බේරුවල සහ පයාගල අතර මුහුදු වෙරළට සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ ගොඩබස්සවයි

බේරුවල සහ පයාගල අතර මුහුදු වෙරළට සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ ගොඩබස්සවයි

*********************************************

බේරුවල සහ පයාගල අතර මුහුදු වෙරළට සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ ගොඩබස්සවයි

(22.12.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික සමාගමකට අයත් සැහැල්ලු පුහුණු ගුවන් යානයක් බේරුවල සහ පයාගල අතර ප්‍රදේශයේ මුහුදු වෙරළට හදිසි ගොඩ බැස්වීමක් කර තිබෙනවා.

එම අවස්ථාව වනවට යානයේ ගමන් කර ඇත්තේ, පුහුණු උපදේශකවරයා හා පුහුණු නියමුවා පමණක් බවයි වාර්තා වන්නේ.

ඔවුන්ට කිසිදු හානියක් සිදු වී නැහැ.

මේ වනවිට අදාළ ස්ථානයට ගුවන් හමුදා වීශේෂ කණ්ඩායම් දෙකක් (2) යොමු කර ඇතැ යි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදාල පෞද්ගලික සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ යානයේ එන්ජිමේ හටගත් දෝෂයක් හේතුවෙන් එහි ගමන් ගත් දෙදෙනෙකු (2) ද සමග යානය නිරුපද්‍රිතව හදිසියේ ගොඩබැස්වූ බවයි.

කාර්මික දෝශය ඇතිවන අවස්ථාවේදී මෙම යානය අඩි 1500 ක් පමණ ඉහළින් පියාසර කරමින් තිබී ඇති අතර නියමුවන් විසින් එය පාලනය කරමින් මෙලෙස ගොඩබෑම සිදුකර තිබෙනවා.

පුහුණු උපදේශකවරයාට හෝ පුහුණු නියමුවාට මෙන්ම බාහිර පාර්ශවයකට මෙන්ම වෙනත් කිසිදු දේපළකට මෙමගින් අනතුරක් හෝ අලාභහානියක් සිදුවී නැහැ.

අඩි 1500 ක් උඩුගුවනේ පියාසර කරමින් සිටි යානය එන්ජිමේ හටගත් දෝෂයක් හේතුවෙන් අඩි 1000 ක් දක්වා පහතට වැටී තිබුණු අතර, එහිදී නියමුවන් පියවර ගෙන තිබුණේ රේඩියෝ තරංග ඔස්සේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර දැනුවත් කිරීමටයි.

නමුත්, එම අවස්ථාවේදී බේරුවල උඩුගුවනේ දී පියසර කරමින් තිබූ යානය එකවරම අඩි 500 ක් දක්වා පහතට වැටීම හේතුවෙන් ගොඩබිම් ප්‍රදේශය මඟ හරිමින් පයාගල ප්‍රදේශයේ ජන ශුන්‍ය වෙරළ තීරයකට ගොඩ බැස්සවීමට යානයේ සිටි පුහුණු උපදේශකවරයා හා පුහුණු නියමුවා පියවර ගෙන තිබුණා.

හදිසි ගොඩබෑමෙන් ගුවන් යානයට, එහි නියමුවන් දෙදෙනාට (2) හෝ කිසිදු දේපළකට හානියක් සිදුවී නැහැ.

‘පයිපර් PA38’ වර්ගයේ මෙම ගුවන් යානය 1978 වර්ෂයේ නිෂ්පාදනය කර තිබෙන අතර, අවසන් වරට ලියාපදිංචි කර ඇත්තේ 2019 වර්ෂයේදියි.

++++++

පෞද්ගලික ගුවන් සමාගමක් යටතේ පුහුණුවෙමින් සිටි ගුවන් නියමුවන් දෙදෙනෙකු (2) පියාසර කළ සැහැල්ලු ගුවන් යානයක් අද (22) දහවල් පයාගල වෙරළ තීරයේ හදිසි ගොඩබෑමක් සිදුකර තිබෙනවා.

‘සකුරායි ඒවියේෂන්’ පෞද්ගලික ගුවන් සමාගමට අයත් ‘පයිපර් PA-38-112 ටොමහාවෝක්’ (Piper PA-38-112 Tomahawk) වර්ගයේ මෙම සැහැල්ලු ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ අඩි 1500 ක් උඩුගුවනේදී.

******************************************

නොරොච්චෝලේ නැවතත් බිඳ වැටෙයි – දිවයින පුරා විදුලි සැපයුමට බාධා

(22.12.2021 – 10:14 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගරයේ එක් ටර්බයිනයක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වරින් වර විදුලිය බිඳවැටීම් සිදු විය හැකි බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

මීට සති දෙකකට (2) පමණ පෙරදීත් මේ ආකාරයෙන් ම නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳ වැටීමක් සිදු වූ අතර, ඒ හේතුවෙන් දිවයිනේ සමස්ත විදුලි පරිභෝජනයෙන් ආසන්න වශයෙන් 25% කට පමණ බලපෑම් එල්ල වුණා.

එම තත්ත්වය නිවැරැදි කර ගැනීමට විදුලි ඉන්ජිනේරුවන්ට දින තුනකට (3) ආසන්න කාලයක් වැය වූ අතර, එම බිඳවැටීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල ව්දුලි ඉංජිනේරුවන් සහ ජ්‍යේෂ්ඨ විදුලි ඉංජිනේරුවන් අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් ද උද්ගත වුණා.

මේ සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ විදුලි ඉංජිනේරුවන්, විදුලි බල මණ්ඩල ඉංජිනේරුවන්ට චෝදනා කරමින් කියා සිටියේ, මෙය ඇතැම්විට සිත මතා සිදු කළ කඩාකප්පල් ක්‍රියාවක් විය හැකි බව යි.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් ද පත් කෙරුණු අතර, එම කමිටුවේ වාර්තා මෙතෙක් නිකුත් වී නෑ ෴

******************************************

2019 උපාධි සැමරුම් උත්සවය ගැන කොළඹ සරසවියෙන් නිවේදනයක්

(22.12.2021 – 10:49 +0530 – hirunews.lk/sinhala)

2019 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රදානෝත්සවය ඉකුත් දවසක දී පැවැත් වුණේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදියි.

එම වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කරමින් නිවේදනයක් නිකුත් කළ කොළඹ විශ්වවිද්‍යාලය, මෙවන් අනුස්මරණීය අවස්ථාවක පැවතිය යුතු ගෞරවනීයත්වය හා සදාචාරය පවත්වා ගැනීමට උපකාර වූ සියලු දෙනාට ම ස්තූතිය පළ කර සිටිනවා.

ශිෂ්ට සම්පන්න හැසිරීම හා ආකල්ප පවත්වා ගැනීමෙහි ලා විශ්වවිද්‍යාලයේ සියලු ම පාර්ශවවල උපරිම කැපවීම විශ්වවිද්‍යාලය විසින් සහතික කර ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම අනර්ඝතම ගෝලීය පුරවැසියන් සමාජයට දායාද කිරීමෙහි ලා විශ්වවිද්‍යාලය සතු කීර්තිනාමය හා ගෞරවය වෙනත් පාර්ශ්වයන් විසින් වැරැදි අර්ථකථනයන්ට භාජනය කිරීම පිළිබඳ විශ්වවිද්‍යාලය විසින් සිය කණස්සල්ල ද පළ කර තිබෙනවා ෴

******************************************

රාජ්‍ය තාන්ත්‍රිකයින් 17 දෙනෙකු අක්තපත්‍ර භාර දෙයි

(22.12.2021 – 11:07 +0530 – hirunews.lk/sinhala)

මෙරටට අළුතින් පත්වූ රාජ්‍ය තාන්ත්‍රිකයින් 17 දෙනෙකු, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අක්තපත්‍ර භාර දී තිබෙනවා.

ඒ අනුව තානාපතිවරුන් 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 6 දෙනෙකු ඊයේ (22) දින ජනාධිපති මන්දිරයේදී මෙලෙස ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දුන් බවයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඊජිප්තුව, ඉන්දුනීසියාව, ජෝර්දානය, දකුණු කොරියාව, ආජර්ටිනාව, ටියුනීසියාව, හංගේරියාව, ස්පාඤ්ඤය ඇතුලු රටවල් කිහිපයක තානාපතිවරුන් සහ රුවන්ඩාව, මෝල්ටාව, ගයානා ජන රජය, නයිජීරියාව ඇතුළු රටවල් 6 ක මහකොමසාරිස්වරුන් මෙලෙස අක්තපත්‍ර භාර දෙනු ලැබුවා ෴

******************************************

එළවළු සොරකම් කළ එක ම පවුලක හත් දෙනෙකු (7) අත් අඩංගුවට

(22.12.2021 – 12:00 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල සෑම අංශයක් කෙරෙහි ම බල පා ඇති ආර්ථික අර්බුදයෙන් ගැලවීම රටේ සාමාන්‍ය ජනයාට මහත් අපහසු කාරණයක් බවට පත් වී තිබෙනවා.

ඉකුත් දිනක දී ආහාරය සඳහා පොල් සම්බෝලයක් සාදා ගැනීම සඳහා යාබද වත්තකින් පොල් ගෙඩියක් සොරා ගත් මිනිසෙකුට නිරුවත් කර ඇවිද්දූ වතු අධිකාරිවරයෙකුගේ සිද්ධියක් ද වාර්තා වුණා.

මෙවැනි පසුබිමක දී වැලිමඩ එක ම පවුලේ හත් දෙනෙකු (7) හේන්වල එළවළු සොරකමේ ගිය සිදුවීමක් ද වාර්තා වෙනවා.

ඔවුන් වැලිමඩ – දිකාපිටිය හා කහටපිටිය ප්‍රදේශවල ගොවිබිම්වලිනුයි මෙසේ එළවළු සොරාගෙන ඇත්තේ.

ගම්වාසින් විසින් මොවුන් ව අල්ලා පොලිසියට බාර දී ඇති බව වාර්තා වෙන අතර, සැකකරුවන් අතර මව, පියා සහ පුතා ද සිටින බව පොලිසිය වාර්තා කරනවා.

මොවුන් විසින් සොරාගත් ඇත්තේ, කරවිල, වම්බටු, තක්කාලි හා වට්ටක්කා ඇතුළු එළවළු වර්ග රැසක් ෴

******************************************

මේ වසරේ මෙරටට පැමිණි සංචාරකයින් එක්ලක්ෂ පනස්දාහ (1,50,000) ඉක්මවයි

(22.12.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

සංචාරක ගුවන් සේවා ආයතන සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය එක්ව ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමට සංචාරක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

සංචාරකයින් වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීම මෙහි අරමුණයි.

පසුගිය දින 20 තුළ සංචාරකයින් 47,120 ක් මෙරටට පැමිණි ඇති අතර, මේ වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,50,000 ඉක්මවා තිබෙනවා ෴

******************************************

ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු තොග ලැබීම 60% කින් පහළට

(22.12.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු තොග ලැබීම අද(22) දිනයේදී සියයට 60 කින් පමණ පහත වැටී තිබෙනවා.

සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් ද, සියලු තවදුරටත් ඉහළ මට්ටමේ පවතින බවයි.

හෙට (23) සහ අනිද්දා (24) දිනවල ද, එළවළු ප්‍රමාණවත් තොග ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙනු ඇති බවට ස්ථිරව ප්‍රකාශ කළ නොහැකි බව ඔහු සඳහන් කළා.

ප්‍රමාණවත් අස්වැන්නක් ගොවීන් සතුව නොතිබීම ඊට හේතුවී තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග ලැබීම් සහ මිල ගණන් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට අප ප්‍රාදේශීය වාර්තාකරු කාංචන කුමාර ආරියදාස මහතා එහි සංචාරයක නිරත වුණා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇතැම් කුඩා ප්‍රමාණයේ එළවළු වෙළඳසැල් ඊයේ (21) සහ අද (22) වසා දමා තිබූ අයුරු නිරීක්ෂණය කළ බවයි, අප වාර්තාකරුවන් සඳහන් කළේ.

විවෘත කර තිබූ එළවළු අලෙවිසැල් වල ද, ප්‍රමාණවත් තොග නොතිබූ බව නිරීක්ෂණය වී තිබුණා.

සෑම ප්‍රදේශයකම පාරිභෝගික ජනතාව පවසන්නේ එළවළු මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මිලදී ගැනීම දුෂ්කර වී ඇති බවයි.

එළවළු මිල ගණන් දිනෙන් දින ඉහළ යාමේ තත්ත්වය තුල කුඩා ප්‍රමාණයේ ආපනශාලා හිමියන්ද පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවයටයි.

ඇතැම් ආපනශාලා බත් සමග එළවළු ව්‍යාංජන ලබාදීම ද, තාවකාලිකව නතර කර දමා තිබුණා ෴

******************************************

පාලමක් නොමැතිව පීඩාවට පත් ඇඹලවත්ත ගම්වාසීන්

(22.12.2021 – 14:26 +0530 – hirunews.lk/sinhala)

සංවර්ධනය යනු නගරයට පමණක් සීමා විය යුත්තක් නොවෙයි.

නගරය මෙන්ම ගම සංවර්ධනය කිරීමත් බලධාරීන්ගේ වගකීමක් වනවා.

එහෙත් බලධාරීන්ගේ අවධානය යොමු නොවීමෙන් දීර්ඝ කාලයක් පුරා පීඩාවට පත්ව සිටින මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වේවැත්ත, ඇඹලවත්ත ගම්මානය පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *