ප්‍රමිතියෙන් යුත් ගෑස් වෙළඳපොලට නිකුත් කරන්නැයි අභියාචනාධිකරණයෙන් සමාගම්වලට නියෝග

ප්‍රමිතියෙන් යුත් ගෑස් වෙළඳපොලට නිකුත් කරන්නැයි අභියාචනාධිකරණයෙන් සමාගම්වලට නියෝග

*********************************************

ප්‍රමිතියෙන් යුත් ගෑස් වෙළඳපොලට නිකුත් කරන්නැයි අභියාචනාධිකරණයෙන් සමාගම්වලට නියෝග

(17.12.2021 – 10:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකයන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් වෙළඳපොලට නිකුත් කරන ලෙස ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් වෙත අභියාචනාධිකරණය අද (17) දින නියෝග කළා.

ඒ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු ඉදිරිපත් කළ පෙත්සම රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

ඒ අනුව, දැනට වෙළඳපොලට මුදා හැර ඇති භාවිතා නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙස ද, අභියාචනාධිකරණය තවත් නියෝගයක් නිකුත් කළා.

එමෙන්ම, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත සංයුතිය එහි ප්‍රදර්ශනය කරන ලෙසයි, අධිකරණය මෙම සමාගම් දෙකට (2) නියම කළේ.

දැනට පාරිභෝගිකයින් සතුව පවතින අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවා ඒ සඳහා යම් මුදලක් ගෙවීමක් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා ක්‍රමවේදයක් සකස් කරන ලෙස විනිසුරු මඩුල්ල පාරිභෝගික අධිකාරියට නියෝග කළා.

මෙහිදී ප්‍රමිති ආයතනය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ මනෝහර ජයසිංහ කියා සිටියේ, ගෑස් සිලින්ඩරයක සංයුතිය තීරණය කිරිම සඳහා විශේෂ රැස්වීමක් ලබන සඳුදා (20) පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් එය හදිසියේ ඊයේ (16) දින පැවැත්වූ බවයි.

ඒ අනුව, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු ප්‍රොපේන් සංයුතිය සියයට 30 ක් ලෙස විය යුතු බවට එහිදී තීරණය කර ඇති බව ද, රජයේ නීතිඥවරයා අනාවරණ කළා.

මේ අතර, ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම්වල සභාපතිවරුන් දෙදෙනා (2), කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට අද (17) කැඳවා තිබුණා.

ඒ ගෑස් සිලින්ඩරවල ගුණාත්මකභාවය ගැන කළ පැමිණිලි දෙකකට (2) අනුව එහි සාක්ෂි විභාගය සඳහායි.

මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ හිරු මග හැර ගියා.

ලිට්රෝ ගෑස් සමාගම අද (17) පුවත්පත්වල විශේෂ නිවේදනයක් පළ කර තිබුණා.

එමගින් ඔවුන් සිය අලෙවි හා බෙදා හැරීමේ නියෝජිතයන්ට දැනුම් දී තිබුණේ දැනට වෙළඳපොල තුල ඇති නිල් සහ කලු මුද්‍රාව සහිත කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සහිත සිලින්ඩර නැවත එකතු කර ගන්නා ලෙසයි.

පාරිභෝගිකයන්ගෙන් ද ලිට්රෝ සමාගම එම නිවේදනය මගින් ඉල්ලා ඇත්තේ, ඉහත පරිදි තමන් සතු ලිට්රෝ ගෑස් සිලින්ඩර නැවත භාර දෙන ලෙසයි.

නැවත භාර දුන් ගෑස් සහිත සෑම සිලින්ඩරයක් සඳහාම රතු මුද්‍රාව සහිත නව සිලින්ඩරයක් ලබා දිය යුතු බව නිවේදනය මගින් දන්වා තිබෙනවා.

පාරිභෝගිකයන් විසින් නැවත ලබාදෙන ගෑස් සිලින්ඩර කඩිනමින් සමාගම වෙත භාර දිය යුතු බව ද, ලිට්රෝ සමාගම සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර, ලිට්රෝ සමාගම ගෙන්වූ නව ගෑස් නෞකාවේ ප්‍රමිති පරීක්ෂණ වාර්තාව අද (17) ලැබීමට නියමිත බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළා.

පසුගිය සෙනසුරාදා (11) පැමිණි පළමු නෞකාවේ අඩංගු ගෑස් නිසි ප්‍රමිතියෙන් තොර බවට මේ වනවිටත් හෙළි වී ඇති අතර, එම තොග ගොඩබෑම අත්හිටුවා තිබෙනවා.

කෙසේ වෙතත්, ලාෆ් සමාගම පවසන්නේ, සිය සමාගම මගින් ඇණවුම් කළ ගෑස් සහිත නෞකාවක් හෙට (18) දිනයේදී දිවයිනට ළගා වන බවයි.

ඒ අනුව සඳුදා (20) දිනයේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීම යළි ආරම්භ කරන බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය හිරු ප්‍රවෘත්ති වෙත කියා සිටියා.

ගෑස් සිලින්ඩරයක උපරිම පීඩනය බාර් 6 ක් වුවත්, මේ වනවිට වෙළඳපොලේ පවතින ගෑස් සිලින්ඩරවල පිඩනය බාර් 5.3 ක් බව හෙළි වී ඇතැයි, මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව විසින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත දැනුම්දී තිබෙනවා.

එහි වැඩිදුරටත් සටහන්ව ඇත්තේ, එය 4.2 දක්වා අඩු කිරිම වඩාත් යෝග්‍ය බවයි.

හෝමාගම – පිටිපන පිහිටි මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේදී ගෑස් වල පීඩනය පරීක්ෂා කිරීම සිදුවුණා.

එමෙන්ම, ලිට්රෝ සහ ලාෆ් සමාගම් දෙකම (2) සිය ගෑස් අලෙවිය නවතා දැමීමත් සමඟ පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව තිබෙනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් අලෙවි නියෝජිතයන් සිය අලෙවි ස්ථානවල දර අලෙවි කරන ආකාරය අප වාර්තාකරුවන් නිරීක්ෂණය කර තිබුණා.

බණ්ඩාරගම – එපිටමුල්ල දොලවත්ත පාරේ ගෑස් උදුනක් ඊයේ (16) රාත්‍රියේ පුපුරා ගොස් ඇති බව වාර්තා වුණා.

මේ අතර ‘හිරු ටී.වී. බලය’ දේශපාලන වැඩසටහන ඊයේ (16) වෙන්වූයේ ගෑස් අර්බුදය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සඳහායි.

එම සාකච්ඡාවට පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන සමගින් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න එක්ව සිටියා.

++++++++++

17-12-2021

+++++++++++

17-12-2021

+++++++++++

17-12-2021

+++++++++++++

17-12-2021

+++++++++++

17-12-2021

******************************************

බැසිල් ගිය පසු කබ්රාල් එලියට – ඩොලරුත් නිදහස් කරයි !

(17.12.2021 – 11:37 +0530 – hirunews.lk/sinhala)

වරාය තුල සිර වී ඇති අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් නිදහස් කර ගැනීමට ඩොලර් නිකුත් කිරීම සඳහා මැදිහත් වීමට ශ්‍රී ලංකා මහබැංකුව සූදානම් බව එහි අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඩොලර් හිඟය හේතුවෙන් නිදහස් කර ගැනීමට නො හැකිව කන්ටේනර් රැසක් වරායේ පවතින බවට ආනයනකරුවන් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

ඩොලර් නොමැතිකම නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දහසකට (1000) වැඩි සංඛ්‍යාවක් මේ වනවිටත් වරායේ පවතින බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය කියා සිටියා.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවේ, සහල්, සීනි, පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය එම කන්ටේනර්වල පවතින බවයි.

මීට අදාළව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සමග ද එම සංගමය ඊයේ (16) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, වරායේ සිරවී ඇති මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කරන බවයි.

අදාළ කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය මුදල් සියල්ල නිකුත් කර අවසන් බවයි මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මහබැංකු අධිපතිවරයා සඳහන් කළේ.

කන්ටේනර් නිදහස් කර ගැනීමේ ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කළහොත් ඒ සඳහා වහාම ඩොලර් නිදහස් කළ හැකි බව ද මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඩොලර් නිදහස් කිරිමත් සමඟ මේ වනවිට කන්ටේනර් විශාල ප්‍රමාණයක් දෛනිකව නිදහස් කරමින් පවතින බවයි මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ.

මේ අතර, මේ දිනවල වෙළඳපොලේ ලොකුලූනු මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා.

වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ, ලොකුලූණු කිලෝවක තොග මිල රුපියල් 300 සීමාවට ආසන්න වී ඇති බවයි.

කෙසේ වෙතත්, ලොකුලූණු අඩංගු නෞකා දෙකක් (2) අද (17) කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළා.

ඩොලර් අර්බුදය හමුවේ එම කන්ටේනර් නිදහස් කර ගැනීමට ද බාධා මතුව ඇති අතර, ණය පදනම මත ඇතැම් ලොකුලූනු කන්ටේනර් නිදහස් කර ගනිමින් සිටින බවයි ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

******************************************

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් නිසා නැගෙනහිර මුහුද අවදානම්

(17.12.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට ගිණිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වනවිට දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අතර, එය ඉදිරි පැය 24 තුල දිවයිනෙන් බැහැරව නැගෙනහිර දෙසට ගමන් කරනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග තද සුළං පවතින අතර, සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා වැඩිවිය හැකියි.

මේ හේතුවෙන්, ශ්‍රී ලංකාවට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කළා.

එමෙන්ම, අදාළ මුහුදු ප්‍රදේශවල දැනටමත් ධීවර කටයුතුවල නිරත පිරිස්වලට ද, වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද, දැනුම්දීමක් කෙරෙනවා ෴

******************************************

‘ජය ශ්‍රී සංගීත කණ්ඩායම’ට කොළඹ වාණිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක්

(17.12.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

ගායක හා වාදක ‘අරුණ ලියාන්’ විසින් ගායනය වාදනය සංගීතය හා ගීත රචනය සිදු කරන ලද ගීත 20 කට අධික සංඛ්‍යාවක් ගායනය හා එම ගීතවල අතිරේක ආදායම් ලබා ගැනීම ‘ජය ශ්‍රී සංගීත කණ්ඩායම’ට තහනම් කර තිබෙනවා.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් අදාළ තහනම් නියෝගය ‘ජය ශ්‍රී සංගීත කණ්ඩායම’ වෙත පනවනු ලැබුවේ එම කණ්ඩායමේ සිට සිට පසුව වෙන් වූ එම කණ්ඩායමේ ම ගායකයෙකු වන ‘අරුණ ලියාන්’ විසින් ගොනු කළ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින්

ඒ අනුව ප්‍රාර්ථනා, සුදු ඇදුමින් සැරි මුව හසරැල්ලේ, මොඩ් ගොවියා, ආදර ලොවේ අපි හමු වුණේ, සියුමැලි, ශීලා, සුන්දරියේ ගෝමරියේ, මම මන්කි හනුමන්තා ඇතුළු ගීත 20 ක් ‘ජය ශ්‍රී’ නමින් සිය තනි නිර්මාන වශයෙන් ගායනා කිරීම මෙම කණ්ඩායමට වාරණය වනු ඇති.

මෙම වාරණය අන්තර්ජාලයේ, සංගීත ප්‍රසංගවල, දුරකතන ‘රිංගිං ටෝර්න්ස්’ වශයෙන් භාවිතා කිරීමටද බල පැවැත්වෙනු ඇති ෴

******************************************

පොහොර හිඟ වීම නිසා මෙවර මහ කන්නයේ වී අස්වැන්න අඩු විය හැකි බවට ගොවීන්ගෙන් චෝදනාවක්

(17.12.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala)

පොහොර හිඟ වීම නිසා මෙවර මහ කන්නයේ වී අස්වැන්න සියයට අසූවකින් (80%) පමණ අඩු විය හැකි බව අනුරාධපුරයේ වී ගොවිතැනෙහි නිරත ගොවි ජනතාව පවසනවා.

රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමඟ තිරප්පනේ ප්‍රදේශයේ පැවති හමුවකදී ගොවීන් මේ බව සඳහන් කළා.

පොහොර අර්බුදයත් සමඟ රජරට ගොවීන් තවදුරටත් පත්ව සිටින්නේ දැඩි අසීරුතාවකටයි.

******************************************

නීති කේෂත්‍රය තුළ වෙනස්කම් රැසක් සිදු කරන බවට අලි සබ්‍රිගෙන් ප්‍රකාශයක්

(17.12.2021 – 14:24 +0530 – hirunews.lk/sinhala)

නව නීති හදුන්වා දෙමින් මෙරට නීති කේෂත්‍රය තුළ විශාල වෙනස්කම් රැසක් සිදු කරමින් පවතින බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ ‘සල්ලි විසිකර පාර්ලිමේන්තු යන ක්‍රමය නතර කරමු’ මැයෙන් කොළඹ දී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *