ප්‍රියන්ත කුමාර ඝාතකයින්ට පාකිස්ථාන නීතිඥයින්ගේ සහය නොලැබෙන ලකුණු

ප්‍රියන්ත කුමාර ඝාතකයින්ට පාකිස්ථාන නීතිඥයින්ගේ සහය නොලැබෙන ලකුණු

*********************************************

ප්‍රියන්ත කුමාර ඝාතකයින්ට පාකිස්ථාන නීතිඥයින්ගේ සහය නොලැබෙන ලකුණු

(09.12.2021 – 16:10 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 03 වනදා පාකිස්ථානයේ සියල්කොට් නගරයේදී අන්තවාදී ආගමික කල්ලියක මිලේච්ඡ පහරදීම හේතුවෙන් ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ නඩු කටයුත්තේදී විත්ති පාර්ශවය වෙනුවෙන් නීතිඥ සහය ලබා නොදීමට සියල්කොට් දිස්ත්‍රික් නීතිඥ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කිසිදු විත්තිකරුවෙකුට සියල්කොට් නීතිඥ සංගමයේ නීතිඥවරුන්ගේ සහය නොලැබෙනු ඇති.

ඊයේ (08) සියල්කොට් හිදී පැවති නීතිඥ සංගම් විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවටයි පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරන්නේ.

එහිදී මෙම ශෝකජනක සිදුවීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විධායක කමිටු සාමාජිකයන් විසින් සාකච්ඡා කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ බලවත් කනස්සල්ල හා අප්‍රසාදය පළ කිරීමටත් එහිදී එකගතාවකට පැමිණ තිබෙනවා.

මේවන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකුට ගුජරන්වාලා ත්‍රස්ත මර්දන උසාවියේ චෝදනා ගොනුකර ඇති අතර එම සැකකරුවන් කිසිවෙකුට නීතිඥ සහයක් හිමිව තිබුණේ නැහැ.

ඒ අනුව අදාළ සැකකරුවන් තවත් දින 13 ක කාලයකට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සිද්ධියට අදාළ නඩුව ලබන 21 වනදා යළි කැඳවනු ඇති.

මේවන විට CCTV කැමරා දර්ශන සහ ජංගම දුරකථන වීඩියෝ දර්ශනවල ඇති මුහුණු හඳුනාගැනීමේ නව තාක්ෂණය භාවිත කරමින් සිද්ධියට සැකපිට සැකකරුවන් 140 ක් අත්අඩංගුවට ගැනීමට පන්ජාබ් පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව ප්‍රියන්ත කුමාර දියවඩනගේ සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් සේවය කළ රාජ්කෝ කර්මාන්ත ශාලාවේ සේවකයින් 345 දෙනනෙකු ආරක්ෂක අංශ විසින් ආරක්ෂිත නිවස්නයක රඳවාගෙන ප්‍රශ්ණ කරන බවත් පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත් එම ආරක්ෂිත නිවස්නය පිහිටි ස්ථානය හෙළිදරව් කර නැහැ.

මේ අතර පාකිස්තානයේදී සිදුවූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ අමානුෂික ඝාතනයත් සමඟ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදන කටයුතු සිදුකරන එරට ආයතනවල විගණන කටයුතු සඳහා විදෙස් ගණකාධිකාරීවරුන් පැමිණීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ එරට පිහිටි ඇතැම් ආයතනවල විගණන කටයුතු සඳහා පැමිණ ඇත්තේ ශ්‍රී ලාංකික විගණන ආයතන බැවින් මෙම සිද්ධියෙන් පසු එම ආයතන පාකිස්ථානයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

පාකිස්ථානු මාධ්‍ය වාර්තා කරන්නේ එරට ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අදාළ ප්‍රමුඛපෙළේ ආයතන මේ හේතුවෙන් ගැටලුසහගත තත්ත්වයකට මුහුණදී සිටින බවයි.

එම ආයතන බහුතරයක් ඇඟලුම් සහ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන ආයතන වනවා.

ශ්‍රී ලාංකික ගණකාධිකාරිවරුන් එලෙස විගණන කටයුතු සඳහා සහභාගී නොවීම නිසා ආසියානු කලාපයේ ඇතැම් විගණන කටයුතු සිදුකරන සමාගම්ද පාකිස්ථානයට සේවා සැපයීම අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර, ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ශ්‍රී ලංකාවට යැවීමට අවශ්‍ය පරිදි පහසුකම් ලැබීම සම්බන්ධයෙන් පංජාබ්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් හසින් ජොයිආ මහතා පංජාබ් ආණ්ඩුකාරවරයා හමුවී ස්තූතිය පළකර තිබෙනවා.

එහිදී පංජාබ් රජයෙන්ද ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලට වන්දි මුදලක් පිරිනැමීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර, ප්‍රියන්ත කුමාර මහතා ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස සහ වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් පංජාබ් පළාත් සභාව වෙත පාකිස්ථාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

මේ අතර, පාකිස්තානයේ ඉස්ලාමාබාද්හිදි ඉටි පන්දම් දල්වමින් ප්‍රියන්ත කුමාර මහතා සිහිපත් කෙරුණා.

පාකිස්ථාන හමුදා ප්‍රධානීන්ද ප්‍රියන්ත මහතාගේ ඝාතනය හෙළි දකිමින් ශෝකය පළකළා.

හෙට (10) දිනය ‘හෙළාදැකීමේ දිනයක්’ ලෙස පාකිස්ථානය නම්කර තිබෙන්නේද ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සිහිපත් කරමින්.

මේ අතර මෙරට සිවිල් ක්‍රියාකාරිකයින්ද ඊයේ (08) රාත්‍රියේ කොළඹ විහාර මහා දේවී පරිශ්‍රය ඉදිරිපිටට රැස්වී ප්‍රියන්ත කුමාර මහතා සිහිපත් කළා.

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (08) සිදු කෙරුණේ, ගනේමුල්ල – පොල්හේන පොදු සුසාන භූමියේදීයි.

+++++++++++++++

ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ අනාගතය ගැන විදෙස් ඇමති පාකිස්ථානයෙන් සහතිකයක් ඉල්ලයි

(09.12.2021 – 16:55 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ මූල්‍ය සුරක්ෂිතභාවය, වන්දි ගෙවීමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා අද (09) පාකිස්ථාන වැඩබලන මහ කොමසාරිස් තන්වීර් අහමඩ් හමුවී සාකච්ඡා කර තිබෙනවා.

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දීර්ඝ කාලීන මිත්‍රත්වය සහ විශ්වසනීයත්වය පිළිබඳ අවධාරණය කළ අමාත්‍යවරයා, අභාවප්‍රාප්ත ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයන් වෙත සාධාරණය ඉෂ්ඨ කිරීම සඳහා පාකිස්ථාන රජය නිසි පියවර ගනු ඇති බවට සිය විශ්වාසය පළ කළා.

පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂා මහ්මූද් කුරේෂි සමඟ පවත්වන ලද දූරකථන ඇමතුම පිළිබඳව සිහිපත් කළ අමාත්‍යවරයා, කුරේෂි මැතිතුමා සිය ශෝකය ප්‍රකාශ කළ බවත් විමර්ශනයේ සියලුම තොරතුරු කඩිනමින් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට පොරොන්දු වූ බවත් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම විමර්ශන කටයුතු පුද්ගලිකව සිය භාරයට ගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ක්‍රියාත්මක කිරීමට පියවර ගත් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීම ද විදේශ අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් වූ බවයි විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ.

සියල්කොට් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව පිරිනැමූ ඇමරිකානු ඩොලර් 100,000 ක මුදල් පරිත්‍යාගය මෙන්ම, ප්‍රියන්ත කුමාර මහතාගේ මාසික වැටුප ඔහුගේ භාර්යාවට ගෙවීමට ගත් ක්‍රියාමාර්ගය ද විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ පැසසුමට ලක්ව තිබෙනවා.

අභාවප්‍රාප්ත ප්‍රියන්ත කුමාර මහතාගේ දරුවන් දෙදෙනා (2) ගේ අනාගතය පිළිබඳ ශ්‍රී ලංකා රජය සැලකිලිමත් වන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

නිසි කලට ඔවුන් වෙනුවෙන් මූල්‍ය ගෙවීම් ලබා දීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළ අතර මෙම වැටුප කිසිදු බාධාවකින් තොරව සෑම මසකම ලබා දෙන බවට සහතික කෙරෙන යාන්ත්‍රණයක් සකස් කරන ලෙසයි ඔහු පාකිස්තාන නියෝජිතවරයාගෙන් ඉල්ලා සිටියේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කළ වැඩ බලන මහ කොමසාරිස්වරයා, පූර්ණ විමර්ශනයක් පවත්වා එම පවුලට වන්දි ලබා දීම සඳහා පාකිස්තාන රජය නිසි පියවර ගෙන ඇති බව සහතික කර තිබෙනවා.

පාකිස්ථානයේ වෙසෙන අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පාකිස්ථානයේ නීති බලාත්මක කිරීමේ ආයතන මේ වන විට කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

******************************************

ළමා රෝග සඳහා අධි සත්කාර ඒකකයක් IDH රෝහලට

(09.12.2021 – 15:50 +0530 – hirunews.lk/sinhala)

ළමා රෝග සඳහා අධි සත්කාර වෛද්‍ය ඒකකයක් ජාතික බෝ නොවන රෝග විද්‍යා ආයතනයේ දී විවෘත කෙරුණා.

ජාතික බෝ නොවන රෝග විද්‍යා ආයතනයට විශාල අඩුපාඩුවක්ව පැවති මෙම ළමා අධි සත්කාර ඒකකය සඳහා ළමා රෝග ඒකකයේ තිබුණු ගොඩනැගිල්ලක් අති නවීන ලෙස සකසා මෙම දැඩි සත්කාර ඒකකය ආරම්භ කළා.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අයි ඩී එච් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.

අසාධ්‍ය දරුවන් සඳහා ඉහළ ගුණාත්මක ප්‍රතිකාර ලබාදීම අරමුණු කරගනිමින් ආරම්භ කළ මෙම ඒකකය තුළ නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ ද විවිධ පරිත්‍යාගශීලීන් විසින් ලබා දී තිබෙනවා.

මෙහි ඉදිකිරීම් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව ද දායකත්වය සපයා තිබෙනවා.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයන්ගේ පරිත්‍යාග ලෙස ඉදිකළ මෙම අධි සත්කාර ඒකකය ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සංගමේ මූලිකත්වයෙන් මෙම කටයුතු සිදුකර තිබුණා ෴

******************************************

රතු වරෙන්තු ලබා සිටි බ්‍රසීල තරුණියක් මෙරටට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට

(09.12.2021 – 15:55 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ‘රතු වරෙන්තු’ ලබා සිටි බ්‍රසීල ජාතික තරුණියක් මෙරටට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී අද (09) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

23 හැවිරිදි ඇය බ්‍රසීල රජය මගින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමේදී තායිලන්තය වෙත පලාගොස් ඇති බවටයි ගුවන්තොටුපල නිලධාරින් සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් ඇය තායිලන්තයේ සිට සිංගප්පූරුව හරහා මෙරටට පැමිණ ඇත්තේ මෙහි දිගු කාලයක් රැදී සිටීමේ අරමුණින්.

පසුව මෙරට ආගමන විගමන හා දෙපාර්තමේන්තු නිලධාරින් විසින් ඇයව යළිත් බ්‍රසීලය වෙත පිටුවහල් කිරීමට කටයුතු කර තිබෙනවා ෴

******************************************

පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ පළමු රන් පදක්කම ශ්‍රිමාලි සමරකෝන්ට

(09.12.2021 – 15:57 +0530 – hirunews.lk/sinhala)

උස්බෙකිස්ථානයේ පැවැත්වෙන ලෝක ශූරතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ පළමු රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ශ්‍රිමාලි සමරකෝන් සමත්ව තිබෙනවා.

ඒ කාන්තා කිලෝ ග්‍රෑම් 45 ට අඩු බර පංතිය යටතේයි. එහිදී ඇය ස්නෑච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 58 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්කි ක්‍රමයට කිලෝ ග්‍රෑම් 78 ක් ද සමගින් සමස්ත බර කිලෝ ග්‍රෑම් 136 ක් එසවීමට සමත්වුණා ෴

******************************************

උප්පැන්න සහතිකයකට ‘ජාතිය’ එපා කියූ නීතිඥවරයෙකුගේ පෙත්සමක් විභාගයට

(09.12.2021 – 17:09 +0530 – hirunews.lk/sinhala)

සිය පුත්‍රයාගේ උප්පැන්න සහතිකයේ ‘ජාතිය’ යන්නට කිසිවක් ඇතුළත් නොකරන ලෙස කරන ලද ඉල්ලීමක් හේතුවෙන්, එම උපත ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට රෙජිස්ටාර් ජනරාල්වරයා ගනු ලැබූ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අද(09) දින අභියාචනාධිකරණයේදී සලකා බැලුණා.

නීතිඥ නුවන් බෝපගේ විසිනුයි අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

එහිදී විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට දැනුම් දුන්නේ පෙත්සම්කරුගේ දරුවාගේ උප්පැන්න සහතිකය තුල ජාතිය සඳහන් නොකර සිටීමට හැකියාවක් තිබේ දැයි රෙජිස්ටාර් ජනරාල්වරයාගෙන් විමසා ලබන පෙබරවාරි මස 17 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

නීතිඥ නුවන් බෝපගේ අධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම මගින් සඳහන් කර ඇත්තේ, සිය පුත්‍රයාගේ උපත ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේදී උප්පැන්න සහතිකයේ ‘ජාතිය’ සඳහන් වන ස්ථානයේ ශ්‍රි ලාංකික යන්න හෝ වෙනත් කිසිවක් සඳහන් නොකර හිස්ව තබන ලෙස රෙජිස්ටාර් ජනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බවයි.

එහෙත් එය රෙජිස්ටාර් ජනරාල්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර එය බලතල ඉක්මවා කටයුතු කිරීමක් බව පෙත්සම්කරු ප්‍රකාශ කරනවා ෴

******************************************

වෙනසක් නැත්නම් පුංචි ඡන්දය සඳහා දින ප්‍රකාශ කිරීම ජනවාරියේ

(09.12.2021 – 17:15 +0530 – hirunews.lk/sinhala)

වෙනසක් නොමැතිව පවතින නීතිමය තත්ත්වය යටතේම පළාත් පාලන ඡන්දය පැවැත්වෙන්නේ නම්, ලබන වසරේ ජනවාරි මාසයේ පමණ එම ඡන්දය සඳහා දින ප්‍රකාශ කිරීම සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යූහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත්, වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ (08) දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, ඊට එක්වෙමිනුයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ මාර්තු 20 අවසන් වීමට නියමිත නිසා ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සූදානමින් සිටින බවයි, සභාපතිවරයා එහිදී ප්‍රකාශ කළේ ෴

******************************************

සජබෙ උපලේකම් තවමත් මන්ත්‍රිනී ඩයනා ද ?

(09.12.2021 – 17:32 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගයේ පක්ෂ හිමිකාරිත්වය සහ එහි උපලේකම් ධුරය තවමත් හොබවනුයේ, එහි පක්ෂ සාමාජිකත්වය පවා අහිමි වූ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ඩයනා ගමගේ බව මැතිවරණ කොමිසම පසුගිය දිනක නිකුත් කරන ලද දත්ත වාර්තාවක් මුහුණු පොත තුළ හුවා දක්වමින් තැබූ සටහනක් මගින් යළිත් සමාජය තුළ කිසියම් පෙරළිකාර දේශපාලන සංවාදයකට මේ වනවිටත් තුඩු දෙමින් පවතිනවා.

ඊට හේතු වී ඇත්තේ, මුහුණු පොතෙහි සමගි ජන බලවේගයේ උපලේකම් ධුරය සම්බන්ධයෙන් විස්මයජනක වූ සටහනක් සාක්ෂි ඇතිව සටහන් කර තිබීමයි.

එහි සඳහන් ව ඇත්තේ, මෙරට වැසියෙකු විසින් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ පිළිබඳ ව අධ්‍යයන කටයුත්තක් සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට මැතිවරණ කොමිසමට ගිය අවස්ථාවේ දී, එම පුද්ගලයා වෙත ලද තොරතුරු පත්‍රයේ සඳහන් ව ඇත්තේ, සමගි ජන බලවේගයේ උප ලේකම්වරිය තවමත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ බවයි.

මන්ත්‍රීවරිය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ වත්මන් රජයට සහාය පළ කිරීමට ආණ්ඩුව බලයට පත් වී කෙටි දිනකින් රජය පාර්ශ්වයට එකතු වීම හේතුවෙන් සමගි ජන බලවේගයේ නායකයින් විසින් ඇයව දැඩි ලෙස විවේචනයට ලක් කරමින්, ඇයට විරුද්ධ ව විනය පරීක්ෂණ සිදු කරන බවට ද ප්‍රකාශ කළ සිද්ධිය ප්‍රසිද්ධ කරුණක්.

එමෙන්ම මන්ත්‍රීවරිය සිය පක්ෂයට පිටුපා යෑම හේතුවෙන් ඇයව පක්ෂ සාමාජිකත්වයෙන් ද නෙරපා දැමීමටයි, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිස තීරණය කළේ.

කෙසේවෙතත්, මන්ත්‍රිනී ඩයනා ගමගේට අදාළ විනය පරීක්ෂණය පක්ෂය විසින් මෙතෙක් සිදු නොකිරීම ද පුදුමසහගත කරුණක්.

කුමක් වුව ද, මෙතෙක් ඇය පක්ෂය වෙනුවෙන් තැබූ සහ විශ්වසනීයත්වය පළුදු කිරීමේ චෝදනා මත ඇයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන නොමැති වුව ද, ඇයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමකට ද ලක් වූ බව මාධ්‍ය විසින් මීට ඉහතදී වාර්තා කරනු ලැබුවා.

එහෙත්, මැතිවරණ කොමිසම මගින් ක්ෂේත්‍ර පරීක්ෂකවරයා වෙත ලබා දුන් තොරතුරු ලේඛනයට අනුව සටහන් ව ඇත්තේ, අන් කිසිවක් නොව, මන්ත්‍රිනී ඩයනා ගමගේ ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වුව ද, ඇය තවමත් එම පක්ෂයේ උපලේකම්වරිය බවයි.

කෙසේවෙතත්, සමගි ජන බලවේගයේ පක්ෂ ඉතිහාසය ගෙන පිරික්සීමේ දී පෙනී යන්නේ, මෙම පක්ෂයේ හිමිකාරිත්වය ඩයනා ගමගේ මන්ත්‍රිනියට අයත් දේපලක් වන අතර, එය කරළියට පැමිණෙන්නේ, ‘අපේ ජාතික පෙරමුණ’ පක්ෂය හරහා බවයි.

මැතිවරණ කොමිසම මගින් නිකුත් කළ මෙම තොරතුරු සහ සාක්ෂි අනුව පෙනී යන්නේ, අන් කිසිවක් නොව, ආණ්ඩු පාර්ශ්වයට මේ වනවිටත් සහාය පළ කෙරෙමින් දේශපාලන කටයුතු සිදු කරන, පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ඩයනා ගමගේ යනු තවමත් සමගි ජන බලවේගයේ අයිතියක් ඇති, එහි ප්‍රධාන ධුරයක් වන උපලේකම් ධුරය හොබවනු ලබන ප්‍රබලයෙකු බව නොවේ දැයි සැකයක් මතු වේ.

මෙම ධුරය සම්බන්ධයෙන් සහ සමගි ජන බලවේගයේ පක්ෂ හිමිකාරිත්වය සම්බන්ධයෙන් ද අවස්ථා කිහිපයක දී මන්ත්‍රිනිය විසින් පාර්ලිමේන්තුවේ දී ද සිය අදහස් දක්වමින් විපක්ෂයට තම අයිතිය ගැන අවධාරණය කර තිබීම ද අදාළ කාරණාවේ දී පැන නැගෙන සුවිශේෂී කරුණක්.

මෙම තොරතුරු මැතිවරණ කොමිසම විසින් අදාළ පුද්ගලයා වෙත සපයා ඇත්තේ ද, මෙම මස 02 වැනි දින වීම හේතුවෙන් කිසියම් බැරෑරුම් වූත්, දේශපාලනික වූත්, පක්ෂගත වූත්, අර්බුදයකට සමගි ජන බලවේගයේ ඇතැම් ප්‍රමුඛ පෙළෙහි තනතුරු ලක් වී ඇති බව ද මෙතුළින් විද්‍යමාන නොවන්නේ ද ?

කෙසේවෙතත් මෙම සිද්ධි දාමයෙන් ගම්‍ය වන්නේ, අන් කිසිවක් නොව, විපක්ෂ නායකවරයා ප්‍රමුඛ පක්ෂ සාමාජිකයින්ට ද සිදුවෙමින් ඇත්තේ, කපුටාගේ කූඩුවෙහි කොවුලෙකු බිජු දැමීමක් හා සමාන වූ සිද්ධියක් බවට සියුම් හාස්‍යයක් මතු කරමින් මෙරට පුරවැසියා විසින් ප්‍රශ්න කරනු ලබනවා ෴

******************************************

වාහන ආනයන සීමා තවදුරටත්

(09.12.2021 – 17:30 +0530 – hirunews.lk/sinhala)

ලබන වසර තුලදී රාජ්‍ය අංශයට කිසිදු බඳවා ගැනීමක් සිදු නොකරන බවත් එමෙන්ම එම වසර තුලදීත් පනවා ඇති වාහන ආනයන සීමාවන් එලෙසම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

මුදල් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද (09) කොළඹදී පැවති කිරි ගොවි සම්මේලන රැස්වීමේදීයි.

මේවන විට මෙරට ආර්ථිකය බරපතල ඩොලර් හිඟයකට මුහුණපා ඇති අතර මේ හේතුවෙන් පසුගිය මාස 4 ක කාලය පුරා දැඩි ආනයන සීමා පැනවුණා.

කෙසේවෙතත් වාහන ආනයනය සඳහා මේ වසර මුලදී පැනවුණු සීමාවන් තවත් වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන බවයි මුදල් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශකර ඇත්තේ.

එමෙන්ම කිරිපිටි ආනයනය සඳහා මුදල් වෙන් කිරීමට ද හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශකර තිබෙනවා.

මේ අතර මේ වනවිට රජයට බොරතෙල් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිත නොමැති වීම බරපතළ ගැටලුවක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඊට විසඳුමක් ලෙස රුපියල්වලින් ගෙවීම් කටයුතු සිදු කර බොරතෙල් ආනයනය කිරීමේ ක්‍රියා මාර්ගයක් කෙරෙහි යොමු වීමට ඇති හැකියාව සොයා බලමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ, දින 26 ක් තිස්සේ වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු නැවත ආරම්භ කිරීමේ අවස්ථාවේ දී මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ, මේ වනවිට තවත් දින 25 කට අවශ්‍ය ඛනිජ තෙල් තොග ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ව ඇති බවයි.

බලශක්ති අමාත්‍යවරයා මීට පෙර ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීම සඳහා කටාර් රාජ්‍යයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වූ අතර, ඒ අරභයා ඔහු කටාර් රාජ්‍යයේ නිල සංචාරයක ද නිරත වුණා.

නමුත් මේ දක්වා එම ණය මුදල හෝ ඛනිජ තෙල් මිල දී ගැනීමේ දීර්ඝ කාලීන ණය ගිවිසුම සාක්ෂාත් කරගැනීමට හැකියාවක් ලැබුණේ නෑ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉතිහාසයේ කිසිදු දිනයක ඛනිජ තෙල් ආශ්‍රිත මිල දී ගැනීම් සඳහා ශ්‍රී ලංකා රුපියලෙන් ගෙවීම් සිදු කර නො මැති අතර, මෙවර එම අත් හදා බැලීම සිදු කිරීමට සැරසෙන්නේ පළමු වරටයි.

මේ අතර, ඊයේ (08) සිය නිල මූල්‍ය සංචිත සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ වාර්තවක දැක්වුණේ, ලබන ජනවාරි මාසය වනවිට මෙරට සතු නිල ඇමරිකානු ඩොලර් සංචිතය බිලියනයක් දක්වා පහළ වැටෙන බවයි.

ඒ අනුව ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවන්නේ, ලබන ජනවාරි මාසයෙන් පසු මෙරටට ආනයනය කළ යුතු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ගෙන ඒමේ බරපතළ ගැටලුවකට මුහුණ දිය හැකි බවයි.

මේ අතර නොවැම්බර් මාසය වන විට මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,587 ක් බව රජය පවසනවා.

මෙරට විදෙස් සංචිත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මීට පෙර අසන ලද ප්‍රශ්ණයකට පිළිතුරු ලෙසයි, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී, අද (09) දින මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *