දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්ගේ වර්ජනය අත්හිටුවයි

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්ගේ වර්ජනය අත්හිටුවයි

*********************************************

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්ගේ වර්ජනය අත්හිටුවයි

(15.12.2021 – 16:41 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය එන්ජින් රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් අද (15) දහවල් ක්‍රියාත්මක කළ හදිසි වැඩවර්ජනය පැය හතරහමාරකට (4½) පසු අද (15) පස්වරු 04:30 ට පමණ අවසන් කළා.

ඔවුන්ගේ හදිසි වර්ජනය හේතුවෙන් පාසල් දරුවන් ඇතුළු දුම්රිය මගීන් පත්වූයේ දැඩි අපහසුතාවකටයි.

උසස් වීම් සහ සේවා ගැටළු කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් අද (15) මධ්‍යහ්න 12 සිට මෙම වැඩ වර්ජනයක් ආරම්භ කළා.

දුම්රිය රියදුරන් සහ නියාමකයන් හදිසියේ සිදුකරන මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් අදත් (15) අපහසුතාවට පත්වුණේ දුම්රිය මගීන්.

දහවල් 12 ට ක්‍රියාත්මක කළ වර්ජනය හේතුවෙන් පාසල් පැමිණි දරුවන්ද දැඩි අපහසුතාවට පත්වුණා.

පසුව වර්ජනයේ නිරත වෘත්තීය සමිති හා දුම්රිය සමාන්‍යාධිකාරිවරයා අතර සාකච්ඡාවක් අද (15) පස්වරු 03 ට පමණ මරදානේ පිහිටි දුම්රිය මූලස්ථානයේදී පැවැත්වුණා.

එම සාකච්ඡාවෙන් අනතුරුව තාවකාලිකව වර්ජනය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ඉන්දික දොඩංගොඩ ප්‍රකාශ කළා.

ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (15) පස්වරුවේ කාර්යාල දුම්රිය රැසක් ධාවනය කෙරුණේ ප්‍රමාදයන් සහිතවයි ෴

******************************************

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ත්‍රිවිධ හමුදාව කැපවී සිටින බව ආරක්ෂක ලේකම් කියයි

(15.12.2021 – 15:34 +0530 – hirunews.lk/sinhala)

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම ජාතිය ගොඩනැගීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව පසුගිය දෙවසර (2) තුළ පුළුල් පරාසයක විශාල කාර්යභාරයක් ඉටු කළ බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පවසනවා.

‘ගත වූ දෙවසර තුළ ත්‍රිවිධ හමුදාවේ ක්‍රියාකාරීත්වය’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අද (15) පෙරවරුවේ සංවිධානය කළ මාධ්‍ය හමුවේදීයි ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ.

වර්තමානය වන විට රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර තිබෙන අතර බෙදුම්වාදයට හිස එසවීමට කිසිඳු ඉඩක් නැති බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කළා.

ශ්‍රී ලාංකිකයන් කිසිවෙකු අනියත බියක් ඇතිකරගත යුතු නොමැති බවයි ඔහු කියාසිටියේ.

රාජ්‍ය බුද්ධි අංශය සහ සෙසු බුද්ධි අංශ මේ වන විට එකම ශක්තිමත් ජාලයක් ලෙස ක්‍රියාත්මක වන බව ද කමල් ගුණරත්න මහතා සඳහන් කළා.

රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් දිනා දුන් නිදහස සහ රටේ ජාතික ආරක්ෂාව පාස්කු ප්‍රහාරය සමග උඩුයටිකුරු වූ අතර පසුගිය පාලන සමයේ එම පරීක්ෂණ විධිමත්ව සිදු නොවූ බැවින් පීඩාවට පත් වූ අහිංසක පවුල්වලට සාධාරණය ඉටු කිරීමට අධිකරණ පද්ධතියට අවශ්‍ය සියලු සහාය ලබා දෙන බව ද ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළා.

මිලිටරීකරණයකට රට ගෙන යනවා ද යන්න පිළිබඳ වූ පැනයකට පිළිතුරු දෙමින් කමල් ගුණරත්න මහතා කියාසිටියේ, විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ආණ්ඩුවේ තනතුරු දැරීම කිසිසේත් මිල්ටරීකරණයක් නොවන බවයි.

විශ්‍රාම ලැබූ හමුදා නිලධාරියෙකු වසර ගණනාවක තම දැනුම සහ අත්දැකීම් භාවිත කර රටට සහ ජනතාවට සේවය කිරීම වරදක් වන්නේ කෙසේ දැයි ඔහු මෙහිදී විමසා සිටියා.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම ජාතිය ගොඩනැගීමට අවශ්‍ය පියවර ගැනීම ද ත්‍රිවිධ හමුදාවේ වගකීමක් වන අතර යුද, නාවික සහ ගුවන් හමුදාව ඒ වෙනුවෙන් විශාල කාර්ය භාර්යයක් ඉටු කරමින් සිටින බව ද ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නා.

පසුගිය වසර දෙක (2) තුළ රටේ සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව සිදු කළ කාර්ය භාර්යය යුද හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා මෙහිදී පැහැදිළි කළා.

ඔහු කියාසිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශක්තිය රටේ සංවර්ධනය වෙනුවෙන් උපරිමයෙන් දායක කිරීමට කැපවී කටයුතු කළ බවයි.

ඒ අතරම කොවිඩ් මර්දන ක්‍රියාන්විතයට ද ශ්‍රී ලංකා යුද හමුදාව පුළුල් දායකත්වයක් ලබාදී තිබෙනවා. ප්‍රතිකාර මධ්‍යස්ථාන, නිරෝධායන මධ්‍යස්ථාන මෙන්ම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යාම මෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙලේදී විශාල කාර්ය භාර්යයක් ඉටු කළ බවයි ඔහු පෙන්වා දුන්නේ.

ජනතා අවශ්‍යතා අනුව යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කාර්යය ද නොඅඩුව සිදුකළ බව බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළා.

නාවික හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට ද විශාල කාර්යභාරයක් පැවරී ඇති බවයි.

පසුගිය වසර දෙක (2) තුළ පමණක් රුපියල් බිලියන 35 කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ජාතියේ ප්‍රථම ආරක්ෂක වළල්ල ලෙස එය රටත්, තරුණ පරපුරේ අනාගතයත් වෙනුවෙන් කළ විශාල සේවයක් බව ඔහු පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා ද මෙහිදී අදහස් පළකළා.

ඔහු කියාසිටියේ කොවිඩ්-19 පැතිර යාමත් සමග විෂබීජහරණය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව කැපවූ අතර ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ශ්‍රී ලංකාවේ වන වගාව ඉහළ නැංවීම වෙනුවෙන් රක්ෂිත කලාප සඳහා ගුවනින් බීජ හෙළීම ඇතුලු පරිසර සංරක්ෂණ ව්‍යාපෘති මෙන්ම නගරබද රථ වාහන තදබදය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සක්‍රීයව දායක වෙමින් සිටින බවයි ෴

******************************************

දුරකථනය භාවිත කරමින් දුම්රිය මාර්ගයේ ගිය තරුණයෙකු දුම්රියේ ගැටී මරුට

(15.12.2021 – 16:27 +0530 – hirunews.lk/sinhala)

ජංගම දුරකථනය භාවිත කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණයෙකු දුම්රියේ ගැටීමෙන් මියගොස් තිබෙනවා.

අද (15) දහවල් මෙම අනතුර සිදුවී ඇත්තේ උඩරට මාර්ගයේ ශාන්ත ක්ලෙයාර් සහ සෙන්ඇන්ඩෲස් අතර ප්‍රදේශයේදීයි.

මියගොස් ඇත්තේ කොටගල සෙන්ඇන්ඩෲස් වත්තේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙක්.

ඔහු ජංගම දුරකථනය භාවිත කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වි තිබෙනවා.

බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ මෙම තරුණයා ගැටී ඇති අතර අනතුරුව ඔහු එම දුම්රියෙන්ම කොටගල දුම්රිය ස්ථානයට රැගෙන විත් භාරදී තිබෙනවා.

පසුව සිරුර කොටගල ප්‍රාදේශීය රෝහල වෙතට රැගෙන යනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ සහ දිඹුලපතන පොලිස් ස්ථාන මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

******************************************

කිලිනොච්චියෙන් උණ්ඩ තොගයක් හමු වේ

(15.12.2021 – 16:26 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය – කෝරක්කන්කටු ප්‍රදේශයේ ඉඩමක තිබි ටී.56 පතොරම් 55,000 ක් පමණ අද (15) සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසූවේ, අදාළ ගෙවත්තේ ඉදිකිරීමක් වෙනුවෙන් වළක් කැපීමේදී පතොරම් පෙට්ටි දෙකක් (2) තිබී හමු වූ බවයි.

අදාළ ස්ථානය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් පතොරම් හමු වූ ස්ථානය කැණීම් කර තිබෙනවා.

එහිදී අදාළ ස්ථානයෙන් පතොරම් පෙට්ටි 46 ක් සොයා ගැනීමට කිලිනොච්චිය ආරක්ෂක අංශ සමත් වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

පතොරම් බහාලන පෙට්ටියක් තුළ ටී.56 පතුරම් 750 බැගින් පවතින අතර, මේ වන විට හමු වූ පෙට්ටි ළ තුළ ටී.56 පතොරම් 34,500 ක තොගයක් පවතින බව ද කිලිනොච්චිය ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන් කළේ.

පතොරම් පෙට්ටි තුළ බහා නොමැතිව, වළ තුළ තිබී තවත් පතුරම් 21,000 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට හමුව ඇති බව ද කිලිනොච්චිය ආරක්ෂක අංශ වැඩිදුරත් සඳහන් කළා.

යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් සඟවා ගිය පතොරම් තොගයක් එලෙස හමුවන්නට ඇති බවට‍යි පොලීසිය සැක කරන්නේ.

කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිලධාරින් අදාළ ස්ථානයේ කැණීම් සිදු කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

******************************************

ප්‍රියන්ත කුමාර මහතාගේ මාසික වැටුප සෑම මසකම 05 වනදා ලබාදීමට සමාගම එකඟ වෙයි

(15.12.2021 – 16:57 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ සියල්කොට් නගරයේදී පසුගිය තුන්වනදා (03) අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික නිෂ්පාදන ඉංජිනේරුවරයෙකු වන ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා මාසික වැටුප සෑම මසකම 5 වනදා වන විට ගිණුම්ගත කිරීමට අදාළ සමාග එකඟ වී ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද (15) විදේශ කටයුතු අමාත්‍යංශයේ දී ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳ සහ දරුවන් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරමින්.

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය මෙරටට ගෙන ඒම සහ අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් සිදු කෙරුණු වියදම් රජයේ අරමුදල්වලින් පියවීමට රජය තීරණය කර තිබුණා.

කෙසේවෙතත් ඒ සඳහා වන සියලු වියදම් අදාළ සමාගම් විසින් දැරීම සහ ඒ වෙනුවෙන් බිල්පත් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් එම මුදල තක්සේරු කර විදේශ කටයුතු අමාත්‍යංශය මගින් ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳ සහ දරුවන් වෙත ලබාදීමට විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කළා.

******************************************

වසරේ මේ දක්වා රුපියල් බිලියන 12 කට වැඩි හෙරොයින් නාවික හමුදා අත්අඩංගුවේ

(15.12.2021 – 17:07 +0530 – hirunews.lk/sinhala)

වසරේ මේ දක්වා නාවික හමුදාව සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීම් මගින් හෙරොයින් මත්ද්‍රව්‍ය පමණක් කිලෝ 1268 යි ග්‍රෑම් 826 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම හෙරොයින්වල දල වටිනාකම රුපියල් බිලියන 12.26 අධික බවටයි විශ්වාස කෙරෙන්නේ.

එසේම, ශ්‍රි ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ පසුගියදා සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 2509 කට අධික බවට ද ගණන් බලා තිබෙනවා.

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250 කට අධික තොගයක් සහ විදේශීය සැකකරුවන් 6 දෙනෙකු සහිතව අත්අඩංගුවට ගත් එම නෞකාව අද (15) පෙරවරුවේ කොළඹ වරාය වෙත රැගෙන එනු ලැබුවා.

මීට පෙර නාවික හමුදා බුද්ධි අංශය, අනෙක් බුද්ධි සේවාවන් සමග එක්ව ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින් පසුගිය අගෝස්තු මස 30 වන දින හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 290 ග්‍රෑම් 200 ක පමණ තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැප්තැම්බර් 04 වන දින හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 336 යි ග්‍රෑම් 300 ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය බහු දින ධීවර යාත්‍රාවක් සහ සැප්තැම්බර් 10 වන දින හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 170 ග්‍රෑම් 866 ක තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය බහු දින ධීවර යාත්‍රාවක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, 2021 වසරේ මේ දක්වා නාවික හමුදාව විසින් සිදු කරන ලද මත්ද්‍රව්‍ය වැටලීම් මඟින් හෙරොයින් මත්ද්‍රව්‍ය පමණක් කිලෝ 1268 ග්‍රෑම් 826 ක පමණ තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති අතර, එම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් බිලියන 12.26 කට අධික බවටයි විශ්වාස කෙරෙන්නේ ෴

******************************************

චීන දූත පිරිසක් උතුරුකරයේ සංචාරයක

(15.12.2021 – 17:39 +0530 – hirunews.lk/sinhala)

මෙරට චීන තානාපති ‘කි සෙන්හොන්ග්’ ඇතුළු චීන රජයේ දූත පිරිසක් අද (15) යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වී තිබෙනවා.

උතුරු පළාතේ සංවර්ධන කටයුතු හා උතුරු පළාතේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය වෙනුවෙනුයි චීන තානාපතිවරයා ඇතුළු පිරිස එක්ව සිටියේ.

මෙම දූත පිරිස පේදුරුතුඩුව ප්‍රදේශයේ සංචාරයකට ද එක් වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

******************************************

රසායනික පොහොරින් මිනිස් සිරුරට වන බලපෑම් විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට විශේෂ කාර්ය සාධන බලකායක්

(15.12.2021 – 18:43 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර භාවිතය මගින් මිනිස් සිරුරට සිදු වන බලපෑම් විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම සඳහා වන විශේෂ කාර්ය සාධන බලකායක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

මේ සඳහා වන වැඩපිළිවෙල ඉදිරි සතිය තුළ ආරම්භ කරන ලෙසටයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත්තේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු එම අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (15) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.

එම කාර්ය සාධන බලකාය සඳහා සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකින් යුත් ස්වාධීන කණ්ඩායමක් පත්විය යුතු අතර ඒ සඳහා පුළුල් අධ්‍යයනයක් සිදුවිය යුතු බවයි අමාත්‍ය රඹුක්වැල්ල මෙහිදී අවධාරණය කළේ.

එමෙන්ම ගෙවුණු වසර කිහිපය තුළ මේ පිළිබඳව කෙරුණු යම් යම් අධ්‍යයනයන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර රසායනික පොහොර භාවිතය වැළැක්වීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙලට සෞඛ්‍ය හා පරිසර අමාත්‍යාංශවල සහයෝගය අත්‍යවශ්‍ය බවත් මෙය ඉහළම ජාතික වැඩපිළිවෙලක් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙහිදී පෙන්වා දුන්නා.

මේ අතර මේ වන විට මෙරට දිස්ත්‍රික්ක 16 ක් පුරා වකුගඩු රෝගය ව්‍යාප්තව ඇති අතර ගතවූ වසර කිහිපයෙ තුළ එහි සිඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

1994 වසරේ සිට වසරින් වසර මෙරට වකුගඩු රෝගීන්ගේ විශාල ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන අතර ඉන් වැඩි ප්‍රමාණයක් අනුරාධපුර ඇතුළු උතුරුමැද ප්‍රදේශ වලින් වාර්තා වී ඇති බවටයි හෙළි වී ඇත්තේ.

වාර්තාවන වකුගඩු රෝගීන්ගෙන් 95% ක් පමණ කෘෂිකර්මාන්තයට සම්බන්ධ පවුල්වල පිරිස් බව ද මෙහිදී අනාවරණ කෙරුණා.

වකුගඩු රෝගය හේතුවෙන් 70% ක් පමණ වයස්ගත පුරවැසියන්ගේ මරණ මෙයට පෙර වාර්තා වුව ද මේ වන විට අවුරුදු 35 – 40 අතර වයස්වල පුද්ගලයන් මියයාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද මේ සාකච්ඡාවේදී හෙළිවී තිබෙනවා.

මේ අතර රසායනික ද්‍රව්‍ය අවභාවිතා කරමින් සිදු කරගනු ලබන ජීවිත හානි අවම කර ගැනීම සඳහා වන අවශ්‍ය මැදිහත්වීම කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටියා.

පසුගියදා ජිනීවා නුවර පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැසියකට සහභාගී වෙමින් ඔහු මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *