ජීව වායුව – ගෑස් අර්බුදයට විසඳුමක්

ජීව වායුව – ගෑස් අර්බුදයට විසඳුමක්

*********************************************

ජීව වායුව – ගෑස් අර්බුදයට විසඳුමක්

(26.12.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala)

ගෑස් හිඟය මෙන්ම ගෑස් සිලින්ඩර ආශ්‍රිත අනතුරු පිළිබඳවත් මේ දිනවල දැඩිව කතාබහට ලක්වනවා.

නමුත් ඒ පිළිබඳ සාකච්ඡාවක් මතු වීමටත් පෙර සිටම අප එදිනෙදා භාවිත කරන LP ගෑස් වෙනුවට ජීව වායුව භාවිත කරමින් ඉවුම් පිහුම් කටයුතු සිදුකරන පවුලක් පිළිබඳ බිබිල – මැදගම ප්‍රදේශයෙන් අපට වාර්තාවුණා.

අප වර්තමානයේ ගෑස් අර්බුදය ගැන දැඩිව කතා බහට ලක් කරමින් ඒ සඳහා විවිධ විසඳුම් සොයමින් හිටියත් බිබිල – මැදගම ප්‍රදේශයේ පදිංචි ආනන්ද රත්නායක යුවල ඒ සඳහා විසඳුමක් හොයන්න පටන් ගත්තේ මීට වසර 10 කට පෙර සිටයි.

ඒ අනුවයි මෙම ජීව වායු සංකල්පය ඔවුන්ට ඇතිවෙන්නේ.

නිවසේ ඉවතලන කැලි කසළ පොළොවට දිරාපත්වන්නට නොදී ඉන් වැඩක් ගන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා.

ජීව වායුව ඉතා අඩු පහසුකම් යටතේ වුවත්, ඉතා සුළු මුදලක් වැය කරමින් නිපදවීමට හැකිවීමත් විශේෂත්වයක්.

වසර 10 ක් තිස්සේ ගෑස් වෙනුවෙන් කිසිදු මුදලක් වැය නොකර ඉවුම් පිහුම් කටයුතු සිදුකරගන්නත් ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා.

ඒ විතරක්ම නොවෙයි ජීව වායුව නිපදවීමේ අතුරු ඵලයක් ලෙස කොම්පෝස්ට් පොහොර නිදපවා ගන්නටත් ඒ තුළින් ගෙවත්තේ වගාව සරු කරගන්නටත් මේ යුවල කටයුතු කළා.

රටේ පවතින ගෑස් අර්බුදය හමුවේ මෙවැනි ව්‍යාපෘති සඳහා ජනතාව දැනුවත් කිරීමට සහ ජනතාව යොමු කිරීමට හැකිනම්, එය ඉතා වටිනා කාර්යයක් බවයි රත්නායක යුවල සිහිපත් කරන්නේ.

******************************************

විදේශිකයන් සමඟ විවාහ වන්න, ආරක්ෂක නිශ්කාෂණ වාර්තාවක් ඉල්ලයි

(26.12.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

විදේශිකයෙකු හා විවාහවීමට අපේක්ෂා කරන ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකු ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිශ්කාෂණ වාර්තාවක් ලබාගත යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් සියලුම දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන් වෙත නිකුත් කර ඇති එම චක්‍රලේඛයට අනුව නව රෙගුලාසි ලබන වසරේ ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක කෙරෙනු ඇති.

මීට පෙර විදේශීය පුරවැසියෙකු හා ශ්‍රී ලාංකික පුරවැසියෙකු අතර විවාහයක් ලියාපදිංචි කිරීමේදී අවශ්‍ය වූයේ වලංගු විදේශ ගමන් බලපත්‍රය, දික්කසාද ලියවිලි සහ වැන්දඹු බව සනාථ කිරීමේ ලියකියවිලි ඇතුලු සිවිල් තත්වය සනාථ කිරීමේ සහතිකය සහ උපන් දිනය සනාථ කිරීමට අවශ්‍ය වුවහොත් පමණක් ඉල්ලා සිටින උප්පැන්න සහතිකය පමණයි.

එහෙත් විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර සිදුවන විවාහ ලියාපදිංචි කිරීමෙන් ජාතික ආරක්ෂාවට ඇතිවන බලපෑම සහ උද්ගතවිය හැකි සමාජයීය ගැටළු සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශය සහ ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සාකච්ඡා කර ඇති කරගත් එකඟතාවකට අනුව විදේශීය පාර්ශවය සම්බන්ධයෙන් මෙම ආරක්ෂක නිෂ්කාෂණ වාර්තාව ලබා ගැනෙන බවයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

ඒ අනුව එවැනි විවාහයකදී විදේශීය පාර්ශවය විසින් මාස හයක් (6) ඇතුළත තම රටේ ආරක්ෂක බලධාරීන් වෙතින් ලබාගත් කිසියම් වරදකට වැරදිකරු නොවන බවට වන සහතිකයේ මුල් පිටපත තම දේශීය පාර්ශවකරු හෝ නියෝජිතයෙකු මගින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුයි.

මීට අමතරව අදාළ විදේශිකයා කොරෝනා එන්නත්කරණය ලබා තිබේද යන්න ඇතුළත් ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍ය තත්වය තහවුරු කරගැනීම සඳහා වන ස්වයං ප්‍රකාශයක් ද ඉදිරිපත් කළ යුතු වනවා ෴

******************************************

ප්‍රමිතියෙන් යුත් පොහොර දෙන්න – ගොවීන්ගෙන් තවදුරටත් මැසිවිලි

(26.12.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

නිසි ප්‍රමිතියකින් යුත් පොහොර නොලැබීම නිසා සිය වගාවන් විනාශ වී ඇති බවට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් චෝදනා කරනවා.

රජයෙන් ලබා දුන් කාබනික දියර පොහොර හේතුවෙන්ද තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි ගොවීන් චෝදනා කළේ.

මහවැලි බී. කලාපයේ වැලිකන්ද සුසිරිගම හා මලින්ද යන ගම්මානවල ගොවීන් පවසන්නේ මෙවර මහ කන්නය යටතේ වගා කරන ලද වී වගාව කහ පැහැවී එහි වර්ධනයක් නොවී වගාවන් විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බවයි.

වගාවන් ආරම්භ කර දින 35 කට වැඩි කාලයක් ගතව ඇතත් නිසි ලෙස ගොයම් වර්ධනය වී නොමැති හෙයින් තමත් ගැටලු රාශීයකට මුහුණ පා සිටින බව මැදිරිගිරිය – කවුඩුල්ල – දියසෙන් පුර ගොවීන් ද ප්‍රකාශ කළා.

මේ අතර මහනුවර – කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වගලයාය පල්ලේකඩේයාය සහ නාරංගහයාය ඇතුළු ප්‍රදේශ රැසක ගොවීන්ද පිඩාවට පත්ව සිටින්නේ රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන්.

එමෙන්ම, මින්නේරිය ව්‍යාපාරය යටතේ වගා කරන ලංකාපුර – ගල්අමුණ ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ ඔවුන්ට ලැබුනු දියර පොහොර හේතුවෙන් සුනඛයින්ගෙන්ද සිය වගාවන් ආරක්ෂා කර ගැනිමට සිදුව තිබෙනවා. එමෙන්ම, එම පොහොර නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවන බවයි ගොවින් චෝදනා කරන්නේ.

බදුල්ල කන්දේ ගෙදර ප්‍රදේශයේ එළවළු ගොවීන්ද සිය වගාවන්ට අවශ්‍ය පොහොර නොමැතිව දැඩි පිඩාවට පත්ව සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ සිය ජීවිකාව ගෙන යෑමට තිබූ එකම අදායම් මාර්ගයද මේ වන විට අහිමි වී ඇති බැවින් තමන් දැඩි පීඩාවට පත්ව ඇති බවයි.

මේ අතර බණ්ඩාරවෙල හීල්ඔය ල කුරුදුගොල්ල ප්‍රදේශවල ගොවීන් තක්කාලි වගාවට පොහොර ලැබෙන තුරු වගාබිම් සකස් කර බලාසිටින අතර බොංචි ගොවීන් පෙන්වා දෙන්නේ පොහොර නොමැති වීම හේතුවෙන් පළදාව අඩු වී ඇති බවයි.

******************************************

බැලුනයක ආධාරයෙන් තොරතුරු රැස් කරන පද්ධතියක් ගුවනට

(26.12.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)

ප්‍රථම වතාවට බැලූනයක් ආධාරයෙන් තොරතුරු රැස්කරන පද්ධතියක් ගුවන් ගත කිරීම අද (26) පෙරවරුවේ සිදුවුණා.

ඒ, දඹුල්ල – කන්ඩලම ඩී.එස්.සේනානායක විද්‍යාල භූමියේ සිටයි.

ගුවන් ගත කෙරුණු මෙම බැලූනය මගින් ඉහළ වායුගෝලයේ පවතින විවිධ සංඝටක මෙන්ම කාලගුණික දත්ත සහ චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීමට ඇති හැකියාව සොයාබැලිය හැකි බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේ.

රජයේ හා පෞද්ගලික විශ්වවිද්‍යාල 17 ක සිසුවියන් එක්ව අද (26) පෙරවරු 06:35 ට බැලූනයේ අදාල පරීක්ෂණ මෙවලම් සවිකොට ගුවනට මුදාහැරීම සිදුකෙරුණා.

******************************************

මියගිය තිරුක්කෝවිල් පොලිසියේ නිලධාරීන්ට උසස් වීම් – පොලිස්පති නිවෙස්වලට යයි

(26.12.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේදී සැරයන්වරයෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය නිලධාරීන් සිව්දෙනාට (4)පොලිස්පතිවරයාගේ උපදෙස් මත පශ්චාත් උසස්වීම් ලබාදී තිබෙනවා.

මේ අතර, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මියගිය පොලිස් නිලධාරීන්ගේ නිවෙස් වෙත අද දින (26) ගොස් ඥාතීන් හමුවී ශෝකය ප්‍රකාශ කරනු ලැබුවා.

අම්පාර – තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළ දී පෙරේදා රාත්‍රියේ පොලිස් සැරයන්වරයෙකු සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් 4 දෙනා ජීවිතක්ෂයට පත්වුණා.

ඒ අනුව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය ද අද දින (26) අම්පාර රෝහලේදී පැවැත්වුණු බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු (2) සහ කොස්තාපල් රියදුරෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වූ අතර, සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක තනතුරටත්, කොස්තාපල්වරුන් දෙදෙනා සැරයන් තනතුරටත්, කොස්තාපල් රියදුරු සැරයන් රියදුරු ලෙසත් උසස් කර තිබෙනවා.

පසුගිය 24 වන දා සිට එම පශ්චාත් උසස්වීම් ක්‍රියාත්මකයි.

+++++++

පොලීසියේ සිව්දෙනෙකු (4) ඝාතනය කළ සැරයන් ගැන මව කළ සංවේදනීය හෙළිදරව්ව

(25.12.2021 – 20:03 +0530 – sinhala.adaderana.lk)

අම්පාර තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ ඊයේ (24) රාත්‍රියේ වෙඩි තැබීම සිදුකළ පොලිස් සැරයන්වරයාගේ මව සංවේදී හෙළිදරව්වක් සිදු කළාය.

ඇය සඳහන් කළේ සිය පුතා වසර 8 ක් තිස්සේ දැඩි පීඩනයකින් සිටි බවය.

පොලිස් සැරයන් දිනේෂ් රවීන්ද්‍ර කුමාර පොලීසිය තුළ ඊයේ (24) රාත්‍රියේ සිදුකර තිබූ එම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු (4) ජිවිතක්ෂයට පත්වී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පොලිස් සැරයන්වරයාගේ මව සඳහන් කළේ,

“2012 ඉඳලා පුතාගේ පාදයේ අසනීපයක් තියෙනවා. එයාට මෙඩිකල් නිසා යුනිෆෝම් අඳින්න බෑ. එයාට මුල ඉඳලම එක එක කෙනෙහිලිකම් වුණා පොලීසිවලින්. ප්‍රශ්න ඇති කරලා – ඇති කරලා පොලීසියේ පිටු 7 ක් ලියලා දීලා ඒක විභාග කරකර ගියා. පස්සේ ඒක අතහැරලා දාලා හිටියා පුතා.”

“සමන්තුරේ වැඩකරපු කාලෙත් දින 100 ක නිවාඩුවක් නොදී තියාගත්තා. එයා මෙඩිකල් නිසා එයාට වෛර කරනවා. ‘උඹ මෙඩිකල් අරන් තියෙන්නේ පගාවට, නිකන් ඉඳන් කන්නේ’ වගේ කතා පොලීසියේ අනෙක් අය කියලා තියෙනවා. මත්පැන් ගන්නෙත් නෑ. ඔය පීඩනයෙන් අවුරුදු 8 ක් හිටියේ.”

“අපිටත් දුකයි.. වෙච්ච ප්‍රශ්නයටත් දුකයි. අවුරුදු 38 ට කිසි මනුස්සයෙක් එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන නෑ. ඒත් දරුවා කෝල් එකක් අරන් කිව්වා නම් අම්මේ.. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. මං වැඳලා කියනවා මගේ පුතාට.. රස්සාව දාලා ගෙරද එන්න මගේ මැණික කියලා. මට කිව්වේ නෑ.”

“පුතා පොලීසියේ වෙඩි තියන්න පටන්ගෙන කියලා ගෙදරට ආරංචි වෙලා පැයක් ගියේ නෑ පුතා ගෙදර ආවා. ඒ ආවේ මොනරාගල පොලීසියට භාරවෙන්න. මෙයා එනකොට ලාහුගලදිත් වෙඩි තියලා තියෙනවා. වැදිලා තිබුණේ නෑ. ගෙදරට ඇවිත් මට වැඳලා ගියේ. මුකුත් කිව්වේ නෑ. අපි කිව්වා මොනරාගලට යන්න එපා තවත් බාධාවෙයි ඇතිමලේ පොලීසියට යන්න කියලා.”

පළමුව පොලිස්ථානයට පැමිණ ඇති ඔහු පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුවේ රාජකාරි කළ පොලිස් නිළධාරියා සතු ටී. 56 ගිනි අවිය උදුරාගෙන තිබුණි.

පසුව පොලිස් සැරයන්වරයා එම ගිනි අවියෙන් පොලිස් ස්ථානය තුළ සිටි නිලධාරින්ට වෙඩි තබා තිබුණි.

එම අවස්ථාවේ චෝදනාගාරය භාරව කටයුතු කළ පොලිස් නිලධාරියාට ද වෙඩි තබා ඇත.

ඔහු තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපතිවරයාට වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණේ, රාජකාරි කටයුත්තක් සඳහා බැහැරට ගොස් ජීප් රථයෙන් යළි පොලිස් ස්ථානයට පැමිණෙමින් සිටියදීය.

එහිදී ජීප් රථයේ රියදුරට වෙඩි වැදීමෙන් පසු ජීප් රථය, අසළ පිහිටි ගොඩනැගිල්ලක ගැටී තිබුණි.

රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර පොලිස් ස්ථානාධිපතිවරයා තුවාල ලැබීය.

වෙඩි ප්‍රහාරයෙන් තවත් පොලිස් නිලධාරින් දෙදෙනකු (2) එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්වී තිබුණි.

පොලිස් මූලස්ථානය පැවසුවේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපති අරුණ ජගත් දෙහිගම මහතා ඇතුළු නිලධාරින් සිව්දෙනකු (4) තිරුක්කෝවිල් සහ අක්කරේපත්තුව යන රෝහල් වෙත ඇතුළත් කළ බවය.

රෝහල් ගතකිරීමෙන් පසු තවත් නිලධාරියෙකු මියගොස් තිබුණි.

මිය ගිය නිලධාරින් අතර පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු (2) සහ පොලිස් කොස්තාපල් රියදුරු ද වෙයි.

වෙඩි තැබීම සිදුකළ පොලිස් සැරයන්වරයා තම පෞද්ගලික කැබ් රථයෙන් සිය ගම් ප්‍රදේශය වන ඇතිමලේ ප්‍රදේශයට පළාගොස් තිබුණි.

37 හැවිරිදි අවිවාහක පුද්ගලයකු වන සැරයන් දිනේෂ් රවීන්ද්‍ර කුමාර පසුව ඇතිමලේ පිහිටි තම නිවසට ගොස් සිය මවට වැඳ පසුව ඇතිමලේ පොලිස්ථානයට කැබ් රථයෙන්ම පැමිණ භාරවී තිබුණි.

පොලීසිය පැවසුවේ, වෙඩි තැබීම සිදුකළ ටී.56 ගිනි අවි දෙකක් (2), මැගසින් 19 ක පුරවන ලද උණ්ඩ 562 ක් මෙන්ම තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ යතුරු කැරැල්ලක් සැකකරු විසින් ඇතිමලේ පොලීසියට භාරදුන් බවය.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අම්පාර මුලස්ථාන පොලීසියට යොමුකර තිබුණි.

වෙඩි තැබීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නැතත් නිවාඩු ලබානොදීමේ සිද්ධියක් මීට මුල්වී ඇත්දැයි පොලීසිය සැක පළ කරයි.

මෙම පොලිස් සැරයන්වරයා පොලිස් විශේෂ කාර්ය බලකායේ සිට පොලීසියට එක්වු අයෙකි.

වසර කිහිපයකට පෙර ඔහුට පාදයේ ශල්‍යකර්මයක් සිදුකර තිබූ බැවින් සැකකාර පොලිස් සැරයන්වරයා සිට තිබුණේ වෛද්‍ය අධීක්ෂණය යටතේය.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණ අද (25) පස්වරුවේ සිදුකෙරුණි.

සැකකාර පොලිස් සැරයන්වරයා අද (26) පස්වරුවේ අක්කරෙයිපත්තු මහෙස්ත්‍රාත් එම්.මොහොමඩ් හම්ෂා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන ජනවාරි 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මෙම වෙඩි ප්‍රහාරවලින් පොලිස් නිලධාරීන් සිව්දෙනකු (4) මියගොස් තිබුණි.

30 හැවිරිදි කොස්තාපල් අලකරත්නම් නවීන් කල්මු‍ණේ පදිංචිකරුවෙක් වන අතර, 54 හැවිරිදි පොලිස් සැරයන් අබ්දුල් කාදර් ඔලුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධියෙන් මියගිය සියඹලාන්ඩුවේ පදිංවි 32 හැවිරිදි පොලිස් කොස්තාපල් රියදුරු දිසානායක මුදියන්සේලාගේ තුෂාර, දෙදරු පියෙකි.

35 හැවිරිදි පොලිස් කොස්තාපල් ඉෂාර ප්‍රබුද්ධ මහතා ද සිද්ධියෙන් මියගියේය.

බිබිල ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු විවාහ වී තිබුණේ මීට මාස 4 කට පෙරය.

++++++++

තිරුක්කෝවිල් ඝාතනයේ පොලිස් සැරයන්වරයාගේ ප්‍රකාශය හිතළුවක්ද ? – පොලීසියෙන් විමර්ශන

(27.12.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේදී සැරයන්වරයෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය නිලධාරීන් සිව්දෙනාගේ (4) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු ඥාතීන් වෙත භාර දී තිබෙනවා.

මේ අතර, වෙඩි තබන ලද පොලිස් සැරයන්වරයා තවදුරටත් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ සිය මව දැකීම සඳහා නිවස වෙත යාමට නිවාඩු හිමි නොවීම නිසා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි.

කෙසේ වෙතත්, පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ පොලිස් නිලධාරියාට අවසන් වරට දින 07 ක කාලයක් නිවාඩු හිමි වී ඇති බවයි.

මීට අමතරව සෑම මසකම නිවාඩු ලබාගෙන ඇති බව ද පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

එබැවින් මෙම පොලිස් සැරයන්වරයා වෙඩි තැබීමට හේතුව ලෙස දක්වන කරුණුවල සත්‍යතාවයක් පවතින්නේද යන්න පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

අම්පාර – තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළදී පසුගිය සිකුරාදා පොලිස් සැරයන්වරයෙකු සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් 04 දෙනා ජීවිතක්ෂයට පත්වුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *