ප්‍රතික්ෂේප කළ ගෑස් නැව තවමත් කොළඹ වරායේ

ප්‍රතික්ෂේප කළ ගෑස් නැව තවමත් කොළඹ වරායේ

*********************************************

ප්‍රතික්ෂේප කළ ගෑස් නැව තවමත් කොළඹ වරායේ

(14.12.2021 – 19:41 +0530 – hirunews.lk/sinhala)

ලිට්රෝ සමාගම මෙරටට ආනයනය කළ ගෑස් තොගය ප්‍රතික්ෂේප කිරීමට මෙරට බලධාරීන් පියවර ගත්ත ද, එම ගෑස් තොගයේ සංයුතිය වෙනත් ක්‍රමයකට පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ලිඛිත අවසරයක් ලැබෙන තෙක් අදාළ නෞකාව පිටත් නොකිරිමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර තිබෙනවා.

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් පසුගිය සෙනසුරාදා මෙරටට ගෙන්වන ලද ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් සහිත නෞකාවේ ඇති ගෑස් සාම්පල පරීක්ෂා කිරීමේදී, ගන්ධය සඳහා යොදන මර්කැප්ටන් නමැති රසායනිකය නියමිත ප්‍රමාණයට නොමැති බවටයි තහවුරු වී තිබුණේ.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ඊට අදාළ සියලු‍ම පාර්ශ්වවල සහභාගීත්වයෙන් අද (14) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර ඇත්තේ අදාළ ගෑස් තොගයේ මර්කැප්ටන් අගය ඒකක 10 ක් තරම් ඉතාමත් අඩු මට්ටමක පවතින බැවින් එම ගෑස් තොගය ප්‍රතික්ෂේප කිරීමටයි.

කෙසේ වෙතත්, වෙතන් ක්‍රමවේදයක් හරහා මර්කැප්ටන් සංයුතිය පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කටයුතු කිරීම හේතුවෙන් එම ආයතනයේ ලිඛිත අවසරය ලැබෙන තෙක් ගෑස් නෞකාව පිටත් නොකිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක ආහාර පිසීම සඳහාද මෙම ගෑස් හිඟය දැඩි ලෙස බලපා ඇති බැවින් මෙම ගෑස් තොගය කඩිනමින් රට තුළට ගැනීමට ඇතැම් පාර්ශ්ව කටයුතු කරමින් සිටින බවයි විශ්වස කටයුතු ආරංචි මාර්ග මගින් අනාවරණ වුණේ.

මේ අතර, තවත් ගෑස් තොගයක් සහිත නැවක් ඊයේ (13) මෙරටට ළඟා වී ඇති බව වාර්තා වන අතර, එය මේ වනවිට කොළඹ වරාය සීමාවෙන් පිටත නැංගුරම්ලා තිබෙනවා.

එහි පවතින ගෑස් තොගයේ සංයුතිය පරීක්ෂා කිරීම සඳහා මේ වනතෙක් අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් ලැබී නොමැති බව සඳහන්.

කෙසේ වෙතත්, එම නෞකාවේ පවතින ගෑස් සාම්පල පරීක්ෂා කිරීමට නම් අදාළ නෞකාව වරාය පරිශ්‍රයට පැමිණිය යුතුයි.

මේ අතර දිවයිනේ තවත් ප්‍රදේශ රැසකින්ම ගෑස් සම්බන්ධ අනතුරු අදත් වාර්තා වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එසේම ගෑස් ආශ්‍රිත අනතුරකින් ජීවිතක්ෂයට පත් කුණ්ඩසාල – නත්තරම්පොත ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි සිව්දරු මවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14) පස්වරුවේ සිදු කෙරුණා.

ඒ, මාතලේ – විල්ගමුව – දේවගිරිය පොදු සුසාන භූමියේදීයි.

මෙහිදී ප්‍රදේශවාසීන් මෙම සිද්ධියට විරෝධය පළ කර මාරක – දේවගිරිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවකද නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර ගෑස් සිලින්ඩරයක අඩංගු සංයුතිය සහ එය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව පිළිබඳව දැනුම්දීම සඳහා අභියාචනාධිකරණය ලිට්‍රෝ ගෑස් සමාගමට හෙට (15) දිනය තෙක් කල් ලබා දුන්නා.

ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් විසින් වෙළඳපොළට මුදාහැර තිබෙන ගෑස් සිලින්ඩර ආපසු කැඳවන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (14) කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය විසින් මෙම කල් ලබා දීම සිදු කළා.

එහිදී විනිසුරු මඩුල්ල, ගෑස් සිලින්ඩරයක අන්තර්ගත සංයුතිය සහ එම සංයුතිය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව සහ දැනට වෙළඳපොලට මුදාහැර ඇති ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට හැකියාවක් තිබේදැයි විමසා සිටියා.

මෙම අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසුරිය අධිකරණයට දන්වා සිටියේ, ඒ පිළිබඳව තම සේවාදායකයන් ගෙන් විමසා කරුණු ඉදිරිපත් කිරීමට හෙට දින තෙක් කල් ලබා දෙන ලෙසයි.

******************************************

මුතුරාජවෙල තෙත් බිම් ඉඩම් ගැන නීතිපතිගෙන් එකඟතාවක්

(14.12.2021 – 17:13 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල තෙත් බිම පරිසර සංවේදී කලාපයක් ලෙස නම් කර ‘රැම්සා’‍ තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීමට අදාළව ඉකුත් ඔක්තෝබර් 07 නිකුත් කරන ලද ගැසට් නිවේදනය අනුව පියවර ගැනීම ලබන අප්‍රේල් මස 08 වැනිදා තෙක් සිදු නොකිරීමට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) එකගත්වය පළ කළා.

එම ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ තවත් පුද්ගලයෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරිය මේ බව කියා සිටියා ෴

******************************************

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට නව සාමාජිකයින් දෙපළක් (2)

(14.12.2021 – 17:21 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට නව සාමාජිකයින් දෙදෙනකු (2) අද (14) දිනයේ දී පත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සිය නිල ට්විටර් ගිණුමෙහි පණිවිඩයක් තබමින් සඳහන් කළේ, මෙම නව තනතුරු සඳහා පත් කර ඇත්තේ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ සහ පුජ්‍ය කළුපහන පියරතන ස්වාමින් වහන්සේ බවයි.

ඒ අනුව මෙම කොමිෂන් සභාවෙහි නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ කටයුතු කරනු ලබන අතර, එහි නව සාමාජිකයෙකු ලෙස පුජ්‍ය කළුපහන පියරතන ස්වාමින් වහන්සේ කටයුතු කරනු ලබනවා.

******************************************

තත්ත්වය සාකච්ඡා කරන්න ආණ්ඩුව අරලියගහ මන්දිරයට

(14.12.2021 – 19:27 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්වයන් හමුවේ මෙරට ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරමින් සංවර්ධනය පවත්වා ගැනීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් අද (14) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්, අමාත්‍යංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

රට තුල ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීම, දේශීය කෘෂිකර්මාන්තය සංවර්ධනය, නිෂ්පාදන පුලුල් කිරීම, අපනයනය වර්ධනය සහ ආයෝජන වැඩිකර ගැනීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ රජයේ ස්ථාවරය එලෙසම පවත්වා ගනිමින් ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා මැදිපිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්වූ බව සඳහන්.

******************************************

කොටදෙණියාවේ ළමයින් දෙදෙනා (2) ගැන මවගෙන් පරස්පර ප්‍රකාශ

(14.12.2021 – 19:44 +0530 – hirunews.lk/sinhala)

අතුරුදන් වූ කොටදෙණියාව – වත්තේමුල්ල – බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි පාසල් ළමයින් දෙදෙනා (2) සම්බන්ධයෙන් තවමත් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති පසුබිමක ඔවුන් සෙවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් (2) යොදවා තිබෙනවා.

මේ අතර, ළමයින් දෙදෙනා (2) ගේ මව ඥාතීන් ඇතුළු පුද්ගලයින් 25 දෙනෙකුගෙන් පමණ මේ වනවිටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය නොවැම්බර් මස 23 වනදා සිට මෙම ළමයින් දෙදෙනා (2) අතුරුදන්ව තිබෙනවා.

ඥාති සොහොයුරන් වන එම ළමයින් දෙදෙනා අවුරුදු 10 සහ 12 වයස්වල පසුවන්නන්.

මේ අතර මව විසින් දරුවන් සම්බන්ධයෙන් පරස්පර ප්‍රකාශ සිදු කරන බවයි පොලීසිය සඳහන් කළේ ෴

******************************************

මහජන මන්ත්‍රණ සභාව ඇහැළියගොඩ දී රැස්වේ

(14.12.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala)

ණය ලබාගනිමින් අර්බුද සහිතව පැමිණි ගමන නිමා කරමින් නව මාවතකට පිවිසීමට කාලය එළඹ ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (14) පස්වරුවේ ඇහැලියගොඩ ප්‍රදේශයේ පැවති මහජන මන්ත්‍රණ සභාවේ 2 වන සැසිවාරය අමතමින්.

එම අවස්ථාවට අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස විතාරණ මහතා, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

******************************************

යුගදනවි ගැන හඳුන්නෙත්ති කියන කතාව

(14.12.2021 – 20:53 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම අත්සන් කිරීමට ශ්‍රී ලංකාව සහ අමෙරිකාව වෙනුවෙන් එකම සාක්ෂිකරුවෙකු අත්සන් තැබීම ගැටලුසහගත බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

අද (14) කොළඹ දී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ගිවිසුම සම්බන්ධයෙන් තවත් හෙළිදරව් කිහිපයක්ම සිදු කළා.

******************************************

‘රාගා’ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් ජනගත වේ

(14.12.2021 – 21:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට කිතුල් ආශ්‍රිත කර්මාන්තයේ විප්ලවීය වෙනසකට මග පාදමින් අපනයනය ඉලක්ක කරගත් ‘රාගා’ සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් අද (14) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීම සිදු වුණා.

කර්මාන්ත අමාත්‍යාංශයට අයත් කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ, කිතුල් ආශ්‍රිත නිෂ්පාදන නිපදවීම වෙනුවෙන් ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගමයි මෙය නිපදවනු ලබන්නේ.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරු වන දුමින්ද දිසානායක, අරුන්දික ප්‍රනාන්දු, ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගමේ සභාපති ප්‍රභාත් ද අල්විස් යන අය එක්ව සිටියා ෴

******************************************

මාගම්පුර ලොජිස්ටික් අගමැති නිරීක්ෂණයට

(14.12.2021 – 23:20 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට වරයා පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (14) ඇරඹුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා තවත් ව්‍යාපෘති කිහිපයක නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ බවයි වාර්තා වන්නේ.

මෙම ගබඩා සංකීර්ණය හෙක්ටයාර එකක (1) භූමි ප්‍රමාණයක් දක්වා විහිදෙනවා.

******************************************

“පත්වීම් ලිපිය ලැබුණේ හිටපු ජනපති ලංකාවට ආවට පස්සේ” – රුවන් විජේවර්ධනගෙන් ප්‍රකාශයක්

(14.12.2021 – 23:33 +0530 – hirunews.lk/sinhala)

ඇතැම් අවස්ථාවල වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධුරය පිළිබඳ පත්වීම් ලිපිය තමන්ට ලැබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදේශගත වී ආපසු පැමිණි පසුව බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යරුවන් විජේවර්ධන කොළඹ මහාධිකරණය හමුවේ සඳහන් කළා.

ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (14) අට (8) වැනි දිනටත් විභාගයට ගත් අවසථාවේදීයි.

මෙම නඩුවට අදාළව සාක්ෂි ලබාදීමට අද (14) අධිකරණයට කැඳවා තිබුණේ ප්‍රහාරය එල්ල වන සමයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වූ රුවන් විජේවර්ධන මහතායි.

“ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළත් මා ත්‍රිවිධ හමුදාව, බුද්ධි අංශ යනාදිය අයත්ව තිබුණේ නැහැ.

ජනාධිපතිවරයා විදේශගත වූ ඇතැම් අවස්ථාවල වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධුරය පිළිබඳ පත්වීම් ලිපිය මට ලැබුණේ ජනාධිපතිවරයා විදේශගත වී ආපසු පැමිණි පසුවයි.

2018 වසරේ ඔක්තෝබර් මස පැවති ව්‍යවස්ථා අර්බුදයෙන් පසුව තමාට සහ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට කැඳවීමක් නොලැබුණු බව ද රුවන් විජේවර්ධන සඳහන් කළා.

“බුද්ධි සමාලෝචන රැස්වීමටත් මා කැඳෙව්වේ නැහැ.”

“මේ පිළිබඳව මම ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගෙන් විමසා සිටියා.”

“එම අවස්ථාවේදී හේමසිරි ප්‍රනාන්දු මහතා මට කිව්වේ ජනාධිපතිවරයාගේ දැනුම්දීමක් නොමැතිව කැඳවීමට හැකියාවක් නැහැ කියලා.”

“පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වීමෙන් පසුව පෙරවරු 9.30 ට පමණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මට දුරකථනයෙන් කතා කරල අරලියගහ මන්දිරයේ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවන ලෙස දැනුම් දුන්නා.”

“ඒ අවස්ථාවේදී මම සිටියේ ආරක්ෂක අමාත්‍යාංශයේ. ඒ අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශයට ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක බලධාරීන් රැස්ව සිටියා.”

“මා ඔවුන්ට දැනුම් දුන්නා, ආරක්ෂක මණ්ඩල රැස්වීමක් සඳහා අග්‍රාමාත්‍යවරයා සියලු දෙනාට අරලියගහ මන්දිරයට එන්න කිව්වා කියල.”

“ඒත් කිසි කෙනෙක් නැගිට්ටේ නැහැ.”

“පසුව මම ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් මේ ගැන විමසුවා.”

“එවිට හේමසිරි ප්‍රනාන්දු මට කිව්වා අගමැතිතුමා කැඳවන කිසිම රැස්වීමකට සහභාගි වෙන්න එපා කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා කියලා.”

“එම ස්ථානයේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි නිලන්ත ජයවර්ධනත් හිටියා.”

“මම ඔහුගෙන් ඇහුවා ප්‍රහාරය ගැන තොරතුරු මට කලින්ම දැනුම් නොදුන්නේ ඇයි කියලා.”

“ඒ අවස්ථාවේදී නිලන්ත ජයවර්ධන කිව්වා තොරතුරු දෙන්න බැරි වීම ගැන සමාවෙන්න කියලා.”

“රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රුවන් විජයවර්ධන එහිදී සඳහන් කළේ, ජනාධිපතිවරයා විදේශගත වී සිටියදී වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා පත් කර නොමැති නම් ආරක්ෂක අමාත්‍යාංශයේ කටයුතු මෙහෙයවීමේ වගකීම ආරක්ෂක ලේකම්වරයාට පැවරෙන බවයි.”

“තමා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වුවද තමන් යටතේ ත්‍රිවිධ හමුදාව හා බුද්ධි අංශය නොපැවතීම හේතුවෙන් තමන් වෙත ආරක්ෂක තොරතුරු ඉදිරිපත් නොකෙරුණු බවත් රුවන් විජේවර්ධන අධිකරණයේදී සඳහන් කළා.”

******************************************

හේෂා විතානගේ කළ ප්‍රකාශයට එරෙහිව පැමිණිල්ලක්

(14.12.2021 – 23:38 +0530 – hirunews.lk/sinhala)

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉඩම්වල පස් කපන ජාවාරමක් සිදු කරන බවට පසුගියදා සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සිදුකළ ප්‍රකාශයට එරෙහිව එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනාධිපති නීතිඥ ඩී.ඒ.පී. වීරරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක ඉදිරිපත් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *