කාබනික දියර පොහොර අඩංගු කෑන් පුපුරා යාම : මහාචාර්‍ය බුද්ධි මාරඹේ ගෙන් විශේෂ ප්‍රකාශයක්

කාබනික දියර පොහොර අඩංගු කෑන් පුපුරා යාම : මහාචාර්‍ය බුද්ධි මාරඹේ ගෙන් විශේෂ ප්‍රකාශයක්

*********************************************

කාබනික දියර පොහොර අඩංගු කෑන් පුපුරා යාම : මහාචාර්‍ය බුද්ධි මාරඹේ ගෙන් විශේෂ ප්‍රකාශයක්

(14.12.2021 – 07:47 +0530 – hirunews.lk/sinhala)

කාබනික දියර පොහොර අඩංගු කෑන් පුපුරා යාමට හේතුව එම පොහොර ප්‍රමිතියෙන් තොර ව නිෂ්පාදනය කර තිබීම නිසා බව පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ප්‍රකාශ කළා.

බොහෝ විට එලෙස ප්‍රමිතියෙන් තොර දියර පොහොර වර්ග හෝ ඒවා අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා වගාවන්ට යෙදීම තුළින් අස්වැන්නට ද හානි සිදුවිය හැකි බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර, නිර්දේශ ලද වහා ම එළවළු සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරීමට අවසර දෙන බව පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, පොහොර නො මැති වීම හේතුවෙන් එළවළු ගොවීන් තවදුරටත් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.

මේ හේතුවෙන් වෙළෙදපොළේ එළවළු මිල ද පවතින්නේ ඉහළ අගයක යි.

කෙසේ වෙතත්, පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා හිරු ප්‍රවෘත්ති අංශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ, නිර්දේශ ලද වහා ම එළවළු සඳහා අවශ්‍ය පොහොර ආනයනය කර ලබාදෙන බවයි.

******************************************

ඩෙංගු යළි හිස ඔසවයි

(14.12.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

වසරේ ගත වූ මාස කිහිපය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 5340 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව දිවයිනේ වැඩි ම රෝගීන් වාර්තා වී ඇත්තේ ද කොළඹ දිස්ත්‍රික්කයෙන්.

අනතුරු ව වැඩි ම රෝගීන් සංඛ්‍යාවක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එය 3052 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2211 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1364 ක් ද වාර්තා වී තිබෙනවා.

මෙම මාසයේ ගත වූ දින කිහිපයේ දී පමණක් මුළු දිවයිනෙන් ඩෙංගු රෝගීන් 258 ක් හදුනාගෙන ඇති අතර, වසරේ මේ දක්වා කාලය තුළ මුළු දිවයිනෙන් ම වාර්තා වී ඇති සමස්ත ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව 18,108 ක්.

පසුගිය වසරේ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 31,162 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

+++++++++

ඩෙංගු නීති රීති යාවත්කාලීන කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

(14.12.2021 – 11:22 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු රෝගය වැළැක්වීමට අදාළව දැනට පවත්නා නීති රීති යාවත්කාලීන කිරීමට, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

නොවැම්බර් මාසය අවසන් වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 25,910 ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 19 ක්.

ඒ අනුව, ඩෙංගු වැළැක්වීමේ සහ පාලන ක්‍රියාකාරකම් ස්ථීරව පවත්වාගෙන යාම සඳහා සෑම ආයතනයකම ඒ සඳහා වෙන්වූ නිලධාරියෙකු නම් කිරීමට ද, ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා ෴

******************************************

විදුලි කප්පාදුව නවතී

(14.12.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

අද (14) සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නො කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

මේ වනවිට නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රියව පැවති ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කරමින් පවතින බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්වන තුරු දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස 6 ත් රාත්‍රී 09:30 ත් අතර මිනිත්තු 30 ක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමටයි විදුලිබල මණ්ඩලය මීට පෙර කටයුතු කළේ.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති කිහිපයක සාමාජිකයන් අද (14) ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.

එසේම ඔවුන් අද (14) විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ද නියමිතයි ෴

******************************************

උත්සව සමය උපාය මාර්ගික ව කළමනාකරණය කරනවා – රාජ්‍ය ඇමති චන්න

(14.12.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන උත්සව සමයේ දී සංචරණ සීමා පැනවීමකින් තොර ව උපාය මාර්ගික ව තත්ත්වය කළමනාකරණය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

එසේම ඊයේ (13) දිනයේත් කොරෝනා ආසාදිතයින් 747 ක් සහ මරණ 27 ක් ද වාර්තා වුණා.

උත්සව සමය ආරම්භ වීමත් සමඟ ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වීම ඉතා අහිතකර තත්ත්වයක් විය හැකි බවට සෞඛ්‍ය අංශ දිගින් දිගට ම අවධාරණය කර සිටිනවා.

ඒ හේතුවෙන් සාමුහික වශයෙන් ඒකරාශී වී හැකිතාක් අවම කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

කෙසේ නමුත්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඊයේ (13) පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ, නත්තල් සමය හෝ අලුත් අවුරුදු සමය කේන්ද්‍ර කර ගනිමින් සංචරණ සීමා පැනවීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

එසේම, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ, සීමා පැනවීම් සිදු නො කර බූස්ටර් එන්නත ලබාදීම ඇතුළු එන්නත්කරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට එළඹෙන උත්සව සමයේ දී පියවර ගෙන ඇති බවයි.

මේ අතර, ඊයේ (13) දිනයේත් කොරෝනා ආසාදිතයින් 747 ක් වාර්තා වූ අතර මරණ 27 ක් ද වාර්තා වුණා.

ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 13,575 ක් නිවෙස් තුළ, රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

******************************************

ආනයනය කළ ලිට්රෝ ගෑස් තොගයේ ප්‍රමිතිය ගැන වාර්තාව අද (14)

(14.12.2021 – 07:57 +0530 – hirunews.lk/sinhala)

ලිට්රෝ ගෑස් සමාගම විසින් මෙරටට ගෙන්වන ලද නව සංයුතිය අඩංගු ගෑස් නැවේ ඇති ගෑස්, ප්‍රමිතියෙන් යුතු ද නැද්ද යන්න පිළිබදව අද (14) ප්‍රකාශයට පත් කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය, ප්‍රමිති ආයතනය, ප්‍රතීතන මණ්ඩලය සහ තවත් ආයතන කිහිපයක් එක් ව අද (14) උදෑසන පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව යි.

අදාළ ගෑස් නැවේ සාම්පල සම්බන්ධයෙන් සිදු කරන ලද වාර්තා කිහිපයක ප්‍රතිඵල අද (14) උදෑසන ලැබීමට නියමිත යි.

ඉන් අනතුරුව යි අදාළ ගෑස් නැවෙහි ගෑස් ප්‍රමිතියෙන් යුතු ද නැද්ද යන්න පිළිබද තීන්දු තීරණ ගනු ලබන්නේ.

අදාළ ගෑස් නැවෙහි අඩංගු ගෑස් ප්‍රමිතියෙන් තොර වුව හොත් යළිත් ප්‍රති අපනයනය සිදු කිරීමට කටයුතු කරන බව ද පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අදාළ ගෑස් නැවෙහි ඇති ගෑස්වල ගඳ සුවඳ දැනෙන ‘ඊතයිල් මර්කැප්ටන්’ නැමති සංයුතිය අදාළ මට්ටමට නො මැති බවටයි ඊයේ (13) අනාවරණ වූයේ.

ඒ, එම ගෑස් නැවෙන් ලබා ගත් ගෑස් සාම්පල සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂාවකදියි.

එමෙන්ම, එහි ප්‍රොපේන් සියයට 29 ක් සහ බියුටේන් සියයට 69 ක් පවතින බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරන ලද සාම්පල පරීක්ෂාවක දී අනාවරණ වී ඇත්තේ.

පෙරේදා (13) දිනයේ දී ලිට්රෝ සමාගම විසින් ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් අඩංගු නෞකාවක් මෙරටට රැගෙන එනු ලැබූ අතර, ඉන් අනතුරුව යි අදාළ බලධාරීන් විසින් එහි සාම්පල ලබාගෙන තිබුණේ.

මේ අතර, මහනුවර – කුණ්ඩසාල – නත්තරම්පොත ප්‍රදේශයේ දී ගෑස් ආශ්‍රිත ව සිදු වූ පිපිරීමකින් මිය ගිය 51 හැවිරිදි සිව් (4) දරු මවගේ අවසන් කටයුතු අද (14) සිදු කෙරෙනවා.

+++++++

කොළඹට ආ ප්‍රමිතියෙන් තොර ගෑස් නැව ප්‍රතික්ෂේප කරයි – පාරිභෝගික අධිකාරිය නඩු මඟට

(14.12.2021 – 08:49 +0530 – hirunews.lk/sinhala)

ලිට්රෝ සමාගම විසින් පසුගිය දා ආනයනය කළ මෙට්‍රික් ටොන් 3700 ක් අඩංගු ගෑස් තොගය ප්‍රතික්ෂේප කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඒ, එහි ප්‍රමාණවත් තරම් ‘එතිල් මර්කැප්ටන්’ නො මැති බවට අනාවරණ වීමත් සමඟයි.

එසේම, ඊයේ (13) ගෑස් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට ආසන්නයට සේන්දු වී තිබෙනවා.

කෙසේ වෙතත්, එම නෞකාවේ පවතින ගෑස් සාම්පල පරීක්ෂා කිරීම සඳහා මේ වන තෙක් කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් සිදු කර නො මැති බවයි වරාය ආරංචි මාර්ග සඳහන් කළේ.

එසේම, ප්‍රමිතිය වෙනස් කරමින් ගෑස් වෙළෙදපොළට නිකුත් කිරීම හරහා අනතුරු සිදුවීම සම්බන්ධයෙන් අදාළ ගෑස් සමාගම්වලට එරෙහි ව මෙම සතියේ නඩු පවරන බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළා.

එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක කියා සිටියේ, තම අධිකාරියට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ රැසකින් ගෑස් සම්බන්ධ පිපිරීම් අදත් (14) වාර්තා වී ඇති අතර, යාපනය – තුන්නාලේ ප්‍රදේශයේ පිහිටි කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුගේ නිවසේ තිබූ ගෑස් උඳුනක් ද අද (14) අලුයම පිපිරීමට ලක් ව තිබෙනවා.

ඒ, ඔහුගේ බිරිඳ ආහාර සකස් කරමින් සිටින අතරවාරයේයි.

සිද්ධියෙන් ඇය තුවාල ලබා ඇති අතර ඊට අමතරව, හඟුරන්කෙත, කැස්බෑව, අනුරාධපුර සහ කළුතර යන ප්‍රදේශවලින් ද ගෑස් සම්බන්ධ පිපිරීම් වාර්තා වුණා.

මේ අතර, පසුගිය නොවැම්බර් 19 වැනි දා ගෑස් සම්බන්ධ ගිනිගැනීමක් හේතුවෙන් තුවාල ලබා මාතලේ මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුගිය 06 වැනි දා මියගිය කාන්තාවගේ මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබෙනවා.

කාන්තාව මියගිය දිනවල දී පොලිසිය සඳහන් කළේ, එය ගෑස් ආශ්‍රිත අනතුරකින් සිදු වූ මරණයක් නො වන බවට යි.

කෙසේ වෙතත්, පසු ව නිකුත් කෙරුණු මරණ පරීක්ෂණයේ දැක්වුණේ මරණයට හේතුව පිලිස්සුම් තුවාලයක් බවට යි.

******************************************

අහුංගල්ලෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් තුන් දෙනා (3) හමුවෙයි

(14.12.2021 – 10:33 +0530 – hirunews.lk/sinhala)

අහුංගල්ල – එගොඩමුල්ල ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් අතුරුදන්ව සිටි ධීවරයින් 3 දෙනා අද (14) උදෑසන යළි ගොඩබිමට පැමිණ තිබෙනවා.

ඔවුන්ගේ ඥතීන් සහ යාත්‍රාවේ හිමිකරු විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ, පෙරේදා (12) දිනයේ සිට ධීවරයින් තුන් දෙනා (3) ගමන් ගත් යාත්‍රාව අතුරුදන් වී ඇති බවයි.

කෙසේ වෙතත්, අද (14) උදෑසන මොවුන් යළි පැමිණ ඇති අතර මුහුදු මාර්ගය සොයා ගැනීමට අපහසුවීම නිසා මොවුන් දින දෙකක් (2) මුහුදේ අතරමංව සිටි බව සදහන් ෴

******************************************

රජය නිවැරැදි මඟකට ගෙන යන බවට වාසුදේවගෙන් ප්‍රකාශයක්

(14.12.2021 – 11:06 +0530 – hirunews.lk/sinhala)

වර්තමාන මොහොත තුළ රජය මුහුණ දෙන ගැටලු හමුවේ විවිධ කණ්ඩායම් විසින් රජය වැරැදි මාර්ගවල ගෙන යෑමට උත්සාහ දරන බව, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

කැලෑ පාරවල්වලින් පාට කොඩි පෙන්වා රජය නො මඟ යැවීමට මෙම කණ්ඩායම් උත්සාහ දරන බවයි ඔහු අවධාරණය කළේ.

රජයේ වැඩපිළිවෙළ තුළ ගැටලුකාරී තත්ත්වයන් පවතින බවත් ඒවා නිවැරැදි කරගැනීමට අවශ්‍ය සංවිධාන කටයුතු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සමඟ එකතු වී සාකච්ඡා කරන බවත් ඔහු සඳහන් කළා.

ජාතික සම්පත් විකිණීමට විරුද්ධ වීම ඇතුළු රජය සිදු කරන වැරැදි පිළිබඳ රජයට සහෝදරාත්මක විරෝධයක් දක්වන බව යි අමාත්‍යවරයා පවසන්නේ.

තඹුත්තේගම නගරයේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණු සම්බන්ධීකරණ කාර්‍යාලය විවෘත කිරීම වෙනුවෙන් පැවති රැස්වීමකට සහභාගි වෙමින්, අමාත්‍යවරයා මෙම කරුණු පිළිබඳ අවධාරණය කළා.

******************************************

දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ග ගත යුත්තේ ජනතාවට ගැටළුවක් නොවන ආකාරයටයි – දුම්රිය සාමාන්‍ය අධිකාරි

(14.12.2021 – 11:11 +0530 – hirunews.lk/sinhala)

දිගටම වෘත්තිය ක්‍රියාමාර්ග ගත්තොත් ලංගම සමග එක්වී විකල්ප සොයන බව දුම්රිය සාමාන්‍ය අධිකාරි පවසනවා.

පවතින කොරෝනා තත්ත්වය සහ උත්සව සමයේ ජනතාව අපහසුතාවයට පත් කරමින්, දිගින් දිගටම වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නේ නම් විකල්ප සෙවීමට සිදු වෙන බව, දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ගෙන ඇති වෘත්තිය ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතා මේ බව පැවසුවා .

වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේදී සාකච්ඡා කර විසඳුම් ලබාගත යුතු බවත් ඊයේ (13) දිනයේ ඔවුන්ට සාකච්ඡාවක් ලබා දුන්නද ඔවුන් එය මගහැර සිටි බවත්, වෘත්තීය සමිති සඳහා යම් ගැටලු ඇති වී තිබෙන බවත්, කෙසේ වෙතත් එම ගැටලු සාකච්ඡා කර විසඳා ගත යුතුව ඇති බව මෙහිදී පෙන්වා දුන්නා.

විශේෂයෙන් උත්සව සමයේදී ජනතාව අපහසුතාවයට පත් නොකර වෘත්තිය ක්‍රියාමාර්ග ගත යුතු බවත්, මහා භාණ්ඩාගාරයෙන් වැටුප් ලබන අය හැටියට ජනතාව ගැන ඉතා සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවත්, මෙහිදී පෙන්වා දුන්නා.

දුම්රිය දෙපාර්තමේන්තුව සහ රජය විසින් දැනටමත් වෘත්තිය සමිති ඉල්ලීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, එය ඉක්මනින් විසඳා දීමට කටයුතු කරන බවත්, දුම්රිය සාමාන්‍යධිකාරී වරයා මෙහිදී කියාසිටියා.

කෙසේ වෙතත් සාමාන්‍යධිකාරි වරයා පවසන්නේ, ජනතාව අපහසුතාවයට පත්කරමින් දිගට දිගට ම මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගතහොත් ළඟම සමඟ එක්ව විකල්ප වලට යාමට සිදු වෙන බවයි ෴

******************************************

බී.ඕ.අයි. මහ පුටුවට අලුත් මූණක්

(14.12.2021 – 11:54 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය මහතා පත්කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පසුගියදා තම තනතුරුවලින් ඉල්ලා අස්වීමත් සමඟයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම් භාර නොගත් අතර, ඇතැම් සාමාජිකයින්ට පෞද්ගලිකව ම ආමන්ත්‍රණය කර එම තනතුරුවල රැඳී සිටින ලෙසත් ඉල්ලා තිබුණා.

පසුගිය සතියේ ආයෝජන මණ්ඩල හිටපු සභාපති සංජය මොහොට්ටාල මහතා ද එම තනතුරට සමුදුන් අතර, නව සභාපතිවරයා පත් කර ඇත්තේ, එහි දී ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා යි.

රාජා එදිරිසූරිය මහතා වරාය නගර සවර්ධන ව්‍යාපෘතියේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා.

******************************************

රසායනික පොහොර ගෙන්වීමට පොහොර සමාගම් මැලි වෙයි – රාජ්‍ය ඇමති දුමින්ද

(14.12.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ගෙන්වීමට පෞද්ගලික අංශයට අවසර ලබා දී තිබුණ ද විකුණාගත නො හැකි වේ යැයි බියෙන් එම සමාගම් රසායනික පොහොර ගෙන්වීමට මැලිකමක් දක්වන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළා.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, අනුරාධපුරය – තිරප්පනේ – උලන්කුලම ගොවි සංවිධානයේ නියෝජිතයින් සමග ඊයේ (13) පොහොර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවට එක්වෙමින් මෙලෙස අදහස් දක්වා සිටියා.

මේ අතර, ගොවීන් තවමත් මැසිවිලි නගන්නේ, තමන්ට අවශ්‍ය පොහොර නොමැතිවීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවයි.

මේ අතර, පොලොන්නරුව, හිඟුරක්ගොඩ සහ හොරොව්පතාන යන ප්‍රදේශවල ගොවීන් චෝදනා කළේ රජය ලබාදුන් කාබනික දියර පොහොර ප්‍රමිතියෙන් තොර බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *