වෛද්‍ය වර්ජනයේ සැබෑ හේතුව කුමක්ද ?

වෛද්‍ය වර්ජනයේ සැබෑ හේතුව කුමක්ද ?

*********************************************

වෛද්‍ය වර්ජනයේ සැබෑ හේතුව කුමක්ද ?

(22.12.2021 – 19:15 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ දිනවල දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඉල්ලීම් හතක් (7) මුල්කරගත් මෙම වැඩවර්ජනය එක් එක් දිස්ත්‍රික්ක ඉලක්ක කරගෙන සිදු කිරීමට පළමුව තීරණය කර තිබුණ ද ඊයේ (21) දිනයේදී ඔවුන් හදිසියේ එම තීරණය වෙනස් කර අද (22) දින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දක්වා එය පුළුල් කළා.

මෙම වැඩ වර්ජනයට හේතුව ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ඔවුන් සිය වෘත්තීය ජීවිතයේ මුහුණ දෙන වෘත්තීය ගැටලු ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ දක්වා නිරාකරණය කර නොතිබීම බවයි.

වෛද්‍යවරු වැඩවර්ජනයකට එක් වූ විට ඉන් වැඩියෙන්ම බැට කන්නේ මෙරට අහිංසක දුගී දුප්පත් ජනතාව බව නො නොරහසක්.

කෙසේ වෙතත් මෙම වැඩවර්ජනය මෙතරම් ඉක්මනට මෙතරම් පුළුල් ලෙස දියත් වීමට හේතුභූත වූ තවත් කාරණාවක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ බින්න බැස සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තිය සමිති නිලධාරීන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දොට්ට දැමීමයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති කාර්යාල ශාඛාවක් දැනට වසර ගනණාවක සිට සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පිහිටුවා තිබෙනවා.

එම කාර්යාලය තුල නිරන්තරයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිතියට අයත් වෛද්‍යවරුන් කිහිප පළක් රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල සිදුකළ සොයා බැලීමකදී හෙළි වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ වෘත්තීය සමිති ශාඛාවක් පවත්වාගෙන යන එකම වෘත්තිය සමිතිය මෙය බවයි.

එය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන අනෙකුත් වෘත්තීය සමිති වලට සිදු කරන අසාධාරණයක් බැවින් අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් දී ඇත්තේ වහාම එම වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කර එම කාර්යාලය අමාත්‍යාංශයට පවරා ගන්නා ලෙසයි.

මෙම සිදුවීමෙන් කෝපයට පත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොටස් වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජන විරෝධතාව දීප ව්‍යාප්ත විරෝධතාවක් ලෙස පුළුල් කළ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ අද (22) රාත්‍රී 8 ට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් අතර මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

මේ අතර ඉල්ලීම් 7 ක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අද (22) දෙවැනි (2) දිනටත් ක්‍රියාත්මක වුණා.

ඒ හේතුවෙන් රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් පත්වුණේ දැඩි දුෂ්කරතාවයටයි.

කෙසේ වෙතත්, තවත් වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තීය සංගම් චෝදනා කරන්නේ ව්‍යාජ කරුණු කිහිපයක් හුවාදක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස වර්ජනයක නිරත වන බවයි.

නීත්‍යනුකූල වෛද්‍ය මාරු මණ්ඩලවල අනුමැතියකින් තොරව විශේෂඥ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලයිස්තු සැකසීම, නීත්‍යනුකූල වෛද්‍ය මාරු මණ්ඩලවල, අනුමැතියෙන් තොරව ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ අනුයුක්ත කිරීම් සිදුකිරීම, 2022 වාර්ෂික ස්ථානමාරු ලැයිස්තුව ප්‍රකාශයට පත්නොකිරීම ඇතුළු කරුණු 7 ක් මුල් කර ගනිමින් මෙම වෛද්‍ය වර්ජනය අද (22) දෙවැනි (2) දිනටත් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වුණා.

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, ජාතික අක්ෂි රෝහල ඇතුළු දිවයින පුරා ප්‍රධාන රෝහල් රැසක මෙම වර්ජනය ක්‍රියාත්මක වූ අතර, මේ හේතුවෙන් රෝගීන් පත්වුණේ දැඩි දුෂ්කරතාවකටයි.

දීපව්‍යාප්තව වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක කෙරුණද, මහරගම අපේක්ෂා රෝහල ඇතුළු හදිසි ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක රෝහල්වල ප්‍රතිකාර සේවා පවත්වා ගෙන යාමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගෙන තිබුණා.

මේ අතර, වර්ජනයට සහය නොදෙන වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තීය සංගම් චෝදනා කරන්නේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස වර්ජනයේ නිරතවන බවයි.

මේ අතර, පශ්චාත් සීමාවාසික පත්වීම් සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා වෙත ලිපියක් යොමුකොට තිබෙනවා.

එහි දැක්වෙන්නේ පශ්චාත් සීමාවාසික පත්වීම් යනු නව පත්වීම් මිස ස්ථාන මාරුවීම් නොවන බවයි.

එමෙන්ම පශ්චාත් සීමාවාසිකයින් පත්කළ යුත්තේ සේවා අවශ්‍යතා මත මිස කිසිදු වෘත්තීය සමිතියක අභිමතය පරිදි නොවන බවද එහි දැක්වෙනවා.

වෛද්‍ය නිලධාරීන් ස්ථානගත කිරීමේදී වෘත්තීය සමිති මත පදනම්ව සිදුවන පිළිවෙතෙහි අවසානයක් දැකිය යුතු බවද එම ලිපියේ සඳහන්.

ඒ අනුව මෙම ගැටලුව විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ගත් උත්සාහයන් අගය කරන බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර, වෛද්‍යවරුන්ගේ වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා රෝගීන් පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු වී ඇති අයුරු දැකගත හැකි වුණා.

මේ අතර, ඉල්ලීම් 8 කට සාධාරණ විසඳුම් ඉල්ලා හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය අතුළු සේවාවන් 16 ක වෘත්තීය සමිති අද (22) දකුණු පළාත් රෝහල්වල ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය අත්හැරීමට තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත්, ඔවුන් තීරණය කර ඇත්තේ හෙට (23) පෙරවරු 7 සිට අනිද්දා පෙරවරු 7 දක්වා පැය 24 ක වර්ජනයක් සබරගමු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමටයි.

******************************************

වරලත් ඉංජිනේරුවරයෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට

(22.12.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රථම වරට වරලත් ඉංජිනේරුවරයෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙනවා.

එම තනතුරට පත්ව ඇති තුෂාර ගම්ලත් මහතා විදුලි සංදේශ ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධරයෙක්.

+++++++

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ උණවටුන ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය කළ වැලි පිරවූ ටිපර් රථයක්, ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක ගැටී සිදු වූ අනතුරෙන් බස් රථයේ කොන්දොස්තරවරයා බරපතළ තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

******************************************

ජවිපෙ සමග එක්ව ගමනක් යා හැකි බව දයාසිරි කියයි

(22.12.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව ගමනක් යාමේ හැකියාව තම පක්ෂයට ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

******************************************

14 හැවිරිදි දැරියක් ගණිකා වෘත්තියේ යෙද වූ ඥාති සොහොයුරියක් අත්අඩංගුවට

(22.12.2021 – 19:44 +0530 – hirunews.lk/sinhala)

තමාගේ තනියට කැඳවාගෙන යන බව පවසමින් 14 හැවිරිදි දැරියක් දීර්ඝ කාලයක සිට ගණිකා වෘත්තියේ යෙදවූ බව කියන ඇගේ ඥාතී සොහොයුරියක් සහ දැරිය මිලදී ගත් බව කියන පුද්ගලයෙකු මරදාන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරිය මිලදී ගත් තවත් ව්‍යාපාරිකයින් ඇතුලු ක්ෂේත්‍ර කිහිපයක පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වෙමින් පවතින බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

දැරියගේ දෙමාපියන් මුලාකොට තමාගේ තනියට දැරිය රැගෙන යන බව පවසමින් 31 හැවිරිදි සැකකාර කාන්තාව දැරිය විවිධ ස්ථානවලට රැගෙන ගොස් මුදලට අලෙවි කර ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.

ඇතැම් අවස්ථාවලදී මෙම බාල වයස්කාර දැරිය රුපියල් 50,000 කට වැඩි මුදලකට ද අලෙවි කර ඇති අතර, දැරිය විකිණිමෙන් ලැබෙන මුදල් වලින් සැකකාර කාන්තාව සුඛෝපභෝගි ජිවිතයක් ද ගත කර තිබෙනවා.

මේ අතර, ගම්පොල – මවුන්ටන්පල් ප්‍රදේශයේදී 14 හැවිරිදි දැරියක් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඇයගේ පියා සහ ඥාතියෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා.

ප්‍රේම සබඳතාවයක් හේතුකොට ගෙන දැරියගේ පියා සහ සුළු පියා පසුගිය 19 වනදා මෙම පහරදීම සිදුකර ඇති අතර, සිහිසුන් වූ දැරිය රෝහල් ගත නොකර බොහෝ වේලාවක් නිවසේ තබා ගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වනවා ෴

******************************************

දින 4 ක් ප්‍රධාන දුම්රිය හරස් මාර්ගයක් වැසේ

(22.12.2021 – 19:56 +0530 – hirunews.lk/sinhala)

මරදන්කඩවල – හබරණ – ත්‍රිකෝණමඩු මහා මාර්ගයේ පලුගස්වැව සහ ගල්ඔය දුම්රිය ස්ථාන අතර පිහිටි සැ.125 දම්.58 දරණ දුම්රිය හරස් මාර්ගය ජනවාරි මාසයේදී දින 4 ක් වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ජනවාරි 06, 07, 08 සහ 09 යන දිනවල එම හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් සිදු කිරීම මීට හේතුවයි.

මේ හේතුවෙන් ජනවාරි 06 සහ 07 යන දිනවල පෙරවරු 7 සිට රාත්‍රී 10:30 දක්වා අර්ධ වශයෙන් සහ ජනවාරි 08 වනදා පෙරවරු 9 සිට රාත්‍රී 10:30 දක්වා සම්පූර්ණ වශයෙන් ද වසා තැබෙනු ඇති.

අර්ධ වශයෙන් හරස් මාර්ගය වසා තැබෙන කාලය තුල පොලිස් නිලධාරීන්ගේ සහයෝගය ලබාගෙන හරස් මාර්ගය භාවිත කිරීමට හැකියාව පවතිනවා.

කෙසේවෙතත් හරස් මාර්ගය සම්පූර්ණයෙන් වසා තැබෙන කාලය තුල හබරණ සිට මරදන්කඩවල මාර්ගයේ ගමන් කරන වාහන කැකිරාව දඹුල්ල හරහාත්, මරදන්කඩවල සිට හබරණට ගමන් කරන වාහන දඹුල්ල කැකිරාව හරහා ගමන් කිරීමට හැකියාව පවතිනවා.

සැහැල්ලු වාහන, ගිලන් රථ සහ වෙනත් වාහන හබරණ සිට මරදන්කඩවල – පුවක්පිටිය සිට පලුගස්වැව යන නගර හරහා මරදන්කඩවල දක්වා පොලිස් නිලධාරීන්ගේ සහයෝගය ලබා ගනිමින් භාවිත කළ හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴

******************************************

අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

(22.12.2021 – 20:02 +0530 – hirunews.lk/sinhala)

2020 සහ 2021 වර්ෂවල ඇමරිකානු වීසා ලබාගෙන කෝවිඩ්-19 හෝ වෙනත් කාරණයක් හේතුවෙන් ඇමරිකාවට යාමට නොහැකි වූ පුද්ගලයින් වහාම අමෙරිකානු තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය හා සම්බන්ධ වන ලෙස අමෙරිකානු තානාපති කාර්යාලයය සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එම පණිවිඩයේ දැක්වෙන්නේ ConsularColombo@state.gov යන විද්‍යුත් තැපැල් ලිපිනයට මෙම කාරණය සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසයි.

ඉන් අනතුරුව සිදුවීම් විශ්ලේෂණය කිරීමෙන් පසු ගැටලු නිරාකරණයට අදාළ පියවර ගන්නා බව එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් ෴

******************************************

වැලිගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

(22.12.2021 – 20:08 +0530 – hirunews.lk/sinhala)

වැලිගම මිදිගම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අද (22) පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) බවයි පොලිසිය සඳහන් කළේ.

මිදිගම හංදිය ආසන්නයේ ඇති හෝටලයක් ඉදිරිපිටදී සැකකරුවන් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

තුවාලකරු ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇත්තේ මාතර මහ රෝහලටයි.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයන් පැමිණි යතුරුපැදිය මිදිගම දුම්රිය ස්ථානය ආසන්නයේ දමා පළාගොස් ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴

******************************************

කොළඹ කොටුව සහ බදුල්ල අතර නව දුම්රිය සේවාවක්

(22.12.2021 – 22:07 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටුව සහ බදුල්ල අතර සීඝ්‍රගාමී රාත්‍රී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව හෙට (23) සිට කොළඹ කොටුව බදුල්ල අතර සහ අනිද්දා (24) සිට බදුල්ල සහ කොළඹ කොටුව අතර නව දුම්රිය ගමන් වාර 2 ක් ධාවනය සඳහා එක් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම දුම්රිය කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කළ වේලාවට සමගාමීව S 14 වර්ගයේ බලවේග කට්ටල භාවිත කරමින් නවීන පහසුකම් සහිතව ක්‍රියාත්මක බවයි දුම්රිය සාමානාධිකාරීවරයා නිවේදනය කළේ.

එය කොළඹ කොටුවෙන් රාත්‍රී 08:30 ට බදුල්ල බලා ධාවනය ආරම්භ කරන අතර බදුල්ලෙන් පස්වරු 05:30 ට කොළඹ කොටුව බලා ධාවනය කෙරෙනු ඇති ෴

******************************************

ඩොලර් සංචිත ගැන මහ බැංකුවෙන් සහතිකයක්

(22.12.2021 – 23:05 +0530 – hirunews.lk/sinhala)

දැනට ගනු ලබන ක්‍රියාමාර්ග තුළින් 2021 වසර අවසාන වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3 කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ කොවිඩ්-19 හමුවේ ආර්ථික බලපෑම් මත ඇති වූ බාධක සහ විදේශීය අංශයේ අහිතකර වර්ධනයන් හේතුවෙන් පැන නැඟුණු අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකා ආර්ථිකය 2021 වසර පුරාවට බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කළ බවයි.

එසේම, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම් ඇතුළු විදේශීය ණය ආපසු ගෙවීමෙන් ශ්‍රී ලංකාව සිය ණය බැඳීම් සාර්ථකව ඉටු කළ බව ද එම නිවේදනය මගින් පෙන්වා දෙනවා.

එමගින් සඳහන් කර ඇත්තේ පවතින විදේශීය ණය තිරසාර ලෙස කලමනාකරණය කර ගත හැකි වන පරිදි ණය නොවන ප්‍රවාහයන් දිරිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නිල සංචිත නැවත ගොඩ නැඟීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග සඳහා වසර ආරම්භයේ සිට මහ බැංකුව සහ රජය ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බවයි.

2021 වසරේ ඔක්තෝබර් මාසයේ සිට මෙම ප්‍රයත්නයන් වේගවත් කරන ලද්දේ සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වන අතර, එමඟින් කෙටි කාලීනව නිල සංචිත ගොඩ නැඟීම සඳහා අපේක්ෂිත ඉලක්ක දැක්වූ බව මහ බැංකුව ප්‍රකාශ කළා.

සය මාසික පෙර දැක්මෙහි ප්‍රකාශිත පරිදි, නුදුරේදී විදේශ විනිමය ලැබීම් ගණනාවක් අපේක්ෂා කෙරෙනවා.

මහ බැංකුවට ලැබෙන ප්‍රධාන විදේශ විනිමය ලැබීම් අතර මැද පෙරදිග සහ අනෙකුත් කලාපීය මහ බැංකු සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 2.0 ක පමණ විදේශ විනිමය හුවමාරු පහසුකම් ඇතුළත් වනවා.

රජය විසින්, ද්වීපාර්ශවික මූල්‍යන පහසුකම් ලබාගැනීම්, ඒකාබද්ධ ණය පහසුකම් ලබාගැනීම් මෙන්ම බහුපාර්ශවික සංවිධාන තුළින් ණය ලබා ගැනීමේ ක්‍රියාවලියක ද යෙදී සිටිනවා.

මීට අමතරව, බලධාරීන් විසින් ඉහළ මට්ටමේ විදේශ සංචාරවලදී සාකච්ඡා කරන ලද අපේක්ෂිත විදේශ විනිමය පහසුකම් ලැබීම් ද ඉදිරියේදී සාර්ථක වනු ඇති බව මහ බැංකුව විශ්වාසය පළ කරනවා.

තවද, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සඳහා හඳුන්වා දී ඇති දිරි දීමනා ක්‍රමය සහ අපනයන ආදායම් නැවත මෙරටට ගෙන්වා ගැනීම හා පරිවර්තන කිරීමේ අවශ්‍යතා වැනි විදේශ විනිමය වෙළෙඳපොළේ පැති කිහිපයක් සම්බන්ධයෙන් මහ බැංකුව විසින් කරන ලද මැදිහත්වීම් මඟින් දේශීය විදේශ විනිමය වෙළඳපොලේ ද්‍රවශීලතාව වැඩිදියුණු වනු ඇති අතර එමඟින් මහ බැංකුවට නිල සංචිත තවදුරටත් ගොඩනගා ගැනීමට හැකි වනු ඇතැයි අදාළ නිවේදනයේ සඳහන්.

විදේශ රැකියා සඳහා පිටත්ව යාමේ මෑත කාලීන වර්ධනයත් සහ සංචාරක පැමිණීම්වල ක්‍රමික වර්ධනයත් සමඟ ඉදිරි කාලය තුළ විදේශීය අංශය වඩා යහපත් තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර එමගින් වර්තමානයේ දක්නට ලැබෙන පීඩනයන් යම් දුරකට සමනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම අපේක්ෂිත විදේශ විනිමය ගලාඒම් සමඟ නිල සංචිත තත්ත්වය 2022 වසර පුරා හිතකර මට්ටමක පවතිනු ඇති බවට රජය සහ මහ බැංකුව අපේක්ෂා කරනවා ෴

******************************************

ඉන්ධන මිල සහ වත්මන් දේශපාලන තත්වය ගැන විවිධ අදහස්

(22.12.2021 – 23:19 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ යාම සහ රට තුළ පවතින වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්
මෙලෙස අදහස් පළ කළා.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාර්ක සභික වසන්ත සමරසිංහ කියාසිටියේ ඉන්ධන මිල ඉහළ දමනු ලබන්නේ ඉන්ධන ආනයනය වෙනුවෙන් මුදල් නොමැතිකම හේතුවෙන් නොවන බවයි.

රජයේ දූෂණ සහ නාස්තිය හේතුවෙන් මෙම තත්වය මතුවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *