංවලින් පිරෙයි

(30.12.2021 – 10:45 +0530 – hirunews.lk/sinhala)

ගෑස් හිඟය හේතුවෙන් මේ දිනවල කොළඹ සුපිරි වෙළෙඳසල්වල රාක්ක තුළ දර හා මැටි වළං අසුරා තිබුණු අයුරු පෙනෙන්නට තිබෙනවා.

පවතින ගෑස් හිඟය හා ගෑස් පිපිරීමේ සිදුවීම් දිගින් දිගට ම වාර්තා වීමත් සමඟ මහජනයා මෙම විකල්ප ක්‍රමවේද සිය දෛනික කටයුතු සඳහා භාවිත කිරීමට පෙළඹි ඇති බවකි පෙනෙන්නට ඇත්තේ.

මීට පෙර දිවයින පුරා භූමිතෙල් ළිප්වල හිඟයක් ද ඇති වුණේ, මෙම ගෑස් ආශ්‍රීත ව පැන නැඟුණු අර්බුද හමුවේ යි.

***************************************

ගාලුමුවදොර පිටිය අසල දී සුපිරි රියක් ගිනි දෙවියන්ට බිලි වෙයි

(30.12.2021 – 11:12 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ගාලුමුවදොර පිටිය අසල අතුරු මාර්ගයක ඊයේ (29) සුපිරි සුඛෝපභෝගී මෝටර් රථයක් ගිනි ගැනීමකට ලක් වුණා. ඊයේ (29) රාත්‍රී 10:20 ට පමණ ඇති වූ මෙම සිද්ධිය හේතුවෙන් අදාළ සුපිරි මෝටර් රථය සම්පූර්ණයෙන් ම විනාශ වී ගොස් තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නො මැති අතර, කොලඹ ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළා. සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

***************************************

ඉදිරි වසර තුන (3) ලංකාවේ දියුණු ම කාලපරිච්ඡේදය බවට පත් කරනවා – අමාත්‍ය ජොන්ස්ටන්

(30.12.2021 – 11:27 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ඉතිහාසයේ දියුණු ම කාලපරිඡේදය ඉදිරි වසර තුන (3) තුලදී උදා කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

ඒ පේරාදෙණිය – බදුල්ල – චෙන්කලාඩි (A5) මාර්ගයේ සෞදි අරමුදල් යටතේ රුපියල් මිලියන 7,200 ක් වැයකර සංවර්ධනය කළ, බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මී. 86.7 ක මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගි වෙමින්.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු :

“සමහරු කියනවා ගමට ගියොත් හූ තියයි කියලා ආණ්ඩුවේ අයට. අපි දැන් මේ ගමට ඇවිල්ලා ඉන්නේ. ඒ ප්‍රචාර අද වෙනකොට බොරු වෙලා තියෙනවා. බොරුවක් වත් කියාගන්න බැරි විදියට විපක්ෂය අසරණ වෙලා. ශ්‍රී ලංකා ඉතිහාසයේ දියුණුම කාල පරිච්ඡේදය බවට ඊළඟ අවුරුදු 3 අපි පරිවර්තනය කරනවා. අපි මේ රට හදනවා, මේ රට දියුණු කරනවා, මේ රටේ ආරක්ෂාව අතිවිශිෂ්ට ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තහවුරු කරලා තියෙනවා. ජනාධිපතිවරයා ප්‍රමුඛ අපේ රජය මේ රටේ ජීවත් වන සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ සහ බර්ගර් වැනි හැම ජන කොටසකගේ ම ආරක්ෂාව තහවුරු කර දීලා තියෙනවා. අපි කිසි ම විටකින් මේ රට අනාරක්ෂිත රටක් බවට පරිවර්තනය කරන්න ඉඩ තියන්නේ නැහැ. සියලු ම ජාතීන් එකට ජීවත් වෙන්න පුළුවන් විදියට මේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කරනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ දියුණු ම කාල පරිච්ඡේදය බවට ඊළඟ අවුරුදු 3 අපි පරිවර්තනය කරනවා.”

***************************************

ජල මූලාශ්‍ර සංරක්ෂණය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කමිටුව යළි සක්‍රිය කෙරේ

(30.12.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

ජල මූලාශ්‍ර සංරක්ෂණය හා ආරක්ෂාව සඳහා පත් කර තිබෙන අන්තර් අමාත්‍යාංශ කමිටුව නැවත සක්‍රිය කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඉඩම් අමාත්‍යාංශය මගින් පිහිටුවනු ලැබූ මෙම කමිටුවට ප්‍රධාන අමාත්‍යාංශ ඇතුළු ආයතන 23 ක් ඇතුළත්.

එමගින් ස්වභාවික ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීම සඳහා සුරකිමු ගංඟා වැඩසටහන යටතේ විශේෂ දායකත්වයක් දක්වා ඇති බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ වන විට මෙරට ස්වභාවික ජල මූලාශ්‍ර විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති නිසා යළි මෙම කමිටුව සක්‍රිය කළ යුතු බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *