වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට

*********************************************

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට

(21.12.2021 – 00:31 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 177 ක් දක්වා ඉහළ යනු ඇති. මීට පෙර රුපියල් 157 ක්ව පැවති එහි මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 20 කින්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින් ඉහළ දමා තිබෙනවා.

එහි නව මිල වන්නේ රුපියල් 207 ක්. මීට පෙර එම පෙට්‍රල් මිල පැවතියේ ලීටරයක් රුපියල් 184 ක් ලෙසටයි.

නව මිල වැඩි කිරීමත් සමග ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 සිට 121 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 10 කින්.

සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේ 159 ක්.

රුපියල් 144 ක්ව පැවති එහි මිල රුපියල් 15 කින් ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර මෙම මිල ගණන් වැඩි කිරීමට සාපේක්ෂව භූමිතෙල් මිල ද ඉහළ නංවා තිබෙනවා.

ඒ රුපියල් 10 කින්.

ඒ අනුව රුපියල් 77 ක් ව පැවති භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 87 ක්.

++++++++

අයි.ඕ.සී. ඉන්ධන මිලත් ඉහළට

(21.12.2021 – 07:22 +0530 – hirunews.lk/sinhala)

‘ලංකා ඉන්දියන් ඔයිල් සමාගම’ ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

• ඒ අනුව එම සමාගම විසින් නිකුත් කරනු ලබන ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 177 ක්. රුපියල් 157 ක්ව පැවති එහි මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 20 කින්.

• ඔක්ටේන්-95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 184 සිට රුපියල් 210 ක් දක්වා රුපියල් 26 කින් මිල ඉහළ නංවා තිබෙනවා.

• රුපියල් 144 ක්ව පැවති ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 159 දක්වා රුපියල් 15 කින් මිල ඉහළ නංවා තිබෙනවා.

• එම සමාගම ද භූමිතෙල් මිල වැඩි කර ඇත්තේ රුපියල් 10 කින්. ඒ අනුව රුපියල් 77 ක්ව පැවැති භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 87 ක් ෴

******************************************

වත්තකින් පොල් ගෙඩියක් සොරකම් කළැ යි රජකාලේ දඬුවමක්

(20.12.2021 – 19:30 +0530 – hirunews.lk/sinhala)

කුසගින්න නිවා ගැනීම සඳහා වත්තකින් පොල් ගෙඩියක් කඩා ගත් පුද්ගලයෙකු නිරුවත් කොට බරපතළ ලෙස පහරදීමේ සිද්ධියකට විරෝධය පල කරමින් නාත්තණ්ඩිය – හැවන ප්‍රදේශයේ ජනතාව අද (20) දහවල් විරෝධතාවක නිරත වුණා.

ඊට පහරකෑමට ලක් වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් මෙන්ම ප්‍රදේශවාසීන් ද එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

නාත්තණ්ඩිය – හැවන ප්‍රදේශයේ කිසියම් සංවිධානයකට අයත් ඉඩමක පොල් වත්තකට ඇතුළු වී මෙම පුද්ගලයා පොල් ගෙඩියක් රැගෙන යන විටයි එලෙස පහරදීමට ලක් ව ඇත්තේ.

එහි දී අදාළ පොල් වත්තෙහි පාලන අධිකාරියේ පිරිසක් එක්ව මොහුට පහර දී දෑත් දෙපසට කර ලීයක ගැට ගසා ප්‍රදේශය පුරා ගමන් කරන ලෙසට බල කර ඇති බවට යි වාර්තා වන්නේ.

පසු ව එය ඔවුන් වීඩියෝ කොට සමාජ මාධ්‍යයට මුදා හැරීමට ද කටයුතු කර තිබුණා.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමිනු යි එම පුද්ගලයාගේ මව, පවුලේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් අද (20) විරෝධතාවක නිතර වූයේ.

******************************************

‘ෆිච් රේටින්’ ගැන ඇමති විමල් ගෙන් පැහැදිලි කිරීමක්

(20.12.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

‘ෆිච් රේටින්’ ආයතනය ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරියේදී විදේශ ණය ගෙවීමේ පුරෝකථනයක් පමණක් වන අතර, කිසිදු ගැටලුවකින් තොර ව ගෙවීමට ඇති ණය පියවා දමන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.

ඒ, කොළඹ අද (20) පැවති උත්සවයකින් අනතුරු ව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ෴

******************************************

කබ්රාල් හා මුදල් අමාත්‍යාංශ ලේකම් මීළඟ කැබිනට් රැස්වීමට

(20.12.2021 – 20:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මීළඟ කැබිනට් රැස්වීමට කැඳවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ආරංචි මාර්ග පවසනවා ෴

******************************************

රජයේ වෛද්‍යවරුන් අද (21) පෙරවරු 8 සිට වර්ජනයේ

(21.12.2021 – 07:53+0530 – hirunews.lk/sinhala)

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේදී ගැටලු පවතින බවට ප්‍රකාශ කරමින් අද (21) උදෑසන 8 සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මෙම ගැටලුව මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු පොළොන්නරුව, නුවරඑළිය, රත්නපුර, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල රජයේ රෝහල්වල ඊයේ (20) සංකේත වර්ජනයක් සිදුකරනු ලැබුවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් ඊයේ (20) පස්වරුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සාකච්ජාවක නිරත වූ අතර එම සාකච්ජා ද අසාර්ථක වීම හේතුවෙනුයි මෙලෙස වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීරණ වී ඇත්තේ.

මේ අතර, උසස්වීම්, වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ද හෙට (22) දකුණු පළාතේ සහ අනිද්දා සබරගමුව පළාතේ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඊට හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුළු ක්ෂේත්‍ර 16 ක වෘත්තීයවේදීන් එක්වන බවයි එම සම්මේලනය ප්‍රකාශ කළේ.

එමෙන්ම, උතුරුමැද පළාත් ආයුර්වේද රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ වන විට සතියකට වැඩි කාලයක් අඛණ්ඩ වර්ජනයක නිරත වී සිටින්නේ කොරෝනා දීමනාව ලබාදෙන ලෙස ඉල්ලමින් ෴

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා රෝහල්වල ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණි පිරිස් දැඩි අපහසුතාවකට ලක්වුණා.

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමේ දී ගැටලු ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මූලික කර ගනිමින් ආරම්භ කළ මෙම වර්ජනය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිසි විසදුම් ලබා දෙන තුරු සිදු කරන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ ෴

******************************************

වල්සපුගල ගොවීන් යළිත් සත්‍යග්‍රහයක

(21.12.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

වල්සපුගල ගොවීන් අද (21) සිට යළිත් සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කෙරුණ ද ඊට අදාළ කිසිදු කටයුත්තක් මේ වන තෙක් සිදු නොවීම ඊට හේතුවයි.

ඒ අනුව පෙරවරු 9 ට හම්බන්තොට – කටුවැව ප්‍රදේශයේ දී මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කෙරෙනු ඇති ෴

******************************************

රුපියල පා කරන්න, අමාත්‍ය මණ්ඩල හමුවේ දී යෝජනා

(21.12.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. අටිගල එළඹෙන අමාත්‍ය මණ්ඩල හමුවට කැදවන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, ඊයේ (20) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදියි.

රට තුළ පවතින විදේශ සංචිත අර්බුදය පිළිබදව අමාත්‍ය මණ්ඩල හමුවේදී දීර්ඝ ලෙස සංවාදයට බඳුන් වී ඇති අතර, එහිදී ඇතැම් අමාත්‍යවරුන්ගේ අදහස වී ඇත්තේ ඩොලර් අර්බුදයට විසදුම් ලෙස රුපියලේ අගය පාලනයකින් තොරව පා වීමට අවස්ථාව ලබාදිය යුතු බවයි.

එසේ වුව හොත් මීට වඩා ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකි බවට මහබැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා තමන් වෙත කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කළ බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීම සඳහා එළඹෙන අමාත්‍ය මණ්ඩල හමුවට මහබැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කැදවන ලෙසට ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර, වෙළෙදපොළේ ඉහළ ගොස් ඇති භාණ්ඩ මිල සම්බන්ධයෙන් ද අමාත්‍ය මණ්ඩල හමුවේ දී සාකච්ඡාවට බඳුන් වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මේ මොහොතේ වගා සංග්‍රාමයට යා යුතු බවට අමාත්‍යවරයෙකු යෝජනා කර තිබෙනවා.

ඒ සඳහා අදාළ ක්‍රමවේදයන් ඇතුළත් යෝජනාවක් ද ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව ඇති බව සඳහන්.

එමෙන්ම, පසුගිය දා බණ්ඩාරවෙල – බිදුණුවැව – පටක රෝපණ මධ්‍යස්ථානය සහ බිම්මල් බීජ නිෂ්පාදන ඒකකය නිරීක්ෂණය කිරීමේ දී එහි කිසිදු වගාවක් සිදුව නොමැති බව අනාවරණ වී යැයි ඊයේ (20) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා ෴

******************************************

අවම බස් ගාස්තුව රුපියල් 25 ක් කරන්නැයි බස් සංගම් ඉල්ලයි

(21.12.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අවම බස් ගාස්තුව ඉහළ නැංවිය යුතු බව බස් සංගම් ප්‍රකාශ කරනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ, ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 25 ක් විය යුතු බවයි.

එසේම, සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ, බස් ගාස්තු 20% කින් ඉහළ නැංවිය යුතු බවයි ෴

******************************************

ත්‍රිරෝද මීටර් ටැක්සිවල කුලී ගාස්තුත් ඉහළට

(21.12.2021 – 10:47 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් මගී ප්‍රවාහන ත්‍රිරෝද රථවල පළමු (1) කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 30 කින් ඉහළ නංවා ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතිය ප්‍රකාශ කළා.

ඒ අනුව පළමු (1) කිලෝමීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 50 ක ගාස්තුව රුපියල් 80 ක් දක්වා ඉහළ යනු ඇති.

කෙසේ වෙතත්, දෙවන (2) කිලෝමීටරයේ සිට අය කරන රුපියල් 45 ක ගාස්තුව ඉහළ නො දමන බව එම සමිතියේ ලේකම් රෝහණ පෙරේරා මහතා සඳහන් කළා ෴

******************************************

සංචාරක ක්ෂේත්‍රයට විදුලි බිල්පත් ගෙවීමට තවත් වසරක (1) සහන කාලයක්

(21.12.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන පුද්ගලයින්ට විදුලි බිල්පත් ගෙවීමට තවත් වසරක (1) කාලයක් ලබාදෙන ලෙසට සංචාරක අමාත්‍යවරයා සිදු කළ ඉල්ලීමට එකඟතාව පළ කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ ෴

******************************************

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

(21.12.2021 – 10:06 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි තිබෙනවා ෴

******************************************

ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට

(21.12.2021 – 10:14 +0530 – hirunews.lk/sinhala)

යාපනය – අනලතිව් දූපතට බටහිර දෙසින් වූ මුහුදු තීරයේ දී නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී ට්‍රෝලර් යාත්‍රා දෙකක් (2) සමඟ මෙම ධීවරයින් පිරිස නාවික හමුදාව සිය භාරයට ගෙන ඇත්තේ, ඊයේ (20) රාත්‍රියේදීයි.

නාවික හමුදාව විසින් පසුගිය දින තුන (3) තුළ සිදු කළ අඛණ්ඩ මෙහෙයුම්වලින් අනවසර ධීවර කටයුතුවල නිරත ඉන්දීය ජාතික ධීවරයින් 68 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 10 ක් සිය භාරයට ගෙන තිබෙනවා ෴

******************************************

20-12-2021

******************************************

20-12-2021

******************************************

21-12-2021

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

පොදු ස්ථානවලට ප්‍රවේශ වීම සඳහා ‘එන්නත් කාඩ්පත’ අනිවාර්‍ය කෙරෙයි

(21.12.2021 – 06:59 +0530 – hirunews.lk/sinhala)

2022 ජනවාරි 01 වැනි දා සිට පොදු ස්ථානවලට ප්‍රවේශ වීම සඳහා Covid-19 එන්නත් කාඩ්පත අනිවාර්ය කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *