යළි අඩ හෝරාවක විදුලි කප්පාදුවක්

යළි අඩ හෝරාවක විදුලි කප්පාදුවක්

*********************************************

යළි අඩ හෝරාවක විදුලි කප්පාදුවක්

(12.12.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එක් ජනන යන්ත්‍රයක් අළුත්වැඩියා කටයුතු සඳහා පද්ධතියෙන් ඉවත් කර ගැනීමත් සමග දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සවස 06:00 ත් රාත්‍රී 09:30 ත් අතර මිනිත්තු 30 ක කාලයක් විදුලි සැපයුම අත්හිටුවන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.

එම පියවර ඊයේ (11) දිනයේ සිට ක්‍රියාත්මකයි.

විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පසුගිය 03 වැනිදා දිවයිනට විදුලිය විසන්ධි වූ අවස්ථාවේදී නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් අක්‍රීය වූ බවයි.

එම අවස්ථාවේදී එක් ජනන යන්ත්‍රයක් නඩත්තු කටයුතු සඳහා පද්ධතියෙන් ඉවත් කර තිබූ අතර, එය පසුගිය ඉරිදා පූර්ණ ධාරිතාවයෙන් නොවූවත්, පද්ධතියට එක් කෙරුණා.

කෙසේ වෙතත්, යළි එම ජනන යන්ත්‍රය පෙරේදා පද්ධතියෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත්තේ එහි බොයිලේරුවේ හටගත් දෝෂයක් හේතුවෙන්.

ඒ හේතුවෙන් මෙලෙස දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිනිත්තු 30 ක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට කටයුතු කරන බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේ ෴

******************************************

ගල් සහ මැටි අඩංගු වූ කාබනික පොහොරවලට නව පොහොර

(12.12.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

හොරොව්පතාන – මරදන්කඩවල- මැදවචිචිය ප්‍රදේශයේ ගොවීන්ට ලබා දී තිබූ ගල් සහ කිරිමැටි අඩංගු පොහොර පැකට් ලබා ගෙන ඒ වෙනුවට නව පොහොර පැකට් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ඒ පොහොර ලේකම් කාර්යාලය මගින් විමර්ශනය කර අදාළ පොහොර සමාගමට කළ දැනුම්දීමකට අනුවයි.

කාබනික පොහොර යැයි පවසමින් තමන්ට ලබා දුන් පොහොර පැකට්වල ගල් සහ කිරිමැටි මෙන්ම ලී, පොලිතින් වැනි අපද්‍රව්‍ය පැවති බවට හොරොව්පතාන – මරදන්කඩවල- මැදවචිචිය ගොවි සංවිධානය චෝදනා කළා.

එම ප්‍රදේශයට එවැනි පොහොර පැකට් 1,175 ක් ලබා දී තිබූ අතර, එක් පැකට්ටුවක බර සටහන් කර ඇත්තේ කිලෝග්‍රෑම් 40 ක් ලෙසයි.

මේ සම්බන්ධයෙන් අප පොහොර ලේකම් කාර්යාලයේ අනුරාධපුර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ බන්දුල කුමාර ගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ අදාළ පොහොර තොගය ඉවත් කරගෙන ඒ සඳහා නිසි පොහොර ලබාදීමට සමාගම් වෙත ප්‍රකාශ කළ බවයි ෴

******************************************

ලෝක වෙළෙඳපොළෙන් සිලෝන් තේවලට අභියෝගයක්

(12.12.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

පොහොර නොමැති වීම හේතුවෙන් තේ අස්වැන්නේ ගුණාත්මකභාවය පහත වැටීම නිසා ලෝක වෙළඳපලේ ශ්‍රී ලංකා තේ සඳහා පවතින ඉල්ලුමට දැඩි තර්ජනයක් එල්ලවන බව තේ මණ්ඩලයේ හිටපු සභාපති ලුසිල් විජේවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පොහොර නොමැතිවීම හේතුවෙන් තේ නිෂ්පාදනයේදී ඇතිවන කසළ තේ ප්‍රමාණය ද ඉහළ යාමේ තත්ත්වයක් පවතින බවයි.

මේ අතර වතු හාම්පුතුන්ගේ සංගමය ප්‍රකාශ කළේ තේ කර්මාන්තය සඳහා අවශ්‍ය ඇතැම් රසායනික පොහොර සඳහා ආනයනික තහනම ඉවත් කළත්, වෙළඳපලේ ප්‍රමාණවත් තරම් පොහොර නොමැති බවයි.

එමෙන්ම රසායනික පොහොර සඳහා සහනාධාරය ක්‍රියාත්මක නොවන බැවින් පොහොර මිල ද සිව් (4) ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රුපියල් 1,500 ක්ව පැවති තේ වගාව සඳහා යොදාගැනෙන කෘත්‍රිම පොහොර කිලෝග්‍රෑමයක මිල රුපියල් 1,500 සිට 6,000 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම නියමිත ක්‍රියාපටිපාටිය යටතේ දිවයිනට ආනයනය කරන ලද රසායනික පොහොර රේගුව හරහා ඉවත් කරගැනීමේ ගැටළුවක්ද පවතින බවයි වතු හාම්පුතුන්ගේ සම්මේලනය පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය තේ, රබර් ඇතුලු සියලු වතු වැවිලි සඳහා බලපෑමක් එල්ල කරන බව එමගින් පෙන්වා දෙනවා ෴

******************************************

රතු කොඩි එසවෙන මුලතිව් වෙරළ

(12.12.2021 – 08:42 +0530 – hirunews.lk/sinhala)

දිය නෑම තහනම් ස්ථාන සනිටුහන් කිරීම වෙනුවෙන් මුලතිව් වෙරළ තීරයේ ස්ථාන කිහිපයක රතු කොඩි එසවීමට මුලතිව් ධීවර ප්‍රජාව, නාවික නිලධාරින් හා මුලතිව් පොලිසිය කටයුතු යොදා තිබෙනවා.

මුලතිව් මුහුදේ දිය නෑමට ගිය වවුනියාව දිස්ත්‍රික්කයේ තරුණයින් තිදෙනෙකු පසුගිය 06 වැනිදා මුහුදේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව වෙරළ සීමාවේ එලෙස දිය නෑමට නුසුදුසු ස්ථානවල රතු කොඩි ඔසවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැප්තැම්බර් සිට ජනවාරි මාසය දක්වා කාලය තුළ මුලතිව් මුහුදු සීමාව රළු ස්භාවයක් ගන්නා අතර, අදාළ කාලසීමාවේදී මුලතිව් මුහුදේ දිය නෑම භයානක බව මුලතිව් ධීවරයින් පවසනවා.

පොලිසිය හා ධීවර ප්‍රජාව ඉල්ලීම් කරන්නේ මුලතිව් වෙරළ සීමාවේ රතු කොඩි ඔවසා ඇති ස්ථාන අසල දිය නෑමෙන් වළකින ලෙසයි ෴

******************************************

මුදල්, රන් ආභරණ සහ මෝටර් රථයක් පැහැරගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

(12.12.2021 – 09:25 +0530 – hirunews.lk/sinhala)

කුලී මෝටර් රථයක රියදුරු බිය ගන්වා ඔහු සතු මුදල් සහ රන් ආභරණ සමග මෝටර් රථයක් කොල්ල කෑ පුද්ගලයෙකු පොලීසිය ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු යතුරුපැදියකින් පැමිණ පොලිස් නිලධාරියෙකු බව පවසා මෝටර් රථය කුලියට ගෙන ඇති අතර, පසුව පිහියක් පෙන්වා රියදුරු බියගන්වා ඔහුට මාංචු දමා රථය පැහැරගෙන ඇති බව සඳහන්.

එහිදී රියදුරු සතුව තිබූ රුපියල් තිස්දහසක් (30,000) සහ රුපියල් 3,60,000 ක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකා රියදුරු මහ මග දමා ගොස් තිබෙනවා.

පසුව කළ විමර්ශනවලදී අතරමග දමා ගොස් තිබූ මෝටර් රථය සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පසුගිය 09 වනදා වාර්තාවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6 කට ආසන්න ප්‍රමාණයක්ද සොයාගෙන තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සැකකරු පැමිණි යතුරුපැදියද කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් සොරකම් කරන ලද්දක් බවටයි ෴

******************************************

සී සෑමෙන් සිදු වූ පුද්ගල මරණය

(12.12.2021 – 09:50 +0530 – hirunews.lk/sinhala)

ගලේවෙල – මිවලපතහා, ගල්වල්වැටියාගම ප්‍රදේශයේ ගොවියෙකු ඊයේ (11) පස්වරුවේ තමන් සී සාමින් සිටි අත් ටැක්ටරයෙන් ඇදවැටී ඊට යටවිමෙන් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල, මීවලපතහා, ගල්වටියාගම ප්‍රදේශයේ පදිංචි ආර් .ඩී .ශියානන්ද නමැති (48) හැවිරිදි දෙදරු පියෙක්.

මහා පරිමාණෙන් එළවළු සහ වී වගාව සිදු කරන මෙම ගොවි මහතා ඊයේ පස්වරු තුනට පමණ තම නිවස පිටුපස ඇති කුඹුරේ වි වගාව සඳහා දෙවැනි හීය හෑම සඳහා නිවසින් ටැක්ටර් රථය ද සමග පිටත් වූ බව බිරිඳ පවසනවා.

විනාඩි කිහිපයක් ගතවනවාත් සමග ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු පැමිණ තම සැමියා කුඹුරේ වැටී සිටින බව දැනුම් දුන් බවයි ඇය ප්‍රකාශ කළේ.

“සි පෑන්” වර්ගයේ අත් ට්‍රැක්ටරය කුඹුරේ පළමු ලියැද්දට යොදවනවත් සමග ආසන්නයේ තිබුණු මුරුංගා ගහක මුලක මඩ තුළට රෝද පැටලී ඉන් ඉවත්ව වැටුණු ගොවියා, එම නගුල් තලවලට යටවී මීටර් කිහිපයක් ඇදගෙන ගොස් තිබෙන අතර, පසුව ට්‍රැක්ටරය රියැදුරු නොමැතිව මීටර් 200 ක් පමණ වෙනත් වගා හරහා ධාවනය වී ඇතැයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

එසේ ට්‍රැක්ටරය රථය ධාවනය වෙමින් දුටු අවට පදිංචිකරුවන් වහා දිව විත් ඇත්තේ, රියදුරෙකු නොමැතිව අත් ට්‍රැක්ටර් රථයක් කුඹුරු මැද ධාවනය වන දර්ශනය දැකීමත් සමග බව ඇසින් දුටුවෝ පොලීසියට වැඩිදුරටත් පවසනවා.

පසුව එම කණ්ඩායම වහා ක්‍රියාත්මක වී ධාවනය වෙමින් තිබූ ටැක්ටර් රථය නවතා එය පැමිණි මාර්ගය දිගේ මීටර් දෙසීයක් ආපස්සට ගමන් කිරීමේ දී මෙම ගොවි මහතා වැටී සිටිනු අයුරු දැක නිවසට දැනුම් දී දඹුල්ල මූලික රෝහලට වහා රැගෙන ගිය
යාමට කටයුතු කර තිබෙනවා.

රෝහලට රැගෙන යන විටත් අදාළ පුද්ගලයා මිය ගොස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ෴

******************************************

නීතියට වෙට්ටු දැමූ වැලි ජාවාරම් රියදුරු

(12.12.2021 – 10:41 +0530 – hirunews.lk/sinhala)

යාපනය, වල්ලිපුරකුරිච්චි ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි ප්‍රවාහනය කරමින් සිටි කුඩා ලොරි රථයක් ඊයේ (11) සවස අධික වේගයකින් ධාවනය කිරීම හේතුවෙන් කුඹුරකට පෙරලී ගොස් ඇති බවට පේදුරුතුඩුව පොලීසිය පවසනවා.

වල්ලිපුරකුරිච්චි ප්‍රදේශයේ පිහිටි පොලිස් විශේෂකාර්ය බලකා සෝදිසි මුරපොලක දී අදාළ වැලි පැටවූ ලොරිය ධාවනය කළ අවස්ථාවේදී එය නවතන ලෙසට අණ කළ ද, රියදුරු වැලි පැටවූ ලොරිය නොනවත්වා ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ලොරිය පසුපස පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් ලුහුබැඳීම හේතුවෙන් වැලි ලොරිය අධික වේගයකින් ධාවනය කොට ඇති අතර, එහිදී රියදුරුට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව කුඹුරක් ආසන්නයේ තිබූ විදුලි කණුවක ගැටී වැලි ලොරිය කුඹුරට පෙරළී ගොස් තිබෙනවා.

අනතුරුව ලොරියේ සිටි රියදුරු සුළු තුවාල ලැබුව ද, තුවාල සහිතව රියදුරු පලා ගොස් ඇති අතර, වැලි ලොරිය පේදුරුතුඩුව පොලීසිය විසින් සිය භාරයට ගැනුණා.

ලොරියෙහි හිමිකාරීත්වය අනුව රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇතැයි ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා ෴

******************************************

ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කර විදෙස් රැකියාවල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

(12.12.2021 – 11:02 +0530 – hirunews.lk/sinhala)

අහංගම – ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නමකින් ජාතික හැඳුනුම්පතක් සකස් කර එමගින් ලබාගත් විදෙස් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන විදේශ රැකියාවල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොළොන්නරුව – දියබෙදුම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 38 හැවිරිදි සැකකරු 2012 වසරේ මෙම ජාතික හැඳුනුම්පත සකස් කර එමගින් ලබාගත් ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් මැලේසියාව සහ ජෝර්දානය යන රටවල වසර පහක කාලයක් රැකියාවල නිතර වී ඇති බව සඳහන්.

නාවික හමුදාවෙන් පලා ගොස් සිටි අයෙකු වන සැකකරු අදාළ ජාතික හැඳුනුම්පත සකස් කර ඇත්තේ එහි නම සඳහන් පුද්ගලයාගේ ඥාතියෙකු මගින් ඔහුගේ උප්පැන්න සහතිකය සොරකම් කර ගැනීමෙන් අනතුරුවයි ෴

******************************************

සංඥා නොතැකූ ත්‍රීරෝද රථ රියැදුරු දුම්රියෙහි ගැටේ

(12.12.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව, තාණ්ඩිකුලම දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් සිදු වු අනතුරකින් අද (12) උදෑසන අයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

පොලීසිය පැවසූවේ, විදුලි සංඥා සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකළ ත්‍රිරෝද රථයක් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

කොළඹ සිට යාපනය බලා ධාවනය වු ශීඝ්‍රගාමි දුම්රියේ අදාළ ත්‍රිරෝද රථයක් ගැටී තිබෙනවා.

වවුනියාව, තාණ්ඩිකුලම දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගය පැවති බැවින්, දුම්රිය රියදුරු වේගය බාලකොට පැමිණීම හේතුවෙන් සිදුවීමට ගිය මහා විනාශය වළක්වා ගැනීමට හැකිව ඇති බව ද පොලිසිය ප්‍රකාශ කළා.

ප්‍රදේශවාසීන් පැවසූවේ, තාණ්ඩිකුලම දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතියේ ගැටලුවක් පවතින අතර, ඇතැම් අවස්ථාවල දුම්රිය සංඥා පද්ධතියේ දුම්රිය නොපැමිණෙන අවස්ථාවන්හි දී ද රතු එළි දැල්වෙන බවයි.

දුම්රියේ ගැටුණ ත්‍රිරෝද රථය මද දුරක් ඇදී ගොස් ඇති ආකාරය ද දැක ගැනීමට හැකි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා ෴

******************************************

මාත්‍රා තුනෙන් (3) ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව ඉහළ රැකවරණයක්

(12.12.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයෙන් රෝගීන් අසාධ්‍ය නොවුණත්, මරණ ඉහළ යා හැකි බවට මතයක් පළවනවා.

දකුණු අප්‍රිකාවෙන් මුල්වරට සොයා ගැනුනු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ ඉහළ සම්ප්‍රේෂණ හැකියාව හේතුවෙන් කොරෝනා මරණ ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපීය අධ්‍යක්ෂ වෛද්‍ය පූනම් චෙත්‍රපාල් පවසනවා.

ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ ඔමික්‍රොන් ප්‍රභේදයෙන් රෝගීන් අසාධ්‍ය වීම ඉහළ යන බවක් අනාවරණ වී නැතත් රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම අපේක්ෂා කළ හැකි බවයි.

ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් ඇති ඔමික්‍රොන් ප්‍රභේදයෙන් කොරෝනා රෝගීන් ඉහළ යාම නිසා සෞඛ්‍ය පද්ධතීන් කෙරෙහි වැඩි පීඩනයක් එල්ලවනවා.

මේ හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ඇගේ අදහසයි.

මේ අතර, ෆයිසර් බයෝඑන්ටෙක් මාත්‍රා 3 ක එන්නත්කරණයෙන් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයට එරෙහිව කැපී පෙනෙන රැකවරණයක් ලැබෙන බව ඊශ්‍රායල පර්යේෂකයන් පිරිසක් අනාවරණ කරගෙන තිබෙනවා.

මීට මාස පහකට හෝ හයකට (5-6) පෙර එන්නත් මාත්‍රා දෙකම (2) ලැබූ පුද්ගලයන්ට ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව කිසිදු ප්‍රතිශක්තියක් නොමැති වුවත්, වර්ධක මාත්‍රාව ලබාදීමෙන් ඔවුන්ට සිය ගුණයක (100) ප්‍රතිශක්තියක් ඇතිවී තිබෙන බවයි ඊශ්‍රායල පර්යේෂකයන් අනාවරණ කරගෙන ඇත්තේ.

මීට පෙර බ්‍රිතාන්‍ය බූස්ටර් හෙවත් වර්ධක මාත්‍රාව ලබාදීමෙන් ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැගෙන බව තහවුරු කළා.

එමෙන්ම ඔමික්‍රොන් ඇතුළු නව ප්‍රභේද ආසාදනයෙන් වැළකී සිටීම සඳහා වැදගත් වන තුන්වන (3) හෙවත් ‘වර්ධක මාත්‍රාව’ මෙරට තවත් පුද්ගලයන් 81,208 කට ඊයේ (11) දිනයේදී ලබා දී තිබෙනවා.

ඒ අනුව තුන්වන මාත්‍රාව ලබාදුන් මුළු සංඛ්‍යාව 12,66,552 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.

එසේම ඊයේ (11) දිනයේ කොරෝනා ආසාදිත මරණ 22 ක් වාර්තාවූ අතර, ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14,595 දක්වා ඉහළ ගියා. ආසාදිතයන් 762 ක් ද ඊයේ (11) දිනයේ වාර්තා වූ අතර, ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ පන්ලක්ෂ 72,188 ක් ලෙසටයි ෴

******************************************

ගෑස් සැපයුම තවදුරටත් අර්බුදයක

(12.12.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

රට තුළ ගෑස් සැපයුම යළිත් අර්බුදයකට ලක්ව තිබෙනවා.

ලාෆ්ස් ගෑස් සැපයුම සැලකිය යුතු මට්ටමකින් අඩාල වී ඇති අතර බොහෝ ප්‍රදේශවල ලාෆ්ස් ගෑස් දක්නට නොලැබෙන බවයි පාරිභෝගිකයින් පවසන්නේ.

ලිට්රෝ සමාගම නව ප්‍රමිතීන් යටතේ වෙළෙඳපොළට ගෑස් සැපයුව ද පාරිභෝගිකයන් පරණ තොග යටතේ මිලදී ගත් ගෑස් සිලින්ඩර මාරු කිරීමට රැගෙන ඒමත් සමග අර්බුදකාරි තත්ත්වයක් මතුව තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය මීට දින කිහිපයකට පෙර ලිට්රෝ සමාගමට නියෝග කළේ දෙසැම්බර් 04 වනදාට පෙර මිලදී ගත් මුද්‍රා ඉවත් නොකළ ගෑස් සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත්, වෙළෙඳපොළ තුළ ලාෆ්ස් ගෑස් සැපුයුම ද අඩාල වී ඇති පසුබිමක මෙම ක්‍රියාවලිය සිදුවීම දුෂ්කර කාර්යයක් වී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් ඔවුන් මුද්‍රා ඉවත් නොකළ ගැටලු සහගත ගෑස් සිලින්ඩර හුවමාරු කිරීමට රැගෙන ආ විට නව සිලින්ඩරයක් ලබාදීම සදහා පාරිභෝගිකයන්ගෙන් කාලසීමාවක් ඉල්ලා සිටි බව ද වාර්තා වනවා.

පාරිභෝගික අධිකාරිය පවසන්නේ මේ සම්බන්ධයෙන් ලිත්‍රෝ සමාගමෙන් මේ වන විටත් කරුණු විමසා ඇති බවයි.

මේ අතර, ගෑස් ආශ්‍රිත සිදුවීම් තවදුරටත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවනවා.

හැටන් කොටලගල වත්ත වතු නිවසක ගෑස් සිලින්ඩරයක් අද (12) අලුයම පුපුරා ගොස් ඇති බව වාර්තා වනවා.

මීට දින කිහිපයකට පෙර මිලදී ගත් ගෑස් සිලින්ඩරයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

******************************************

නීරාවියට ගම්වැදුණු වන අලින් වගා බිම් වනසයි

(12.12.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala)

දිවා රැ නොතකා අනුරාධපුර, නීරාවිය, දේවානම්පියතිස්සපුර ප්‍රදේශයට ගම්වදින වනඅලින් තම වගාබිම් විනාශ කරන බවට ප්‍රදේශයේ ජනතාව මැසිවිලි නඟන අතර මේ එලෙස පැමිණි වනඅලින් ප්‍රදේශයේ බෝග වගාවන් රැසකට හානි කර ඇති ආකාරයයි.

******************************************

පොහොර වෙනුවට කිරිමැටි ලද රජරට ගොවීන්

(12.12.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

හොරොව්පතාන, මරදන්කඩවල, මැදවච්චිය ප්‍රදේශයේ ගොවීන්ට ලබාදී තිබූ ගල් සහ කිරිමැටි අඩංගු පොහොර නැවත ලබාගෙන ඒ වෙනුවට නව පොහොර ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොමැතිව ප්‍රදේශ රැසක ගොවීන් තවදුරටත් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *