උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

*********************************************

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

(30.12.2021 – 06:18 +0530 – hirunews.lk/sinhala)

2020 වසර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අදාළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ශ්‍රී ලංකා රජයේ විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රතිඵල ලබාගත හැකි යි.

******************************************

කෘත්‍රිම සහල් හිඟයක් මවා සහල් මිල ඉහළ නංවලා – ඇමති බන්දුල

(29.12.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳපොළ තුළ කෘත්‍රිම හිඟයක් මවාපා සහල් මිල රුපියල් 5 කින් ඉහළ නංවා ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

කොළඹ පිටකොටුව සහල් තොග වෙළෙඳසල්වල අද (29) සිදු කළ සංචාරයකින් අනතුරු ව ඔහු කියා සිටියේ, කෘත්‍රිම හිඟය ඇති කිරීමේ අවාසිය භුක්ති විඳීමට සිදු වන්නේ පාරිභෝගිකයාට බවයි.

******************************************

දියර කිරි ගොවීන් ලීටරයට රු. 20 ක් ඉල්ලයි

(29.12.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

දියර කිරි ඇසුරුම් කිරිම සඳහා ආනයනය කරනු ලබන ඇසුරුම් සඳහා රජය විසින් සියයට 5 ක බද්දක් අය කිරිම මගින් දේශීය දියර කිරි නිෂ්පාදන කර්මාන්තය ගැටලු රැසකට මුහුණදී ඇති බවට ද වාර්තා වනවා.

පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් කියා සිටියේ, මුදල් අමාත්‍යවරයා අදාළ බද්ද ඉවත් කිරීමට එකඟතාවය පල කර ඇති බවයි.

කෙසේ වෙතත්, වෙළඳපලේ දේශීය කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 90 කින් ඉහළ ගොස් ඇති බැවින් කිරි ලීටරයක මිල ද රුපියල් 20 කින් ඉහළ දැමිය යුතු බවයි, කිරි ගොවීන් පෙන්වා දෙන්නේ.

කිරි ලීටරයක මිල ද ඉහල නැංවිය යුතුය යන මතයේ තමන් ද සිටින බව පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් සදහන් කළා ෴

******************************************

තවත් යුද හමුදා භට පිරිසක් සුඩානයට

(29.12.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා නිලධාරීන් 11 දෙනෙකු සහ සෙබලුන් 22 නෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (29) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් සුඩාන රාජ්‍යය බලා පිටත්ව ගියා.

එලෙස පිටත්ව ගිය සෙබලුන්ට සුබ පැතීම සඳහා යුද හමුදාපතිවරයා ඇතුළු යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටි බවයි, හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

******************************************

ප්‍රබෝධගම ක්‍රීඩා පිටිය විනාශ මුඛයේ

(29.12.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

රටක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේදී පවතින සම්පත් ආරක්ෂා කරගනිමින්ම ඒවා ඉටු කළ හැකි නම් එය වඩාත් ඵලදායි බව නොරහසක්.

නමුත් ‘අටුව කඩා පුටුව සෑදීමේ ප්‍රතිපත්තිය’ මත ක්‍රියාත්මක ව්‍යාපෘතියක් හේතුවෙන් විනාශ වන ක්‍රීඩා පිටියක් ගැන ප්‍රබෝධගමින් වාර්තා වෙනවා.

******************************************

හාලිඇල – පරගහඇල්ල – බද්දේගම මාර්ගය අබලන් වීමෙන් ගම්වාසින් අපහසුතාවක

(29.12.2021 – 14:15 +0530 – hirunews.lk/sinhala)

සංවර්ධනය කරා යන ගමනේ දී මාර්ග පහසුකම් යනු අත්‍යවශ්‍ය අංගයක්.

නගරයේ මාර්ග මෙන්ම ග්‍රාමීය මාර්ග ද නිසි ලෙස සකස් කිරීම බලධාරීන්ගේ වගකීමක් වුවත් එම වගකීම ඉටු නො වීමෙන් දුෂ්කරතාවට පත් ගමක් පිළිබඳ හාලිඇල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

******************************************

පොහොර නොමැතිව ප්‍රදේශ කිහිපයක ගොවීන් පීඩාවක

(29.12.2021 – 14:38 +0530 – hirunews.lk/sinhala)

පොහොර නොමැති නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවීන් තවමත් මැසිවිලි නගනවා. ගොවීන් පවසන්නේ, හැකි ඉක්මනින් පොහොර ලබා දීම සදහා කටයුතු කර දෙන ලෙසටයි.

නොච්චියාගම බඩඉරිඟු ගොවීන් රසායනික පොහොර නොමැතිකමින් නිසි අස්වැන්නක් නොමැති බවට මැසිවිලි නගනවා.

මේ අතර බදුල්ල – හින්නාරංගොල්ල ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් අස්වැන්න ප්‍රමාණවත් පරිදි නොලැබෙන බැවින් හැකි ඉක්මනින් අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

බදුල්ල කැන්දගොල්ල ගොවීන්ද චෝදනා කරන්නේ පොහොර නොමැතිකමින් සිය ජීවනෝපාය වූ ගෝවා ගොවිතැන අඩාල වී ඇති බවයි.

බණ්ඩාරවෙල – මකුල්ඇල්ලල වෙහෙරගලතැන්න ගම්මානවල මෙන්ම බොහෝ ප්‍රදේශවල ගෝවා ගොවීන් කොම්පෝස්ට් යොදා වගා කළ ගෝවා වගාව විනාශ වී ඇති බවත්, පොහොර නොමැති කමින් නිසි අස්වැන්නක් නොමැති බවත් ගොවීන් පෙන්වා දෙනවා.

කවුඩුල්ල ව්‍යාපාරයේ මැදිරිගිරිය ප්‍රදේශයේ වී ගොවීන්ට ද මෙවර නිසි අස්වැන්නක් නොමැති බවට පවසනවා.

මේ අතර වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹ පිටකොටුව සහල් තොග වෙළෙඳසැල් වෙත පැමිණියේ මිල ගණන් පිළිබඳ විමසා බැලීමටයි.

එහිදී ඔහු සඳහන් කළේ වරායේ සිරවී ඇති සහල් තොග සහිත බහාලුම් නිදහස් කිරීම සඳහා ආනයනකරුවන් වෙත අවශ්‍ය ඩොලර් අද නිකුත් කරන බවයි.

******************************************

කිඹුලාපිටියේ දී අනතුරකට ලක් වූ සැහැල්ලු ගුවන් යානාව රත්මලාන ගුවන්තොටුපොළට

(29.12.2021 – 14:40 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 27 වැනි දා කටුනායක ගුවන්තොටුපොළ ආසන්නයේ කිඹුලාපිටිය ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ සැහැල්ලු ගුවන් යානය ඉදිරි පරීක්ෂණ සඳහා රත්මලාන ගුවන් තොටුපොළට රැගෙන යෑම සඳහා අවසර ලබා දී තිබෙනවා.

අදාළ යානය සීගිරිය ගුවන්තොටුපොළේ සිට කොග්ගල ගුවන්තොටුපොළ දක්වා සචාරකයින් යුවළක් ද රැගෙන පියාසර කරමින් සිටිය දී එහි එන්ජිමේ ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළට හදිසි ගොඩබෑමක් සඳහා අවසර ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් කටුනායක ගුවන් තොටුපොළ එම හදිසි ගොඩබෑමට සූදානම් වෙන අවස්ථාවේ දී සකුරායි ගුවන් සේවයට අයත් මෙම සැහැල්ලු ගුවන් යානය කිඹුලාපිටිය ප්‍රදේශයේ වෙල් යායකට ගොඩබස්වනු ලැබුවා.

එහි දී ඇති වූ කම්පන තත්ත්වයන් හේතුවෙන් යානයේ ගමන් කළ විදේශීය කාන්තාවගේ කොන්දේ අබාධයක් හටගත්තා.

ලියාපදිංචි අංක ‘4 ආර් – ජී.ඒ.එෆ්’ දරණ ‘සෙස්නා සී 172’ මාදිලියේ මෙම සැහැල්ලු ගුවන් යානය හදිසි ගොඩබෑම සිදු කරන අවස්ථාවේ එහි යාන්ත්‍රික දෝෂයක් හටගෙන තිබුණේ ද එසේත් නැතහොස් වෙනත් කරුණක් ඊට මුල් වූයේ ද යන්න සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් සේවා පරීක්ෂකවරුන් සිය විමර්ශන කටයුතු ආරම්භ කළා.

ඒ සඳහා සාක්ෂි සටහන් කරගැනීම සහ තාක්ෂණික දත්ත ඔස්සේ අදාළ පරීක්ෂණ මේ වනවිට සිදු කෙරෙමින් පවතිනවා.

ඒ සඳහා පත් කෙරුණු විශේෂ කමිටුව ස්ථානීය පරීක්ෂාවක් ද සිදු කළ අතර, මෙම සැහැල්ලු ගුවන් යානය රත්මලාන ගුවන්තොටුපොළ වෙත රැගෙන යෑමට අවසර හිමි වූයේ ඉන් අනතුරුව යි ෴

******************************************

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය බලරහිත කරයි

(29.12.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරිමේ පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පෙරේදා (27) දිනයේ නිකුත් කරන ලද මෙම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සහ විවිධ පාර්ශවයන් මතු කළ කරුණු සලකා මෙම තීරණය ගෙන ඇති බවයි අධිකරණ අමාත්‍යාංශය සදහන් කළේ.

බාල වයස්කාර දරුවන්ගේ සුබ සිද්ධිය හා හිංසනයට ලක්වන කාන්තාවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් නීති සකස් කිරීම මිස භාෂණයේ නිදහසට බාධා කිරීම මෙහි අරමුණ නොවූ බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මෙවැනි නීතියක් සකස් කිරීමේදී නිර්මාණකරුවන්ගේ ප්‍රකාශන අයිතිය පිළිබදව ද සැලකිලිමත් විය යුතු බව අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව දැනට පළ කර ඇති ගැසට් නිවේදනය බලරහිත කර සංශෝධිත කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු යළි එය ගැසට් පත්‍රයේ පළ කරන බවයි අධිකරණ අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ සදහන් කළේ ෴

******************************************

බන්ධනාගාර රැඳවියෙකුට තැපැල් මගින් රැගෙන එන ලද පාර්සලයකින් හෙරොයින් සොයා ගැනේ

(29.12.2021 – 15:13 +0530 – hirunews.lk/sinhala)

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකුගේ නමට තැපැල් සේවාව මගින් එවා තිබූ පාර්සලයක සඟවා තිබියදී හෙරොයින් මිලිග්‍රෑම් 680 ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ හෙරොයින් සම්බන්ධ වරදකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිටින රැඳවියෙකුට එම පාර්සලය ලැබී තිබූ බවයි.

එම පාර්සලය තුල තිබූ කොට කලිසමක සූක්ෂමව මෙම හොරොයින් තොගය සඟවා තිබෙනවා.

අදාළ පාර්සලය වැඩිදුර විමර්ශන සඳහා අඟුණකොලපැලැස්ස පොලීසියට භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ෴

******************************************

ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක් සහ කොන්සල් ජනරාල් කාර්යාල කිහිපයක් තාවකාලිකව වැසේ

(29.12.2021 – 15:26 +0530 – hirunews.lk/sinhala)

නයිජීරියාවේ අබුජා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ සයිප්‍රසයේ නිකෝසියා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ඇතුළු විදේශයන් හි පිහිටි දූත මණ්ඩල, දූත කාර්යාල තුන 2021 දෙසැම්බර් 31 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව වසා දැමීමට විදේශ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

දැඩි සැලකිලිමත් බවින් යුක්තව මෙම තීරණය ගත් බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත් වූ මෙම තීරණය, විදේශ අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල සහ දූත කාර්යාල ජාලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද ක්‍රියාවලියක කොටසක් බව එම නිවේදනයේ සඳහන්.

ගෝලීය වසංගතය හේතුවෙන් එල්ල වී ඇති බරපතල ආර්ථික අභියෝග හමුවේ ද්විපාර්ශ්වික සබඳතා ඵලදායී ලෙස පවත්වාගෙන යාම තහවුරු කරමින්, රටට අවශ්‍ය විදේශ සංචිත සුරක්ෂිත කිරීම සහ විදේශයන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල, දූත කාර්යාල නඩත්තු කිරීම සඳහා වැය කෙරෙන වියදම් අවම කර ගැනීමේ අරමුණින් මෙම ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කෙරෙන බව ද විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළා.

මෙලෙස හඳුනාගත් දූත මණ්ඩල / දූත කාර්යාල තුන වසා දැමීමෙන් අනතුරුව, එහි ද්විපාර්ශ්වික, දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික සබඳතා මෙන්ම කොන්සියුලර් කාර්යයන් අදාළ පරිදි පවත්වාගෙන යාම ඇතුළුව ඒවායේ අනෙකුත් කාර්යයන් අක්ත ගන්වන ලද රටවල විෂය පථයට යටත් වන අතර, අබුජා සහ නිකෝසියා හි දූත කාර්යාල නේවාසික නොවන මහ කොමසාරිස් කාර්යාල / ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල විෂය පථයට ඇතුළත් කෙරෙනු ඇති.

මේ අනුව, කෙන්යාවේ නයිරෝබි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා නයිජීරියාව සමගාමීව අක්ත ගැන්වීමටත්, ඊජිප්තුවේ කයිරෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නයිරෝබි හි මහ කොමසාරිස් කාර්යාලය මගින් අබුජා හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා අප්‍රිකාව තුළ සමගාමීව අක්ත ගන්වා ඇති අනෙකුත් රටවල් සමගාමීව අක්ත ගැන්වීමටත් මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

වෙළඳාම, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම ඇතුළුව ෆ්‍රෑන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ කාර්යයන් මෙන්ම, ෆ්‍රෑන්ක්ෆර්ට් නුවර සහ ඒ අවට ජීවත්වන සහ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ කොන්සියුලර් කටයුතු ජර්මනියේ බර්ලින් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විෂය පථයට ඇතුළත් වනු ඇති.

ඉතාලියේ රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සයිප්‍රසය සමගාමීව අක්ත ගැන්වීම අඛණ්ඩව සිදු කෙරෙන අතර, සයිප්‍රසය සමඟ ශ්‍රී ලංකාව පවත්නා ද්විපාර්ශ්වික සබඳතා මේ වන විට අනුගමනය කරන ක්‍රමවේදයට අනුව ඉතාලිය විසින් මෙහෙයවනු ලබනවා.

නිකෝසියා හි කොන්සල් ජනරාල් කාර්යාලය විසින් මෙහෙයවනු ලබන කොන්සියුලර් කටයුතු රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විෂය පථයට ඇතුළත් කෙරෙනවා.

කෙසේ වුවද, සයිප්‍රසයේ වෙසෙන සහ එහි සේවය කරන ආසන්න වශයෙන් 6,000 ක් පමණ වන ශ්‍රී ලාංකික සේවක ප්‍රජාව යොමු කරන, නිතිපතා අවධානය යොමු කළ යුතු කොන්සියුලර් කටයුතු සහ සුබසාධන අවශ්‍යතා සැලකිල්ලට ගෙන, නිකෝසියා කේන්ද්‍ර කර ගත් සුදුසුකම් සහිත නිර්වේතනික කොන්සල්වරයකු පත් කිරීම සඳහා මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි විදේශ අමාත්‍යංශය කියාසිටියේ.

මෙලෙස පත් කරනු ලබන නිර්වේතනික කොන්සල්වරයා රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ විදේශ අමාත්‍යංශයේ මඟපෙන්වීම යටතේ, විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සමඟ සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කරනු ඇති.

ගැටළු නිරාකරණය කිරීම සඳහා විදේශ අමාත්‍යංශය සයිප්‍රසයේ මෙම සංක්‍රාන්ති ක්‍රියාවලිය සමීපව අධීක්ෂණය කරන අතර, අදාළත්වය සහ අවශ්‍යතාව අනුව ඒවාට විසඳුම් ලබා දීමට නුදුරු අනාගතයේ දී කටයුතු කරනු ඇති.

වියදම් කපා හැරීමේ ක්‍රියාමාර්ග ද නොතකා අපනයන ප්‍රවර්ධනය, සෘජු ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ විදේශ රැකියා උත්පාදනය යනාදිය ඇතුළත් ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, රජයේ විදේශ ප්‍රතිපත්ති අරමුණු සපුරාලීම සඳහා ප්‍රශස්ත මට්ටමින් සියලුම රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීමට ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දෙන බව විදේශ අමාත්‍යංශය නිවේදනය කළා.

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික සේවක සේවිකාවන් විදේශ ප්‍රේෂණ සම්බන්ධයෙන් සෘජුව සහ සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බැවින්, ඔවුන්ගේ සුබසාධනය සහ ඵලදායී ක්‍රියාකාරීත්වය සුරක්ෂිත කිරීමේ වගකීම පිළිබඳව අමාත්‍යංශයේ ඉහළ අවධානය යොමු වී තිබෙනවා.

විදේශ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා දූත මණ්ඩල / විදේශයන් හි දූත කාර්යාලවල ප්‍රධානීන් මෙන්ම මුදල්, වෙළඳ සහ කම්කරු අමාත්‍යංශය, කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යංශය සහ විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශය, වාණිජ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ආදී අනෙකුත් රේඛීය ආයතන සම්බන්ධ කරගනිමින් අභ්‍යන්තර හා බාහිර යන දෙඅංශයෙන්ම උපදේශන ක්‍රියාවලියක් පැවැත්වීම තුළින් විදේශ අමාත්‍යංශයේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා දූත මණ්ඩල/දූත කාර්යාලවල අවශ්‍යතා පිළිබඳ අඛණ්ඩ ඇගයීමක් සිදු කරනු ලබනවා.

මෙලෙස හඳුනාගත් දූත මණ්ඩල / දූත කාර්යාල තුන (3) තාවකාලිකව වසා දැමීමේ තීරණය අඛණ්ඩ සමාලෝචනයට යටත් වන අතර, අවශ්‍යතාව අනුව අදාළ නේවාසික දූත මණ්ඩල / දූත කාර්යාල නැවත ස්ථාපිත කිරීම සලකා බැලීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් කියාසිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *