වෙළඳ පොලට නිකුත් කෙරුණු නව ගෑස් සිලින්ඩරය ගැනත් සැකයක්

වෙළඳ පොලට නිකුත් කෙරුණු නව ගෑස් සිලින්ඩරය ගැනත් සැකයක්

*********************************************

වෙළඳ පොලට නිකුත් කෙරුණු නව ගෑස් සිලින්ඩරය ගැනත් සැකයක්

(09.12.2021 – 19:13 +0530 – hirunews.lk/sinhala)

ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනිගැනීම්වලට විසඳුමක් ලෙස නව මුද්‍රාවක් සහිත ගෑස් සිලින්ඩර් වෙළඳපොලට නිකුත් කෙරුණත් එම සිලින්ඩර පිළිබඳවද මේ වනවිට සැකයක් මතුව තිබෙනවා.

ඒ, එම සිලින්ඩරවල නව මුද්‍රාව සම්බන්ධයෙන් ප්‍රදේශ කිහිපයක පාරිභෝගිකයින්ගෙන් චෝදනා එල්ල වීමත් සමඟයි.

මේ අතර, ගෘහස්ථ ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් තවදුරටත් වාර්තා වෙමින් පවතිනවා.

ලිට්රෝ ගෑස් සමාගම පසුගිය ඉරිදා ගෑස් සිලින්ඩරයේ නිල් පැහැති මුද්‍රාව වෙනුවට සුදු සහ රතු පැහැති මුද්‍රාවක් හඳුන්වා දුන්නා.

කෙසේ වෙතත්, රාගම ප්‍රදේශයේ කාන්තාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කර ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේදී තමන් මිලදී ගත් ලිට්රෝ ගෑස් සිලින්ඩරයේ මෙම සුදු සහ රතු පැහැති මුද්‍රාව පැවති බවටයි.

අප මේ පිළිබඳව ගවේෂණයක් සිදුකළ අතර, එහිදීද අනාවරණ වුණේ පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදුන් ලීටර් 18 ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කළ අවස්ථාවේදී එම සිලින්ඩර මුද්‍රා තබා ඇත්තේ ද සුදු සහ රතු පැහැති ඉටි ආවරණයකින් බවයි.

එසේ නම් සුදු සහ රතු පැහැති මුද්‍රාව සහිතව වෙළඳපොලට මේ වනවිට නිකුත් කෙරෙන ලිට්රෝ ගෑස් සිලින්ඩර නිසි පරිමාවෙන් ‘එතිල් මර්කැප්ටන්’ අඩංගු කළ ගෑස් සිලින්ඩර ද නැතහොත් පැරණි සිලින්ඩර දැයි සැකයක් මතුව තිබෙනවා.

ලිට්රෝ ගෑස් සමාගමේ පාලනාධිකාරියෙන් අපට විමසීමට ඇති ප්‍රශ්නය වන්නේ නව ගෑස් සිලින්ඩරයක් බවට පෙන්වමින් මේ වන විට වෙළඳපොලට නිකුත්කරමින් පවතින්නේත් මතභේදයට තුඩුදුන් ලීටර් 18 ගෑස් සිලින්ඩර හෝ පසුගිය දිනවල පිපිරීමට ලක් වූ ගැටලු‍ පවතින ගෑස් සිලින්ඩරමද යන්නයි.

මේ ගැන විමසීමට අප ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ සම්බන්ධ කර ගැනීමට කිහිපවරක් උත්සහ කළත් ඔහු සුපුරුදු පරිදි දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

මේ අතර, හැටන් – බගවන්තලාව ප්‍රදේශයේ කාන්තාවක් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ රතු සහ සුදු පැහැති ලේබලය සහිත නව ලිට්රෝ ගෑස් සිලින්ඩරය මිලදී ගෙන නිවසට ගොස් ලේබලය ගැලවීමේදී ඊට යටින් නිල් පැහැති පැරණි ලේබලය ද පැවති බවයි.

මේ සම්බන්ධයෙන්ද විමසීමට ලිට්රෝ සභාපති තෙෂාර ජයසිංහ සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් අප ලිට්රෝ සුරැකීමේ සංවිධානයෙන් කළ විමසීමක දී ඔවුන් පැවසුවේ ගෑස් සිලින්ඩර නැවත පිරවීමේදී මීට පෙර පැවැති මුද්‍රාවෙහි ඇතැම් කොටස් එහි ඉතිරි විය හැකි බවයි.

මේ අතර ගෑස් ආශිත සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම හෙට (10) දිනයේ සලකා බැලීමට නියෝග කෙරුණා.

ඒ, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු ගොනුකළ මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද (09) කැඳවූ අවස්ථාවේදීයි.

******************************************

අනවසර විදුලි රැහැනක ගැටීමෙන් දෙදරු මවක් මරුට

(09.12.2021 – 18:03 +0530 – hirunews.lk/sinhala)

තලවකැලේ ප්‍රදේශයේදී එළවළු වගා බිමකට ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් දෙදරු මවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තලවකැලේ වත්ත පහල කොටසේ පදිංචිව සිටි කාන්තාවක්.

ඇය තම එළවළු වගා භූමියට නිවසේ සිට අනවසර විදුලි රැහැනක් ඇද ඇති අතර එහි පැටලීමෙන් මෙම අනතුරට ලක්ව ඇතැයි සඳහන්.

අද (09) උදෑසන වගාබිමට ගිය මව යළිත් නොපැමිණීම හේතුවෙන් දරුවන් වගා භූමියට ගොස් පරීක්ෂා කිරීමේදී විදුලි රැහැනේ පැටලී සිටි කාන්තාව හමුවී තිබෙනවා.

පසුව විදුලිය විසන්ධි කර ඇය විදුලි රැහැනෙන් ඉවතට ගත් බවයි දරුවන් පොලිසියට ප්‍රකාශකර ඇත්තේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතයි.

මෙම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් තලවාකැලේ පොලිසිය විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා ෴

******************************************

තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍ය බව ජනපති අවධාරණය කරයි

(09.12.2021 – 18:34 +0530 – hirunews.lk/sinhala)

මෙරට අධ්‍යාපන ක්‍රමය වර්තමාන ලෝකයට අනුගත වී නොමැති අතර විශේෂයෙන් තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රදානෝත්සවයට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (09) පස්වරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

විශ්වවිද්‍යාල සිසුන් කුමන උපාධි පාඨමාලාවක් හැදෑරුව ද ඔවුන් සියලුදෙනාම අවම වශයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ යම් ප්‍රවීණතාවයක් ලබා තිබිය යුතු අතර වර්තමාන ලෝකය ජය ගැනීමට අවශ්‍ය අනෙකුත් නිපුණතාවලින් ද සමන්විත විය යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.

නව ප්‍රතිසංස්කරණවලින් කිහිපයක් දැනටමත් මෙරට විශ්වවිද්‍යාල විසින් ක්‍රියාවට නංවා ඇති අතර දිවයින පුරා විශ්වවිද්‍යාලවලට ඇතුළත්කර ගන්නා සිසුන් ප්‍රමාණය දස දහසකින් (10,000) වැඩිකිරීම වත්මන් රජය ලැබූ එවැනිම ජයග්‍රහණයක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

මෙම වැඩිවීමෙන් වුව ද උසස් පෙළ සමත්ව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ප්‍රවේශ විය නොහැකි සිසුන් දහස් ගණනක් තවමත් සිටින බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

ඊට හේතුව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සුදුසුකම් ලබන සිසුන්ට අවස්ථාව ලබාදීමට ප්‍රමාණවත් ධාරිතාවක් නොමැතිවීමයි.

මෙරට තරුණ තරුණියන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙනීමට වැඩි අවස්ථා නිර්මාණය කළ යුතු වන අතර මෙම විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් වීමට කිසිසේත් හේතුවක් නැති බවයි සඳහන් කළේ.

ලෝකයේ රට තුළ තෘතියික අධ්‍යාපනය සඳහා වඩාත් නිදහස් පරිසරයක් ඇති කිරීම තුළින් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියෙන් යුතු කලාපීය උසස් අධ්‍යාපන ආයතන ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමට හැකි වන අතර, එමඟින් මෙරටදී පිරිනැමෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නංවා ගත හැකි බව ද පෙන්වා දුන්නා.

ඒ අනුව කාලයත් සමග ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ආර්ථිකයට විදේශ විනිමය ලබාදෙන ආදායම් උත්පාදකයක් බවට පරිවර්තනය කෙරෙනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කළේ.

රට ශීඝ්‍රයෙන් දියුණු වී අනාගතයේ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමට නම්, ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ එහි උසස් අධ්‍යාපන ව්‍යුහයේ මෙම පුළුල් වෙනස් සිදු කිරීම බවද ජනාධිපතිවරයා කියසිටියා.

අද පැවැත්වුණේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 32 වන උපාධි ප්‍රදානෝත්සවය යි.

ආරක්ෂක අධ්‍යනය, කළමනාකරණ, ව්‍යාපාර කළමනාකරණ, නීති, වෛද්‍ය, ඉංජිනේරු ප්‍රවර්ධන කළමනාකරණ, කාර්මික විද්‍යාව, සමාජ විද්‍යාව, සම සෞඛ්‍ය විද්‍යාව සහ නිර්මිත පරිසර හා අවකාශ විද්‍යාව යන විෂය ක්ෂේත්‍ර ආවරණය කරමින් විද්‍යාර්ථයින් 1408 දෙනෙකු සඳහා උපාධි පිරිනැමින. ආචාර්ය උපාධිධාරියෙකු, පශ්චාත් උපාධි සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරීන් මේ අතර වනවා.

ප්‍රථම උපාධිධාරීන් ගණන 1180 ක්.

දක්ෂතම යුද හමුදා නිලධාරියා ලෙස කැඩෙට් නිලධාරී එස්.එච්. රොද්‍රිගු, දක්ෂතම නාවික හමුදා නිලධාරියා ලෙස ලුතිතන් එස්.ඩී. කරුණාසේන, දක්ෂතම ගුවන් හමුදා නිලධාරියා ලෙස පියාසර නිලධාරී එස්.කේ.එස්. රුක්ෂාන්, අතිශූර නිලධාරියා ලෙස ලුතිතන් එල්.ඩී.අයි. ලියනාරච්චි යන නිලධාරින් ජනාධිපතිවරයා අතින් තිළිණ ලබාගත්තා.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය 1981 දී ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට පාඨමාලාවන් හැදෑරීමටයි ස්ථාපිත කෙරුණේ.

2009 වසරේ දී එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් එය පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත් කරනු ලැබුවා.

2009 දී සිවිල් සිසුන්ට ද උපාධි හැදෑරීමට අවස්ථාව හිමි වූ අතර වර්තමානයේ ආචාර්ය උපාධි, පශ්චාත් උපාධි ඩිප්ලෝම පාඨමාලා හැදෑරීමට ත්‍රිවිධ හමුදා සහ දෙස් විදෙස් සිසුන්ට අවස්ථාව සැලසී තිබෙනවා.

වර්තමානය වන විට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ලොව පිළිගත් විශ්වවිද්‍යාලයක් ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමයේ සහ අන්තර්ජාතික විශ්වවිද්‍යාල සංගමයේ සාමාජිකත්වය ලබා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ආසාදිතයින් 356 ක් පූර්ණ සුවය ලබයි

(09.12.2021 – 14:47 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 356 දෙනෙකු අද (09) දිනයේදී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඒ සමග මෙරට වයිරසය ආසාදිතව සිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සමස්ත සංඛ්‍යාව 5,43,823 ක් දක්වා ඉහළ යනු ඇති ෴

+++++++++++++++++

හෙට (10) සිට 30 ට වැඩි අයට බූස්ටර් එන්නත ලබාදීම ඇරඹේ

(09.12.2021 – 18:29 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් හට බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (10) දිනයේ සිට කොළඹ නගරයේ වයස අවුරුදු 30 ඉක්මවූ පිරිස් වෙත මෙම බූස්ටර් එන්නත ලැබෙන බවයි කොළඹ මහ නගර සභාව නිවේදනය කරන්නේ ෴

+++++++++++++++++

කොරෝනා මරණ 22 ක්

(09.12.2021 – 18:42 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත් පුද්ගල මරණ 22 ක් අද (09) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ සමග වයිරසය ආසාදිතව මෙරට ජීවිතක්ෂයට පත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 14,555 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 508 දෙනෙකු අද (09) දිනයේ දී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඒ අනුව මෙරටින් මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 5,70,436 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *