මනුසත් දෙරණින් ‘කුරුං ගුරුන්’ ට නිවසක්

මනුසත් දෙරණින් ‘කුරුං ගුරුන්’ ට නිවසක්

*********************************************

මනුසත් දෙරණින් ‘කුරුං ගුරුන්’ ට නිවසක්

(20.12.2021 – 19:52 +0530 – sinhala.adaderana.lk)

දශක ගණනාවක් සිය රංගන හැකියාවෙන් ප්‍රේක්ෂක සිත් පිනවූ දක්ෂ කලාකරුවෙකු වන කේ.ඒ. පියකරු මහතා ට නිවසක් තනා දීමට ‘මනුසත් දෙරණ’ ඉදිරිපත්ව තිබේ.

ඒ මහතා දෙවසරකට (2) ආසන්න කාලයක සිට අසනීප තත්වයෙන් ඉතා දුෂ්කර ජීවිතයක් ගෙවන බව පසුගිය දා ‘අද දෙරණ’ විකාශය කළේය.

ඒ අනුව මනුසත් දෙරණ කණ්ඩායම අද (20), ඒ මහතා දැනට පදිංචිව සිටින හොරණ උඩුව ප්‍රදේශයේ නිවස වෙත ගියෝය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ සිටි අතර ඉදිරි සතියේදී නිවස සෑදීමේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතය.

දශක ගණනාවක් සිය රංගන හැකියාවෙන් ප්‍රේක්ෂක සිත් පිනවූ දක්ෂ කලාකරුවෙකු වන කේ.ඒ. පියකරු මහතාට මේ වනවිට අත්ව ඇති ඉරණම පිළිබඳව අප පසුගිය 15 වනදා ‘අද දෙරණ’ පුවත් ඔස්සේ මුල්වරට අනාවරණය කළේය.

දෙවසරකට ආසන්න කාලයක සිට අසනීප තත්ත්වයකින් පෙළෙන ඔහුට ඖෂධ ලබාගැනීමට හෝ එදාවේල පිරිමහ ගැනීමට හෝ නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගත වී ඇත.

කේ.ඒ. පියකරු මහතා පුංචි තිරයේ හා වේදිකා නාට්‍ය ඔස්සේ දශක ගණනාවක් ප්‍රේක්ෂක සිත් පිනවූ දක්ෂ රංගන ශිල්පියෙකි.

‘කෝපි කඩේ’ ටෙලි නාට්‍යයේ ‘කුරුං ගුරුන්’ කියූ සැනින් ඔහුව නොදන්නා කෙනෙකු නැති තරම්ය.

එතරම්, ප්‍රේක්ෂක ආදරයක් ලබන්නට භාග්‍යවන්ත වූ ඔහු අද ගෙවන්නේ අන්ත අසරණ ජීවිතයකි.

රංගන ශිල්පී කේ.ඒ. පියකරු මහතා කියා සිටියේ, “ස්ථිර නිවාසයක් කියලා නැහැ. විවිධ තැන්වල හිටියා. ඒ ඉදලා තමයි දැන් මෙතෙන්ට වැටුණේ. රුපියල් 5,000 ක් හම්බෙනවා චිත්‍රපට සංස්ථාවෙන්. ඒ 5,000 ට කරන්න දෙයක් නැහැ. අද ලැබෙන විදිහට කාලා ඔහේ බලන් ඉන්නවා මිසක් ආදායම් මාර්ගයක් කොහොත්ම ඇත්තේ නැහැ.”

හොරණ උඩුව ප්‍රදේශයේ පිහිටා ඇති ඔහු ජීවත්වන එම නිවසත් සිය දියණියට අයත් වූවකි.

75 වැනි වියේ පසුවන පියකරු මහතා අංශභාග රෝගය නිසා දෙවසරකට (2) ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටී.

ඔහුට ප්‍රතිකාර සඳහා මුදල් යෙදවීමද අද වන විට අපහසු කාර්යයක් වී ඇත.

ඒ ස්ථිර ආදායමක් නොමැති වීම හේතුවෙනි.

රංගන ශිල්පී කේ.ඒ. පියකරු මහතාගේ බිරිඳ හඩමින් කියා සිටියේ, “මුදල් පස්සේ ගියානම් හැම දෙයක්ම ඉටුකරගන්න තිබුණා. කලාව කරන අතතුර මහලු නිවාසවලට, එතකොට ළමා නිවාසවලට, පන්සල්වලට හැම වැඩකටම ගියා.”

“කළුබෝවිල රෝහලෙන් බෙහෙත් ගන්නවා. ඒවාට නම් මුදලක් යන්නේ නැහැ. ඒත් ත්‍රීරෝද රථ ගාස්තුව රුපියල් 8,000 ක් යනවා යන්න විතරක්. කැමැති දානපති නෝනා කෙනෙකුගෙන් හෝ මහත්තයා කෙනෙකුගෙන් මොනවා හරි පරිත්‍යාගයක් ලැබෙනවානම් මම ගොඩක් පිං දෙනවා.” යනුවෙනි.

රංගන ශිල්පී කේ.ඒ. පියකරු මහතා අවසානයේ කියා සිටියේ… “කලාකාරයෝ උඹලා හැමදෙනාම එකතු වෙයල්ලා. එහෙම නොවුණහොත් කවදාහරි මට වුණ දේම උඹලාටත් සිද්ධ වෙනවා. ඕන් කිව්වා..මේන් ගියා” යනුවෙනි.

++++++

23-12-2021

******************************************

යොහානිට ඉඩමක් දීමට කැබිනට් අනුමැතිය

(21.12.2021 – 10:44 +0530 – hirunews.lk/sinhala)

ජනප්‍රිය යොවුන් ගායිකා යොහානි ද සිල්වා වෙත නාගරික සංවර්ධන අධිකාරියට අයත් බත්තරමුල්ල – රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි පර්චස් 9.68 ක ඉඩම් කොටසක් ත්‍යාගයක් ලෙස පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.

ජාත්‍යන්තර වශයෙන් මෙරටට කීර්තියක් හිමි කර දීම වෙනුවෙන් මෙම ඉඩම ඇයට පිරිනැමීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින්.

1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් වෙත 99 අවුරුදු බදු පදනම මත ලබා දී ඇති ඉඩම් කොටස් ද මෙම ඉඩමට යාබද ව පිහිටා තිබෙනවා ෴

******************************************

සාෆි සහබ්දීන් බේරා ගැනීමට සෞඛ්‍යය අමාත්‍යාංශය තුළ සිටින ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කරණ කණ්ඩායම් ක්‍රියාත්මකදැයි සැකයි – රාජ්‍යය අමාත්‍යය ජයන්ත සමරවීර

(21.12.2021 – 05:04 +0530 – lankaleadnews.com)

ඊයේ (20) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවකට සහභාගිවෙමින් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක රාජ්‍යය අමාත්‍යය ජයන්ත සමරවීර මහතා පවසා සිටියේ ජාත්‍යන්තර අපරාධ නීතිය අනුව ජනසංහාරය නැමැති වරද ඇතුළු අපරාධ වරද රැසකට චෝදනා ලැබ ඇප මත නිදහස්ව සිටින වෛද්‍ය සාෆි සහබ්දීන් හිඟ වැටුප් සහිතව යළි සේවයේ පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගනු ලැබූ තීරණය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජයන්ත සමරවීර මහතා, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරිමේදී ඔහු සතුව බැංකු කාඩ් පතක් තිබුණ බවත් එම බැංකු කාඩ් පතෙහි හිමිකරුවා වෛද්‍යය සාෆි සහබ්දීන් බවට තහවුරු වූ බවත් පවසා සිටියේය. මෙම පරීක්ෂණ වල ප්‍රගතිය අනුව 2019 මැයි 24 වනදා මොහොමඩ් සාෆි සහබ්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත් බවත් ජයන්ත සමරවීර මහතා අනාවරණය කර සිටියේය.

එහිදී අමාත්‍යයවරයා, මොහොමඩ් සාෆි සහබ්දීන් සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ කිරීමේදී සිංහල මව්වරුන් වඳභාවයට පත් කිරීමට අදාළ චෝදනා එල්ල වූ බවත් ඔහු මුදල් විශුද්ධිකරණය, ත්‍රස්ත කල්ලියක සමාජිකයෙකුවීම සහ ජනසංහාරය නැමැති වරදට චෝදනා ලැබූවෙකු බවත් පැවසුවේය.

එහිදි ජයන්ත සමරවීර මහතා අවධාරණය කරණු ලැබුවේ රාජිත සේනාරත්නගේ පදයට අනුව නැටවුනු එවකට සෞඛ්‍යය අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරින්ගේ අවතාර තවමත් සෞඛ්‍යය අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක බවයි.

වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයා රණවිරුවෙක් මෙන්ම මානුෂීය හැඟීම් ඇති අයෙක් බවත් ඔහුගේ මානුෂීය හැඟීම් භාවිත කොට මෙතෙක් සාෆි සහබ්දීන්ගේ සිද්ධිය අවුල් ජාලයක් කොට, ඔහුව නිදහස් කොට, ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරණ අදෘෂ්‍යයමාන හස්තය ක්‍රියාත්මක බවද චෝදනා කළේය. හිටපු සෞඛ්‍යය අධ්‍යයක්ෂ ජනරාල් වසන්තා පෙරේරා ලවා, සාෆි සහබ්දීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කුමන්ත්‍රණකාරී ලෙස වැලැක්වූ සෞඛ්‍යය අමාත්‍යාංශයේ පාලන ලේකම් එම් බී එල් රහුමාන් මෙම ක්‍රියාදාමය පිටුපස සිටිනවාදැයි සැකයක් පැන නගින බවද පවසා සිටියේය.

සම්පූර්ණ වීඩියෝව :

******************************************

මහබැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

(21.12.2021 – 11:09 +0530 – hirunews.lk/sinhala)

දෙසැම්බර් 31 වනවිට මෙරට විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 3 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ‘හිරු ටී.වී. සළකුණ’ වැඩසටහනට එක්වෙමින් කියා සිටියා.

මේ අතර, ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ දී මෙරට පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් ඉහළ දැමුණා.

පළමුව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තම ඉහළ දැමූ මිල ගණන් පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබුණු අතර, පසු ව අයි.ඕ.සී තෙල්වල මිල ද වැඩි වෙන බව නිවේදනය වුණා.

ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ නිකුත් වූ මෙම නිවේදනය ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වූයේ ‘සලකුණ’ වැඩසටහන අතරතුරදීයි.

එහි දී මහබැංකු අධිපතිවරයා ප්‍රධාන සම්පත් දායකයා ලෙස එක් අසුනක හිඳගෙන සිටිද්දී අනෙක් අසුනෙහි සිටි නිවේදකයාට තෙල් මිල වැඩි වීමේ නිවේදනය කියවන්නට සිදු වුණා.

එය කෙතරම් දෛවෝපගත හාස්‍යයක් ද ?

තෙල් මිල වැඩිවීමේ නිල නිවේදනය මහජනයාට දැනගැනීමට ලැබුණු ආකාරය හා සම්බන්ධ තවත් හාස්‍යෝත්පාදක සිදුවීමක් දක්නට ලැබෙනවා.

ඒ වෙන එකක් නො ව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මීට පෙර දිනක දී මාධ්‍යය හමුවේ කළ වහසි බස් දෙඩීමක් නිසාවෙන්.

ඛණිජ තෙල් වෘත්තිය සමිති නායකයෙකු වන ආනන්ද පාලිත මීට පෙර තෙල් මිල වැඩිවීම සහ ඛනිජතෙල් ක්ෂේත්‍රයේ මතු ව ඇති අර්බුදය සම්බන්ධයෙන් සිදු කළ අදහස් දැක්වීමකට කුපිත වූ ඛනිජ තෙල් අමාත්‍යවරයා කියා සිටියේ, ඛනිජ තෙල් මිල අඩු වැඩි වීම් සහ එහි ඇති ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් සමාජය ඉදිරියට පැමිණ කාටත් පෙර අදහස් දක්වන්නෙ තමන් බවයි.

එහිදී ඔහු, කිසිදු වෘත්තීය සමිති නායකයෙකුට පෙර, තෙල් මිලේ වෙනස් වීම පිළිබඳ පළමුව රටට දැනුම් දීමේ වගකීමත් තමා ගන්නා බව සඳහන් කළා.

මේ අතර නැවතත් ඊයේ මාධ්‍ය හමුවේ පෙනී සිටි වෘත්තිය සමිති නායක ආනන්ද පාලිත සඳහන් කළේ, තවත් ටික දිනකින් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ නවතින බවත් තෙල් පිරිපහදුව අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බොරතෙල් මේ දක්වා ලැබී නොමැති බවත් ය.

එසේම එහි දී ඔහු තෙල් මිල වැඩිවීම සම්බන්ධයෙන් ද හරියටම ගනන් මිනුම් ඉදිරිපත් කළේ, නැවත වතාවක් විෂයභාර අමාත්‍යවරයාට ඉදිරියෙන් සිටිමින් ඛනිජ තෙල් අර්බූදයේ නොනිල මාධ්‍ය ප්‍රකාශකයා බවට පත්වෙමින්.

මීට පෙර මෙම ප්‍රකාශ හමුවේ මාධ්‍යය ඉදිරියේ වාදිභසිංහයෙකු සේ මුර ගෑ විෂය භාර ඇමති ගම්මන්පිලගේ, තෙල් මිල වෙනස් වීමේ නිවේදනය කොහි ගියේ දැ යි මහජනයා සොයමින් සිටින බවක් පෙනෙයි.

මේ අතර, සීමාසහිත ලංකා පෙට්‍රෝලියම් ගබඩා පර්යන්ත සමාගමේ සභාපති උවයිස් මොහොමඩ්ට ද ඉල්ලා අස්වන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල දන්වා තිබුණා.

ඒ, ඊයේ (20) දිනයේයි.

මීට හේතුව ලෙස දැකිය හැක්කේ, සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් නැව ප්‍රමාද වීම හා මේ හරහා සපුගස්කන්දේ තෙල් පිරිපහදුවේ ක්‍රියාකාරීත්වය තවත් දින කිහිපයකින් නැවතීමේ අවදානම පිළිබඳ තමාට නො දැන්වීමෙන් ඇති වූ සිත්තැවුල බව සිති‍ය හැකියි.

= තෙල් මිල ඉහළ ගියා =

වෙනදාට රුපියල් 100 ක තෙල් ගසාගෙන යතුරු පැදියෙන් රැකියාවට ගිය පුද්ගලයාට හෙට අනිද්දාට බස් රථයේ යන්නට සිදු විය හැකි ය.

තෙල් වැඩි වීම හරහා බස් ගාස්තු වැඩි වීමෙන්, බස් රථය ද නැති වී පයින් ම යන්නට ද සිදු විය හැකි ය.

පයින් යන්නට ද නො හැක්කේ, ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන්, විටමින් ආදිය ලබාගත හැකි එළවළු මිල ද අහස උසට නැග ඇති නිසාවෙනි.

දහ දුක් විඳ අඩු ම මුදලට එලවළු ග්‍රෑම් 250 ක් මිලට ගත්ත ද එය තම්බා ගැනීමට ගෑස් නැත.

= ගෑස් තිබුණ ද බඩු ශුවර් නැත =

කොයි වෙලාවේ එය පුපුරා ගොස් එලොව යෑමට සිදු වෙයි දැ යි යන ගිනිහල් ගෙදර භයංකාරයෙන් ජනතාව හෙම්බත් වී සිටියි.

ගෑස් අර්බුධය ඉදිරියේ තමන් පත් ව ඇති භයංකාර තත්ත්වය පිළිබඳ නිසි බලධාරීන්ට පවසන්නට උත්සාහ දැරීමේ දී ඔවුන් මහජන ගැටලු හමුවේ පළා යන්නේ අඳුකොළ දුටු නයකු පරිද්දෙන්.

ගෑස් බල්ලාට දමා දරවලින්, භූමිතෙල් ළිපෙන් කෑම පිසින්නට සිතා ගත්තත් දැන් භූමිතෙල් මිල ද කුඩා මිනිහාට දරා ගත නො හැකි තරමට ඉහළ ගොස් තිබේ.

කුසගින්නට සම්බෝලයක් තනාගන්නට පොල් ගෙඩියක් හොරකම් කළ අසරණ මිනිසුන් ව නිරුවත් කර ඇවිදවීමට කටයුතු කළ වතු අධිකාරිවරුන්ට ඇප ලැබී ඇත.

= අන්තෝ ජටා බහී ජටා =

ගැට මත ගැට ගැසී, ගැටවල ද ගැටවලින් ජනයා බෙල්ලෙන් ම හිර වී නට්ටං වෙන්නට ම බිම වැටී සිටියි.

කොයි දේ කුමන අයුරින් සිදු වුණ ද අහස කඩාගෙන මහජනයා මතට වැටුණ ද සුදු ඇඳගත් කළු දේශපාලඥයින් හා ටයි පටියෙන් බෙලි තදකරගත් ‘ඔනරබල්’ පන්නයේ වැඩ බැරි ටාසන්ලා අදත් හෙටත් මතුවටත් මොනවා හෝ මාධ්‍යය ඉදිරියේ ඇද බා අත පිහි දා ගනු ඇත.

කබ්රාල් කළේ ද එයම ය.
ගම්මන්පිල ද ඊට නො දෙවැනි ය.

******************************************

සරුංගලයෙන් ගුවන්ගත වූ උතුරේ තරුණයා

(21.12.2021 – 11:32 +0530 – hirunews.lk/sinhala)

මේ සරුංගල් සමය නො වේ.

සාමාන්‍යයෙන් අපේ රටේ සරුංගල් සමය එළඹෙන්නේ අගෝස්තු නිවාඩුවත් සමඟයි.

ඒ කාලයේ දිවයිනේ සෑ ම තැනක ම පවතින මද පවන් රැලි අතරින් ඉහළට එසවෙන නානාප්‍රකාර සරුංගල් ගුවන් තලයේ අපූරු චිත්‍ර මවනවා.

නමුත් අවාරේ සරුංගල් යැවීමක අපූරු සිදුවීමක් පිළිබඳ අපට මේ තොරතුරු වාර්තා වන්නේ, අපේ රටේ උතුරුකරයේ යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයෙන්.

මේ දිනවල පේදුරුතුඩුව අවට ප්‍රදේශයේ පවතින යහපත් මද සුළඟ සහිත වාතාවරණය හේතුවෙන් ප්‍රදේශයේ තරුණයින් සරුංගල් ගුවන්ගත කිරීමට පෙළඹී තිබෙනවා.

මේ අතරේ ප්‍රදේශයේ එක්තරා තරුණයින් පිරිසක් උත්සාහ කළේ, අතිදැවැන්ත සරුංගලයක් ගුවන්ගත කිරීමටයි.

මේ සඳහා ඔවුන් භාවිත කළේ අතිවිශාල ලණුවක්.

ඒ මෙම දැවැන්ත සරුංගලය ගුවනට මුසු වූ පසු එහි පීඩනය දරාගත යුතු වීම හේතුවෙන්.

සරුංගලය ගුවන්ගත කිරීමේ දී ඒ සඳහා මේ තරුණයින්ට සෑහෙන ආයාසයක් දරන්නට සිදු වුණේ, එහි දැවැන්තභාවය නිසාවෙන්.

නමුත් කවුරුත් නොසිතූ ලෙස මෙම ලණුවේ කෙළවර සිය ශරීරයේ වෙළාගෙන සිටි තරුණයෙක් සරුංගලය ගුවන් ගත වීමත් සමඟ ඉහලට එසවුණා.

එක්තරා අවස්ථාවක ඔහු පොළොවෙන් අඩි 70 ක් පමණ ඉහළට එසවුණු බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ලණුව අත් නො හැර සුළඟ බාල වී සරුංගලය තරමක් පහළට පහත් වන තුරු එල්ලී සිටි මෙම තරුණයා අඩි විස්සක් (20) පමණ උඩ සිට බිමට පැන සිදුවන්නට ගිය විශාල අනතුරකින් ගැලවුණා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය හේතුවෙන් ඔහුට කිසිදු හානියක් සිදු වී නැහැ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *