වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණ ද වෛද්‍යවරුන් රාජකාරියේ

වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණ ද වෛද්‍යවරුන් රාජකාරියේ

*********************************************

වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණ ද වෛද්‍යවරුන් රාජකාරියේ

(21.12.2021 – 12:05 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (21) දින දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙන බව පැවසුවද 80% කට වඩා වෛද්‍යවරු රාජකාරී සිදු කරන බව වාර්තා වෙනවා. (?)

මේ අතර, ඊයේ (20) දිනයේ ද ඔවුන් අතිඅසාර්ථක වැඩවර්ජනයක් සිදු කළ බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

ඒ, අද (21) මාධ්‍ය‍ය වෙත අදහස් දක්වමින්.

අද (21) දවස වනවිට ඉල්ලීම් ද වෙනස් වී ඇති අතර, නව වෛද්‍ය පත්වීම් සඳහා කිසි ලෙසකින් වත් මාරු මණ්ඩලය මැදිහත් නො වන බවත් වෛද්‍ය බෙල්ලන සඳහන් කළා.

මෙවැනි වැඩකට නැති වර්ජන සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉඩ දිය යුතු නැති බවයි ඔහු පැවසුවේ.

වෛද්‍යවරුන්ගේ සුබ සාධනය වැනි ප්‍රශ්නයක් ගැන වැඩ වර්ජනය කරන්නේ නම් ඒ ගැන සිතා බැලිය හැකි වුවත් මෙවැනි වැඩ වර්ජන සිදු කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ගිලිහෙන ආධිපත්‍ය රැකගැනීමට බවද වෛද්‍ය බෙල්ලන වැඩිදුරටත් සඳහන් කළා.

++++++

වර්ජනයේ නිරත වෛද්‍යවරුන්ට රෝගීන්ගෙන් චෝදනා

(21.12.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා.

මෙම වර්ජනය හේතුවෙන් රෝහල්වල බාහිර රෝගී අංශය, සායනික සහ සාමාන්‍ය කටයුතුවලටද බාධා එල්ල වී ඇති බවයි රෝහල් බලධාරීන් සඳහන් කළේ.

අද (21) උදෑසන 08 සිට දිවයින පුරා රෝහල්වල මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ, නීත්‍යානුකූල වෛද්‍ය මාරු මණ්ඩල අනුමැතියකින් තොර ව විශේෂ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තු සැකසීම ඇතුළු ඉල්ලීම් 07 ක් මුල් කර ගනිමින්.

සෞඛ්‍ය ලේකම් සමඟ සාකච්ඡාවත් අසාර්ථකයි – විසඳුම් ලැබෙනතුරු වෛද්‍යවරු වර්ජනයේ

(21.12.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

වර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අතර අද (21) පස්වරුවේ පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන්වී තිබෙනවා.

ඒ අනුව අද (21) පෙරවරු අටේ (8) සිට ආරම්භ කළ දීපව්‍යාප්ත වර්ජනය විසඳුම් ලැබෙන තුරු අඛන්ඩව ක්‍රියාත්මක කිරීමටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ.

වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතුවලට බාධා එල්ල වූ අතර, ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගීන් පත්වූයේ දැඩි අපහසුතාවකටයි.

විශේෂ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තු සැකසීම ඇතුළු ඉල්ලීම් 07 ක් මුල් කරගනිමිනුයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස වර්ජනයක නිරත වන්නේ.

වර්ජනයට සහය නොදෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වර්ජනයට විරෝධය පළ කළා ෴

වෛද්‍ය වර්ජනය අඛණ්ඩව

(21.12.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විසඳුම් ලැබෙන තුරු දීප ව්‍යාප්තව දියත් කර ඇති වර්ජනය අඛණ්ඩව සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ නියෝජිත වෛද්‍ය හංසමාල් විරසූරිය පැවසුවේ, සිය වෘත්තීමය අර්බුද විසඳෙන තුරු වර්ජනය ක්‍රියාත්මක බවයි ෴

******************************************

මිල තීරණයට මැදිහත් වෙන්නේ නෑ – බේකරි හිමියන්ගේ සංගමය

(21.12.2021 – 12:17 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ කෑම පාර්සල් ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ද ඉහළ ගොස් තිබෙනවා.

එසේම එළවළු මිල ගණන්ද තවදුරටත් ඉහළ යා හැකි බවයි සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

ඒ අනුව එළවළු කිලෝග්‍රෑමයක් තවත් රුපියල් 10 කින් පමණ ඉහළ යනු ඇති බවයි නුවරඑළිය විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානයේදී අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

මේ අතර අද (21) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ද, පාලන මිලෙන් ඉවත් කර ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එසේම ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ආපන ශාලා ආහාර මිල ගණන්ද පාලන මිලෙන් ඉවත් කරන බවයි.

වෙළදපළේ මේ වනවිටත් කිරිපිටි හිඟයක් ද පවතින අතර ඉදිරියේදී යළි මිල සංශෝධනයක් සිදුවිය හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, ඩොලර් ගැටලුව, නැව්වල ප්‍රමාදය සහ ගුදම් ගාස්තු ඉහළ යාම ආදී කරුණු හේතුවෙන් කිරිපිටි ගෙන්වීම ගැටලුවක් වී ඇති බවයි.

******************************************

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා තොග ගබඩා පර්‍යන්තයේ සභාපති ඉල්ලා අස් වෙයි

(21.12.2021 – 12:39 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා තොග ගබඩා පර්‍යන්තයේ සභාපති උවයිස් මොහොමඩ් එම තනතු‍රෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වනවා.

මේ අතර, ඊයේ (20) විෂය භාර ඇමති උදය ගම්මන්පිල සභාපතිවරයාට සිය තනතුරෙන් ඉල්ලා අස් වෙන ලෙස නියෝග කළා.

මීට හේතු වූ කාරණාව ලෙස ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්‍යන්තය යටතේ පාලනය වන සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පරිපාලන අක්‍රමිකතා බව යි වාර්තා වන්නේ.

සති තුනකට (3) අධික කාලයක් වසා දමා තිබූ සපුගස්කන්ද පිරිපහදුව මීට සති දෙකකට (2) පමණ පෙර නැවත ක්‍රියාත්මක තත්ත්වයට ගෙන ආ බවත් බොරතෙල් ලබාගැනීමේ ප්‍රමාදයක් හේතුවෙන් නැවතත් එය ක්‍රියා විරහිත තත්ත්වයට පත් විය හැකි බවටත් ඊයේ (20) දිනයේ දී වෘත්තීය සමිති ක්‍රියාකාරින්ගෙන් චෝදනා එල්ල වුණා.

අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැනුවත් නො කිරීම හේතුවෙන් ඔහු බරපතළ ලෙස සභාපතිවරයාට දෝෂාරෝපණය කළ බව යි.

******************************************

යළි ගෑස් බෙදා හැරීම ප්‍රමාද වෙයි

(21.12.2021 – 13:21 +0530 – hirunews.lk/sinhala)

නව සංයුතිය ඇතුළත් කර ස්ටිකරය ඇල වූ ගෘහස්ත ගෑස් සිලින්ඩර් වෙළදපොළට නිකුත් කිරිමේ ප්‍රමාදයක් පවතින බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

ඒ, ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කමිටුවේ නව නිර්දේශ ඇතුළත් කොට අදාළ ගෑස් සිලින්ඩර් වෙළදපොළට නිකුත් කිරීමට ගත් තීරණයත් සමඟයි.

ඊයේ (20) දිනයේදී එම කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට පියවර ගැනුණා.

ඒ අනුව එහි ඇතුළත් නිර්දේශ ගැසට් කර නව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත යි.

පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය පසුගිය දා පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දෙනු ලැබුවේ අධිකරණය විසින් ලබාදුන් නියෝගයට අනුව ගෑස් බෙදා හරින ලෙස අදාළ සමාගම් වෙත දැනුම් දෙන ලෙසයි.

ඒ අනුව ගෑස් සමාගම් විසින් සංයුතිය ඇතුළත් ස්ටිකරය ඇල වූ ගෑස් සිලින්ඩර් වෙළදපොළට නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් අධිකරණය විසින් ලබාදුන් නියෝගවලට අනුව එම ස්ටිකරයෙහි ගෑස් සංයුතිය නො තිබූ බවටයි හිරු ප්‍රවෘත්ති අංශය සිදු කළ සොයා බැලීමක දී අනාවරණ වූයේ.

ගෑස් සමාගම් වෙත උපදෙස් ලබා දී තිබුණේ ප්‍රොපේන් සියයට 30 ක් සහ බියුටේන් සියයට 70 ක් ලෙස දක්වමින් ගෑස් බෙදා හැරීම සිදු කරන ලෙසට යි.

කෙසේ වෙතත්, ප්‍රදේශ කිහිපයක හිරු වාර්තාකරුවන් සඳහන් කළේ ගෑස් නොමැතිවීම හේතුවෙන් ගෑස් අලෙවිසැල් වසා දමා ඇති බවයි.

******************************************

රබර් වගාවට සහනාධාර වාරික 5 කින් ගෙවීමට අනුමැතිය

(21.12.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

වගාකරුවන් පෙළඹවීමේ අරමුණෙන් රබර් නැවත වගාව සහ නව වගාව සඳහා ලබාදෙන සහනාධාරය වාරික 5 කින් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මීට පෙර, රබර් නැවත වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 3,50,000 ක් සහ නව වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 3 ක මුදලක් රජය සහනාධාර ලෙස වාරික 8 කින් වසර 7 ක් තුළ ගෙවනු ලැබුවා.

එසේම පැළ සිටුවා වසර 5 ක් අවසන් වීමට පෙර රබර් පැළය සෙන්ටිමීටර් 50 ක් දක්වා වර්ධනයක් පෙන්නුම් කරන වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 14,000 ක දිරි දීමනාවක් ලබාදීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා ෴

******************************************

කූට ජාවාරම්වල යෙදුණු පුද්ගලයින් හත් දෙනෙකු (7) අත්අඩංගුවට

(21.12.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි තරු පහේ හෝටලයක ලැගුම් ගනිමින් විවිධාකාර කූට ජාවාරම්වල යෙදුණු පුද්ගලයින් හත් දෙනෙකු (7) අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්ධන ඒකකය සමත් වී තිබෙනවා.

අදාළ වැටලීම සිදු කර ඇත්තේ ඊයේ (20) රාත්‍රියේයි.

මෙහි දී අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරුවන්ගෙන් ප්‍රධාන සැකකරු 36 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම මෙහි දී අත්අඩංගුවට ගැනුණු අනෙක් සැකකරුවන් ද වයස අවුරුදු තිස් පහත් (35) හතළිහත් (40) අතර වයස් කාණ්ඩයේ පසුවන, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

අදාළ කණ්ඩායම විසින් දෛනික ව සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල යෙදවුම් හරහා මහජනතාවගේ මුදල් කූට ලෙස සොරකම් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන්ට එරෙහි ව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ නඩු පැවරීමට අවශ්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසන්නේ.

එමෙන්ම මෙවැනි පුද්ගලයින්ගේ වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙස ක්‍රියා කරන්න යි ඔහු සමාජ මාධ්‍ය පරිශීලනය කරන සෑ ම කෙනෙකුගෙන් ම ඉල්ලා සිටිනවා.

******************************************

බලධාරී අවධානය යොමු නො වීමෙන් සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වැසෙයි

(21.12.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍යාරක්ෂාව යනු, රජයක් විසින් සිය ජනතාවට කිසිදු අඩුවකින් තොර ව සැපයිය යුතු සේවාවක්.

එහෙත් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු නො වීමෙන් වසා දැමුණු සෞඛ්‍ය මධ්‍යස්ථානයක් පිළිබඳව වාර්තා වෙනවා.

******************************************

නයිජීරියාවෙන් තෙල් ගේන්න ගම්මන්පිලගෙන් අලුත් වෑයමක්

(21.12.2021 – 13:59 +0530 – hirunews.lk/sinhala)

දීර්ඝ කාලීන ණය ක්‍රමයක් යටතේ නයිජීරියාවෙන් ඛනිජ තෙල් ලබා ගැනීමට අමාත්‍ය උදය ගම්මන්පිල උත්සාහ දරණ බව වාර්තා වනවා.

මේ තොරතුරු හෙළි වූයේ, ඛනිජ තෙල් අමාත්‍යවරයා ඊයේ (20) මේ සම්බන්ධයෙන් ඔහුගේ පෞද්ගලික ට්විටර් ගිණුමේ තබා තිබූ සටහනක් ඔස්සේයි.

එම සටහනට අනුව ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල සහ ශ්‍රී ලංකාවේ නයිජීරියානු මහකොමසාරිස් අහ්මඩ් සූලේ සමඟ මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා වටයක් පවත්වා තිබෙනවා.

නයිජීරියානු මහ කොමසාරිස්වරයා සමග පැවති හමුවේ ඡායාරූප දෙකක් (2) ද සිය ට්විටර් පණිවුඩයට අමුණා ඇති අමාත්‍ය ගම්මන්පිල එම සාකච්ඡාවේ දී ඇති වූ එකඟතාවන් පිළිබඳව කිසිවක් සඳහන් කර නැහැ.

කෙසේ වෙතත් ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මීට පෙර අවස්ථා කිහිපයකදී කටාර් රාජ්‍යයෙන්, බහරේනයෙන් සහ ඉන්දීය සහන ණය යෝජනා ක්‍රමයක් යටතේත්, මෙරටට අවශ්‍ය කරන ඛනිජ තෙල් ආනයනය සඳහා ආධාර ලබා ගැනීමට උත්සාහ දැරුවා.

******************************************

ආණ්ඩුව හැංඟිමුත්තන් කරන බවට සිරිල් ගාමිණී පියතුමාගෙන් චෝදනාවක්

(21.12.2021 – 14:04 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ රට තුළ උද්ගත ව පවතින සෑම ගැටලුවක ම සැබෑ තත්ත්වය ආණ්ඩුව විසින් ජනතාවගෙන් වසන් කරමින් සිටින බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා චෝදනා කරනවා.

අගරදගුරු මැදුරේ අද (21) පැවති ප්‍රවෟත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ද ආණ්ඩුව සැබෑ කරුණු හෙළි කිරීමෙන් වැළකී සිටින බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *