මෙරට සංවිධාන තුනක් (3) ෆේස්බුක් සමාගම විසින් වාරණය කෙරෙයි

මෙරට සංවිධාන තුනක් (3) ෆේස්බුක් සමාගම විසින් වාරණය කෙරෙයි

*********************************************

මෙරට සංවිධාන තුනක් (3) ෆේස්බුක් සමාගම විසින් වාරණය කෙරෙයි

(16.12.2021 – 14:59 +0530 – hirunews.lk/sinhala)

facebook සමාජ මාධ්‍ය ජාලාවේ සිදු කරන නව යාවත්කාලීන කිරීම් සහ ඊට අදාළ රෙගුලාසි යටතේ ලෝ පුරා විවිධ සංවිධාන ගණනාවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීම හෝ ඒ හරහා ප්‍රචාරණයක් ලබා ගැනීම වාරණය කර තිබෙනවා.

මෙම ලැයිස්තුව වාර්ෂිකව යාවත්කාලීන කෙරෙන අතර මෙවර යාවත්කාලීන කිරීමේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සංවිධාන තුනකටත් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ වාරණය පැන වී තිබෙනවා.

මේ යටතේ නැවත වතාවක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ කිසිදු ප්‍රචාරණයක් ලබාදීම වාරණය කර ඇති අතර එය වසර ගණනාවක සිට ක්‍රියාත්මක වන්නක්.

එමෙන්ම එම සංවිධානය මෙම වර්ගීකරණය යටතේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසටයි නම්කර ඇත්තේ.

මීට අමතරව මෙරට ක්‍රියාත්මක වන ආගම්වාදී සංවිධානයක් වන ‘බොදු බල සේනා සංවිධානය’ සහ එහි කැඳවුම්කරු වන ‘පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්’ සම්බන්ධයෙන් ද කිසිදු සටහනක් තවදුරටත් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ තැබිය නොහැකියි.

එමෙන්ම තවත් දේශීය ජාතික ව්‍යාපාරයක් වන ‘සිංහලේ ජාතික බලමුළුව සංවිධානය’ටත් තවදුරටත් ෆේස්බුක් මාධ්‍ය ජාලයේ වාරණය පැනවී තිබෙනවා.

මෙම සංවිධාන දෙකම (2) ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය වර්ගීකරණයට ලක් කර ඇත්තේ වෛරී ප්‍රකාශ නිකුත් කරන සහ සමාජයේ විවිධ ජනවර්ගයන් අතර වෛරය පැතිරවීමට ක්‍රියාකරන කරන සංවිධාන ලෙසටයි.

මේ අතර ‘බොදු බල සේනා සංවිධානයේ’ කැඳවුම්කරු වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගියදා එක රටක් එක නීතියක් ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙසටද ජනාධිපතිවරයා විසින් පත් කළා ෴

******************************************

විනිමය අනුපාත ප්‍රතිපත්තිවල වෙනසක් නැහැ – මහ බැංකු අධිපති

(16.12.2021 – 18:44 +0530 – hirunews.lk/sinhala)

විනිමය අනුපාත ප්‍රතිපත්තිවල වෙනසක් සිදුව ඇති බවට පැතිර යන කට කතාවල සත්‍යතාවක් නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා ෴

******************************************

නීති විරෝධීව ගෙන්වූ දුම්වැටි 8000 ක් සමග සැකකරුවෙකු STF අත්අඩංගුවට

(16.12.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala)

කොටහේන රාමනාදන් මාවත ප්‍රදේශයේදී නීති විරෝධීව මෙරටට ගෙන්වනු ලැබූ දුම්වැටි 8000 ක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුවයි විශේෂ කාර්ය බලකාය අද (16) මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අවවාදාත්මක වැකි රහිත තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද මෙම දුම්වැටි සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි අයෙක්.

රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු වැඩිදුර විමර්ශන සඳහා කොටහේන පොලිසියට භාරදී තිබෙනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ෆයිසර් එන්නත ගබඩා කිරීම ගැන සහතිකයක්

(16.12.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ‘ප්‍රතිශක්තිකරණ වර්ධක හෙවත් බූස්ටර්’ මාත්‍රාව ලෙස ලබා දෙන ෆයිසර් එන්නත අදාළ නිෂ්පාදිත සමාගමේ නිර්දේශයන්ට අනුව මෙරට තුළ නියමිත ප්‍රමිතියෙන් ගබඩා කර පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මේ අතර ඊයේ (15) දිනයේත් මෙරටින් ආසාදිතයින් 772 නෙකු වාර්තා වුණා.

වසංගත රෝග විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා කොළඹ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ නියමිත ශීතාගාර පහසුකම් නොමැතිව කල් ඉකුත් වූ හෝ ප්‍රමිතියෙන් තොර ෆයිසර් එන්නත් බූස්ටර් මාත්‍රාව ලෙස ලබා දෙන බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයන් 772 ක් ඊයේ (15) වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියේ 5,76,966 ක් ලෙසයි.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 16,186 ක්. නව මරණ 16 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14,677ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති මෙවන් පසුබිමක උත්සව සමයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කිරීමට ජනතාව කටයුතු කළයුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එසේ නොමැති වුවහොත් ඉදිරියේදී දැඩි තීරණවලට එළඹීමට සිදුවනු ඇති බවයි ෴

+++++++++++++++++

විවාහ මංගල උත්සවයකදී මත්පැන් පිළිගැන්විය නොහැකි බවට තිබූ තහනම ඉවතට

(16.12.2021 – 09:30 +0530 – hirunews.lk/sinhala)

විවාහ මංගල උත්සවයකදී මත්පැන් පිළිගැන්විය නොහැකි බවට තිබූ තහනම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කළ නව මාර්ගෝපදේශවලින් ඉවත් කර තිබෙනවා.

මේ අතර, සංගීත ප්‍රසංග යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා සංගීත කණ්ඩායම් නියෝජිතයන් අද (16) පස්වරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හමුවීමට ද නියමිතයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (16) සිට මේ මස 31 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව, විවාහ මංගල උත්සවයකදී මත්පැන් පිළිගැන්විය නොහැකි බවට මෙතෙක් තිබූ තහනම ඉවත් කර තිබෙනවා.

එමෙන්ම, අවමංගල්‍ය උත්සවයකට ඕනෑම අවස්ථාවකදී 30 දෙනෙකු සහභාගි විය හැකි බව ද, නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන්.

සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, අදාළ මාර්ගෝපදේශ අනුගමනය කරමින් කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සහය දක්වන ලෙසටයි.

එමෙන්ම, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ, ඉදිරි උත්සව සමයේදී වගකීම් සහිතව කටයුතු නොකළහොත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහළ යා හැකි බවයි.

හැටන් – බගවන්තලාව නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා එහි කළමනාකාරවරයා ඇතුළු 6 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි, බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම සංගීත ප්‍රසංග යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සංගීත කණ්ඩායම් නියෝජිතයන් සකස් කරන ලද යෝජනා මාලාවක් අද (16) පස්වරුවේ පැවැත්වෙන සාකච්ජාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට බාරදෙන බව, සීදූව සකුරා සංගීත කණ්ඩායමේ නායක අජිත් විතානගේ පවසනවා.

ඔහු කියා සිටියේ, සංගීත ප්‍රසංග සඳහා එකම ස්ථානයකින් රසිකයන් ඇතුළත් කර ගැනීම, පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගයන් පමණක් ඊට ඇතුළත් කර ගැනීම මෙම යෝජනා අතර වන බවයි.

මේ අතර, කොරෝනා ඉතිහාසයේ එංගලන්තයෙන් මෙතෙක් සටහන් වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (15) දින වාර්තා වුණා.

ඊයේ (15) දිනයේ එරටින් නව ආසාදිතයින් 78,610 ක් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ, 1,10,10,286 ක් ලෙසයි.

එමෙන්ම නව මරණ 165 ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 1,46,791 ක් ලෙස සටහන් වුණා.

+++++++++++++++++

ජනතා හැසිරීම් ‍යහපත් නම්, නව ප්‍රභේදවලට බිය විය යුතු නැහැ – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

(16.12.2021 – 11:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිරීමට හේතු වන්නේ, අන් කිසිවක් නොව, ජනතාවගේ අයහපත් හැසිරීම් රටාව සහ නිසි පරිදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව ක්‍රියා නොකිරීම නිසා බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ඒ මහතා කියා සිටියේ, මෙම උත්සව සමය උත්සවශ්‍රීයෙන් සැමරීම් සිදු කිරීමට නොහැකි වුව ද, එසේ කිරීමට පෙළඹීම තුළ වෛරසය ව්‍යාප්ත වීමට වැඩි ඉඩකඩක් ඇත්තේ, සමාජ දුරස්ථභාවයට අනුගත නොවී, ඒකරාශී වීම් සිදු වුවහොත් බවයි.

මෙම තත්ත්වය ඇති වීම වළක්වා ගැනීමට නම්, ලංකාවාසී සියලුම ජනතාව මෙම උත්සව සමයේ නිසි සෞඛ්‍ය උපදෙස් , සමාජ දුරස්ථභාවය රඳා ගනිමින් කටයුතු කළහොත්, සතුටින් උත්සව සමය ආරක්ෂිතව සැමරීමට සැමට අවකාශය ලැබෙන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

නව ප්‍රභේද මෙරට තුළ ඇති වුව ද , එයට කිසිලෙසකින් බිය නොවී ජීවත් වීමට හැකියාව ලැබෙන්නේ ද, නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කරන්නේ නම් පමණක් බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.

කොවිඩ් නීතිරීති පසෙකලා වගකීම්සහගත බවින් මිදී කටයුතු කරන්නේ නම්, අප සැමට පෙර සිටි අඳුරු අතීතයට යළි යෑමට අවකාශය හිමිවනු ඇති බවට ද ඔහු පවසනවා.

මේ අතර, සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා තෙවන එන්නත් මාත්‍රාව ලබ ගැනීම සම්බන්ධයෙන් ද අදහස් පළ කරමින් කියා සිටියේ, එන්නත්කරණයට ලක්වීම සුදුසු ද නුසුදුසු ද යන කාරණය සම්බන්ධයෙන් තීරණය ගැනීම සිය ස්වාධීන අයිතියවක් ලෙස අප සලකන අතර,එහෙත් වැඩි පිරිසක් ගැවසෙන ස්ථානවල හෝ සෞඛ්‍යමය වශයෙන් අනතුරුදායක ගමන්වලට යොමු වන්නේ නම්, තමන්ගේ මෙන්ම සමාජයේ යහපත උදෙසා මෙම තුන්වැනි මාත්‍රාව ලබා ගැනීමට අනිවාර්යෙන්ම යොමු වීම වඩාත් සුදුසු බවයි.

පාසල් දරුවන් එන්නත් කිරීමේ වැඩපිළිවෙළ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ඉදිරියේදී පාසල් තුළම සිදු කිරීමට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරමින්, ඒවා නියමිත පරිදි අදාළ දිනවකවානු ලබාදීමෙන් අනතුරුව ආරම්භ කිරීමට මේ වනවිටත් අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

+++++++++++++++++

කොරෝනා ආසාදිතයින් 395 ක් පූර්ණ සුවයට

(16.12.2021 – 14:48 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 395 ක් අද (16) දිනයේදී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, මෙරට සුවය ලද සමස්ත ආසාදිතයින් ගණන 5,46,498 ක් දක්වා ඉහළ යනු ඇති ෴

+++++++++++++++++

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා ඔමික්‍රෝන් ආසාදිතයන් 4 ක්

(16.12.2021 – 15:22 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් ඔමිකෝන් ආසාදිතයින් තුන්දෙනෙකු (3) වාර්තාවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනුක ජෛව විද්‍යා ඒකකයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ආචර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ බලාපොරොත්තු වූ ලෙසින්ම මේ වන විට රට තුලින් ඔමික්‍රොන් ආසාදිතයින් වාර්තාවන බවයි.

එබැවින් වහාම බූස්ටර් එන්නත ලබාගත යුතු බවත් ඔහු එම ට්විටර් පණිවුඩය හරහා අවධාරණය කරනවා.

මීට පෙර මෙරටින් එක් ඔමික්‍රෝන් ආසාදිතයෙකු වාර්තාවූ අතර එම ආසාදිත කාන්තාව නයිජීරියාවේ සංචාරයකින් අනතුරුව මෙරටට පැමිණි බවයි සඳහන් වූයේ.

එමෙන්ම ඇය නිසි පරිදි නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර නොමැති බවටත් පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඒ සම්බන්ධයෙන් දැනුවත් කර නොතිබූ බවටත් චෝදනා එල්ලවුනා ෴

+++++++++++++++++

තවත් කොරෝනා මරණ 21 ක්

(16.12.2021 – 19:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 21 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 14,698 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) තහවුරු කරන ලද මෙම මරණ අතර අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමින් දෙදෙනෙකු (2) සහ කාන්තාවන් 5 දෙනෙකු වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 14 ක් වාර්තාවී තිබෙනවා. ඒ පිරිමි 10 ක් සහ කාන්තාවන් 4 ක් වශයෙන්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 5,76,966 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 15,791 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,46,498 ක් ෴

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 518 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,77,484 ක් ලෙසටයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *