කිරිපිටි ආනයනකරුවන් යළිත් ඩොලර් ඉල්ලයි

කිරිපිටි ආනයනකරුවන් යළිත් ඩොලර් ඉල්ලයි

*********************************************

කිරිපිටි ආනයනකරුවන් යළිත් ඩොලර් ඉල්ලයි

(14.12.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

කිරිපිටි ආනයනය කිරීම සඳහා බාධාවක් ව පවතින ඩොලර් හිඟයට සහනයක් ඉල්ලා අද (14) දිනයේ දී පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ, ඩොලර් හිඟයට විසදුම් ලබා නො දුන හොත් ආනයනික කිරිපිටි හිඟය තවදුරටත් පවතිනු ඇති බවයි.

ඩොලර් හිඟය හේතුවෙන් කිරිපිටි ඇණවුම්වලින් ආනයනය කළ හැකි වන්නේ සියයට 50 ක පමණ ප්‍රතිශතයක් බව ද කිරිපිටි ආනයනකරුවන් පෙන්වා දෙනවා.

එසේම ආනයනික කිරිපිටිවල මිලෙහි යළි සංශෝධනයක් සිදු විය යුතු බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයා සඳහන් කළේ.

කෙසේ වෙතත්, රට තුළ මතු ව ඇති ඩොලර් ගැටලුවත් සමඟ ආනයන තවදුරටත් සීමා කිරීමට සිදු වනු ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ (13) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්ධන, ඖෂධ සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා ප්‍රමුඛතාව ලබා දී කටයුතු කරන බවයි ඔහු එහි දී ප්‍රකාශ කර ඇත්තේ.

ආනයනික කිරිපිටි මෙන්ම වෙළෙදපොළේ මේ වනවිට දේශීය කිරිපිටිවල ද හිඟයක් හටගෙන තිබෙනවා.

මේ අතර, මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝ 10,000 ක පමණ තොගයක් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක තිබිය දී සොයා ගැනුණා.

මෙම සීනි තොගය ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ඇති අතර ඒවා ඩුබායි සිට ගෙන් වූ සීනි බවට ඇඟවීමට ඇසුරුම් වෙනස් කර ඇති බවයි පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ ෴

+

ගෑස් මගඩිය ‘සලකුණේ’ දී උණුසුම් වේ – ඇමති ලසන්තගෙන් දුරකතන ඇමතුමක්

(14.12.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

දැනට සමාජයේ කතාබහට ලක් ව සිටින ගෑස් අර්බුදය පිළිබඳව ඊයේ (13) රාත්‍රියේ විකාශය වූ ‘හිරු ටී.වී. සලකුණ’ දේශපාලන වැඩසටහන ඔස්සේ ද සංවාදයට ලක්වුණා.

එහි දී එම සංවාදය උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවේ ඊට එක් ව සිටි ඛනිජ තෙල් හා ස්වාභාවික වායු ගවේෂණ ඉංජිනේරු නිමල් ද සිල්වා මහතා සහ පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා අදහස් දැක්වීමත් සමඟයි.

එම අදහස් දැක්වීම සිදු කරන අතරතුර පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ද දුරකතන ඇමතුමක් ලබා ගනිමින් ‘සලකුණ’ වැඩසටහන සමඟ සම්බන්ධ වුණා.

ජවිපෙන් ඇමතිවරුන් දෙදෙනෙකුට (2) ප්‍රශ්නයක්

(14.12.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු ‘නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම’ට පැවරීමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද(14) දින කැදවා තිබූ මාධ්‍ය හමුවකදී කරුණු අනාවරණ කළා.

ඒ, හිටපු විදුලිබල අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර සහ ඩලස් අලහප්පෙරුම වෙත ප්‍රශ්නයක් ද යොමු කරමින්.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් පාදක කර ගනිමින් මාධ්‍ය හමුවට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති අදාළ ප්‍රශ්න කිරීම සිදුකළා ෴

+

තැපෑලේ වර්ජනයෙන් ජනතාව අපහසුතාවට

(14.12.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් එහි සේවාවන් ලබාගැනීම සඳහා පැමිණ සිටින ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

උසස්වීම්, බදවා ගැනීම් කඩිනම් කිරීම ඇතුළු ඉල්ලීම් 24 ක් මුල්කර ගනිමින් ඔවුන් මෙලෙස සංකේත වැඩ වර්ජනය නිරත වන්නේ ඊයේ (13) පස්වරු 4 සිටයි.

මේ හේතුවෙන්, තැපැල් කාර්යාලවල සේවා කටයුතු අඩාල වී ඇති අතර, එහි සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව පත්වූයේ දැඩි අපහසුතාවයකටයි.

මේ අතර, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, කාර්යාල තුල සිය වර්ජන ක්‍රියාමාර්ගය සාර්ථකව ක්‍රියාත්මක වන බවයි, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති කිහිපයක් ද අද (14) ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.

අනතුරුව ඔවුන් විරෝධතා ව්‍යාපාරයක ද නිරත වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

+

මෙරට පූජා භූමි සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 15 ක්

(14.12.2021 – 13:59 +0530 – hirunews.lk/sinhala)

මෙරට පූජාභූමි සංවර්ධනය සඳහා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක මුදලක් ලබාදී තිබෙනවා.

ඉදිරි වසර 5 සඳහා මෙම මුදල් ලබාදීමට තීරණය කර ඇති බවයි, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

එම මුදලින් යම් කොටසක් සොළොස්මස්ථාන පූජා භූමි සංවර්ධන කටයුතු සඳහා යෙදවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති සාකච්ඡාවකදී තීරණය වී තිබෙනවා ෴

පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ

(14.12.2021 – 14:23 +0530 – hirunews.lk/sinhala)

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිටුපස පිහිටි ගබඩාවක් තුළ නැවත ඇසුරුම් කරමින් තිබිය දී සොයාගැනීමට දඹුල්ල නගර සභාවේ සෞඛ්‍ය අංශය සමත් වී තිබෙනවා.

එම නගර සභාවේ සභාපති ජාලිය ඕපාත මහතා පැවසූවේ, සීනි කිලෝග්‍රෑම් 10,000 ක පමණ ප්‍රමාණයක් මෙලෙස සොයාගත් බවයි.

+

ගම්මානයට යාමට මාර්ගයක් නොමැති කමින් වලපනේ ප්‍රදේශවාසීන් පීඩාවක

(14.12.2021 – 14:35 +0530 – hirunews.lk/sinhala)

තවලම භාවිතයෙන් සිය දෛනික ජන ජීවිතය ගෙවා දමන්නට වෙහෙසෙන පිරිසක් වලපනේ ආශ්‍රිත ප්‍රදේශයේ දිවි ගෙවනවා.

ග්‍රාම සේවා වසම් 4 කට අයත් පවුල් 500 කට අධික පිරිසක් ජීවත් වන වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, කුඹල්ගමුව, දැලිවල, කපුහේන, හූරියකැටිය ආදී ගම්මානවලට ප්‍රවිශ්ට වන මාර්ගයේ වත්මන් තත්ත්වයයි මේ.

වසර 50 කට අධික කාලයක් සිය ගම්මානයට යාමට මාර්ගයක් නොමැති කමින්, මෙම පිරිස දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිනවා.

සිය දෛනික කටයුතු ඉටු කර ගැනීමට කිලෝමීටර 5 ක් 6 ක් දෛනිකව දුරගෙනවා යන්නට මෙම ගම්වැසියන්ට සිදුව තිබෙන්නේ රථ වාහන කිසිවක් භාවිත කිරීමට නොහැකි වීම හේතුවෙන්.

ඔවුන්ගේ සියලු බර දරන්නට මුල්වී කටයුතු කරන්නේ මෙම තවලමයි.

කෙතරම් හදිසි රෝගී තත්ත්වයකට මුහුණ දුන් අයෙකු වුවද ප්‍රතිකාර සඳහා ගෙනයාමට සිදුව ඇත්තේ තවත් පිරිසකගේ කර මතින් .

වැසි කාලයේදී ගමන් කිරීමට නොහැකි තරමට මඩ ගොහොරුවක් බවට පත්වන මෙම මාර්ගයේ ගමන් කරන සිප් සතර හදාරණ දරුවන් පාසල් වෙත යාමට අප්‍රමාණ දුක් ගැහැට විඳිනවා.

මැතිවරණ සමයට පමණක් ඡන්ද පොරොන්දුවක් බවට පත්වන මෙම මාර්ගය පිළිබඳ මේ දක්වා බලයට පැමිණි කිසිදු දේශපාලනඥයෙකුගේ ඇස නොගැටීම පුදුමයට කරුණක් වනවා.

ගම්වැසියන් පවසන්නේ, අදාළ ගැටලුව පිළිබඳ වසර 50 කට ආසන්න කාලයක් බලධාරීන් දැනුවත් කළද, එය බීරි අලින්ට වීණා වැයීමක් පමණක් වී ඇති බවයි.

+

දේශපාලන වේදිකාවේ මතු වූ අදහස් කිහිපයක්

(14.12.2021 – 14:52 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳපොළේ පවතින ඩොලර් අර්බුදය, ගෑස් ගැටලුව සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළයාම වැනි කරුණු සම්බන්ධයෙන්, මන්ත්‍රිවරුන් දේශපාලන වේදිකාවේ අදහස් පල කළා.

+

පොහොර නොමැතිවීම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ගොවීන් තවදුරටත් දැඩි අර්බුදයක

(14.12.2021 – 15:00 +0530 – hirunews.lk/sinhala)

පොහොර ගැටලුව හේතුවෙන්, උඩරට සහ පහතරට එළවළු සැපයුම පහළ වැටී ඇති පසුබිමක එළවළු සඳහා මෙතෙක් කිසිදු කාබනික පොහොර වර්ගයක් නිර්දේශ කර නොමැති බව, පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා හිරු ප්‍රවෘත්ති සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළා.

මේ අතර, පොහොර නොමැතිවීම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ගොවීන් තවදුරටත් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.

+

මන්නාරමින් මුහුදු සවාරි ගොස් අතුරුදන් වූ තරුණයින්ගේ සිරුරු සොයා ගැනේ

(14.12.2021 – 15:15 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම – කෝන්දපිට්ටි මුහුදේ බෝට්ටු සවාරියක් ගිය අවස්ථාවේ මුහුදට වැටී අතුරුදහන් වූ තරුණයින් දෙදෙනා (2) ගෙන් දෙවැන්නා (2) ගේ මළ සිරුරත් අද (14) උදෑසන සොයාගත් බව මන්නාරම පොලීසිය පවසනවා.

පොලීසිය පැවසූවේ, මන්නාරම, පල්ලිමුනෙයි, කෝන්දපිට්ටි මුහුදේ බෝට්ටු සවාරියක් ගිය අවස්ථාවේ තරුණයින් දෙදෙනෙකු (2) පෙරේදා (12) දියේ ගිලීමෙන් අතුරුදහන්ව ඇති බවයි.

මෙලෙස අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනා (2) ගෙන් එක් (1) අයෙකු, යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු වන අතර, සේන්දූරන් නමැත්තාගේ මළ සිරුර මෙලෙස අද(14) උදෑසන ධීවරයින් පිරිසකට හමුව තිබෙනවා.

අතුරුදහන්වූ 21 හැවිරිදි තරුණයෙකු වු දර්ශන් නමැත්තාගේ මළ සිරුර ඊයේ (13) සොයා ගැනුණේ ද ධීවරයින් පිරිසක් විසින්.

+

බාලවයස්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදීම අහෝසි කෙරේ

(14.12.2021 – 15:50 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයේ මතය අනුව වරද සිදු කරන අවස්ථාවේ දී වයස අවුරුදු 18 ට අඩු කවර හෝ තැනැත්තෙකුට එරෙහිව මරණ දණ්ඩනය නියම කිරීම හෝ සටහන් කිරීම නොකළ යුතු බවට සහ එම දඬුවම වෙනුවට අදාළ තැනැත්තා ජනාධිපතිවරයාගේ කැමැත්ත ඇති තාක් රැඳවුම් භාරයේ තැබීමෙන් දඬුවම් කිරීමට හැකි වන පරිදි දණ්ඩ නීති සංග්‍රහයේ 53 වැනි වගන්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයේ දී පියවර ගෙන තිබෙනවා.

එහෙත් වරද සිදු කරන අවස්ථාවේදී එම තැනැත්තාගේ වයස අවුරුදු 18 ට අඩු වන විටක දී මරණ දණ්ඩනය පැනවීමෙන් දඬුවම් නොකළැ යුතු බවට වන විධිවිධාන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 281 වන වගන්තියේ ඇතුළත් නොවන බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදනයේ දැක්වෙන්නේ.

එබැවින් පවතින අවිනිශ්චිතතාව ඉවත් කිරීම පිණිස අපරාධ නඩු විධාන සංග්‍රහය පනතට ද අදාළ සංශෝධන සිදු කළ යුතු බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 281 වැනි වගන්තිය සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා ෴

+

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ආසියානු සංවර්ධන බැංකුවෙන් පුරෝකථනයක්

(14.12.2021 – 15:59 +0530 – hirunews.lk/sinhala)

විදේශ සංචිතය පහත වැටීම ඇතුළු බාධක හේතුවෙන් ලබන වසරේ මෙරට ආර්ථික වර්ධන අපේක්ෂාවන් පහත හෙළීමට සිදුවන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.

සංචිතය සිඳී යාමට අමතරව ලබන වසරේ ගෙවිය යුතු අතිවිශාල විදේශ ණය ප්‍රමාණය හේතුවෙන් මූල්‍ය හිඟය අයවැයෙන් අපේක්ෂිත ප්‍රමාණය ඉක්මවන බවයි එමගින් පෙන්වා දෙන්නේ.

ආනයන අඩාල වීම මෙන්ම රසායනික පොහොර සඳහා පැනවූ තහනමෙන් කෘෂිකර්මාන්තයට එල්ලවන බලපෑමද මෙරට ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපාන බව ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළා.

එමෙන්ම පාලන මිල ඉවත් කිරීම, ගෝලීය වශයෙන් පවතින ඉහළ මිල ගණන් මෙන්ම ආනයන අඩාලවීමෙන් මේ වසරේ ඉදිරි කාලය තුළ සහ ලබන වසරේ මෙරට උද්ධමනය තවදුරටත් ඉහළ යනු ඇති බවයි එමගින් සඳහන් කළේ.

ආසියානු සංවර්ධන බැංකුව, ආසියාවේ නැගී එන ආර්ථිකයන් සඳහා මේ වසරේ වර්ධනය 7% ක් ලෙසත්, ලබන වසර සඳහා 5.3% ක් ලෙසත් යාවත්කාලීන කර තිබෙනවා.

දකුණු ආසියානු කලාපය සඳහා මේ වසරේදී 8.6% ක ආර්ථික වර්ධනයක් මෙන්ම ඉන්දියාවෙන් 9.7% ක ආර්ථික වර්ධනයක් එමඟින් අපේක්ෂා කෙරෙනවා ෴

+

නව කාබනික පොහොර ප්‍රභේදයක් නැනෝ තාක්ෂණ ආයතනයෙන්

(14.12.2021 – 16:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට නිෂ්පාදනය කරන පොහොරවල අගය වැඩිකර පොස්පේට් පොටෑසියම් හා නයිට්‍රජන් අඩංගු නව පොහොර ප්‍රභේදයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය ඉදිරිපත් වී තිබෙනවා.

මෙහි මූලික ප්‍රායෝගික පරීක්ෂණ බතලගොඩ වී පර්යේෂණායතනයේදී සිදු කිරීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (13) පැවති සාකච්ඡාවකදී අනාවරණ වුණේ.

ඊට එක්වූ මහාචාර්ය නිර්මලා කෝට්ටේගොඩ මහත්මිය කියා සිටියේ පොස්පේට් පොහොරවල අගය වැඩි කර නිෂ්පාදිත මෙම නව පොහොර සංයුතිය භාවිත කරමින් සිදුකළ බඩඉරිඟු වගාව සාර්ථක වී ඇති බවයි.

එමෙන්ම එළවළු හා අනෙකුත් බෝග සම්බන්ධයෙන් ද මෙම නව පොහොර ප්‍රභේදය යොදා පරීක්ෂණ පවත්වන අතර, එය සාර්ථක වුවහොත් මෙරට කාබනික වගාවට අවශ්‍ය අංග සම්පූර්ණ ඉහළ ප්‍රමිතියෙන් යුත් පොහොර මෙරටදීම නිෂ්පාදනය කරගැනීමට හැකිවනු ඇති බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ ෴

+

ගෑස් පිපිරීම්වලින් හානිවන වින්දිතයින්ට නොමිලේ නීතිඥ සහය – සජිත් ප්‍රේමදාස

(14.12.2021 – 16:18 +0530 – hirunews.lk/sinhala)

රටපුරා සිදුවන ගෑස් පිපිරීම් හේතුවෙන් වින්දිතයින් බවට පත්වන සියලු දෙනා වෙනුවෙන් සමගි ජන බලවේගය නොමිලේ නීති සහය ලබා දෙන බවත් ඒ උදෙසා විපක්ෂ නායක කාර්යාලය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ප්‍රමිතියක් නැති ආණ්ඩුවක් තියෙන රටකින් ප්‍රමිතිගත දෙයක් බලාපොරොත්තු වෙන්නට බැරි බවත් කළයුත්තේ ප්‍රමිතිය නැති පාලනය ඉවත් කිරීම බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

+

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය, යාල වනපෙතේ කලාපයක් බවට පත් කෙරේ

(14.12.2021 – 16:22 +0530 – hirunews.lk/sinhala)

හෙක්ටයාර 23,499 කින් සමන්විත යාල නැගෙනහිර රක්ෂිත කලාපය සහ උඩවලව ජාතික වනෝද්‍යානයේ බටහිර කොටසක් සංක්‍රමණය වන අලින්ගේ නවාතැන්පොළක් වශයෙන් 1995 වසරේ දී ‘ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය’ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම ජාතික උද්‍යානය යාල ජාතික උද්‍යානයට සමාන කාලගුණික ලක්ෂණවලින් සමන්විත වන අතර, ජාතික උද්‍යාන දෙකෙහි වාසය කරන සත්ත්ව විශේෂයන්ගෙන් ද සමාන වන බවයි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ නිවේදනයේ දැක්වෙන්නේ.

එබැවින් එක සමාන වූ කාලගුණික ලක්ෂණ, ජෛව විවිධත්වය සහ පාරිසරික ලක්ෂණවලින් සමන්විත ජාතික උද්‍යාන 02 ක් වශයෙන් පවත්වාගෙන යාම වෙනුවට ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය, යාල ජාතික උද්‍යානයේ කලාප අංක 06 වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පිණිස වනජීවි සහ වනසංරක්ෂණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා ෴

+

ජීවිතයක වටිනාකම නොදත් රියදුරා

(14.12.2021 – 16:54 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (13) සවස 04:30 ට පමණ බදුල්ල – කොළඹ මාර්ගයේ හාලිඇල ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයා වෑන් රථයක ගැටී අනතුරට පත් වී තිබෙනවා.

තුවාලකරුව රෝහලට ගෙනයන මුවාවෙන් වෑන් රථ රියදුරා කර තිබුණේ අමනුෂ්‍ය ක්‍රියාවකි.

තුවාලකරුට රුපියල් 200 ක් දී ඔහුව මහමඟ බස්සවා අදාළ වෑන් රථය පළාගොස් ඇතැයි හාලිඇල පොලීසිය පැවසුවා.

පසුව තුවාලකරු හාලිඇල පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ වෑන්රථය කරඳගොල්ල මාර්ග බාධකයේ දී නවතා රියදුරු අත්අඩංගුවටගත් බව හාලිඇල පොලීසිය සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *