නිවසට රැගෙන ආ දේහයක් කොරෝනා නිසා යළි රැගෙන යයි

නිවසට රැගෙන ආ දේහයක් කොරෝනා නිසා යළි රැගෙන යයි

*********************************************

නිවසට රැගෙන ආ දේහයක් කොරෝනා නිසා යළි රැගෙන යයි

(15.12.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (15) නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ මීට පෙර නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අදින් (15) අවසන් වු බවයි.

ඉදිරි උත්සව සමයට පෙර හැකි ඉක්මනින් බූස්ටර් එන්නත ලබාගැනීමට කටයුතු කළ හොත් කොරෝනා වෛරසය පැතිරයාම තවදුරටත් අවම කර ගත හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියා.

ඒ, කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ අතර, මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගිය 77 හැවිරිදි කාන්තාවකගේ මෘත දේහය නිවසට රැගෙන ගොස් තැන්පත් කර තිබියදි මරණය සිදුව ඇත්තේ කොරෝනා ආසාදනය වීමෙන් බව පවසමින් සෞඛ්‍ය අංශ පැමිණ දේහය නැවතත් රැගෙන යාමේ පුවතක් බුත්තල මිනිපුරගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

අවමංගල්‍ය කටයුතු සදහා මල්ශාලාවෙන් දේහය නිවසට පැමිණි පසු මොනරාගල මහ රෝහලේ නිලධාරින් පැමිණ අදාළ මරණය කොරෝනා බවට නිවැසියන් දැනුවත් කර දේහය නැවත රැගෙන යාමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ වන විට අවමංගල්‍ය අවස්ථාව සදහා ගම්වැසියන් පිරිසක්ද පැමිණ සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.

අවමංගල්‍ය අවස්ථාවට සහභාගිවි සිටි 25 කට ආසන්න පිරිසක් නිරෝධායනය සදහා යොමුකර තිබෙනවා.

++++++++++++++

ඔමික්‍රොන් ශීඝ්‍ර ව්‍යාප්තියක – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇගවීමක්

(15.12.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රොන් ප්‍රභේදය ලොව රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.

එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩිනම් ග්‍රෙබියේසස් සඳහන් කළේ රටවල් 77 කින් ඔමික්‍රොන් ආසාදනය වූ රෝගීන් මේ වන විට වාර්තා වන බවයි.

රෝගීන් වාර්තා වීම පාලනය කිරීම සඳහා රටවල් කිහිපයක් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් ඇතැම් රටවල් ඔමික්‍රොන් ප්‍රභේදය අවතක්සේරු කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

එසේම ඇතැම් රටවල එම වෛරසය ව්‍යාප්ත වී ඇති අතර එය හඳුනාගෙන නොතිබීම ද ගැටලු සහගත බව එම සංවිධානය පෙන්වා දුන්නා.

මෙම තත්ත්වය මත ලොව පුරා කොරෝනා යළි හිස එසවීමේ වැඩි අවදානමක් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩිනම් ග්‍රෙබියේසස් කියා සිටියේ ෴

++++++++++++++

සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දීර්ඝ කෙරේ

(15.12.2021 – 14:43 +0530 – hirunews.lk/sinhala)

පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දින 15 ක් දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ෴

++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 335 ක් සුවය ලබයි

(15.12.2021 – 15:52 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 335 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,46,103 ක් ලෙසටයි. ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 5,76,194 ක් හමුවී ඇති අතර ඉන් 15,430 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 14,661 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 335 දෙනෙකු අද (15) සුවය ලැබීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 5,46,103 දක්වා ඉහළ ගියා ෴

++++++++++++++

එන්නත් දෙකම (2) ලබාගෙන කොරෝනා වැළඳුනු අයට බූස්ටර් මාත්‍රාව මාස 6 කින්

(15.12.2021 – 15:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම (2) ලබා ගත් පසු කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට ඉන් මාස 6 කට පසු බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට නිර්දේශ කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

නීතිපතිගෙන් අධිකරණයට විශේෂ දැනුම් දීමක්

(15.12.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහි නඩුවෙහි පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට කැදවීමක් නොකරන බව නීතිපතිවරයා ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, පාස්කු ප්‍රහාරය වලක්වාගැනීමට කටයුතු නොකළ බවට හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහි නඩුව අද (15) විභාගට ගනු ලැබූ අවස්ථාවේදීයි.

මෙම නඩුව අද (15) පෙරවරුවේ කැද වූ අවස්ථාවේදී එය තාවකාලිකව කල් තැබුණේ, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මෙම නඩුවේ සාක්ෂි දීමට තරම් සුදුසු මානසික සහ කායික තත්ත්වයක සිටී දැයි පරීක්ෂා කොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කරන්නැයි නීතිපතිවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීම සඳහායි.

පසුව යළි මෙම නඩුව විභාග කිරීමට කැඳවනු ලැබූ අවස්ථාවේ එම ඉල්ලීම ඉවත දැමූ විනිසුරු මඩුල්ල සිසිර මෙන්ඩිස්ගෙස් සාක්ෂි ලබා ගැනීමට තීරණය කළා.

ඒ අනුවයි හිටපු ජාතික බුද්ධි ප්‍රධානීයා එම නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස කැඳවන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිකරණයට දැනුම් දීම සදහා යළි නඩුව තාවකාලිකව කල් දැමුණේ.

ඉන් පසුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නේ, හිටපු බුද්ධි ප්‍රධානියාට මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස කැදවීමක් නොකරන බවයි.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැදි සහ මොහොමඩ් ඉර්ෂඩීන් හමුවේ මෙම නඩු විභාගය සිදු කෙරුණා ෴

******************************************

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්ෂික සම්මන්ත්‍රණයේ සමාරම්භය ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

(15.12.2021 – 13:35 +0530 – hirunews.lk/sinhala)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා පියවර ගෙන ඇති අතර, යෝජිත ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත බලාත්මක කිරීම මගින් එය තවදුරටත් නියාමන බලතල සහිතව ශක්තිමත් වනු ඇතැයි
ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන 11 වන වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණයට ඊයේ (14) බත්තරමුල්ල ‘වෝටර්ස් එජ්’ හෝටලයේදී සහභාගි වෙමින්.

ආරක්‍ෂක ලේකම්වරයා, ජාතික ආරක්‍ෂාව සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ද වනවා.

‘Innovation Geared Building Resilience’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම දෙදින (2) සම්මන්ත්‍රණයට පැමිණි ආරක්‍ෂක ලේකම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා විසින් පිළිගනු ලැබුවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා සහ ලෝක ආහාර වැඩසටහනේ මෙරට අධ්‍යක්‍ෂ අබ්දුල් රහීම් සිද්දික් ආරක්‍ෂක ලේකම්වරයා සමග මෙහි මුලසුන හෙබවූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

විවිධ ආපදාවලින් මියගිය අයවලුන් සිහිකිරීම සඳහා මිනිත්තුවක නිහැඬියාවක් පැවැත්වීමෙන් අනතුරුව‍යි මෙම වැඩසටහන ආරම්භ වූයේ.

මෙම උත්සවයේදී ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා විසින් ආරක්‍ෂක ලේකම් වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වුනා.

මෙම අවස්ථාවට කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ රේඛීය ආයතන නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියා ෴

******************************************

ප්‍රතික්ෂේප වූ චීන පොහොර සඳහා මුදල් ගෙවීමට කිසිඳු එකඟතාවක් නැහැ – කෘෂිකර්ම අමාත්‍ය

(15.12.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතික්ෂේප වූ චීන පොහොර වෙනුවෙන් මුදල් ගෙවීමට කිසිඳු එකඟතාවකට එළඹ නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ, හිරු ප්‍රවෘත්තී අංශය සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.

මේ අතර තමන්ට කාබනික පොහොර යැයි පවසමින් ලබා දී තිබූ පොහොර ගෝනි තුළ කිරිමැටි, දහයියා සහ ලී කැබලි තිබූ බවට පොළොන්නරුව – ජයන්තිපුර – තඹලවැව සහ හේන්කොළවැව ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරනවා.

කාබනික දියර බොහොර කෑන් පිපිරී යාමේ සිද්ධීන් පදනම් කර ගනිමින් ඊයේ (14) එම පොහොර ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ගිරිතලේ – පුරාණගම ප්‍රදේශයේ ගොවීන්ට ගිරිතලේ ගොවිජන සේවා කාර්යාලයේ නිලධාරීන් පැමිණ කරුණු පැහැදිලි කර දියර පොහොර බෙදාදීමට කටයුතු කළා.

ඒ, සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඊයේ (14) වාර්තා කිරීමෙන් අනතුරුවයි.

මිහින්තලේ – පහළමිල්ලෑව ප්‍රදේශයේ පැවති භාණ්ඩ බෙදාදීමේ උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පොහොර බෙදා හැරීමේදී ගැටලු මතුව ඇති බවයි.

මේ අතර අල, ලොකුලූනු සහ රතු ලූනු මෙන්ම මිරිස්, උඳු, බඩඉරිඟු සහ රටකජු යන බීජ වර්ග සඳහා ලබන වසරේදී ආනයන සීමා පැනවීමට කෘෂිකර්ම අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අජන්ත සිල්වා කියා සිටියේ ඒවා දේශීයව සාර්ථක ලෙස නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි.

******************************************

74 වන අභිමානවත් නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේදී

(15.12.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)

මෙවර අභිමානවත් 74 නිදහස් සැමරුමේ තේමාව,‘අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනයක් සෞභාග්‍යමත් මව්බිමක්’ ලෙස නම් කර තිබෙනවා.

2022 පෙබරවාරි 04 වෙනිදා වන දින අභිමානවත් ලෙස මෙම නිදහස් සැමරුම පැවැත්වීමට නියමිතයි.

මෙවර නිදහස් දින සැමරුම පිළිබඳව දෙවන සංවිධායක කමිටු රැස්වීම අද (15) පෙරවරුවේ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වුණා.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් එන්. ධර්මතිලක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ත්‍රිවිධ හමුදා නියෝජනය කරමින් උසස් නිලධාරීන්, නිදහස් දිනය වෙනුවෙන් සියලු ආකාරයෙන් සම්බන්ධ වන රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක් වුණා .

නිදහස් දින සැමරුමට සමගාමීව සිදු කරන සර්ව ආගමික වතාවත් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ අතර, එම සර්ව ආගමික වතාවත් පෙබරවාරි දෙවැනිදා (02) සහ තුන්වෙනිදා (03) සිදු කිරීමට සංවිධානය කර තිබෙනවා.

රටේ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සියලු කටයුතු කිරීම පිළිබඳවත්, පෙරහුරු පැවැත්වීම පිළිබඳවත්, මාර්ග හා රථවාහන සැලසුම පිළිබඳවත් මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානයට ගැනුණා.

හමුදා පෙළපාලි, සහසංස්කෘතික අංග, පැවැත්වීම ගාම්භීරවත් අලංකාරවත් හා විචිත්‍රවත් ලෙස පැවැත්වීමටත් මෙහිදී සියලුම කටයුතු සකස් කර තිබෙනවා ෴

******************************************

රතිඤ්ඤා කර්මාන්තයට සුබ දසාවක්

(15.12.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

මීගමුව, කිඹුලාපිටිය ගිනිකෙළි කර්මාන්තයට මේ වනවිට යහපත් කලදවසක් උදා වී තිබෙනවා.

ව්‍යාපාරිකයින් පවසන්නේ, ලැබෙන ඉල්ලුමට සරිලන සැපයුමක් පවා ලබාදීමට නො හැකි වී ඇති බවයි.

******************************************

කිරි නිෂ්පාදන ඉහළ නැංවිම සඳහා රුපියල් මිලියන 2000 වෙන් කෙරේ

(15.12.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

කිරි නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා කිරි ගොවීන් 4000 කට ලබන වසර සඳහා රුපියල් මිලියන 2000 ක් වෙන් කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ කුඩා වතු හිමියන්ගේ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන යටතේ මෙලෙස මුදල් වෙන් කරන බවයි.

ඒ අනුව මධ්‍යම, වයඹ, උතුරුමැද, ඌව, රත්නපුර සහ මුලතිව් දිස්ත්‍රික්කවල කිරි ගොවීන් සඳහා මෙම මුදල් වෙන් කරනු ලබනවා.

එමෙන්ම දියර කිරි නිෂ්පාදනයට සම්බන්ධ කිරි ගොවීන්ට සිය නිෂ්පාදන පහසුවෙන් අලෙවි කර ගැනීම සඳහා මැදවච්චිය, පුත්තලම, මාතලේ, ගම්පොළ, බණ්ඩාරවෙල සහ නාවලපිටිය යන ප්‍රදේශවල නව කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන ඉදිකිරීමට නියමිතයි ෴

******************************************

රාජ්‍ය ව්‍යවසාය සේවක විශ්‍රාම වයස දීර්ඝ කෙරේ

(15.12.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala)

2022 ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ව්‍යවසායක සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස සංශෝධනයකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ විශ්‍රාමික වයස අවුරුදු 62 දක්වා වැඩි කෙරෙන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල සඳහන් කළේ ෴

******************************************

කාලගුණයෙන් ජනතාවට දැනුම්දීමක්

(15.12.2021 – 15:08 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට දකුණු දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්වය ඉදිරි පැය 24 තුල අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමට හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුලින් බරවී පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

උතුර උතුරු මැද නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 කට වැඩි තරමක තද වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලිත තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

මේ අතර මෙම අඩු පීඩන කලාපය වර්ධනය වීම හේතුවෙන් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසට දැනුම්දෙනවා.

ගාල්ල සිට හම්බන්තොට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රලු විය හැකියි.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රලු විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රලු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

******************************************

උණ්ඩයට බිලි වූ කත

(15.12.2021 – 15:32 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව – නෙදුන්කර්නි ප්‍රදේශයේ අද (15) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසූවේ මෙරට නිශ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවකින් සිදු කළ වෙඩි තැබීමකින් 33 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මියගිය කාන්තාවගේ මස්සිනා වෙඩි තැබීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරු අපරාධ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිට පැමිණ සිටි පුද්ගලයෙකු බව ද සඳහන්.

මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වෙනුවෙන් නෙදුන්කර්නි රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් නෙදුන්කර්නි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *