බූස්ටර් එන්නත ඔමික්‍රොන් 85% ක් වළකන බව හෙළිවෙයි

බූස්ටර් එන්නත ඔමික්‍රොන් 85% ක් වළකන බව හෙළිවෙයි

*********************************************

බූස්ටර් එන්නත ඔමික්‍රොන් 85% ක් වළකන බව හෙළිවෙයි

(18.12.2021 – 07:32 +0530 – hirunews.lk/sinhala)

බූස්ටර් හෙවත් වර්ධක එන්නතේ ප්‍රතිඵල පිළිබඳ ව විශ්ලේෂණය කළ බ්‍රිතාන්‍ය පර්යේෂකයින් පිරිසක් එමඟින් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් දරුණු රෝගාබාධ තත්වයක් ඇතිවීම 85% ක් පමණ වළක්වන බව අනාවරණ කරගෙන තිබෙනවා.

මේ නිසා බූස්ටර් එන්නත මඟින් ඔමික්‍රොන් ආසාදිතයන් රෝහල්ගත කිරීම කැපී පෙනෙන ලෙස අඩුවන බවයි බ්‍රිතාන්‍ය පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

මෙම තොරතුරු අනාවරණ වුණේ, ඔමික්‍රොන් ප්‍රභේදය දැන් ශීඝ්‍රයෙන් පැතිර යන බ්‍රිතාන්‍යයේ නව ආසාදිතයන් 93,000 කට වැඩි පිරිසක් ඊයේ (17) දිනයේ වාර්තා වීමත් සමඟයි ෴

+++++++++++++++

උත්සව සමයේ සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය කරන්නැයි උපදෙස්

(18.12.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (17) දිනයේදීත් මෙරට බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රා 2,65,766 ක් ලබා දී තිබෙනවා.

මේ අතර, උත්සව සමයේ ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඊයේ (17), මෙලෙස දෙලක්ෂය ඉක්මවා තුන්වන (3) මාත්‍රා දී ඇත්තේ අඛණ්ඩ තුන්වන (3) දිනයටයි.

ඒ අනුව, මෙරටට ලබාදී ඇති වර්ධක එන්නත් මාත්‍රා සංඛ්‍යාව 23,46,182 දක්වා ඉහළ යනවා.

මේ අතර, ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් නත්තලට පෙර සංචරණ සහ සමාජමය සීමාවන් දැඩි කිරීම පිළිබඳව යුරෝපීය රටවල් අවධානය යොමු කරමින් සිටින බව වාර්තාවනවා.

ජර්මනිය, අයර්ලන්තය, ස්විට්සර්ලන්තය සහ ඩෙන්මාර්කය මෙලෙස සීමාවන් දැඩි කිරීමට සැළසුම් කර ඇති අතර, ප්‍රංශය දැනටමත් බ්‍රිතාන්‍ය වැසියන් සඳහා සිය දේශසීමා වසා දැමීමට පියවර ගෙන අවසන්.

ප්‍රංශ අග්‍රාමාත්‍ය ජෝන් කැස්ටෙක්ස් ප්‍රකාශ කළේ, ඔමික්‍රොන් ඉදිරි වසරේ යුරෝපය පුරා අකුණු පහරක් මෙන් පැතිර යනු ඇති බවයි.

යුරෝපයේ ඔමික්‍රොන් කේන්ද්‍රය වී ඇති බ්‍රිතාන්‍යයෙන් ඊයේ (17) දිනයේදීත් නව ආසාදිතයන් 93,045 ක් හඳුනා ගැනුණා.

ඊයේ (17) දිනයේ තවත් මරණ 111 ක් වාර්තාවීමත් සමඟබ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාවද 1,47,000 ද ඉක්ම වූවා.

ඔමික්‍රොන් ප්‍රභේදයට මුහුණදීම සඳහා බ්‍රිතාන්‍යය ගෙන ඇති මූලික පියවර වන්නේ, බූස්ටර් එන්නත් ලබාදීම වේගවත් කිරීමයි.

මේ අතර, ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය මෙන් පස් ගුණයක් (5) වැඩියෙන් සම්ප්‍රේෂණය විය හැකි බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විද්‍යායතනය සිදු කළ අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම කළින් රෝගය වැළඳී තිබීම හේතුවෙන් ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව සැළසෙන ප්‍රතිශක්තිය 19% ක් තරම් අඩු මට්ටමක පවතින බවයි එම අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ.

මේ අතර, පවතින තත්වය හමුවේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා කියා සිටියේ ෴

++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 343 ක් සුවය ලබයි

(18.12.2021 – 15:25 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා අසාදිතව සිටි තවත් පුද්ගලයින් 343 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබු මෙරට සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 5,47,182 ක්.

මේ වනවිට කොරෝනා ආසාදිත 16,537 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එසේම මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද මේ වනවිට දැක්වෙන්නේ 5,78,439 ක් ලෙසයි ෴

තවත් කොරෝනා මරණ 14 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 14,734 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 508 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,78,947 ක් ෴

++++++++++++++

කොරෝනා පාලනයට පසුගිය වසර එකහමාරේ (1½) සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියන 181 ක් වැය කරයි

(18.12.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා පාලනය සඳහා අයවැය ප්‍රතිපාදනවලට අමතරව ගෙවුණු වසර එකහමාර (1½) තුල සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියන 181 ක් වැය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අසීරුම කාල වකවානුවක මෙවැනි විශාල මුදලක් රටේ සෞඛ්‍ය පද්ධතියට වැය කිරීම රජයක් ගත් ඉහළම සාධනීය පියවරක් බවයි, සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

බූස්ටර් එන්නත ලබාදෙමින් මේ වනවිට ශ්‍රී ලංකාව එන්නත්කරණය අතින් ලොව සිව් වන (4) ස්ථානයට පත්ව ඇතැයි ද, සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

බූස්ටර් එන්නත සඳහා ලක්ෂ 145 ක එන්නත් තොගයක් අවශ්‍ය කරන අතර ඉන් විශාල ප්‍රමාණයක් මේ වනවිටත් මෙරටට ගෙන්වීමට පියවර ගෙන ඇති බවයි, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර ඇත්තේ.

ඉදිරි මාස දෙක (2) තුලදී එම එන්නත් සියල්ල ගෙන්වීමට පියවර ගන්නා බවත්, ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා ෴

++++++++++++++++

නිවෙස්ගතව ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයින්ගෙන් මියගොස් ඇත්තේ එක් අයෙකු පමණයි

(18.12.2021 – 17:16 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතයින් 1,14,000 ක් පමණ නිවෙස්වල රඳවා ප්‍රතිකාර ලබා දුන්න ද ඉන් මියගොස් ඇත්තේ එක් (1) පුද්ගලයෙකු පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එලෙස නිවෙස්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින්ගෙන් 1400 ක් පමණ ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කිරීමට ද කටයුතු කළ බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එසේම, බූස්ටර් එන්නත ලබාදෙමින් එන්නත්කරණය අතින් ලොව සිව් වන (4) ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් එහි දැක්වුණා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

විනාශ වන අපේ උරුමයක් පිළිබඳ අනාවරණයක්

(18.12.2021 – 14:50 +0530 – hirunews.lk/sinhala)

පෙර රජදවසේ සංස්කෘතිය සහ අනන්‍යතාවය විදහා දැක්වෙන ඉපැරණි වෙහෙර විහාරස්ථාන මතු පරපුරටද ආරක්ෂා කර දීම පුරාවිද්‍යා බලධාරීන් සතු වගකීමක් වනවා.

නමුත් වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු නොවීම නිසා විනාශ මුඛයට යන ඉපැරණි රජමහ විහාරස්ථානයක් පිළිබදවයි, මේ අනාවරණය කරන්නේ.

******************************************

දුම්බර රටා ලෝක උරුමයක් ලෙස නම් කරයි

(18.12.2021 – 15:00 +0530 – hirunews.lk/sinhala)

මෙරට හස්ත කර්මාන්තයක් ලෙස ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන දුම්බර රටා, යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා.

පසුගියදා ප්‍රංශයේ පැවති යුනෙස්කෝ සංස්කෘතික උරුම කමිටුවේ 16 වැනි අන්තර් රාජ්‍ය හමුවේදී මේ බව ප්‍රකා මේ බව ප්‍රකායට පත් කෙරුණා.

******************************************

අභ්‍යාසලාභීන් ලෙස, බඳවා ගත් උපාධිධාරීන් ස්ථීර කිරීමට රජය තීරණය කරයි

(18.12.2021 – 18:25 +0530 – hirunews.lk/sinhala)

රැකියා විරහිත උපාධිධාරීන් 51,000 කට රජයේ ස්ථීර පත්වීම් ලබා දීම 2022 ජනවාරි 03 වනදායින් ආරම්භ වන බවත්, ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බවත්, ඒ සම්බන්ධයෙන් පත් කර තිබූ කැබිනට් අනුකාරක සභාවේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස උසස් අධ්‍යාපන ආයතනවලින් බිහිවූ තරුණ ප්‍රජාව රැකියාගත කිරීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත මෙය ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පැවසුවා.

ඒ අනුව දැනට පුහුණුව ලබන රැකියා විරහිත උපාධිධාරීන් 51,000 ම , රජයේ සංවර්ධන නිලධාරීන් ලෙස 2022 ජනවාරි 03 වනදා නියමිත රැකියා ස්ථානයේ ස්ථානගත කෙරෙන අතර, ඔවුන්ගෙන් වසරක පුහුණුව සම්පූර්ණ කළ 42,500 ක පමණ පිරිසගේ සේවය එදින ම ස්ථීර කෙරෙනවා.

2021 පෙබරවාරි හා මාර්තු මාසවල පුහුණුව සඳහා බඳවා ගත් පිරිස, වසරක කාලය සම්පූර්ණ වීමෙන් පසු 2022 අප්‍රේල් 01 වැනිදා ස්ථීර කිරීමට නියමිතයි ෴

******************************************

‘ෆිච් රේටින්ස්’ මෙරට ණය වර්ගීකරණය පහත හෙළීම ගැන මහ බැංකුවේ අප්‍රසාදය

(18.12.2021 – 19:02 +0530 – hirunews.lk/sinhala)

‘ෆිච් රේටින්ස්’ ජාත්‍යන්තර විගණන ආයතනය මගින් මෙරට දිගුකාලීන විදේශ ණය ගෙවීමේ හැකියාව පුරෝකථනය කරන ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහත හෙළීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි විරෝධය පළ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් අදහස් දැක්වූ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේ එළඹෙන සඳුදා (20) හෝ අඟහරුවාදා (21) ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරන බවයි.

කිසිදු ණය වාරිකයක් ගෙවීම පැහැර නොහැරීම ඇතුලු ධනාත්මක වර්ධනයන් සැළකිල්ලට නොගෙන එළඹ ඇති මෙම තීරණය හරහා ආයෝජකයන්ට වැරදි පණිවුඩයක් ලබාදෙන බවයි මහබැංකුව අද (18) දහවල් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මේ වසරේ තුන්වන (3) කාර්තුවේ පැනවීමට සිදුවූ කොරෝනා නිරෝධායන සීමාවන් හේතුවෙන් ආර්ථිකයේ හැකිලීමක් සිදුවුවද, වසරේ මුල් මාස 9 තුළ ශ්‍රී ලංකාව සියයට 4.4 ක දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් හිමිකරගනිමින්, නව සාමාන්‍යකරණයට අනුගත වෙමින් සිටින බව ද සඳහන්.

මැයි මාසයේ සිට මෙරට වෙළඳ ශේෂයේ පහත වැටීමක්ද දැකිය හැකි අතර, අපනයන ආදායම ද ඉහළ යමින් පවතිනවා.

මෙවැනි තත්වයක් යටතේ ‘ෆිච් රේටින්ස්’ මෙරට ණය වර්ගීකරණය පහත හෙළීම පිළිගත නොහැකි බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

******************************************

නව වසරේ මුල කැබිනට් සංශෝධනයක් එන ලකුණු

(18.12.2021 – 19:05 +0530 – hirunews.lk/sinhala)

ලබන වසර මුලදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව, ප්‍රධාන පෙලේ ඇමති ධුර කිහිපයක වෙනස්කම් සිදුකරනු ඇති බවයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

මේ අතර, ඇතැම් අමාත්‍යවරුන් වර්තමානයේ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් තමන් සතුටු නොවන බව පසුගියදා පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

එසේම, ඇතැම් අමාත්‍යවරුන්ගේ ද අදහස වී ඇත්තේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීම යෝග්‍ය බවටයි ෴

******************************************

කිරිපිටි හිඟය තවත් උග්‍ර වෙයි

(18.12.2021 – 19:12 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් අර්බුදයත් සමග හට ගෙන ඇති කිරිපිටි හිඟය මේ වනවිට තව තවත් උග්‍ර වෙමින් තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ ආනයනික කිරිපිටි මෙන්ම, දේශීය කිරිපිටි ද හිඟවී ඇති බවයි දිවයින පුරා අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මීට මාස කිහිපයකට පෙර ද මෙලෙසම කිරිපිටි හිඟයක් සහ කිරිපිටි පෝලිම් ඇතිවූ අතර, එහිදී රජය තීරණය කළේ කිරිපිටි සඳහා පැනවූ පාලන මිල ඉවත් කිරීමටයි.

පසුව කිරිපිටි ආනයනය කරන සමාගම් මෙන්ම දේශිය කිරිපිටි සමාගම් ද කිරිපිටි මිල ඉහළ නැංවූ අතර ඩොලර් අර්බුදයට විසඳුම් දෙමින් කිරිපිටි ආනයනය කරන සමාගම් වෙත ඩොලර් මුදා හැරීමට ද රජය කටයුතු කළා.

මෙවන් පසුබිමක් තුලයි වර්තමානයේදී යළිත් කිරිපිටි හිඟයක් හට ගෙන ඇත්තේ ෴

******************************************

සත්තු වත්තේ උද්ඝෝෂණයක්

(18.12.2021 – 19:14 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අකාර්යක්ෂමතා හේතුවෙන් සතුන් මියයමින් පවතින බව පවසමින් එහි සේවකයන් අද (18)විරෝධතාවයක නිරත වුණා.

සත්වෝද්‍යානය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ සේවකයින් එහි අධ්‍යක්ෂවරියට ද විරෝධය පළ කර සිටියා.

පශු වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් සහ අධ්‍යක්ෂවරිය විසින් සිදුකරන ලද ප්‍රකාශයකට ඔවුන් එහිදී විරෝධය පළ කළා.

******************************************

හුංගම පොලීසිය අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මරුට

(18.12.2021 – 19:44 +0530 – hirunews.lk/sinhala)

හුංගම පොලීසිය අත්අඩංගුවට ගත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පොලීසිය තුළදී මියයෑමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ප්‍රේමතිලක අමරවීර නමැති 62 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අද (18) හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පෝය දිනයේ මත්පැන් අලෙවි කළේ යැයි චෝදනාවක් මතයි.

අත්අඩංගුවට ගත් සැකකාර හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා හුංගම පොලීසියට රැගෙනවිත් මද වේලාවකට පසු සිරමැදිරිය තුළ ඇඳ වැටී තිබෙනවා.

පසුව සැකකරු රන්න රෝහලට ඇතුළත් කෙරුණු අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

සැකකරු මියයාමත් සමග ඔහුගේ ඥාතීන් ඇතුළු පිරිසක් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය රන්න ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කළා.

******************************************

පක්ෂ, පාට බේදයකින් තොරව ජනතා සේවයට කැපවනවා – දුමින්ද සිල්වා

(18.12.2021 – 21:27 +0530 – hirunews.lk/sinhala)

පක්ෂ, පාට බේදයකින් තොරව ජනතා සේවයට කැපවී කටයුතු කිරීම තම මූලික අරමුණ බව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා පවසනවා.

නාරාහේන්පිට ප්‍රදේශයේදී නව නිවාස ව්‍යාපෘතියකට මුල්ගල තැබීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ, රජයේ මූලික දැක්ම වන්නේද අභියෝග වලින් රට ගොඩනැඟිම බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *