රුපියල පා කිරීමට අදහසක් නෑ – මහ බැංකු අධිපති

රුපියල පා කිරීමට අදහසක් නෑ – මහ බැංකු අධිපති

*********************************************

රුපියල පා කිරීමට අදහසක් නෑ – මහ බැංකු අධිපති

(17.12.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala)

විනිමය අනුපාත සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කරන බවට පළවන කටකථාවල සත්‍යයක් නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පළවන්නේ ව්‍යාජ වාර්තා බවයි.

මේ වනවිට ඩොලර් විනිමය සම්බන්ධයෙන් මහ බැංකුව ස්ථාවර අනුපාතයක් ක්‍රියාත්මක කරනු ලබන අතර, පෞද්ගලික විදේශ මුදල් හුවමාරු කරන ආයතන මඟින් ඒ සඳහා ඉහළ අනුපාතයක් ගෙවනු ලැබුවා.

කෙසේ නමුත් ඊට එරෙහිව නීති දැඩි කිරීමෙන් අනතුරු ව පෞද්ගලික ආයතන ද මහ බැංකු අනුපාතය අනුගමනය කිරීමට පැමිණ සිටිනවා.

මහ බැංකුව ඩොලරය සඳහා රුපියල් 203 ක පමණ ස්ථාවර අනුපාතයක් පවත්වාගෙන යනු ලබන අතර, ඒ සඳහා පෞද්ගලික අංශ මඟින් රුපියල් 240 ක පමණ මුදලක් ගෙවනු ලැබුවා.

එහෙත් මහ බැංකුව විසින් අවධාරණය කිරීමෙන් පසු ඔවුන් එම අනුපාත ගෙවීම නතර කර තිබෙනවා.

මහ බැංකුව මඟින් ශ්‍රී ලාංකිකයන් උපයන මුදල් සඳහා රුපියල් 210 බැගින් වැඩි අනුපාතයක් ගෙවන බවද ප්‍රකාශ කළා.

මේ අතර ඩොලර් හිඟය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පිළිබඳව රාවයක් පැතිර ගිය අතර, ඊට අනුකූලව රුපියල පා කිරීමට සූදානම් වන බවද කටකථා පැතිරුණා.

මහ බැංකු අධිපතිවරයා ප්‍රතිචාර දක්වා ඇත්තේ එම වාර්තා පිළිබඳවයි.

මේ අතර අන්තර්ජාලය ඔස්සේ වෙළෙඳාම් කටයුතු සිදු කිරීමේ දී පවතින වාණිජ නීති ශක්තිමත් කිරීම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.

ඔන්ලයින් වෙළෙඳාම් සිදු කරන ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගිකයන් යන දෙපාර්ශවය ම අයිතීන් සුරක්ෂිත වන අයුරින් මෙම නව නීති හඳුන්වා දෙනු ඇති.

මීට අදාළ ව අධිකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී අන්තර්ජාල වෙළෙඳාම් සම්බන්ධයෙන් මුහුණදෙන ගැටලු සහ ශක්තිමත් නීති රාමුවක අවශ්‍යතාව අවධාරණය කෙරුණා.

ඊට අදාළ ව සිදු කර ඇති පර්යේෂණ වාර්තාවන් ද අධ්‍යයනය කරමින් නව නීති හඳුන්වාදීම සහ සංශෝධනය කිරීම සිදු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡාවේදි අවධානය යොමුව තිබෙනවා.

අධිකරණ අමාත්‍ය අලී සබ්රි, ඩිජිටල් තාක්ෂණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු නිලධාරින් මෙන්ම ඔන්ලයින් වෙළඳාම සිදු කරන ආයතන කිහිපයක නියෝජිතයින් ද ඊට එක්ව සිටි අතර, වානිජ නීති පද්ධතිය සමාලෝචනයට පත් කර ඇති කමිටුව සමග සාකච්ඡා කර නීති ශක්තිමත් විය යුතු බවට යි එහි දී අවධාරණය කෙරුණේ ෴

******************************************

යුගදනවි පෙත්සම් විභාගය අදත් (17) – ජවිපෙන් අනතුරු ඇඟවීමක්

(17.12.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව පවා දැනුවත් නො කර අත්සන් තැබූ රටට අවාසිදායක යුගදනවි බලාගාර ගිවිසුම අනිවාර්යයෙන්ම අවලංගු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

මහනුවර ප්‍රදේශයේ ඊයේ (16) පැවති සංවාදශීලි ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, එය අවලංගු කිරීම සඳහා තවමත් හැකියාවක් පවතින බවයි.

මේ අතර යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහි පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය අද (17) උදෑසන යළි ආරම්භ කිරීමට නියමිතයි.

ඊයේ (16) දිනයේදී පෙත්සම් විභාගය ආරම්භ කෙරුණු අතර එය අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලු‍විහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච (5) පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැණුනා.

******************************************

ගංඟා දෙපස ඉඩම් රක්ෂිත ප්‍රදේශ ලෙස නම් කෙරේ

(17.12.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

මෙරට ගංඟා ආසන්නයේ පවතින නිවාස ඉවත් කර ඒවා රක්ෂිත ප්‍රදේශ ලෙස නම් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කොළඹ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා කියා සිටියේ, ගංගා අපවිත්‍ර කරන පිරිස්වලට එරෙහි ව දැඩි නීතිමය පියවර ගැනීමට ද කටයුතු කරන බවයි.

මෙරට ගංඟා අපවිත්‍ර වන ස්ථාන 10,733 ක් තහවුරු කරගෙන ඇති අතර, ඉන් ස්ථාන 1,474 ක් ම කැලණි ගඟ අපවිත්‍ර වන ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙවර සුරකිමු ගංගා ව්‍යාපෘතිය යටතේ කැලණි ගඟ පිරිසිදු කිරීමට තීරණය කළ බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

ලබන සතියේ දිස්ත්‍රික්ක පහක (5) වෛද්‍යවරුන් වර්ජනයේ

(17.12.2021 – 07:52 +0530 – hirunews.lk/sinhala)

ස්ථාන මාරු ගැටලුවක් මුල් කර ගනිමින් එළඹෙන සඳුදා දිස්ත්‍රික් 05 ක රෝහල් තුළ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු ඊයේ (16) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, ඊට අදාළ මධ්‍යම කාරක සභා සාකච්ඡාවක් අද (17) පැවැත්වීමට නියමිත බවයි.

මේ පිළිබඳව දැනුවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කර ඇති බවද ඔහු කියා සිටියා.

ඒ අනුව අදාළ ගැටලුවට අද (17) දින තුළ විසඳුමක් නො ලැබුණහොත් මන්නාරම, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රීකුණාමලය සහ නුවරඑලිය යන දිස්ත්‍රික් තුළ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේ ෴

******************************************

රතුපස්වල නඩුව ගම්පහ මහාධිකරණයේ විභාගයට

(17.12.2021 – 07:57 +0530 – hirunews.lk/sinhala)

රතුපස්වල සිද්ධියට අදාළ නඩුව ගම්පහ මහාධිකරණයේදී ඊයේ (16) විභාගයට ගැනුණා.

එහිදී සිද්ධිය සිදුවූ 2013 වසරේ දී ගම්පහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ නිලන්ත පෙරේරා සාක්ෂි ලබාදුන් අතර, ඔහු කියා සිටියේ ඒ මොහොතේ වැලිවේරිය නගරයේ ක්‍රියාත්මක වූ උද්ඝෝෂණය අසලට බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු හමුදා නිලධාරීන් කණ්ඩායමක් පැමිණි බවයි.

මිනිත්තු 10 ක් තුළ උද්ඝෝෂකයින්ට ඉවත් වන ලෙස දන්වා ඔහු අසල තිබූ ඉන්ධනහල වෙත ගිය බවත්, පසුව ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබාගෙන ආවේගශීලිව උද්ඝෝෂකයින් අතරට පැමිණ විරෝධතාකරුවෙකුට පහරදීමට තැත්කළ අවස්ථාවේ නොසන්සුන් තත්ත්වයක් මතු වූ බවත් සාක්ෂිකරු සඳහන් කළා.

2013 වසරේ අගෝස්තු 01 වැනි දා සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති යුද හමුදාවේ හිටපු බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් ද ඊයේ (16) අධිකරණය හමුවේ පෙනී සිටියා.

සාක්ෂිකරු මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ, හමුදා නිලධාරීන් එම ස්ථානයේ සිටි පිරිසට පොලුවලින්ද පහර දුන් බවයි.

පසුව තමන් ඇති වූ බිය හේතුවෙන් එම ස්ථානයෙන් පළා ගිය බවද සාක්ෂි ලබාදෙමින් එවක ගම්පහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී නිලන්ත පෙරේරා පැවසුවා.

වැඩිදුර නඩු විභාගය අද සිදුවනවා.

******************************************

ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් සමන් දේවාභරණ වැඩම කරවීමේ රථ පෙරහර ආරම්භ වෙයි

(17.12.2021 – 09:21 +0530 – hirunews.lk/sinhala)

හෙට (18) දින උඳුවප් පෝ දිනයෙන් ආරම්භ වන ශ්‍රීපාද වන්දනා සමය වෙනුවෙන් පැල්මඩුල්ල – ගලපොත්තාවල රජමහා විහාරයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ඇතුලු පූජා භාණ්ඩ වැඩම කරවීමේ පුණ්‍යොත්සවයේ රථ පෙරහර අද (17) අලුයම ආරම්භ වුණා.

අලුයම පහට (5) බදුල්ල – රත්නපුර මාර්ගයේ පැල්මඩුල්ලෙන් ආරම්භ වූ මෙම රථ පෙරහර රත්නපුර නව නගරය ඔස්සේ රත්නපුර – පානදුර මාර්ගයේ සමන් දේවාලය දක්වා ගමන් කිරිමට නියමිතයි.

බැතිමතුන් පූජා පැවැත්වීමේ කටයුතු සිදුකිරීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට අවහිරතාවක් ඇතිවිය හැකි බව පොලීසිය සඳහන් කළා.

මේ නිසා, මෙම කාලය තුළ පැල්මඩුල්ලේ සිට රත්නපුර නව නගරය, රත්නපුර – පානදුර මාර්ගය හරහා සමන් දේවාලය දක්වා වන මාර්ගය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙසයි, පොලිසිය රියදුරන්ගේ ඉල්ලා සිටින්නේ ෴

******************************************

මහවැලි පාලමෙන් ගඟට පැන්න යුවළ අතරින්, තරුණයා බේරෙයි

(17.12.2021 – 09:59 +0530 – hirunews.lk/sinhala)

මහියංගණ මහනුවර මාර්ගයේ මහියංගන මහවැලි ගඟේ පාලම උඩින් තරුණ යුවළක් ගඟට පැන ඇති සිද්ධියක් වාර්තා වුණා.

ඒ ඊයේ (16) දිනයේදි යි.

දෙදෙනාම (2) ගඟට පැන්නත් තරුණයා පිහිනා ගොස් දිවි ගලවා ගත් බව යි සිද්ධිය ඇසින් දුටු ගම්වාසින් පවසන්නේ.

සිද්ධිය ඇසින් දුටු අයෙකු පැවසුවේ, මුලින්ම ගෑනු ළමයා මහවැලි ගඟේ පාලම් ඇන්ඳට නැග ගඟට පැන ඇති අතර, ඉන් පසු තරුණයා ද ගඟට පැන ඇති බවයි.

මියගිය තරුණිය වයස අවුරුදු 18 ක් වන රිදිමාලියද්ද – ගස් ගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මහියංගන හා හසලක පොලිසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවෙනු ඇති ෴

******************************************

මත්ද්‍රව්‍ය සහ අවිආයුධ ජාවාරම් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකුට ඉන්දියාවෙන් නඩු

(17.12.2021 – 10:16 +0530 – hirunews.lk/sinhala)

අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකුට ඉන්දීය ජාතික ඔත්තු සේවාව මගින් නඩු පවරා තිබෙනවා.

මෙම සැකකරුවන්ගෙන් කොටසක් පසුගිය මාර්තු 25 වන දා අරාබි මුහුදේ ධීවර බෝට්ටුවකින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් සන්තකයේ තිබී කිලෝග්‍රෑම් 300 ක හෙරොයින් සහ අවි ආයුධ තොගයක්ද සොයා ගත් බවයි ඉන්දීය ඔත්තු සේවාව අධිකරණයට දැනුම් දුන්නේ.

මොවුන් කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය රවිහංසි යාත්‍රාවේ සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම මොවුන් තමිල්නාඩුවේ කොටි හිතවාදීන් සමඟ එක්වී එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි පණගැන්වීමට උත්සාහ කරන බවට ඉන්දීය ඔත්තු සේවා චෝදනා එල්ල කළා.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු වන ඒ. රමේෂ් නැමැත්තා දෙරට අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයෙන් විශාල මුදලක් එක්රැස් කරගෙන ඇති බව ද විශ්වාස කෙරෙනවා.

එම මුදල් ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදාගැනීමට සැල සුම් කර ඇති බව ඉන්දීය ඔත්තු සේවාවේ අදහසයි.

චෙන්නායි හි සරණාගත කඳවුරකින් අත්අඩංගුවට ගනු ලැබූ සත්ගුණන් නැමති තවත් සැකකරුවෙක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ සාමාජිකයෙකු බවත්, ඔහු ප්‍රභාකරන්ගේ පිටත ආරක්ෂක වළල්ලේ සේවයේ යෙදී සිටි අයෙකු බවත් ඉන්දීය ජාතික ඔත්තු සේවාව සඳහන් කළා.

හින්දු පුවත්පත වාර්තා කළ පරිදි ඉරානය සහ පාකිස්ථානය වැනි රටවල සිට ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ නිරත වී තිබෙනවා ෴

******************************************

කාබනික දියර පොහොර ලීටර් මිලියන අටක් (8) බෙදාහැරේ

(17.12.2021 – 10:38 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට කාබනික දියර පොහොර මිලියන 8 කට අධික ප්‍රමාණයක් සහ කාබනික පොහොර ටොන් ලක්ෂ 3 ක් ගොවීන් අතර බෙදාදී ඇති බව, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසනවා.

දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් සඳහා වන ප්‍රධාන කමිටු රැස්වීමට සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (16) දින එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම, වගා කළ නොහැකි සියලු කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීම සඳහා අවසර ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව, මෙහිදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

ඊට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, දැනට රට තුළ පොල් පැල හිඟයක් පැවතීම හේතුවෙන් රුපියල් ලක්ෂ පහ (5) බැගින් ලබාදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම පොල්පැල තවාන් ආරම්භ කිරීමට කටයුතු කරන බවද කියා සිටියා ෴

******************************************

වසරේ මුල් මාස 9 තුළ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක්

(17.12.2021 – 11:05 +0530 – hirunews.lk/sinhala)

තුන්වන කාර්තුවේදී හැකිලීමක් දක්නට ලැබුණ ද, මේ වසරේ පළමු මාස 09 තුළ මෙරට ආර්ථිකය සියයට 4.4 කින් වර්ධනය වී ඇති බව, ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ වසරේ පළමු මාස 9 තුළ මෙරට දළ දේශීය නිෂ්පාදිතය රුපියල් ට්‍රිලියන 07 ක් ලෙස සටහන් වූ අතර, පසුගිය වසරේ එම කාලය තුළ වාර්තා වී ඇත්තේ රුපියල් ට්‍රිලියන 6.7 ක්.

කෙසේ නමුත්, 2019 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා රුපියල් ට්‍රිලියන 7.5 ක දළ දේශිය නිෂ්පාදිතයන් වාර්තා වුණා.

කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන්, පසුගිය වසරේ පළමු මාස 09 තුළ දළ දේශීය නිෂ්පාදිතය 2019 වසරට සාපේක්ෂව 3.6% කින් පහත වැටුණා ෴

******************************************

ජර්මනියෙ ෆ්‍රෑන්ක්ෆර්ට්, සයිප්‍රස් සහ නයිජීරියාවේ මෙරට තනානාපති සහ කොන්සියුලර් කාර්‍යාල වසා දැමීමේ තීරණයක්

(17.12.2021 – 11:07 +0530 – hirunews.lk/sinhala)

ජර්මනියෙ ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයේ කොන්සියුලර් ජනරාල් කාර්‍යාලය සහ සයිප්‍රස් රාජ්‍යයේ කොන්සියුලර් ජනරාල් කාර්‍යාලය වසා දැමීමට විදේශ අමාත්‍යාංශයේ සූදානමක් ඇති බව වාර්තාව වනවා.

ඒ සම්බන්ධයෙන් අප විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීයෙකුගෙන් සිදු කළ විමසීමක දී ඔහු එම තොරතුර තහවුරු කළා.

මීට අමතර ව නයිජීරියාවේ තානාපති කාර්යාලය ද වසා දැමීමට තීරණය කර ඇති බවයි ඔහු පැවසුවේ.

අදාල යුරෝපා කොන්සියුලර් ජනරාල් කාර්යාල දෙක (2) වසා දැමීමට තීරණය කර ඇත්තේ, එම කාර්යාලවලට වැය වන වියදම අඩු කර ගැනීමේ උවමනාවෙන් බවයි ඔහු පවසා සිටියේ.

එමෙන්ම නයිජිරියාවේ තානාපති කාර්යාලය වසා දැමීමට හේතුව ලෙස අදාළ නිලධාරියා සඳහන් කළේ මේ වන විට නයිජීරියාවේ පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලාංකික නිල්ධාරීන් එහි අනුයුක්ත කිරීමේ ඇති අවදානම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.

මේ අතර 2021 අයවැය ලේඛනයේ සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාල සහ කොන්සියුල ජනරාල් කාර්යාල නඩත්තු කිරීමේ සහ වැටුප් ගෙවීමේ වියදම් රුපියල් බිලියන 11 ක් ඉක්මවා යන බවයි ෴

******************************************

රටේ පවතින ගැටලු මැද නත්තල් සමරන්න ඇමරිකා ගිය බැසිල්ට, අනුරගෙන් චෝදනාවක්

(17.12.2021 – 11:28 +0530 – hirunews.lk/sinhala)

රටේ ආර්ථිකය බරපතළ ගණයේ අර්බුධයකට මුහුණ පා ඇති අවස්ථාවක දී මුදල් අමාත්‍යවරයා ඒ කිසිවක් තඹේකට මායිම් නො කර නත්තල් සැමරීම උදෙසා ඇමරිකා ගොස් ඇති බව, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, ඉකුත් පහළොස් වැනිදා (15) ‘ගමෙන් පටන්ගමු’ වැඩසටහන යටතේ තඹුත්තේගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්.

අනුර දිසානායක වැඩිදුරටත් කියා සිටියේ, මෙම මොහොතේ දරුණු ඩොලර් හිඟයක් පවතින බව හා ඒ හේතුවෙන් නිදහස් කරගැනීමට නො හැකි ව තිබෙන වරායේ කන්ටේනර් ගැටලුව තවත් ඔඩුදුවා ඇති බව යි.

රට පුරා කුස්සිවල ගෑස් පිපිරුම් වාර්තා වෙන අවස්ථාවක, යුගදනවි ගිවිසුම උච්ඡතම අවස්ථාවකට පැමිණ ඇති මොහොතක රටේ මූල්‍ය විෂය භාර අමාත්‍යවරයා මේ ආකාරයේ පෞද්ගලික කාරණාවලට විදේශ සංචාරවල නිරත වීම නිවැරැදි නො වෙන බව යි ඔහු පැවසුවේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *