වර්ජනය මැද ඉන්ධන රැගත් දුම්රිය දෙකක් (2) කටුනායකට

වර්ජනය මැද ඉන්ධන රැගත් දුම්රිය දෙකක් (2) කටුනායකට

*********************************************

වර්ජනය මැද ඉන්ධන රැගත් දුම්රිය දෙකක් (2) කටුනායකට

(28.12.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සමග අද(28) පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී නිසි විසදුම් නොලැබුණහොත් දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීරණ වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළා.

ඔවුන් මේ වන විට පාර්සල් ඉන්ධන, සිමෙන්ති සහ තිරිඟු පිටි ප්‍රවාහනය කිරීමෙන් මෙන්ම දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබා දීමෙන් වැළකී සිටිනවා.

කෙසේ වෙතත්, සිදුවිය හැකි අහිතකර බලපෑම් සලකා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට අවශ්‍ය ඉන්ධන රැගත් දුම්රිය දෙකක් (2) කොළොන්නාව නිමාවෙන් පිටත් කර හැරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (28) කටයුතු කළා.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් සිමෙන්ති සහ තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති අතර, දෛනිකව තිරිඟු පිටි මෙට්‍රික් ටොන් 495 ක් පමණ දුම්රියෙන් ප්‍රවාහනය කෙරෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ට බලපෑමක් සිදුකරන්නේ නම් තමන් ද සේවයෙන් ඉවත් වන බව, දුම්රිය පාලකවරුන් ප්‍රකාශ කළා.

මේ අතර, ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම හේතුවෙන් 5 වන දිනටත් මගීන් අද (28) නොමිළේ දුම්රියෙන් ගමන් කළා.

මේ අතර, බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට (29) ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ වෘත්තීය සමිති අතර පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළේ, අවම බස් ගාස්තුව රුපියල් 20 ක් බවට පත්විය යුතු බවයි.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ, අවම බස් ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ ගිය හොත් බස් කර්මාන්තයෙන් මගීන් ඈත් වීමට හේතුවක් විය හැකි බවයි.

ඒ අනුව, බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව ගාස්තු සංශෝධනය විය යුතු බව ඔහු අවධාරණය කළා.

******************************************

ආදීවාසීනුත් බඩුමිලට එරෙහි වෙයි

(28.12.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

දිනෙන් දින ඉහළ යන බඩු මිල හේතුවෙන් තමන් ද දැඩි අපහසුතාවට පත් ව ඇති බව පවසමින් දිඹුලාගල ආදිවාසී ගම්මාන කිහිපයක සාමාජිකයින් අද (28) විරෝධතාවක නිරත වුණා.

දිඹුලාගල ආදිවාසී ගම්මාන කිහිපයක සාමාජිකයින් දළුකාන පත්තිනි දේවාලය අසල දී විරෝධතාවයේ නිරත වූ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, වෙළෙඳපොළේ ගෑස් තවමත් ප්‍රමාණවත් තරම් නො මැති අතර, භූමි තෙල් මිල දී ගැනීම සඳහා ද අද (28) දිනයේ දී ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

******************************************

මට්ටක්කුලියේ බෝට්ටු වැඩපළක ගින්නක්

(28.12.2021 – 14:04 +0530 – hirunews.lk/sinhala)

මට්ටක්කුලියේ බෝට්ටු වැඩපළක ගින්නක් ඇති වී තිබෙනවා.

ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවීමේ රථ 04 ක් පිටත් කළ යැවූ බවයි, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

******************************************

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පහත් මට්ටමේ දේශපාලනයක නිරත වනවා – කෙහෙළිය රඹුක්වැල්ල

(28.12.2021 – 14:35 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පහත් මට්ටමේ දේශපාලනයක නිරත වන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

‘හිරු සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

******************************************

රටේ මතුව ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස්

(28.12.2021 – 14:58 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ යාම සහ රටේ මතුව ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් අදත් (28) අදහස් පළ කළා.

******************************************

සැහැල්ලු ගුවන් යානයක නැඟී ලොව වටා සංචාරයක යෙදෙන ‘සාරා’ රත්මලානට

(28.12.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

සැහැල්ලු ගුවන් යානයක නැඟී ලොව වටා සංචාරයක යෙදෙන 19 හැවිරිදි ගුවන් නියමුවරියක වන ‘සාරා රදර්ෆර්ඩ්’ අද (28) රත්මලාන ගුවන්තොටුපොළට පැමිණියා.

ඒ ඇයගේ ලෝක සංචාරය අතරතුර යි.

සාරාගේ බලාපොරොත්තුව වන්නේ, සැහැල්ලු ගුවන් යානාවක නැඟී, ලොව වටා සංචාරය කළ ළාබාලතම ගුවන් නියමුවරිය වීමට යි.

මෙම සංචාරය තුළ දී ඇය රටවල් 52 ක සිය ගුවන් යානය ගොඩබැස්වීමට සැලසුම් කර ඇති අතර, දෙවරක් සමකය හරහා යෑමටත් බලාපොරොත්තුවෙන් පසු වෙනවා.

සාරා මෙම සංචාරය තුළ දී බලාපොරොත්තු වෙන්නේ, තිස් හැවිරිදි (30) අමෙරිකානු ජාතික ගුවන් නියමුවරියක වෙන ‘ශෙෂ්ටා වයිස්’ විසින් වසර 2017 දී පිහිට වූ වාර්තාව බිඳ හෙළීමට යි.

ගුවන් නියමු පවුලකින් පැවත එන සාරා සිය පළමු ගුවන් නියමු අද්දැකීම ලබාගන්නේ, ඇයට යන්තම් වසර 14 ක් පිරෙද්දියි.

ඇය සිය ගුවන් නියමු බලපත්‍රය වසර 2020 දී ලබාගන්නා විට ඇයගේ වයස අවුරුදු 17 ක්.

ශාක්.යූ.එල් වර්ගයේ අතිසැහැල්ලු ගුවන් යානාවකින් ඇය මෙම ලෝක සවාරියේ යෙදෙන අතර, එම ගුවන් යානය සැහැල්ලු ගුවන් යානා අතර තිබෙන වේගවත් ම ගුවන් යානාවක් ලෙසින් ද සැලකෙනවා.

සාරා මෙම සංචාරය අතරතුර දී අත්ලාන්තික සයුර හරහා ග්‍රීන්ලන්තය, කැනඩාව, දකුණු අමෙරිකාව හරහා ඇලස්කාව දක්වාත් එතැනින් රුසියාව හා ඉන්දුනීසියාව දක්වාත් ගමන් කිරීමට නියමිත යි.

ඉන් අනතුරුව යි ඇයගේ මෙම ත්‍රාසජනක චාරිකාව යුරෝපය දෙසට යොමු වෙන්නේ.

අගෝස්තු 11 වැනි දා බෙල්ජියමේ රසල්ස් නුවරින් ආරම්භ කෙරුණු මෙම ලෝක චාරිකාව මාස තුනක (3) කාලයක් තුළ දී අවසන් කිරීමට නියමිත යි.

******************************************

දුම්රිය ස්ථානාධිපති සංගමය සහ ප්‍රවාහන රාජ්‍ය ඇමති අතර සාකච්ඡාව ඇරඹේ

(28.12.2021 – 17:06 +0530 – hirunews.lk/sinhala)

වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත දුම්රිය ස්ථානාධිපති සංගමය සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට (28) පැවැත්වෙනවා.

ඒ, ප්‍රවාහන අමාත්‍යාංශයේදීයි. ඉල්ලීම් 25 ක් මුල් කරගෙන දුම්රිය ස්ථානාධිපති සංගමය මේ වනවිට පාර්සල්, ඉන්ධන, සිමෙන්ති සහ තිරිඟු පිටි ප්‍රවාහනයෙන් මෙන්ම සාමාන්‍ය දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් ද වැළකී සිටිනවා.

සාකච්ඡාවට පෙර දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කළේ මෙම සාකච්ඡාවේදී නිසි විසඳුම් නොලැබුණහොත් දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක නිරත වන බවයි.

******************************************

කිලිනොච්චියේදී අතුරුදන් වූ කාන්තාවගේ සිරුර පාලමක් යට තිබී සොයා ගැනේ

(28.12.2021 – 17:15 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය – උදයනගර් ප්‍රදේශයේ අතුරුදන් වූ කාන්තාවගේ බවට සැක කෙරෙන මළ සිරුරක් කිලිනොච්චිය – කන්දපුරම් ප්‍රදේශයේ පාලමක් යට තිබිය දී සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, එහි අනන්‍යතාව හඳුනා ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි.

අතුරුදන් වූ කාන්තාවගේ නිවසේ සිට කිලෝමීටර 18 ක් පමණ දුරකින් මල සිරුර හමුවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කිලිනොච්චිය – උදයනගර් ප්‍රදේශයේ 67 හැවිරිදි අදාළ කාන්තාව ඊයේ (27) පෙරවරුවේ බැංකුවට ගොස් පැමිණි පසු, අතුරුදන් වී ඇති බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව විමර්ශනය කළ පොලීසිය ඇගේ නිවසේ තිබූ රුධිර පැල්ලම් කිහිපයක් ද සොයා ගැනුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ ෴

******************************************

දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් – සාකච්ඡා සාර්ථකයි

(28.12.2021 – 18:31 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණූගම ඇතුළු බලධාරීන් සහ දුම්රිය ස්ථානාධිපති සංගමය අතර පැවැත්වූ සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපති සංගමය ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.

ඒ, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරින් සමග එම අමාත්‍යාංශයේ අද (28) පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

අතිකාල දීමනා ක්‍රමවේදය සංශෝධනය කිරීම, උසස්වීම් ක්‍රියාත්මක කිරීම හා සංඥා ක්‍රමවේදයේ පවතින දෝෂ නිවැරදි කිරීම ඇතුළු ඉල්ලීම් 25 ක් මුල් කරගෙන දුම්රිය ස්ථානාධිපති සංගමය පසුගිය 23 වනදා සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

ඒ, යටතේ ඔවුන් සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ පාර්සල් භාරගැනීමේ කටයුතු වලින්ද ඉවත්වීමටයි තීරණය කළේ.

මේ හේතුවෙන් ප්‍රවේශ පත්‍ර ලබාගැනීමකින් තොරව දුම්රියේ ගමන් කිරීමට පසුගිය දින කිහිපයේදි මෙන්ම අදත් (28) මගීන්ට අවස්ථාව උදාවුණා.

එවන් පසුබිමක් තුළ දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ (27) පස්වරුවේ සිට කටයුතු කළේ ඉන්ධන, තිරිඟු පිටි සහ සිමෙන්ති ප්‍රවාහනය කිරීමට අදාළ සේවාවලින්ද ඉවත්වීමටයි.

ඒ අනුව කොළොන්නාව නිමාව තෙල් අංගනයේ සිට ඉන්ධන රැගත් දුම්රිය ධාවනය කිරීම නවතා තිබු බව අප වාර්තාකරු කියා සිටියා.

කෙසේ වෙතත්, සිදුවිය හැකි අහිතකර බලපෑම් සලකා කටුනායක ගුවන් තොටුපලට අවශ්‍ය ඉන්ධන රැගත් දුම්රිය දෙකක් (2) පිටත් කර හැරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (28) කටයුතු කර තිබුනා.

මේ අතර කොළඹ – කොටුව දුම්රිය ස්ථානයේදී ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරුන් විසින් අද (28) පස්වරුවේ ප්‍රවේශ පත්‍ර ලබාදීමට කටයුතු කර තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා.

කෙසේ වෙතත්, මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට රජයට රුපියල් මිලියන 25 කට අධික අලාභයක් සිදුව ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළේ.

මේ අතර, බස්ගාස්තු ඉහල දමන ආකාරය පිළිබද අවසන් තීරණය හෙට (29) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඊට අදාලව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සකස් කළ නිර්දේශ, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වෙත හෙට (29) ලබාදෙනු ඇති.

අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් (2) පමණ ඉහල දැමීමටත් අනෙකුත් ගාස්තු සියයට 10 කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ දැමීමටත් යෝජනා වී ඇති බවයි අද වාර්තා වුණේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *